භීෂණ සමයේ අනුරාධපුර


ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

8 වැනි කොටස

 

අනුරාධපුරයේදී හෙළිවූ තොරතුරු අනුව පොලිසිය මගින් සොයාගනු ලැබූ වෑන් රථයක්, තුවක්කු සහ පතොරොම්. 

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙ​තෙක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබවෙත මෙසේ ගෙන එනු ලබයි.   

 


වසර දස දහස් ගණනාවක දීර්ඝ ඉතිහාසයක් ඇති අනුරාධපුරය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම ජනාවාස පැවති බවට සාධක හමුවේ. මල්වතු ඔයේ ශාඛාවක බටහිර ඉවුරේ අනුරාධ නමින් ග‍්‍රාමීය ජනාවාසයක් ක්‍රි.පූ. 6 වන සියවසේ ආරම්භ කළ අතර එය පුරයක් බවට පත්කළේ පණ්ඩුකාභය රජු විසින් ක්‍රි. පූ 4 වන සියවසේය. දේවානම් පියතිස්ස කාලයේ වාස්තු විද්‍යා නිර්මාණවල ජීවමාන සාධක දක්නට ලැබුණු අතර අනුරාධපුරයේ වර්ධනය සහ ව්‍යාප්තිය සිදුවූයේ දුටුගැමුණු, වළගම්බා වසභ, මහසෙන්, ධාතුසේන ඇතුළු රාජ්‍ය පාලන යුගයන්හිදීය. ක්‍රි.ව. 10 සියවසේ ඇතිවූ චෝල ආක‍්‍රමණයන් හමුවේ අනුරාධපුර ප‍්‍රබල පසුබැස්මකට ලක් විය. ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අග නගරය වන අනුරාධපුරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 


ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නායකත්වය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට 1966 පමණ ජවිපෙ හඳුන්වා දුන්නේ අම්බලන්ගොඩ ගුස්තිඤ්ඤ වඩු පියසිරි ගුණරත්නය. ඔහු සරත් ගුණදාස හෙවත් අනුරාධපුරයේ අතුල හෙවත් ත්‍රිකුණාමලයේ සරත් ලෙස ද හැඳින්විණි. එහිදී ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියමුවෙකු වන එල්. එම්. දිනෝරිස්ගෙන් සහ හික්කඩුව පතන ප‍්‍රදේශයේ පදිංචි අනුරාධපුරයේ මහාපාලාඩිකුලම පාසලේ ගුරුවරයකු වූ සනත් බොරළුකැටියගේ දිරිගැන්වීම සහ සහායද පියසිරිට හිමිවිය. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල ඕවර්සියර්වරයෙකු ලෙස සේවය කළ 1939 නොවැම්බර් 07 උපන් පියසිරි ගුණරත්න 1956 ජනවාරි අනුරාධපුර පදිංචියට පැමිණි අතර පසුව 1961 අප්‍රේල් 15 වැනිදා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්යාධිකාරි ලෙස පත්වී කොළඹ, කන්ඩලම, හුරුළුවැව සහ අනුරාධපුරයේ එකල සේවය කරමින් සිටියේය. 


ජවිපෙ 1965 මැයි 14 ආරම්භ කිරීමට ප‍්‍රථම අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ශ්‍රී විජයාරාම විහාරයේ පැවැත්වූ පූර්ව සූදානම්වීමේ සාකච්ඡා සඳහා විජේවීර සමඟ එක්වූ කැලැත්තෑව විදුහලේ ගුරුවරයෙකු වූ ගෝනපීනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටිය (ජවිපෙ ආරම්භයේ සිට 1971 අප්‍රේල් කැරැල්ල දක්වා නියෝජ්‍ය නායකයාය. 71 කැරැල්ලේදී ඝාතනයට ලක් විය. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුරකරුවෙකු වූ එල්. එම්. දිනෝරිස් හෙවත් සිරිල් දහනායක සමඟ පියසිරි ගුණරත්න ද විය. 


අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා විජේවීර විසින් පත්කළ ප‍්‍රථම පූර්ණකාලීන දිස්ත්‍රික් ලේකම්වරයා වූයේ ඩබ්ලිව්. එම්. ජයසිංහ හෙවත් අනුරය. පසුකාලීනව 1971 අප්‍රේල් කැරැල්ලට පෙර අනුරාධපුරයේ ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරකයින් අතර නන්දන මාරසිංහ, කච්චේරියේ කරු සහ ගුණපාල හීන් බණ්ඩා, හොරොව්පතානේ රණතුංග, විපුලසේන රාජපක්ෂ, ආලෝක බණ්ඩා පුංචිබණ්ඩාර කරුණාරත්න හෙවත් තඹුත්තේගම කරු, ගුණවර්ධන විල්බට් පෙරේරා හෙවත් විල්බට් මුදලාලි, රත්නායක මුදියන්සේලාගේ විජේරත්න හෙවත් කළු විජේ, පොඩි ලකී, චුක්කි ප්‍රේමරත්න, ලෙස්ලි, උපාලි වේරගම, ටික්කා ගුණරත්න, හේරත් රත්නායක හෙවත් සුසන්ත ඇතුළු විශාල පිරිසක් වූහ. 


අසූව දශකයේ පාතාල ලෝකයේ සුප‍්‍රකට චරිතයක් බවට පත්වූ කැලණියේ ගෝනවල සුනිල් ද ජවිපෙ සාමාජිකයෙකු වශයෙන් නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලගේ ඉල්ලීම අනුව අනුරාධපුරයේ ජවිපෙ 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයින්ට කරාතේ පුහුණු කිරීම සඳහා පැමිණ තිබිණි. එකල ඔහු හැඳින්වූයේ කඩවත සුනිල් නමිනි. හැඳගල කැලේ ගල් තලාවකදී 1969 දෙසැම්බර් එම කරාතේ පුහුණුවීම් පැවැත්විණි. එහිදී ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් තඹුත්තේගම විල්බට් හෙවත් විජිත විසින් ගෝනවල සුනිල්ට ප‍්‍රහාරයක් එල්ලකර ඔහු පලවාහැර තිබිණි. ගෝනවල සුනිල්ගේ මෙහෙයවීමෙන් පැවති එම ආත්මාරක්ෂක සටන් පුහුණු කඳවුරට ඇඳගල ජයසේන, ඇඳගල ධර්මේ, එප්පාවල ජයරත්න, රූබන්, සිල්වා සහ සයිමන් ඇතුළු කණ්ඩායමක් එක්ව තිබිණි. 


වසර 1981 ජූනි 04 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට ජවිපෙ තරග කළ දිස්ත්‍රික්ක 8න් ජවිපෙට ඉතිහාසයේ ප‍්‍රථමවරට සංවර්ධන සභා මන්ත්‍රීධුර 13ක් හිමි විය. ඡන්ද ප‍්‍රතිඵල අතුරින් ජවිපෙට වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. ඒ සියයට 13ක ප‍්‍රතිශතයකි. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 245,990 අතරින් ඡන්ද 33,625ක් ඒ අනුව හිමිව තිබිණි. එහි සංවර්ධන සභා මන්ත්‍රීවරයා වශයෙන් සිසිර රන්දෙණිය හෙවත් කුමාර පත්විය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජවිපෙ තරග කළ සෙසු අය වූයේ බන්දුලසේන යාපා බණ්ඩාර, ඩී. පී. ප්‍රේමරත්න, උපාලි රත්නායක, එච්. එම්. ඩී. හේරත්, ඩබ්. කේ. ජයසේන, බී. කුමාරදාස සහ ඩී. එම්. ඒ. රංබණ්ඩා යන අයයි. 


ජවිපෙ 2වැනි කැරලි සමය හෙවත් 1986 සිට 1990 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන් වූයේ ගුණසිංහ දිසානායක, තංගල්ලේ මුතුකුමාරණ හෙවත් රාජා, හොරොව්පතානේ රන්පත්වල දිනේෂ් පෙරේරා, තංගල්ලේ තිස්ස හෙවත් දයාරත්න, හැටන් ජයශ්‍රී ජයසේකර ඇතුළු කිහිප දෙනෙකි. අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් අතර හිඟුරක්ගොඩ ලලිත්, මැදිරිගිරියේ ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් හේරත් බණ්ඩාර හෙවත් ජගත් හෙවත් කීර්ති, වැලිමඩ කුමාරන් ෆොන්සේකා හෙවත් නිමල්, නිකවැරටිය තුඹුල්ලේ දිනේෂ් හෙවත් ප්‍රියන්ත, බෝධිනායක හෙවත් පොඩි දිනේෂ්, ගුවන් හමුදා නිලධාරියෙකුව සිටි කැබැතිගොල්ලෑව පුන්චුච්ටමේ සනත් චන්ද්‍රසේකර හෙවත් ලොකු සනත් ඇතුළු පිරිසකි. 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු සන්නද්ධ ලේකම්වරුන් අතරින් ඉදිරියෙන්ම සිටි අයෙකු ලෙස නුවර තෙල්දෙනියේදී 1955 මාර්තු 25 වැනිදා උපන් වාසල මුදියන්සේලාගේ වලගෙදර හේරත් බණ්ඩාර හැඳින්විය හැකිය. (ඉතිහාසයට අනුව කොහුකුඹුරේ රටේ රාළ ද මහනුවර ප‍්‍රදේශයේ අයෙකු වූ අතර ඔහුගේ නියම නම ද හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩාය) ජගත් ලෙසින් 1987දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර බකමූණ කලාපයේ සන්නද්ධ කලාප ලේකම්ව සිටි හේරත් බණ්ඩා පසුව 1988 ජනවාරි සිට අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් ලෙස කීර්ති නමින් කටයුතු කළේය. ඔහුගේ පියා ඩබ්ලිව්. ජී. විජේබණ්ඩා ගොවියෙකු වූ අතර මව පිච්චි අම්මාය. එම දෙපලට පුතුන් 4ක් සහ දියණියන් 5ක් වූ අතර හේරත් බණ්ඩා ඉන් වැඩිමලාය. තෙල්දෙණියේ සිට හේරත් බණ්ඩාගේ පියා මහවැලි ගොවි ජනපදයක් වූ පොළොන්නරුවේ මැදිරිගිරියට 1961 වසරේ පැමිණ යාය 8 මහතලාකොලවැව පදිංචි විය. අසූව දශකයේ මුල් භාගයේදී කළුතර අයියා’ මගින් ජවිපෙට සම්බන්ධ වූ හේරත් 1982 අගෝස්තු 09 අාවාහ වූයේ බස්නායක ගෙදර හේරත් මුදියන්සේලාගේ ආරියවතී මැණිකේ සමඟය. 

 

ජවිපෙ කැරලිකරුවන් විසින් කැඳවා තිබූ විරෝධතා ව්‍යාපාරයක ගමන්ගත් පිරිසක්. 

 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු කලාපයේ සන්නද්ධ අංශයේ කලාප කමිටු සාකච්ඡාවක් 1989 මාර්තු 29වැනිදා කැබැතිගොල්ලෑව මුල්ලගහවැව කරුණාදාසගේ නිවසේ පැවැත්වෙමින් තිබියදී උදැසන 9.45ට හේරත් බණ්ඩා සහ එයට සහභාගි වූ දොඩම්ගස්ලන්ද මදුරාගොඩ උපන් විමල් කුලසිංහ ඇතුළු කලාප කමිටු සාමාජිකයින් 12 දෙනාම රත්මල්ගහ වැව හමුදා කඳවුරේ සෙබළුන් විසින් වැටලූ අතර කැරලිකරුවන් යටත් නොවීම නිසා එම ස්ථානයේදීම 12 දෙනාම ඝාතනයට ලක්කරන ලදී. පසුව එම සිරුරු අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ සෙබළුන් විසින් ට‍්‍රක් රථයක පටවාගෙන ගොස් 93 කණුව අසළ පන්සලට යාබදව පුළුස්සා දමා තිබිණි. හේරත් බණ්ඩා මියයන විට ඔහුගේ බිරිඳ සහ එකම දරුවා වූ ජනිතා වාසලගේ කහටගස්දිගිලියේ මැස්සලාව කෑදැවල ගමේ පදිංචිව සිටි අතර එවකට වසර 3යි මාස 7ක් වූ ජනිතා 2018 වසර වනවිට 33හැවිරිදි දෙදරු මවකි. හේරත් බණ්ඩාගේ සොහොයුරා වන රණසිංහ බණ්ඩා විසින් සිය සොහොයුරාගේ එක්දරු වැන්දඹු බිරිඳවන ආරියවතී මැණිකේ 1992 අවාහ කර ගන්නා ලදී. පසුව තිදරු මවක වූ ඇයට 2018 වනවිට මුනුබුරු මිනිබිරියන්ද දෙදෙනෙකි. 


තවත් දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකු වූ හිඟුරක්ගොඩ ලලිත්ද හමුදා භටයෙකුව සිට ජවිපෙට එක්වූ අයෙකි. කැරැල්ල අවසාන භාගයේදී එනම් 1989 ඔක්තෝබර් මස ඉකිරිගොල්ලෑවේදී සාලියපුර හමුදා කඳවුර මගින් ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව ඝාතනයට ලක් විය. ඔහුගේ හිස කඳෙන් වෙන්කර මැදවච්චිය නගරයට ආසන්නයේ වැටක එල්ලා තිබිණි. හිඟුරක්ගොඩ ලලිත් ඝාතනය වනවිට ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල කලාපයේ සන්නද්ධ ලේකම්වරයා වූ අතර ඉන්දීය හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම්වලට දායක වූ ප‍්‍රමුඛයෙකි. වැලිමඩ කුමාරන් ෆොන්සේකා හෙවත් නිමල් අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් ලෙස කලක් කටයුතු කළ අතර 1989 නොවැම්බර් 17 කොළඹදී අත්අඩංගුවට ගෙන මත්තේගොඩ හමුදා කඳවුරට ගෙන යෑමෙන් පසු ඝාතනයට ලක් විය. ෆොන්සේකා වෘත්තියෙන් හිඟුරක්ගොඩ සමුපකාරයක කළමනාකරුවෙකු වූ අතර ජවිපෙට පූර්ණකාලීනව එක්වූ නිර්මාණශීලී චරිතයකි. 


විජේවීර ඝාතනයෙන් පසු අවසාන වරට අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලන ලේකම් වූයේ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ 1981 කණ්ඩායමේ සාමාජික හැටන් මල්ලිඅප්පු පදිංචි ගුණසේකර මුහන්දිරම්ලාගේ ජයශ්‍රීය. දික්වැල්ල බතීගමදී 1963 ජනවාරි 07 උපන් ජයශ්‍රී පේරාදෙණිය සරසවියේ සිසුන් පිළිබඳව ජවිපෙ වෙනුවෙන් නිස්මිට පෙර වගකීම් දැරූ තැනැත්තාය. ගම්පහ කලාපයේ නායකයෙකුව සිටි ජයශ්‍රී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් වූ පසු තඹුත්තේගම ගල්නෑවේ මිරිස් හේනක ගොවියෙකු වශයෙන් පෙනී සිටියේය. ඔහුගේ සහායට එහි සිටියේ කැලණි සරසවියේ වාණිජ පීඨයේ සිසුන් වූ නිමල් සහ රත්තමලල ගාමිණී හෙට්ටිආරච්චි හෙවත් ගයාන්ය. සංවිධාන කටයුත්තකට 1990 ජනවාරි 21 කොළඹට පැමිණි ජයශ්‍රී ගුණසේකර ලේක්හවුස් ඉදිරිපිට රිගල් සිනමා ශාලාව අසලදී අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට පත්විය. 


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස 16 කලාප 5කට බෙදා තිබිණි. ඒ අනුව අනුරාධපුර නගර කලාපයට අනුරාධපුරය, විලච්චිය සහ තන්තිරිමලය ඇතුළත් විය. මැදවච්චිය හෙවත් උතුරු කලාපයට මැදවච්චිය, කැබතිගොල්ලැව පදවිය සහ වව්නියාව දකුණ ඇතුළත් විය. එප්පාවල තඹුත්තේගම, කැකිරාව, ගල්නෑව, ගල්කිරියාගම සහ රාජාංගණය කලාවැව කලාපයටය. හොරොව්පතාන කලාපයට අයත් වූයේ කහටගස්දිගිලිය, හොරොව්පතාන සහ ගලෙන්බිදුණුවැවය. කලාප ලේකම්වරුන් වශයෙන් 1988 ජනවාරි වනවිට කටයුතු කළේ නොච්චියාගම ලාල් හෙවත් ජයන්ත, බෝධිනායක හෙවත් පොඩි දිනේෂ්, ජයසේකර ඇතුළු කිහිප දෙනෙකි. ඒ වනවිට මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාප 5ටම සිටි ජවිපෙ පූර්ණ කාලීනයින් සංඛ්‍යාව 34කි. පසුව 1989 පෙබරවාරි වනවිට අනුරාධපුර කලාප 5න් එක් කලාපයකට පමණක් පූර්ණකාලීන සාමාජිකයින් 100කට ආසන්න පිරිසක් විය. 


දෙවැනි කැරැල්ලේ මැද භාගය වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මයිලන්කුලම, මඩුකන්ද, ලූණුපැහිච්චාව, මහතුඩුගොල්ලැව, ගෝනමරියාව, වැද්දාකන්ද, අඹගහවැව, පිහිඹියගොල්ලෑව, මැස්සලාව ඇතුළු ගම්මාන රැසක් ජවිපෙ කේන්ද්‍රගත වූ ගම්මානවූ අතර ඉන් කිහිපයක්ම ජවිපෙ මූලකඳවුරු වැනි ප‍්‍රදේශ බවට පත්ව තිබිණි. 


උතුරු මැද පළාත් ශිෂ්‍ය කමිටුව මුල් කාලයේදී කැඳවූයේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ උතුරු මැද පළාත් නායකයාව සිටි ජයවර්ධනපුර සරසවියේ සිසු අනුරාධපුර උපන් එම්. බී. උපුල් කිත්සිරි නානායක්කාර හෙවත් ලෙනෝරාය. පසුව එම වගකීම් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසු එස්. එම්. නිස්මි වෙත පැවරිණි. දිස්ත්‍රික් භික්ෂු අංශයේ නායකත්වය බලහරුවේ සෝම හිමි හෙවත් කොළඹ සාධුය. නන්දන ගුණතිලක හෙවත් සුමේධ හෙවත් අජන්ත අනුරාධපුර ජවිපෙ ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් ලේකම් ලෙස පත්වූයේ 1988 ජනවාරි මසය. 


එයට පෙර අනුරාධපුර දිස්ත්‍රික් ශිෂ්‍ය අංශය භාරව සිටියේ රාජාංගණයේ යාය 8 සිරිමෙවන්ය. ඔහුගේ සහායට පූර්ණකාලීනයින් ලෙස මකුලෑවේ රොෂාන් සහ රත්නායක ද විය. දිස්ත්‍රික් ශිෂ්‍ය අංශයේ කලාපීය ලේකම්වරුන් වූයේ මැදිරිගිරියේ උපුල් සේනානායක හෙවත් දේශප්‍රිය හෙවත් සම්පත් (පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියෙක් විය), මැදවච්චියේ කල්අඩියේ රුවන් හෙවත් ජානක, රාජාංගණයේ ප්‍රේමරත්න, හිදෝගම හතේ ඇලේ පදිංචිකරුවෙකු වූ සමනල හෙවත් සුදු මල්ලී, එප්පාවල ප‍්‍රසන්න හෙවත් පරාක‍්‍රම ඇතුළු කිහිප දෙනෙකි. එප්පාවල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු වූ පරාක‍්‍රම 1988 ඝාතනය වීමෙන් පසු එම වගකීම් එප්පාවල ගල්නෑවේ පදිංචි අමරපාල දිසානායක වෙත පැවරිණි. ඔහුද පසුව ඝාතනයට ලක්විය. ශිෂ්‍ය අංශයේ දිසා කමිටුව මසකට වරක් කැඳවිණි. නන්දන ගුණතිලක කහ උණ සෑදී දෙමසකට ආසන්න කාලයක් සිටීමෙන් පසු යළි පැමිණිවිට ශිෂ්‍ය අංශයෙන් මාරුකර දිස්ත්‍රික්කයේ වෙනත් කලාපයක දේශපාලන නායකයා ලෙස පත්කරන ලදී. එවිට ශිෂ්‍ය අංශයේ නන්දන දැරූ තනතුර පොළොන්නරුව මැදිරිගිරියේ උපුල් සේනානායක හෙවත් දේශප්‍රිය වෙත පැවරිණි. 

 

අනුරාධපුරයට ජවිපෙ හදුන්වාදුන් අම්බලන්ගොඩ පියසිරි ගුණරත්න, අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූ හිටපු හමුදා සෙබළ හිඟුරක්ගොඩ ලලිත්, මීගස්වැව හේරත් බණ්ඩාර හෙවත් ජගත් හෙවත් කීර්ති, හිඟුරක්ගොඩ ගල්අමුණේ ජී, ජී. නිමල් හෙවත් ෆොන්සේකා හෙවත් විජේසුන්දර සහ කැකිරාව පොලිසියට 1989 සැප්තැම්බර් 2 ප‍්‍රහාරයක් එල්ලකර සියලු අවි පැහැරගත් කණ්ඩායමේ නායකයා වූ මීගස්වැව එම්. ආර්. සිරිවර්ධන හෙවත් පොඩ්ඩේ පුතා වමේ සිටය. 

අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් හේරත් බණ්ඩා සමඟ 1989 මාර්තු 29 කලාප කමිටු සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටියදී ආරක්ෂක අංශ මගින් කැබැතිගොල්ලෑවේදී මරාදැමූ 12දෙනා අතර සිටි දොඩම්ගස්ලන්දේ විමල් කුලසිංහ, කලාප නායකයින්ව සිටියදී ඝාතනයට ලක්වූ මිහින්තලේ විමලසේන සහ නොච්චියාගම විජේරත්න බණ්ඩා, ජවිපෙ අරමුදල් රැස්කිරීමේදී අනුරාධපුර කුලියන්කුලමේදී ආරක්ෂක අංශ වෙඩි ප‍්‍රහාරයකින් 1989 ජනවාරි මස ඝාතනයට ලක්වූ බූස්ස පිටිවැල්ලේ කරුණාදාස, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ සංහාරය පිළිබඳව පුවත්පත් හරහා නොබියව පෑන හැසිර වූ මාධ්‍යවේදී අනුරාධපුරයේ අතුල බණ්ඩාර මෙහි වමේ සිට දකුණටය. 

මෙහි වමේ සිට කැරලිකරුවන්ට එරෙහිව අවි අමෝරාගත් සංචාරක ඇමැති ඒ. එම්. එස්. අධිකාරි වව්නියාව දිසා ඇමැති සහ පසුව උතුරු මැද මහ ඇමැති ගමගේ දොන් මහින්දසෝමද, එජාපය වෙනුවෙන් නොබියව පෙනී සිටි අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ අධිපති ගිරාඹේ ආනන්ද හිමි, උතුරු මැද පළාතේ ආඥාපති සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ආනන්ද වීරසේකර, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ වේ. 

උතුරු මැද පළාතේ ශිෂ්‍ය අංශයේ කලක් නායකව සිටි පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසු රත්නපුරයේ එස්. එම්. නිස්මි, අනුරාධපුර දිස්ත්‍රික් ශිෂ්‍ය අංශයේ 1988 නායක වාද්දුවේ නන්දන ගුණතිලක හෙවත් සුමේධ හෙවත් අජන්ත ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙකුව සිටි මැදිරිගිරියේ එච්. එම්. යූ සේනානායක හෙවත් දේශප්‍රිය හෙවත් සම්පත්, ගල්කිරියාගම කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ 1989 ලේකම් නල්ලච්චියේ අනුර කුමාර දිසානායක හෙවත් බණ්ඩාර හෙවත් අරවින්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ශිෂ්‍ය සංවිධානයේ සම්බන්ධීකාරකවරයාව සිටි 1989 දෙසැම්බර් 07 අත්අඩංගුවට ගැනීමෙන් පසු පණ්ඩුලගම හමුදා කඳවුරේදී ඝාතනයට ලක්වූ පේරාදෙණිය සරසවියේ 2වන වසරේ වෛද්‍ය සිසු අනුරාධපුර කීරකුලමේ උපන් පාලිත සෙනෙවිරත්න.  

 

 


පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨයේ 2වන වසරේ සිසු අනුරාධපුර කීරකුලමේ පාලිත සෙනෙවිරත්න ඇතුළු ශිෂ්‍ය අංශයේ විශාල පිරිසක් කැරැල්ල අවසාන වනවිට මියගොස් තිබිණි. විජේවීර ඝාතනයෙන් පසු සමන් පියසිරිගේ නායකත්වය යටතේ ලලිත් විජේරත්න විසින් අනුරාධපුර දිස්ත්‍රික් ශිෂ්‍ය අංශයේ ලේකම් ලෙස පේරාදෙණිය සරසවියේ වෛද්‍ය සිසු කමල් දේශප්‍රිය මන්නපෙරුම හෙවත් සෙනවි පත්කර තිබුණ බව කියති. 
පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා සිසු නන්දන ගුණතිලක 1976 සිට 1983 දක්වා එජාපයට ළැදිව සිටි අතර එජාප සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකුද විය. ඔහු ජවිපෙට එක්වූයේ සරසවි සිසුවෙකු වශයෙන් 1984දීය. අනුරාධපුර දිස්ත්‍රික් ශිෂ්‍ය අංශයේ නායකයාව සිටි නන්දන ගුණතිලක පසුව 1989 ජූලි මසදී මැදවච්චිය හෙවත් උතුරු කලාපයේ දේශපාලන අංශයේ නායකත්වයට පත් කරන ලදී. නන්දන නායකත්වය දුන් උතුරු කලාපයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය සහ වව්නියාව දකුණ යන කොට්ඨාසයන්හි පිළිවෙළින් ලේකම්වරුන් ලෙස කටයුතු කළේ මැදවච්චියේ ගෝඨාභය හෙවත් රුවන් (පසුව ටෙලිකොම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විය.) තඹුත්තේගම සංජීව, රබෑවේ චන්දන සහ මහේෂ්ය. වව්නියාව දකුණු කොට්ඨාශයේ ලේකම් වූ මහේෂ් හිටපු යුධ හමුදා සෙබළෙකි. වව්නියාව දකුණ යනු දෙමළ බෙදුම්වාදීන් මෙන්ම ඉන්දීය හමුදාවද ක්‍රියාත්මක වූ මායිමේ පිහිටි කොට්ඨාසයකි. 


විජේවීර ඝාතනයෙන් පසු නායකත්වයට පත් වූ සමන් පියසිරිගේ නායකත්වය යටතේ උතුරු මැද පළාතේද දේශපාලන සහ යුධ නායකයාව සිටි ලලිත් විජේරත්න විසින් නන්දන ගුණතිලක ත්‍රිකුණාමල දිස්ත්‍රික් දේශපාලන ලේකම් ලෙස 1989 නොවැම්බර් පත්කරන ලදී. ජවිපෙට හිතවත් කන්තලේ ක්‍රියාකාරිකයෙකුගේ නිවසේ 1989 දෙසැම්බර් සිට නන්දන රැකවරණ ලැබීය. වාද්දුවේ ගුණතිලක මාවතේ පදිංචි නන්දනගේ පියා ගුරුවරයෙකු වූ අතර නන්දනට සොයුරු සොහොයුරියන් 4කි. ඔහු අාවාහ වූයේ වාද්දුවේ පදිංචි එක්දරු මවක් වූ ප්‍රියානි පෙරේරා සමඟය. පසු කලෙක ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු බවට පත්වන නන්දන ගුණතිලක එහි ජනාධිපති අපේක්ෂකයෙකුද විය. පසුව එජාපයට එක්වූ නන්දන වසර 2018 වන විට එජාපයට බලය හිමිවූ පානදුර නගරාධිපතිය. 


දෙවැනි කැරැල්ලේ මුල් භාගයේදී එනම් 1987 දෙසැම්බර් වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවකින් සිසුන් ජවිපෙට පූර්ණකාලීනව එක්වෙමින් තිබිණි. තඹුත්තේගම කොට්ඨාසය අයත් වන්නේ තඹුත්තේගම කලාපයටය. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයද ඒ අතර විය. ඉන් එක් අයෙකු වූයේ තඹුත්තේගම නල්ලච්චිය පදිංචි 1968 නෙැවැම්බර් 24වැනිදා උපන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක හෙවත් බණ්ඩාර හෙවත් අරවින්දය. ඔහු ජවිපෙට එක්වන්නේ එප්පාවල හුරිගස්වැව මුදියන්සේලාගේ වාසල හෙවත් ලක්සිරි (පසුව හුරිගස්වැව මහා විද්‍යාලයේ ගුරුවරයෙකු විය) මගිනි. 


අනුර කුමාරගේ මවගේ සොහොයුරියකගේ පුත‍්‍රයෙකු වන තඹුත්තේගම ප්‍රේමසිරි, දාමන්ත සහ චන්දිමාල් ඇතුළු කිහිප දෙනෙකුද ඒ අතර විය. මොවුහු අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වූ හෝ පෙනී සිටි අය වෙති. එමෙන්ම නුවර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිකයෙකු වූ මල්පාන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සීවලි ගොඩගේ හෙවත් සුදා (පසුව තඹුත්තේගම සිරිලයික් ටේලර්ස්හි හිමිකරුය) ජවිපෙ මගින් නුවර දිස්ත්‍රික්කයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ශිෂ්‍ය අංශයට අනුයුක්ත කර තිබිණි. 


අනුර කුමාර, දාමන්ත, ප්‍රේමසිරි 1989 ජනවාරි සිට ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් ශිෂ්‍ය අංශයේ පූර්ණකාලීනයෝ වූහ. ගල්කිරියාගම කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ ලේකම් අනුර කුමාර දිසානායකය. එප්පාවල කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ ලේකම් දාමන්තය. ප්‍රේමසිරි තඹුත්තේගම කොට්ඨාශයේ ශිෂ්‍ය අංශයේ ලේකම්ය. දාමන්ත සහ ප්‍රේමසිරි 1989 මැද භාගයේදී කමිටු සාකච්ඡාවකට ගොස් එමින් සිටියදී එප්පාවල මාවත වැව ග‍්‍රාමයේදී පොලිස් වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. නල්ලච්චියේ පදිංචි ප්‍රේමසිරි මෙන්ම දාමන්තද අනුර කුමාරගේ ඥාතීන්ය. රාජාංගණය සිරිමාපුර උපන් තඹුත්තේගම නවසිරිගම පදිංචි චන්දිමාල්ගේ නිවසට 1989 අවසාන භාගයේදී කඩාවදින ආරක්ෂක අංශ අතුරු හමුදා කණ්ඩායමක් වන කොළ කොටි විසින් චන්දිමාල් ඇතුළු ඔහුගේ දෙමාපියන්, නැඟණිය, කනිටු සොහොයුරා ඇතුළු නිවසේ සියලුදෙනා ඝාතනය කරනු ලැබූහ. ඝාතනයට ලක්වූ චන්දිමාල්ගේ සිරුර තඹුත්තේගම විද්‍යාලය ඉදිරිපසට දමාගොස් තිබිණි. චන්දිමාල් තඹුත්තේගම කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ නායකයෙකු වශයෙන් ක්‍රියාකළ අතර ඔහුට කලින් එහි නායකයා වූයේ වාසලය.
 එක් කණ්ඩායමක් ලෙස ජවිපෙ ශිෂ්‍ය අංශයට තඹුත්තේගමින් අනුයුක්ත වූ අයගෙන් අවසානයේ ඉතිරි වූයේ වාසල, අනුර කුමාර සහ සීවලී පමණි. ජවිපෙ 2වැනි කැරැල්ල අවසාන වනවිට තඹුත්තේගම මහා විද්‍යාලයේ පමණක් සිසුන් 11ක් ඝාතනයට ලක්ව තිබිණි. මෙම වකවානුවේ තඹුත්තේගම දුම්රියපොළට ද කැරලිකරුවන් ගිනි තබා විනාශකර තිබූ අතර එහි දුම්රිය සේවකයෙකු වන සල්ගාදු විසින් ඒ පිළිබඳ ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදුන් බවට ද චෝදනාවක්ද විය. 


පසුව උද්ගතවී ඇති මෙම තත්ත්වය යටතේ අනුර කුමාර අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනත් කලාපයක් වූ නගර සීමාවට අනුයුක්ත වූ අතර අනතුරුව සංවිධානගත කටයුතුවලින් 1989 ඔක්තෝබර් පමණ දුරස්ථ විය. ජවිපෙ සමඟ මාවතවැවදී අනුර කුමාර ඒ පිළිබඳව සාකච්ඡා කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ තරුණ අංශයේ කලාපය භාරව සිටි මැදවච්චියේ පදිංචි පාලිත හෙවත් වෛද්‍යරත්න සමඟය පාලිත ජවිපෙ මුල් පෙළේ කැරලිකරුවෙකු වශයෙන් සිටියදී ඝාතනයට ලක්වූ කහටගස්දිගිලියේ හෙට්ටියාව ග‍්‍රාමයේ ගාමිණී පද්මසාරගේ ඥාතියෙකි. (සිව්දරු පියෙකු වූ පාලිත කැරැල්ලේ පරාජයෙන් පසු හම්බන්තොටට පසුබැස එහි පදිංචිවී යළි නව දිවියක් ඇරඹීය) 


පේරාදෙණිය සරසවියට තේරුණු අනුර කුමාර දිසානායක පසුව කැලණි සරසවියේදී අධ්‍යාපනය හදාරා උපාධිධාරියෙකු විය. අනුර කුමාරගේ මවගේ සොහොයුරියකගේ පුත‍්‍රයෙකු වූ ප්‍රේමසිරි ජවිපෙ 2වැනි කැරලි සමයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියදී 1989 ඝාතනයට ලක් විය. එමෙන්ම තවත් පුත‍්‍රයෙකු ආරක්ෂක හමුදාවේ සේවය කරමින් සිටියදී උතුරේ දෙමළ බෙදුම්වාදීන්ගේ බෝම්බයකට හසුව 1990දී මිය ගියේය. හමුදාවේ සේවය කළ ඔහු මියයන විට එක්දරු පියෙකි. පසු කලෙක ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ අනුර කුමාර දිසානායක ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ නික්ම යෑමෙන් පසු ජවිපෙ 5වන නායකයා බවට 2014 පෙබරවාරි 2වැනිදා පත්විය. 

 


(මතු සම්බන්ධයි)