භීෂණ සමයේ ගම්පහ දිස්ත්‍රික්කය 17කොටස


ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

 

 

ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ බොහෝ කටයුතුවලට වැඩි බරක් යොදවනු ලැබුවේ කැලණි සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසිනි. ජයවර්ධනපුර සරසවියේ සිසු කිත්සිරි මෙවන් රණවක සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලෙස්ලි කිරිබත්ගොඩ 1987 මැයි 1 කම්කරු දිනයේදී ඝාතනය වූ අතර එය සංවිධානය කිරීමට මැදිහත් වූයේ ද ජවිපෙ අදිසිව මෙහෙයවනු ලැබූ කැලණි සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවය. රණවකගේ දේහය පානදුර කුරුප්පුමුල්ලේ සිට මිනුවන්පිටිය සුසාන භූමිය දක්වා 1987 මැයි 4 ගමන්ගත් අවස්ථාවේදී කැලණි සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් එහි ගමන් ගත්තේ මෙසේය. 

ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමින් පසු එහි පූර්ණකාලීන සාමාජිකයන් සහ හිතවතුන් රැසක් විවිධ වෘත්තීන්වලට යොමුවිය. මේ 1984 සැප්තැම්බර් අම්පාර මංගලඔය අක්කර 100ක බඩඉරිඟු වගාවක් සිය පෞද්ගලික මුදලින් පවත්වාගෙන ගිය කිහිපදෙනෙකි. දැව සංස්ථාව මගින් නැවත වන වගා කිරීම යටතේ බදු දී තිබූ ඉඩම් යායට අයත් මෙම ඉඩමේ මංගලඔය වැසියන් 23ක් සේවයේ නිරත විය. වමේ සිට ජවිපෙ 2 වැනි කැරැල්ලේ ඉදිරිපෙළ සන්නද්ධ ක්‍රියාකාරිකයකු වූ ගම්පහ පහලගම පදිංචි රාජපක්ෂ ආරච්චිගේ ෂෙල්ටන් රාජපක්ෂ හෙවත් සමන් වීරසිංහ, ජවිපෙ හිතවතකු වූ රංජිත් කුරුප්පු සහ ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ගාමිණී වැන්ඩකෝන්ය. 

වාසු - බාහුගේ නායකත්වයෙන් යුත් නව සමසමාජ පක්ෂයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සම්මේලනය සහ ජනතා තරුණයෝ ක්‍රියාකාරීන්ට ද කැරැලිකරුවන්ගෙන් මරණීය තර්ජන එල්ල වූ අතර කිහිපදෙනෙක් ඝාතනයට ද පත්විය. එහෙත් කැරැල්ලේ පරාජයෙන් පසු මානව හිමිකම් සුරකීම සම්බන්ධයෙන් හඬක් නැගූ සංවිධාන අතර එම සංවිධාන ද විය. මේ එමගින් පැවැත්වූ ප්‍රදර්ශනයකදී එහි ලේකම් වසන්ත සෝමරත්න සමගින් ක්‍රියාකාරිකයන් වන පියල් පෙරේරා, ජයලත්ගේ සුනිල් ගාමිණී, ලාල් ඒකනායක, උඩුවෙල නන්ද හිමි, පිලිප් දිසානායක, මලීන් දිසානායක, ශෂී පීරිස්, රුවන් සිතුආරච්චි, බුද්ධික ජයසේකර, සුජීව රන්දෙණිය සහ උපාලි ධර්මදාස ඡායාරූපයකට මුහුණ දුන් අයුරුය. 

කැරැලිකරුවන් විසින් ගම්පහ මිනුවන්ගොඩ ආසනයේ පදිංචිකරුවන්ගෙන් පැහැරගත් ජාතික හැඳුනුම්පත් දහස් ගණනක් උඩුගම්පොල කැලෑබද ප්‍රදේශයකින් 1990 අගෝස්තු හමුවූ අයුරු.

 

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරැලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි.   


උතුරු දෙසින් මහ ඔය ද දකුණු දෙසින් කැලණි ගඟ ද බටහිර දෙසින් මහා සමුදුර ද නැගෙනහිර දෙසින් අඩි දාහේ සමෝච්ච රේඛාව ද ගම්පහ දිස්ත්‍රික්කයේ මායිම් ලෙස සැලකේ. එය උතුරින් පුත්තලම, කුරුණෑගල සහ දකුණින් කොළඹ, නැගෙනහිරින් කෑගල්ල යන ආසන්න දිස්ත්‍රික්කවලට මැදිව පිහිටා ඇත. විශාලත්වය වර්ග කිලෝමීටර් 1,386 කි. 
අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, ජාඇළ, කටාන, කැලණිය, මහර, වත්තල, දොම්පේ, මිනුවන්ගොඩ, මීරිගම සහ මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක ආවරණය ලබන ගම්පහ දිස්ත්‍රික්කය ග්‍රාම නිලධාරී කොට්ඨාස 1,177කින් සමන්විතය. ගම්මාන 1,810ක් එයට අයත්ය. ගම්පහ දිස්ත්‍රික්කය අලුත්කුරු, දකුණු, හාපිටිගම්, උතුරු හාපිටිගම් සහ සියනෑ යන කෝරළ 4කින් යුක්තය. 


ජවිපෙ 2 වැනි කැරැලි සමය මුල් භාගයේදී එනම් 1986 දී දේශපාලන අතින් පරිණත වූ වඩාත් ඉදිරිපෙළ කැරැලිකරුවන් ගණනාවක් බිහිවූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ජවිපෙ 1983 ජුලි තහනමට පෙර බස්නාහිර පළාතේ වඩාත් ක්‍රියාකාරී දිස්ත්‍රික්කය වූයේ ද ගම්පහය. 


හැත්තෑව දශකයේ අග භාගයේදී ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන්ම සිටි ජවිපෙ නායකයන් සහ ක්‍රියාකාරීන් අතර ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අර්ඩ්ලි ෆ්‍රැන්සිස් ද වාස් තිලකරත්න, 1978 ගම්පහ දිසා ලේකම් ජයසිංහ ලොකුතාඹුගල, ගුණරත්න වනසිංහ, රාගම සමරප්පුලිගේ සෝමසිරි, කැලණි සරසවියේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයකු වූ සුදස්සන පොන්වීර, බන්දු, ඩබ්. ගුණසෝම, ඊ.පී. මෙන්ඩිස්, වික්‍රමලාගේ ජයතිලක, අයි. කුවින්ටන් ප්‍රනාන්දු, කොල්වින්, ඒ. අයිවන් එෆ්. ද සිල්වා, ආර්.පී. රත්නසිරි, බී.ඩී. ධර්මදාස, ඩබ්.ආර්.එච්. වසන්ත ප්‍රනාන්දු, ගුණදාස ආටිගල, නෙවිල් ජයසේකර ඇතුළු කිහිපදෙනෙක්ම වූහ. ජවිපෙ කාර්යාලය පිහිටියේ ගම්පහ කොළඹ පාරේ රෝයල් ස්ටුඩියෝ අසල වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දුට අයත් ඔහුගේ නිවෙස පිටුපස පිහිටි කුඩා ගොඩනැගිල්ලකය. ජවිපෙ තහනමත් සමඟ අන් දිස්ත්‍රික්ක මෙන් ගම්පහ දිස්ත්‍රික්කයේත් ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට පත්විය. එච්.බී. හේරත්, යක්කල ඒ.එල්.එම්. සලීම්, ගම්පහ කිංස්ලි, ජාඇල විමලේ, සරත් ඇතුළු කිහිපදෙනෙක් ඒ අතර වූහ. 


පක්ෂ තහනමට පෙර ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජවිපෙ ක්‍රියාකාරිකයන් සිය ගණනක් සිටි අතර පක්ෂ තහනමින් පසු 1984 වනවිට ඉන් ඉතිරිව සිටියේ 30කට ආසන්න පිරිසකි. ඒ අතර යක්කල විමලේ, සපුගස්කන්දේ තිලක්, යූ.ඒ. නන්දසීලි, මීගමුවේ විජේරත්න, එල්.එච්. ගාමිණී ගුණසේකර, සුනිල් අබේරත්න, පතී දිලිප් ප්‍රනාන්දු, ගාමිණී වැන්ඩකෝන්, ජාඇල විමලරත්න, ෂෙල්ටන් රාජපක්ෂ, පැතිකඩේ සමන්ත, වේයන්ගොඩ ශෂී කුමාර්, සමන් පියසිරි, කටානේ ඩග්ලස් ඇන්ටනි, මීරිගම පල්ලේවෙල වික්‍රමලාගේ ජයතිලක, මීගමුවේ කුරණ ජස්ටින් පෙරේරා, සුදත්, වනවාසල සරත් ගුණරත්න, ගම්පහ අස්ගිරියේ පියල් විජේසිංහ, මහවත්තගේ බන්දුල ලක්ෂ්මන් ජයවීර හෙවත් කළු මල්ලි, සමන් දොරපේවිතාන, දෙබරවැව ගාමිණී, රණසිංහ, පොතුහැර උපාලි, වේයන්ගොඩ මහින්ද ජයවර්ධන, කැලණියේ වනවාසල ආනන්ද පාලගෙදර සරත් ගුණරත්න ඇතුළු පිරිසක් වූහ. 
දිසා කමිටුවේ ප්‍රථම විධිමත් සාකච්ඡාව මීරිගම රුක්මන් සේනානායකට අයත් නිවෙසක 1985 ජනවාරි පැවැත්විණි. ජවිපෙට අරමුදල් තරකර ගැනීමේ ප්‍රයත්නයකදී දෙබරවැව ගාමිණී ගණේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට පත්විය. එහෙත් ගණේමුල්ල පොලිසිය කියා සිටියේ ගාමිණී සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගත් බවකි. ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ඉදිරියෙන් සිටි අයගෙන් ප්‍රථමයෙන් ඝාතනයට පත්වූ කිහිපදෙනා අතර දෙබරවැව ගාමිණී ද විය. ජවිපෙ 1978 හිටපු දිසා ලේකම්වරයා වූ ජයසිංහ ලොකුතාඹුගල ගම්පහ පොලිසිය මගින් 1989 අත්අඩංගුවට ගත් අතර පසුව ඝාතනයට ලක්විය. 


ජවිපෙ 2 වැනි කැරැලි සමයේ එනම් 1986 සිට 1990 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ජවිපෙ දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන් වූයේ මීරිගම වික්‍රමලාගේ ජයතිලක, වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි හෙවත් උපාලි, වලස්මුල්ලේ ධර්මවර්ධන මුණසිංහ හෙවත් අජන්ත, රංජිදන් ගුණරත්නම් හෙවත් මහේෂ් හෙවත් අර්ජුන, දෙබරවැව සරත්, උපාලි ගමගේ හෙවත් රවි හෙවත් මහානාම ඇතුළු කිහිපදෙනෙකි. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ දෙබරවැව ගාමිණී, කුලියාපිටියේ උපාලි, වැලිසර දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී හෙවත් සොයිසා, අමරදාස කුරුප්පු හෙවත් අමරේ, බණ්ඩාර කරුණාරත්න, වේයන්ගොඩ ෂෙල්ටන් ඇතුළු පිරිසකි. 


දිසා ලේකම්වරුන් පිළිබඳව විස්තර ලුහුඬින් මෙසේය. ජවිපෙ තහනමට පෙර ගම්පහ බොහෝ පක්ෂ කඳවුරු පැවැත්වූයේ මීරිගම මුද්දරගමය. එම කඳවුරු මෙහෙයවන ලද්දේ මීරිගම පල්ලේවෙල පදිංචි වික්‍රමලාගේ ජයතිලකය. සමන් පියසිරි ප්‍රනාන්දු ද සිසුවකු වශයෙන් සිටියදී මීරිගම මුද්දරගම සත් දින අධ්‍යාපන කඳවුරුවලට 1978 දී සහභාගී වූවෙකි. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ප්‍රබල ක්‍රියාකරිකයකු වූ වික්‍රමලාගේ ජයතිලක අත්අඩංගුවට පත්ව මැගසින් බන්ධනාගාරයේ සිටියදී ජවිපෙ මගින් මුදවාගත් අතර යළි කැරැල්ලට එක්විය. කැරැල්ලේ අගභාගය වන 1989 දෙසැම්බර් මස ජයතිලක මැලේරියා රෝගය වැළඳී දැඩි ලෙස පීඩා විඳි අතර හොරණ නිවෙසක සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඝාතනය විය. ගම්පහ දේශපාලන දිසා ලේකම් වශයෙන් කලක් කටයුතු කළ වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි හෙවත් උපාලි කැරැල්ල අවසාන කාලයේ අම්පාර දිසා ලේකම් වශයෙන් කටයුතු කළේය. අම්පාර උහනදී පොලිස් අත්අඩංගුවට පත්වූ උපාලි පොලිස් නිලධාරීන් සමඟ වාහනයක ගමන් කරමින් සිටියදී කැරැලිකරුවන් විසින් ඇටවූ බිම් බෝම්බයක් පිපිරීමෙන් එම පොලිස් නිලධාරීන් සමඟින් මරුමුවට පත්විය. උපාලි එම වාහනයේ ගමන් කරන බව කැරැලිකරුවන් දැන සිටියේ නැත. 


වලස්මුල්ලේ ධර්මවර්ධන මුණසිංහ හෙවත් අජන්ත හම්බන්තොට වලස්මුල්ල වරාපිටිය විදුහලෙන් 1972 දී සාමාන්‍ය පෙළ ද බද්දේගම රතනසාර පිරිවෙනින් උසස් අධ්‍යාපනය ද ලැබීය. පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයට 1977 ඇතුළත් වූ ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයෙකි. පසුව පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයා විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ 1979/80 ලේකම්වරයාය. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි 1981 දැවැන්ත සිසු උද්ඝෝෂණයේ මුල්පෙළේ නායකයෙකි. උපාධිධාරියකු ලෙස 1981 සරසවියෙන් පිටවිය. ජවිපෙ ගාල්ල දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරයා වශයෙන් ද කලක් කටයුතු කරන ලද අතර මධ්‍යම කාරක සභිකයෙකි. 


පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුවකු වශයෙන් 1981 මාර්තු 2 ඇතුළු වූ රංජිදන් ගුණරත්නම්ගේ ශිෂ්‍යභාවය උදලාගම කොමිසම විසින් 1983 දී අහෝසි කරන ලදී. ජවිපෙ මධ්‍යම කාරක සභිකයකු ද වූ රංජිදන් ගුණරත්නම් කුරුණෑගල දිසා ලේකම් වශයෙන් ද කලක් කටයුතු කරන ලදී. කුරුණෑගලදී 1989 දෙසැම්බර් 13 අත්අඩංගුවට ගැනීමෙන් පසු 1990 ජනවාරි මස කොළඹදී ඝාතනයට ලක්විය. උපාලි ගමගේ හෙවත් රවි හෙවත් මහානාම ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. පේරාදෙණිය සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ප්‍රේමානන්ද හිමි නමින් සිටියදී උපැවිදි වී ජවිපෙට පූර්ණකාලීනව එක්විය. අවසාන කාලයේදී ජවිපෙ සංස්කෘතික අංශයේ නියමුවකු විය. ගම්පහ දේශපාලන දිසා ලේකම්ව සිටියදී 1990 අප්‍රේල් 6 සිදුවීමේ දී අත්අඩංගුවට පත්ව ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස් බැරැක්කයක පිහිටි වධකාගාරයේ රඳවා සිටි අතර පසුව 1990 මැයි ඝාතනයට පත්විය. ඒ සමඟම ඔහුගේ බිරිඳ බව කියන සේපාලි සහ දරුවා ද ඝාතනයට පත්වූ බව කියති. 


ගම්පහ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයකු වූ යූස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී හෙවත් සුගත් හෙවත් සොයිසා වැලිසර පදිංචිකරුවෙකි. කතෝලිකයෙකි. පියා විදුහල්පතිවරයකු වූ අතර පවුලේ සිව්දෙනෙකි. ජවිපෙ සමඟ 1984 පූර්ණකාලීනව එක්වූ පතී 2 වැනි කැරැල්ලේ පෙරමුණේම සිටි සන්නද්ධ නායකයෙකි. කටුනායක ගුවන් හමුදා කඳවුර, බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකින් අවි පැහැර ගැනීමේ ප්‍රහාරයන්ට නායකත්වය දුන්නෙකි. මැගසින් බන්ධනාගාරයෙන් 1988 දෙසැම්බර් 13 ජවිපෙ විසින් මුදාගත් කැරැලිකරුවන් 221 දෙනා අතර ඔහු ද විය. ආරක්ෂක හමුදා අත්අඩංගුවට 1989 දෙසැම්බර් 28 පත්වූ අතර පසුව සමන් පියසිරි ප්‍රනාන්දු, රාගම සෝමේ, රත්නායක සමගින් පතී 1989 දෙසැම්බර් 29 ඝාතනයට පත්විය. විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් ඝාතනයෙන් පසු ජවිපෙ යළි ගොඩනැඟීම සඳහා දිවුලපිටියේ බල්ලපාන අන්නාසි වත්තේදී පැවැති කමිටු සාකච්ඡාවකට ගොස් සිටියදී 1990 අප්‍රේල් 2 ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. එවකට ගම්පහ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් වූ ෂෙල්ටන් 1990 අප්‍රේල් 5 ඝාතනයට පත්විය. 


ගම්පහ දිස්ත්‍රික්කය කලාප 4කට බෙදා තිබූ අතර ඉන් පෑලියගොඩ කලාපයේ සන්නද්ධ අංශයේ නායකයා වූයේ දිවුලපිටිය ඉහළ මඩම්පැල්ලේ ආනන්ද ජයරත්න හෙවත් නිශාන්ත හෙවත් සමන්තය. වසර 1967 ජුලි 24 උපන් ආනන්ද 1986 යුද හමුදාවේ සේවයට ගොස් 1987 ඉන් ඉවත්ව ජවිපෙ පූර්ණකාලීනයකු විය. පසුව ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පැලවත්ත කඳවුරේ රැඳවියකු වූ අතර 1988 ඔක්තෝබර් 29 ඉන් පලාගිය කැරැලිකරුවන් 110 දෙනා අතර ඔහු ද විය. ගම්පහ දිස්ත්‍රික් කලාප ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටියදී 1989 ජුනි 18 අත්අඩංගුවට පත් ආනන්ද ජයරත්න ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස් බැරැක්කයක පිහිටි වධකාගාරයේදී වධබන්ධනයට ලක්වීමෙන් 1989 ඔක්තෝබර් ඝාතනයට පත්විය. ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් සන්නද්ධ කලාප නායකයන් දෙදෙනෙක් වූ රත්නායක සහ අමරපාල ද අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය. නයිවල කාර්මික විදුහලේ පවත්වාගෙන ගිය යුද හමුදා කඳවුරේ ප්‍රධානියා වූ කපිතාන් ජයන්ත කොතලාවල ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ රෝහල පිටුපස පිහිටි නිවෙසක සාකච්ඡාවකට යමින් සිටියදීය. 


ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශය ද ඉතා ක්‍රියාකාරී මට්ටමක පැවැතියේ කොළඹ සරසවියේ ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ගණනාවක් එහි පූර්ණකාලීනව කලාප සහ කොට්ඨාස නායකයන් වශයෙන් කටයුතු කිරීම නිසාය. ඒ අතර කොළඹ සරසවි විද්‍යා පීඨයේ සිසු මිනුවන්ගොඩ හේමන්ත චන්ද්‍රසිරි, වාණිජ පීඨයේ සමන් කපුගමආරච්චි, ශ්‍රාස්ත්‍ර පීඨයේ බී.කේ.එස්.ඩී. රොද්‍රිගු, අනිල් හෙට්ටිආරච්චි, අබේසේකර, තිසේරා වූහ. මින් කිහිපදෙනෙක් ස්වාධීන ශිෂ්‍ය සංගමය මගින් ඝාතනය කරන ලදී. 


ආරක්ෂක අංශ මගින් දිස්ත්‍රික්කය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට පෑලියගොඩ පොලිස් කාර්යාල ගොඩනැගිල්ල, යක්කල මහා විද්‍යාලයේ පිහිටා තිබූ යුද හමුදා කඳවුර, යක්කල යුද හමුදා කඳවුර, චිත්‍රා පාරේ පිහිටි ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස් බැරැක්කයක පිහිටි වධකාගාරය, නයිවල හමුදා කඳවුර, හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලය, ගණේමුල්ල කමාන්ඩෝ යුද හමුදා කඳවුර, බටලන්ද කඳවුර, සපුගස්කන්ද පොලිස් ස්ථානය, ගම්පහ කච්චේරියේ පිහිටා තිබූ පොලිස් කඳවුර යන ස්ථානවලදී තිරස්චීන වධබන්ධන පැනවූ බවට චෝදනා විය. ගම්පහ කච්චේරියේ තිබූ වධකාගාරය හඳුන්වන ලද්දේ ලෙබනන් යන නමිනි. කැරැල්ල අවසන් මාසයේ 15ක් පමණ දෛනිකව ඝාතනය වූහ. නයිවල හමුදා කඳවුර මගින් වරෙක එහි රඳවා සිටි සැකකරුවන් 41ක් එකම දිනයකදී ඝාතනය කර එම මළසිරුරු වේයන්ගොඩ, නයිවල සහ ඒ අවට ප්‍රදේශවල දමා තිබිණි. 
දිස්ත්‍රික්කයේ වැදගත් සහ ප්‍රමුඛතම ආරක්ෂක මධ්‍යස්ථානයක් වූ කටුනායක ගුවන් හමුදා කඳවුරට 1987 ජුනි 7 සහ 1988 අප්‍රේල් 22 ප්‍රහාරයන් දෙකක් එල්ල කර අවි ආයුධ තොගයක් දෙවරකදී පැහැර ගැනීමට කැරැලිකරුවෝ සමත් වූහ. මෙහිදී පිටතින් පැමිණි කැරැලිකරුවන්ට නවාතැන් දීම, සංවිධානය කිරීම, ආයුධ සඟවා තබන ආමරි ඉදිකිරීම ඇතුළු සියලු කටයුතු සම්බන්ධීකරණය කළේ ද ගම්පහ සන්නද්ධ අංශය මගිනි. කටුනායක ප්‍රථම ප්‍රහාරයේ කැරැලිකරුවන් වූ තණමල්විල රණසිංහ, පිටබැද්දර මල්පුදන ඇල්ලේ ගුණපාල සහ අකුරැස්සේ ආරියපාල කොඩිතුවක්කු මරුමුවට පත්වූහ. දෙවැනි ප්‍රහාරයේදී සුමිත් රණසිංහ, කැලණි සරසවියේ රොනී කුමාර සහ කාන්තා ක්‍රියාකාරිනියක් වූ මේධානි යන කැරැලිකරුවන් තිදෙනා ද ඝාතනය විය. එහිදී ප්‍රහාරයට පැමිණි 46 කණ්ඩායමින් කැරැලිකරුවන් 11ක් අත්අඩංගුවට පත්විය. කටුනායක ගුවන් හමුදා කඳවුරට දෙවරකදී පහරදීම සම්බන්ධයෙන් රජය මගින් විත්තිකරුවන් 24 දෙනකුට වසරකට පසු නඩු පැවැරූ අතර මැගසින් බන්ධනාගාරයට කැරැලිකරුවන් විසින් 1988 දෙසැම්බර් 13 එල්ල කළ ප්‍රහාරය මගින් එම සැකකරුවන් 24 ඇතුළු කැරැලිකරුවන් 221 දෙනකු මුදවා ගන්නා ලදී. රාගම පොලිසියට 1989 ජනවාරි 28, සපුගස්කන්ද පොලිසියට 1989 ජුලි 17 සහ වත්තල පොලිසියට 1989 නොවැම්බර් 1 ප්‍රහාරයක් එල්ල කළ කැරැලිකරුවන් එහි ආයුධ තොගයක් ද පැහැරගන්නා ලදී. 


ගම්පහින් බිහිවූ කැරැලිකරුවකු වූ පියල් විජේසිංහ කැරැල්ලේ පරාජයෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ හේනක සිටියදී අවි ගත් පිරිසක් විසින් 1989 අප්‍රේල් මස කපා කොටා ඝාතනය කර තිබිණි. එමෙන්ම ගම්පහ තවත් මුල්පෙළේ කැරැලිකරුවකු වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධන නිදහස්වීමෙන් පසු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබිණි. එයට හේතුව බව කියනුයේ ඔහුගේ දරුවකු කටුනායක ගුවන්තොටුපළට අදාළ රජයේ රැකියාවකට තෝරාගෙන පත්වීමක් ලද අතර එය ඔහු හිටපු කැරැලිකරුවෙක් වීම හේතු කොටගෙන දරුවාගේ එම පත්වීම පසුව අවලංගු කිරීමය. 

 

කළුතර පැලවත්ත ඇතුළු රැඳවුම් කඳවුරුවලින් මුදාගත් හෝ පැනගිය කැරැලිකරුවන් 568 දෙනා අතරින් ගම්පහ දිස්ත්‍රික්කයේ කැරැලිකරුවන් කිහිපදෙනෙක් මෙහි වමේ සිටය. කඩවත දිසානායක මුදියන්සේලාගේ ගුණතිලක හෙවත් සුනිල්, රාගම ඇල්පිටිවල කොන්ගනිගේ ඩග්ලස් ඇන්තනි, දොන් රත්නසිරි, ගම්පහ අළුත්ගම අරංගල්ලගේ ලක්ෂ්මන් වසන්ත සහ රාගම හීන්කන්දේ අලගියදුර ක්ලැරන්ස් සිල්වා. 

ජවිපෙට එරෙහිව සිටි සමාජවාදී ජනතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ෆැන්සිස්කෝ හෙට්ටිගේ කැමිලස් සිල්වා ළමා වියේදී, ජවිපෙ ක්‍රියාකාරීන් වශයෙන් සිට 1989 සැප්තැම්බර් 25 අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්වූ මීගමුවේ ආර්.ඩබ්ලිව්.එම්. නිකලස්, කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සේවකයෙක් වූ මාදම්පේ ජයන්ත රාජරත්න මුතුකුමාරණ හෙවත් මුතූ, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වශයෙන් සිටියදී 1989 ඔක්තෝබර් 27 කටුනායකදී ආරක්ෂක අංශ මගින් ඝාතනයට පත්වූ කටුනායක නීති ආධාර කේන්ද්‍රයේ හේරත් මුදියන්සේලාගේ රංජිත් සහ මදුරප්පෙරුමලාගේ ලයනල් මෙහි වමේ සිටය. 

සංවර්ධන සභා ඡන්දය 1981 ජුනි 4 පැවැති අවස්ථාවේදී ජවිපෙන් ප්‍රථම වරට ගම්පහෙන් පත්වූ ජනතා නියෝජිතයන් දෙදෙනා වන දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න සහ ජයසිංහ ලොකුතාඹුගල ද, ජවිපෙ 2 වැනි කැරැල්ලේදී සන්නද්ධ අංශයේ ඉහළම පෙළේ නායකයකු වූ මධ්‍යම කාරක සභික රාගම හලන්දාරුවේ උපන් සමරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේ, ගම්පහ දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරයකු වශයෙන් සිටි රංජිදන් ගුණරත්නම් හෙවත් මහේෂ් හෙවත් අර්ජුන, ගම්පහ දිස්ත්‍රික් කලාප සන්නද්ධ ලේකම්වරයකු වූ හිටපු හමුදා සෙබළ දිවුලපිටියේ ඉහළ මඩම්පැල්ලේ ආනන්ද ජයරත්න හෙවත් නිශාන්ත හෙවත් සමන්ත මෙහි වමේ සිටය. 

 

 

 


පැලවත්ත උමගින් ජවිපෙ කැරැලිකරුවන් දෙවැනි වරට පලා ගියේ 1992 සැප්තැම්බර් 19 දිනය. එහිදී 64 දෙනකු පළායෑමට එක්වී සිටි අතර ඔවුනට මහාධිකරණයේ පමණක් නඩු 19ක් විය. එහෙත් 64න් පලායෑමට හැකි වූයේ 10කට පමණි. එසේ පළාගිය සැකකරුවන් 10න් බහුතරය ගම්පහ, ජාඇල සහ මීගමුව පදිංචිකරුවෝ වෙති. එම පලා ගිය 10 අතර සමරතුංග ආරච්චිගේ උපාලි අරුණ ශාන්ත, අලගයාදුර ක්ලැරන්ස් සිල්වා, කෝන්ගහගේ ඩග්ලස් ඇන්තනි, අරංගල්ලේ ලක්ෂ්මන් වසන්ත, විජේන්ද්‍ර වඩුගේ වීරසිරි ජයරත්න, කංකානපතිරගේ උපාලි ජයවර්ධන, වත්තල දොන් දුරෙයිලාගේ පියසේන, රන්පටි දේවයාලාගේ උපාලි වීරසිංහ, කේ. චන්ද්‍රදාස විජේමාන්න (අවිස්සාවේල්ලේ එජාප පළාත් සභා මන්ත්‍රී වික්‍රමරත්න රැස්වීමක් අමතමින් සිටියදී පැහැරගත් ලොරියකින් ගොස් වෙඩි තබා ඝාතනය කළේ ඔහු විසිනි. පසු කලෙක පාදුක්කේ වතු ගැටුමකදී මරුමුවට පත්විය), රණසිංහ ආරච්චිගේ සංජය චමින්ද පෙරේරා (ඔහුගේ සොහොයුරා වූ රංජිත් ද බම්බලපිටිය පොලිස් බළකා මූලස්ථානයට කඩාවැදීමේ සිද්ධියට ද සම්බන්ධ අයෙකි. පසුව ප්‍රහාරයකදී ඝාතනයට ලක්විය. 


ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජවිපෙ බලකොටු වූයේ මීරිගම සහ දිවුලපිටිය යන ආසනවල ගම්මාන කිහිපයකි. මෙම ගම්මාන කිහිපයක් කැරැලිකරුවන්ගේ කටයුතුවලට තෝතැන්නක් විය. එමෙන්ම බෝම්බ නිෂ්පාදනය කිරීම බොහෝ විට සිදුවූයේ ගෝනහේන, බැන්ඩියමුල්ල, කඩවත සහ කිරිල්ලවල නගරාසන්න ප්‍රදේශවලය. ගෝනහේන සහ කඩවත නිවාසවල බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකය මගින් කැරැලිකරුවන් 7 දෙනකු 1989 ජුලි 10 අත්අඩංගුවට ගනු ලැබීය. එමෙන්ම බ්‍රැන්ඩියමුල්ලේ බෝම්බ නිෂ්පාදනය කරමින් සිටි පිරිසක් 1989 මැයි 18 අත්අඩංගුවට ගැනීමේදී එහි සිටි කැරැලිකරුවන් ආරක්ෂක අංශ වෙත යටත් නොවී ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී කැරැලිකරුවන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගිය අතර ඉන් එක් අයකු වූයේ රුහුණු සරසවියේ විද්‍යා පීඨයේ 1986 කණ්ඩායමේ සිසු ප්‍රියශාන්ත දඩල්ලගේ හෙවත් සමන් ය. මෙහි සම්බන්ධීකරණය සිදුකරන ලද එක් ස්ථානයක් වූයේ වතුපිටිවල තරුණ පුහුණු පාසලේ අත්හැර දමන ලද ගොඩනැගිල්ලකි. 


ජවිපෙ 2 වැනි කැරැල්ල අවසානයේදී එනම් විජේවීර ඝාතනයෙන් පසු ගම්පහ දිස්ත්‍රික් දිසා කමිටුවෙන් අවසානයේ ඉතිරි වූයේ සාමාජිකයන් දෙදෙනෙක් පමණි. අන් සියල්ලම අත්අඩංගුවට පත්ව හෝ ඝාතනයට ලක්වී හෝ වගකීම් අතහැර පළාගොස් තිබිණි. ඉතිරි වූ දෙදෙනා වූයේ කැලණි සරසවියේ සිසුවකු වූ බී. ජයතිලක සහ ශිෂ්‍ය අංශයේ නායකයකු වූ රුහුණු සරසවි විද්‍යා පීඨයේ සිසු ධර්මසිරි හෙවත් ප්‍රසන්න හෙවත් හේවාය. ජයතිලකගේ නිවෙස ද ගිනි තබා තිබිණි. විල්පත්තුවට යාබද ග්‍රාමයක රැකවරණය යටතේ සිටි ජයතිලක තෙවසරකට පසු කැලණි සරසවියට යළි පැමිණ අධ්‍යාපනය හදාරා උපාධිධාරියකු විය. නායක සමන් පියසිරි විසින් 1989 නොවැම්බර් අවසානයේදී ගම්පහ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන සහ සන්නද්ධ ලේකම්වරයකු අලුතින් පත්කරන ලදී. (ජවිපෙ 2 වැනි කැරැලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)