භික්ෂුවකට අපහාස කළ තෝමස්ට පිස්සු


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

 

බාඳුරාගොඩ කැප්පිටිවලාන ඩබ්ලිව්.ටී. රූපසිංහ මහතා ලියා එවූ කතාවකි.


මෙය මීට වසර ගණනාවකට පෙර සිදු වූ සත්‍ය සිද්ධියකි. තෝමස් මුදලාලි නමින් හඳුන්වන මොහු ප්‍රදේශයේ විසූ ධනවත්ම පුද්ගලයා විය. අසාධාරණකම් නොකර හොර ජාවාරම් ද නොකර ස්වෝත්සාහයෙන්ම දියුණුවට පත් වූ තෝමස් මුදලාලි සතුව කඩ සාප්පු ආදී ව්‍යාපාරික ස්ථාන කීපයක්ම තිබිණි. ඒවායෙහි ව්‍යාපාරික කටයුතු මනාලෙස කරමින් සේවකයින් ගණනාවකට රැකියාව ලබා දෙමින් හෙතෙම ඉතා සුඛෝපභෝගී දිවියක් ගත කළේය. තම ව්‍යාපාරික කටයුතු සඳහා ලොරි, වෑන් ආදී රථ ද තමාගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා සුඛෝපභෝගී වටිනා කාර් රථයක් ද නිවසේ බිරිඳ සහ දරුවන්ගේ ගමන් බිමන් සඳහා තවත් කාර් රථයක් ද ආදී වශයෙන් රථවාහන ගණනාවකම හිමිකරුද විය.


කෙතරම් ධන ධාන්‍යයෙන් වත් පොහොසත්කමින් ආඪ්‍ය වුවද තෝමස් මුදලාලිගේ එක් දුර්වලතාවයක් ද විය. නිතර කිපෙනසුළු බව මෙන්ම දනට පිනට දහමට කිසිම ඇල්මක් තැකීමක් ඔහුට පිහිටා තිබුණේ​ නැත. තම ව්‍යාපාරික ස්ථානයට ඉතා සමීපව පිහිටි විහාරස්ථානයට පවා නොගිය, ආධාරයක් උපකාරයක් නොකළ හෙතෙම නාමිකව පමණක් බෞද්ධයකු විය. ස්වාමීන් වහන්සේලා කෙරේ දැක්වූයේ ද මහා අප්‍රසන්න බවකි.


කාලය ගෙවී යද්දී ගමේ පංසලේ නායක ස්වාමින් වහන්සේ සහ දායක සභාව එක් වී විහාරස්ථානයේ දින කීපයක මහා පිංකම් මාලාවක් පැවැත්වීමට තීරණය කරන ලදී. පිරිත් දේශනා, ධර්මදේශනා, බෝධි පූජා, භාවනා වැඩසටහන් ආදී පුණ්‍යකර්ම රාශියක් මෙම පිංකම් මාලාවට අඩංගු විය. විහාරස්ථානය, විහාරස්ථානයට යන මාර්ග මෙන්ම අසල කඩ වීදිය ආදී ස්ථාන බෞද්ධ කොඩිවලින් මෙන්ම අලංකාර විදුලි බුබුළුවලින් මනා ලෙස සරසන ලද අතර ස්ථාන කීපයකම ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරන ලදී. විහාරයේ සිදු කෙරෙන පිංකම් පිළිබඳ විස්තර මෙන්ම පිරිත් ​ෙද්ශනා ධර්ම දේශනා විහාරයට දුර බැහැර අයට පවා දැන ගැනීමට මෙම ශබ්ද විකාශන උපකාරි විය. මේ අතර එක් ශබ්ද විකාශන යන්ත්‍රයක් තෝමස් මුදලාලිගේ සාප්පුව ඉදිරියේ වූ ගසක ද සවිකර තිබුණි. ඒ කඩ වීදියට බොහෝ ජනතාව යන එන හෙයින් ඒ තුළින් විශාල ප්‍රචාරයක් ලබා දීමට හැකි බව පිංකම් සංවිධායකයින් අදහස් කළ නිසාය.


එහෙත් මෙම ශබ්ද විකාශන ක්‍රියාත්මක වෙද්දී තෝමස් මුදලාලිගේ පවුකාරකම, මෝඩකම, උඬගුකම ආදී සියලුම දුර්ගුණ ඉස්මතුවෙන්නට විය. හෙතම පරළ වූ කපුවකු මෙන් ඒ මේ අත ඇවිදිමින් අත් පා සොලවමින් ස්වාමීන් වහන්සේටත් පිංකම් සංවිධායකයින්ටත් බැණ අඬ ගැසීමට කෑ කෝ ගැසීමට පටන් ගති.


කව් ද යකෝ මගේ කඩේ ළඟ ඉස්පීකර් බැන්දේ. මොකා වුණත් මම පෙන්නන්නම් මගේ හැටි යයි කියමින් ලහි ලහියේම කෙක්කක් සපයා ගෙන ශබ්ද විකාශනයට සම්බන්ධ කර තිබූ විදුලි රුහැන් ඇද කඩා දමා ශබ්ද විකාශනය ද කෙක්කෙන් ඇද දමන ලදී. එතෙකින් නොනැවතුන හෙතෙම පංසල වෙත දුව ගියේය. දායක කාරකාදීන් ද පිංකම සඳහා අවට ගම්වලින් පැමිණි ආගන්තුකයෝ ද පංසලේ නායක ස්වාමීන් වහන්සේ ද, තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක් ද ආගිය තොරතුරු පිංකම් මාලාවේ තොරතුරු කථා බස් කරමින් සිටි අතරට කඩාපැන තෝමස් මුදලාලි නායක හිමියන්ට තම කඩය අසල ශබ්ද විකාශනයක් සවි කිරීම පිළිබඳ ඉතා අශො​්භන ලෙස දොස් පවරමින් බැණවදින්නට විය. පිටස්තර පිරිසක් මැද මෙසේ බැණුම් ඇසීමට සිදුවීම නායක හිමියෝ මහත් අසීරු තත්ත්වයකට පත් වූහ. තෝමස් මුදලාලිට ඉතා කරුණාවෙන් කරුණු පැහැදිලි කිරීමට නායක හිමියන් උත්සාහ කළ ද ඉන් ඵලක් නොවීය. තව තවත් ස්වාමීන් වහන්සේට දෙස් පැවරූ තෝමස් මුදලාලි විහාරස්ථානයෙන් පිට වූයේ කෝපයෙන් වෙව්ලමිනි.


මෙම සිද්ධියෙන් සතියකට පමණ පසු තෝමස් මුදලාලිගේ එක් සාප්පුවක් විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනි ඇවිලුනි. දැඩි සේ පැතුරුණු ගින්නෙන් වෙළෙඳසලට දැඩි හානි සිදු විය. තවත් දින කීපයකට පසු ඔහුට අයත් ලොරි රථයක් එහි පැටවූ බඩුත් සමග හෙළකට පෙරලී ලොරි රථයට මෙන්ම භාණ්ඩවලට තද බල අලාභ හානි සිදු විය. එහෙත් ලොරි රියදුරාට කිසිදු හානියක් නොවීම ආශ්චර්යයකි. මෙම සිද්ධි නිසා තෝමස් මුදලාලිගේ ආදායම් පිරිහීමට පටන් ගති. ව්‍යාපාර පවත්වාගෙන යාම ද අසීරු විය. වෙළෙඳසල ගිනි ගැනීම හා ලොරි රථය පෙරළීම ගැන හෙතෙම තම සේවකයින්ට මහත් සේ දොස් පැවරීමට පටන් ගත් නිසා සියලුම සේවකයින් වැඩට එ්ම අත්හරින ලදී. ඒ අනුව තෝමස් මුදලාලි තනි විය. අග හිඟ වැඩිවන විට නිවසේ පාවිච්චියට තිබූ කාර් රථය විකුණා දැමීමට ඔහුට සිදුවිය.


කෙතරම් මුදල් තිබුණත් ආදායම් බදුවලින් බේරීමට සිතා කල් බදු ක්‍රමයට රැගෙන තිබූ ඔහුගේ සුඛෝපබෝගී රථයට නියමිත බදු ගෙවීමට නොහැකි වීම නිසා අදාළ බදු සමාගම එකී රථය රැගෙන යන ලදී. මේ අනුව සිංහයෙකු මෙන් සිටි තෝමස් මුදලාලි අන්ත අසරණ භාවයට පත්විය. වැඩි දවසක් යාමට පෙර තෝමස් මුදලාලි මානසික ව්‍යාකූල තත්ත්වයට පත් විය. එය වඩා වර්ධනය වී හෙතෙම මානසික රෝගියකු බවට පත් විය

.
සිහි විකල් වූ හෙතෙම තැන තැන ඇවිද යාමටත් විකාර කථා කීමටත් විකාර ක්‍රියා කිරීමටත් පටන් ගති. ටික දිනකින් ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්විය. ඔහුට සිදු වූයේ කුමක්ද යන්න පවුලේ අයවත් ප්‍රදේශවාසීන්වත් දැන නොසිටි අතර පිස්සු විකාරයෙන් දිවි නසාගන්නට ඇතැයි කව්රුත් අනුමාන කළහ.


පංසලේ ස්වාමීන් වහන්සේට බැණ පරිභව කිරීම හා ප්‍රසිද්ධියේ අපහාස කිරීම නිසා තෝමස් මුදලාලිට මෙලොම දීම ඵල දුන් බව පමණක් හා අතරත් කථාබහට ලක් වුණි.

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.

මත් වතුර විකුණා මහා දුකකට වැටුණා.


මිය යන අවස්ථාවේ සමහර අයට තමා කළ කර්මයන්ට අනුව ඊළඟ ආත්ම භාවය පිළිබඳව ගති නිමිති පහළ වෙන බව බුදු දහමේ දැක්වේ. පව් කම් කළ අයට මෙලොව දීම විපාක දී ඊළඟ ආත්මය පිළිබඳ ගති නිමිති පහළ වන අවස්ථා ද ඇත. ගති නිමිති පිළිබඳ දැන ගත් පසු මා රෝගීන් මිය යන අවස්ථාවේ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ විමසිලිමත් වූයේ ඒ පිළිබඳ යමක් දැන ගැනීමේ ආසාවෙනි.


සිරිදාස නමින් (නියම නම නොවේ) සිටි එක් රෝගියකු වාට්ටුවට මසකට වරක් හෝ දෙවරක් ඇතුළු වූයේ අධික ලෙස ලේ වමනය යාම නිසාය. ඖෂධ ප්‍රතිකාර ද ලේ බෝතල් තුන හතරක් ශරීර ගත කිරීමෙන් ද පසුව ඔහු නිවෙස කරා ගියේ නැවත මත් වතුර පානය නොකරන බවට​ පොරොන්දු වෙමිනි. එහෙත් පොරොන්දු කඩ විය. ඔහුට රෝහලට ඒමට සිදු විය. ලේ වමනය යාමට අමතරව ඔහුගේ උදරය ද අධික ලෙස විශාල වී ඇවිද ගැනීමට පවා අපහසු අවස්ථා ඇති විය. උදරය මෙලෙස විශාල වී​ෙම් එක් අවස්ථාවක් වෛද්‍ය විද්‍යාවේ ජලෝදරය Ascitis යනුවෙන් හඳුන්වයි. ඔෟෂධ ප්‍රතිකාරවලින් එම ජලය අඩු කිරීම කළ නොහැකි වූ විට උදරය සිදුරු කොට දියර එළියට ගැනීම සිදු කරයි. ඉන් පසු එය නැවත නැවතත් පිරෙන අවස්ථා ඇත. සිරිදාස ඒ සඳහා පස් වතාවක් වාට්ටුවට පැමිණ තිබුණි.


දිනක් සිරිදාස බැලීම සඳහා පැමිණ සිටි අය අතර මා අඳුනන පාසල් ගුරුවරයකු ද සිටියේය. මා ඔහු පසෙකට කැඳවා සිරිදාස පිළිබඳ තොරතුරු විමසුවෙමි. දැන ගත් පරිදි සිරිදාස අවුරුදු දහයක පමණ කාලයක් නීති විරෝධී මත් වතුර වර්ගයක් නිෂ්පාදනය කර විකිණීම ඔහුගේ ජීවන මාර්ගය කරගෙන තිබුණි. විකිණීමට අමතරව නිතරම ඒවා පානය කිරීමට ද සිරිදාස පුරුදු වී සිටියේය. ඔහුගේ අධික බීමත්කම නිසා ඔහුගේ බිරිය දරු දෙදනො ද රැගෙන ඔහු හැර දමා දෙමාපියන් වෙත ගොස් තිබුණි. අන් බිරියන් කරා යාමට පුරුදු වූ සිරිදාස ඉඳහිට ඔවුන්ගේ සැමියන් අතින් බඩකට පුරා සංග්‍රහ ලබා ඇත.


අප දැන ගන්නා විට වයස අවුරුදු හතළිහක් පමණ වූ සිරිදාස බැලූ බැල්මට හැටක පමණ පෙනුමෙන් යුතු විය. තරමක් කෙට්ටු ඔහුට බඩ ඉදිරියට නෙරා ආ විට ඇවිදීම පවා අපහසු විය. ඔහුගේ නෑදෑ හිතවතුන් ඔහුව ඇසුරෙන් ඉවත් කර තිබුණි. රෝහල් ගතව සිටින අයෙකු බැලීමට යාම ගැමි සංස්කෘතියේ අංගයක් නිසා ගමේ දෙතුන් දෙනා බැගින් ඔහු රෝහල් ගත කර සිටි අවස්ථාවේ ඔහු බැලීමට පැමිණ තිබුණි.


අවසන් වරට ඔහු පැමිණියේ ද ලේ වමනය යාම නිසාය. වෙනදා මෙන්ම රුධිරය ලබා දීම ඖෂධ ලබා දීම ආදිය සිදු කළත් මෙවර ඔහුට සුවයක් නොලැබුණි. ඔහු නොයෙක් විකාර කියන්නට විය. අැඳට තබා බැඳ තිබුණේ වැටී තුවාල කර ගැනීම වැළැක්වීම සඳහාය. (එකල ආරක්ෂිත අැඳන් නොවීය) අසභ්‍ය කවි හා ගීත මහ හඬින් කියවන්නට ගත් විට ඔහුට නින්ද යාමට බෙහෙත් විදීමට සිදු විය. සතියක පමණ කාලයක් මෙසේ විකාර කිය වූ සිරිදාසට ආහාර දුන්නේ ද නාසය තුළින් ආමාශයට දැමූ නළයක ආධාරයෙනි.


මිය යාමට දින දෙකකට පමණ පෙර සිට ඔහු මහ හඬින් කෑ ගසමින් කීවේ තමා ගිනි දැල්වලින් ඇවිලෙන බවයි. ඔහු නිහඬ කිරීමට සාමාන්‍ය රෝගියකුට දෙනු ලබන ප්‍රමාණයට වඩා ඖෂධ ලබා දීමට සිදු වූයේ මත් වතුර අධික ලෙස පානය කර තිබූ බැවිනි. මෙසේ හරි හැටි ආහාරයක් නොමැතිව ඇවිද ගැනීමට නොහැකිව කිසිදු හිතවතෙකුගේ පිහිටක් නැතිව ඔහු රෝහල් සායනය මතම අවසන් හුස්ම හෙළීය. වස විස වෙළඳාම බුදු දහමේ අනුමත නොකරේ. ඔහු නිශ්පාදනය කොට විකුණුවේද තමා පානය කළේ ද විෂ සහිත මත් වතුර වර්ගයකි. එවකට එය කෝටාල් නමින් ප්‍රසිද්ධව තිබුණි.


ගිනි දැල් පෙනෙන්නේ අපායගාමී අයට බව පොත පතෙහි සඳහන් ​ෙවයි. එසේ නම් මෙලොවත් දුක් විඳි සිරිදාස ඊළඟ ආත්මයේත් දුක් විඳිනවා ඇත. සිරිදාස කාත් කවුරුවත් නොමැතිව රජයේ වියදමින් මිහිදන් කෙරුණ ද ඔහු කළ පාපයන්ට විපාක දුන් අයුරු ඔහු මිය ගිය පසුව ද ගම්මුන්ගේ කතා බහට ලක් වූ බවද පසුව දැන ගන්නට ලැබුණි.

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.


වේගයෙන් ගොරවමින් ඉදිරියට පැන ගෝරින්ගේ කලවයේ මස් කුට්ටියක් කඩාගත් ගොන් නාම්බා කැලෑවට පැනගත්තේය.


ඉක්මණින් පොහොසත් වී​ෙම් එකම අරමුණින් මිනිසුන් රැකියා තෝරා ගන්නේ කවදා හෝ තමන් මිය යන බව හෝ මරණින් මතු අපායේ හෝ දෙව් ලොව හෝ යන බවක් සිතා මතා බලා නො​වේ.


බල්ලො මරා හරි සල්ලි ​ෙහායන්නට වැඩි දෙනා පළෙගැසී සිටින ජන සමාජයකට කළ කම් ඵල දෙන හැටි පැවසුවත් ඒ එතරම් ඵලදායි බවක් දකින්නට නැත. එහෙත් සුළු පිරිසක් හෝ පවෙන් මුදවා ගැනීම සඳහා ඉරිදා ලංකාදීපයෙන් කරනු ලබන මෙහෙය අගය කළ යුතුය. ගමේ පාසලේ පස් වැනි කැලෑසිය දක්වා ඉගෙනීම ලැබූ සිරිල් කුලියක් මලියක් කර තම වියපත් දෙගුරුන් රැක බලා ගෙන ජීවත් වූයේ මහත් අසීරුතාවෙනි. තමන්ගේම යැයි කියා වෙළහෙළඳාමක් කළ යුතු යැයි සිතූ සිරිල් තම දෙගුරුන් සතු ඉඩම් කැබැල්ලක් උගසට තබා මුදල් ලබාගෙන ගෙවීමේ ක්‍රමයට කුඩා ලොරියක් මිලට ගත්තේය. ලොරියේ රියදුරා ඔහු වූ අතර බර වැඩ කිරීමට දක්ෂයෙක් වූ ගමේ අසල්වැසියෙක් වන ගෝරින් ලොරියේ සහායකයා ලෙස තෝරා ගත්තේය.


හා පුරා කියා ලොරිය රැගෙන අනුරාධපුර, දඹුල්ල, පොළොනේනරුව ආදී දුර බැහැර පළාත්වලට ගොස් පොල් එළවළු පලතුරු ආදිය නගරය කරා ගෙනවිත් අලෙවි කිරීම ආරම්භ කළත් ලොරියේ තෙල් වියදම් රියදුරු සේවක වියදම් හා ෆිනෑන්ස් වාරික සඳහාවත් මුදල් සපයා ගැනීම පවා ඉතා දුෂ්කර විය. බැරිම තැන මාළු වෙළෙඳාම ඇරඹුවත් ලොරිය අබලන් වීම හැරෙන්නට එයින් වූ සුගතියක් ද නැත. අවසානයේ මේ දෙදෙනා තීරණය කළේ වන්නියට ගොස් හොරෙන් හරක් පටවා රැගෙන විත් මස් මඩුවලට විකුණා මුදල් ඉපයීමටය. දිනක් වන්නි කරේට ගිය මේ දෙපොළ එහි හරක් හොරුන් ද දැන කියා හඳුනා ගෙන හරක් දෙතුන් දෙනෙක් ද පටවා ගෙන අතර මඟ දී නීතියේ රැහැනට හසු නොවී නගරයේ මස් කඩ මුදලාලි හමු වී හරක් තුන් දෙනා මස් පිණිස මැරීමට විකුණා මුදල් ලබා ගත්තේ නැවත හරක් රැගෙන එන දිනයක් ද නියම කර ගෙනය.


නියමිත දිනය උදා විය. ඉස්සරහ වීදුරුවේ බුදු සරණයි යනුවෙන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර ඇති කුඩා ලොරි රථය උදය පාන්දරින්ම වන්නිය බලා වේගයෙන් ඇදෙන්නට විය. සවස් කාලයේ වන්නියට ළඟා වූ ලොරියේ නියමුවත් ඇඳිරි වැටීගෙන එද්දී හරක් පැටවීමට හරක් පස් දෙනෙක් ගාල් කර සිටි මඟ අයිනේ වූ කණ්ඩියක් ළඟට හරක් හොරු දෙදෙනා සමග පැමිණ ලොරිය කණ්ඩියට ගසා සූදානම් වුයේ කඩිනමිනි.


මේ වෙන විට මුළු පෙදෙසම අඳුරේ ගිලී පැවතුනි. ලොරිය පසු පස දොර හැර හරකුන්ගේ වල්ගය කරකවා සතුන් ලොරිය තුළට දැක්කීමේදී සැර පරුෂ ගොන් නාම්බා වේගයෙන් ගොරවමින් ඉදිරියට පැන ගෝරින්ගේ කලවයේ මස් කුට්ටියක් කඩාගෙන කැලෑවට පැන ගත්තේය. හරක් පැටවීම නවතා වේදනාවෙන් බෙරිහන් දෙන ගෝරින් ළඟම ඇති රෝහලක් කරා ගෙන යෑමට ඔවුන්ට සිදු විය. හොර හරක් වෙළඳාමද එයින්ම නතර විය.

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්