බෝම්බයෙන් පලුදු වූ ආදර හිතක්


​දෙහදක් තුළ ජනිත ​ෙවන සැබෑ පිවිතුරු ආදරයට ජාති කුල මල හෝ ආගම් භේද වැනි පවුරු සීමා මායිම් නොමැත්තේය.   


සීමා මායිම් පවුරු නොමැති ආදරය හරිම සුන්දරය. ඒ වගේම හරිම ඉමිහිරිය.   


ජාති කුල මල හෝ ආගම් භේද වැනි සීමා මායිම් පවුරු බිඳ දමා සැබෑ අාදරය සොයා ගොස් එහි මිහිරියාව විඳින යෞවන යෞවනියෝ සමාජයේ කොතෙකුත් සිටිති.   


ජාතිය හා ආගම යන සීමා මායිම් පවුරු බිඳ දමා යුගදිවියේ සුන්දරත්වය මිහිරියාව අත්විඳින සිංහල තරුණියක හා මුස්ලිම් ජාතිකයකුගේ හරිම පුදුම ආදර අන්දරයක් ගැන ලියන්නට කැලණිය ප්‍රදේශ​ෙය් පිහිටි ඔවුන්ගේ පුංචි සොඳුරු කැඳැල්ල සොයා පසුගිය දිනක ගියෙමු.   


දන්නා කියන කාලයක සිට පල්ලි ගිය මුස්ලිම් ජාතිකයා මේ ​ෙවන විට සිය බිරිය හා දරු තිදෙනා ද කැටිව යන්නේ පන්සල වෙතය.   


බුදුන් වහන්සේ​ෙග් ශ්‍රී පාද ස්පර්ශයෙන් අති පරිශුද්ධත්වයට පත් වූ කැලණිය රජ මහා විහාරය මේ මුස්ලිම් ජාතිකයාගේ හද බැඳගත් පුදබිම බවට පත්ව ඇත.   
බෝපත් සිප ගෙන එන මඳනල මේ මුස්ලිම් ජාතිකයාගේ ගත සිත සනසාලයි.   


ඒ නිසාම කැලණිය පුද බිමේ පිහිටි බෝමළුවට ඔහු වඩාත් ඇළුම් කරන්නේය.   


මොහොමඩ් කාසිම්ගේ හා සිංහල බිරිඳ දිලිනිගේ දරු තිදෙනා ද බෞද්ධාගමේය.   
එ් බව ඔහු නොපැකිළිව කිව්වේ දරු තිදෙනාම ඇකයේ ​ෙහාවාගෙන ආදරයෙන් සුරතල් කරන අතරවාරයේය.   
පවුලේ වැඩිමලා දුවය. ඇයගේ වයස අවුරුදු නවයකි.   


පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් අවුරුදු 08 ක් වන අතර බාලයාගේ වයස මාස 08 කි. ඔවුන්ගේ පුංචි කැදැල්ල සාමයෙන් සමගියෙන් මෙන්ම සංහිඳියාවෙන් ද පිරී තිබිණි.   
අප මේ කියන්නට යන්නේ සිංහල කාන්තාවක හා විවාහ වූ මොහොමඩ්ට මුස්ලිම් සමාජයෙන් හා සිංහල සමාජයෙන් එලල් වූ ගැහැට පිළිබඳවය.   


මේ සුන්දර මිනිසා මානව හිතවාදියා මට හමුවන්නේ මගේ පාසල් මිතුරෙකු වන කුලියාපිටිය, උඩුබද්දාව, පල්ලේවෙල පදිංචි පාලිත වීරසිංහයන් මගිනි.   


කාසිම් මොහොමඩ් මගේ මිතුරාගේ ද ගජ මිතුරෙකි. කාසිම් මොහොමඩ්ගේ බිරියගේ සහ දරු තිදෙනාගේ ඡායාරූප පළ නොකරන්නේ ඔහු කළ ඉල්ලීමක් නිසාය. ඔබේ පවුලේ විස්තර වලින්ම අපි මේ කතාව ආරම්භ කරමු යැයි කියා කාසිම් මොහොමඩ්ට යෝජනා කළෙමු.   


මගේ තාත්තා කුළු බඩු ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්. අපි ඒ කාලයේ පදිංචි​ වෙලා හිටියේ කොළඹ 12 ශාන්ත බස්තියන් වීදියේ. තාත්තා එම්.සී. කාසිම්, අම්මා නසිරා. අම්මටයි තාත්තටයි උන්න දරුවා මම විතරයි. මම ඉගෙන ගත්තේ කොළඹ 12 හමීඩ් අල් හුසේනියා විද්‍යාලයේ. 1992 වසරේ තාත්තා හදිසියේ රෝගා තුර වෙලා මිය ගියා. ඒ වෙන කොට මම නව වැනි වසරේ තාත්තාගේ මරණයෙන් පස්සේ පාසල් ගමනට අකමැත්තෙන් වුණත් සමුදෙන්න සිදු වුණේ ආර්ථික දුෂ්කරතා නිසයි. මමයි අම්මයි මේ ලෝකේ තනි වුණා. අපි දෙන්නා බොහොම අමාරුවෙන් තමා ජීවිතය ගැටගසා ගත්තේ.   


අම්මා පුදුම ධෛර්යවන්ත කාන්තාවක්. කොහොම හරි අම්මා මාව ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යැව්වා. එහිදී මං තොරතුරු තාක්ෂණය ඉගෙන ගත්තා. මම තොරතුරු තාක්ෂණය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙක්. ඩිප්ලෝමාව ගත්තට පස්සේ ලංකාවට ආවා. ජී.පී.එස්. තාක්ෂණය, ජංගම දුරකථන තාක්ෂණය හා සී.සී.ටී.වී. කැමරා තාක්ෂණය ආශ්‍රිත රැකියාවක් තමා මම කරන්නේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ නිලධාරි මහත්වරුත් මගේ සහාය පතාගෙන යම් යම් අවශ්‍යතා ඉටුකර ගන්න එනවා. මම ඒ නිලධාරීන්ට අවශ්‍ය සහාය මගේ දැනුම උපයෝගී කර ගනිමින් ලබා දෙනවා. මේ කාර්යය මම අවුරුදු ගණනාවක ඉඳලා ඉටු කරනවා.   


නීති ගරුක සාමකාමී සමාජයක් ඇති කිරීමට ඔහුගේ දැනුමෙන් කරන සමාජ මෙහෙවර ගැන තොරතුරු බිඳක් හෙළි කළේ එ් අන්දමිනි.   


සිංහල ජාතික තරුණියක වූ දිලිනි ඔබට හමු වූ ආකාරය ගැනත් යමක් කියන්න යැයි අප කළ ඉල්ලීමට අනුව කාසිම් ඇය ගැන ද විස්තර කළේය.   


මේ කියන කාලය වෙද්දි මමයි අම්මයි පදිංචි වෙලා හිටියේ පන්නල ඇලබඩගම කියන ගමේ. අම්මාගේ මහ ගෙවල් ඇලබඩගම හදිසියේ අසනීප වෙලා අම්මාව කුලියාපිටිය හොස්පිටල් එකට ඇඩ්මීඩ් කළා. අම්මා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී මම හැමදාම අම්මව බලන්න රෝහලට යනවා. එතකොට දිලිනිත් උණ ගැනිලා මගේ අම්මා නවත්තලා හිටිය වාට්ටුවේම ඇඳක හිටියේ. අම්මාගේ ඇඳ ළඟම තමා දිලිනි හිටිය ඇඳ තිබුණේ. ඒ හින්දා දෙන්න කතා බහ කරලා දැන හඳුනා ගෙන තියෙනවා. දිලිනි මගේ අම්මාට උදව් කර තිබෙනවා. මම අම්මාව බලන්න ගියාම මේ දුව තමා මට උදව් කරන්නේ. මාව වැසිකිළියට පවා එක්කන් යනවා කියා අම්මා දිලිනිව පෙන්වා කියනවා. එතකොට දිලිනි අහිංසක විදියට හිනා වෙනවා. ඉතිං මමත් දිලිනි එක්ක කතා බහ කරනවා. අම්මාට කරන ඇප උපස්ථානවලට මම දිලිනිට ස්තූතිය පුද කරනවා.   


දිලිනි රෝහලෙන් ටිකට් කපාගෙන යද්දී අපි දෙන්නා අතර ආදර සම්බන්ධතාවක් ගොඩ නැගිලා ඉවරයි. මම එයාගේ ගතිගුණ නිසා තමා කැමති වුණේ.   


මං මේ ගැන පස්සේ කාලයක අම්මාට කිව්වා. ජාතියෙන් අාගමෙන් වැඩක් නැහැ ගති ගුණ හොඳ නම් කියා අම්මා අපි දෙන්නාට ආශීර්වාද කළා. දිලිනිගේ තාත්තා ඒ වෙනකොට ජීවතුන් අතර නැහැ. එයාටත් අම්මා විතරයි හිටියේ. අපේ මේ සම්බන්ධයට දිලිනිගේ අම්මා විතරක් නොවේ ඒ ගොල්ලන්ගේ පවුල්වල අයත් දැඩි විරෝධයක් එල්ල කළා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමේ මම මුස්ලිම් ජාතිකයෙක් නිසා. කොච්චර විරෝධතා ආවත් දිලිනි මාව අතහැරියේ නැහැ. එයා මට තව තවත් ළං වුණා. දිලිනිගේ පැත්තෙන් මට කොහෙත්ම කැමති වුණේ නැහැ. අවුරුද්දක් විතර ආශ්‍රය කරලා අපි දෙන්න කසාද බැන්දා. හැබැයි ඒ දිලිනිගේ පවුලේ අයට හොරෙන්.   
කාසිම් මොහොමඩ් හා දිලිනිගේ ආදරයට තිබුණ සියලු සීමා මායිම් පවුරු බිඳ හෙළා යුගදිවි ගමන් ඇරඹුවේ 2008 වසරේදීය.   
විවාහයෙන් මාස 3 කට විතර පස්සේ කාසිම් මොහොමඩ් පල්ලියට ගොස් ඇත.   


පල්ලියට ගිය අවස්ථාවේ වෙච්ච ඇබැද්දියක් ගැන කාසිම් මොහොමඩ් මහතා මතකයට නගා වචනවලට පෙරළුවේ මේ අන්දමිනි.   
මම මුස්ලිම් පල්ලියට ගියා. මම වෙනත් ජාතියක වෙනත් ආගමක තරුණියක් විවාහ කර ගත්තා කියා පල්ලියෙන් මට දඬුවමක් දුන්නා.   


පල්ලියේ මවුලවිතුමා මාව කාමරයකට ගෙන ගොස් වේවැලකින් පහර 80 ක් ගැසුවා. අත් දෙකට පිටට ආදී වශයෙන් තමා වේවැලෙන් ගැසුවේ. අපේ ජාතියේ කෙනෙක් වෙනත​් ජාතියක කෙනෙක් එක්ක විවාහ වුණොත් මේ දඬුවම පල්ලියෙන් ලබා දෙනවා. අන්න ඒ අනුව තමා මටත් මේ දඬුවම ලබා දුන්නේ.   
එදායින් පස්සේ මම ආයෙත් කවදාවත් පල්ලියකට ගියේ නැහැ. පල්ලි නොගිහින් දැන් අවුරුදු නවයකට වැඩියි.   


පල්ලියට නොගියට මම බිරිඳ හා දරුවන් එක්ක පන්සල් ගිහින් බුදුන් වඳිනවා. මම බුද්ධාගමට නැඹුරු වුණේ දිලිනි නිසා නොවේ. දිලිනි මට කවදාවත් බුද්ධාගමට එන්න කියා බලපෑම් කළේ නැහැ. බුද්ධ දර්ශනය හොඳයි කියා මට තේරුම් ගියා. අවබෝධයක්, පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ තමයි පන්සල් යන්න පටන් ගත්තේ. කැලණිය පන්සල මම නිතර යන පූජනීය තැනක්. ඒ පන්සලේ සුන්දර පරිසරයට මම හරිම කැමති යැයි කාසිම් මොහොමඩ් මහතා පවසයි.   


සිංහල අය ගොඩක් දෙනෙක් තමයි මගේ මිතුරෝ. මුස්ලිම් අයට වඩා මට ඉන්නේ සිංහල මිතුරෝ. මම ක්‍රමයෙන් සිංහල සංස්කෘතියට අනුගත වෙන්න පටන් ගත්තා. ඒක වුණේ මටත් නොදැනීමයි කිව්වොත් ඒක නිවැරදියි. මට කුඩා කාලයේ අපේ ජාතියේම සමහරුගෙන් අඩන්තේට්ටම් සිදු වුණා. දැන් ඉතිං ඒ අතීතය ගැන කතා කරලා තේරුමක් නැහැ.   
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කණ්ඩායමක් පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු රටම උණුසුම් වී ගිය බව අමුතුවෙන් කිවයුතු නැත. මහ ජාතියේ ඇතැම් හු මුස්ලිම් ජාතිකයන් ගැන බැලුවේ සැක සංකාවෙනි.   


මහ ජාතිය ඒ තැනට ඇද දැම්මේ මේ කියන අන්තවාදී අදහස දැරූ උමතු පුද්ගලයින් සීමිත කණ්ඩායමක්. බෝම්බ පුපුරුවා හැර කළ තිරස්චීන ලෙස අහිංසක සාමාන්‍ය වැසියන් පිරිසක් ඝාතනය කිරීමත් එක්කය. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු මා ගැනත් සිංහල අය සැක සංකා පහළ කළා. පොලිසියට මා ගැන සැකයි කියා පවසා තිබුණා. නමුත් මා කිසිම වැරැද්දක් කරලා නැති කෙනෙක් නිසා මට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒ ගැන මම බය වුණෙත් නැහැ. පොලිසියත් මා ගැන දන්නවා.   


පසුගිය අවුරුදු කිහිපයක් තිස්සේ සිට මාත් එක්ක ළඟින්ම හිටපු මගේ මිතුරෝ පවා මාව සැක කළා. ඔය තම්බියාව විශ්වාස නැහැ කියා මම නැති තැන සමහර මිතුරන් කියා තිබෙන බව මට පස්සේ ආරංචි වුණා. මගේ ළඟින්ම හිටිය මිතු​ෙරා් මෙහෙම දේවල් කියනකොට මට ඉවසන්න බැරි වේදනාවක් ඇති වුණා. මට ‘තම්බියා’ කියා බණින කොට ඒ වචනය වෙඩි උණ්ඩයක් පපුව පසාරු කරගෙන යනකොට දැනෙන සමාන වේදනාවක් දැනෙන්නේ. ඒ වගේ වේදනාත්මක අවස්ථාවල බිරිය මා ළඟින්ම සිටිනවා. ඒක මට ලොකු ශක්තියක් වුණා.   


කුලියාපිටිය, පල්ලෙවෙල අපි පදිංචි වෙලා හිටියේ කුලී ගෙදරක. මීට දවස් දෙක තුනකට කලින් අපි කැලණියේ ගෙයක් කුලියට අරගෙන පදිංචියට ආවා. සිංහල ජාතිකයෙකුට අයත් ගෙයක් තමා අපිට කුලියට දුන්නේ. ඊට කලින් තවත් ගෙදරකට ගියා. මුස්ලිම් නිසා ගේ කුලියට දෙන්න බැහැ කියා කිව්වා. ඊට පස්සේ තමා අපි දැන් මේ පදිංචි වෙලා ඉන්න ගේ කුලියට ගත්තේ. අපේ විස්තරේ කිව්වාම ඔවුන් අපිට මේ ගේ දෙන්න කැමති වුණා.   


එ් කාසිම් ​ෙමාහොමඩ්ගේ හඬයි.   


මුස්ලිම් ආගමෙත් උගන්වන්නේ කරුණාව, මෛත්‍රිය ගැනයි. බුදු දහමෙත් එහෙමයි. කොයි ආගමේවත් වැරදි කරන්න, මිනිස්සු මරන්න කියා උගන්වන්නේ නැහැ. මුස්ලිම් අන්තවාදීන් ටික දෙනෙක් කරපු වැඩේ නිසා සමස්ත මුස්ලිම් ජනතාව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් කියා සැක කරන්න එපා. හිරි හැර කරදර කරන්න එපා. අති බහුතරයක මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදයට විරුද්ධයි. මා අවසාන වශ​ෙයන් ද කියන්නේ මව්බිමේ උන්තිය වෙනුවෙන් අපි හැම දෙනාම කැප වී ක්‍රියා කරමු කියා යැයි ද කාසිම් මො​ෙහාමඩ් නමැති ඒ සොඳුරු මිනිසාට සමුදීමට යද්දී කියා සිටියේය.   


බුදු සරණයි, ආයුබෝවන් කියා දෑත් එක්කොට ඔහු අපට ආචාර කළේ බොහොම ​ෙළන්ගතු ලෙසය. 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය