බෝම්බ සොයන නිල සුනඛයකු මෙහෙයවන පොලිස් කාන්තාව


ලක්‌බ්මේ නම තැබූ දියණියෝ

පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ සොයා ගැනීම සඳහා පුහුණු කරන ලද පොලිස් නිල සුනඛයකු මෙහෙය වන ශ්‍රී ලංකා ​පොලිසියේ සිටින එකම පොලිස් කාන්තාව.   


ශ්‍රී ලංකා පොලිසිය තුළ කාන්තා නිලධාරීන් බහුලව යොමු නොවන අංශයක් වන පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරියෙහි නියුතු සුවිශේෂ ලියක් පිළිබඳවයි අද මේ කතාව දිගහැරෙන්නේ. මෙරට නිල සුනඛ කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් කාන්තාවන්ගේ සංඛ්‍යාව 7 දෙනෙකි. මහනුවර අස්ගිරියේ මනරම් භූමි භාගයක පොලිස් නිල සුනඛ කොට්ඨාසය පිහිටුවා ඇත. එහි අපරාධකරුවන්, මිනී මරුවන්, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ සොයා ගැනීමට පොලිස් නිල නිලඛයින් පුහුණු කෙරේ. පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛයන් මෙහෙයවන පොලිස් නිලධාරීන් අතර පොලිස් ලලනාවන් සුවිශේෂත්වයක් ගත්තේ මෙය ඉතා අභියෝගාත්මක හා කටුක කාර්ය භාරයක් නිසාය.   


ඉන් පොලිස් නිල සුනඛ සංදර්ශනවලදී සුනඛයන් මෙහෙයවන පොලිස් ලලනාවන් අතර අපරාධ පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ සොයා ගැනීමට පොලිස් නිල සුනඛයකු මෙහෙයවන පොලිස් කාන්තාවක් පිළිබඳව අපට වාර්තා වුණා. පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුක්තව රාජකාරි කරන පොලිස් කාන්තාවන් 7 දෙනා අතුරින් ලංකා වික්‍රමගේ කියන්නේ ශ්‍රී ලංකා පොලිසියට අභිමානවත් වූ කාන්තාවන් අතරට එකතු වන තවත් යකඩ ගැහැනියක් කිව්වොත් නිවැරදියි.   


ඒ අන් කිසිවක් නිසා නොවෙ පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ සොයා ගැනීම සඳහා පුහුණු කරන ලද පොලිස් නිල සුනඛයකු මෙහෙය වන ඇය දැනට ශ්‍රී ලංකා පොලිසියේ සිටින එම රාජකාරියේ නියුතු එකම පොලිස් කාන්තාව නිසාය.   


විශේෂඥ දැනුමක් සමග සිදුවන අපරාධ, පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ සොයා යන නිල සුනඛයකු මෙහෙය වන එකම පොලිස් කාන්තාව වන ඇය ලංකා වික්‍රමගේ මහත්මියයි.   
ඇය ප්‍රථමයෙන්ම කරළියට එන්නේ 2019 වසරේ මෙරට සිදුවූ පාස්කු ත්‍රස්ථ ප්‍රහාරයත් සමගයි. කොළඹම අඳුරු කළ ඒ ප්‍රහාර මාලාවන් සමග පොලිස් නිල සුනඛයකු සමග රැයක් දවාලක් නොමැතිව කොළඹ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළ ඇය රූපවාහිනී තිරවල නිතර දෙවේලේ දක්නට ලැබුණ බොහෝ දෙනකුට මතක ඇත.   


එදා ජීවිත අවදානම දෝතින් ගෙන තම පණ මෙන් ආදරය කරන පොලිස් සුනඛයා සමග බෝම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍ය සොයා කොළඹ පීරූ ඒ සුන්දර රුවැත්තිය වන ලංකා, කුලියාපිටිය ජාතික පාසලෙන් අධ්‍යාපනය හදාරා කලා අංශයෙන් උසස් පෙළ ලියා අධ්‍යාපන කඩ ඉම අවසන් වනවාත් සමගම පොලිස් සේවයට එකතු වන්නට වරම් ලද්දේ පාසල් වියේ සිටම තිබූ සිහිනයක් අනුවය.   
‘මගේ අම්මා ශ්‍රීමති කොතලාවල. තාත්තා හැරල්ඩ් වික්‍රමගේ. අම්මයි තාත්තයි දෙන්නම රාජකාරි කළේ පොලිසියේ. ඒ නිසා අපි වැඩිපුරම හැදුනේ වැඩුණේ කුලියාපිටිය පොලිස් නිල නිවාසවල. පවුලේ අක්කලා දෙන්නයි, මල්ලියි, මමයි. මම පවුලේ තුන්වැනියා. පුංචි කාලේ ටිකක් දඟ චරිතයක් වුණාට පාසල් කාලේ එහෙම විශේෂයෙන් ක්‍රීඩාවට, කලාවට දක්ෂතා දක්වපු ළමයෙක් නෙමෙයි මම. හැබැයි පොලිසියට බැඳෙන්න මට ලොකු ආසාවක් තිබුණා. අම්මයි තාත්තයි දෙන්නම පොලිසියේ. පුංචි කාලේ ඉඳලම දැක්කෙත් පොලිස් නිල ඇඳුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් සහ කාන්තාවෝ. ඒවා දකිනකොට පුංචි කාලේ ඉඳලම පොලිසියට මම ආදරය කළා. යමක්කමක් තේරෙන කාලේ වෙනකොට මම හිතා ගත්තා කවදා හරි දවසක මමත් පොලිසියට බැඳෙන්න ඕන කියලා. ඒත් ඒ හීනය සැබෑ කර ගන්න හිතන තරම් පහසු වූයේ නැහැ.   


අම්මයි තාත්තයි දෙන්නම පොලිසියේ ඉඳලත් ඇයි ඒ ගමන පහසු නොවුණේ?   


මම පුදුමයෙන් ඇසීමි.   


‘අම්මයි තාත්තයි පොලිස් නිලධාරීන් වුණාට මම පොලිසියට බැඳෙනවට තාත්තා ගොඩක් විරුද්ධ වුණා. මොකද මම ක්‍රීඩා කරපු කෙනෙක් නෙමෙයි. මම ගෙදර සුරතලේට හැදුන කෙනෙක්. තාත්තා නිතරම කිව්වේ පුළුවන් දෙයක් කරන්න. පොලිස් පුහුණුව ගොඩක් අමාරුයි, කටුකයි. ඒක ඔයාට කර ගන්න අමාරුයි කියලා. මම පොලිස් පුහුණුව සාර්ථකව අවසන් කරයි කියලා තාත්තා විශ්වාස කරේම නැහැ. තාත්තා කිව්වෙම පොලිස් පුහුණුව ඔයා මග දාලා ඒවි කියලා.   


කොහොම හරි මව්පියෝ විරුද්ධ වුණාට මම ඒක හිතෙන් අතහැරියේ නැහැ. ගෙදරට හොරෙන් මම පොලිසියට බැඳෙන්න අයදුම්පත් දැම්මා. පළමු පරීක්ෂණයට ගියේ තනියම. දෙවන පරීක්ෂණයට අක්කා එක්ක ගියා. තුන්වෙනි පරීක්ෂණයට යන්න තිබුණේ නාරාහේන්පිටට. ඒක අක්කා එක්ක තනියම යන්නම බැරි නිසා අම්මට කියන්න සිද්ධ වුණා. ඒත් තාත්තාට කිව්වේ අවසන් සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට පුහුණුවට යන්න සතියකට විතර කලින්.   


2007 වසරේදී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මාස 7ක පුහුණුව ලබා ගත් ඇය පොලිස් කොස්තාපල්වරියක ලෙස ලංකා පොලිසියේ සේවයට එක්ව ඇත්තේ 2008 වසරේදීය.   
කොහොමරි පුහුණුව අවසන් කරලා මුලින්ම ආවේ ගම්පහ කොට්ඨාසයේ මිනුවන්ගොඩ පොලිසියට. එතනින් කැලණිය කොට්ඨාසයේ ජා ඇළ පොලිසියට ආවා. එතනින් මඩකලපුවට ගියා. මඩකලපුවෙන් නුගේගොඩ කොට්ඨාසයේ නුගේගොඩ පොලිස් රථවාහන අංශයට අනුයුක්තව වැඩ කළා. ඒ අතරේ ​පොලිස් නිල සුනඛ ඒකකයට යන්න ආසාවක් ඇතිවුණා. මොකද මම සතුන්ට හරිම ආදරෙයි. කොහොම හරි මාව සම්මුඛ පරීක්ෂණයෙන් ඒ ඒකකයට තේරුණා. ඒ විදියට 2018 දී මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට බැඳුණා.   
පොලිස් නිල සුනඛ කොට්ඨාසයට බැඳෙන්නට විශේෂ හේතුවක් ඇය සතුවිය. කාන්තාවන් බහුලව යොමු නොවන අංශයක් වන පොලිස් නිල සුනඛ කොට්ඨාසයට යොමු වන්නට ඇය ප්‍රිය කළේ සතුන්ට ඇති අසීමිත ආසාව නිසාය.   


‘පුංචි කාලේ ඉඳලා සතුන්ට පණ ඇරලා ආදරෙයි. බලු පැටව්, පූස් පැටව් අම්මට හොරෙන් ගෙදර ගෙනැල්ලා හංගගෙන නාවලා, කවලා ඇති දැඩි කරනවා. මගේ අතින්ම ඒ සතුන්ට කවනවා. ඒ තරමට මම බල්ලන්ට, පූසන්නට ආදරෙයි.   


තාත්තා ඒවට මුකුත් කිව්වේ නැති වුණාට අම්මා හරියට බනිනවා. ලෙඩ රෝග බෝවෙයි කියලා. බලු පැටව්, පූස් පැටව් අත ගානවා කියලා අම්මාගෙන් මා ගුටි කාලත් තියෙනවා. අම්මා කොච්චර කෑගැහුවත් සතුන්ව හුරතල් කරන එක නම් මම නැවැත්තුවේ නැහැ. සතුන්ට දක්වපු අසීමිත ආදරය කරුණාවම තමයි මට පොලිස් නිල සුනඛ අංශයට බැඳෙන්න බලපෑවේ.   
මහනුවර, අස්ගිරියේ පිහිටි පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ලංකා මහත්මිය බැඳී ඇත්තේ 2018 වසරේදී. පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වන ඇය ඒ හා සම්බන්ධ වී පුහුණුවීම් කටයුතු සිදුකර ඇත්තේ එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනවිරත්න මහතාගේ මග පෙන්වීම යටතේය.   


ඒ අත්දැකීම, මතකය ඇය යළිත් සිහිපත් කළාය.   


‘නිලධාරියෙක් එක්ක වැඩ කරනවා වගේ නෙමෙයි නිල සුනඛයෙක් එක්ක වැඩ කරනවා කියන්නේ ලොකු දුෂ්කර කාර්යයක්. සුනඛයාව ළංකර ගැනීමම ලොකු අභියෝගයක්. ඒ අභියෝගය තමයි මූලික පියවර. ඒ දුෂ්කර කාර්ය පසුකරලා ආවම මට ලැබුණේ බ්‍රවුනි කෝර් සේපැනියෙල් කියන වර්ගයට අයත් ගැහැනු සතෙක්. එතකොට එයාට වයස අවුරුද්දයි. සුනඛයාගේ විනය ක්‍රියාකාරකම්, පුහුණුව ලබාදීලා සුනඛයා එයාව මෙහෙයවන නිලධාරියා හෝ නිලධාරිනිය අතර කොයිතරම් දුරට සුහදතාව ඇතිවෙලා තියෙනවද කියන එක ගැන අධ්‍යක්ෂවරයා විසින් විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. ඊට පසුව අදාළ අංශයේ පුහුණුවීම් කරනවා. මේ පුහුණුව මාස 6යි.   


මේ අංශයේ සේවය කරන නිලධාරියෙකුට හෝ නිලධාරිනියකට තියෙන ආයුධය තමයි නිල සුනඛයා. මම එයාට දෙන අණ අනුව තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ඒ පුහුණුවෙන් පසුව බ්‍රවුනිවයි මාවයි අනුයුක්ත වුණේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ කොම්පඤ්ඤවීදියේ පොලිස් නිල සුනඛ අංශයටයි. බ්‍රවුනියි මායි අතර තිබුණේ හරිම පුදුමාකාර බැඳීමක්. හරියට අම්මෙකුයි දරුවෙකුයි වගේ. සැක කටයුතු ස්ථානයකට ගියත් කවදාවත් මම නිල සුනඛයාව විතරක් ඒ අදාළ තැනට යවන්නේ නැහැ. මරණ බිය දැනි දැනී වුණත් මමත් එතනට යනවා.   


බ්‍රවුනි නිල සුනඛයා සමග පුහුණුවීම් කාල සීමාව තුළ ඇයගේ ජීවිතේ අමතක කළ නොහැකි අනුවේදනීය සිදුවීම් ද ඇය සිහිපත් කළාය.   


මේ සුනඛයන් කවන, නාවන හැම දේම වෙන්නේ අපේ අතින්. දවසක් හවසක බ්‍රවුනිව නාවලා කූඩුවට දාන්න කලින් මට බ්‍රෂ් කරන්න බැරි වුණා. එදා මම හිටියේ අසනීප තත්ත්වයකින්. මේක අපේ අධ්‍යක්ෂතුමාගේ කනට ගිහින් මට හොඳටම බැන්නා. ඔයා සුනඛයට ආදරේ නැහැ. ඔයාව මෙතනින් අයින් කරනවා කියලා කිව්වා. එදා මට කවදාවත් නැති විදියට විශාල දුකක් ඇති වුණා. බ්‍රවුනි ඉන්න කූඩුව ඇතුළට ගිහිල්ලා මම හයියෙන් ඇඬුවා. හිතේ වේදනාව යනතුරුම ඇඬුවා. බ්‍රවුනි මගේ ළඟින් හෙල්ලෙන්නේ නැතුව හිටියා. එදා ඉඳලා බ්‍රවුනිට මගේ වෙනස පවා දැනෙන්න ගත්තා.   


මට දරා ගන්නම බැරි වේදනාව බ්‍රවුනි මගෙන් වෙන්වීම. ඉබේටම ඇයගේ දෑස් වලින් කඳුළු කඩා වැටුණා.

   
‘දෙවැනි බබා ලැබෙන්න ඉන්නකොට මට රාජකාරිවලට බ්‍රවුනි එක්ක එළියට යන්න අමාරු වුණා. ඒත් එක්කම මම නිල සුනඛ අංශයේ කාර්යාලය ඇතුළට වැඩ කටයුතුවලට තාවකාලිකව යොමු වුණා. ඒත් බ්‍රවුනිගේ පුහුණුවීම් නතර කරන්න බැහැ. ඉතින් දරු ප්‍රසූතියට සූදානම් වන නිසා බ්‍රවුනිව මට ආපහු භාර දෙන්න වුණා.   


එයා බාර දෙන දවසේ බ්‍රවුනිව ගෙනියන්න නිල සුනඛ ඒකකයේ වාහනයක් ආවා. ඒත් බ්‍රවුනි මගේ ළඟින් ගියේම නැහැ. එතකොට මගේ කුසට මාස 6ක් විතර ඇති. වාහනයට යන්න කලින් මගේ පුටුව ළඟට ඇවිල්ලා කකුල් දෙකෙන් හිටගෙන මගේ බඩට අත්දෙක තිබ්බා. ඒ වෙලාවේ මට කෑ ගහලා ඇඬුණා වේදනාවට. ඒක හරියට අම්මා කෙනෙකුට දරුවෙක් අහිමි වෙනවා තරම් වේදනාවක්. අදටත් බ්‍රවුනිව මතක් වෙනකොට මට ඇඬෙනවා.   


මම කියන්නේ කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත් වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. මාස කිහිපයකට එහෙම සුනඛයාව වෙන් කරනවා කියන්නේ දුකක්. ඒ තත්ත්වයට කෙනෙක් පුහුණු කරන්න විශාල දුකක් විඳින්න වෙනවා. මට බ්‍රවුනි නැවත දෙනවා කියලා තමයි අරගෙන ගියේ. දරුවා ලැබිලා මාස 6න් මම සේවයට වාර්තා කළා. බ්‍රවුනි මට ලැබුණේ නැහැ. බ්‍රවුනි දැන් ඉන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිල සුනඛ ඒකකයේ.   


දැන් මට ලැබිලා ඉන්නවා ජූඩ් කියලා පිරිමි නිල සුනඛයෙක්. ඔහු ඉංග්‍රින් සේපැනියෙල් වර්ගයට අයත් සුනඛයෙක්.   


මේ දිනවල ප්‍රධාන ​​පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ අධීක්ෂණය සහ පළාත් අධීක්ෂණ නිලධාරී උපපොලිස් පරීක්ෂක වසන්ත මහතා යටතේ මම ජූඩ් සුනඛයාට බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ කාර්ය සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙනවා. මට දැන් ලැබිලා ඉන්න ජූඩ් කියන සුනඛයාගේ වටිනාකම ලක්ෂ 10යි. මේ සුනඛයා අපේ රටේ උපන් කෙනෙක්.   


පාස්කු ප්‍රහාරය සමග බ්‍රවුනි නිල පොලිස් සුනඛයා සහ ලංකා නම් ඇය අපට අමතක කළ නොහැකිය. මන්ද ඇය බ්‍රවුනි කැටුව පුපුරණ ද්‍රව්‍ය සොයා මිනිස් ජීවිත බේරා ගැනීමට පෙරමුණට යන්නේ අවදානම මරණ බය දෝතින් රැගෙනය.   


‘ඇත්තටම බ්‍රවුනි පාස්කු ප්‍රහාරය සිදුවූ වෙලාවේ මට විශාල සහයක් දුන්නා. ප්‍රහාරය සිද්ධ වෙලා සති තුනක් විතර යනකම් එක දිගට දිවා රෑ නොබලා කොළඹ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළා. මට මහන්සි වුණත් බ්‍රවුනි මහන්සියක් පෙන්නුවෙම නැහැ. බ්‍රවුනිට වතුර උගුරක්වත් දෙන්න රාජකාරි වෙලාවෙදි බැහැ. වතුර උගුරක්වත් නොබී තමයි මුළු දවසම කොළඹ පුරා ඇවිද්දේ. අපි දෙන්නා සැක කටයුතු ස්ථාන සිය ගණනක් පරීක්ෂා කළා. හෝටල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, රෝහල්, බැංකු සියල්ල අපි දෙන්නා පරීක්ෂා කළා.   


ලංකා වික්‍රමගේ මහත්මිය මේ වනවිට දෙදරු මවකි. දයාබර සැමියා ප්‍රියන්ත ගුණවර්ධන වරාය නිල සුනඛ ඒකකයේ පුපුරණ ද්‍රව්‍ය නිල සුනඛයකු හසුරවන්නෙක් ලෙස කටයුතු කරයි. ඇය මාස 8ක පුතෙකුගේ සහ අවුරුදු 8ක පුතකුගේ මවකි.   


මගේ වෘත්තීය රාජකාරි ජීවිතයට සැමියාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේදී මට ගෙදරක් ගැන බලන්න කාලයක් තිබුණේම නැහැ. මගේ ගමන යන්න ඔහුගෙන් ලැබෙන ධෛර්ය ගැන කියන්න මට වචන නැහැ. ඇය අවසාන වශයෙන් පැවසුවා.   

 

 

නදීශා අතුකෝරල
ඡායාරූපය සජීව ලක්ෂාන්