බොහෝ මරණවලට අතවනන අසම්මත පෙම් සබඳතා


 

 කෙනෙකු මියගිය පසු ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සාමාන්‍ය දෙයක්. රටක ඇති සම්පත් අතරින් මානව සම්පතට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මිනිසුන් නැතිනම් අන් කවර දේ තිබුණත් රටක් පවතින්නේ නැති නිසයි. 


ඒ මානව සම්පතේ වටිනාකම කියා නිම කරන්න බැහැ. ඇතැම් විට මිනිසුන් අපට මහත් කරදරකාරයින් සේ පෙනෙතත් මිනිසුන් නැතිව ගිය කල ඇතිවන අමුසොහොනක් වගේ පාළු තැනක වාසය කරන්න අමාරුයි. 
 මිනිසෙකුගේ මරණය සිදු වූ විගස වහා රජය ඉදිරිපත් වී එය සිදු වූයේ කෙසේද යන්න විමසා බලන්නේ ඒ නිසයි. එම මරණය සිදු වූ ආකාරය දැනගැනීම රජයකට කීප අතකින් වැදගත් වෙනවා. 


 මරණයක් සාමාන්‍ය මරණයක් ලෙස පෙනුනත් එය මිනීමැරුමක් වන්නට පුළුවන්. එය හෙළි වුණොත් එම අපරාධකරුට දඬුවමක් දීම වැදගත්. එය සමාජයේ සාධනීය ඉදිරි ගමන සඳහා හේතු වෙනවා. එමෙන්ම එය සාමාන්‍ය මරණයක් වුුවත් රටේ සෞඛ්‍ය සේවයේ ඇති කළ යුතු වෙනස්කම් සහ ජනතාවට අවශ්‍ය සේවය සංවිධානය කර ගැනීමට එය ඉවහල් වෙනවා. 


 පැරණිම මරණ පරීක්ෂණයක් ගැන අපට රෝමයෙන් වාර්තා වෙනවා. ඒ ජුලියස් සීසර්ගේ මරණ පරීක්ෂණයයි. සීසර් මිය ගොස් ඇත්තේ පිහි පහර 23ක්් ශරීරයට වැදීමෙන් හා ඉන් එක පහරක් හදවත හරහා ගොස් ඇති බවත් ඉන් සොයා ගනු ලැබුවා. 


 ඒ වගේම පිහි පහරකින් තුවාල ලැබූවකු මරණයට පත් වෙන්නේ වෙනත් ආබාධයකින් වෙන්න පුළුවන්. එම වැදගත් කරුණ සොයා ගැනීමට මරණ පරීක්ෂකවරයායි උපකාර වෙන්නේ. එයින් සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබ බරපතළ දඬුවමකට යටත් වන්නට ගිය අහිංසකයෙකු බේරාගන්න ඉඩ ලැබෙනවා. 


 මේ වගකීම් සහිත රාජකාරිය ගැන ඇති තතු දැනගැනීමට එම රාජකාරියේ පළපුරුදු මරණ පරීක්ෂකවරයෙකු හමුවීමට අප ගියා. ඔහු පේමසේන හබරාදුව මහතායි. විසි වසරක අත්දැකීම් ඇති අහංගම දික්කුඹුරේ පේමසේන හබරාදුව මහතා කලින් ගුරුවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. 


 අපි ඔබේ මුල් යුගයේ ඉඳලා පටන් ගනිමු. 


 ‘‘මම මූලික අධ්‍යාපන ලැබුවේ දික්කුඹුරේ සිද්ධාර්ථ මහා විද්‍යාලයේ. 1960 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. ඊළඟට නොයෙක් රැකියාවල යෙදුණා. මුලින්ම එම සරසවියේ පුස්තකාල සහකාරවරයෙක්. අනතුරුව සතොස ව්‍යාප්ති නිලධාරියෙක්. අන්තිමට ගුරුවරයෙකු වුණා. එයින් විශ‍්‍රාම ලැබුවායින් පසුව තමයි මරණ පරීක්ෂකවරයෙකු වුණේ. ඒ 1998 දී. හබරාදුව අහංගම පොලිස් කොට්ඨාසවලත් ගාල්ලෙත් හදිසි මරණ පරීක්ෂක කටයුතු කළා’’. 


 මරණ පරීක්ෂණ ගැන කාගෙත් සිත් තුළ නැගෙන්නේ බියමුසු හැඟීමක්. ඔබ කොහොමද මේ තත්ත්වය මගහරවාගෙන කටයුතු කළේ? 


‘‘මට ඒ විදියේ බයක් ඇති වුණේ නැහැ. මට ඒ තත්ත්වයට මුහුණ දෙන්න හුරු කළේ මගේ තාත්තා. මා කුඩා කාලයේ තාත්තා ඔහු යන හැම මළ ගෙදරකටම මා එක්කරගෙන ගියා. මට මළමිනී දැකලා ගාණක් නැතුව ගියා. ඒත් මුලදී මට නිනව් නැතුව ගියා කොහොමද මේක කරන්නෙ කියලා. ඒත් මට පොලිසියේ මගේ මිත‍්‍ර රාලහාමිලා උදව් වුණා’’. 
 හදිසි මරණ පරීක්ෂකවරයෙකු හැටියට ඔබේ රාජකාරියේ කාර්යභාරය ගැන කීවොත්.


‘‘අපට බොහෝවිට යොමු කරන්නේ අහේතුක මරණ. සියදිවි නසා ගැනීම්, හදිසි අනතුරු සම්බන්ධ මරණ. මෙහිදී එම මරණයට සම්බන්ධ සාක්ෂි දෙකක්වත් ලබා ගත යුතුවෙනවා. කෙනෙකු එල්ලී මිය ගොස් ඇත්නම් මා එන තෙක් මිනිය බිමට ගන්නේ නැහැ. ඒත් බොහෝවිට නෑදෑයන් ඔහුට තවම පණ ඇතැයි සිතා මිනිය බිමට බානවා. එවැනි විටක පරීක්ෂණයට බාධා ඇති වෙනවා. මෙහිදී එල්ලී ඇති කඹය හෝ රෙදි පොට පවා වැදගත්. එල්ලී තිබෙන ආකාරය ගැන දැක ගත යුතුයි. 


 මරණය සැකයෙන් තොරව පිළිගත හැකි නම් එය දිවිනසා ගැනීමක් නම් එසේ වාර්තා කරනවා. සැකයක් ඇත්නම් මිනිය කපා පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනවා. ඔහු තම වාර්තාව මා වෙත යොමු කිරීමෙන් පසු මා අවසන් වාර්තාව සකස් කොට තීන්දුව ප‍්‍රකාශ කරනවා”. 


 ඔබට පරීක්ෂණ පැවැත්වීමට බලය නැති අවස්ථා තියෙනවාද? 
 ‘‘ඔව්. මිනීමැරුම්, මානසික රෝගීන් හා ලාදුරු රෝගීන් පිළිබඳ මරණ කටයුතු හා අත්අඩංගුවේදී සිදුවන මරණ පරීක්ෂණ පවත්වන්නේ මහේස්ත‍්‍රාත්තුමා විසින්”. 


 ඔබේ සේවය පැය 24 පුරාම පැවැත්වෙන එකක්. ඇතැම් විට රාත‍්‍රී කාලයේ පවා ඔබට ඒ සඳහා යා යුතු වෙනවා.

කොහොමද ඔබ ඒ දුෂ්කර අවස්ථාවට මුහුණ දෙන්නේ? 
 ‘‘මම මේ රැකියාව බාර ගැනීමේදී එහි බැරෑරුම්කම දැන නොසිටියේ නැහැ. ඒ නිසා දිවා රෑ කියලා වෙනසක් කරන්නේ නෑ. මගේ නිවසේ දොර නිතර ඒ සඳහා විවෘතව තියෙනවා. ඇතැම් විට රාත‍්‍රී දෙක තුන වැනි වෙලාවල පවා මරණ ගැන දැන්වීමට මිනිසුන් මා සොයා එනවා”. 


 ඔබේ රාජකාරියේ දී ඔබට බොහෝ සංවේදී අවස්ථාවලට මුහුණදීමට සිදු වෙන්න ඇති. ඒ ගැන කතා කළොත්.
‘‘ඔව් ඒක හරි. මේක ජීවිතය හා එහි කෙළවර යා කරන අවස්ථාවක්නේ. මියගිය තැනැත්තාට නම් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒත් මරණකරුගේ සමීපතමයන්ගේ සිත් දැඩි ලෙස සසල වෙනවා. මමත් ජීවත් වෙන කෙනෙක්. පියෙක්, සැමියෙක් හැටියට මටත් එම හැඟීම් බලපාන්නෙ නැතැයි කියන්න බැහැනේ. එත් හැඟීම්වලට ඉඩ දීලා නම් මේ රස්සාව කරන්න බැහැ. 


 මට මුහුණපාන්න වුණු සංවේදී අවස්ථා කීපයක්ම තියෙනවා. පසුගිය 2004 කාලයේ සුනාමි අවස්ථාවේ මට ප‍්‍රදේශ කීපයක්ම භාරව කටයුතු කරන්නට සිදුවුණා. 


 අහංගම නගරයටත් සුනාමිය තදින් බලපෑවා. මළ සිරුරු 18ක් පරීක්ෂණ සඳහා ගොන්නගහහේන ග‍්‍රාමීය රෝහලට ගෙන යන්නට මට සිදුවුණා. ඒ වෙලාවේ වාහන සොයා ගන්න බෑ. පාරවල් කැඩිලා බිඳිලා ගිහිල්ලා. ගස් වැටිලා පාරවල් අවහිර වෙලා. පාරවල් තිබුණාද කියලා හොයා ගන්නත් බැරි තරම්. 


 මම සිරුරු එකිනෙක පරීක්ෂාකොට අමාරුවෙන් ඒවායේ නෑදෑයින් ගෙන්වාගෙන සිරුරු ඒ අයට බාර දුන්නා. ඒ අයගේ හැඬුම් වැළැපුම් යාදිනි මා ඉතා තදබල වේදනාවකට පත් කළා. 


 එහිදී වූ එක් සිදුවීමක් මට හොඳින් මතක තියෙනවා. ඒක සිදු වුණේ වැලිගම කප්පරතොටදී. එහිදී මා ඉදිරියට ගෙනාවේ වයස අවුරුදු 8 ක විතර ගැහැනු ළමයෙකුගේ මළ සිරුරක්. ඇය සුනාමියට අසුවී මිය ගොස් සිටියා. 
 සිරුර බාර ගන්න ඇවිත් සිටියේ සීයා කෙනෙක්. දැරියගේ දෙමාපියන් පවා සුනාමියෙන් අතුරුදන් වී ගිහින්. සීයාගේ මුහුණේ ජීවිතයේ නිස්සාර බව ලියවී තිබුණා. හැඬුම් වළක්වා ගනිමින් සීයා තම ආදරවන්ත මිනිබිරියගේ සිරුර දෙස බලා සිටි හැටි මට අද පවා මැවී පේනවා. මගේ දෙනෙතට පවා කඳුළු ඉනුවා. ඒක හරිම දුක්මුසු දර්ශනයක්. 


 තවත් දිනක මට හික්කඩුව ප‍්‍රදේශයේ අපූරු මරණ පරීක්ෂණයක් කරන්නට සිදු වුණා. ඒ තරුණ ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ. වයස 18-20 තරමට ඇති. ඒ දෙදෙනා ලණුවලින් එකිනෙකාව බැඳගෙන මුහුදට පැනලා. ඇඟලුම් කම්හලක සේවය කර ඇති ඔවුන් එකම බෝඩිමේ එකම කාමරයේ ඉඳලා තියෙන්නෙ. ඔවුන් සමලිංගිකයන් බව ඇතැම් අය සාක්ෂි දීමේදී ප‍්‍රකාශ කළා. එහෙත් ඔවුන්ගේ චරිතයට හානියක් නොවන සේ මම පරීක්ෂණ වාර්තාව නිකුත් කළා. 


 තවත් මරණ පරීක්ෂණයක් කළා අහංගම නාකන්දේ නිවසකදී. එහි ගෙහිමියා එල්ලී මිය ගොස් තිබුණා. මට මේ සඳහා රාත්‍රී 2 ට එහි යාමට සිදු වුණා. කුඩා කැලෑ පෙදෙසක් මැදින් ගෙදරට ගියේ අමාරුවෙන්. ඔහු ගෙල වැල ලාගෙන සිටියේ ගෙදර මිදුලේ තිබූ කොස් ගසක අත්තකයි. 


 ඔහු අධික ලෙස මත්පැනට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව සාක්ෂිවලින් තහවුරු වුණා. ඔහුගේ පවුල් ජීවිතය ඒ නිසා අවුලක් කරගෙන ඇති බවකුයි පෙනුණේ. කලින් සිටි බිරිඳ මිය ගොස් ඇත්තේ ඔහුගෙන් පහර කෑමෙන්. මත්පැන් බී නිතර ගෙදර කලහ කරන බැවින් ඒ අවස්ථාවලදී ළමයින් කැලෑ පැන සැඟවී සිටින බවකුයි සාක්ෂිකරුවන් කියා සිටියේ. 


 මීගහගොඩ පෙදෙසේ 18 වියැති තරුණයෙක් එල්ලී දිවිනසා ගෙන තිබුණේ අධික ලෙස මත්පැන් බොන පියා ගැන දැඩි සේ කලකිරීමෙන්. මේ තරුණයා උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි අහිංසක සිසුවෙක්. මත්පැන් මිනිස් ජීවිත වියවුල් ඇතිකර මත්පැන් පානය කරන්නා පමණක් නොව ඔහුගේ පවුලේ අයද අගාධයට ඇද දමන අයුරු මෙයින් පේනවා”. 


 අයථා සම්බන්ධතා ද ජීවිත විනාශවන බව දක්වන එක් සිදුවීමක් ගැන ඔබ කීවා එය සිදුවුණේ කොහොමද? 
 ‘‘තේ කම්හලක ගිණුම් ලිපිකාරිනියක් ලෙස වැඩ කළ තරුණියක් සිටියා. ඇය හැඩරුව ඇති අහිංසක තරුණියක්. අපි ඇයට මාලි යයි කියමු. ඇගේ පෙම්වතා වූවේ පියල් (සැබෑ නම නොවේ) නමැත්තෙක්. ඔහු මාලි ලවා කම්හලේ ගිණුමෙන් මුදල් සොරා ගන්නවා. එය හෙළිවීමෙන් ඇගේ රැකියාව අහිමි වෙනවා. දෙදෙනාම ඉන්පසු කොළඹට පැමිණ ඇඟලුම් කම්හලක රැකියාවක් කරන අතර පියල් විවාහකයෙකු බව හෙළි වෙනවා. ඔහුගේ සැබෑ බිරිඳ පැමිණ කලහ කොට පියල් එක්කරගෙන යනවා. 


 මෙයින් මහත් කම්පනයට පත් මාලි එම තරුණයාගේ නිවසට ගොස් වස පානය කොට එහි ළිඳට පැන දිවි නසාගෙන තිබෙනවා. ඇගේ ඇඳුම් බෑගයේ තිබූ ලියුම් කීපයක් මේ තොරතුරු තහවුරු කළා’’. 


 ඔබ ලබා ඇති මේ අත්දැකීම් සමාජ ක‍්‍රමයේ විපරිත අඳුරු පැතිකඩක් විවෘත කර පෙන්වනවා. ඔබ මේ ගැන දරන්නේ කවර මතයක්ද? 
 ‘‘මේ මරණ බොහොමයක් ලෙහෙසියෙන් වළක්වා ගත හැකි ඒවා. මේ අය මුහුණපාන හැසිරීම් රටාවන් ජීවිත පරිඥානයකින් තොරව ක‍්‍රියා කිරීමේ අවාසනාවන්ත ප‍්‍රතිඵල හැටියටයි මා දකින්නේ. අධික මත්පැන් පානයෙන් ජීවිතය අවුල් කර ගන්නා අතර තාවකාලික රාගාන්විත වින්දනය ලැබීමට ගොස් ඇති කර ගන්නා අසම්මත හැසිරීම්වලින් ගැටලුවලට පත් වූ ඒවා”. 


 ඔබ කියන්නේ මොවුන් දුර දිග නොබලා අයාලේ ගොස් තිබෙන බවයි. එයට හේතු වූ සාධක ලෙස බලපා ඇති දේ මොනවාද? 
 ‘‘එකක් මත්පැන්. අපේ සමහර අය මත්පැන් බොන්නේ බෝතල් ගණන්. ඒවා බොනවා විතරක් නෙවි එයින් බාහිර සමාජ පීඩකයෙක් ලෙසත් ක‍්‍රියා කරනවා. බිරිඳට පහර දෙනවා. දරුවන්ට කෲර ලෙස සලකනවා. එයින් වෙන්නේ සමාජ සමතුලිතභාවය ගිලිහී ගොස් තමාට තමාවත් අන් අයටත් පිළිකුල් කුණපයක් බවට පත්වීමයි. 


 අනික් කරුණ දුර දිග නොබලා ඇති කර ගන්නා අසම්මත ප්‍රේම සබඳතා. මෙහි එන මාලිගේ පුවත එයට හොඳ උදාහරණයක්. එය රාගයේ ඇති ඉතා රුදුරු අවාසනාවන්ත පැත්ත හෙළි කරනවා. මිනිසුන් තමාගේ උදරය පෝෂණය කරන විදිය ගැන දිවා රෑ සිතනවා මිස තමාගේ මනස පෝෂණය කරගන්නේ නෑ. හොඳ පොතපත කියවන්නේම නෑ. ජීවිතය ගැන පුළුල් අවබෝධයක් ඇත්තේම නෑ. පන්සලට පල්ලියට කෝවිලට ගිහින් කරන්නේ එහි පිටස්තර ක‍්‍රියාකාරකම්වලට සහභාගි වීම මිස ඉන් තම ආධ්‍යාත්මය වඩාගන්නට වෑයම් කිරීම නොවෙයි’’. 


 ඔබේ රාජකාරිය සමාජයට ඉතා වැඩදායක එමෙන්ම බැරෑරුම් එකක්. ඔබ එයින් තෘප්තිමත්ද? 
 ‘‘රාජකාරිය කිරීමේදී නම් අප එයින් ලබන්නේ ජීවිතය සැබෑ ලෙස දැකීමක්. එහෙත් අපේ රැකියාව දුෂ්කර වුණත් අපට ඒ සඳහා ලැබෙන ප‍්‍රතිපාදන ගැන සෑහීමට පත් වෙන්න බෑ. අපට ගෙවීම් ප‍්‍රමාණවත් නෑ. ගමන් වියදම් අතින් දරාගන්න වෙනවා. බොහෝ රජයේ සේවකයන්ට හිමි හිමිකම් අපට ලැබෙන්නේ නෑ. ඒ ගැන කියන්න කනගාටුයි’’. 

ලීලානන්ද වික‍්‍රමසිංහ