බූරු පොළෙන් ඇල්ලූ රුපියල් කෝටියක් මාටියා ගැසූ ‘පොලිස්කාරයෝ’


 

මෙය පොලීසිය ගඳ ගැස්සූ පොලිස් නිලධාරීන් හත්දෙනකුගේ කතාවකි. එමෙන්ම පොලිස් ඉතිහාසය කිලිටි කළ පොලිසියට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් ද වන්නේය.   


වැඩිම මුදලක් යටිමඩි ගැසූ සිද්ධිය ලෙස පොලිස් ඉතිහාසයට එක්වී ඇත්තේ මෙය ලෙස ද සැලකේ. යටිමඩි ගැසූ බව කියන මුදල රුපියල් කෝටියකට වැඩි බව පොලිසිය පවසයි.   


රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ පොලිස් රණවිරුවන්ගෙන් පොලිස් ඉතිහාසය පිරී තිබෙන බව ද අප කිසිවිටකවත් අමතක කළ යුතු නොවේ. එසේම අල්ලසට හෝ දේශපාලන බලපෑම්වලට යටනොවී අවංකවම නීතිගරුකව රාජකාරි කරන පොලිස් නිලධාරීන් බහුතරයක් සිටින බව ද මෙහිලා විශේෂයෙන් සඳහන් කරන්නේ එවැනි නිලධාරීන්ට කරන ගෞරවයක් වශයෙනි.   


බූරුපොළකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් යටිමඩි ගැසූ බව කියන පොලිස් නිලධාරීන් හත්දෙනකු ගැන තොරතුරු අනාවරණය කර ගත්තේ ද අවංකව හා නීතිගරුකව රාජකාරි කරන උසස් පොලිස් නිලධාරීන් හා අපක්ෂපාතීව තම රාජකාරිය ඉටුකළ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නිසාය.   


තමන්ගේම සගයන් කණ්ඩායමක් කියා සිද්ධිය යටගසා ඔවුන් බේරාගැනීමට මේ නිලධාරීන් කිසිවිටකවත් උත්සුකවූයේ නැත. ඒ නිසා රාජකාරිය අකුරටම ඉටුකළ සෑම තරාතිරමකම පොලිස් නිලධාරීන්ට ද නිතැතින්ම හිමිවන්නේ ලොකු ගෞරවයකි. මෙතැන් සිට පෙළගැස්වෙන්නේ පොලිසිය ගඳ ගැස්සවූ ​පොලිස් නිලධාරීන් හත්දෙනාගේ කතාවයි.   
වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටල් කාමරයක ධනවතුන් පමණක් සහභාගිවන සුපිරි බූරුපොළක් පැවැත්වෙන බවට ඔත්තුවක් ලැබුණේ හලාවත කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ටය.   


හලාවත කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණු ඒ ඔත්තුවේ නිවැරදිතාව තහවුරු කරගත් පසු එම ඒකකයේ ස්ථානාධිපති තනතුර දරන උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනකු වෙන්නප්පුව දුම්මලදෙණිය බලා පිටත්ව යන්නේ සුපිරි සූදුපොළ වැටලීමටය.   


උප පොලිස් පරීක්ෂකවරයා නායකත්වය දුන් මෙම පොලිස් කණ්ඩායමට පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් හතරදෙනෙකු හා පොලිස් කොස්තාපල් රියැදුරෙකු ද ඇතුළත් වූහ. වැටලීම අතිශය සාර්ථක විය.   


පොලිස් කණ්ඩායම සුපිරි බූරුපොළේ මුදල් ඔට්ටුවට සූදු කෙළමින් සිටි බවට පැවසෙන විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ධනවත් ව්‍යාපාරිකයන්, කෝටිපති ව්‍යාපාරිකයන් 24 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ. සූදු කෙළිමින් සිටි බව පැවසෙන ධනකුවේරයන් සන්තකයේ හා සූදුපිටියේ තිබී පොලිස් බාරයට ගත් මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට වඩා වැඩි විය.   


වැටලීමට ආ හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායම වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට වැඩිදුර පරීක්ෂණ පවත්වා නඩු පවරන ලෙස ඉල්ලා බාරදී තිබුණේ අල්ලාගත් 24 දෙනාගෙන් 9 දෙනෙක් හා ඔවුන් සමග පොලිස් බාරයට ගත් කෝටියකට අධික මුදලකින් රුපියල් 150,000ක පමණ මුදලක් පමණි.   


දුම්මලදෙණියේ හෝටලයේ සුපිරි බූරුපොළ වටලා අල්ලාගත් ධනකුවේරයන් අතරින් 15 දෙනකු මුදාහැර 09 දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කළ බවත් රුපියල් කෝටියකට වැඩි මුදලක් වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් යටිමඩි ගසා ඇති බවටත් තොරතුරක් ලැබී ඇත්තේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාටය.   


ඒ වැටලීම සිදුකර දින ගණනාවකට පසුවය.   


නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ ගැන රහසිගතව සොයා බලා වාර්තාවක් සපයන ලෙස පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමකට නියෝග කළේය. වයඹ හා උතුරුමැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිරි පරීක්ෂණ සිදුකෙරිණි.   


පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලින් පසුව ඉදිරිපත් කෙරුණු වාර්තාව සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වනු ලැබුවේ නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතාගේ මූලිකත්වයෙනි.   


සුපිරි සූදුපොළ වැටලීමට ගිය හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් සිද්ධියට අදාළව වෙන වෙනම ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. එක් පොලිස් කොස්තාපල්වරයකුගේ බැංකු ගිණුමේ රුපියල් 290,000ක පමණ මුදලක් මෙම වැටලීමෙන් පසු තැන්පත් කර තිබෙන බවට පොලිස් පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇති බව දැනගැනීමට තිබේ.   


වැටලීමට ගිය සෙසු පොලිස් නිලධාරීන් හයදෙනාගේ බැංකු ගිණුම් ද පරීක්ෂා කර බැලීමට මේ අනුව පොලිසිය අවශ්‍ය පියවර ගනිමින් සිටී. මූලික විමර්ශනවලින් හෙළිවූ කරුණු කාරණා පදනම් කරගනිමින් සුපිරි බූරුපොළ වැටලීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනාගේ වැඩ තහනම් කළේ සහකාර පොලිස් අධිකාරි සුජීව විජේසේන මහතා විසිනි.   


වැඩ තහනමට ලක්වූ උප පොලිස් පරීක්ෂකගේ සේවා කාලය වසර 05ක් පමණ වන බව පොලිසිය කීය. වෙන්නප්පුව පොලිස් වසමට අයත් දුම්මලදෙණියේ හෝටලයක පවත්වාගෙන ගිය මෙම සුපිරිතම බූරුපොළ ගැන ද අපූරු තොරතුරු පොලිසියට දැනගැනීමට ලැබී ඇත.   


සුපිරි ධනවතුන් හා සුපිරි පැලැන්තියේ අය පමණක් සහභාගිවන මෙම සුපිරි බූරුපොළ පවත්වාගෙන ගොස් ඇත්තේ ද සුපිරි හෝටලයකය. කාලයක් තිස්සේ සිට සෑම මාසයකම සතිඅන්ත දෙකක මෙම සුපිරි බූරුපොළ පැවැත්වෙන බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.   


උතුරුමැද පළාතේ සහ වයඹ පළාතේ සෑම පොලිස් කොට්ඨාසයක්ම පාලනය වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේය.   
එම පළාත් දෙකේ පිහිටි පොලිස් කොට්ඨාසවල පවත්වාගෙන යන කොට්ඨාස දූෂණ මර්දන ඒකකවල සියලු තරාතිරම්වල නිලධාරීන් මාස 03කට වරක් මාරුකර ඒ වෙනුවට අලුතින් පොලිස් නිලධාරීන් පත්කළ යුතු බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.   


ඒ වෙන කිසිවක් නිසා නොව කොට්ඨාස දූෂණ මර්දන ඒකකවලට අනුයුක්ත කර සිටින ඇතැම් පොලිස් නිලධාරීන් නීතිවිරෝධී ක්‍රියාවලට යොමුවීමට ඇති ඉඩකඩ සලකා බලාය.   
මාස තුනෙන් තුනට මෙවැනි නිලධාරීන් මාරු කිරීමෙන් සිදුවිය හැකි යම් යම් නීතිවිරෝධී ක්‍රියා අවම කරගැනීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මේ වැඩපිළිවෙළේ අරමුණ වී පවතී. වැඩ තහනමට ලක්කළ පොලිස් නිලධාරීන් හත්දෙනාට එරෙහිව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් දැනගැනීමට ඇත.   


නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට මේ ගැන තොරතුරක් ලැබී පරීක්ෂණ ආරම්භ නොකරන්නට මෙය සදාකාලික රහසක් බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබිණි.   
මුදල් ඔට්ටුවට බූරු ගහන මෙම සූදුපොළ පවත්වන හෝටල් කාමරයට ඇතුළුවීමට අවසර ඇතැයි කියන්නේ ලක්ෂ 2ක පමණ මුදලක් අඩුම වශයෙන් අතේ තියන අයකුට පමණකි.   
ලක්ෂ 2ක මුදල පෙන්වීමෙන් පසු සූදුපොළ පැවැත්වෙන හෝටල් කාමරයට ඇතුළුවීමට වරම් ලැබේ. දිවයිනේ විවිධ පළාත්වලින් ධනකුවේරයන් මෙම සූදුපොළට පැමිණෙන බව කියන්නේ බී.එම්.ඩබ්ලිව්., බෙන්ස් ඇතුළු අධි සුඛෝපභෝගී රටවලිනි.   


සමහර ධනකුවේරයන් බූරුවා ගැසීමට එන අවස්ථාවේ තම බිරින්දෑවරුන් හා දරුවන් ද කැටිව එන බව පොලිසියට දැනගැනීමට ලැබී ඇති බව පැවසේ. ධනකුවේරයන්ගේ බිරින්දෑවරුන් හා දරුමල්ලන් වෙනම කාමරයක රසමසවුළුවලින් සප්පායම් වෙමින් සතුටු සාමීචියේ යෙදී සිටින අතරවාරයේ ඔවුන්ගේ සැමියන් සූදුකෙළින්නේ රුපියල් 5000 කොළවලින්ය.   


විනෝදාංශයක් වශයෙන් තම සැමියන් මෙසේ සූදුකෙළින බව බිරින්දෑවරු ද දනිති. සූදු කෙළීමට ගොස් ලක්ෂ ගණනින් පැරදුණත් ධනකුවේරයන්ට හෝ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ඒ ගැන වගේ වගක්වත් නොමැති බව කියති.   


මෙහි සූදුකෙළීමට එන බොහෝ ධනකුවේරයන්ගේ දිනක ආදායම ලක්ෂ 03ට වැඩි බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.   


හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ලක්ෂ ගණනින් 10% පොලියට මුදල් ලබාදීමට මෙම සූදුපොළට පොලී මුදලාලිලා ද පැමිණෙන බව කියති. සූදු කෙළීමට ගොස් ලක්ෂ ගණනින් පැරදුනත් පොලී මුදලාලිලාගෙන් මුදල් අරගෙන සූදුකෙළින ධනකුවේරයන් ද මෙම සූදුපොළේ ඕනෑතරම් සිටිති. සූදුකෙළ ලක්ෂ ගණනින් දිනාගන්නා ඇතැම් ධනකුවේරයන් ඒ දිනුම් මුදල් සමාජසේවා කටයුතු සඳහා යොදවන බව ද අපට දැනගැනීමට ලැබිණි.   


සුපිරි සූදු පොළට බොහෝ ධනකුවේරයන් පැමිණෙන බව කියන්නේ යහමින් තව තවත් මුදල් හම්බ කිරීමට නොව විනෝදාංශයක් වශයෙනි.   


උතුරුමැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ ඍජ අධීක්ෂණය යටතේ පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත හලාවත කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සුරම්ජිත් කුමාරපේලි සහ නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 

සටහන :
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය