බූමාටු දෙවිවරු කියන්නේ කවුද ?


​දෙවිවරු සහ දේවලෝක

 

තමන්ට රැකවල් සලසන දෙවි පිරිසක් වෙතැයි මිනිස්සු සිතති. එයින් එක් පිරිසක් වන්නේ බූමාටු දෙවියන්ය. භූමාටු දෙවිවරුන් යනු කවුද? සසරින් එතෙරවීම සඳහා දෙවිවරුන් ගෙන් අපට පිහිටක් ලැබේද? මේ පිළිබඳ කතා කිරීම සඳහා අපි පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මොරගොල්ලාගම උපරතන හිමියන් සම්බන්ධ කර ගත්තෙමු.   


දේව සංකල්පයේ ආරම්භය කෙසේ වීද? පිළිබඳ කතා කළොත්...   


දේව සංකල්පය ඇතිවූවේ මිනිස් සමාජයේයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් ශික්ෂණය ලැබූ මිනිසුන් තරම් නොවෙතත් දෙවියන් උසස් කොට සලකන ලද තවත් සත්ව කොට්ඨාසයක් හිටියා. ඔවුන් යමෙකු කරන පින පව අනුව උත්පත්තීන් සිදුවන බව විශ්වාස කළා. මේ පිළිබඳව මජ්ජිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ විස්තර කර තිබෙනවා.   


එහි පණ්ඩිත මිනිස්සු කයින් වචනයෙන් යහපත් දේවල් කරලා, මරණින් පසු සුගතියේ උපදින බව සඳහන් වෙනවා.   


මේ අනුව ‘දෙවියන්’ කියලා කියන්නේ මිනිස් ආත්මයක ඉපදිලා යහපත් දේවල් කරලා මිනිස්සුන්ට වඩා යහපත් හා උසස් ලෙස උපදින සත්ව කොට්ඨාසයකටයි.   


අතීතයේ මිනිස්සු සිතේ පහළ වූ බිය නිසා යම් යම් වස්තුන් දේවත්වයෙන් පිදුවා. ඉර, හඳ, අව්ව, වැස්ස, ගින්න, සුළඟ වගේ දේවලට අධිගෘහිත දෙවියෝ ඇති කියලා විශ්‍වාස කළා. ඒවාට ඔවුන් දේවත්වයෙන් වන්දනා මාන කළා.   


හින්දු ආගමට අනුව ඔවුන් විශ්වාස කළේ මේ ලෝකය මැව්වේ ඊශ්වර කියලා. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයා කියලා. බුදු දහමට අනුවත් දෙවියන් කියන්නේ යහපත් දේවල් කරලා යම්කිසි බලයක් සහිතව උපදින සත්ව කොට්ඨාසයක්. දේව සංකල්පය පිළිබඳ කතා කරන කොට බුදුන් වහන්සේ තුන් ආකාර දෙවිවරුන් ගැන හඳුන්වා දී තියෙනවා.   


සම්මුති දේවා (මේ ලෝකේ ජීවත් වන කුමර කුමරියන්), උප්පත්ති දේවා (උසස් දිව්‍ය ලෝකවල ඉපදෙන අය) සහ විසුද්ධි දේවා (බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා) යනුවෙන්.   


මීට අමතරව අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය කියලත් තවත් දේව කොට්ඨාස ඉන්නවා. අල්පේශාඛ්‍ය දෙවියෝ කියන්නේ පින්දහම් කරලා දිව්‍ය ලෝකවල පහළවෙන අය. ඒත් ඔවුන්ට විශාල බලයක් ශක්තියක් නැහැ. මහේශාඛ්‍ය දෙවියන් කියන්නේ විශාල බලයක් සහිතව දිව්‍ය ලෝකවල හෝ දිව්‍ය විමානවල වැජඹෙන අය.   


මීට අමතරව ආකසස්ථ සහ භූම්‍යස්ථ කියලත් දෙවියන් වර්ග වෙනවා. චාතුර්මහාරාජිකය ඇතුළුව ඉහළ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ ආකසස්ථ නමින් හඳුන්වනවා.ඊට පහළින් තිබෙන භූමි, ගංගා, ගල් පර්වත ආදී ස්ථානවල ඉපදෙන දෙවියන් භූම්‍යස්ථ දෙවියන් ලෙස හඳුන්වනවා.   


මෙම භූම්‍යස්ථ දෙවියන් ලෙස හඳුන්වන කොටසට යක්ෂ, නාග, ප්‍රේත, ගන්ධබ්බ යන හතර කොට්ඨාසයම අයත් වෙනවා. දෙවියන් ජීවත් වෙන ස්ථාන ‘දිව්‍ය විමාන’ කියලයි හඳුන්වන්නේ. තමන් කරන පුණ්‍යක්‍රියා අනුව ආකසස්ථ හෝ භූම්‍යස්ථ දෙවියන් ලෙස ඉපදෙන බවයි බුදුදහමේ පෙන්වා දෙන්නේ.   


භූමාටු දෙවිවරු කියන්නේ කවුද?   


භූම්‍යස්ථ දෙවියන් ගණයට අයත් එක් කොට්ඨාසයක් තමයි නාගයෝ. නාග ලෝකය දිව්‍ය ලෝකයක් හැටියටයි සලකන්නේ. එහිදී නාගයන් දේවත්වයෙන් පූජාවට පාත්‍රවනවා.   


ඉතිහාසය දෙස බැලුවොත් නාග රජවරු අතර ප්‍රසිද්ධ කෙනෙක් තමයි මණිඅක්ඛිත නා රජු එතුමාගේ වාස භූමිය වුණේ කැලණිය. බුදු රජාණන් වහන්සේට කැලණියට වැඩම කරවීමට ආරාධනා කළේ මෙම නාගරාජයායි. ඔහුට අනුග්‍රහ පිණිසයි තෙවන වරට බුදුන් වහන්සේ කැලණියට වැඩම කළේ.   


මෙහිදී කැලණිය ප්‍රදේශයට අධිපතියකු ලෙස මණිඅක්ඛිත නාරජු එදා සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. මීට අමතරව අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ස්ථානවලත් මේ දෙවිවරු වාසය කරනවා. ඔවුන් අපේ ඇසට දකින්නට පුළුවන්කමක් නෑ.   


යක්ෂ කියන කොටස පිළිබඳ මිනිස්සු හිතන්නේ ඉතා භයංකර, අමු මස් කන, ලේ බොන සත්ව කොට්ඨාසයක් කියලයි. එහෙත් දේව සංකල්පයේ දී එවැනි යක්ෂ කොට්ඨාසයක් ගැන නෙවෙයි කතා කරන්නේ. මහා බලසම්පන්න (පින්දහම් කර අන් අයට වඩා බලවත්ව උපන් කොට්ඨාසයක්) සත්ව කොට්ඨාසයක් ගැනයි.   


ලංකාවේ සිව් හෙළය අරගත්තාමත් යක්ෂ, දේව, නාග, ගන්ධබ්බ ආදී පිරිස් පිළිබඳවයි කතා කරන්නේ.   


මෙහිදී ගන්ධබ්බ කියන්නේ සංගීතයට, නර්තනයට අධිපති දෙවියන්ටයි. බුදුන් වහන්සේ අංගුලිමාල සූත්‍රයේ ‘‘යක්කෝවා....... යක්කිණීවා, ගන්ධබ්බෝවා...... ගන්ධබ්බණීවා, නාගෝවා..... නාගිණීවා....’’ යනුවෙන් භූම්‍යස්ථ දෙවියන් පිළිබඳව දේශනා කරලා තියෙනවා.   


මේ දෙවිවරුන් පිළිබඳ මිනිසුන්ගේ විශ්වාස තියෙන්නේ, දෙවියන් මේ ලෝකයට ඇවිත් මිනිසුන් සමග වාසය කරමින් ඔවුන්ට ආරක්ෂාව සපයන දේව කොට්ඨාසයක් කියලයි. මෙම දෙවිවරු ගංගා ආශ්‍රිතව, පර්වත ආශ්‍රිතව, වෘක්ෂ ආශ්‍රිතව සහ එවැනි ස්ථානවලම ඉන්නවා.   


මේ අයයි භූම්‍යස්ථ දෙවියන් කියන්නේ. වෘක්ෂ දේවතාවන් පිළිබඳ කතා කිරීමේදී වැදගත් කතාවක් බණ පොතේ තියෙනවා.   


එනම්, භාවනා කමටහන් ලබාගෙන භාවනා කරන්න ගිය භික්ෂූන් වහන්සේ පිරිසකට වෘක්ෂවල වාසය කළ දෙවිවරුන්ගෙන් කරදර සිදුවී ඇති බව පෙනෙනවා. මෙය එම දෙවිවරුන්ට ගස්වල ඉන්න බැහැ කියලා බිමට බැහැලා භික්ෂූන් වහන්සේලාට කරදර කළ අවස්ථා තියෙනවා. හැබැයි මේ අය නරක පුද්ගලයෝ නෙවෙයි. 

 
ඒත් සිල්වත් පිරිසක් බිම සිටින නිසා දෙවිවරුන්ට ගස්වල සිටීමට හැකි වූයේ නෑ. ඒ නිසා විවිධ දේ කර භික්ෂූන් වහන්සේ බිය ගන්වන්න කටයුතු කළා. ඒත් භික්ෂූන් වහන්සේ මෛත්‍රී සහගතව කටයුතු කළ නිසා එම තත්ත්වය නැවතිලා දෙවියන් විසින් භික්ෂූන් වහන්සේව ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.   


මෙහිදී තණකොළ ගස් පවා විවාහ කරගත් සත්ව කොට්ඨාස ඇති බවයි සඳහන් වෙන්නේ. මින් පැහැදිලි වන්නේ තණකොළ ගහ පවා මිනිසුන්ගේ පූජනීයත්වයට ලක්වෙනවා කියන එක.   


අතීතය දෙස බැලුවොත් ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ නායකයෝ දේවත්වයට පත්වුණා. ඒ අය මොන දිව්‍ය ලෝකයක ඉන්නවද කියන කතාවට වඩා ඔවුන්ට සමාජයේ ඇති ස්ථානයයි වැදගත්. මහසෙන් රජු දේවත්වයට පත්වූ කතාව විටෙක මතුව එනවා. මහසෙන් රජු පහළ වුණේ මොන දිව්‍ය ලෝකෙ ද කියලා නැතත් මහසෙන් රජු දෙවිකෙනෙකු වී කෘෂිකර්මයට ආශිර්වාද කරනවා කියන සංකල්පයක් සමාජයේ පවතිනවා.   


ඒ වගේම අද ලංකාව පුරාම දේවාල පැතිරිලා තියෙනවා. එහිදී ආරූඪ වෙන දෙවියන් පිළිබඳවත් කතා කරනවා. ඇත්ත වශයෙන්ම දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෝ ඇවිල්ලා මිනිස්සුන්ට ආරූඪ වෙන්නේ නෑ. ඒත් එවැනි බලයක් භූම්‍යස්ථ දෙවියන්ගෙන් ලැබෙන්න පුළුවන්.   


උදාහරණ ලෙස ආටානාටිය සූත්‍රයේ දේව වර්ග හතරක් ගැන සඳහන් වෙනවා. එහි ගාන්ධර්ව කියලා දේව කොට්ඨාසයක් පිළිබඳ සඳහන්. මේ යටතේ කතා කරන්නේ ධ්‍රෘතරාෂ්ඨ කියන රජු පිළිබඳවයි. ඔහු ජීවත් වුණේ චාතුර්මහා රාජිකයේ. එහි ධ්‍රෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා තමයි භූම්‍යස්ථ දෙවියන් පාලනය කරන්නේ. මෙහි සිටින ධ්‍රෘතරාෂ්ඨ කියන දෙවියා තමයි ගාන්ධර්ව කියන දේව කොට්ඨාසයට නායකත්වය දෙන්නේ. ඒ එක්කම කුම්භාණ්ඩ කියන දේව කොට්ඨාසයක් භූමියේ වාසය කරන තවත් දේව ගණයක්. ඔවුන්ට අධිපති දෙවියා තමයි විරූඪ කියන්නේ. විරූපාක්ෂ කියන රජ්ජුරුවෝ තමයි නාගයන්ට අධිපති වෙන්නේ. යක්ෂයන්ට අධිපති වෙන්නේ වෙසමුණි රජජුරුවෝ.   


මේ වගේ අය තමයි දේවාලවල කපුවන්ට හා ආතුරයන්ට ආරූඪ වෙනවා කියන්නේ.   මේ ආකාරයට කතා කරන දෙවියන් මිනිසුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. සදෙව් ලෝකවල ජීවත් වෙන දෙවියන්ගෙන් පරනිම්මිත වසවර්තියේ ජීවත් වෙන දෙවියන් ආයුෂ වර්ෂ 16,000ක් බව කියැවෙනවා. එය ඔවුන්ගේ දවසක් මනුෂ්‍ය වර්ෂ 1600ක් ලෙසයි දක්වා තිබෙන්නේ.   


ඒ වගේම සම්‍යක්දෘෂ්‍ඨික දෙවියන් 33000ක් ඉන්න බවත් ඔවුන්ට අමතරව මිත්‍යාදෘෂ්ඨික දෙවියන් සිටින බවත් පෙන්වාදී තිබෙනවා. මිත්‍යාදෘෂ්ඨික දෙවියන් ලෙස කතා කරන්නේ අසුරයන් පිළිබඳවයි. මේ අය දේව කොට්ඨාසයක් වුවත් කටයුතු කරන්නේ අයහපත් දේ වෙනුවෙන්.   


ඒත් ගංගා ආශ්‍රිතව ගස් ආශ්‍රිතව පර්වත ආශ්‍රිතව වාසය කරන දෙවිවරු මිනිස්සුන්ට පිහිට වෙන දෙවියන් ලෙසයි හඳුන්වා දෙන්නේ. මෙම දෙවියන් කියන අය කාටවත්​ පේන්න එන්නේ නෑ.   


බුදුන් වහන්සේ රතන සූත්‍රයේ දී මෙසේ දේශනා කර තිබෙනවා.   


යානීධ භූතානී සමාගතානී, භූම්මානිවායානීව අන්තලික්ඛේ, සබ්බේව භූතා සුමනා භවන්තූ, අථෝපී සක්කච්ඡ සුනස්ථු භාෂිතං.   


‘‘ඇසට නොපෙනෙන සියලුම සත්ව කොට්ඨාස ආමන්ත්‍රණය කරන බුදුන් වහන්සේ, භූමියේ හෝ අහසේ සිටින සත්වයනි, අසන්න! මේ මිනිසුන් දිවා රෑ දෙකේ ඔබලාට පුද පූජා කරනවා. ඔවුන්ට පිහිටවන්න’’ කියා ඉල්ලීමක් කරනවා.   


ඉන් පැහැදිලි වන්නේ ඇසට නොපෙනෙන එවැනි සත්ව කොට්ඨාස විශ්‍වයේ ඉන්නා බවයි. මිනිස්සු හිතනවා ඔවුන්ට වඩා බලයක් දෙවියන්ට ඇති බව. ඒ නිසා පින්පෙත් කර දෙවියන්ට පින් අනුමෝදනා කර ඔවුන්ගේ ආරක්ෂාව, ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒත් බුදුන් වහන්සේ මේ සමගම දේශනා කර තිබෙනවා, කිසිම කෙනෙක් මිනිස්සුන්ට වඩා උසස් නැති බව. ඊට උදාහරණ මේ ලෙස වෙනවා.   


එක්තරා අවස්ථාවක ශක්‍රදේවේන්ද්‍රයා සිව් දිසාවට වඳිනවා. එය දකින ඔහුගේ රථාචාර්ය මාතලී අහනවා ‘‘මේ තරම් ලොවට අධිපති ඔබතුමා කොහාටද? කාටද? ඔය වඳින්නේ?’’ කියලා.   


ඒ වෙලාවේ ශක්‍රදෙවියා මෙසේ පිළිතුරු දෙනවා.   


‘‘මේ ලෝකේ දෙවියෝ ඉන්නවා. ඒත් පින්කම් කරමින් ධාර්මිකව තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරන මිනිස්සුත් ඉන්නවා. ඒ අයටයි මම වඳින්නේ’’ කියලා.   


මින් පැහැදිලි වන්නේ පින්දහම් කරලා උසස් ලෝකවල පහළවූවත් ශක්තියෙන් අරගත්තම මිනිස්සුන් උසස් බව. හේතුව සිතින් කයින් වචනයෙන් පිනක් කරනවා නම් එහි විපාක තම තමා විඳගැනීම. පවක් වුණත් ඒ ආකාරයි. කර්ම විපාකයෙන් ගලවාගත හැකි කිසිවෙක් නෑ.   


වරම් ලැබෙනවා යනු කුමක්ද?   


යක්ෂ, දේව, නාග, කුම්භාණ්ඩ ආදී සත්ව කොට්ඨාසවල බලපෑම් අනුවයි ඒවා ලැබෙන්නේ. ඔවුන් අමනුෂ්‍ය කොට්ඨාසයි. මේ වගේ වරම් ලැබෙන්නේ පහත් භූමිවල ඉන්න භූම්‍යස්ථ සත්ව කොට්ඨාසවලිනුයි ආකසස්ථ දෙවියන් මෙවැනි දේ කරන්නේ නෑ.   


වෙසමුණි කියන්නේත් යක්ෂයෙක්. ඒත් දෙවියෙක් ලෙසයි සලකන්නේ. ඒ වගේ අයට මිනිසුන්ට බලපෑමක් කරන්න පුළුවන්.   

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්