බී ලූනු වගාව රට තුළ ව්‍යාප්ත කළේ මෙහෙමයි


 

මෙරට තුළ බී ලූනු හෙවත් ලොකු ලූනු වගාව ආරම්භ කර දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් සිදු කළ සේවාව තම දේශපාලන ජීවිතය තෘප්තිමත් කළ බව මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය ආර්.බී. ඒකනායක මහතා පවසයි.   


කුරුණෑගල පිහිටි සිය දියණියගේ නිවසේ දරු මුනුපුරන් පිරිවරා​ෙගන ජීවිතයේ දශක අටක් පමණ ගෙවා නිම කර තෘප්තිමත් සැඳෑ සමයක් ගතකරන අතරතුර ඔහු අප සමග සිය අතීතය මෙලෙස සිහිපත් කළේය.   
මම මධ්‍යම පළාතේ කෘෂිකර්ම ඇමැති වශයෙන් සේවය කරන කාලේ 1990 වර්ෂයේ දඹුල්ල ඉනාමළුව ගොවීන්ගේ ඉල්ලීම පරිදි නුවරඑළියේ වගා කර ඇති එළවළු සියල්ලම වාගේ ඉනාමළුවේ වගා කර ඇති ආකාරය නිරීක්ෂණය කළා. ඔවුන් ඒවා ඉතාම සාර්ථකව පවත්වාගෙන ගියා. මම ඒව නිරීක්ෂණය කරල අවශ්‍ය පහසුකම් උදව් උපකාර සලසලා දුන්නා.   


පසුව මගේම සංකල්පයක් අනුව මම ලොකු ලූනු වගාව එම ප්‍රදේශයේ වගා කරන්න පුළුවන් නේද කියල කල්පනා කළා. ඒ වෙනකොට මෙරට ලොකු ලූනු වගා කිරීමක් සිදු වුණේ නැහැ. අපට අවශ්‍ය ලොකු ලූනු සියල්ලම පිටරටින් ආනයනය කළා. ඒ අනුව එළවළු වෙළෙඳ සලකින් මා විසින් තෝරා ගන්නා ලද ලොකු ලූනු ගෙඩි දොළහක් මිලදී ගෙන ඉනාමළුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගියා. එම මධ්‍යස්ථානය භාරව සිටි කෘෂි උපදේශක ඩිංගිරිබණ්ඩා මහතාත් සහභාගි කරගෙන එම ස්ථානයේ මිදුලේ පාත්තියක් සකස් කරගෙන අර ලූනු ගෙඩි හිටෙව්වා. ඒවායේ මල් හටගත් පසු ඇට ලබා ගෙන ඒ බව මට දැනුම් දෙන ලෙස ඩිංගිරිබණ්ඩා මහතාට උපදෙස් දුන්නා. ඒ මහතා මාස තුනකට පසුව ඇට ලබා ගෙන එය මා අතට පත් කළා. ඒ අවස්ථාවේදී මට අපමණ ප්‍රීතියක් දැනුණා.   


මා විසින් ජපානය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල ක්ෂේත්‍ර චාරිකාවල නිරත වෙලා ලබාගත් දැනුමත් යොදවල ක්‍රම ක්‍රමයෙන් ලොකු ලූනු වගාව ඉනාමළුව ප්‍රදේශයේ ගොවීන් අතරට රැගෙන ගියා. ටික කාලෙකදි මෙම වගාව ඉතාමත් සාර්ථක වුණා. එවකට මධ්‍යම රජයේ රේඛීය අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්. ධර්මද‌ාස බණ්ඩා මහතා, රාජ්‍ය අමාත්‍ය විජේරත්න බණ්ඩා මහතා සහ සමුපකාර වෙ​ෙළඳ අමාත්‍යතුමන්ලා ප්‍රමුඛ සතොස ආයතනයේ නිලධාරීන් ද ඉනාමළුව ප්‍රදේශයට ගෙන්වාගෙන ලොකු ලූනු වගාව පෙන්නුවා. එම අවස්ථාවේදීම ගොවීන් සහ නිලධාරීන් සමග එක්ව විශේෂ සාකච්ඡාවක් පවත්වල ලූනු කිලෝවක් සඳහා රුපියල් 13ක රජයේ ස්ථාවර මිලක් ලබා ගත්තා.   


ලංකාවේ ලොකු ලූනු වගාවේ නිර්මාතෘවරයා මමයි. ලංකාවේ වෙනත් කිසිම කෙනෙකුට ඒක කියන්න බැහැ. මම අභියෝග කරනවා වෙනත් කෙනෙකුට පුළුවන්නම් ඉදිරිපත් වෙන්න කියල. අද වෙනකොට ලංකාවේ අතිවිශාල පිරිසක් ලොකු ලූනු වගාවෙන් ලක්ෂපතියන් වී ජීවත් වෙනවා. ඒක තමයි මගේ ජීවිතේ මං ලබපු විශාලම ජයග්‍රහණය. මේ වෙන විට අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රදේශවලත් ලොකු ලූනු වගාව ව්‍යාප්ත වෙලා.  


ඒ වුණාට මේ වෙන කොට ලොකු ලූනු කිලෝව ගොවීන් තුට්ටුවට දෙකට විකුණනවා. ඒ කාලේ අපි ස්ථාවර මිලක් නියම කරල ගොවීන්ට පහසුකම් සැලසුවා. නමුත් අද ස්ථාවර මිලක් නැහැ. සමහර කාලවලට ගොවීන්ට ලොකු ලූනු කිලෝව තුට්ටුවකටවත් අලෙවි කරගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ගොවියා කියන්නෙ අපේ රටේ සම්පත. ඒ සම්පත ගැන සියලු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. ගොවියාට වෙලාවට බිත්තර වී ටික, පොහොර ටික දෙන්න ඕනේ.   


ඒ කාලේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන් ලොකු ලූනු ගෙන්නුවේ. ලොකු ලූනු වගාව ගොවීන්ට හඳුන්වල දීල වසර දෙකක් පමන ගත වෙනකොට මම එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යතුමා සමග සාකච්ඡා කරල පිටරටින් ලොකු ලූනු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා.   

 

 

ගොවි විශ්‍රාම වැටුප් යෝජනාවත් මා විසින් එවකට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විජේරත්න බණ්ඩා මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රේඛීය අමාත්‍යාංශයේ කෘෂිකර්ම ඇමති ගාමිණී ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ක්‍රියාවට නංවන ලද්දක්.   


ඉන්පසු මම ගොවි බැංකුවකුත් යෝජනා කළා. නමුත් මේ වනතුරු එය ඉටු වී නැහැ.   


ඉන්පසු පාන්පිටි පරිභෝජනය සම්පූර්ණයෙන්ම නවතා ඒ වෙනුවට මඩු පිටි ආහාරයට ගැනීමේ වැඩපිළිවෙළ ගැන මාගේ අදහස් සවිස්තරව කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දුන්නා. නමුත් අද වනතුරු පිළිතුරක් නැහැ. මඩු පිටි කියන්නෙ ආහාරයක් විතරක් නෙවෙයි ඖෂධයක්. මඩු ගෙඩිය කපල වේළල ඒකෙ ඇට අඹරල පිටි හද‌ාගන්න ඕනේ. මේක ශරීරයට බොහෝම ගුණ ආහාරයක්. මේවගෙන් පිට්ටු, රොටි, ඉඳිආප්ප පාන්පිටි වලින් හදන ඕ​ෙන ආහාරයක් ඉතාම රසට පිළියෙල කළෑකි.   


මේ මඩු ශාකය ලග්ගල ප්‍රදේශයේ උඩසිය, කහගල, ඉලුක්කුඹුර ගම්මානවල ඉතාම සරුසාරෙට වැවෙනවා. ඒ ප්‍රදේශවලට පාලකයො ගිහින් මේව හොයල බලල ජනතාව සමග කතාබහ කරල ගම්වල මිනිස්සුන්ගේ අදහස් අරන් මඩු වගාව පටන් ගන්න ඕනේ. මේවට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් මේව පරීක්ෂණ කරල මිනිසුන්ගේ සෞඛ්‍යයට හිතකර මොනවද කියල තීරණය කරල ජනතාව අතර මඩු වගාව සහ මඩුවලින් පිළිවෙළ කර ගන්නා ආහාර ජනප්‍රිය කළ යුතුයි.   


මේ මඩු වගාව හොඳ කර්මාන්තයක් විදියට ඉදිරියට ගෙන යන්න පුළුවන්. රජයේ අනුග්‍රහය මේවට ලැබිල ආරම්භ කළොත් අපේ ගම්වල අහිංසක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන්. විදේශ විනිමය මෙරටට ගේන්න පුළුවන්. පාන්පිටි කෑම අපට නවත්තන්න පුළුවන්. මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි කියල මං හිතනවා.

   
අපි ඒ කාලේ කෘෂි ගම්මාන වැඩසටහන ආරම්භ කළා 1990 වර්ෂයේ. එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ගම්මාන තුනක් තෝර​ෙගන ඒව අංගසම්පූර්ණ ගම් බවට පත් කළා. ඒ වැඩපිළිවෙළවල් දැන් නෑ.   
මම උපන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පිටවල ගමේ. ඒකනායක මුදියන්සේලාගේ රන්බණ්ඩාර ඒකනායක කියල නම දැම්මට මම පාවිච්චි කළේ ආර්.බී. ඒකනායක කියල. මහලකොටුව මහා විද්‍යාලය, කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය ආදී පාසල්වල අධ්‍යාපනය හද‌ාරල මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළා. පස්සේ මිරීගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබල වසර විසි හයක් ගුරුවරයකු ලෙස දිවයිනේ විවිධ පළාත්වල සේවයේ යෙදුණ.   


නමුත් පසුව දේශපාලනයට පිවිසෙන්න තිබුණ ආශාව නිසාම ගුරු සේවයට සමුදීල ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවා. එවකට මාතලේ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා මමයි. ඒ වගේම මධ්‍යාම පළාත් සභාවේ පළමු වන කෘෂිකර්ම ඇමැතිවරයා විදියට පත් වුණෙත් මමයි. ඒ තනතුරේ මං අවුරුදු දහයක් මහජනතාවට සේවය කළා. ඒ කාලේ මම රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත බෝධිය වටා බෝධි බැම්මක් සහ රන්වැටක් ඉදිකිරීම සිදු කළා. මම පළාත් සභාවේ මහ ඇමැතිකම, පාර්ලිමේන්තු මන්ත්‍රීකම පරිත්‍යාග කළ කෙනෙක්. 1973 සිට 1977 දක්වා මම එක්සත් ජාතික පක්ෂයේ ලග්ගල ආසනයේ ප්‍රධාන සංවිධායක විදියට වැඩ කළා.   


මම ඉපදුණ ලග්ගල පිටවල ගම සංචාරක පුරවරයක් ලෙස වැඩිදියුණු කිරීම මගේ බලාපොරොත්තුවක්. ඒ වගේම මොරගහකන්ද ජලාශයට ජලය සපයන උල්පත්වලට ආශිර්වාද පතා පිටවල පතනේ රියන් දහඅටක් උස සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ විශේෂ අවධානය යොමු කිරීම සහ එතුමන්ලා විසින් එය ඉටු කරනු ඇතැයි යන සුවිශාල අපේක්ෂාවෙන් මම සැඳෑ සමය ගෙවනවා.   


මහවැලි ව්‍යාපාරයේ අවසන් ඉදිකිරීම සනිටුහන් කිරීම සඳහා මෙම රියන් දහ අටක් උස ශෛලමය බුදුපිළිමවහන්සේ මොරගහකන්ද, කළුගඟ ජලාශවලට ජලය සපයන උල්පත් පිහිටා ඇති කළුපහන කන්ද, බටුවා කන්ද කඳු ආශ්‍රිත උල්පත්වලට බුදු ආශිර්වාදය සැලසෙන පරිදි එම කඳු යායට බුදු ඇස යොමුකර ලග්ගල උඩසියපිටවල පතනේ බුදු පිළිමය නෙළීම සඳහා ඉතාමත්ම සුදුසුම ස්ථානයයි.   


ඒ වගේම ලග්ගල උඩසිය සංචාරක කලාපයක් බවට පත්කොට ලග්ගල, උඩසිය, පල්ලේසිය, අඹන්ගඟ, නාඋල, රත්තොට, උකුවෙල, පල්ලෙපොළ, යටවත්ත, මාතලේ කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ශුභසිද්ධිය සඳහා දීර්ඝකාලීනව ප්‍රයෝජන ලැබිය හැකි ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයි.   


එසේම මාතලේ මහ රෝහල අංගසම්පූර්ණ රෝහලක් බවට පත්කොට ඒ අවට තිබෙන ප්‍රාදේශීය රෝහල් වැඩි දියුණු කර දෙන ලෙසත් ඉතාම ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.   


මම 1960 සිට අද වන තුරු එක්සත් ජාතික පක්ෂයේ යාවජීව සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරනවා. වසර 58 ක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා. ඒ කාලේ අපි ජනතාවගේ සුබසිද්ධිය ගැන හිතල පුළුවන් හැම දේම කළා.   


රටක් සංවර්ධනය කරන්න නම් ධනාත්මක චින්තනය අවශ්‍යයි. අපි එද‌ා ජනතා සුබසිද්ධියට යම් යම් දේ හඳුන්වා දුන්නේ ධනාත්මක සිතුවිලි සහ චින්තන ධාරාව තුළ පිහිටල සැබෑ උවමනාවෙන් කටයුතු කළ නිසයි.   
ජීවිතයේ සැඳෑ සමය ගෙවන මගේ එකම අරමුණ මේ අපේ රට ලෝකයේ ඉහළින්ම වැජඹෙනව දකින එක. මේ රටේ ජනතාව සතුටින් ජීවත් වෙනව නම් ඒක තමයි මගේ මතු භවයකත් ප්‍රාර්ථනාව වෙන්නේ.

 

 

 

 

 

සටහන හා ඡායාරූප: 
වැල්ලව ශිවා බණ්ඩාර