බැළලියගේ ගෙල කැපූ පාපය බේලින් මුත්තාට පලදෙයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අැවැසිය. මේ විශේෂාංගය එ් වෙනුවෙනි

බිංගිරිය කොස්වත්තේ ඩී.එන්.දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   
ඌරන් මැරූ සින්නප්පු ඌරකු මෙන් මියැදෙයි   


වැඩිහිටියකු වූ සින්නප්පු මුළු ජීවිත කාලය පුරාවටම කළ සත්ව ඝාතන ක්‍රියා අති මහත් විය. හරකෙකු, ඌරකු, එළුවකු හෝ වෙනයම් සතෙකු මැරීමට මොහුට ගත වන්නේ තත්පර ගණනක කාලයකි. තම නිවසේ පිටුපස ඇති විශාල ගසක දෙබලයකට හිරකර බැඳ ගන්නා සතා එක පොරෝ පහරින් මරු වැලඳ ගන්නේ සින්නප්පුට ශාප කරමිනි.


මැරූ සතුන්ගේ මස් දිනපතා ප්‍රදේශයේ මස් කඩවලට ප්‍රවාහනය කරන්නේ තමාට අයත් වාහනයකිනි. සින්නප්පු වැඩි වශයෙන් මරනු ලැබුවේ ඌරන්ය. එම ඌරන්ගේ විලාප හඩ මුළු ප්‍රදේශයම දෙවනත් කරයි. එම විලාප හඩ අසල් වැසියන්ටද ගෙන දුන්නේ මහත් කන්දොස්කිරියාවකි. එය ඔවුන්ගේ සිත් පිත් රිදවීමක්ද විය. නමුත් සින්නප්පුවට නම් එම හඩ මහත් ආස්වාද විනෝද ජනක ප්‍රීතිමත් හඩක් විය. ගමේ ගොඩේ ඇවිද දිනපතා එකතු කර ගන්නා උෟරන් තම නිවස පිටුපස ඇති විශාල උෟරු කොටුවට ගෙනවිත් දමනා සින්නප්පු දිනපතාම උදය වරුවේ ඌරන් හතර පස් දෙනෙක් මරා මස් ප්‍රවාහනය කර අවසානයේ සවස භාගය වනවිට කටගොන්නක් බී ගෙන මහ මග වැනි වැනී යන්නේ පැරණි රසාංග ගීතද ගායනා කරමිනි. මොහුව මුහුණට මුහුණ හමුවන බොහෝදෙනා මොහුව මග හැර ඉවත බලා යන්නේ ඔහුව දැකීමත් එක්තරා අසුබ දසුනක්ය යන හැඟීමෙනි. කාලය මෙසේ ගෙවී යද්දී අධික ලෙස බීමත් කම නිසා සින්නප්පු හදිසියේ ඔල්මාද ගතියෙන් පෙළෙන්නට විය. ඔහුගේ කටහඩ හා හැසිරීම ඌරෙකුට බොහෝ සෙයින් සමාන විය. දිනෙන් දින රෝගය උත්සන්න වෙත්ම මහ මහ ගමන් කළේ කිසිම අරමුණක් ඇතිව නොවේ. ඌරෙකු මෙන් හඩතලමින් ඉබාගාතේ ඇවිදින්නට විය. ඔහුගේ මෙම දසුන දකිනා හැම කෙනකුම පාහේ කතාබස් කෙරුවේ ඔහුගේ ජීවිතයේදීම ඔහු විසින් කරන ලද සියළුම පාපක්‍රියා මෙලොවදීම පටිසන්දී ගෙන එන බවය. ජීවිතයේ අවසාන භාගයේ ඌරෙකු මෙන් කෑගසමින් ඌරෙකු මෙන් හැසිරෙමින් ජීවත්වූ ඔහු අවසානයේ මෙලොව හැර ගියේ කිසිවකුගේ හව්හරණක් නොමැතිවය.   

 



හලාවත ඉලිප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.   

ඉබි මසට ලොල් වුණු සෝමේ ඉබි වළේ ගිලී මරුට   


බීමට කෑමට එකසේ දක්ෂ සෝමදාස නොහොත් ගඩොල් සෝමේ ඔහුගේ බිරිඳ යසවතී සමඟ මීට වසර තිහකට පමණ පෙර වයඹ පළාතේ කැලෑබද දුමක විසුවෙකි.   
අක්කර බාගයක පමණ කැලේ කපා එළිපෙහෙළි කරගෙන එහි කටු මැටි ගෙයක් තනාගෙන දිවිගෙවන අතරේ රැකියාව වශයෙන් දෙදෙනාම එකතු වී පෝරණයක් හදාගෙන ගඩොල් කපා පුලුස්සා විකිණීමෙන් මුදල් උපයා ගත්හ.   


පෙර කල සරුසාර ඉඩමක්ව තිබී පසු කලෙක කැලෑ වැදී නිසරු ඉඩමක්ව වී තිබිණ. ඉඩම අයිතිකරු කොළම ප්‍රදේශයේ සුඛෝපභෝගී දිවියක් ගත කරන නිසා මේ ඉඩම බලාගැනීම සෝමදාසට පවරන ලදී. කුලිය වශයෙන් මසකට රුපියල් තුන් සීයක්ද ගෙවන ලදී.   


මෙමගින් සෝමදාස සහ යසවතීට ලාබයක් මිස පාඩුවක් සිදු නොවුණි. ලයිසන් ගිනි අවියක් දී තිබුණු නිසා ජීවිත ආරක්ෂාවද සිදුවිණි. එහෙත් ඉඳ හිට වල් අලි කරදරේ අඩුවක් නොවුණි.   


එවිට සෝමදාස උන්ට වෙඩි තැබීමද සිදු කරයි. ඇතැම්විට තුවාල වුණු අලින්ගේ ජීවිත හානි සිදුවූ අවස්ථාද තිබුණි.   


පදමට වේළීමට තබා තිබෙන ගඩොල් පේළි පෙරළා කඩා බිඳ දැමීමද රෑ ගම් වඳින අලින් ගෙන් සිදුවන හානියකි. එහෙත් පෝරණේ දර ගිනි පත්තු වෙද්දී අලි කිට්ටුවට ඒම නවතී. ඒ අතරතුරේ යසවතී අරක්කු පෙරීමේ කාර්යද සිදු කරයි. මැටි කැපූ වළවල් වැසි වතුරෙන් පිරී තිබෙද්දී එහි ඉබ්බන් බෝවී සිටින නිසා එකෙක් දෙන්නෙකු අල්ලාගෙන දර ගිනි කානුවට දමා පුලුස්සා ගැනීමෙන් ඉතා පහසුවෙන් ඉබිකටු ගලවා දමා මස් කපා ගැනීම සෝමදාසට සුපුරුදු ක්‍රියාවකි.   


මෙසේ කාලය ගෙවෙද්දී අහසේ වැසි වලාකුළු දක්නට තිබෙනු දැක ඉක්මනින් පෝරණේ ගල් අඩුක්කර පිලිස්සීමේ කටයුතු ආරම්භ කෙරුණි. ඔවුන් දෙදෙනාට පමණක් අපහසු නිසා අසල් වැසි කුළී කරුවෙකුද වැඩපළට යොදා ගැනුණි.   


රෑ හත හමාර පමණ වන විට කානු හතරේ අඩුක් කළ දර කොට ගිනි ඇවිළී සරුවට පත්තු විණි.   


පෝරණේ ළඟම තිබූ දිවුල් ගසමුල ගෝනියක් ඵළාගෙන පිලිස්සු කිරි ඉබිමස් භාජනේ ළඟ තබාගෙන ගිනි වතුර බොමින් කමින් කාලය ගෙවූ සෝමදාම රාත්‍රී කෑම පෙට්ටිය රැගෙන එන්නට ගෙදර ගියේය.   


ඒ වනවිට සියල්ල සකසා තිබූ යසවතී හාමස් සහිත තල්කොළ කෑම පෙට්ටිය සෝමදාස අත තැබුවාය.   


එහෙත් පැයක පමණ කාලයක් ගෙවුනත් සෝමදාස පෝරණේ වෙත නොපැමිණි නිසා කුලී වැඩකරුවා ඔහු සොයා යසවතී මුණ ගැසීමට ඇගේ ගෙදර ගියේය.   


කෑම පෙට්ටිය රැගෙන ගිය මේ මිනිහා කොහේ ගියා දැයි සොයා බැලීම සඳහා කුලීකරු සහ යසවතී ටෝච් එළිය ගසාගෙන පෝරණයට යන අඩි පාරක් දිගේ ගමන් කරද්දී අසල තිබූ මඩ වළක වතුර කැලඹෙන හඩ ඇසී එහි ගොස් බලන විටදී තල් කොළ පෙට්ටිය දියමත පාවෙනු පෙනුණි. සෝමදාස ද වතුරේ උඩ යට යමින් මරුවා සමග පොර බඳිනා සැටි දැකදෙදෙනා එකතු වී ඔහු ගොඩගත්හ.   


ඒවන විටත් සෝමදාස මරු තුරුලේ සැඟවී සිටි බව දැනුණු යසවතී මහ හයියෙන් ගමටම ඇසෙන්නට මර ලතෝනි දී වැලපෙන්නට වූවාය. එතැනට ඇදී ආ අසල්වැසි ජනයා වට පිට බලද්දී අනේ හත් දෙයියනේ මේ තරම් ඉබිකටු ගොඩක් කියැවිණි. ඉබිකටු පිරුණු මැටි වළක් දැකීමෙනි. මේ සෝමදාස පාපතරයාට මේ ජීවිතේදීම කළ කම් පල දුන්නා කියා ගමේ කටකතා පැතුරුණි.   


ඊට පසු කලකදී යසවතී පාරවල් ගානේ පිස්සියක් සේ හැසිරෙමින් ඇවිදිමින් සිඟා කෑමේ යෙදී සිටිනායුරු දකින්නට ලැබුණි.   

 



දෙල්ගොඩ මීගහවත්ත සී.පී.වීරසේකර මහතා ලියා එවූ කතාවකි.  

බැළලියගේ ගෙල කැපූ පාපය බේලින් මුත්තාට පලදෙයි  


හැට වසරකට පෙර ගමේ ජීවත්වු අවුරුදු 50 ක් පමණ වූ ඔහුට අවුරුදු දහයේ දොළහේ කොලු ගැටයන් ඇමතුවේ බේලින් මුත්තා යනුවෙනි. වෙනත් අය බේලින් අයියා, බේලින් මාමා යනුවෙන් ඇමතූහ. ළඟ පාත නැති සමහරු ඔහු හැඳින්වූයේ බෙලින් කාරයා යනුවෙනි.   


මෝඩ ගඩොල් නමින් හැඳින්වූ ගඩොල් විශේෂයකින් බාගෙට බිත්ති බැඳ ඒමත මුක්කු ගසා වහලය සාදා ටකරන් සෙවිලි කළ ගෙයක බේලින් මුත්තාත් දීග දෙන වයසේම ඔහුගේ දියණියන් දෙදෙනා සහ බිරිඳත් ජීවත් වූහ. බේලින් මුත්තාගේ මුහුණ ලේ කඳුළක් නැති වියළි පරඩලාවක් මෙන්වූ අතර කිසිම විටක හිනාවක් දක්නට නොතිබුණි. ගුණ යහපත් බවක් හෝ කරුණාවන්ත බවක් කිසිම දිනක ඔහු වෙතින් දිස්වූයේ නැත.   


මොහුගේ රැකියාව වූයේ පොල් කැඩීමයි. ඊට අමතරව රා මැදීමටද ඔහු හැබෑ දක්ෂයෙකි. බෙහෙත් තබා බඳින ලද පොල් මලේ පෙත්තක් එක පහරකින් කැපිය හැකි තියුණු මුවහතක් ඇති පිහියක් ඔහු සතුව තිබුණි. ඔහු ළඟ ඉඳගෙනම පන්නරය තබා සාදවාගෙන තිබූ මෙම පිහිය පුවක් කොළයකින් සෑදූ කොපුවක බහා ඉණේ ගසාගෙන යන යන තැනට ගෙන යයි.   


දිනක් පොල් කැඩීමකට ගොස් දහවල් දොළහට පමණ නිවසට පැමිණ බේලින් මුත්තා තමා ඇඟ සෝදාගෙන එන විට බත් බෙදා තබන ලෙස බිරිඳට දන්වා බාල්දියද රැගෙන ළිඳවෙත ගියේය. බිරියද යුහුසුලුව බත් එක බෙදා මේසය උඩතබා වෙනත් කටයුත්තකට ගිය නිසා බත් පිඟාන වැසීමට අමතක විය.   


කොහේදෝ සිට දිව ආ ගෙදර ඇති කරන බැළලිය මාළුවල ඉවට මේසයට පැන බත් පංගුවේ තිබූ මාළු කෑල්ල කෑමට පටන්ගෙන තිබුණි. බේලින් මුත්තා ඇඟ සෝදා ගෙන ගෙට ගොඩවන විට දුටු දර්ශනයෙන් මාරාවේෂ වී කළ ගෝරණාඩුවට බැළලිය පැන දිවූ අතර බිරිඳත් දියණියන් දෙදෙනාත් එදෙසට දිව ඔවුන් තිදෙනාට නොසරුප් වචනයෙන් බැණවැදී බත් පංගුව උස්සා පොළෙවේ ගසා පිහියක් ඉණේ ගසාගෙන නිවසින් පිටවිය.   


නිවසින් පිටත්වූ  බේලින් මුත්තා කෙළින්ම ගොස් තිබුණේ රාපොළටය හොඳටම රා බී නිවසට පැමිණ ඔහු බිරිඳට හා දියණියන් දෙදෙනාට නොසරුප් වචනයෙන් බැණ වදිමින් වැල් ඇඳට වැටී නිදන්නට විය.   


පසුදා තරමක් දහවල් වී ඇහැරුණ බේලින් කහට උගුරක් බී සුළු වේලාවක් වැල් ඇඳට වී කල්පනා කර කර සිට ගෙතුළට ගොස් පන් මල්ලත් රැගෙන මිදුලට බැස්සේය ඔහුගේ බිරිඳ පිළිකන්නේ කුමක්දෝ වැඩක් කරමින් සිටි අතර දියණියන් දෙදෙනාද මිදුලට වී සිටියහ. බැළලියද මිදුලේ සතෙකුට කුරුමානම් අල්ලමින් සිටියාය. බේලින් මුත්තා හෙමි හෙමිහිට බැළලිය ළඟට ගොස් එක්වරම පැන උගේ බෙල්ලෙන් අල්ලා පන් මල්ලට දමාගෙන යන්නට ගියේය. අනේ අම්මේ යනුවෙන් දියණියන් දෙදෙනා කෑගසනු අසා බිරියද දුවගෙන ආවාය. ඔය බැළලිය ගෙනියන්නේ කොහේද? කියා මොරදුන්නද අනේ තාත්තේ කියා දියණියන් දෙදෙනා මොරදුන්නද පලක් වුණේ නැත.   


බැළලිය දමාගත් මල්ලත් රැගෙන ඔහු ගියේ පාලම උඩටය. පාලම පිහිටා තිබුණේ ඔහුගේ නිවසේ සිට යාර 200ක් පමණ දුරිනි. පාලම උඩට ගිය බේලින් මුත්තා බළලා මල්ලෙන් එළියට ගෙන කන් දෙකෙන් අල්ලා ගඟ පැත්තට සිටින සේ ඔසවා මගේ පංගුවේ තොට කන්න තරම් මාළු තිබුණේ නෑ බොල ගඟේනේ මාළු ඉන්නේ ඔන්න ඇති තරම් කාපිය කියා ඉණෙන් පිහිය ඇද බළලාගේ බෙල්ලට තබා තදින් ඇද්දේය. තියුණු මුවහතක් ඇති පිහිය බෙල්ලේ ඇතිල්ලෙනවාත් සමගම බැළලියගේ බෙල්ල බාගෙට කැපී ​ලේ දහරාවක් විදුණු අතර බේලින් මුත්තාගේ බෙල්ල පපුව අත් සහ පිහියද නැහැවී තිබුණි. මේ අවස්ථාවේදී පාලම උඩින් යන්නට ආ අයෙක් මේ සිද්ධිය දැක බලවත් සේ කම්පාවට පත්වී ආපසු දිවගිය අතර හමුවූ කිහිප දෙනෙකුට සිද්ධිය විස්තර කිරීමටද අමතක කළේ නැත. සවස් වන විට සම්පූර්ණ සිද්ධිය ගමේ අයටත් බිරිඳට සහ දියණියන් දෙදෙනාටත් දැනගන්නට ලැබී තිබුණි.   


මේ සිද්ධිය සිදුවී ගතවුණේ හරියටම සතියක කාලයකි. බේලින් මුත්තා ඔහුගේ නිවසට මඳක් ඔබ්බෙන් වූ ඉඩමක පොල් කැඩීමට ගොස් තිබුණි. ඔහු කරන්නේ පොල් ගෙඩිය කැඩීම නොව පොල් වල්ල පිටින්ම හනස්සෙන් කපා බිම හෙළීමයි. මෙසේ ගස් කීපයකම පොල් කඩා තවත් ගසකට නැග පොල්වලු දෙකක් කපා බිම හෙළා තරමක් උඩින් ඇති තවත් පොල් වල්ලක් කැපීම සඳහා එක අතකින් ඉහළ පොල් අත්තක එල්ලී පිහිය හනස්ස අතරින් දමා ගස්සා වැරෙන් ඇද්දේය. අවාසනාවට පිහිය දමා තිබුනේ හනස්ස අතරින් නොව පොල් ගෙඩියක නැට්ට අතරින්ය. පොල් නැට්ටක් කැපීමට ගස්සා වේගයෙන් ඇදීම අවශ්‍ය නැත. ඔහු පිහිය දමා ඇද්ද පාරට පොල් නැට්ටත් කැපී පිහිය ඔහුගේ බෙල්ලේද ඇතිල්ලී තිබුණි.   


බැළලියගේ බෙල්ලේ මෙන් ඔහුගේ බෙල්ලේද පැත්තක් කැපී ගසමුල ඇදවැටී තිබුණි. ගසට නැගීටම පෙර ගසමුල තිබූ පඳුරු කීපයක් කපා දැමූ නිසා ඉතිරිවී තිබූ උල් කෑල්ලක් හරියටම බෙල්ලේ කැපී තිබුණ තැනින් උගුරු දණ්ඩ තෙක් ඇනී තිබුණි. පසුව දැනගන්නට ලැබුණේ ඔහු ඒ ස්ථානයේදීම මියගොස් ඇති බවය.   

 


මෙබදු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්