බැල්ලියකට පිහියෙන් ඇන මැරූ මිනිසා


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි.


හලාවත, නල්ල දරන්කට්ටුව එස්.ආර්.එම්.ඩී. සුදේශ් සමරසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය.


එක්තරා ප්‍රදේශයක ගවයන් මිලදී ගෙන එම සතුන් මරා මස් කර විකිණූ පුද්ගලයෙක් සිටියේය. ඔහු බොහෝ විට හැඳ සිටියේ ගවයන් මරන විට එම සතුන්ගේ රුධිරයෙන් තෙත් වූ ඇඳුමකි. 


මහ මඟ ගමන් කළත් ආහාර ගත්තත් ඔහු පිළිකුලකින් තොරව එම රුධිරය තැවරුණු වතින් සිටියේ නියම මස් මරන්නෙකුගේ වේශයෙනි. ඔහු හරකුන් මිලදීගෙන තම නිවසට ගෙන ගොස් එම සතුන් ගස්වල බැඳ තබා තියුණු ආයුධයකින් එම සතුන්ගේ හිසට පහරදී මරා දමයි. බොහෝ විට ඔහු එයට යොදාගත්තේ පොරවකි. පසුව එම සතුන්ගේ රුධිරය භාජනයකට එකතු කරගන්නා ඔහු එය ස්ටීමරයක බහා තම්බා කැටි කර ගනී. කැටි වූ රුධිරය කැබලි කපා ආහාරයට ගන්නා එම පුද්ගලයා ශාරීරික වශයෙන් ඉතාමත් පෘෂ්ඨිමත්ව සිටි අතර සාමාන්‍ය නිවසකට ඔහුට ඇතුළු විය හැක්කේ බොහෝ අපහසුවෙනි. මෙසේ කාලයක් ගිය පසු එම පුද්ගලයාගේ එක් අතක් ආබාධිත විය. ගම්වැසියන් පැවසුවේ ඔහුට හරකුන් මරන්නට හුරු අත මෙසේ ආබාධිත වූයේ කළ කම් පල දීම නිසා බවයි. මෙසේ හරකුන් මැරීමෙන් ජීවිකාව ගෙන ගිය ඔහු කලකින් රෝගාතුරව වැතිර ගත්තේය. අවසාන කාලයේදී මිය යන තෙක්ම වණ වූ තුවාලවලින්ද ආබාධිත අතින්ද පීඩා වින්දේය. ඔහුගේ අධික තරබාරුව හේතුවෙන්ම කිසිවෙකුට ඔහුව පහසුවෙන් එහා මෙහා ඔසවාගෙන යාමටද නොහැකි විය. අහිංසක ගවයන් වධදී මරා දමන විට නැඟූ වේදනාත්මක හඬ ඔහුගේ මුවින්ද නැගෙන්නට පටන් ගත්තේ ගවයන් මර හඬ දුන් අයුරිනි. එම පුද්ගලයා එසේ හරකෙකු සේ කෑ ගැසූ බව අදටද එම ප්‍රදේශවාසීන්ගේ මතකයේ ඇත.


ඔහුගෙන් පසුව ඔහුගේ පුත්‍රයාද එම ආකාරයටම හරකුන් මැරීමේ පාපකාරී කටයුත්තෙහි යෙදුණේය. නොයෙකුත් සමාජ අපචාර, ස්ත්‍රී දූෂණ සිදු කරමින් ගව ඝාතනයේ යෙදුණු ඔහු මුළු ප්‍රදේශයටම කරදරයක් විය. ඒ හේතුවෙන්ම කිසියම් පිරිසක් විසින් එම ගව ඝාතකයා මරා දැමුණේ කපා කොට ඉතා පහත් අන්දමිනි. අනුකම්පාවකින් තොරව ගවයන් කපා කොටා ඝාතනය කළ මොහුටද අවසානයේ එවැනිම ඉරණමකට මුහුණ දීමට සිදුවූයේ කළ කම් පල දීමක් ලෙස බවට ප්‍රදේශවාසීහු විශ්වාස කරති.

 

පිළියන්දල සීතා ජයතිලක මහත්මිය ලියා එවූ කතාවකි. 


බැල්ලියකට පිහියෙන් ඇන මැරූ මිනිසා


කොළඹට කිට්ටු ගම්මානයක සිදුවීමකි. අසල්වැසි එක්තරා හෝටල් සේවකයෙකුගේ නිවෙසක්ද විය. ඔහු හෝටල් හිමිකරුටත් වඩා උජාරු හා ශෝභන කාරයෙකි.


එක් සිංහල අවුරුද්දකට දින කීපයකට පෙර ඔහු දහවල් කෑමට හරක් මස් ව්‍යාංජනයක් පිස ළිප උඩම වසා වෙනත් වැඩක නිරත වුණි. මස්වල ඉවට කුස්සිය ඇතුළට රිංගාගෙන සිටි බැල්ලිය දුටු ඔහු යක්ෂාවේශ වූයේය. ඇය පසු පස පන්නා ගියාත් ඒ බැල්ලිය පැන දිව්වාය. මස් කෑමට ආශා වූ ඒ බැල්ලිය යළිත් වරක් වත්තට ආ විට අත තිබූ පිහියෙන් ඇන මරා දැමීය. පැටවුන් ලැබීමට ආසන්නව සිටි ඇය මර ලතෝනි දී මැරුණේය. ඒ නපුරු මිනිසා මහත් හපන් කමක් කළාක් මෙන් සිනාසිසී වළක් කපා බැල්ලයි වළ දැමුවේය. පුදුමය නම් ඔහුගේ නිවසේ බුදු කුටියක් හෝ කුමන හෝ දෙවි කෙනෙකුගේ දේවාලයක්ද තිබුණි.


කර්මය පලදීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ඒ දින කීපයකට පසු සිංහල අවුරුදු සංගීත සංදර්ශනයක් බැලීමට පවුලේ උදවිය සහ හිතවතුන් සමග කුලී වාහනයකින් ගමනට පිටත් විය. ඒත් ප්‍රධාන පාරේ ටික දුරක් යද්දී නොසිතු ලෙසින් වාහනය එක් පැත්තකට ඇලවුණි. බිමත්ව සිටි ඔහු වාහනයෙන් බැස සිදුවූයේ කුමක්දැයි පරීක්ෂා කිරීමට පටන් ගති. එහෙත් හදිසියෙන්ම ඔහු සිටි පැත්තටම ඔහුත් යටකරගෙන වෑන් එක පෙරළුණේ ඔහුගේ මුළු සිරුරම යට කරගෙනය. වාහනය ඇතුළේ උන්නු කිසිවකුටවත් කිසි තුවාලයක් හෝ සීරීමක් හෝ සිදු නොවුණි. ඒත් යට වූ මිනිසාගේ මුහුණ හා සිරුර දැඩි ලෙස හානිව විරූපීව තිබුණි.


ඉතින් මේ මෙයට දින කීපයකට උඩදී පැටවුන් ලැබීමට ආසන්නව සිටි බැල්ලියට පිහියෙන් ඇන මරා දැම්මේ විපාකය නොවන්නේද?

 

අකුරැස්ස පහළ මිලිදුව, චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.


වගා පාළු කළ ගවයා මැරුවා. ගසෙන් වැටී එහි වන්දිය ගෙව්වා


ගොවිතැන ජීවිකාව කරගත් සිරිදාස කම්මැලිකමක් ගෑවිලාවත් නැති දක්ෂ ගොවි තරුණයෙකි. ගමේ අන් තරුණයන් මෙන් නිකරුණේ කාලය ගත කිරීමේ පුරුද්දක් ඔහුට නැත. ස්ථිර රැකියාවක් නොකළත් ගොවිතැන් කටයුතුවලින් දිවිය සරුකර ගත් උත්සාහවන්තයෙකි. විවිධ බෝග වර්ගවලින් පිරුණු සරුසාර වගා බිමක් ඔහු සතුවිය. එහි කිසිදු ඉඩක් හිස්ව නොතබා එළවළු, පලතුරු වගාවලින් පුරවා තැබීමට නිතර වග බලාගත්තේය. ඔහු තම වගාව නිසා ලැබුයේ නොමද සතුටකි. වගාවට දැක්වූයේ පණටත් වඩා ආදරයකි. සතකු තබා මිනිසකුවත් තම වගා බිමට එනවාට ඔහුගේ කැමැත්තක් නොවීය. සතකු වගාවට ඇතුළු වුවහොත් ඔහුට උන්හිටිතැන් පවා අමතක වේ.


නිතරම වගාව සමඟ කාලය ගෙවන සිරිදාස දිනක් සවස් යාමයේ තම කොටුවට යන අතර තුර ඈතදීම දුටුවේ මී හරක් නාම්බෙකු වගාවට ඇතුළු වී රිසිසේ වගාව කා දමන අන්දමයි. ඔහුට යක්ෂයා ආරූඪ විය.


ගමන නවතා ආපසු නිවසට දිවගිය ඔහුට අලුත මුවහත් තබා ගෙනවිත් තිබූ පොරොව නෙත ගැටිණ. ගිය වේගයෙන් පොරොව අතට ගත් ඔහු නැවත එක පිම්මේ කොටුව දෙසට දිව ආවේය. ඒ වන විටත් මේ කිසිත් නොදත් අහිංසක මී හරක් නාම්බා රිසිසේ වගාව බුක්ති විඳිමින් සිටී. හෙමින් හෙමින් සතාට ළං වූ සිරිදාස හැකි වැර යොදා දෑත බදා මී හරක් නාම්බාගේ පිට මැදට පොරොව පහරක් හෙළුවේ සිතේ හටගත් කෝපයද මුදා හරිමිණි. නොසිතූ ලෙස වැදුණ මාරාන්තික පහරින් වේදනාවට පත් සතා මරහඬ නගාගෙන වැට කඩොළුද බිඳගෙන දිවගියේ මළ මුත්‍රද හලමිණි. ගැසූ පහරේ වේගයට උගේ කොඳු නාරටියද කපා ගෙන පොරොව කිඳා බැස තිබුණේන් එය ගලවා ගැනීමටද නොහැකි විය. සතා ගියඅතක්ද සොයා ගත නොහැකිව සිරිදාස නිවසට ගියේ හැන්දෑ කළුවර වැටුණ බැවිනි.


තමාගේ අලුත්ම පොරොව නැතිවීම ඔහුට මහත් දුකක් ඇති කළේය. පසුදා උදෑසනම ගවයා සොයා ගිය සිරිදාසට ලඳු කැලෑවක පිටේ ඇමිනුණ පොරොව සමගම මියගොස් සිටි මී හරක් නාම්බා හමුවිය. ඇමිණී තිබූ පොරොව ගලවා ගැනීමටද ඔහුට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. මේ සිදුවීම ඇසූ දුටු බොහෝ අය මහත්කම්පාවට පත්වූහ. මේවා අහස පොළොව නුහුලන අපරාධ යැයි පවසන්නට වූහ. එහෙත් සිරිදාස කිසිවක් ගණනකට නොගත්තේය.


කරුමයක මහත වැඩි කලක් ඔහුට යහතින් ජීවත්වීමේ වාසනාව උදා නොවීය. දිනක් තම ගෙවත්තේම තිබූ පොල් ගසකට නැග ගත්තේ එහි තිබූ පොල් ටික කඩා ගැනීමටයි. ගස් නැගීමටද රුසියෙකු වූ ඔහුට එදා වැරදිණි. ගස අල්ලා ගෙන සිටි දෑත් දෙපා අත්හැරුණේ ඔහුවත් නොදැනය. තත්පර ගණනක් තුළ පොල් ගස මුලට ඇද වැටුණේ පොල් ගෙඩියක් වැටෙනවාටත් වඩා වේගයෙනි.


ඒ ඔහුගේ අවසන් ගස් නැගීම විය. කිසිදාක ගස් නැගීම තබා දෙපයින් නැගී සිටීමටවත් නොහැකි ලෙස කොන්ද බිඳී තිබුණි. මරණයෙන් ගැලවුණත් ඔහුට සඳහටම රෝද පුටුව සහ ඇඳ පමණක් උරුම විය. වසර ගණනාවක් නොවිඳිනා දුක් විඳීමට සිදුවීම නිසා අවස්ථා කීපයක් සිය පණ නසා ගැනීමට පවා උත්සාහ කළද ඒවාද පලක් නොවීය. තමා කළ මහා පාපකර්මය මෙනෙහි කරමින් අවුරුදු පහළොවක් පමණ රෝද පුටුවක කල් ගෙවීමට සිදුවූයේ සිය දහස්වර මැරි මැරී උපදිමිනි.

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න!