බැතිමතුන්ට තලමින් භාවනා උගන්වන නේපාලයේ ‘බුද්ධා බෝයි’


 

බුද්ධ ධර්මය යනු ලෝකයේ කෝටි සංඛ්‍යාවක ජනතාවගේ වන්දනීයත්වයට පත් වූ ධර්මයකි. ගෞතම බුදු පියාණන්වහන්සේ එදා භාරතයේ ඉපදී අනේක විධ දුෂ්කරතා මැද ලබා ගත් සම්මා සම්බුද්ධත්වය අදටත් ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනයාගේ සිත් නිවන් මඟ පෙන්වන්නාහ. බුදු බව ලබා ගත් උන්වහන්සේ දේශනා කළේ තමාගේ යළි ඉපදීමක් නැති බවය. එය තමාගේ අවසන් ඉපදීම බවය. එහෙත් නේපාලයේ උපන් සන්‍යාසියෙක් මේ දිනවල තමා බුදුන්වහන්සේගේ යළි උත්පත්තිය බව කියමින් බැතිමතුන් දහස් ගණනකගේ ආකර්ෂණය ලබා සිටියි. ඔහු හැඳින්වෙන්නේ බුද්ධා බෝයි යනුවෙනි.

 
එදා බුදුන් උපන් නේපාලය අද බෞද්ධ රටක් නොවන බව ද එහි අති බහුතර ජනයා හින්දු භක්තිකයන් බව ද පළමුව ලිවිය යුතුය. එරට හා ඉන්දියාවේ වරින් වර මෙවැනි ආගමික වංචාකාරයෝ පහළ වෙති. සියවස් ගණනක් ලෝකයා සැනසූ ආගම්වලට ජනතාවගේ ඇති ආකර්ෂණය උපයෝගී කරගෙන වංචනික ජීවිත ගෙවන සන්‍යාසීන් එම රටවල දුලබ නොවේ. බුද්ධා බෝයි ද එවැන්නෙකි. ඔහුගේ ආශ්‍රමය පිහිටා ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු අගනුවරට නොදුරු බාරා දිස්ත්‍රික්කයේය. ‘‘බුද්ධා බෝයිගේ’’ නියම නම රාම් බහදූර් භූමි ජාන් ය. ඔහු ධර්මය දේශනා කරන ආශ්‍රම ගණනාවක් නේපාලය පුරා පිහිටා ඇත. ඒවා සියල්ල වනගත ආශ්‍රමය.   


නේපාලය වැනි රටක බුදුවරයකු යනු ථේරවාද බුද්ධාගමේ පිළි ගැනෙන සම්මා සම්බුද්ධත්වය නොවන බව ද මෙහිදී සැලකිය යුතුය. ඔහුගේ ජනප්‍රියත්වය ඇරඹුණේ 2005 වසරේ ආහාර හා ජල පොදක් නොගෙන නින්දෙන් ද වැළකී මාසයකට වැඩි කාලයක් නේපාල වනාන්තරයේ ආශ්‍රමයට වී කල් ගත කිරීමෙනි. මෙය ඇසින් දුටුවෝ ද සිටි හෙයින් රාම් බහදූර් බුදුවරයකු ලෙස ජනයා සිතන්නට පටන් ගත්හ. එදා සිට ඔහුගේ ආශ්‍රම වෙත වැල නොකැඩී අනුගාමිකයෝ එන්නට පටන් ගත්හ. ජනයා සිතන්නේ ආහාර සහ ජලය නොමැතිව ජීවත් විය හැක්කේ බුදුවරයකුට පමණක් බවය.   

 

 


ජනප්‍රියත්වය ඉහළ යෑමත් සමග ඔහුගේ ආශ්‍රම වෙත බණ භාවනා සඳහා ඇදී ආ බැතිමත්හු නේවාසිකව ද රැඳී සිට බණ භාවනා ප්‍රගුණ කිරීමට පටන් ගත්හ. එය නරියාට කුකුළන් රංචුවක් මුර කිරීමට භාර දීම වැනි යැයි ජනතාවට සිතෙන්නට පටන් ගත්තේ ඉන් පසුව වූ සිදුවීම් මාලාවක් නිසාය. පළමුව 18 හැවිරිදි භික්ෂුණියක පොලිසියට පැමිණිලි කළේ ආශ්‍රමයක් තුළදී බුද්ධා බෝයි හෙවත් රාම් බහදූර් තමා දූෂණය කළ බවටය. රාම් බහදූර් ගැන විශ්වාසයෙන් නැවතී සිටි තමාගේ විශ්වාසය නැති කර තමාට අශීලාචාර ලෙස ලිංගික හිරි හැර කළ බව ඇය කියා සිටියාය. පොලිසිය ඒ ගැන පරීක්ෂණ පවත්වද්දී ඔහුගේ අනුගාමිකයන් ඇයට චෝදනා කළේ සොරකමකට හසුවීම නිසා ඇය එයින් බේරීමට තම ආගමික ගුරුවරයාට දූෂණ චෝදනා නගන බවය. බුද්ධා බෝයිගේ ආගමික චරිතය යටින් ඇති අපචාරී ක්‍රියා එකින් එක මේ වනවිට හෙළිදරව් වෙන්නට පටන් ගෙන තිබේ. රාම් භූමි ජාන්ගේ ආශ්‍රමවල සිටි බැතිමතුන් හතරදෙනකු අතුරුදන් යැයි පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර මේ දිනවල ඒ ගැන පරීක්ෂණ පැවැත්වේ. මෙම අතුරුදන්වීම්වලට ආගමික ගුරු බුද්ධා බෝයි සැක කළ හැකි ​තොරතුරු ඇතැයි පොලිස් ප්‍රධානීන් ජාත්‍යන්තර ජනමාධ්‍ය වෙත ද සඳහන් කර ඇත. ඔහුගේ ආශ්‍රමවල බණ භාවනා උගන්වන අපූරු ක්‍රමයක් ගැන ද මේ දිනවල මාධ්‍ය වාර්තා පළ වෙයි. බුද්ධා බෝයි උගන්වන ආකාරයට බණ භාවනා නොකරන අනුගාමිකයන්ට පහර දී නිවරැදි ලෙස භාවනා කරන හැටි කියාදෙන බවය. ඔහුගෙන් ප්‍රශ්න අසන හෝ ඔහුගේ දහම ප්‍රශ්න කරන බැතිමතුන්ට තවත් බැතිමතුන් පිරිසක් පහර දෙන බව පරීක්ෂණ පවත්වන පොලිසියට තොරතුරු හෙළි වී ඇත. විදේශීය මාධ්‍යවේදියකු ද වරක් බුද්ධා බෝයි පිළිබඳ ලිපියක් ලිවීමට පැමිණි අවස්ථාවේ ප්‍රශ්නයක් විමසූ විට ලැබී ඇත්තේ පහර කීපයකි. ඔහුගෙන් පහර කෑ විශාල පිරිසක් සිටින බව ද පොලිසිය පවසා ඇත.   


ඔහුගේ බැතිමතුන් ද ඔහුගේ ජාතියේම අනුගාමිකයන්ය. මාස ගණන් ආහාරයක් නොගෙන, ජල බිඳක් හෝ නොගෙන ඒ කිසිදු දිනක නිදා නොගෙන එරමිණිය ගොතාගෙන රාම් භූමි ජාන් භාවනා කළ බව අනුගාමිකයන් පවසා ඇත. ඒ අතරතුර ඔහුගේ හිසෙන් ගිනි දැල් විහිදුණු බව ද සමහරුන් කියා ඇත. එහෙම කරන්න පුළුවන් වුණේ බුදුරජාණන්වහන්සේට පමණයි. මාව බුදුන්වහන්සේ සමග නම් සසඳන්න එපා. එච්චර ශක්තියක් මට නැහැ. භූමි ජාන් තමාගේ හැකියාව ගැන කියන්නේ බුදුන්වහන්සේගේ තරම්ම නොවන බවය.   


භූමි ජාන්ගේ වනගත ආශ්‍රමයක සිරගත කරගෙන සිටි ස්ලෝවේනියානු කාන්තාවක ගැන ද පොලිසියෙන් වාර්තා වෙයි. නේපාලයට පැමිණි සුසන්නා ටකාකාස් නමැති සංචාරක කාන්තාව හෝටලයක නවාතැන් ගෙන සිටියදී භූමි ජාන්ගේ අනුගාමික සහචරයන් දෙදෙනකු විසින් පැහැරගෙන ගොස් මාස දෙකක පමණ කාලයක් රඳවා තබාගෙන සිට ඇතැයි ​ෙන්පාල පොලිසිය සඳහන් කරයි.   


අැය මුදා ගන්නා විට අතක අස්ථි කඩා දමා තිබූ බව ද එම පොලිස් වාර්තාවේ සඳහන්ය. ඇය සොයා ගන්නා විට ගසකට තබා බැඳ තිබුණ බව ද සඳහන්ය. භූමි ජාන්ගේ සහචරයන් පවසන්නේ සුසන්නා තම ගුරුගේ සහෝදරයකුට සහ ස​හෝදරියකට පහර දීම නිසා මෙසේ අත්අඩංගුවට ගෙන ගසක බැඳ තිබූ බවය.   


මෙවැනි චෝදනා රාශියක් පිළිබඳව නේපාල පොලිසිය භූමි ජාන්ට එරෙහිව පරීක්ෂණ පවත්වයි.   

 

 

ප්‍රේමකිර්ති රණතුංග