බ්‍රිතාන්‍ය වැවිලිකරුවා ලාංකික පෙම්වතියට හැදූ ‘ටජ් මහල’


 

සිය ආදරණීය බිරිඳගේ සෙනෙහස ලොව පුදුම හතෙන් එකක් සේ යමුනා නදී තෙරෙහි ටජ් මහල් නමින් නිර්මාණය කරමින් සාජහාන් නරපති ලොව ප්‍රේමයේ මහරුම තිළිණය පුදකළ පෙම්වතා වූයේය.   

ලොවට හෙළි නොවුණත් එදා මෙදාතුර තවත් සුවහසක් පෙම්වතුන් එසේ සිය පෙම්වතියන් වෙනුවෙන් නොයෙක් සමරු ඉදිකරන්නට ඇත. 


මේ කියන්නට යන්නේ ද එවන් ස්මාරකයක් ගැන කතාවකි. ඒ දකුණේ ප්‍රකට වැවිලි කරුවෙකු වන ඇලි වින්ටර් සිය ශ්‍රී ලාංකික බිරිඳ මියගිය ද‌ා ඇය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයයි. 


ඇලි වින්ටර් නමින් හැඳින්වූ ඔහු බද්දේගම පිලගොඩ වත්තේ හිමිකරු වූ ඇල්ෆ්‍රඩ් විලියම් වින්ටර් විය. 
ඔහු මෙරට මුල්ම පුවත්පත් කතුවරයා ලෙස සැලකෙන ජෝර්ජ් වින්ටර් ගේ මුණුපුරෙකි. ජෝර්ජ් වින්ටර් පසු කලෙක බද්දේගම පදිංචියට පැමිණ උක් වගාවක් ආරම්භ කළේය. බද්දේගම සිට කිලෝමීටර් හතක් තරම් දුරින් පිහිටි සුන්දර පෙදෙසක් වන පිලගොඩ අක්කර 999 ක වපසරියක් පුරා පැතිර ගිය උක් වත්ත ද ඔහුට අයත් විය. පසුකලෙක ඔහුගේ එක් පුත්‍රයෙක් මාපලගම ප්‍රදේශයේ කුඩා උක් වගාවක් ආරම්භ කළේය. 
1864 නොවැම්බර් 21 දා උපන් ඔහුගේ දරුවා ඇල්ෆ්‍රඩ් විලියම් වින්ටර් විය. ඇල්ෆ්‍රඩ් තරුණ වයසේ දීම උඩුගම තේ හා දැව සමාගමේ (Udugama Tea & Timber Company) කළමනාකරු ලෙස සේවයට බැඳුණේය. පසුකලෙක ගිංතොට තුනී ලෑලි සංස්ථාව බවට පත් වූයේ ද මෙම සමාගමය. 

 

 

එහි සේවය කරන සමයේ ගිංතොට ලී මෝලක දී ඔහුට රූමත් තරුණියක හමුවෙයි. ඇය හින්නිහාමිය. දොරක විතානගේ හින්නිහාමි ගිංතොට පෙදෙසේ පදිංචිකාරියකි. ඇගේ නම හින්නිහාමි වුවත් ජොහානා යන නමද ඇය භාවිතා කර තිබේ. ඒ ඔවුන්ගේ හමුවීමෙන් පසු ඇය ඒ නමින් බෞතීස්ම කළ පසුව ලැබූ නමක් ද නැතිනම් ඇය මුල සිට භාවිතා කළ නමක් ද යන්න සොයාගැනීමට සාක්ෂි නැත. ඔවුහු පෙම්වතුන් වූහ. 


ඒ වනවිට ජෝර්ජ් වින්ටර්ගෙන් පවුලේ ඥාතීන් අතින් අත විකිණී ගොස් තිබූ පිලගොඩ වත්ත මිල දී ගත් ඇලි වින්ටර් තම පෙම්වතිය හා විවාහ වී එහි තම සීයා විසින් ඉදිකර තිබූ පැරණි නිවසේ පදිංචියට ගියේය. ඒ 1904 දීය. 


අනතුරුව ඔහු එම වතුයායේ යළි උක් වගා කරන්නට පටන් ගත්තේය. පලතුරු වැව්වේය. එමෙන්ම රම් නිෂ්පාදනය කළේය. 


එම සීනි හා රම් නැව් ගත කරන්නට පිලගොඩ සිට ගෝන්නන්තර දූව තෙක් කැපූ ඇළකින් ගිංගඟ වෙත පැමිණ මෝඩ ඇළ නමින් හඳුන්වන ගාල්ලේ කැප්පු ඇළ හෙවත් කුණු ඇළ ඔස්සේ ගාලු වරායට ප්‍රවාහනය කළ බව සඳහන් වේ. 


වින්ටර් හා හින්නිහාමි පස්දරු මව්පියෝ වූහ. නෝමන්, සිඩ්නි, රයිටින් මාෂල් යන පුතුන් තිදෙනාත් දියණියන් දෙදෙනෙකුත් ඒ අතර වේ. දියණියන් ගැන සටහන් සොයාගත නොහැකිය. මාෂල් ලෝ යොදා මර්දනය කළ කෝලහලයකදී ගාල්ල ප්‍රදේශය භාර සමූහ පාලක ලෙස ඇලි වින්ටර් මහතා සේවය කර ඇති අතර එම සමයේ උපන් පුතුට මාෂල් වින්ටර් යැයි නම තබා ඇතැයි පැවැසේ. 


ඒ වනවිට ඔහුට ආ අදහසක් අනුව බකිංහැම් මාලිගයේ අනුරුවක් පරිදි ඔහු වතුපාලක බංගලාව ඉදිකළේය. එසේ හිරු නොබසින අධිරාජ්‍යයේ පාලකයාගේ මැදුර පාලිත රටක වැවිලිකරුවකු විසින් ඉදිකිරීම පිළිබඳව ඇලි වින්ටර්ට එරෙහිව මහා බ්‍රිතාන්‍යය නඩුවක් පැවැරූ බව පැවැසෙතත් ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැකි තැනක් නොමැත. 1915 අගෝස්තු 05 වැනිදා ඔහු සිය දරු පවුල සමග එහි පදිංචියට ගියේය. අලංකාර දෙමහල් ගොඩනැගිල්ලක් වන එය අදත් පවතී. 


ගැමි තරුණියක් වන හින්නිහාමි ගේත් ඇලි වින්ටර් ගේත් පෙම් කතාව නිමා වෙන්නේ හදිසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් මහමෝදර රෝහලට ඇතුළත් කිරීමෙනි. එහි දී සුවය නොලබාම 1919 ජනවාරි 16 වැනිදා හින්නිහාමි මෙලොව හැර ගියාය. 


පහළොස් වසරක් එක්ව දිවි ගෙවූ ඔවුන් ගේ පෙම් කතාව එසේ අවසන් විය. 


ඇලි වින්ටර් ටජ්මහල ඉදිකළේ ඇගේ සොහොන් කොත වෙනුවෙනි. සිය මැදුරට පෙනෙන මානයේ විසල් තාප්පයකින් වට කොට ඇගේ සොහොන් කොත ඉදිකිරීමේ කටයුත්ත ඔහු භාර දුන්නේ රේමන්ඩ් සමාගමටය. 


අදත් නිරුපද්‍රිතව ඇති ඒ සොහොන් කොතෙහි ඔහු කොටා ඇති සටහනද සුරැකී තිබේ. 


Rest Rest Until We Meet Again. A W Winter (යළිත් අප හමුවන තුරු ඔබ සැතපෙන්න) ඔහු සිය පෙම්බරියගේ සොහොන් කොතෙහි සටහන් කරන ලද්දේ ඔහු ගේ සිතේ පැවැති ප්‍රේමය වචනවලට හරවමිනි.

වැවිලිකරුවෙකු වන වින්ටර් එහි ජීවත් වූයේ එක්තරා අන්දමකට සිය බලපරාක්‍රමය වත්තේ පතුරුවමිනි. එය ඔහුගේ අධිරාජ්‍යය විය. සාජහාන් රජු මුම්ටාස් දේවිය වෙනුවෙන් තැනූ ටජ් මහල ඒ අධිරාජයාගේ ප්‍රේමය පිළිබිඹු කරනවා සේම ඇලි වින්ටර්, හින්නිහාමි වෙනුවෙන් කළ සමරුව ඔහුගේ ප්‍රේමයේ පමණ කියා පානු ඇත. 


ඕක මොකක්ද කාටද බැරි මේ වගේ සොහොනක් හදන්න යැයි කෙනෙකුට සිතෙන්නට හැකිය. එහෙත් 1916 වැනි සමයක එනම් මීට වසර 105 කට එහා දිනෙක මෙසේ ස්මාරකයක් ඉදිකිරීම සුළු දෙයක් සේ සැලකිය හැකිද? 


සාජහාන් මෙන්ම ඇලි වින්ටර් ද ප්‍රේමයේ නාමයෙන් ස්මාරක ඉදිකර ඇතත් ඔවුන් දෙදෙනාම ජීවිතය බෙද‌ාගත්තේ ඒ බොහෝ පෙම් කළ පෙම්වතිය සමග පමණක් නොවේ. හින්නිහාමිගේ වියෝව සමග ඔහු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හා විවාහ විය. ඇය ඔහු හා විවාහ වී පිලගොඩ වත්තට එද්දී තම මිතුරෙකු ද කැඳවාගෙන පැමිණි බව කියැවේ. පසු කලෙක ඇලි වින්ටර් මිය ගිය පසු ඇය එම මිතුරා හා විවාහ වූවාය. 
එමෙන්ම ඇලි වින්ටර් ගේ පසුකාලීන බිරින්දෑවරුන් අතර එම ප්‍රදේශයේම පදිංචි ගිරවි නමැති කාන්තාවක් වූවා. ඇය වෙනුවෙන් ඔහු වෙන් කළ වෙල් යාය අදත් හඳුන්වන්නේ ගිරවිගෙ යාය නමිනි. බද්දේගම, පනාපගොඩ හා කුම්මේ අතර පිහිටි ආයිත්තම්මල්ල නමැති ස්ථානයේ පදිංචිව සිටි කාන්තාවක් ද ඔහු ගේ බිරිඳක්ව සිටි කාන්තාවකි. එමෙන්ම කොතලාවල හාමිනේ නමැති කාන්තාවක් ද ඔහුගේ ඇඹණියකව සිටියාය. ආයිත්තම්මල්ලේ බිරිඳ ඔහුට දාව බිහිකළ දරුවා හැරල්ඩ් වින්ටර් විය. ඔහු පසුකලෙක පිලගොඩ වත්ත පාලනය කළේය. 


හින්නිහාමි ගේ ස්මාරකය ළඟ තවත් සොහොන් කොතක් තිබේ. එහෙත් එය කාගේ දැයි කිසිවක් එහි සඳහන් ව නැත. නමුත් එය සඳහන් කොට තිබී පසු කලෙක මැකී ගියා වෙන්නට බැරි නැත. කෙසේ වෙතත් ඒ ඇලි වින්ටර් ගේ සොහොන නොවේ. 


මේ අපූරු පෙම්වතා 1931 දී මිය ගියේය. ඔහු මිය ගිය පසු ඔහුගේ බ්‍රිතාන්‍ය ජාතික බිරිඳට වතුයායෙන් බාගයක් හා බකිංහැම් මාලිගයේ අනුරුවක් සේ ඉදිකළ නි​ෙවස හිමිවිය. පසු කලෙක නෝමන්, මාෂල් හා සිඩ්නි යන ඇලි වින්ටර් ගේ පුතුන් එක්ව කුඩම්මාට අයත්ව තිබූ එම කොටස් මිල දී ගත් බව කියැවේ. 
අද පිලගොඩ වත්ත වැවිලි සමාගමක් මගින් පාලනය කරන වත්තකි. එහි ඉතිහාසය 19 වැනි ශත වර්ෂයේ මුල් භාගය දක්වා දිවෙයි. 1904 දී බකිංහැම් මාලිගයේ අනුරුවක් සේ තැනුණු මැදුර අද දක්වා හොඳින් පවතියි. එහි නඩත්තුවක් නොමැති කමින් ස්මාරකයක් වන මේ ගොඩනැගිල්ල විනාශ මුඛයට යා හැකිය. එමෙන්ම හින්නිහාමි ගේ හා තවත් අයෙකුගේ සොහොන් කොත් සහිත ස්මාරකය ද ඒ වටා බැඳ ඇති දැවැන්ත තාප්පද ගරා වැටෙමින් පවතියි. 


මේ ස්මාරක ගැන සොයා බලා ඒවා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇත්නම් ස්මාරක ලෙස පවරාගන්නට පුරාවිද්‍යා බලධාරින් කටයුතු කරන්නේ නම් අගනේය. මන්ද පහතරට වැවිලි කර්මාන්තයේ හා වැවිලි ආර්ථිකයේ මුල පිලගොඩ වත්ත හා ඍජු සබඳතා පවතින බැවිනි. 

 

 

විනීතා එම්. ගමගේ