බළලාගේ කකුලක් කැපූ පවට කකුලක් අහිමි වූ බේබද්දා


ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

අලව්ව රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවකි.   

දරුවන් පිස්සන් කළ පාපය අප්පොච්චා මරණ මංචකයේදී විඳවයි


දරුවන් යනු රටක අනාගතයේ ජීව නාලියයි. එකල පතපොත පරිශීලනය කිරීම හා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම තුළින් පාලන තන්ත්‍රයට පවා එක් වූයේ උගත්, බුද්ධිමත් හා යහපත් පුරවැසියන් වීමෙනි. එසේ වුවත් එකල ද දරුවන් නොයෙක් ව්‍යසනයන්ට ගොදුරු වූ අවස්ථා ඓතිහාසික කථා වල සඳහන් වේ. ඒ බල ලෝභිත්වය නිසාය.   


මෙකල ද දරුවන් නොයෙක් පීඩාවන්ට ව්‍යසනයන්ට පත් වන්නේ කොතැනක හෝ වරදක් නිසාය. ඇතැමුන් දරුවන් ගංඟාවල ලිංවලට, කසළ වලවල්වට දමති, මාර්ග අසල, පාලු තැන්වලට දමා යති. සත්‍ය සිද්ධියක් ඇසුරෙන් මෙහි එන කථා පුවතද දරුවන් තිදෙනෙකුට වූ ව්‍යසනයකි.   


උඩරට කඳුකරයට ආසන්න පිටිසර ගමක ගොඩමඩ ගොවිතැනින් ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙක් සිටියේය. ඔහුට පිරිමි දරුවන් තිදෙනෙක් සිටියේය. එම දරුවන් ​ඔහුව ඇමතුවේ අප්පොච්චා කියාය. එකල පැවති විදියට අප්පොච්චා හේනේ කුඹුරේ වැඩ කළේ අමුඩය ගසාගෙනය. නිතර බුලත් හපයෙන් කට පුරවා සිටි මොහු හැඩිදැඩි උඩට කරකැවූ උඩුරැවුල හා හිසේ කුඩා කොන්ඩය බැඳි අයෙකි. හේනේ කුඹුරේ වැඩ නිම වී පැමිණ සරමක් ඇඳ තවත් සරමක් රවුම්කර එක් උරහිසකින් උරප්පලාව දමා සිටී. තුන්වෙනි දරුවා ලැබී ටික දිනකින් අප්පොච්චාගේ බිරිඳ හදිසි රෝගයකින් මෙලොව හැර ගියාය. බාල දරුවා ඉපිද මව මෙලොව හැර ගියේ වැදූගෙයි සන්නියෙන් බවයි අසල්වාසීන් පැවසුවේ.   


‘‘අම්මා නැති කලට - අප්පා කවර කල’’ කීවාක් මෙන් අප්පොච්චා හේනේ කුඹුරේ වැඩට ගියා මිස දරුවන් ගැන බැලුවේ නැත. එපමණක් නොව කවදත් ඇඟේ තෙහෙට්ටුව යන්න ගන්නා මත් වතුරද ගත්තේය. අප්පොච්චා දරු තිදෙනා ගැන බැලීමක් කෑම්බීම් දීමක් නෑවීමක් ඉගැන්වීමක් ද නොකලේය. දරුවන් ඉබාගාතේ හැදුනි. අප්පොච්චාගේ බීමත්කම දරුවන්ට මහා කරදරයක් විය. රෑ දෙගොඩ හරි යාමය වන තෙක් කෙලවරක් නොමැතිව දරු තිදෙනාට දෙස් දෙවොල් යදින්නේය. යැදුම අවසන් වන්නේ අප්පොච්චාට ඉබේටම නින්ද ගිය පසුවය.   


ටිකෙන් ටික දරු තිදෙනා තරමක තරුණයන් බවට පත් වූහ. ඔවුන් දෙස් දෙවොල් අසමින් අප්පොච්චාට බත බෙදා දුන්හ. බීමට ජලය දුන්හ. ඔවුන් තිදෙනා නිහඬය. මෙසේ කාලය ගෙවී යද්දී එක් දරුවෙක් නිවසින් පිටවී ගියේය. ඔහු කිසිවෙකුට නැවත මුණ ගැසී නැත. ටික කලක් ගතවෙද්දී අනෙක් දරු දෙදෙනා මානසික පීඩනයෙන් රෝහල් ගත වූහ. පසුව පිස්සන් බවට පත්වී මහ මඟ අැවිද යන අය බවටද පත් විය. අනුන් දෙන ආහාර ගනිමින් කාලය ගෙව්වේ දුර පලාත්වල දෙදෙනා මුණ නොගැසුණ තැන්වලය. ඒ වන වට දරුවන්ට නිවෙස මතක නැතිවිය. අප්පොච්චා මතක නැති විය. අප්පොච්චා තනි විය.   


කාලය මෙසේ ගෙවී යද්දී අප්පොච්චා හදිසියේ රෝගාතුර වී ඔහු රෝහල වෙත ගෙන ගියේ අසල්වාසීන්ය. ටික කලක් රෝහලේ ප්‍රතිකාර ගත්තේය. නැවත රෝහලෙන් නිවසට එවීය. ටික දිනකින් නැවත රෝහල් ගත විය. ටික දිනකින් අප්පොච්චා නිවසට එව්වේ කෑමට ඉල්ලන ඕනෑම දෙයක් දෙන්න යැයි වෛද්‍ය මතයෙනි. දැන් අප්පොච්චා නිවෙසේ වැල් ඇඳේය. ඉඳහිට අසල්වැසියෙක් පැමිණියත් සාත්තු සප්පායම් කිරීමට කිසිවෙකු නොවීය.   


අප්පොච්චාගේද මනස විකෘති වී කෑම ඉල්ලා ජලය ඉල්ලා කෑ ගැසුවේය. දරුවන් තිදෙනාට අඬගැසුවේය. කිසිවෙක් පෙනෙන්ට නොවීය. අප්පොච්චාට රැයක් දවාලක් මතක නැත. හීනෙන් පෙනී දෝ පුතාලා ආවාද නිතර ඇසීය. අප්පොච්චාට මරණ මංචකයේදී දරුවකු දැකීමටවත් වතුර පොදක් බීමටවත් නොලැබී වටින් ගොඩින් එලිය වැටෙන පාන්දරක මෙ​ෙලාව හැර ගියේය.   

 


මතුගම පිය​ෙස්න දොඩම්​ෙගාඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


බළලාගේ කකුල කැපූ තෙපානිස්ට ඔහුගේ පාදයක් අහිමිවීමට වැඩි දොහක් ගතවුණේ නැත  


සුරාවට සූදුවට හා මතට ඇබ්බැහි වූ තෙපානිස් තම වියපත් දෙමාපියන්ගේ අවවාද තඹ දොයිතුවකටවත් ගණන් නොගත් අසත්පුරුෂයෙකි. ‘‘කුණුගොඩට කුණු එකතුවන්නාක් සේ’’ ගමේ සිටි සමවයසේ දෙතුන් දෙනෙක් ද ඔහුගේ නොහොබිනා වැඩවලට සහය දීම තෙපානිස්ට මහත් රුකුලක් වූවාට සැක නැත. දිනක් තම සහචරයින් දෙදෙනෙක් සමග කසිප්පු බෝතලයක් සහ මස් කඩෙන් මරණ ලද කුකුලෙක් ද මිලට ගත් මේ අඹ යහළුවන් කුකුළා පිසීමට සූදානම් කෙළේය. තෙපානිස් ලී කොටයක් උඩ තබා කුකුළා මස් කරන විට අසල සිටි බළලා මස් කෑල්ලක් ඩැහැගැනීමට බලවත් උත්සහයක් දැරීය. තමන් කපන ලද මස් කටු කෑල්ලක් හෝ හම් කෑල්ලක්වත් බළලාට නොදුන් තෙපානිස් කළේ මස් කපන කොටයට දිගුකළ බළලාගේ පාදයට වේගවත් මන්නා පහරක් එල්ල කිරීමය. එම පහරින් බළලාගේ ඉදිරි පාදය වෙන්වී ගියේය. මරහඬ නැගූ බළලා ඉවතට ගත් යහළුවන් තෙපානිස්ට බැණ වැදුනත් ඔහු කොක්හඬලා සිනාසුනා මිස බළලා දෙස බැලුවේවත් නැත. තෙපානිස් කළ අපරාධය දරාගැනීමට නොහැකි වූ මිතුරන් දෙදෙනා කසිප්පු බීම හා කුකුල් මස් කෑම හැර දමා තෙපානිස්ගේ ගෙදරින් පිටවී ගියේ ඔහුට දෙස්දෙවොල් තබමිනි. වෙන් වන ලෙස කපා දමා තිබූ බළලාගේ පාදය රෙදි පටකින වෙලා ඌ රැගෙන යාමටද මේ දෙදෙනා අමතක නොකලේ බළලා සුවපත් කළ යුතු බැවිනි.   


යහළුන් සාදය අතහැර ගියත් තෙපානිස් තනිවම එය භුක්ති විඳීමට දැක්වූයේ දැඩි කෑදර කමකි. දින දෙකක් ගෙවී ගියේය. තුන්වෙනි දින උදය කාලයේ තම ගෙවත්තේ කොස් ගසක කොස් ගෙඩියක් ඉදී සුවද හමන බව දුටු තෙපානිස් එය කඩා ගැනීම සඳහා ගසට නැගුනේ බලවත් උනන්දුවෙනි. අඩි තිහක් පමණ උසැති කොස් ගහට ගොඩවූ ඔහු කොස් ගෙඩිය කැඩීමට සැරසුනා පමණි. අල්ලපු අත්ත හා පයගැසූ අත්තද කැඩුන බැවින් තෙපානිස් ​කොස් ගහ අසල වූ ගල් තලාව මතට ඇද වැටුනේ විලාප නගමිනි. ඔහුගේ කෑ ගැසීම අසා අහල පහළ උදවිය පැමිණ රෝගියා ලඟම ​ෙරා්හල කරා ගෙන ගියත් ඔහුගේ දකුණු කකුළ කැඩී වෙන්වී තිබුණි. බද්ධ කළ ​ෙනාහැකි වූ කකුළ කපා දැමීමට සිදුවිය. මාස කීපයක්​ ​ෙරා්හල් ගතව සිටි තෙපානිස්ට ගෙතුළ පවා ඇවිද ගැනීමට සිදුවී ඇත්තේ කිහිලි කරු මගිනි. නිරපරාදේ බළලාගේ කකුල කැපූ පව පලදීමට තෙපානිස්ට වැඩි ​ෙ‌‌දාහක් ගත වුණේ නැත. තමන් විසින් කරනු ලබන අකුශල කර්මයන්හි විපාක ගොනා පසුපස කරත්තය එන්නා සේ මේ ආත්මයේදීම කිනම් මොහොතක හෝ තමන් කරා පැමිණෙන බව පැහැදිලි කරුණකි.   

 



මාතර කොකාවල එච්.කේ. සහන්ජන මහතා ලියා එවූ කතාවකි.

නිධානය ගන්න ගිය පියදාසට නයා දෂ්ඨ කරයි 


මෙය අසූව දශකයේදී පමණ දකුණු පලාතේ එක්තරා ගමක සිදුවූ සත්‍ය සිදුවීමකි. පියදාස වාසය කලේ තනිවමය. පවුලේ කාත් කවුරුවත් නැති ඔහු ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට ආවතේව කරමින් පන්සලේම වාසය කරන්නට විය. කාලයක් මෙලෙස ගතවත්ම පන්සලේ චෛත්‍යයේ තැන්පත් කර ඇතැයි පැවසෙන නිධානයක් පිළිබඳව කතාබහක් අවට ගම් කිහිපයක පැතිරෙන්නට විය. මේ පිළිබඳව කන වැකුණු එක්තරා නිදන් සොරු දෙදෙනෙක් නිධානය පිළිබඳව පියදාසගේ සිතේ ඊර්ෂ්‍යාවක් ඇති ​ෙකාට ඔහුව මුලා කර ගත්තේය. ධනය පිළිබඳ ඇති ආශාව නිසා මෙතෙක් කලක් තමාට ජීවත් වීමට උපකාර කළ ස්වාමීණ් වහන්සේලා සහ පන්සල ද අමතක කළ පියදාස පන්සලේ ස්වාමීන් වහස්සේලා දින කිහිපයකට දුරකට වැඩම කළ අවස්ථාවේදී නිදන් හොරු සමග නිධානය ගැනීමට මොහු සූදානම් විය. එහෙත් නොසිතූ දෙයක් එකවර සිදුවිය. ​ෙව්ලාව මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙමින් තිබුණි. කොහෙ​්දෝ සිට පැමිණි විශාල නාග රාජයෙක් මොවුන් තිදෙනා පසුපස පන්නන්නට වූයේය. සොරු දෙදෙනා වැටකින් පැන දිවගොස් බේරුනද පියදාසගේ පය පැටලී ලිස්සා වැටුණේය. පියදාසගේ අසලටම පැමිණි නාගයා ඔහුගේ දකුණු පයට දෂ්ට කර එක්වරම අතුරුදන් විය. දින කිහිපයකට පසු පන්සල් වත්තේ සිට හැමූ දුඟද නිසා ඒ පිළිබඳ විපරම් කළ ගම්වාසීන්ට දැකගත හැකි වූයේ කුනු වී තිබූ පියදාසගේ මළ සිරුරයි. බුදු සසුනට අගෞරව කර ඔහුට අත්විදීමට සිදුවූ ප්‍රතිවිපාක ග​ෙම් කාලයක් යනතුරුම කතා වන්නක් විය.   

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එම්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.

භීෂණ සමයේ තරුණ තරුණියන් මැරූ නිලධාරියාට අත් වූ ඉරණම


මී​ට වසර කිහිපයකට පෙර වයඹ පලාතේ මධ්‍යම පන්තියක පවුලක උපන් මොහු අපි ‘‘ජයලත්’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. පවුලේ එකම පිරිමි දරුවා වූ මොහු දෙමාපියන්ගේ මහත්වූ ආශිර්වාද මැද ආරක්ෂක අංශයට බැඳුනේ රජයේ ආරක්ෂක නිළධාරිවරයෙකු වශයෙනි. මනා පෞර්ෂයකින් යුත් පැහැපත් උස මහත දේහයකින් යුත් මොහු රජයේ එක්තරා ආරක්ෂක අංශ කාර්යාලයක සේවයට බැදුනේ 88 - 99 භීෂණ යුගයේදීය.   


බිල්ලන් විසින් ඩැහැගත් මෙම රාජ්‍ය විරෝධී යයි හැඟෙන තරුණ තරුණියන් එක් රැස්කොට භාර දුන්නේ මෙකී ආරක්ෂක අංශ නිලධාරියා වෙතටය. ආරක්ෂක අංශ ගොඩනැගිල්ලේ කාමරයක රඳවාගත් මෙකී තරුණ තරුණියන් එක එකා බැගින් කළු පටිවලින් මුහුණ බැඳ සේවා ස්ථානයේ පිටුපස කපා ඇති විශාල වලක් සමීපයට කැඳවාගෙන යන ‘‘ජයලත්’’ එම වල අසලට රැගෙන ගොස් වලට පිටු පා සිටින ලෙස අණ කර තම ගිණි අවියෙන් ගිණි පිඹින්නේ වල තුළට ඇද වැටෙන්නට සලස්වමිනි. හිතක් පපුවක් නැති අධමයකු ලෙස මෙසේ මරුමුවට පත්කරන තරුණ තරුණියන් මර හඬ දෙමින් වල තුළට ඇද වැටෙන අතර ඔවුනොවුන් වල තුළම මියැදෙති. මෙසේ වල තුළම මියැදෙන මේ තරුණ තරුණියන් ‘‘ජයලත්’’ කිසිම හිතක් පපුවක් නොමැතිව පැට්‍රල් වත්කර ගිණි තබා විනාශ කරන්නේ පාපකාරී අධම පුද්ගලයෙකු විලසිනි.   


මෙලෙස මෙම මිලෙච්ඡ ක්‍රියාවක යෙදුණු ආරක්ෂක අංශ නිලධාරි ජයලත් දින ගණනාවකට පසු හදිසියේම බලවත් ලෙස රෝගාතුර වූයේ කිසිවෙකු නොසිතූ මොහොතකය. මුළු ශරීරටම ඉදිමී ඇඟ පුරා විශාල පොක්කලම් මතුවී ඒවා පිපිරී ඕජස් ගලන්නට විය. මුළු ශරීරයම අධික ලෙස ඉදිමුණු අතර ශරීරය මහත්සේ කළු පැහැගැන් වී විකෘති වන්නට විය. කෑමට බීමට වත් නුපුළුවන් වූ මොහු අවසානයේ ලෙඩ ඇඳට ඇද වැටුණේ තමා කළ ඒ පාප කර්ම පටිසන් දෙමිනි. මනා පැහැපත් පෙනුමකින් යුක්තව සිටි ජයලත් දෙස බලන්නෙකුට මේ එදා සිටි ජයලත් දැයි සිතා ගන්නට වත් නුපුළුවන් තරමටම ඔහු කළු පැහැ ගැන්වී ඉදිමුණු ශරීරයකින් යුක්තව අවසානයේ මිය පරලොව ගියේ ‘‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’’ පටිසන් දෙමිනි. මිනිය තබා තිබූ මිනී පෙට්ටිය තුළින් මහත් සේ දුඟදක් හමමින් ඕජස් ගලන්නට විය. මිනී පෙට්ටිය පුපුරා යන තරමටම ඉදිමුණු ඒ විරූපි දේහය හදිස්සියේම මිහිදන් කෙරුණු අතර ඔහුගේ නැති ගුණ වර්ණනා කර මීනි වල වටා නොයෙක් මාදිලියේ බැනර් පෝස්ටර් අලවා තිබුණේ අන්‍යයන් මවිතයට පත් කරවමිනි. දින කිහිපයකට පසු ඒ බැනර් අතර මෙලෙස තවත් එක් බැනරයක් එල්ලා තිබීම කාගේත් හාස්‍යයට කරුණක් විය. සොයුර ඔබ කළ ඒ පාප කර්ම ඔබ සොයා පැමිණියේය’’   

 


මෙබදු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්න​ෙකා්න්