බහිරව පූජාව තියද්දීම පොලිසිය නිදන් හොරු අල්ලයි


 

පුත්තලම දිස්ත්‍රික්කයේ සාලියවැව පොලිස් වසමට අයත් කුඹුක්ගොල්ල වන්නියාගම රක්ෂිතයේ ​ෙ​ෙචත්‍යයක් හාරමින්, මැණික් සෙවීමේ කටයුත්තක නිරතව සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමකට හැකි විණි.   


මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දින කිහිපයක් පුරා මහා ගන කැලෑවේ රැඳී සිටිමින්, නිදි වර්ජිතව, ආහාර නොමැතිව සිදුකළ භයානක මෙහෙයුමක් වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සජීවී මෙහෙයුම ඡායාරූප කරගැනීමට වාර්තා කිරීමට මාධ්‍යවේදීන් වූ අපට ලැබුණේද වෙනස්ම අත්දැකීමකි.      


පසුගියදා නවගත්තේගම ප්‍රදේශයේ නිල් මැණික් පොකුණකින් මතු වූ බව පවසමින් ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව මේ වන විට ආන්දෝලනයක් ඇත. නවගත්තේගම පොලිසිය කෝටි 500 ක් වටිනා මැණික් ගලක් අලෙවි කිරීමේ සිද්ධියක් ගැන ද පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය තවමත් විසඳී නැත. පොලිසිය ද රවටමින් ජාවාරම්කරුවෝ මෙම මැණික් අලෙවිය සිදු කරමින් සිටිති.   


කෝටි 500ක මැණික් සිද්ධියත් සමඟ නවගත්තේගම, රලපනාව, කුඹුක්ගොල්ල, වන්නියාගම ආදී ප්‍රදේශවල මහා ගන කැලෑවේ පොකුණු පීරමින්, නටබුන් විනාශ කරමින් ජාවාරම්කරුවෝ මැණික් හොයන්නට පසුගිය මාස කීපයේම දැඩි උත්සාහයක නිරත වූහ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයක් නවගත්තේගම පොලිසියට මෙන්ම සාලියවැව පොලිසියට ද දැනුම්දීම් කළ ද කිසිදු සාර්ථකත්වයක් නොවීය.   


පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයකු මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ කුඹුක්ගොල්ල වන්නියාගම රක්ෂිතයේ පොකුණක් පුපුරවා, චෛත්‍යය කඩා, ඒ තුළ මැණික් සෙවීමේ කටයුතු සිදු කරන කල්ලියක් පිළිබඳව දැක ඇත්තේ දර සෙවීම සඳහා කැලෑවට යන අවස්ථාවකදීය.    


පොලිසිය පිළිබඳව විශ්වාසය නොමැති නිසා අදාළ පුද්ගලයා විශ්වාසය තැබුවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමගය. ඒ අතර අපගේ පුවත්පත ගැන ද විශ්වාසය තැබීමට ද ඔහු සමත් විය. අපට අමතරව හිරු ටීවී නාළිකාව මගින් විකාශය වන සී අයි ඒ වැඩසටහන නිෂ්පාදකවරයාට ද ඔහු මෙම තොරතුර ලබා දී තිබිණි.   


මාධ්‍යවේදීන්ගේ පූර්ණ විශ්වාසය තැබූ මෙම පුද්ගලයා සියලු තොරතුරු ලබා දීමත් සමඟ අපි මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වුණෙමු. ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකය වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාට ද මේ බව දැනුම් දුන්නෙමු.      


කිලෝමීටර් 5 ක් පමණ මහා වන මැද ගමන් කරන විට කුඹුක්ගොල්ල වන්නියාගම රක්ෂිතයේ මැද ගල් පොකුණු දැක ගැනීමට හැකියාව ලැබිණි. අප මාධ්‍ය කණ්ඩායම සහ පොලිසිය සිදු කළේ ගවයන් බැලීම සඳහා යන එඬේරුන් සේ වෙස් වළාගෙන මෙම පොකුණු සහ චෛත්‍යය පිහිටා ඇති ස්ථාන පිළිබඳව සොයා ගැනීමය.   


අලුයම 4.00 ට පමණ වනයට ඇතුළු වූ අපි ඉතා සූක්ෂම ලෙස වනයේ ආරක්ෂිතව ගමන් කරමින් අදාළ ස්ථාන වෙත ළඟා වුණෙමු. ඒ වනවිටත් ජාවාරම්කරුවන් ​ෙ​ෙචත්‍යයක් හැරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විණි.   


මෙම රක්ෂිතයට ඇතුළුවීමට ඇත්තේ ගම්මානයක් මැදින් නිසා එම ගම්මානයේ ද ජාවාරම්කරුවන්ගේ ඔත්තුකරුවන් සිටින නිසාත් අපි දැඩි ලෙස පරිස්සම් වුණෙමු. ස්ථාන පිළිබඳව අවධානය යොමු කර ගත් අපි නැවත ගම්බිම් බලා පිටත් වුණෙමු.   


ඒ සමගම දින කිහිපයක් ගතවෙද්දී අප හට තොරතුරු ලබාදුන් පුද්ගලයාගෙන් ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් කියවුණේ, පසුදින රාත්‍රියේ මෙම ස්ථානයේ චෛත්‍යය හාරා නිල් මැණික් ලබාගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. කණ්ඩායමක් කුකුළෙකු මිලදී ගැනීමත් මල් පහන් බුලත් ඒකරාශී කිරීමත් සහ විවිධ යකඩ ආයුධ එක් රැස් කිරීමත් කරන බවට එම ඇමතුම මගින් කියැවිණි.      


ඒ අනුව මනාව සැලසුම්කර පුත්තලම ප්‍රදේශයට ගමන් කළ අපි, දින කිහිපයකට අවශ්‍ය ආහාර පාන එකිනෙකාගේ ගමන් මලුවල දමා ගන්නට අමතක නොකළෙමු.   


නිධානය ලබා ගැනීමට සූදානම් කොට ඇති ගල්තලාවට ඈතින් පිහිටා ඇති වෙනත් ගල්තලාවක පොලිස් කණ්ඩායම සහ අපි නතර වු​ෙණමු. කිසිදු අයකුට සැකයක් නොසිතෙන ආකාරයට නිධානය ලබා ගන්නා බවට සැකකරන ගල අවට තැනින් තැන පොලිස් නිලධාරීහු මහා වන මැද නිදා සිටියහ.   


මහ වනය මැද අප සිටින අවස්ථාවේදී අපගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. ඒ අපට මේ තොරතුරු දුන් ඔත්තුකරුවාගෙනි. ඔත්තුකරුවා කියා සිටියේ මෙදින නිධානය ලබා ගැනීම සඳහා පිරිස නොපැමිණෙන බවය. ඒ ප්‍රධානම කපු මහතකු සිටින බවත් ඔහු මහරගම පමුණුව ප්‍රදේශයේ සිට පැමිණීමට ප්‍රමාද වෙන නිසා දිනක් කල් දැමීම සිදු කළ බවය. එම තොරතුරු අපි පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මහතාට දැනුම් දුන්නෙමු. ඒ අනුව ඒ මහතා පැවැසුවේ ඔවුන් මෙම ස්ථානයට පැමිණෙන තුරු මහ වනයේ රැකවල්ලා සිටීමට තීරණය කළ බවය.      


දිවා කාලයේ කිසිදු සද්දයක් බද්දයක් නොමැතිව ස්ථාන ගණනාවක පොලිස් කණ්ඩායමත් අපත් මහ වනයේ රැඳී සිටි අතර පසු දින රාත්‍රී වන විට මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කරන්නට වූහ.   
 දෙවැනි දින රාත්‍රී 9ට පමණ පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මහතා පොලිස් නිලධාරීහු කිහිපදෙනෙක් ද සමඟ ජාවාරම්කරුවන්ගේ නෙත ගැටී ඇති ෛචත්‍යය පිහිටි ස්ථානය නිරීක්ෂණය කරන්නට වූහ. අපි සෙමින් සෙමින් කිසිදු එළියක් භාවිත නොකොට මහ වනයේ ගමන් කළෙමු. කලින් සූදානම් කරගත් තොරතුරු ඔස්සේ එම ස්ථානයට පොලිසිය සමඟ අප ළඟා වෙනවාත් සමඟ අපූරු සිදුවීමකට මුහුණ දීමට අප සියලු දෙනාටම සිදුවිය.   

 

 

එක වරම අපි ගමන් කරමින් සිටි ස්ථානයට පිටුපසින් විදුලි පන්දම් එළියක් දිස් වීමත් සමඟ සියලු දෙනා එකවරම පෙර කතා කරගත් පරිදි මියගියා සේ මහ පොළොවේ නිදා ගත්තෙමු. අප ආසන්නයෙන්ම විදුලි පන්දම් කිහිපයක් දල්වා ගත් පුද්ගලයන් අට දෙනෙකු භාණ්ඩ රැසක් කර තියාගෙන ගමන් කරන ආකාරය අපේ නෙත ගැටිණි. ජාවාරම්කරුවන්ට කිසිසේත් සැකයක් ඇති නොවන ආකාරයට දර්ශනයක් නොවන ආකාරයට සැඟවී සිටීමට අපි දැඩි උත්සාහයක නිරත වීමු. පැයකට අධික කාලයක් එම ස්ථානයේ අපට රැඳී සිටින්නට සිදුවිණ.   


පසුව අපි එකිනෙකා ගස් අතරින් අපි රැඳී සිටි ඈතින් පිහිටි ගල වෙත ගමන් කරන්නට වූයෙමු.   


නිධානය ගැනීමට ඇති ගල ආසන්නයේ පිහිටි පොකුණක වතුර තිබෙන ආකාරය අපි දුටුවෙමු. ජල හිඟය නිසා පොලිස් නිලධාරියකු සහ මාධ්‍යවේදියකු ජලය රැගෙන ඒම සඳහා ඉතා සෙමින් සෙමින් පොකුණ වෙත ගමන් කරන්නට වූයේ කළුවරේමය. අප ආසන්නයට ගමන් කරන විටම ජාවාරම්කරුවන් ද භාජනයක් රැගෙන පොකුණට පැමිණියේ ජලය ලබාගැනීම සඳහාය. එම අවස්ථාවේ ජාවාරම්කරුවන්ට නොපෙනෙන්නට ගලකට මුවා වී පැය භාගයකට අධික කාලයක් රැඳී සිටින්නට අපට සිදුවිණ.   


ජාවාරම්කරුවන් නිදන් සෙවීම සඳහා සූදානම් කර ඇති ගලේම රාත්‍රී ආහාර පාන උයන ආකාරයත් බහිරව පූජාවක් සූදානම් කරන ආකාරයත් අපි නිරීක්ෂණය කළෙමු. අලුයම 1 පමණ වනවිට ඔවුහු නිධානය ලබාගැනීම සඳහා අවශ්‍ය පුද පූජා බහිරව පූජා ලබා දී සියල්ල අවසන් කොට කැණීම් ආරම්භ කරන්නට වූහ. මේ වනවිට මොවුන්ට පලා යෑමට ඇති සෑම ස්ථානයක්ම වලාන දූෂණ මර්දන ඒකකය පොලිස් නිලධාරීන් රැකවල්ලා සිටීම විශේෂත්වයකි.   


 අලුයම 4.00 ට පමණ පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මහතා සහ නිදන් සෙවීම සඳහා උපන් හපන්කම් ඇති පොලිස් කොස්තාපල් ජයලාල් මහතා සමඟ සෙමින් සීරුවේ නිධානය සෙවීම කටයුතු සිදු කරන ස්ථානයට රහසෙන් ළඟා විය. පසුව එකවරටම අප කණ්ඩායමට එම ස්ථානය 4.20 වන විට වැටලීමට හැකියාව ලැබිණි.   


ජාවාරම්කරුවන් අට දෙනා ෛචත්‍යය කැණීම් කරමින් සිටින ආකාරය මඳ වේලාවක් අපි බලා සිටියෙමු. නිල් මැණික පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු කරමින් විදුලි පන්දම් දල්වාගෙන ඔවුන් චෛත්‍යය ඇති බවට සැක කරන ස්ථානය හාරමින් සිටි අතර පස්දෙනකු එක වරම අල්ලාගැනීමට පොලිස් කණ්ඩායම සමත් විය. තවත් කිහිපදෙනෙක් දිවයන්නට වූහ. ඔවුන් පොලිසිය ලුහුබැඳ ගිය ද හිස් ලූ ලූ අත දුවන්නට වූයේ මහා වනමැද ජීවිතය ද පරදුවට තබා ගෙනය.   


අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකුගේ අත්වලට මාංචු වැටිණ, පසුව ඔවුන්ගෙන් එම ස්ථානයේම ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කළේය. ජාවාරම්කරුවන් කියා සිටියේ ප්‍රදේශයේ පොකුණුවල නිල් මැණික් මතුව ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම කැණීම සිදු කළ බවය. චෛත්‍යයක් ඇති ස්ථානයේ මැණික් රැසක් තිබෙන බවත් එම මැණික් ලබාගැනීමෙන් පසුව මෙම ප්‍රදේශයේ පිහිටි පොකුණු දෙකක් ගල් බෝර දමා පුපුරවා එහි ඇති නිල් මැණික් ලබාගැනීම දෙවන අදියරේ සැලසුම බවත් ඔවුහු පාපෝච්චාරණය කළහ.   


මොවුන් බහිරව පූජාව සඳහා ගෙනැවිත් තිබූ කුකුළකු ද පූජා භාණ්ඩ රැසක් ද යකඩ ඉනි, උදලු සහ විවිධ මෙවලම් රැසක් ද පොලිස් භාරයට ගැනිණි. එහි ප්‍රධාන ජාවාරම්කරු සහ කපුවා ලෙස හඳුන්වනු ලබන මහරගම පමුණුව ප්‍රදේශයේ පුද්ගලයා කියා සිටියේ, තමන් අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවය. පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එම ස්ථානයේ මැණික් පවතින බවට විශ්වාසයක් පැවතුණු බව සඳහන් කර සිටියේය.   


කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සියලු දෙනාටම නිදන් ලබා ගැනීමට නොහැකි වූයේ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීන් වන අප සිදුකළ මෙම වැටලීම නිසාවෙනි. දින දෙකක් තිස්සේ සාලියවැව පොලිස් වසමේ සිදු වූ මෙම මෙහෙයුම කිසිවකුටවත් දැනගන්නට නොලැබිණි. අත්අඩංගුවට පත් සැකකරුවන් සහ භාණ්ඩ තොගය වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සාලියවැව පොලිසියට බාර දෙනු ලැබිණ.   


මෙම මෙහෙයුම සඳහා වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත වැටලීම් භාර නිලධාරියා ලෙස කටයුතු කළ අතර උප පොලිස් පරීක්ෂක කේ.පී. සම්පත්, පොලිස් සැරයන්වරුන් වන රත්නායක, 35549 වික්‍රමරත්න, 22413 ලාල්, පොලිස් කොස්තාපල්වරුන් වන 428 ජයලාල්, 39706 සිල්වා, 84889 උදය කුමාර, 78228 එරන්ද, 76176 සදිරන්, 70407 සඳරුවන්, 79548 මදුසංක, 29904 විජේවර්ධන, 77847 ආරියසිංහ, සිවිල් ආරක්ෂක 2244 රුද්‍රිගෝ, 34855 විජේරත්න සහ 15932 බණ්ඩාර යන පිරිස වැටලීමට එක්වූහ.   

 

 

 

 

 

සටහන හා ඡායාරූප
දඹුල්ල කාංචන කුමාර ආරියදාස