බලු‍ පැටවුන් පණපිටින් වැළලූ පාපියා පස් කන්දට යටවෙයි


ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත මහතා ලියා එවූ කතාවකි.   

බලු‍ පැටවුන් පණපිටින් වැළලූ පාපියා පස් කන්දට යටවෙයි   


බලු‍ පැටවුන් පස් දෙනෙක් පණ පිටින් වැළලූ අයෙකු උන් මෙන්ම පස්වලට යටවී පණ පිටින්ම වැළලී ගිය පුවතක් අසන්නට ලැබිණ.   


සතුන්ට ආදරයක් කරුණාවක් දැක්වීමට ඔහු නොපුරුදුව සිටියේය. නිකමටවත් සතෙකුට හෝ කෑම කටත් නොදමන්නේ ඒ නිසාය. බල්ලෙකු, බළලෙකු දුටුවිට උන්ගේ කකුල් කැඩෙන්න ගහන්නේ එය තවත් සාක්ෂාත් කරමින්ය.   


සතුන්ට ආදරය කරන අය කෙරෙහිද ඔහු දැක්වූයේ වෛරයකි. ක්‍රෝධයකි. ඔහුගේ අහල පහළ අයද මේ ගැන දැන සිටියේ කාලයක පටන්ය.   


මේ අල්ලපනල්ලේ ඔහුගේ දර මඩුවේ අයාලේ ගිය බැල්ලක පැටව් දැම්මාය. අව්වෙන් වැස්සෙන් බේරී සිය දරු පැටව් ටිකට ඉතා ආරක්ෂිත ස්ථානයක් යයි සිතා මේ බැල්ල සිය දරු ප්‍රසූතිය සඳහා මේ දරමඩුව තෝරාගන්නට ඇත.   


බැල්ල පැටව් පස් දෙනෙක්ම ප්‍රසූත කළාය. මේ කිරි කැටි බලු‍ පැටවුන්ගේ අතොරක් නැති කෑගැසීම ඔහුගේ නෙත්වලට ගැටිණ. මේ සමගම නොපෙනෙන සේ මහ රෑම සිය නිවස ඉදිරිපිට පාර අයිනේ තැබුවේය. ඒ ඔවුන් සියලු‍ දෙනාම මහ පාරේ ගමන් ගන්නා වාහනක හැපී විනාශවී යනු ඇතැයි හුදෙක්ම විශ්වාස කළ නිසාය. මව් බැල්ලිය මේ බලු‍ පැටව් පස් දෙනා වරකට එකා බැගින් කටින් උස්සාගෙන යළිත් ඔහුගේ දර මඩුවටම රැගෙන ආවාය.   


ඔහුගේ කෝපය නිම්හිම් නැති විය. ‘මේකට හොඳ වැඩක් කළ යුතු යයි’ සිතූ ඔහු උදැල්ලක් ගෙන සිය නිවසේ වළක් කැපුවේය. ඇස්වත් ඇරී නොතිබූ මේ කිරි කැටි බලු‍ පැටව් පස් දෙනාම කැපූ වළට දමා පස්වලින් වැසුවේ බලු‍ පැටවුන්ගේ මර ළතෝනියෙන් ප්‍රදේශය දෙවනත් කරමින් තිබියදීය. සිය බලු‍ දරු පැටව්ගේ කෑගැසීම අසා එතනට ගිය ආ මව් බැල්ලිය තමාගේ දරුවන් අමු අමුවේම පණ පිටින් වළලන තැනැත්තා සපා කෑමට පැන්නේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය. ඔහුගේ අත් තිබූ උදලු‍ ප්‍රහාරයෙන් කිහිප වරක්ම සප්පායම් වූ බැල්ල සිය දරු පැටව් කෑමොර දෙද්දී පණ පිටින් වළලන දිහා ඉතා දුක්මුසුව උඩු බුරමින් බලා සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසාය.   


ඔහුගේ කාර්යය නිමවා එතනින් නික්ම ගිය පසු එම ස්ථානයට පැමිණි මව් බැල්ල කෑමොර දෙමින් සිය දරු පැටව් වැළලූ තැන හොම්බෙන් පස් හාරමින් සිටියාය. ඒ පස්වලට යටවී ගිය සිය දරු පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිවෙතැයි සිතූ නිසාය. එය කළ නොහැකි දෙයක් බව ඒත්තු ගිය බැල්ල කෑමොර දෙමින් එතනින් ඉවත්ව යන්නට ඇත්තේ තමාගේ දරු පැටව් ටික පණ පිටින් වැළලූ ඔහුට ශාප කරමින් විය යුතුය.   


කාලය කෙමෙන් ගතවිය. ඔහු එදින අසල්වාසීන් එකතුව ඉසිනු ලැබූ සිය ළිඳට බැස්සේ ළිඳ ඇතුළත පිරිසිදු කිරීමටය. ගතවූයේ ටික වේලාවකි. ළිඳේ සිමෙන්ති බැම්ම හා පස් ළිඳ තුළට කඩා වැටුණේ ළිඳ තුළ සිටි ඔහු නොපෙනෙන සේ ය. ළිඳ තුළ පස්වලට යටවී මරළතෝනි දෙන ඔහුව පස් ඉවත් කර බේරා ගැනීමට මුළු ගමම එකතුවී ප්‍රයත්න දැරුවත් එය නිෂ්ඵල විය.   


පස්වලට යටවී ළිඳ තුළම ඔහු අවසන් හුස්ම හෙළුවේ සිය බිරිද හා දූ දරුවන්ගේ මර ළතෝනි හඬ මධ්‍යයේය. එය හරියට ඔහු බලු‍ පැටවුන් පණ පිටින් වළලන විට ඒ දෙස බලා සිටි මව් බැල්ලිය නැගූ මර ළතෝනියට නොදෙවෙනි ආකාරයටය.  



වැලිපැන්න, හොරවල, මාවතගොඩ එච්.වී.ඩී. කරුණාරත්න මහතා ලියා එවූ කතාවකි.   

මස් වෙළෙන්දාට විපාක දුන් පාප කර්මය   


කලකට පෙර රත්නපුර ගම් පළාතක ජීවත් වූ අයෙකි. බෞද්ධයෙකු නොවූ ඔහු අවුරුදු හතළිහක පමණ අයෙකු විය. ඔහු රැකියාව වශයෙන් කළේ එළුවන්, කුකුළන් මරා මස්කර නිවෙස් වෙත ගොස් විකිණීමයි.   


ගම්මානයේ කෙළවරක පිහිටි තරමක් විශාල ඉඩමක පිහිටි ගෙයක් කුලියට ගෙන ඔහු මවත් සමග ජීවත් විය. සෑම සතියකම එළු මස්, කුකුල් මස් විශාල මල්ලක දමාගෙන නිවෙස් වෙත ගොස් අලෙවිකර මුදල් උපයා ගත්තේය. ඔහුගේ කුකුළු පට්ටියේ ඇති කුකුළන්ට අමතරව ගම් ප්‍රදේශයේ ඇවිද කුකුළන් රැගෙන ආ අතර එළුවන් ඔහු විසින් ඇතිකරනු ලැබිණ. මෙම සතුන් ඝාතනය කිරීමට ඔහු කිසිවෙකු හවුල්කර නොගත්තේය.   


මේ ආකාරයෙන් අවුරුදු පහක් පමණ ඔහු මස් වෙළෙඳාම කරගෙන ගියේය. හදිසියේම ඔහු රෝගාතුර විය. රෝගය කොහෙත් උත්සන්න වූවාද කිවහොත් ඔහුට ඇවිද ගැනීමටද නොහැකි විය. කොතෙක් බෙහෙත් හේත් කළද සුවයක් නොවීය. ඔහු ගෙය තුළ ඇවිද ගියේ හතරගාතයෙනි. කතා කිරීමට නොහැකි විය.   


ඇසීම ද පෙනීම ද දුර්වල විය. මියයාමට දින දෙකකට පමණ පෙර දොරකඩ ළඟට හතර ගාතයෙන් පැමිණ කෑ ගසන්නට විය. ඒ හඬ එළුවෙකු මරණ අවස්ථාවේ නික්මෙන හඬට සමාන විය. ඔහු මරණයට පත්වූයේද මෙසේ කෑ ගසමිනි.   


මේ මෙලොව වශයෙන් අකුසලකර්ම පලදීමක් නොවේද?   

 



කුඩාබුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියූ එවූ කතාවකි.   

අනුන්ට දුන් ගින්දර තමන් වෙත එළැඹුණ හැටි   


තම සැමියා විසින් නොතකා හරින ලද එම එක් දරු මවකට රැකවරණ සැලසීමට නොයෙක් දෙනා මැළි වූයේ ඇය අකාරුණික ගති පැවතුම් නිසාය. චරිතය එතරම් යහපත් නොවීමද ඊට තවත් හේතුවක් විය. විනෝදය තකා එම කාන්තාව ඇසුරු කිරීමට කල්පනා කළ පුද්ගලයන් දෙදෙනෙක් දිනක් ඒ සඳහා ඇය සොයා ගියහ.   


එක් අයකු අවිවාහකයෙකි. අනෙකා මෙන් නොව හෙතෙම තරමක් නුවණ මද අහිංසක තැනැත්තෙකු විය. විනෝදවීම කෙසේ වෙතත් ඔහුට යළි ආපසු තම නිවෙස වෙත එන්නට සිදු වූයේ මිතුරා සමග නොව එකී කාන්තාවද කැටුවය. ඒ ඈ විසින් කරන ලද යම් තර්ජනයක් නිසාවෙනි. ඇය තමා හා දරුවා පිළිබඳ වගකීම් බාරගන්නා ලෙසත් නොඑසේනම් සියල්ල ප්‍රසිද්ධියේ හෙළි කරන බවටත් තර්ජනය කළාය.   


බියට පත් වූ ඔහු ඊට අවනතව එම තැනැත්තිය සිය නිවෙස කරා කැඳවාගෙන ආවේය. ඔහුගේ ජීවනෝපාය වී තිබුණේ කිරි වෙළෙඳාමය. ඉන් ලැබෙන ආදායමෙන් තම එකම වැඩිමල් සොහොයුරිය සමගින් දිවි ගෙවූ අතර, ඔහු කෙරෙහි ඇය තුළ දැඩි සෙනෙහසක් ද පැවතුණි. එනමුත්, තම සොහොයුරා හා එකී කාන්තාව සම්බන්ධ සිදුවීම පිළිබඳ පුවත ඇගේ සිතට ගෙන දුන්නේ බලවත් වේදනාවකි.   


එසේ වුවද සොහොයුරා හට කරන ලද තර්ජනය සුළු කොට තකා ඊට එරෙහිව කටයුතු කිරීමට යාමෙන් අනවශ්‍ය කරදර, හිරිහැර විඳින්නට සිදුවෙතැයි බියක්ද එම සොහොයුරිය තුළ ඇතිවිය. එහෙයින් ඔවුනට අඹු සැමියන් වශයෙන් දිවි ගෙවීම පිණිස කටයුතු සලසා දීමට අකමැත්තෙන් නමුදු ඇය තම එකඟතාව පළකර සිටියාය.   


එම නිවෙස තමාගේ හා දරුවාගේ නිත්‍ය වාසස්ථානය බවට පත්කර ගැනීමට අවස්ථාව සැලසුණ බැවිනි ඇය සතුටු වූවාය. එතැන් පටන් ටික දිනක් ගත වනතෙක්ම ඇය නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, දෙසතියක් ගෙවී යන්නට මත්තෙන් නිවසෙහි පාලනයද සියතට ගත්තාය. පසුව වෙනත් නිවෙස් කරා යන්නට ද උනන්දු වූවාය. එසේම එකිනෙකා දැන හැඳින ගැනීමට මෙන්ම ඕපාදූප ආදිය කතා බහ කිරීමටද එම තැනැත්තිය පුරුදුව සිටිය අතර බොරු කේළාම් කියා ඔවුනොවුන් බිය කිරීමේ උත්සාහයකද නිරත වූවාය.   
වරක්, සුළු කරුණක් සම්බන්ධයෙන් එක්තරා ගැබිනි මවකට පහර දුන්නේ අමානුෂික අයුරිනි. එපමණක්ද නොව වෙනත් පුරුෂයන් රහසිතගතව අැසුරු කිරීමටද අමතක නොකළාය. ඒ වනවිට තම පුතු තරුණ වියට එළැඹ සිටියේය. මැයගේ වැරදි ක්‍රියා පිළිබඳව කලකිරීමට පත් හෙතෙම වෙනත් නිවෙසක පදිංචියට ගියේය. ඒ විවාහ දිවියට ඇතුළත් වෙමිනි.   


දින කිහිපයකට පසුව ඇය හදිසියේ රෝගාතුර වූවාය. ආහාර ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණ එම තැනැත්තියට දරුණු උදරාබාධයක් ද වැලඳුණ අතර, ඉන් මහත් සේ පීඩා වින්දාය. රෝගය නිශ්චිතව හඳුනාගැනීමට වෛද්‍යවරු ද අපොහොසත් වූහ. සිරුර පුරා හටගත් වේදනාවෙන් යුතුව කෙඳිරිළි හඬ නංවමින් ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදුණ ඇය මසකට පමණ පසුව දුක්ඛිත ලෙස මෙලොව හැර ගියාය. ඒ මැදිවිය කරා ළඟාවෙමින් සිටිය දී ය.   


නොහොබිනා ලෙස හැසිරෙමින්, පවුල් බේදකොට අනුන්ගේ සැපතට බාධා පමුණුවමින්, නොයෙක් දුක් වේදනා ගෙන දුන් ඇයට එහි විපාකය වූයේ මෙලෙස වධ වේදනා විඳ අකාලයේ මියයාමට සිදුවීමයි.   

 



ගෝවින්න, දේවමුල්ල විමලසිරි ඉලේපෙරුම මහතා ලියා එවූ කතාවකි.   

පවුලේ වගකීම් අමතක කළ කිරිනේරිස්ගේ ඉරණම   


හිර පස්සේ සිටීම වෑ පස්සේ සිටීම වැනි අනතුරුදායක ක්‍රියාවක් බව පැරැන්නෝ විශ්වාස කළහ. හිර පස්ස යනු විවාහයෙන් පසු බිරිඳගේ නිවසේ නතරවීමයි. වෑය යනු දැනට භාවිතයෙන් ඉවත්වී ගිය ආයුධයකි. මීට වසර ගණනකට පෙර පොල් ලී පැළීමට වෑය යොදාගත් අතර වර්තමානයේ යන්ත්‍රානුසාරයෙන් එය කරනු ලැබේ.   


කළුගඟ ආසන්නයේ පිහිටි නොදියුණු ගමකි. මෙහි වාසය කරන්නෝ නිරතුරු ඇදහැලෙන වර්ෂාවෙන් හා ගංවතුරෙන් පීඩා විඳිති. මොවුන්ගේ ප්‍රධාන රැකියාව රබර් කැපීම සහ වී ගොවිතැනය. ඊට ප්‍රධාන බාධකය වූයේ ගංවතුරය. ස්වභාවධර්මයේ අකාරුණික බව නිසා ගැමියෝ දුප්පතුන් වූහ.   


කිරිනේරිස් මේ ගමට අමුත්තෙකි. ඔහු මැයිනෝනා සමග විවාහයෙන් පසු හිර පස්සේ නැවතුණේය. ගමේ කාටත් උදව් පදව් කළ කිරිනේරිස්ගේ මුල් කාලය ගමේ කාටත් ප්‍රියමනාප බවක් දක්වමින් ගතවිය. කාලයක් ගතවනවිට ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවටද නොදැනීම පත්විය. දරුවන් වයසින් මෝරන විට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මුදල් අවශ්‍යවීම් ස්වභාවයකි. කිරිනේරිස් ගමේ නඩයට එක්වී සල්ලි ඔට්ටුවට බූරුවා ගැසීමට පුරුදු වුණා පමණක් නොව කුඩා පරිමාණයේ සොරකම්වලටද ඇබ්බැහි විය.   
මුදල් දිනූ දවසට යහළුවන් හා එක්ව මත්ද්‍රව්‍ය භාවිතයට එළඹුණේ නිරායාසයෙනි. තම ආදරණීය බිරිඳටද දරුවන්ටද තමාගෙන් විය යුතු යුතුකම් ඔහු අමතක කළේය. දීග දෙන වයසේ සිටින දියණියද අවකල් ක්‍රියාවේ යෙදෙන බවටද ආරංචි පැතිරිණ. ඒවාට පෙලඹුණේ ද ඔහුගේ නෑදෑ යහළු මිත්‍රයන්ය.   


දිනක් හැන්දෑවේ ගමේ පැතිරගිය ආරංචියකින් කවුරුත් විමතියට පත්වූහ. ඒ ආරංචිය කිරිනේරිස් මැහිතෙල් පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බවයි. දින දෙකක් ගතවන්නටත් කලින් ඔහු ජීවිතයෙන් සමු ගත්තේය. කවුරුත් පැවසුවේ ඔහු කළ කර්මයන් මෙලොවදීම විපාක දුන් බවයි.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්