බර ඉසිලීමේ ශූරයාට ඇති අභියෝග


හද‌ාගත්​තොත් රටම දිනුම්  

 

 

බර ඉසිලීමේ තරගයෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ නමක් තැබූ අතිදක්‍ෂ තරුණ ක්‍රීඩකයෙකු ගැනයි ‘‘හද‌ාගත්​තොත් රටම දිනුම්’’ විශේෂාංගයෙන් මෙවර කතාබහ සිදුවෙන්නේ.  ඔහු ඉන්දික දිසානායක

 

මගේ එකම අරමුණ තමයි 2020 ඔලිම්පික් යාම. ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔලිම්පික් තරගය වෙනුවෙන් විශාල කැපකිරීමක් පුහුණුවීමක් කරන්න අවශ්‍යයි. අපට ඒ වෙනුවෙන් දෙන පහසුකම්වල මදිකමක් තියෙනවා. මොකද මගේ ශරීර බර පාලනය කර ගන්න ඕනෑ. ඒ සඳහා කෑම පාලනය කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය විටමින් වර්ග, කිරිපිටි, අතිරේක ආහාර ලබාගන්න ඕනෑ.   


ඒ දේවල්වලට විශාල වියදමක් දරන්න ඕනෑ. ඒ නිසා පෞද්ගලික මට්ටමේ කියලා ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරලා එ් වෙනුවෙන් අනුග්‍රාහකයෙකුගෙන් හෝ යම් ආයතනයකින් යම් දීමනාවක් ලබා දීමට ඉදිරිපත් වෙනව නම් අපේ ඉදිරි ගමනට මෙය ලොකු ශක්තියක් වේවි.  


ක්‍රීඩාවට යොමුවුණු විදිය ගැන මුලින්ම කතා කරමු?  


මම පොඩිකාලෙ ඉඳන් ක්‍රීඩාවට නැඹුරුවක් තිබුණා. ඒ නිසාම ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ තුළින් ජයග්‍රහණයන් පවා ලබා තියෙනවා. මුලින්ම යෙදිලා හිටියේ මලල ක්‍රීඩාවලට.  


නමුත් ඉන්දික ඉදිරියට එන්නේ බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු වශයෙන්?  


ඔව් මම අවුරුදු 15දී වගේ තමයි මුලින්ම බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවුණේ. මම මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙනුත් මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලෙදි තමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ. මුලින්ම විතානගේ සර් යටතේ තමයි පුහුණුවීම් සිදුකළේ. එහිදී මට ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ලබන්න හැකි වෙනවා. ඉන් අනතුරුව YMC ආයතනයත් එක්ක අතුල විජේවික්‍රම සර් එක්ක එකතුවෙලා ජාත්‍යන්තර මට්ටමටම ගිහින් ජයග්‍රහණය කරන්න හැකිවුණා.  


පාසල් අවධියෙන් පසුව උසස් පෙළ අවසානයේ මම නාවික හමුදා ක්‍රීඩකයෙකු වශයෙන් නාවික හමුදාවේ බර ඉසිලීමේ සංචිතයට බැඳුණා. ඉන් පසුව තමයි නිසියාකාරව ක්‍රීඩාවට පිවිසුණේ. එතැන් සිට අඛණ්ඩව ක්‍රීඩාව කරගෙන යනවා.   


ඇයි මේ වගේ ක්‍රීඩාවක් තෝර ගන්න හිතුවෙ?  


කොල්ලො කාලේ ෆිට්නස් කරන්න එහෙම සාමාන්‍යයෙන් පිරිමි ළමයි කැමැත්තක් දක්වනවනෙ. ඉතින් ඒකාලෙ මේ ක්‍රීඩාවෙ නියැළිලා හිටපු අය දැකලා තමයි ආසවෙලා ගොඩක්ම ඊට යොමුවීමක් සිදුවුණේ. ඒ තුළින් යම් දෙයක් කරන්න හිතුණා. ​ෙම් තුළින් ව්‍යායාමයකුත් සිද්ධ වෙනවනෙ. ඉතින් අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් දිගටම මේ ක්‍රීඩාවත් කරගෙන ගියා.   


ඉන්දික ගෙදරදීත් බර වැඩ කරන්න දක්ෂද?  


එහෙම බර වැඩක් නම් කරලා නෑ. මේ දේ ක්‍රීඩාවක් විදියට ටෙක්නික් එක්කනෙ යන්නෙ. ඒ සඳහා ශක්තියක් තියෙන්න ඕනැ. ඒ වගේම දරාගැනීමේ හැකියාව, ආත්ම ශක්තිය හැමදේම තියෙන්න ඕනැ. සමහරුන්ට ලොකු ඇඟවල් තිබුණත් මේවා කරන්න බයයි.   


මේ භාවනාවක් වගේ දෙයක්, එක පාරටම මනස අවුල් වුණොත් ඒක කරගන්න බැරිවෙනවා. හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕනෑ.   


සමහරුන්ට කරන්න පුළුවන් ඒත් දරාගෙන ඉන්න බෑ. එ් නිසා වැඩිකල් ගෙනියන්න බෑ, ඒකයි බොහෝ අය ඊට යොමු නොවන්නෙ.  


මේ ක්‍රීඩාව තෝර ගනිද්දී ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද?  


අපොයි නෑ. අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දුන්නා. මම කොහොමත් ක්‍රීඩාවත් එක්ක අධ්‍යාපනයත් කරගෙන ගියානෙ. එ් නිසා අවුලක් වුණේ නෑ. විශ්වවිද්‍යාල වරම් දක්වා යන්න හැකි වුණා. මගෙ Zcore එකත් එක්ක සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ උපාධිය හදාරන්න.   මට අවස්ථාව ලැබුණා. වානිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. නමුත් ක්‍රීඩාවට කැපවෙලා තිබුණු නිසා ඒ විෂයන්වලට සම්බන්ධ වුණේ නෑ.   


ක්‍රීඩාව පැත්තෙන් ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළොත්?  


ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනාගෙන තියෙනවා. දැනට පොදුරාජ්‍ය මණ්ඩලයේ ශූරතා රිදී පදක්කම් තුනක් සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමත් ජයග්‍රහණය කළා. දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 12 වන ස්ථානයේ ඉන්නවා.  


2014 වර්ෂයෙන් පසුව ලංකාවේ ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ජයග්‍රහණය තමයි පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී දිනාගත් රිදී පදක්කම, ඒ වගේම තවත් ජයග්‍රහණ රැසක් දිනාගෙන තියෙනවා.   


මුලින්ම මම කනිෂ්ඨ අංශයේ ජයග්‍රහණ තමයි ලැබුවේ. මුල්ම ජයග්‍රහණය ලැබුවේ ජාතික ආධුනික බර ඉසිලීමේ ශූරතා තරගාවලියෙදී, එහිදී රන් පදක්කමක් දිනාගෙන දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත්තා. එතැන් පටන් මේ වනතුරාම අඛණ්ඩව හැම තරගාවලියකදීම ලංකාවේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි රන්පදක්කම ජයග්‍රහණය ලැබුවා.   


ඒ වගේම අඛණ්ඩව 5 වතාවක් ජාතික ශූරතාවත් දක්‍ෂතම ක්‍රීඩකයාත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ 5 වතාවක් දක්ෂතම බර ඉසිලීමේ ක්‍රීඩකයාත් වුණා. 2013 ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා වෙලා මට මෝටර් රථයක් පවා හිමි වුණා. ඒ වසරේ දකුණු ආසියානු වාර්තාවක් පවා පිහිටෙව්වා.   


සිරස ප්ලැටිනම් අවෝර්ඩ් සම්මාන උළෙලේදී වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා සම්මානයත් දිනාගත්තා. නාවික හමුදා සංචිතයේ වසරේ දක්‍ෂතම ක්‍රීඩකයාත් වුණා.  


බර ඉසිලීමේ ඉසව්වෙදි ඉන්දික කැමති ක්‍රීඩකයෙක් හෝ ෆලෝ කරපු කෙනෙක් හිටියාද?  


ඔව් මම ගොඩක් කැමති ක්‍රීඩකයෙකු තමයි චින්තන විතානගේ, ඔහු ජයග්‍රහණය කරලා රන් පදක්කම් දිනද්දී මටත් ඒ වගේ වෙන්න ආස හිතුණා. ඔහු පුහුණුවීම් කරනවා මම දැකලා තිබුණා. මහනුවර ඇවිල්ලත් ඔහු පුහුණුවීම්වල නිරත වුණා. කෙසේ හෝ පසු කලක මගේ ඉදිරි ගමනටත් ඔහු ලොකු අත්වැලක් වුණා.   


කුරුණෑගලදී මම ඔහු යටතේ අවුරුදු 5ක් පුහුණුවීම්වල නිරත වුණා. ඔහු අනුගමනය කරලා තමයි මම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා කරන මට්ටමට පිවිසෙන්නෙ. ඉන් පසුව තමයි මගේ ජාතික පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා යටතේ හදාරන්නෙ.   


ෙම් වෙනුවෙන් ඔබට වඩා දිරිය දෙන්නෙ කවුද?  


2009 සිට මේ දක්වා මම නාවික හමුද‌ාවෙ ක්‍රීඩකයෙකු විදියට සේවය කරනවා. ලොකු සහයක් එමඟින් ලැබෙනවා. ඒ වගේම බර ඉසිලීමේ සංගමයෙන්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන්, ජාතික ඔලිම්පික් කමිටුවෙන්, ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් සහයෝගය දෙනවා. මුලදී යම් යම් ප්‍රශ්න ඇතිවුණා. නමුත් දිරිගැන්වීම් තියෙද්දී හොඳ මානසික මට්ටමක් තියෙනවා.  
ඉතින් ලොකු සහයෝගයක් හැම අතින්ම ලැබුණොත් අපට මීට වඩා ජයග්‍රහණයන්ට යන්න ලැබෙයි කියලා හිතෙනවා.  


මේ ක්‍රීඩාවෙ යෙදෙද්දී ඔබට අවශ්‍ය ශක්තිය හා දිරිගැන්වීම කෙබඳු විය යුතුද?   


මගේ එකම අරමුණ තමයි 2020 ඔලිම්පික් යාම. ලබන අවුරුද්දෙ අගෝස්තුවල තියෙන්නෙ. ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක්, පුහුණුවීමක් කරන්න ඕනෑ.  


අපට ඒ වෙනුවෙන් ලැබෙන පහසුකම්වල මදිකමක් තියෙනවා. මගේ ශරීර බර අනිවාර්යයෙන් පාලනය කරගන්න ඕනෑ. ඒ සඳහා ලොකු වියදමක් දරන්න වෙනවා. කෑම පාලනය කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය විටමින් වර්ග, අතිරේක ආහාර, කිරිපිටි ඒ පෝෂණ ලබාගන්න ඕනැ. ඒ දේවල්වලට විශාල වියදමක් දරන්න ඕනෑ. ඒ නිසා අපිට පෞද්ගලික මට්ටමේ කියලා ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරලා ඒ වෙනුවෙන් අනුග්‍රාහක​ෙයක් ඉන්නවා නම් හොඳයි.   


එහෙම වුණොත් හොඳ මානසික මට්ටමකින් වැඩ කරගෙන යන්නත් රට වෙනුවෙන් දස්කම් දක්වන්නත් හැකිවෙයි කියලා හිතනවා.  


ඒ වෙනුවෙන් කොයි තරම් වියදමක් ඉන්දිකට වැය වෙනවද?   


අපේ ඇඳුම් පැලඳුම්, ආහාර, අතිරේක පෝෂණ වියදම්, විටමින් ඒ හැමදේටම මට මසකට ලක්‍ෂයකට අධික වියදමක් යනවා.  


මේ සේරම කරගන්න නාවික හමුදාවෙන් ලැබෙන වැටුප විතරක් ප්‍රමාණවත් නෑ. මම විවාහකයි. මට දරුවෙකුත් ඉන්නවා. ඉතින් ඒ ජීවිතෙත් එක්ක මට ක්‍රීඩාව වෙනුවෙන් ලොකු වියදමක් දරන්න අමාරුයි. අපට ලැබෙන පහසුකම් පවා ප්‍රමාණවත් නෑ. පෞද්ගලිකව යම් ආයතනයකින් හරි අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වෙනවා නම් ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.  


ක්‍රීඩා පුහුණුවීම්වල අඩුපාඩු මොනවද?  


අපේ සංගමයෙනුත් ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් පහසුකම් සලසලා තියෙනවා. අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් නිසා හැම දේම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ.  


පොදු රාජ්‍ය මණ්ඩලිය තරග දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දීමනාවක් ලැබුණා. නමුත් ගිය අගෝස්තු මාසයෙන් පසුව එය ලැබුණේ නෑ. ඉදිරියේදීත් ක්‍රීඩා අමාත්‍යාංශය අපි වෙනුවෙන් අවධානය යොමු කරයි කියලා හිතනවා. පහසුකම් වගේම හොඳ මානසික මට්ටමක් ලැබුණොත් ජය සිකුරුයි.   


ඉදිරි තරගාවලි මොනවද?  


මේ අවුරුද්දෙ සහභාගි වෙන්න තියෙන්නෙ ආසියානු ශූරතාවලියට සහ ලෝක ශූරතා ආසියානු තරගාවලියට.  


ලබන අප්‍රේල්වල ආසියානු ශූරතා තරගාවලියත්, සැප්තැම්බර්වල ලෝක ශුරතා තරගාවලියත් පැවැත්වෙනවා. ඒ සඳහා කැපවී පුහුණුවීම් කරනවා.   


ඔබට අමතක නොවනම තරගාවලිය?  


පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙ​ෙලදී මට රිදී පදක්කම දිනා ගන්නට හැකි වුණේ. එහිදී රන් පදක්කම ගිලිහුනේ 2kg කින්, ජයග්‍රහණය ලබාගත්තා නම් ඔලිම්පික් අවසානය දක්වාම යන්න තිබුණා. ඒක තමයි මට අමතක නොවන තරගාවලිය.   


ඇයි රන් පදක්කම ගිලිහුණේ?  


මේ තරගය තිබුණේ ඔස්ට්‍රේලියාවේ. අපි දවස් 10කට පෙරදී තමයි එ් වෙනුවෙන් සම්බන්ධ වුණේ. මම අසනීප තත්ත්වයෙන් හිටියේ. අනෙක ඒ රටේ සීතලත් එක්ක හුස්ම ගන්න ටිකක් අමාරු වුණා. දවස් දෙකක් විතර විවේක ගත්තා. ඒ නිසා අවශ්‍ය ටෙක්නික් සාර්ථකව කරගන්න නොහැකි වුණා. ඒ නිසා තමයි රන් පදක්කම අහිමි වෙන්නේ.   


මේ ක්‍රීඩාවට රටේ තැනක් තියෙනවද?  


ඔව්. මම දකිනවා ක්‍රිකට් ක්‍රීඩාව ඇරුණම 2006 ඉඳන් වැඩිම ජයග්‍රහණයක් ලබාගෙන තියෙන්නෙ බර ඉසිලීමේ ක්‍රීඩාව. ඒ අනුව බලද්දී අපි ඉදිරියෙන් ඉන්නවා.  


මේ ක්‍රීඩාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් සිදුවෙනවද?  


ඔව්. කොහේ ගියත් ඒ ගැන හිතන්න ඕනෑ. වැඩිපුර නිදිවරන්න ​ෙහාඳ නෑ. උත්සව අවස්ථාවලටත් සහභාගි වීම ගොඩක් අඩුයි. පුළුවන් තරම් විවේකය තමයි අවශ්‍ය වෙන්නෙ. අනිත් හැමදේම සමබරව කරගෙන ක්‍රීඩාව වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා.  


නාවික හමුදාපති ඇතුළු නිලධාරීන්ගෙන් ​ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.  


ක්‍රීඩකයකු වුණාම ජය පැරදුම දෙකම පොදුයි. කොහොමද ඔබේ දරාගැනීමේ ශක්තිය?  


මම 2014 දී සහභාගි වුණා එංගලන්තයේ පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට. එහිදී මම පුහුණුවීම්වලදී තරගයට සතියකට පෙර පුහුණුවීම්වලදී රන් පදක්කමට වඩා කිලෝ 10ක ප්‍රමාණයකට වගේ එසෙව්වා. නමුත් තරගාවලිය වෙලාවෙදි මම අසාර්ථක වුණා. රිදී පදක්කමටයි යන්න ලැබුණේ. ඒ මොහොත හිතට ලොකු වේදනාවක් දැනුණා. මොකද මම ඒ තැනට එන්න අවුරුදු 4ක් පුහුණු වුණා. ඒ ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ගොඩක් මහන්සි වුණා. වියදම් කළා. එ් වගේ අවස්ථාවල ලොකු මානසික කඩාවැටීම් වෙනවා. නමුත් කෙසේ හෝ හිත හදාගන්නවා ඊළඟට තියෙන තරගාවලිි ගැන හිතලා.  

 

 

 

ධනු විජේරත්න  
ඡායාරූපය: චානුක කුලසේකර