බත් ඇටෙත් ගණන් උස්සයි


පසුගිය සති දෙක තුළ ගම්බද ප්‍රදේශවලට සාපේක්ෂව කොළඹ ලන්ච් පැකට් එකේ මිල ඉහළ ගියේ නොසිතූ පරිදිය. එළවළු මිල ඉහළ යාම, ලන්ච්ෂීට් මිල ඉහළ යෑම ආදී බොහෝ කරුණු මෙහිදී නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කෙරිණි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එළවළු බත් වේලක් සඳහා යොදාගන්නට නොහැකි තරම් මිල ඉහළ ගියාදැයි කිවහොත් අන්තිමට වුණේ සෝයාමීට් සහ ලොකු ලූනු සලාද ව්‍යාංජන බවට පත්වීමයි.  
ඇත්තටම මේ කොළඹ බත් වේල මිල ඉහළ යාමේ කතාන්දරය පිටුපස ඇති සැබෑ කතාව සොයා කොළඹ රවුමක් ගැසීමට අප තීරණය කළේ ඒ නිසාය.  


අපි මුලින්ම පටන්ගත්තේ ලංකාදීප කාර්යාලය ඉදිරිපිට ඇති ඩීමෝ බට්ටා ජංගම අලෙවි රථයෙනි. එහි අලෙවිකරු නමින් අජිත් ලියනගේය. ගම් පළාත පානදුරේය. ඔහු කියන පරිදි රු. 180ක් වූ මික්ස් රයිස් එක දැන් රු. 200 කි. අඩුම මිලට තිබූ බත් පැකට්ටුව දැන් රු. 100 කි. රු. 100ට තිබූ බැදපු මාළු බත් පාර්සලය රු. 120 කි. වැඩිපුර අලෙවියක් නැති බුරියානි පමණක් මිල වැඩි වී නැත. එය තිබූ රු. 160 මිල එහෙමය. රු. 150ට තිබූ චිකන් බත් පාර්සලය දැන් රු. 180 කි. අජිත් පවසන පරිදි සැපයුම්කරුවෝ 8 දෙනෙක් ඔහුට බත් පාර්සල් සපයති. මිල වැඩිවීමට හේතුව හාල් කිලෝව රු. 100ට එහා යාමත් ලන්ච්ෂීට් සහ එළවළු මිල ඉහළ යාමත් බව ඔහු කියයි.


ඉන්පසු අප ගියේ කොළඹ ප්‍රදේශයේ නම් දරාපු බත් කඩ ඇති බොරැල්ල ප්‍රදේශයටය. බොරැල්ලේ වෝඩ් පෙදෙස ආරම්භයේ කේන්ද්‍රවී ඇති මේ බත් කඩ සංඛ්‍යාව 13කට අධිකය. ලංකාවේ පංචිකාවත්තේ හෝ ග්‍රෑන්ඩ්පාස් පැත්තේ නිවැසියකු වුව ද බත් කඩයක් දානවා නම් එයට දාන්නට ටිප්​ෙටාප් එකට ගැලපෙන නම මාතර බත් කඩේය. බොරැල්ලේ ද මාතර බත් කඩ කීපයක් අැතත් ඉපැරණිම මාතර බත් කඩය ඇත්තේ වෝඩ් පෙදෙස ආරම්භයේදී වමට ඇති බාල්දිවත්තේය.  


මේ මාතර බත් කඩේ ඉතිහාසය එහි ආරම්භක පුද්ගලයකුගේ ඥාති පුත්‍රයකු අප සමඟ පැවැසුවේ මෙසේය.  


‘මේ බොරැල්ලට බත් කඩ ගෙනාපු රාජා ඇවිල්ලා මගේ බාප්පා. එයා මාතර කෙනෙක් නෙමෙයි බදුල්ලේ. අපේ ගමේ. හැට ගණන්වල බත් කඩේ පටන් අරන් තියෙන්නේ. දැන් බේස්ලයින් පාරේ ලංකා බැංකුව තියෙන තැන එතන දෙල්ගහක් තිබිලා තියෙනවා. බංකු තියල තමයි බත් දීලා තියෙන්නේ. කෑම එකක් සත පහට දීලා තියෙන්නේ. ​​​අපේ බාප්පා රාජා හොඳ කෝකියෙක්. එයා තමයි බොරැල්ලේ හෝටල්වලට ඌරු මස් හඳුන්වල දීලා තියෙන්නේ. එතකම් ඉඳල හිටල ක​ෙඩ්ක තමයි උෟරු මස් තිබුණේ. දවසට උෟරු මස් කිලෝ පනහ උයන කඩ මෙහෙ තියෙනවා.’


මේ මාතර බත් කඩේ ඔහු කියන පරිදි දැන් වෙනත් තැනකට පැමිණ ඇත්තේ නවසිය අනූව දශකයේ මුලදීය. ඒ වසර විසි අටකට පමණ පෙරය. එකල බත් එකක මිල වී ඇත්තේ රු. 12-15ත් අතර මිලකි. ෆුල් කෑම එකක් ටිකක් මිල වැඩි වුණත් ඕනෑ තරම් බෙදා ගෙන කෑ හැකියි. පසුගිය සතිය වනතුරුත් මෙහි මිල ගණන් තිබුණේ එළවළු බත් බාග 80, ෆුල් 100, කුකුල් මස් බාග 130, ෆුල් 150, ඌරු මස් බාග 130, ෆුල් 150, මාළු බාග 80, ෆුල් 100, බුල්ස්සයි ෆුල් 110 ලෙසය. මෙම බත් කඩ වෙළෙන්දන් ප්‍රකාශ කර සිටින්නේ පිඟන් සඳහා තමන්ට ලන්ච්ෂීට් දැමීම ගැටලුවක් බවය. ‘ගාන වැඩි කරන්න බැහැ. කඩ වැඩි නිසා බිස්නස් වැටෙනවා. යන්තම් බිස්නස් ඇදගෙන යනවා විතරයි’ බොරැල්ල බත් කඩ හිමියන්ගේ මතය විය.  


ආමර් වීදියේ පොලිසිය ඉදිරිපිට මුස්ලිම් හෝටල් කීපයකට ද එබී බලන්නට අපට සිත්විය. එහි ඩෙවල් බීෆ් (හරක් මස්) බුරියානි එකක මිල රු. 350 සිට 400 දක්වා වැඩි වී තිබූ අතර චිකන් බුරියානි එක රු. 150-200 දක්වා වැඩි වී ඇත. බත් කෑම බාගයක් රු. 140 සිට 180 දක්වා වැඩි වී ඇත. තම්බපු බිත්තරයක මිල රු. 20 සිට 40 දක්වා වැඩි වූයේ කෙසේ දැයි සිතාගත නොහැක.  


කොළඹ මැනිං මාකට්ටුවේ අැති හෝටල් කීපය හොඳ එළවළු කීපයක් සමඟ බත් වේලක් ගැනීමට අැති හොඳම තැනයි. එළවළු තොග වෙළෙඳපොළ එතැනම ඇති බැවින් ව්‍යංජන 20කින් හතරක් තෝරාගෙන ඕනෑ තරම් බත් වේලක් ඇද බෑ හැකිය. එහි ආරිය කැෆේ කැෂියර් කූඩුවේ කේ.ඒ. ආරියදාස වඩාත් ප්‍රසිද්ධ ඉඟුරු ආරි ලෙසය. ලංකාවේ ප්‍රධානම ඉඟුරු ගැනුම්කරුවකු ලෙස ඔහු ප්‍රකටය. ඔහු පැවැසුවේ හාල්, පොල්, එළවළු, ලන්ච්ෂීට් මිල ඉහළ දැමීම නිසා බත් වේලේ මිල ඉහළ දැමූ බවයි. එහි එළවළු රයිස් බාගයක් 140 සිට 160 දක්වාත්, බිත්තර රයිස් 150-170 දක්වාත්, චිකන් රයිස් 250-270 දක්වාත්, ඉස්සෝ රයිස් 260-270 දක්වාත්, සොසේජස් රයිස් 260-270 දක්වාත් වැඩි වී ඇත. එහි චිකන් කෑම එකක මිල 210-230 දක්වාත්, එළු මස් කෑම එකක මිල රු. 420-450 දක්වාත් වැඩි වී ඇත.  


ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක ඉදිරිපිට මිනිසුන් පොරකන හෝටලයකට ගොඩ වැදුණු අපට දැකගත හැකි වූයේ එහි බැදපු මාළු බත්පතක මිල රු. 100 බවය. ‘මෙතන ඉතිං බිස්නස් වැඩි නිසා මේ ගානට දෙන්න පුළුවන්. දැන්නං ඉතිං පිඟන්වලට ලන්ච්ෂීට් දාන්නේ නැහැ’ යි එහි කළමනාකරු අප සමඟ පැවැසුවේ හත්අට දෙනකුගේ මුදල් ගන්නා අතරය.  


හැම තැනින්ම අපට ඇසුණේ ලන්ච්ෂීට්        අ​ඳෝනාවයි. පිටකොටුවේ ලන්ච්ෂීට් අලෙවිය ප්‍රධාන වශයෙන් පැරණි නගරශාලාව, පීපල්ස් පාක්, තෙවැනි හරස් වීදිය නම් දරා ඇත. ලන්ච්ෂීට් වින්නැහිය මෙරටට එන්නේ 1977න් පසුවය. 2007 වනතුරුත් මෙරට ලන්ච්ෂීට් එකක් සත විස්සක් වුණේ නැත. පොලිතින් තහනමක් ගැන හඬ නැගෙන්නේ ඉන්පසුවය. පොලිතින් නමින් තහනම ආවත් හැබැයි තහනම් වුණේ ලන්ච්ෂීට් සහ ග්‍රොසරි බෑග්ය. ප්‍රධාන චෝදනාව වූයේ ඕවා වැළලූවිට දිරා නොයාමයි. එසේ නම් ඡන්දවලට භාවිතා කරන Flex Banner දිරාපත්වන්නේ දැයි ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්නයකි. විවිධ නිෂ්පාදකයන්ගේ තොග ඇති නිසා 2018 ජන. 1 දක්වා පොලිතින් තහනම ක්‍රියාත්මක නොවීය.  

 


පසුගිය දිනවල බත් පැකට්ටුවේ මිල රු. 10කින් වැඩි වීම ගැන අප කරුණු විමසුවේ අාපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාගෙනි.  
‘මම මධ්‍යම පරිසර අධිකාරියට අභියෝග කළා. අඩි 10’-10’ වළක් කපලා මේ ලන්ච්ෂීට් වළලා දිරනව කියලා පෙන්වන්න කියලා. පරිසර අධිකාරියේ මේ ලන්ච්ෂීට් මනින මයික්‍රෝන් ගණන බලන්න යන්ත්‍රයක්වත් නෑ. මේ ලන්ච්ෂීට් තහනමෙන් පොලිතින් කොම්පැණිකාරයෝ හැදුණ එක විතරයි වුණේ. සමහර ලන්ච්ෂීට්වල කොළපාටින් අනුමත එකක් බවට මුද්‍රණය කර තියෙනවා. මිනිස්සුන්ට වෙන්නේ බතුත් එක්ක තීන්තත් කන්න.’  
දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ කැන්ටිමේ ඇති ලන්ච්ෂීට් එක කෙසෙල් කොළේ පාටින් මුද්‍රණය කොට ඇත. උණු බත් වේලක් සමඟ PVC තීන්ත ද නොමිලේ මුසු කරගත හැක්කේ වසක් ලෙසය. රු. 3.50 වන එම ලන්ච්ෂීට් එකේ එක් පැත්තක ඇත්තේ වැක්ස් පටලයකි.  


අසේල සම්පත් මහතා කියනා පරිදි කිරි පැකට්ටුවට, සිමෙන්ති ගෝනියට, කිරිපිටි පැකට්ටුවට මිලක් නියම කරන රටේ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වූ බත් පැකට්ටුවට මිලක් නියම කිරීමට ආණ්‍ඩුවට කොන්දක් නැත. පාරිභෝගික අධිකාරිය මේ ගැන සිටින්නේ නෑසු කන් ඇතිවය.  


සත 20ට තිබුණු ලන්ච්ෂීට් එක දැන් රු. 5කි. බත්පත ඔතන ඩිමයි කඩදාසිය රු. 1.50 කි. ෂොපින් බෑග් එක රු. 5 කි. හොදි පැකට් එක වෙනම ගත යුතුය. බත්පත ඇසුරුම සඳහා පමණක් රු. 10කට වැඩි මිලක් වැයවේ.  
මෙරට ලක්ෂ 250කට අධික ලන්ච්ෂීට් භාවිතා වන බව වාර්තා වේ. පරිසර හිතකාමී ලෙස රු. 5කට නව ලන්ච්ෂීට් එක අලෙවි කළත් එය මනින්නට මිනුම් දණ්ඩක්වත් නැත. සිදුවී ඇත්තේ පරණ ලන්ච්ෂීට් එක වෙළඳපොළට විවිධ නම්වලින් ඉදිරිපත් කරමින් පොලිතින් ව්‍යාපාරිකයන් සහ මධ්‍යම පරිසර අධිකාරිය දැවැන්ත මහජන ගසාකෑමක නිරත වීමය. එක් පොලිතින් නිෂ්පාදකයකුට තම පරිසර හිතකාමී ලන්ච්ෂීට් දැන්වීමක පරිසර අධිකාරියේ ලාංඡනය යෙදීම ගැන පසුගියදා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට සිදුවිය. ඒ තරම් දැන් ලන්ච්ෂීට් ජාවාරම බලගතු වී තිබේ. මේ පරිසර හිතකාමී ලේබලය යටතේ පොලිතින් නිෂ්පාදකයන් ලබන ලාභය කෝටි ගණනකි. අන්තිමට පරිසර හිතකාමී ලේබල් ගැසූ පරණ ලන්ච්ෂීට්වලට පව් ගෙවන්නට වූයේ මෙරට එදා වේල කන පාරිභෝගිකයන්ට බව සඳහන් කළ යුත්තේ පාලකයන්ට මේ ගැන නිසි පියවරක් ගන්නා ලෙස ආයාචනා කරමිනි. 

 

 

 

 

 

 

වජිර ලියනගේ