බඩගෝස්තරවාදී දේශපාලනයට ගොදුරු වූ ටජිකිස්ථානය


වළපල්ලට ගිය රටවල්

 

 

දේශපාලන හොර දෙටුවන් සිටින රටවල් ආරාජික වීම වැළැක්විය නොහැක. නූගතුන් රටක පාලනය සියතට ගෙන තමන් ආර්ථික ඔස්තාර්ලා බව ජනතාවට පෙන්වමින් රටක් නැත්තට නැති කිරීම කොතරම් ඛේදවාචකයක්ද? ඔවුහු පොදු ජනතාවගේ ආවේගය ප්‍රතිචාරය හා දරිද්‍රතාවයේ ශෝකාලාපය සත පහකට මායිම් නොකරති. මුදලට ඇති කෑදර ආසාව සහ ගිජුකම තුළින් කුට්ටියක් කඩාගෙන සුරසැප විඳීම මොවුන්ගේ එකම අරමුණයි.


පුරා වසරක කාලයක් තුළදී ලොව වළපල්ලට ගිය රටවල් 30ක් පිළිබඳ විස්තර මෙම තීරුවෙන් ඉදිරිපත් කළෙමි. සියලුම දේශපාලන අලකලංචි සිදුවෙද්දී මා සිටියේ ලංකාවේය. මෙම දේශපාලන පෙරළි හේතු කොටගෙන ලංකාව ද වළපල්ලට යාම පියවරෙන් පියවර සාර්ථකව සිදුවෙන අයුරු දුටුවෙමි. වළපල්ලට ගිය අනිකුත් රටවල මෙන්ම ලංකාවේ ද ජනතා පිබිදීමක් නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතින බව ද දුටුවෙමි. ගිජු ලිහිණියන් මෙන් වරප්‍රසාද ඩැහැගැනීමට පොරකන දේශපාළුවන්ගෙන් රටකට වැඩක් තිබේද?


අද හඳුන්වා දෙන්නේ මධ්‍යම අාසියාවේ පිහිටි අගාදයට ඇදවැටුණු තවත් රටකි. ඒ, ටජිකිස්තානයයි. (TAJIKISTAN). මෙයත් ජනරජයකි. එහෙත් ජනතාවට අයිති දේශයක් නොවේ. බඩගෝස්තරවාදී දේ‌ශපාලකයින්ගේ පාරාදීසයකි. මේ රටේ ද ඉන්නේ සුරංගනා කතා දෙසාබාන දේශපාලකයින්ය. කටින් පමණක් නොව කඩුවෙන්, කිනිස්සෙන්, බෝම්බයෙන්, මර්දනයෙන් ජනතාවට හොඳට සලකන දේශපාලකයන්ය. දීර්ඝ කාලයක් තිස්සේ සෝවියට් දේශයට නතු වී තිබූ මේ රට නිදහස ලබාගෙන පසුගිය වසර 25 තුළ දී ආපස්සට යන අයුරු පෙනේ.


මෙම රට මනස්කාන්ත කැස්පියන් මුහුදු තීරයේ පිහිටා ඇත. නැගෙනහිරින් චීනයටද, බටහිරෙන් ඇෆ්ගනිස්තානයටද, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්ටෙනිස්තානය, කසකස්තානය හා රුසියාවට යාබදව පිහිටි ටජිකිස්තානය අද ලෝකයේ කොන් වී ඇති රටකි. ව.කි.මී. 143,100 හෙවත් ව.සැ. 55,300ක් විශාල ලක්‍ෂ 90කට මදක් වැඩි ජනගහණයකින් සමන්විත රාජ්‍යයකි. මුළු ජනගහණයෙන් හරි අඩක්ම එනම් සියයට 48ක් අන්ත දුගී අසරණයින්ය. දශමයකින්වත් ඉදිරියට යාමට නොහැකිවූවන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 45කට වැඩිය. රටේ අරාජිකත්වය කියාපෑමට මේ උද‌ාහරණය හොඳටම ප්‍රමාණවත්ය. අවුරුදු 26ක් තිස්සේ මේ රට පාලනය කරන්නේ ගොවියෙකු වූ එමොමලී රහමොන්ය. 66 හැවිරිදි මේ ජනපතිවරයා තම පවුල හා ඥාති වර්ගයා පාලන කටයුතුවලට සම්බන්ධ කරගෙන රට කා දමමින් බලයේ රැඳී සිටී.


ටජිකිස්තාන් ජනපතිවරයාගේ දියණියන් 7දෙනා සහ පුතුන් දෙදෙනා පාලන කටයුතුවලට සම්බන්ධ වී ඇත්තේ පුරවැසියන්ගේ විරෝධතා මධ්‍යයේය. ඔහුගේ පාලන කාලය තුළ රට තුළ සිදු වූ සිවිල් යුද්ධවලින් මියගිය අයගේ සංඛ්‍යාව එක් ලක්‍ෂයකට අධිකය. ඔහු හතරවැනි වරටත් ජනපති පදවියට පත්වුණේ 2013 පැවැත් වූ ජනපතිවරණයෙනි. පාර්ලි​මේන්තුවේ ආසන සංඛ්‍යාව 96කි. ඉන් ආසන 51ක් හිමිකර ගෙන තිබෙන්නේ රහමොන්ගේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයයි (පී.ඩී.පී.). එහෙත් මෙම පක්‍ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කරන බවක් පෙනෙන්නට නැත.


මේ රටේ ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තම හෙන්චයියන්ගේ ආධාරයෙන් 1994 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත්තේය. ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවු. 5 සිට අවු. 7 දක්වා දීර්ඝ කර ගැනීම සහ ජීවිතාන්තය තෙක් ජනපති තනතුරේ රැදී සිටීමට හැකිවීම ආදිය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉඩ ප්‍රස්ථාව ලබාගත් ජනපති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කළ ආසියාවේ තවත් පාලකයෙකි. ඔහු ද බලයට පත් වූ දා සිට විධායක බලය අතහරින බවට ජනතාව ඉදිරියේ පුරසාරම් දෙසමින් විධායක බලතල වැඩිකර ගැනීමට සූක්‍ෂම අයුරින් ක්‍රියා කළේය. මෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 41 වාරයක් සංශෝධනය කර ගනු ලැබීය. ඒ, ජනතාවගේ හා රටේ යහපත තකා නොවේ. පාලකයින් හා ඔවුන්ගේ වර්ගයාගේ යහපත හා සුඛවිහරණය තකාය. මා ගිය වළපල්ලට ඇදවැටුණ හැම රටකම සිටින්නේ පාලකයින් සියලුදෙනා බලය සහ බලයේ සිටින කාලසීමාව දෙගුණ තෙගුණ කර ගැනීමට කාලය, ශ්‍රමය වැයකරන දේශපාලකයින්ය.


ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව ආදී ශීලාචාර සහ දියුණු රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගනු ලබන්නේ ජනතාවගේ අභිවෘද්ධිය සහ රටේ උන්නතිය තකා මිස පාලකයින්ගේ මනදොල සපුරා ගැනීමට නොවේ. ටජිකිස්තානයේ ද සිටිනුයේ විධායක ජනපතිවරයාට දණ නමස්කාර කරන අගමැතිවරයෙකි. ඔහු කොකිර් රසුල්සොඩාය. රට සෝවියට් දේශයෙන් වෙන්කර ගනු ලැබුවත් කිසිදු දියුණුවක් ලබා නැත.


මෙහිද ඇත්තේ රබර් සීල් එකට සීමා වූ පාර්ලිමේන්තුවකි. (Rubber Stamp Parliament) ජනපති හා අගමැති එක් වී තම අභිමතයන් පාර්ලිමේන්තුව හරහා ඉෂ්ඨ කර ගැනීම මේ රටේ ද සිදුවෙන ක්‍රියාදාමයකි. ජාතියේ නායකයා (Leader of the Nation) යනුවෙන් ගෞරවණීය නාමයක් පටබැඳගෙන මෙහි ජනපතිවරයා තමාගෙන් පසු තම 29 හැවිරිදි පුත්‍රයාට පාලන බලය ලබාදීමට සියලු උප්පරවැට්ටි යොදමින් සිටී. මෙහි මාධ්‍ය නිදහසක් නැහැ. රජයට එරෙහිවූවන් අතුරුදන් කිරීම සිදුකරන්නේ ජනපතිගේ නියෝගවලිනි. ජනපති කිසිදු මාධ්‍ය සාකච්ඡාවකට මුහුණ දෙන්නේ නැත.


මුළු ජනගහණයෙන් විදුලිය පහසුකම් ඇත්තේ සියයට 52කට පමණය. පානීය ජලය නොමැති ප්‍රදේශ රාශියකි. ගම්බද පළාත්වලට ගමනාගමන පහසුකම් නැත. විරැකියාව උග්‍ර වී තිබේ. සෑම ළදරු උපත් 1000කට ළදරුවන් 63 දෙනෙකු උපතේදීම මිය යන රටකි. ගම්බද ප්‍රදේශ 320කට පමණ සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් නැත. මෙහි සිට රුසියාවට හොරෙන් යන අයගේ සංඛ්‍යාව අධික වෙමින් පවතී.


චීන රජයට සම්බන්ධ ආයතන මෙහි මහා මාර්ග ඉදිකිරීමේ කටයුතු සිදු කරයි. මෙහිද චීන කොමිස් ලබාගන්නා දේශපාලකයින් බහුලය. චීනයෙන් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව පාලකයින් ජාත්‍යන්තර මූලය අරමුදල හා ලෝක බැංකුවේ සරණ අපේක්‍ෂා කරමින් සිටින අවධියකි මේ. මේ රට හරහා ගලන වාක්ශා ගඟ ආශ්‍රිතව කෘෂිකාර්මික ගොවි ජනපද පිහිටුවීමේ වැඩපිළිවෙළ ද ඇණහිට තිබෙන්නේ දේශපාලකයින්ගේ යටි මඩි ගැසීම් නිසාය.


රට පුරා ක්‍ෂය රෝගීන් අධිකය. ක්‍ෂය රෝගයෙන් මියයන අයගේ සංඛ්‍යාව අධිකය. ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට රජය අපොහොසත් වී තිබේ. වයස අවුරුදු 5ට අඩු ළමයින් විශාල වශයෙන් මිය යන්නේ කොළරාව නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැඩි වෑයමක් ගෙන ඇතත් විවිධ රෝගවලින් පුරවැසියන් දහස් ගණනින් මිය යද්දී ඥාතීන් හා තම වර්ගයාට සියලු සැප සම්පත් ලබාදෙන පාලකයින් සිටින රටක් මිලි මීටරයකින්වත් ඉදිරියට යන්නේ කෙ​සේද? චීන ණය කන්දට යටවුණු ටජිකිස්තානයේ ජනතාව නගන දුක් අඳෝනාව මුළු ආසියාව පුරාම දෝංකාර නංවමින් පවතී.


අන්තර්ජාල (Internet) පහසුකම් සහ ​ෆේස්බුක් ප්‍රමුඛ සමාජ වෙබ් ජාලා අත්හිටුවීම තුළින් මෙහි ජනතාවට ලෝකය හා සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වී තිබුණේය. මාධ්‍යයට තහංචි දැමීම තුළින් මෙහි ජනපති හා අගමැතිවරයා දියුණු රටවල දෝෂ දර්ශනයට ලක් විය. 2015 වර්ෂයේදී ටජිකිස්තානයේ විපක්‍ෂ නායකයා වූ උමාර්අලි ඝාතනය කිරීම ජනපති හා අගමැති ප්‍රමුඛ රජය විසින් සිදු කළ අමානුෂික ක්‍රියාවක් බව ජාත්‍යන්තර මාධ්‍යයන්හි මතයයි.

 

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි