පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භීෂණය


ජවිපෙ දෙවැනි  කැරැල්ලෙන්

6 වැනි කොටස

වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතෙක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි.   


ලංකාවේ ප‍්‍රථම රාජධානිය වූ අනුරාධපුර බිඳ වැටීමෙන් පසු දෙවැනි රාජධානිය වූයේ පොළොන්නරුවය. දකුණේ රෝහණ රාජ්‍යයේ සිට උතුරින් අනුරාධපුරය දක්වා දිවෙන මහා මාර්ගය පිහිටා තිබූ බැවින් අභ්‍යන්තර වියවුල් සහ ඉන්දීය ආක‍්‍රමණවලදී යුද කටයුතු හසුරුවා ගැනීම පිණිස මෙම පෙදෙස භාවිතා කර ඇත.   


අනුරාධපුර සහ රෝහණ රාජ්‍යයන්හි සීමා මායිම් වූයේ මහවැලි ගඟය. ක්‍රි.පූ. දෙවැනි සියවසේ රජකළ දුටුගැමුණු රජු විසින් එළාර රජු සමඟ තීරණාත්මක වශයෙන් සටන් කළ විජිතපුරය පිහිටා තිබුණේ ද පොළොන්නරුව ආශ්‍රිතවය. ක්‍රි.ව. 1153 සිට 1186 දක්වා පරාක‍්‍රමබාහු රාජ්‍ය සමය ඉතිහාසයේ විශිෂ්ටතම යුගයක් ලෙස සටහන් වේ. පසුව නිශ්ශංකමල්ල රජු විසින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන ලදී. ඉහත සඳහන් පාලන සමයන් තුළ ශ්‍රී විභූතියේ මුල් තැනට පැමිණෙන්නට පොළොන්නරුවට හැකි විය. කාලයාගේ ඇවෑමෙන් පසුව වල්බිහිවී ගිය පොළොන්නරුව බ්‍රිතාන්‍ය පාලන කාලයේදී පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට ලක්විය.   


ජවිපෙ 2 වැනි කැරැල්ලේ ද උතුරු මැද පළාතේ වඩාත් වැදගත්කමක් ගත් දිස්ත්‍රික්කය වූයේ පොළොන්නරුවය. එයට හේතුව රට තුළට ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසු 1987 බලහත්කාරයෙන් වාගේ පැමිණි ඉන්දීය හමුදාව ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර දිස්ත්‍රික්කවල ස්ථානගතව සිටීමය.   


ජවිපෙ නායක රෝහණ විජේවීරගේ මෙහෙයවීම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජවිපෙ 1966 හඳුන්වා දුන්නේ ලණු මෝදරගේ දිනෝරිස් හෙවත් එල්.එම්. දිනෝරිස් හෙවත් සිරිල් දහනායකය. මාතර කඹුරුගමුව කොටවිලදී 1935 නොවැම්බර් 08 උපන් දිනෝරිස්ගේ පියා ලණු මෝදරගේ සිංඥෝය. මව හේවාමයන්තිගේ පුංචිනා ය. දිනෝරිස්ට සොයුරු සොහොයුරියන් 5 දෙනෙකි. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුරකරුවකු ලෙස 1952 පෙබරවාරි 09 වැනිද‌ා සේවයට පැමිණි දිනෝරිස් එහි කම්කරු සමිතියේ උපසභාපතිවරයා මෙන්ම ප‍්‍රමුඛම බලධාරියාය. එහි එවකට සෙසු නිලධාරීන් වූයේ සභාපති ලෙස එල්.වයි. දනෝරිස්, ලේකම් ලෙස එච්.ජී. සමරසේන සහ භාණ්ඩාගාරික ලෙස ජේ.පී.පී. ධනපාල ය. එම සමිතියේ මව් සමිතිය වූයේ ලංකා සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියකි. පසුව එල්.එම්. දිනෝරිස් මගින් එම සමිතියේ බලය ජවිපෙට දිනාගැනීමට විජේවීරට හැකිවිය. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබිම් (යුනිට්) විශාල ගණන කම්කරුවන් සඳහා දේශපාලන වශයෙන් දැනුම්වත් කිරීම්වලට ඉඩම් කම්කරු සංවර්ධන සමිතිය මැදිහත් විය යුතු බවට සමිතියේ මධ්‍යම කාරක සභාවට යෝජනා කර සම්මත කරගැනීමට සහ සමිතියේ ලිපිකරු ලෙස පසු කලෙක සමරරත්න විතානආරච්චිගේ පියතිලක (71 අප්‍රේල් මහ නඩුවේ 1 විත්තිකරු) බඳවා ගැනීමට මුල් වූයේ ද දිනෝරිස්ය. කම්කරුවන් අතර ජවිපෙ කටයුතුවල විශාල වර්ධනයක් ඉන් ඇති වූ අතර එහි පුවත්පත වූ සංවර්ධන හඬ ජවිපෙ මතය ප‍්‍රචාරය කිරීමට ද යොදාගනු ලැබීය.   

 

පොළොන්නරුව යුදගනාවේ ජවිපෙ ක්‍රියාකාරිකයකුගේ දේහයට අවසන් ගෞරවය දක්වන පවුලේ අය.   

 

පොළොන්නරුව බකමූණ ප‍්‍රදේශයේ 1989 මැයි 06 ඝාතනය කර පුලුස්සා දැමූ කැරැලිකරුවන්ගේ සිරුරු කිහිපයක් දෙස ගම්වැසියන් බලා සිටින අයුරු.   

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා නගරයේදී 1989 මැයි 15 තරුණයින් 6ක් අමානුෂික වධ හිංසා පමුණුවා දෑත් පිටිපසට කොට බැඳ, මරා හිස වෙන්කර දමාගොස් තිබුණේ මෙසේය.   

 


පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා විජේවීර විසින් පත්කළ ප‍්‍රථම පූර්ණකාලීන ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරයා වූයේ සුසන්ත ලියනගේ හෙවත් සුසිල් ය. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සුසිල් ජවිපෙට 1967 අගෝස්තු මසදී උණගස්වල පදිංචි ගාමිණී ගුණවර්ධන හෙවත් ගාමිණී බාස් හරහා සම්බන්ධ වනවිට රැකියා විරහිත තරුණයෙකි. වසර 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසු සුසිල් බෝලවලාන ගුරු විදුහලේ පුහුණුව ලබා ඉංග්‍රීසි උපගුරුවරයකු විය. බිරිඳ ප්‍රේමා සේරසිංහ ය. කරන්දෙණියේ පදිංචිව සිටි ඔහු 2013 දී මිය ගියේය. කරන්දෙණියෙන් 1971 කැරැල්ලට එක්වූ පුත්තලම දිස්ත්‍රික් ලේකම් විල්සන් ආරියරත්න හෙවත් හේරත්, අම්පාර දිසාලේකම් නිශ්ශංක විජේවර්ධන හෙවත් ලාල් විමලසේන ඔහු සමඟ එකට පාසලේ සිටි මිතුරන්ය.   


ජවිපෙ 1983 පක්ෂ තහනමින් පසු විදුහල්පති එස්.එම්. පුංචිබණ්ඩා, බෙනී ඇතුළු කිහිපදෙනෙක්ම පක්ෂය හැර ගියේය. ලෙස්ලි ද 1985 පසුව පක්ෂය හැරගිය අතර දියසෙන්පුර ටිකිරි බණ්ඩාර, 71 කැරලිකරුවන් වූ දසනායක රාළලාගේ මද්දුම බණ්ඩාර, ඇලහැර ජයසේන ඇතුළු ක්‍රියාකාරිකයන් රැසක් ජවිපෙන් ඉවත්වූයේ නැත. සයදරු පියෙකු වූ මද්දුම බණ්ඩාර 2වැනි කැරැල්ලේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාපයක් භාරව කටයුතු කළ අතර පසුව කුරුණෑගලට අනුයුක්ත විය. ඔහු 1989 අගෝස්තු අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්විය. බිරිඳ සීලවතීය.   


දෙවැනි කැරලි සමය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන ලේකම්වරුන් වූයේ ගලෙන්බිඳුනුවැව ධර්මේ, වැලිමඩ කුමාරන් ෆොන්සේකා හෙවත් නිමල්, සිංහපුර කපිල යකන්ද‌ාවල, උපාලි සමන්කුමාර හෙවත් ධනසිරි ඇතුළු කිහිපදෙනෙකි. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වූයේ කැලණි සරසවියේ නොයෙල් විජේරත්න හෙවත් සරත්, කෝසල විජේසිංහ, මැදිරිගිරියේ ආර්.ආර්.එම්. වික‍්‍රමරත්න හෙවත් රාජපක්ෂ හෙවත් දෙහිගම, හිඟුරක්ගොඩ පී.ඒ. තිලකරත්න හෙවත් නිහාල් හෙවත් තිලක්, උණුගලවෙහෙර ලලිත් සහ බළපිටියේ කුරේ ඇතුළු කිහිපදෙනෙකි. ජවිපෙ සීමාමායිම අනුව උතුරුමැද කලාපයට පොළොන්නරුව, අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක අයත් වූ අතර එහි නායකත්වය පිළිවෙළින් දේශපාලන බලමණ්ඩල සභිකයින් වන එච්.බී. හේරත් සහ පසුව ලලිත් විජේරත්න විසින් දරන ලදී. සංවිධානමය වශයෙන් සහ ප‍්‍රහාරාත්මක වශයෙන් මෙහිදී ලලිත් විජේරත්න ඉදිරියෙන්ම විය.   


මින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලන දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිප දෙනෙක් ඝාතනය වූයේ මෙසේය. ගලෙන්බිඳුණුවැව ධර්මේ 1989 දී ගම්පහ දී ඝාතනයට ලක්විය. එමෙන්ම වැලිමඩ ෆොන්සේකා 1989 නොවැම්බර් 17 ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරී කර්නල් ජානක පෙරේරාගේ මෙහෙයවීමෙන් හමුද‌ා කණ්ඩායමක් විසින් කොළඹ දී අත්අඩංගුවට ගත් අතර මත්තේගොඩ හමුද‌ා කඳවුරේදී පසුව ඝාතනයට ලක්විය. එවකට මත්තේගොඩ හමුද‌ා කඳවුර භාරව සිටියේ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ ප‍්‍රධානී මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නගේ අධීක්ෂණය යටතේ ඔපස් කම්බයින් දෙවැනියා වූ කර්නල් ලක්ෂ්මන් අල්ගමය. වැලිමඩ උපන් ෆොන්සේකා අාවාහ වී සිටියේ රත්ගම ප‍්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකාවක් සමඟ වන අතර ඝාතනය වනවිට දෙදරු පියෙකි. උපාලි සමන් කුමාර හෙවත් ගිනි උපාලි හෙවත් ධනසිරි කැලණි සරසවියේ විද්‍යාපීඨ 83/84 කණ්ඩායමේ සාමාජිකයෙකි. රත්නපුරේ කහවත්තේ උපන් උපාලි තංගල්ල මහවෙල පදිංචිකරුවෙකි. පියා ගොවියෙකි. හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා උපාලි වූ අතර 1989 ඔක්තෝබර් 10 අනුරාධපුර කලාවැවේදී අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව අනුරාධපුර පණ්ඩුලගම හමුදා කඳවුරේ රඳවා ගැනීමෙන් අනතුරුව, 1989 නොවැම්බර් 15 වැනිදා තේක්ක කැලයක් අසල තිබූ පණ්ඩුල වධකාගාරයේදී ඝාතනයට ලක්විය. එවකට අනුරාධපුර හමුදා ආඥාපති වූයේ මේජර් ජනරාල් ආනන්ද වීරසේකරය. පණ්ඩුලගම හමුදා කඳවුර භාරව සිටියේ මාණ්ඩලික සැරයන් නුගවෙල ය.   


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් අතරින් කිහිපදෙනෙක් ඝාතනයට ලක්වූයේ මෙසේය. සන්නද්ධ ලේකම්ව සිටි කුරේ හමුදාවෙන් පළාවිත් පක්ෂයට එක්වූ පූර්ණකාලිනයෙකි. බලපිටියේ උපන් කුරේට දෙමළ භාෂාව කථා කිරීමට හැකි අතර ඔහු ඇඳ සිටි ඇඳුමින් දිස්වූයේ මුස්ලිම් ජාතිකයකුගේ පෙනුමය. පසුව කුරුණෑගල දිස්ත්‍රික්කය හා දකුණේ පළාත් කිහිපයක ද සන්නද්ධ කලාප ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ කුරේ අවසාන කාලයේදී මාතර දිස්ත්‍රික්කයේදී අත්අඩංගුවට පත්ව එළියකන්ද යුද හමුදා කඳවුරේදී ගෝනියකට දමා පහරදී ඝාතනය කරන ලදී.   

 

මෙහි වමේ සිට දකුණට, පොළොන්නරුව දිස්ත්‍රික්කයට 1966 දී ජවිපෙ හඳුන්වා දුන් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරු සමිතියේ ප‍්‍රමුඛ බලධාරියා වූ එල්.එම්. දිනෝරිස් හෙවත් සිරිල් දහනායක, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වශයෙන් සිටි මැදිරිගිරියේ ආර්.ආර්.එම්. වික‍්‍රමරත්න හෙවත් රාජපක්ෂ හෙවත් දෙහිගම, හිඟුරක්ගොඩ පී.ඒ. තිලකරත්න හෙවත් නිහාල් හෙවත් තිලක්, හමුදා සෙබළෙකු වූ බලපිටියේ කුරේ සහ 1983 පක්ෂ තහනමට පෙර පොළොන්නරුවේ මුස්ලිම් ජනයා අතර ජවිපෙ ප‍්‍රචලිත කිරීමට මුල් වූ මැදිරිගිරියේ එස්.එම්. ආදම් ලෙබ්බේ වේ.   

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් බිහිවූයේ මැදිරිගිරියේ මීගස්වැව ග‍්‍රාමයෙනි. මෙහි වමේ සිට දැක්වෙන්නේ මීගස්වැව ජනපදයේ ජවිපෙ ප‍්‍රචලිත කළ 1971 කැරැලිකරුවකු වූ මීගස්වැව විද‌ානලෑ ගෙදර හීන්බණ්ඩා හෙවත් ජයසේන, 1977න් පසු මීගස්වැව ප‍්‍රදේශයේ ජවිපෙ විධිමත්ව සංවිධානය කළ මීගස්වැව විදුහලේ හිටපු විදුහල්පති උපාධිධාරී ගුරු එස්.එම්. පුංචිබණ්ඩා, මීගස්වැව උපන් පසුව අනුරාධපුර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්ව සිටි ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. හේරත් බණ්ඩාර හෙවත් ජගත් හෙවත් කීර්ති, කැකිරාව පොලිසියට 1989 සැප්තැම්බර් 2 ප‍්‍රහාරයක් එල්ලකර සියලු අවි පැහැරගත් කණ්ඩායමේ නායකයා වූ මීගස්වැව එම්.ආර්. සිරිවර්ධන හෙවත් පොඩ්ඩේ පුතා, ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝබර් 04 ප‍්‍රහාරයක් එල්ල කළ අවි පැහැර ගැනීමේදී එහිදී මියගිය කැරැලිකරුවන් තිදෙනාගෙන් එක් අයකු වූ මීගස්වැව කුඹුකුණාවල වර්ණපුර හෙවත් තඩි මහින්ද වේ. 

 


සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරයකු වූ හිඟුරක්ගොඩ කිඹුලාවල උපන් පී.ඒ. තිලකරත්න හෙවත් නිහාල් 1987 දෙසැම්බර් 1 සිට 1988 අප්‍රේල් 4 ඝාතනය වන තෙක් එම තනතුර දැරීය. මින්නේරිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම පාසල් මළල ක්‍රීඩකයකු වශයෙන් සම්මාන ලැබූ ඔහු හිඟුරක්ගොඩ පොලිසිය මගින් ඝාතනය කිරීමෙන් පසු ජවිපෙ මගින් පොළොන්නරු දිස්ත්‍රික් සන්නද්ධ බළකාය නිහාල් තිලකරත්න නමින් නම් කරන ලදී.   


එම දිස්ත්‍රික්කයේ හිටපු සන්නද්ධ ලේකම්වරුන් අතරින් ඉදිරියෙන්ම සිටියේ වසර 1987 මුල සිට නොවැම්බර් 27 දක්වා සන්නද්ධ ලේකම් වූ මැදිරිගිරියේ විජයපුර රත්නායක රාජපක්ෂ මුදියන්සේලාගේ වික‍්‍රමරත්න හෙවත් රාජපක්ෂ හෙවත් දෙහිගමය. වසර 1958 ජූලි 22 මැදිරිගිරියේ උපන් වික‍්‍රමරත්නගේ පියා අධිකාරි මුදියන්සේලාගේ හේරත් ය. මව රාජපක්ෂ ආරච්චිගේ සොපිනෝනා ය. එම දෙපලට දරුවන් 5 දෙනකු වන අතර වික‍්‍රමරත්න තෙවැනියාය. ඔහු 1978 ජූලි 15 අාවාහ වූයේ දිවුලන්කඩවල ගවසිංහ ආරච්චිගේ අමරා ඉන්ද්‍රානි සමඟය. එම දෙපලට දරුවන් තිදෙනෙකි. බිරිඳ අමරා 1978 දී ජවිපෙට සම්බන්ධ වූ අතර ඇයගේ වැඩිමහල් සොහොයුරන් 1971 අප්‍රේල් කැරලිකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. වික‍්‍රමරත්න ජවිපෙට 1979 දී සම්බන්ධ වූයේ යාය අටේ ජයසේන හරහාය.   


වසර 1980න් පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජවිපෙ මැතිවරණ වේදිකාවල ජනප්‍රිය කථිකයකු වූ වික‍්‍රමරත්න ජවිපෙ 2වැනි කැරැල්ලේ ආරම්භයේදී පොළොන්නරුව කලාප ලේකම්වරයෙක් වශයෙන් සිට 1987 ජනවාරි මස සිට පොළොන්නරුව දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් බවට පත්විය. මින්නේරියේදී 1987 නොවැම්බර් 27 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් වික‍්‍රමරත්න පොළොන්නරුව වයි.එම්.බී.ඒ. රැඳවුම් කඳවුරේ රඳවාගෙන පසුව අධිකරණ නියෝගයක් අනුව කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරට යොමුකරන ලදී. පැලවත්ත රැඳවුම් කඳවුරේදී 1988 ඔක්තෝබර් 29 ද‌ා උමඟක් හාරා පළාගිය ජවිපෙ සැකකරුවන් 131 අතර වික‍්‍රමරත්න ද විය.   
පසුව දෙහිගම නමින් මහනුවර දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා වශයෙන් 1989 ජනවාරි මස සිට කටයුතු කළ ඔහු 1989 ඔක්තෝබර් 08 වැනිදා යතුරුපැදියක යමින් සිටියදී කටුගස්තොටදී මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව දෙඅත් පිටුපසට ගැටගසා මරා දමන ලද ඔහුගේ මළ සිරුර මහනුවර කටුගස්තොට පාලම අසල 1989 ඔක්තෝබර් 09 වැනිදා කණුවක ගැටගසා තිබිණි.   
ඔහුගේ මහ අඹගස්වැව ජයගම්පුර නිවස ද 1989 සැප්තැම්බර් 4 ගිනි තබා විනාශ කර තිබිණි. වික‍්‍රමරත්නගේ සොහොයුරා වූ නිමල් ද 1989 ඔක්තෝබර් 08 වැනිදා මීගස්වැව හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයට ලක්විය. වික‍්‍රමරත්නගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකු පසුව උපාධිධාරිනියක වූවාය.   


වසර 1986 අවසාන වනවිට ද රටපුරා ජවිපෙ සතු වූ පූර්ණකාලිකයන් සංඛ්‍යාව 600කට ආසන්න විය. එය අතිවිශාල ප‍්‍රමාණයකින් ඉහළ ගියේ 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟය. රට පුරා ජවිපෙ ඉදිරියෙන්ම සිටි ක්‍රියාකාරි දිස්ත්‍රික්ක කිහිපය අතර පොළොන්නරුව ද විය. ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට වැඩිම ඉදිරිපෙළ කාඩර්වරුන් පිරිසක් බිහිවූයේ කුරුණෑගල, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක තුළිනි.   


පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජවිපෙ වඩාත් ඉදිරියෙන්ම සිටි ක්‍රියාකාරිකයන් බිහිවූයේ මැදිරිගිරිය මීගස්වැව ජනපදයෙනි. මීගස්වැව වර්තමානයේ ජීවත්වන අයගේ මුල් ජානපදිකයන් බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ මීගස්වැවට පැමිණ ඇත්තේ දකුණු පළාතෙනි. පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණ ද මීගස්වැව ඇතුළු ගම්මාන කිහිපයක ජනයා වැව් ආශ‍්‍රිතව ජීවත් වූහ. ජවිපෙ 2වැනි කැරලි සමය වන 1989 දී එහි සිටි පවුල් සංඛ්‍යාව 150ක් පමණ වන අතර 2017 වනවිට එම පවුල් සංඛ්‍යාව 750කට ආසන්නය. මීගස්වැව ග‍්‍රාමයේ බොහෝ දෙනාම වාගේ එකම පවුල් 7කට අයත් ඥාතීන්ය. ඔවුන්ගේ වාසගම් වනුයේ දිනපාල, හේරත් මුදියන්සේ, කපුරාලලාගේ ටිකිරි බණ්ඩාර, බස්නායක වැනි නාමයන්ය.   


මීගස්වැව ජනපදයේ ජවිපෙ ව්‍යාප්ත වීමට හේතූන් ගණනාවකි. ඒ අතර මැදිරිගිරිය නගරයෙන් බොහෝ ඈතවීම, මහවැලි ජලය නොලැබීම, අස්වැන්න කුණු කොල්ලයට විකිණීමට සිදුවීම, පාසල් සංවර්ධනයක් සිදු නොවීම, ප‍්‍රවාහන සහ සෞඛ්‍ය පහසුකම් නොතිබීම ආදී සමාජ, ආර්ථික හේතු ගණනාවක් වේ. මීගස්වැවට ග‍්‍රාමසේවා වසම් 2කි. එක් වසමක මීගස්වැව, බේබියාවැව, නවහිරුගම, කුඹුකුණාවල ඇතුළු ගම්මාන කිහිපයක් අයත් වේ. අනෙක් වසමට වඩිගවැව, නිකහේන, පතොක්වැව, කදුරුගස්වැව ඇතුළු ගම්මාන කිහිපයකින් යුත්තය. වඩිගවැව සිට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට ඇති දුර කිලෝමීටර් 18කට ආසන්නය. මීගස්වැවෙන් බිහිවූ ඉදිරිපෙළ ජවිපෙ කැරැලිකරුවන් අතර කුඹුකුණාවල උපාලි, කුඹුකුණාවල වර්ණපුර, මීගස්වැව පියදාස, පියසේන, විජයපුර රාජපක්ෂ, මැදිරිගිරිය යාය 8 හේරත් බණ්ඩා, පොඩ්ඩේ පුතා, රත්නේ කුසුම්, ටී.බී. පුංචිරාළ ඇතුළු කිහිපදෙනෙකි. කුඹුකුණාවල උපාලි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කලාප නායකයකු වශයෙන් වැඩකළ අතර වර්තමානයේ මැදිරිගිරිය යාය 8 ගොවිතැනේ නිරතය.   


මීගස්වැව ජනපදයට ජවිපෙ මුල්වරට හඳුන්වා දුන්නේ මීගස්වැව විදුහලේ සේවය කළ ගුරුවරයකු වන මැදවච්චියේ පදිංචි සෙබස්තියන් විසින් 1970 දීය. ඒ වනවිට මීගස්වැව සිටි පවුල් සංඛ්‍යාව 35කි. ජවිපෙ 1971 කැරැල්ල ආශ්‍රිතව මීගස්වැව ප‍්‍රචලිත කළේ 1946 ඔක්තෝබර් 13 වැනිදා කොහොවල උපන් මහතලාකොළවැව පදිංචි විදානලෑ ගෙදර හීන්බණ්ඩා හෙවත් ජයසිංහ ය. අනතුරුව 1977න් පසු එය විධිමත්ව සංවිධානය කළේ 1944 මාර්තු 12 උඩුමුල්ලේ උපන් දියසෙන්පුර පදිංචි කැලණි සරසවියේ උපාධිධාරියෙකු වූ මීගස්වැව විදුහලේ විදුහල්පතිව සිටි සමරකෝන් මුදියන්සේලාගේ පුංචිබණ්ඩා ය. දඬුවම් මාරුවක් වශයෙන් ඔහු හම්බන්තොටට මැදිරිගිරිය එජාප මන්ත්‍රී ඒකනායක විසින් මාරුකළ පසු ගුරු වෘත්තිය අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්වූ පුංචි බණ්ඩා 1978 සිට 1982 දක්වා මැදිරිගිරිය ආසන සංවිධායක විය.   


දෙදරු පියෙකු වූ මීගස්වැව බී.එම්.එම්. දයාරත්න හෙවත් රත්නේ කුසුම් කුරුණෑගල කලාපයක ජවිපෙ දේශපාලන අංශයේ නායකයකු වශයෙන් සිටියදී 1989 සැප්තැම්බර් මස පන්නල දී ඝාතනයට ලක්විය. ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝබර් 4 ප‍්‍රහාරයක් එල්ල කර සියලු අවි පැහැරගත් කැරලිකරුවන්ගේ කණ්ඩායමට අයත් වූ මීගස්වැව පියදාස සහ කුඹුකුණාවල වර්ණපුර හෙවත් තඩි මහින්ද එහිදී ආරක්ෂක හමුදා වෙඩි පහරකට ලක්ව මිය ගියේය. කල්ලාර් හමුදා කඳවුරට කඩා වැදීමේදී එහි නායකත්වය ගත් හිටපු හමුදා සෙබළෙකු වූ වනවාසල ලොකු මහින්ද ද එම ස්ථානයේදීම මියගිය අය අතර විය. එම ප‍්‍රහාරයට එක්වූ ජවිපෙ කැරලිකරුවන් පිරිස කල්ලාර් හමුදා කඳවුරට කඩාවැදුනේ බෙරවිල කැ​ෙලන් කිලෝමීටර් 15ක කැ​ලේ මැදින් පා ගමනකිනි. එම ප‍්‍රහාරක පිරිසේ කණ්ඩායම් 4කට අයත් 32න් බහුතරයක් මීගස්වැව ජානපදිකයින් වේ.   
කල්ලාර් යුද හමුදා කඳවුරෙන් අවි පැහැරගත් ප‍්‍රහාරයේදී මරුමුවට පත්වූ වර්ණපුරගේ සැබෑ නම බස්නායක හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩාය. කුඹුකුණාවලදී 1966 ජූනි 05 උපන් වර්ණපුරට සොයුරු සොහොයුරියන් 12කි. පියා බී.එච්.එම්. බද්දේරාලය. මව බෙනට් අප්පුගේ හින්නි මැණිකේය. මීගස්වැව කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වර්ණපුර ජවිපෙට එක්වූයේ 1982 අධ්‍යාපන ධවල පත‍්‍රිකා විරෝධතාව හරහාය. කැරැල්ලේදී කුරුණෑගල පන්නල දී මියගිය දයාරත්න ඔහුගේ වැඩිමහල් සොහොයුරාය. කල්ලාර් හමුදා කඳවුරෙන් අවි පැහැර ගැනීමේදීම මරුමුවට පත්වූ මීගස්වැව පියදාස 1953 මාර්තු 31 උපන්නේ කුඹුකුණාවලදී ය. ඔහුගේ මව කපුරාලගේ ඩිංගිරිඅම්මාය. කුඹුකුණාවැව පදිංචි මොහොට්ටි රාලලාගේ සිරිවර්ධන හෙවත් පොඩ්ඩේ පුතා මීගස්වැව කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් අතර ජවිපෙට එක්වූයේ 1982 ජනාධිපතිවරණ සමයේදීය. මව වූ රන්හාමිගේ තිලෝහාමිගේ ප‍්‍රථම විවාහයේ එකම දරුවා වූ 1964 ජුලි 10 කුඹුකුණාවලදී උපන් සිරිවර්ධනට සොයුරු සොහොයුරියන් 5කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාපයක සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ ඔහු කැකිරාව පොලිසියට 1989 සැප්තැම්බර් 2 ප‍්‍රහාරයක් එල්ලකර සියලු අවි පැහැරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ද විය. පසුව 1989 අවසාන භාගයේදී අත්අඩංගුවට පත්ව කැකිරාව පොලිසියේදී තිරස්චින වධබන්ධනවලට ලක්ව මිය ගියේය.   


පොළොන්නරුව කඩවත්මඩුව යුද හමුදා කඳවුරට 1989 මාර්තු 21 ආයුධ පැහැරගැනීම සඳහා කැරැලිකරුවන් ප‍්‍රහාරයක් එල්ල කළ අතර එය අසාර්ථක විය. එහිදී හමුදාවේ ප‍්‍රතිප‍්‍රහාරවලින් කැරැලිකරුවන් 8 දෙනකු මරණයට පත්විය. එමෙන්ම කැරැලිකරුවන්ගේ බිම් බෝම්බවලට හසුව ආරක්ෂක අංශවල නිලධාරීන් සහ භටයින් ගණනාවක් ද මරුමුවට පත්විය. මැදිරිගිරිය මීගොල්ලෑව මාර්ගය, මැදිරිගිරිය මීගස්වැව මාර්ගයේ ද බකමූණ ජයන්තිපුර මාර්ගය ඇතුළු ස්ථාන කිහිපයකදී මෙම බිම් බෝම්බ පිපිරීම් සිදුවිය. තුවක්කු, පිස්තෝල ඇතුළු අවි ආයුධ නිෂ්පාදනය කරන ගිනිඅවි කම්හලක් 1989 අප්‍රේල් 04 මිරිස්හේනේදී වටලා ආයුධ විශාල සංඛ්‍යාවක් සහ කැරැලිකරුවන් 6 දෙනකු ද මැදිරිගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.   

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජවිපෙ පූර්ණකාලීන ප‍්‍රථම දිස්ත්‍රික් ලේකම් ලෙස 1967දී පත්වූ කරන්දෙණියේ සුසන්ත ලියනගේ හෙවත් සුසිල්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන අංශයේ කලාප නායකයකුව සිටියදී 1989 ඔක්තෝබර් පන්නල දී ඝාතනයට පත්වූ මීගස්වැව උපන් බී.එච්.එම්. දයාරත්න හෙවත් රත්නේ කුසුම්, පොළොන්නරුවේ ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකුව සිටියදී 1990 නොවැම්බර් 17 ඝාතනයට පත්වූ යුදගනාවේ පී. ඩග්ලස් කුලරත්න, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ සංහාරය පිළිබඳව නොබියව පෑන හැසිර වූ මාධ්‍යවේදී පොළොන්නරුව කරුණාරත්න ගමගේ, කැරැලිකරුවන්ට එරෙහිව අවි අමෝරාගත් ත්‍රිකුණාමල දිසා ඇමැති සහ පොළොන්නරුව දිස්ත්‍රික් එජාප මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් මෙහි වමේ සිටය.   

 

උතුරුමැද පළාතේ ශිෂ්‍ය අංශයේ කලක් නායකයකුව සිටි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ එම්.බී. උපුල් කිත්සිරි නානායක්කාර හෙවත් ලෙනෝරා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ශිෂ්‍ය සංවිධානයේ සම්බන්ධීකාරකවරයාව සිටි පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ 86/87 කණ්ඩායමේ සේනක හෙට්ටිආරච්චි, පොළොන්නරුව දිස්ත්‍රික් දේශපාලන අංශයේ නායකයකුව සිටි කැලණි සරසවියේ උපාලි සමන් කුමාර හෙවත් ගිනි උපාලි හෙවත් ධනසිරි, පොළොන්නරුව එගොඩපත්තුවේ කලාප නායකයකු වූ කූරගමගේ දොන් ලාල්කාන්ත හෙවත් ක්‍රිෂාන්ත, කැරැලිකරුවකු වශයෙන් සිටියදී අත්අඩංගුවට පත්වී පසුව නිදහස් වූ එස්.කේ. සුබසිංහ හෙවත් සුදත්.  

 


දිස්ත්‍රික්කය තුළ එජාප, ශ්‍රීලනිප ඇතුළු ජවිපෙ නොවන සියලු පක්ෂවල ප‍්‍රබල ආධාරකරුවන් ගණනාවක් කැරැලිකරුවන් විසින් මරාදමා තිබිණි. පුත්තලම දිසා ඇමැති එච්.බී. වන්නිනායකගේ සොහොයුරකු වන පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් වන්නිනායක ඇතුළු ඔහුගේ අාරක්ෂක නිලධාරීන් තිදෙනකු ද 1988 නොවැම්බර් 12 තල්ගස්වැවදී ඝාතනයට ලක්විය. එමෙන්ම ත්‍රිකුණාමල දිසා ඇමැති සහ පොළොන්නරුව මන්ත්‍රී එච්.ජී.පී. නෙල්සන් ඝාතනය කිරීමට කැරැලිකරුවන් 1987 ඔක්තෝබර් 12 දැරූ උත්සාහය ව්‍යාර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත්විය. පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ මගින් ද තරුණයින් සිය ගණනක් අත්අඩංගුවට ගෙන හෝ පැහැරගෙන ගොස් තිරස්චින ලෙස ඝාතනය කර මහමඟ දමා තිබිණි.   


පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා නගරයේ ඓතිහාසික නයිපෙණ විහාරයට නුදුරින් 1989 මැයි 15 තරුණයින් 6 දෙනකු වධ හිංසා පමුණුවා දෑත් පිටිපසට කර දමා මරා තිබූ අතර එයට එරෙහිව එදිනම පොළොන්නරුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර සියලු කඩවල් වසා විරෝධතා පැවැත්වූහ. එමෙන්ම 7,000කට ආසන්න බැඳිවැව මහා විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක සිසුන් සහ ජනයා උදෑසන සිට විරෝධතා පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැත්වූහ. ඝාතනයට ලක්වූ 6 දෙනා අතර සිටි බැඳිවැව විදුහලේ ගුරුවරයකු වන උපුල් බණ්ඩාර දිසානායක ද ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකි. පොළොන්නරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බොහෝ තරුණයින් පොළොන්නරුව සේවාගම හමුදා කඳවුර, පණ්ඩුලගම යුද හමුදා කඳවුර, පොළොන්නරුව මහසෙන් මන්දිරය යුද හමුදා කඳවුර, මැදිරිගිරිය පල්ලියගොඩැල්ල යුද හමුදා කඳවුර, මැදිරිගිරිය මීගස්වැව යුද හමුදා කඳවුර, මැදිරිගිරිය මහා විද්‍යාලය, මැදිරිගිරිය දිසා රෝහල ඉදිරිපිට යුද හමුදා කඳවුරුවල රඳවා සිටියදී තිරස්චින වධබන්ධනවලට ලක්විය.   


මින්නේරිය යුද හමුදා කඳවුර යටතේ මින්නේරිය වසාදැමූ පේෂකර්ම ආයතනයේ විශේෂ රැඳවුම් ඒකකයක් ක්‍රියාත්මක වූ අතර එහි ජවිපෙට සම්බන්ධයැයි සැකපිට රටේ විවිධ ස්ථානවලින් ගෙනවිත් රඳවා සිටි හමුදා භටයින් සංඛ්‍යාව 121කි. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දරුණුතම වධකාගාරය වූයේ මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව තිබූ ඒකනායක වධකාගාරය හෙවත් ඒකනායක වළය. ඒ පිළිබඳව චෝදනාව එල්ල වූයේ එය භාරව සිටි කපිතාන් ඩයස් ය. පල්ලියගොඩැල්ල, මැදිරිගිරිය, වඩිගවැව, ගොඩපොත්ත, අඹගස්වැව කඳවුරුවලින් රැගෙන එන ලද සැකකරුවන් අවසානයේ සිය ගණනක් මරා විනාශ කරන ලද්දේ මෙම ඒකනායක වළේදීය.   


ශිෂ්‍ය අංශය තුළ ක්‍රියාකාරීන් ගණනාවක් සිටි අතර පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසු රේවත, එච්.එම්. උපුල් සේනානායක හෙවත් සම්පත් ද ඒ අතර විය. ජවිපෙ කාන්තා අංශයේ එක් ක්‍රියාකාරිකයකු වූයේ පේරාදෙණිය ශාස්ත‍්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසු නන්ද‌ා අලුත්ගේ ය. වර්තමානයේ ඇය අ.පො.ස. උසස් පෙළ උපාධිධාරී සිංහල ගුරුවරියකි.   


ජවිපෙ පොළොන්නරුව ක්‍රියාකාරිකයන් අතර සිටි කුරුගමගේ දොන් ලාල්කාන්ත හෙවත් ක්‍රිෂාන්ත, ඇතුළු ජවිපෙ සැකකරුවන් 23 දෙනකු 1988 නොවැම්බර් 09 අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදවාගැනීමට ජවිපෙ සමත් වූ අතර බන්ධනාගාර නිලධාරීන් සතු තුවක්කු 17ක්, රිවෝල්වර 03ක්, පතොරොම් තුවක්කු 11ක් සහ පතොරොම් 310ක පමණ ප‍්‍රමාණයක් එහිදී පැහැරගෙන යනු ලැබීය. පසුව ලාල්කාන්ත ජවිපෙ පොළොන්නරුව එගොඩපත්තුවට අයත් අරලගංවිල සහ වැලිකන්ද යන කොට්ඨාසයන්හි ලේකම් විය.   


එමෙන්ම පොළොන්නරුවේදී 1987 ජුලි 20 පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණසේකර සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමට වෙඩි තබන ලදැයි පොළොන්නරුවේ සුබසිංහ කංකානම්ලාගේ සුබසිංහ නොහොත් සුදත් ඇතුළු තිදෙනකුට එරෙහි කොළඹ මහාධිකරණය ඉදිරියේ පනවා තිබූ නඩුවේදී පළමුවෙනි විත්තිකරු වූ එස්.කේ. සුබසිංහ 1991 මැයි 17 විනිසුරු ශිරාණි තිලකවර්ධන විසින් නිදහස් කරන ලදී. එයට හේතුව වූයේ සැකකරුගේ පාපොච්චාරණය සටහන් කරගත් සහකාර පොලිස් අධිකාරි පී. දොන් පීටර් මියගොස් තිබීම නිසා සාක්කි මෙහෙයවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතු කොටගෙනය.   


දෙවැනි කැරැල්ලේ පරාජයෙන් පසු ජවිපෙ යළි ගොඩනැගීමේදී 1994න් පසු උතුරුමැද කලාපයේ ලේකම් වූයේ නන්දන ගුණතිලක හෙවත් සුමේධ ය. එමෙන්ම ජවිපෙ දිස්ත්‍රික් ලේකම්වරුන් වශයෙන් එස්.කේ. සුබසිංහ හෙවත් සුදත්, ඉන්ද්‍රානන්ද සිල්වා, ටී.බී. සරත් ඇතුළු කිහිපදෙනෙක්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ 1994න් පසුව කටයුතු කරන ලදී.   


(ජවිපෙ 2 වැනි කැරැලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර, දුරකථන 011-5234384 ලබාගත හැකිය.)   


මතු සම්බන්ධයි