පොලු පහර දී පියාගේ හිස පැලූ පුතාගේ ඉරණම


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.​  

පොලු පහර දී පියාගේ හිස පැලූ පුතාගේ ඉරණම   


දසක හයකට පෙර ඌව පළාතේ පිටිසර ගමක පවුල් විසි එකක් ජීවත් වූහ. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ හේන් ගොවිතැනය. ඊට අමතරව වතුවල තිබෙන දෙහි, දොඩම්, පොල්. පුවක්, බුලත්, ගම්මිරිස් ආදිය නගරයට ගෙන ගොස් විකිණීමෙනි. වයස්ගත සිමියොන්ද ගමේ මුල් පදිංචිකාරයෙකි. ඔහුට පුත්තු දෙදෙනෙක් සිටියහ. වැඩිමහල් පුතා වූ ජයසේන පිට ගමක තරුණියක් ආවාහ කරගෙන එහි පදිංචියට ගියේය. දෙවැනි පුතා වූ සිරිපාල ගමේම තරුණියක ආවාහ කරගෙන පියා ගේ ඉඩමේ කොටසක ගෙයක් සාද‌ාගෙන විසීය. ඔවුන්ට අවුරුදු පහක දියණියක්ද සිටියාය.   


හේන් ගොවිතැන නොරිස්සූ සිරිපාල පවුල නඩත්තු කිරීමට නගරයේ බාබර් කෙනෙකු ලෙස වැඩ කළේය. නගරයට යන ගුරුපාරේ බයිසිකලයෙන්ම යාම අපහසු නිසා අපහසුතැන්වල බයිසිකලය තල්ලුකර ගෙන යමින් ඔහු රැකියාව කරගෙන ගියේය.   
සිරිපාල සමහර දිනවල රෑ ගෙදර එන්නේ මත්පැන් පානයකොටය. එවැනි දිනවල ඔහු බිරිඳ සමග අඬදබර ඇතිකර ගත්තේය. එක් දිනක් ඔහු බහින් බස් වී ඇයට පහර දීමට දොර පොල්ල අතට ගත්තේය.  


බියට පත් බිරිඳ කළුවරේම එළියට පැන දිවගියාය. ඇය පසුපස පන්නා ගිය සිරිපාල මිදුලේ ඇදවැටුණේය. ඒ දැක බියපත් වූ දියණිය කෑගසා අඬමින් සිමියොන්ගේ නිවසට දිවගියාය.   
‘අනේ කිරි අප්පේ අපේ අප්පච්චි බීලා ඇවිත් අම්මට ගහන්න එළවාගෙන ගියා. අම්මා කොහාට දෝ දිව්වා. අපේ අප්පච්චී මිදුලේ වැටිලා ඉන්නවා. අනේ මගේ අම්මා හොයලා දෙන්නකෝ’ කියමින් ඇය ඉකිගසමින් වැලපුණාය.   


වයෝවෘද්ධ සිමියොන්ද “හා හා මං අම්මා හොයාගෙන එන්නම්. අඬන්නේ නැතුව කිරි අම්මා එක්ක ඉන්න” කියමින් හැරමිටි ගසමින් සිරිපාල ගේ නිවසට කළුවරේම ගියේය. සිරි පාල මිදුලේ වැතිර කෙඳිරිගාමින් සිටියේය. ඔහු ළඟට ගිය සිමියොන් “සිරිපාල උඹ මේ එක එක දහ ජරාව බීගෙන ඇවිත් මිදුලේ දපලා ඉන්නේ මොන යකා වැහිලද?” කියමින් සිරිපාලට බැණ වැදුණේය.   


අවසිහියෙන් වැටී සිටි සිරිපාල ඒ හඬ ඇසී අමාරුවෙන් නැගිට බිම වැටී තිබුණ දොරපොල්ල ගෙන තම පියාගේ හිසට වැරෙන් පහරක් ගැසුවේය. පොලු පහර වැදීමෙන් කම්පනයට පත් සිමියොන් ‘‘අම්මෝ’’ කියා කෑගසාගෙන බිම ඇදවැටුණේය.   


සිරිපාලගෙන් බේරීමට ගෙයින් පැන ගොස් වත්තේ පොල් ගසකට මුවා වී සැඟවී සිටි සිරිපාල ගේ බිරිද සිරියාවතීට සිමියොන් කෑගැසූ හඬ ඇසී පැමිණ බලන විට හිස පැළී ලේ ගලමින් සිමියොන් වැටී සිටිනු දුටුවාය. සිරිපාල එහි නොසිටියේය. බියට පත් සිරියාවතී අහල පහල නිවෙස්වලට ඇසෙන සේ කෑගැසුවාය. ඒ හඬ ඇසී දුව ආ අසල්වාසීහු සිමියොන් නගරයේ රෝහලට ගෙන ගියහ.   


සුළු මොහොතක් ගතවන විට පොලීසියේ නිලධාරියෙකු රෝහලට පැමිණ සිමියොන්ගේ හිස පැළුනේ කෙසේදැයි විමසු​වේය. පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් මෙම අනතුර සිදු වූ බව කියා ඔහු එම පොලිස් නිලධාරියාට ප්‍රකාශයක් ලබාදුන්නේ පුතුට නීතියෙන් දඬුවමක් ලැබේ යයි සිතුණු නිසාය.   


සිමියොන් රෝහල් ගතකළ පසු සිරියාවතී දියණියත් සමග සිමියොන්ගේ නිවසේ නතර වූවාය. සිරිපාල ගැන සොයා බැලීමට කවුරුත් සිටියේ නැත. පසු දින උදේ කිහිප දෙනෙක් සිරිපාලගේ නිවසට ගොස් සොයා බැලූහ. සිරිපාල පියාට පොල්ලෙන් ගසා ගෙට යාමට ගොස් ඉස්තෝප්පුවේ ඇද වැටී වමනය දමා ඒ මතම රැය ගතකොට අඩක් වෙරි සිඳී අවසිහියෙන් යුතුව සිටියේය. ගිය කවුරුත් ඔහු සමග කතා නොකර ආපසු පැමිණියෝය.   


සිරියාවතී තවත් කිහිප දෙනෙකු සමග සිමියොන් බැලීමට රෝහලට ගියාය. ඇය එහි දී සිදු වූ සියල්ල සිමියොන්ට කීවාය. පසුදින සිමියොන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණියේය. ඔහු පැමිණි බව ආරංචිවීමෙන් ගමේ බොහෝ දෙනෙකු නිවසට ඒමට පටන් ගත්තේ සිමියොන් ගමේ වැදගත් ලෙස ජීවත් වන අයෙකු නිසාය. ඒ සමහරු සිරිපාල කෙරේ කෝපයෙන්ද කතා කළහ. ඒ අැසුණ සිමියොන් කීවේ ඔහු ගෙදරට එක්ක එන ලෙසය.   


කිහිප දෙනෙක් සිරිපාලගේ නිවසට ගියහ. ඔහු කෑමක් බීමක් පවා නොමැතිව බුරු ඇ​ඳෙහි වැතිර කල්පනා කරමින් සිටියේය. 

 
සිරිපාල මොකද වුණේ? ඇයි අප්පච්චිට ගැහුවේ කියමින් ඔවුහු සිරිපාලට කතා කළහ. සිරිපාල පොඩි දරුවෙකු මෙන් අඬමින් නැගිට්ටේය ‘‘දැන් අඬල වැඩක් නෑ. යං අප්පච්චි බලන්න ගෙදරට’’ කියා ඔහු එක්ක ආහ. ගෙට ගොඩ වූ සිරිපාල පියාගේ දෙපාමුල වැතිර වැඳ වැටෙමින් අඬා වැටුණේය.   


කවුරුත් සිරිපාල අස්වසාලමින් එද‌ා සිදුවූ​යේ කුමක්දැයි විමසූහ.   


‘මං වැඩ ඉවරවෙලා එන ගමන් ටවුමේ යාළුවෝ කට්ටියක් එක්ක ගිහින් හොඳටම අරක්කු බිව්වා. මට එන්න පරක්කු වෙන නිසා යාළුවන්ට කියලා මම එන්න හදන කොට එහෙනම් මේ ටිකත් බීලා යන්න කියා මට තව අරක්කු ටිකක් දුන්නා. මම ඒකත් බීලා ටික දුරක් ආවා. ඊට පස්සේ වුණදේවල් මොනවද කියා දන්නේ නෑ’ යි සිරිපාල කීවේය.   
‘ඒ ගැන දැන් කතා කරලා වැඩක් නෑ තව සැරයක් අප්පච්චිගෙ දෙපා වැඳල ලෙඩ ඇදේ ඉන්න අම්මාට වැඳල මේ දරුවාගේ හිසේ අත තබා දිව්රා ආයේ කවදාවත් මත්පැන් බොන්නේ නෑ කියා මෙතැන දී පොරොන්දු වෙන්න ඕනෑ’ පිරිස සිරිපාලට කීහ. සිරිපාල ඒ ආකාරයට පොරොන්දු විය. 

 
එසේම පොරොන්දුව කඩ නොකර නගරයට ගොස් රැකියාව කරමින් පවුලේ සමගිය රැකගෙන හොඳින් ජීවත් විය. නමුත් දෛවයෙන් බේරීමට ඔහුට නොහැකි විය. වසර හතරකට පමණ පසු නිවාඩු දිනයක සිරියාවතිත් දුවත් සමග ඔහු වත්තේ පොල්ගස් අතර වැවී තිබුණ ලඳු කැලෑව කපා එළි පෙහෙළි කරමින් සිටියේය. ඒ අතර ගසකින් වැටුණ පොල් ගෙඩියක් ඔහුගේ හිස මතට පතිතවීමෙන් හිස පැළී බරපතළ ලෙස තුවාලවී රෝහල් ගත කළ සිරිපාල දින තුනක් ගතවීමට පෙර මියගියේය.   


සිරිපාලට මේ පළදුන්නේ පියාගේ හිස පැළීමේ විපාකය නොවේද?


.................................................................... 


මාතලේ අගලවත්ත පාර ගුණසේන නවරත්න මහතා ලියා එවු කතාවකි

අනුන්ට ගිනි වතුර පෙවූ පවින් දුකට පත් වූ පාල  

තිස්වසරකට පමණ පෙර උඩරට ප්‍රධාන නගරයක සිදු වූ සත්‍ය සිද්ධියකි.   

 

‘‘පාල’’ යන නමින් අපි ඔහු හඳුන්වමු. අද මෙන් එදා හැම නගරයකම බලපත්‍ර සහිත සුරා සල් නොතිබිණ. තිබුණේ එක නගරයකට එක බීම හලක් හෝ නගර දෙකකට එක් බීමහලක් පමණකි. ගතහැකි වූයේද එක් අයකුට අරක්කු බෝතල දෙකක් පමණි   
කෙනෙක් බෝතල දෙකකට වඩා තමා සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, බලපත්‍ර රහිතව සිල්ලරට අලෙවි කිරීම සපුරා තහනම් විය. පොලිස් නිලධාරිහු මෙන්ම සුරාබදු නිලධාරීහු නීතිය අකුරටම රැක්කාහ.   


එහෙත් සාමාන්‍ය ජනතාව සඳහා සිල්ලරට හා හොරට විකුණන තැන් බොහෝය. ඒ සඳහා ඔවුහු පුරුදුව සිටියහ. එවැනි තැන් ගැන ඉව වැටුණු පොලිස් නිලදරුවන් හෝ සුරාබදු නිලධාරින් අනිවාර්යයෙන් ඒවා වටලන බව දන්නා වෙළෙන්දෝ එය කල්තියා දැන ගැනීම සඳහා ඔත්තුකරුවන් ද තැනින් තැන ස්ථානගත කර සිටියහ. සමහර අවස්ථාවල නිලධාරීන් කඩාපැන සෝදිසි කළත් ඉතා සුක්ෂම ලෙස බෝතල් සඟවා තබාගැනීමට මේ හොර සුරා විකුණන අය සමත්ව සිටියහ.   
මේ කියන තැනැත්තාද පාසල් කට්ටි පැන සුරාවට මෙන්ම සමාජ විරෝධී වැඩට ද පුරුදු වූවේ ඔහුගේ පියාගේ ආභාසයෙන් ‘‘අප්පා කරපු දේ නොකළොත් ඌ නොට්ටිගෙ පුතා’’ යි යන පැරණි කියමන අනුවම යමින් ඔහු පියා දෙකක් කළා නම් ඔහු හතරක් කරන තරමටම පදම් වී සිටියේය.   


මොහුගේ පියාද නගරයේ නාට්ටාමි වැඩ කරමින් සිට ඊට වඩා වැඩි අාද‌ායමක් උපයාගැනීම සඳහා හොර සුරා විකිණීම රැකියාව වශයෙන් තෝරාගත් නරුමයකු විය.   
තාත්තාගේ රැකියාවම තෝරාගත් පාල ද උදේම බීම සාප්පුවෙන් අරක්කු බෝතලයක් මිළට ගෙන එයට වෙනත් මොනවා හරි දමා බෝතලය දෙකක් කොට මුඩුක්කුව තුළට එන හදිසිකාරයන්ට සිල්ලරට විකුණා ඔවුන්ව ඉක්මනින් එතනින් එළවාගන්නා කපටි නරුමයෙක් විය. මෙලෙස තම ව්‍යාපාරය කරගෙන යන පාලට නගරයේ බීමහලට කොළඹින් බඩු ලැබීම ප්‍රමාද වුවහොත් තවත් ගජ වාසිය. එවැනි අවස්ථාවල බෝතලයේ නියම මිල දෙගුණකර රු. 15, 16 වැනි මිලකට බෝතලයක් විකුණුවේය.   
සමහර දිනවල සවස හයෙන් පසු එන හදිස්සිකාරයන්ට දීමට අරක්කු තමා ළඟ නැති වූ විටෙක තමා වැනිම හොරට විකුණන වෙන කෙනෙකුගෙන් අරක්කු බාගයක් ගෙනැවිත් බෝතලයට මුත්‍රාකර බෝතලය සොලවා ගෙනැවිත් මත්ලෝලියා අතට දෙනවිට තැරව්කරුවෙක් වහාම ක්‍රියාත්මකවී පොලීසියෙන් පනිනවා දුවමු දුවමු කියා කරන උප්පරවැට්ටිය නොදත් පාරිභෝගිකයා ඉතුරු සල්ලිත් නොගෙනම පලායයි.   


පාලගේ වැඩකටයුතු නුරුස්නා ඔහුගේ බිරිද ඔහුටද නොකියා රට රස්සාවකට ගියාය. ඔහුගේ දරුවෝ ද ඔහු හැර දමා නිවසින් පිටව ගියෝය. දැන් පාල නිවසේ තනිවිය. මෙය පාලගේ නරකම කාලයයි. දිනපතා උදේ සවස රාත්‍රී මත්වතුර පානය කරමින් සිටි ඔහුට සීරෝසීස් නමැති රෝගී තත්ත්වය සමග උන්මාදයද වැළඳිණ. තමන් කළ කී දෑ ගැන පසුතැවිලි වෙමින් පිස්සෙක් වගේ දොඩවමින් ජරාව බුක්තිවිඳිමින් විවිධ රෝග පීඩාවලට ගොදුරුවී මාස ගණනාවක්ම නිවස තුළම කෑගසමින් සිටියත් කිසිම අසල්වැසියෙක් ඔහුව බැලීමටවත් නොපැමිණියහ. අවසානයේ ඔහු ගෙල වැල ලාගෙන මියගියේය.   


ඔහු කළ පාපකර්ම කොතරම් බලවත්දැයි කිවහොත්, ඔහු මියගොස් පැය කීපයක් ඇතුළත දේහය කුණුවී දියර ගලායාම නිසා මිනී පෙට්ටිය ඔසවාගෙනයාමටද නොහැකිව උණගස් දෙකක බැඳ කනත්තට ගෙනයාමට සිදුවිය. මෙම පාලගේ අවමඟුලට සහභාගිවීමට පැමිණ සිටියේ ඔහු වගේම මතට ලොල් වූ දහ දෙනෙකුට ද අඩු පිරිසකි.  


.................................................... 


බෙලිගල මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි

කේලම් කියා ගම ගිනි තැබූ අංගො නැන්දාගේ ඉරණම   


රට වටකර වැට බැන්දත් කට වට කොට වැට බදින්න බෑ යන්න ප්‍රකට කියමනකි. ඒ කියමන සමකළ හැකි පුද්ගලයෝද මේ සමාජයේ ජීවත් වෙති. අංගෝ නැන්ද‌ා ද එවැනි තැනැත්තියකි. අංගෝ නැන්ද‌ා දශක කිහිපයකට පෙර එක්තරා පිටිසර ප්‍රදේශයක ජීවත් වූ තැනැත්තියකි.   


ඇගේ විනෝද‌ාංශයක් වූයේ කේලම් කියා අනුන් කෙටවීමයි. ගමේ ජිවත්වන සම වයසේ පසුවන කාන්තාවන් සමග එක්වී අනුන්ගේ ඕපාදූප කීම ඇගේ විනෝදාංශයක් විය.   
අංගො නැන්දාට නොදැනීම ‘ඇස් වහ කටවහ’ යන නමද පටබඳිණි. ඊට හේතුව ඇයගේ මුවින් පිටවෙන සමහර වචන හේතුවෙන් සමහර පුද්ගල ජීවිතවලට හානි සිදුවීමයි. අංගෝ නැන්දා කොස් ගහක ගෙඩි දැක ඒවා පිළිබඳව යම් දෙයක් ප්‍රකාශ කළ විට ඒවා කුණුවී යාම හෝ ගසේ අතු කඩා වැටීම සිදුවෙයි.   


මෙවැනි ක්‍රියා නිසාය අංගෝ නැන්දා (ඇස්වහ) නමින් ප්‍රකට වූයේ.   


ඇය දරුවන් නොමැති කාන්තාවන්ගෙන් ‘‘තාම ළමයි නොලැබීමට හේතුව මොකක්ද යැයි’’ විමසයි. එය බලවත් ගැටලුවකි. මෙම නිසා එම කාන්තාවෝ බලවත් අවුලකට පත්ව සිටියහ. ළමයෙන් නොමැති කාන්තාවකගෙන් එයට හේතු විමසීම ඇයගේ ජීවිතයට කරනු ලබන බලවත් පීඩාවකි. එය නොකළ යුතුය. ඇයත් යෙහෙළියත් එක්ව පීඩාවට පත්කළ ගණන විශාලය. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් අංගෝ නැන්දා මහලු වූවාය.   


තවත් කාලය ගෙවෙද්දී අංගෝ නැන්දා රෝගාතුර වූවාය. ඇයගේ මුඛය ඇරීමට අපහසු විය. රෝහල් ගත කළාය. දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තාය. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ අංගෝ නැන්දාගේ කටේ පිළිකාවක් සෑදී ඇති බවය. ඇය අසරණ වූවාය.   


ඇය වටා සිටිය ඇගේ ගජ මිතුරියන් දැන් නැත. ඇගේ පිහිටට කිසිවෙක් ඉදිරිපත් නොවූහ ඇගේ පිහිටට කිසිවෙකු නැත. කාලයාගේ ඇවැමෙන් ඇය අවසන් හුස්ම හෙළුවාය. ඇස්වහ කේලම් නිසා මේ ජීවිතයේදීම කළකම් පල දුන් බව ගම්මු නිගමනය කළහ.   


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්