පොල් වගාවට පවතින අභියෝග


වර්තමානයේ පවතින අධික පොල් මිල විවිධ අංශවල කතා බහට ලක්වී ඇත. විශේෂයෙන්ම පොල් පරිභෝජනය කරන ජනතාවගෙන් දැඩි විවේචන එල්ල වන ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා විසඳුම් සොයාගැනීම කළ යුතුය.   


පොල් මිල වැඩිවීම සඳහා හේතු රැසක් බලපා ඇත. එනම්, 

 
1. පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැති දැඩි නියඟය.   

2. විදේශ වෙළෙඳපොළෙහි පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇති අධික ඉල්ලුම. 

3. පොල් වගාකරුවන් පොල් වගාව සඳහා දක්වන උනන්දුව හීන වීම හේතුවෙන් පොල් ඵලදාව පහත වැටීම.   

4. පොල් වගාව සඳහා බලපාන කෘමි උවදුරු, ලෙඩ රෝග, සතුන්ගෙන් වන හානි හා පොල් ඉඩම් කට්ටි වීම.   

5. දේශීය පොල් පරිභෝජනයේදී සිදුවන නාස්තිය.   


පසුගිය වර්ෂ කීපය තුළදී දිවයින තුළ පැවැති දැඩි නියඟය හේතුවෙන් අනෙකුත් වගාවලට මෙන්ම පොල් වගාවට ද ඉතා අහිතකර තත්ත්වයක් ඇති විය. විශේෂයෙන්ම පොල් ත්‍රිකෝණය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පැවැති වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් උග්‍ර විය. පාරිසරික සාධකවලට ඉතා ඉහළ සංවේදීතාවක් දක්වන පොල් ගසට, ජල අවශ්‍යතාව ඉතා ඉහළ මට්ටමක පවතී. පොල් ගසක එක් පොල් ගෙඩියක අවම වශයෙන් ජලය ලීටර් 1/2ක් පමණ රැස්කර ගන්නා බැවින් මෙම ජල අවශ්‍යතාව මැනැවින් වැදගත් වන බව සඳහන් කළ යුතුය. ඒ අනුව එක් පොල් ගසක පොල් ඉති 12ක් පමණ සෑම විටම පවතින බැවින් එක් පොල් ඉත්තක ගෙඩි 5ක් පැවතුණහොත් එම පොල් ගසේ එක් වරකට ගෙඩි 60කට ආසන්න ප්‍රමාණයක් පවතී. ඒ අනුව සෑම විටම පොල් ගෙඩි තුළ ජලය ලීටර් 30කට ආසන්න ප්‍රමාණයක් රඳවා ගැනීම සිදු කෙරේ. අවශ්‍ය ජල ප්‍රමාණය පොල් ගසකට ලබාගැනීමට නොහැකි වුවහොත් ​පොල් ගස විසින් තමා නිපදවන පොල්වලින් පිළිවෙළින් අවසානයේ නිෂ්පාදනය කළ පොල් ඉතිවල ඇති පොල් (ඇට්ටි) ඉවත් කිරීම සිදුකරනු ලබයි. ඒ හේතුව නිසා දැඩි නියං කාලවලදී පොල් ගස ඉතා කුඩා පොල් ඇට්ටිවල පටන් ඉතිවල ඇති ගෙඩි ඉවත් කිරීම සිදුකෙරේ.   


සාමාන්‍යයෙන් පොල් මලක් විවර වී වර්ෂයක පමණ කාලයක් අවශ්‍ය ප්‍රමාණයට මේරීම සඳහා ගතවන බැවින් මාස 12කට පෙර පැවැති නියඟයේ හානිදායක තත්ත්වය අත්විඳීමට සිදුවනුයේ මාස 12කට පසුවය. මේ නිසා පසුගිය වර්ෂයේ (2016) පැවැති දැඩි නියං තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වනවිට පොල් ඵලදාව අඩුවීම සිදුවී ඇත. මේ හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම මත තාවකාලික පොල් මිල ඉහළ යාම සිදුව ඇත.   


ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පොල් ඵලදාව 2015 වර්ෂයේදී වාර්තා වූ අතර එය ගෙඩි මිලියන 3056ක වාර්තාගත පොල් ඵලදාවකි. එසේ වාර්තාගත පොල් අස්වැන්නක් ලබාගත්තත් පොල් මිලෙහි අඩුවීමක් දක්නට නොවීය. එයට හේතුව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ තුළ පවතින අධික ඉල්ලුම හා ඉහළ මිලක් ලැබීමයි. ඒ හේතුවෙන් සෑම කළු වළාවකටම පවතින රිදී රේඛාවක් මෙන් රටට වර්තමානයේ අවශ්‍යම සම්පතක් වන විදේශ විනිමය ඉපයීම සඳහා අවස්ථාවක් උදාවීමයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අදාළ අංශ උනන්දු විය යුතුය. විශේෂයෙන්ම පොල්වලින් මෙතෙක් අපතේ හරින ලද පොල් වතුර, කොහුබත් වැනි දෑ විදේශ විනිමය රටට ලබාදෙන උල්පත් වී ඇත. ඊට අමතරව නොඉඳුල් පොල් තෙල් සඳහා විදේශ වෙළෙඳපොළේ විශේෂයෙන් බටහිර රටවල ඇති ඉහළ ඉල්ලුම රටක් ලෙස අප ලැබූ මහඟු දායාදයකි. නමුත් මෙම අධික ඉල්ලුම හා වැඩි මිල දේශීය වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාමට ද බලපා ඇත.   


පොල් ඉඩම් පාලනය කිරීමේදී පවතින පුහුණු ශ්‍රමය හිඟවීම, ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම, නියඟය හේතුවෙන් පොල් ඵලදාව අඩුවීම තුළින් ආදායම පහළ යාම වැනි හේතු මත පොල් වගාකරුවන් පසුගිය කාලය තුළදී පොල් වගාව කෙරෙහි දැක්වූ උනන්දුවෙහි අඩුවීමක් සිදුවිය. එයට අමතරව පොල් ඉඩම් හිමිකරුවන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස වෙනත් කටයුතුවල යෙදීම හේතුවෙන් පොල් වගාව සඳහා අවධානය යොමු කරනු ලබන්නේ අවම ප්‍රමාණයක් වීම නිසා පොල් ඉඩම්වලින් ලබාගත හැකි උපරිම ඵලදාව ලබාගැනීමට උනන්දු නොවන තත්ත්වයක් දැකිය හැකිය. ඒ හේතුවෙන් රටේ සමස්ත පොල් ගස් ප්‍රමාණය සමඟ සැසඳීමේදී එක් පොල් ගසකින් ලැබෙන පොල් ඵලදාවේ සාමාන්‍යය ඉතා අඩු මට්ටමක පවතී. එම නිසා රටට අවශ්‍ය පොල් නිෂ්පාදනයෙහි අඩුවක් පවතී.   


වර්තමානය වනවිට අතීතයට සාපේක්ෂව පොල් වගාව සඳහා බලපාන කෘමි හා සත්ත්ව හානි ප්‍රමාණය වැඩි වී ඇත. එනම් පොල් වගාවට බලපාන මයිටා හානිය, රතු සහ කළු කුරුමිණි හානිය, වැලිගම කොළ රෝගය වැනි කෘමි හා වෙනත් වසංගත හැරුණු විට පොල් ඵලදාවට හානි කරන රිලවුන්, වඳුරන්, දඬුලේනුන් වැනි සතුන් ද වන අලි, වල් ඌරන්, ඉත්තෑවන් වැනි පොල් වගාවට හානිකරන සතුන් හේතුවෙන් ද පොල් ඵලදාව අඩු කිරීමට යම් දුරකට බලපෑමක් සිදුවී ඇති බව සඳහන් කළ යුතුය. වෙනත් සාධක වශයෙන් පොල් ඉඩම් කට්ටි කිරීම ද පොල් ඵලදාව යම්තාක් දුරට අඩුවීමට තවත් එක් හේතුවක් ලෙස සඳහන් කළ යුතුය. මෙයට අමතරව දේශීය පොල් පරිභෝජනයේදී සිදුවන නාස්තිය ද පොල් මිල ඉහළ යාමට හේතු වී ඇත. විශේෂයෙන් නිවෙස් තුළ පොල් පාවිච්චියට ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේද හේතුවෙන් සාමාන්‍යයෙන් පොල් ගෙඩියකින් ලබාගත හැකි කිරි ප්‍රමාණයෙන් 1/3ක් පමණ අපතේ යන බව ගණනය කර ඇත. ඒ අනුව නිවෙසකට රැගෙන යන සෑම පොල් ගෙඩි 3කින්ම එක ගෙඩියක් අපතේ යන බව වාර්තා වේ. මෙම තත්ත්වය ඉතාමත් අහිතකර මෙන්ම අධික පිරිවැයක් යොදා නිෂ්පාදනය කරන දේශීය සම්පත් ප්‍රමාණයක් අපතේ යැවීම ජාතික වශයෙන් සිදුවන ව්‍යසනයක් ලෙස සැලකිය හැකිය.   


පොල් මිල ඉහළ යාම සඳහා බලපා ඇති විවිධ හේතුන් අතර ඉහත දක්වා ඇති ප්‍රධාන හේතු සඳහා අවශ්‍ය විසඳුම් යෙදීම මගින් පොල් මිල පාලනය කර ගැනීමට, දේශීය අවශ්‍යතාව සපුරා ගැනීමට හා විදේශ විනිමය උපයා ගැනීමට ලැබී ඇති මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පොල් ක්ෂේත්‍රයේ රැඳී සිටින ආයතන, පොල් වගාකරුවන්, පොල් කර්මාන්තකරුවන් හා පොල් පාරිභෝගිකයන් යන සියලුම දෙනාගේ වගකීම මෙන්ම යුතුකම ද වන්නේය.   


ජාතික අවශ්‍යතාවන්ට අවශ්‍ය පොල් නිෂ්පාදනය සිදුකර පොල් වගාකරුවා මෙන්ම දේශීය පොල් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට පොල් ලබාදීමත්, රටට අවශ්‍ය කරන විදේශ විනිමය උපරිම ප්‍රමාණයෙන් ලබාගැනීමත් අරමුණු කරගෙන ඉහත සඳහන් ගැටලු සඳහා පහත සඳහන් විසඳුම් ලබාදීම තුළින් යම් ප්‍රමාණයක සහනයක් ලබාගත හැකිවනු ඇත.   


පොල් වගාව දීර්ඝ කාලීන වගාවක් වන අතර, කෙටිකාලීන එනම් මාසයක් හෝ මාස කිහිපයක් තුළ ප්‍රතිඵල ලබාගත හැකි වගාවක් නොවේ. ඒ හේතුවෙන් නියඟය නිසා පොල් ගසට සිදුවන හානිය මගින් සිදුවන ප්‍රතිඵල ප්‍රායෝගිකව අත්විඳීම සඳහා වර්ෂයක පමණ කාලයක් ගතවන බව පෙර සඳහන් කර ඇත. එසේ හානියට පත්වන පොල් ගස නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට සාමාන්‍යයෙන් වර්ෂ 3ක පමණ කාලයක් ගත වේ. සමහරවිට යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි තත්ත්වයට ද පත්විය හැකිය. මේ නිසා අනුගමනය කළ යුතු ක්‍රමවේදය වනුයේ පොල් ගස නියඟය මගින් හානිවීම වළක්වා ගැනීම වේ. වර්තමානයේදී ද අතීතයේ මෙන් වැස්ස, අව්ව, ඉර, හඳ යන ස්වභාවික තත්ත්වවලින් ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා ක්‍රමවේද අනුගමනය කිරීම සිදුවිය යුතුය. ඒ සඳහා නවීන තාක්ෂණය උපරිම ලෙස භාවිත කිරීම සඳහා වගාකරුවන් උනන්දු කිරීම, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය උපකාර කිරීම අදාළ අංශ වෙතින් සිදු විය යුතුය. මේ තත්ත්වයන් මගින් නියඟය මගින් සිදුවන හානි අවම කිරීම සඳහා කටයුතු කළ යුතුය. එයට අමතරව වර්ෂය පුරා ඒකාකාරී පොල් ඵලදාවක් ලැබෙන පොල් ප්‍රභේද හඳුන්වා දීම සිදුවිය යුතුය. දැනටමත් පොල් වගාවන් තුළ මෙවැනි පොල් ගස් දැකිය හැකි බැවින් එම පොල් ප්‍රභේද වගා තුළ ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතු අතර, පරිණත වගාව සඳහා ජල සැපයුම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඒ මගින් පොල් ඵලදාවේ කාලීන උච්චාවචනයන් අවමකර ගැනීම සිදු කිරීම මගින් පොල් මිල යම්තාක් දුරට පාලනය කරගත හැකිවනු ඇත.   


මෙයට අමතරව කිසි ලෙසකින්වත් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපොළට යැවීම දුර්වල කිරීම සිදුනොවිය යුතුය. එයට හේතුව විදේශ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා පොල් කර්මාන්තය සඳහා ඇති ස්ථානය අඩු කර ගැනීම මගින් නැවත එම වෙළෙඳපොළට ඇතුළු වීම ගැටලු සහගත විය හැකි බැවින් විදේශ වෙළෙඳපොළ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම කළ යුතුය.   


ශ්‍රී ලංකාව තුළ වගා කර ඇති පොල් ඉඩම්වලින් උපරිම පොල් ඵලදාවක් ලබාගැනීම සඳහා වගාකරුවන් උනන්දු කිරීම හා ඔවුන් දිරිගැන්වීම මගින් පොල් ඵලදාව උච්ඡාවචනය වීමෙන් තොරව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර පොල් ඉඩම්වලින් උපරිම ඵලදායිතාවක් ලබාගැනීමට හැකිවන පරිදි අතුරු වගාවන්, සත්ව පාලනය වැනි ක්‍රමවේද වඩාත් දිරිමත් කළ යුතුය. එමගින් පොල් වගාවට අවශ්‍ය ජල සැපයුම සිදුවන බැවින් නියං තත්ත්වයන් තුළදී පොල් ඵලදාවේ උච්චාවචනයන් වළක්වා ගැනීම සිදුකළ හැකි වනු ඇත. ශ්‍රී ලංකාව ආසන්නයේම ඇති ඉන්දියාවේ පොල් අක්කරයකින් ලබන ඵලදාව ශ්‍රී ලංකාවේ අක්කරයකින් ලබන ඵලදාව මෙන් දෙගුණයක් බව වාර්තා වේ. එම තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ද යොදා ගැනීම මගින් දැනට පවතින පොල් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා උනන්දු විය යුතුය.   


ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් 2/3කට ආසන්න ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්නා බැවින් දේශීය පරිභෝජනය අංශය ඉතා වැදගත් වේ. මහල් නිවාස වැනි ස්ථානවල ජීවත් වන පොල් පාරිභෝගිකයන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා සුළු කොටසක හැරුණු විට දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශ පොල් වගාවට සුදුසු හා පොල් වගා කළ හැකි ප්‍රදේශ වේ. අවම වශයෙන් පොල් ගස් 02ක් වගා කරගත හැකි තත්ත්වයක් තුළ ඒ සඳහා උනන්දු නොවී සිටීම සමස්ත දේශයේම අභාග්‍යයකි. එක් පවුල් ඒකකයක් සඳහා අවශ්‍ය කරන පොල් ප්‍රමාණය ලබාගැනීම සඳහා ක්‍රමවත්ව වැඩුණු පොල් ගස් 02ක් ප්‍රමාණවත් වේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වඩා මෙම හැකියාව ඇතත් වැඩි දෙනා පොල් මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළට යාම තරම් අභාග්‍යයක් තවත් වේ ද? මෙය පෞද්ගලික අවශ්‍යතාවක් වුව ද සමස්ත ජාතියටම කරන මහඟු සේවයක් සේ සලකා හැකි සෑම ගෙවත්තකම අවම ප්‍රමාණයෙන් පොල් ගසක් වවා ගැනීම සඳහා සෑමදෙනාම උනන්දු විය යුතුය. මේ සඳහා රජය මගින් නොමිලයේ පොල් පැළ ලබාදීම හා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම සිදුවුවත් ඉන් නිසි ප්‍රයෝජන අත්කර ගන්නේදැයි සැක සහිතය.   


මීට අමතරව පොල් වගාවට හානිකර ලෙඩ රෝග හා කෘමි උවදුරු පාලනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දිවයින පුරා බෙදාහැරීම, අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් ඉටු කළත් ඉන් නිසි ප්‍රයෝජන ගැනීම ප්‍රමාණවත් පරිදි සිදුවන්නේදැයි සැක සහිතය.   


 වර්තමානයේ අසාමාන්‍ය ලෙස ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී පොල් වගාකිරීමේ මණ්ඩලය මාර්ගයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් යම් සාර්ථකත්වයන් ලබා තිබුණ ද එය කෘත්‍රිම තත්ත්වයකි. මෙය නිරන්තරයෙන් සිදු කිරීම අපහසු මෙන්ම සාර්ථක ක්‍රමයක් ද නොවේ. සිදුවිය යුත්තේ දේශීය හා විදේශීය වෙළෙඳපොළට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය නිෂ්පාදනය කිරීම තුළින් ඉල්ලුම හා සැපයුම තුලනය වීම තුළ පොල් වගාකරුවාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිල මට්ටමක් පවත්වා ගැනීම සඳහා කටයුතු කිරීමයි.   


මේ සඳහා පොල් ක්‍ෂේත්‍රය වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයන්, පොල් වගාකරුවන් හා පොල් පාරිභෝගිකයන් එක හා සමානව තමන් වෙත පැවරී ඇති වගකීම් හා යුතුකම් පිළිබඳව අවබෝධ කරගෙන පොල් වගාව ජාතික අවශ්‍යතාවක් මෙන්ම ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම තුළින් පමණක් මෙම අභියෝග ජයගත හැකිවනු ඇත.

 

 

 

 

 

 

 

 

කේ. ඩී. එල්. ධර්මසිරි   
හිටපු සාමාන්‍යාධිකාරී, පොල් වගාකිරීමේ මණ්ඩලය.