පොල් මිල පාලනයට රජය මැදිහත්වීමේ අවශ්‍යතාව


​පොල් යනු දේශීය ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය වූ ආහාර භෝගයකි. අනිකුත් නිෂ්පාදන මෙන්ම පොල් මිල ද සෑමවිටම රද‌ාපවතින්නේ ඉල්ලුම හා සැපයුම මතයි.  
ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව ඈත අතීතයේ සිටම පොල් අනුභවයට හුරුවූ පිරිසකි. රටේ දැන් සිටිනා ජනගහනය අනුව කෑම සඳහා පමණක් භාවිතා කිරීමට වසරකට පොල් ගෙඩි මිලියන 2000 පමණ අවශ්‍ය වේ. එසේම කෑම පිසීම සඳහා පොල් තෙල් ද ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේය. වාර්ෂික පොල් තෙල් අවශ්‍යතාව මෙ.ටොන් 160,000 පමණ වේ. මෙම පොල් තෙල් ප්‍රමාණය නිපදවා ගැනීම සඳහා පොල් ගෙඩි මිලියන 1200 පමණ අවශ්‍යයි. එසේම පොල් මද භාවිතා කර සිදුකරන ප්‍රධානම අපනයන නිෂ්පාදනය කපාපු පොල් හෙවත් දිසිදි පොල්ය. මෙය අනාදිමත් කාලයක සිට පැවත එන කර්මාන්තයක් වෙන අතර ලංකාවට ආවේණික වූ සුවිශේෂ රසය නිසා විදෙස් වෙළෙඳපොළෙහි කීර්තිමත් නාමයක් හා ඉහළ මිලක් හිමිකරගත් නිෂ්පාදනයක් වන්නේය. මෙම දිසිදි නිෂ්පාදනය රටේ ස්ථාවර බවට පත්වූ කර්මාන්තයක් වෙන අතර ඒ සඳහා පොල් ගෙඩි මිලියන 400 පමණ වාර්ෂිකව අවශ්‍ය වේ. පොල් කිරි, පිටිකළ පොල් කිරි, පොල් ක්‍රීම්. කොප්පරා. නැවුම් පොල් තෙල් වැනි වෙනත් නිෂ්පාදන සඳහා තවත් පොල් ගෙඩි මිලියන 400 පමණ අවශ්‍ය වේ. මේ අනුව රටේ සම්පූර්ණ පොල් අවශ්‍යතාව වසරකට පොල් ගෙඩි මිලියන 4000 පමණ වේ. නමුත් 2017 වසරේ පොල් පළදාව මේ වෙන විට ගෙඩි මිලියන 2100 පමණ වේ.  


මෙම පොල් ප්‍රමාණය රටතුළ නිපදවීම සිදු නොවුණහොත් පොල් හිඟයක් රටෙහි ඇතිවේ. පොල් හිඟය හේතුවෙන් වෙන පොල් මිල ඉහළයාම පාලනය කිරීම රජය සතු වගකීමකි. මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට අප පසුගිය රජය විසින් ඉතා සැලසුම් සහගත වූ වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාත්මක කරන ලදී. එම නිසා පොල් හිඟ කාලයන් පැවතිය ද ඊට සාර්ථකව මුහුණදී, අධික පොල් මිලක් උද්ගතවීමට ඉඩ නොදී, අධික ජීවන බරක් ජනතාව මත පැටවීමෙන් වැළකීමට අපගේ පසුගිය රජය කටයුතු කර ඇත. මේ සඳහා අපගේ සංකල්ප, දායක කරගත් ක්‍රමවේද අනුගමනය කළේ නම් මෙවැනි ජාතික ගැටලුවක් සඳහා සාර්ථක පිළියමක් ලබාදීමට හැකිවේ. මෙම කාලයේදී එවැනි කිසිදු සැලැස්මක් නොමැති වීමෙන් අධික පොල් මිලකින් ජනතාව පීඩා විඳින අතර පොල් ආශ්‍රිත කර්මාන්තයේ නියැළුණ පිරිස ස්වකීය ජීවනෝපාය පවත්වා ගැනීමට අපහසුවෙන් අන්ත අසරණ තත්ත්වයකට පත්වී තිබේ. මෙය ජාතික ගැටලුවක් වෙන බැවින් රජය සුවිශේෂී අවධානයක් යොමුකොට වහාම ඊට මැදිහත් විය යුතු අවස්ථාවකි.  


පොල් වගාවට හානිදායක වූ විවිධ රෝග එනම් කළු කුරුමිණි, රතු කුරුමිණි, මයිටා වැනි රෝග සාර්ථකව පාලනය කිරීමට අප සෑම විටම කටයුතු කර ඇති අතර මෙම කාලයේ නියඟයට අමතරව මෙවැනි රෝග හේතුවෙන් සැලකිය යුතු පොල් ප්‍රමාණයක් විනාශවීම බරපතළ තත්ත්වයක් උද‌ා වී ඇත. විශේෂයෙන්ම එදින පැවති වැලිගම විල්ට් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අප විශේෂ උත්සාහයක් දැරූ අතර විශාල ලෙස පොල් වගාව ව්‍යාප්තවී ඇති ප්‍රදේශ කරා එම රෝගය පැතිරීම වැළැක්වීමට බාධක යොදා පොල් වගාව ආරක්ෂා කර ගැනීමට විශේෂ මෙහෙවරක් සිදු කරන ලදී.  


නමුත් මෙම කාලයේ පොල් කර්මාන්ත සියල්ල වාගේ අක්‍රමවත්ව පවතී. 2016 වසර වෙන විට මෙ.ටොන් 48,000ක්ව පැවතුණු පොල් තෙල් කර්මාන්තය 2017 මේ දක්වා නිෂ්පාදන ප්‍රමාණය මෙ.ටොන් 12,000 කි. එනම් කර්මාන්තයට යොමුවූ පොල් ප්‍රමාණයෙන් 2016 වසරේදී 12% පමණ පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොමු වුවද 2017 වසරේදී එය 3% දක්වා වන සැලකියයුතු මට්ටමකින් පහළ වැටී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙන්වයි. පොල් තෙල් යනු දේශීයව පරිභෝජනයට ගන්නා ප්‍රධානතම ආහාර ද්‍රව්‍යයක් වෙන බැවින් සැපයුම අඩුවීම, ඉහළ යන පොල් තෙල් මිලට ඍජුවම බලපාන සාධකයක් වන්නේය.  

මෙහි බරපතළ තත්ත්වය වෙන්නේ මෙම සමාගම් බහුජාතික සමාගම් වීමෙන් මෙවැනි ද්‍රව්‍යයන්හි අධික නිෂ්පාදන ධාරිතාවෙන් රටට හිමිවන ප්‍රතිලාභය අවම වීමයි. පොල් හිඟ තත්ත්වයක් පවතින විට අධික මිලට පොල් මිලදීගෙන සිදුකරනු ලබන මෙම නව කර්මාන්ත හේතුවෙන් පොල් මිල තව තවත් ඉහළ යන අතර මේ වෙනවිට විශාල වියදමක් දරා ගොඩනගා ඇති සාම්ප්‍රද‌ායික කර්මාන්ත එනම් දිසිදි, පොල්තෙල් යන නිෂ්පාදන සඳහා පොල් මිලදී ගැනීමට ඉහත කර්මාන්තකරුවන් හා තරග කිරීමට සිදුවී ඇති නිසා මේ සාම්ප්‍රදායික කර්මාන්ත පොල් නොමැතිව වැසීයන තත්ත්වයකට පත්ව තිබේ.


සාම්ප්‍රදායික පොල්තෙල් කර්මාන්තය එලෙස කඩාවැටුණ ද පොල් කිරි, පිටිකළ පොල් කිරි, පොල් ක්‍රීම් ආදී නව කර්මාන්ත විශාල ලෙස නිෂ්පාදනය කර තිබේ. පසුගිය වසරේදී කිරි නිෂ්පාදන සඳහා යොමු වී ඇත්තේ සමස්ත පොල් නිෂ්පාදනයෙන් 8% පමණ පෙනුණ ද මේ වසරේ මේ වනවිට මෙම කර්මාන්තයන්ට යොමුවී ඇති පොල් ප්‍රමාණය වෙන්නේ සම්පූර්ණ පොල් නිෂ්පාදනයෙන් 11% ක පමණ අති විශාල ප්‍රමාණයකි. මෙහි බරපතළ තත්ත්වය වෙන්නේ මෙම සමාගම් බහුජාතික සමාගම් වීමෙන් මෙවැනි ද්‍රව්‍යයන්හි අධික නිෂ්පාදන ධාරිතාවෙන් රටට හිමිවන ප්‍රතිලාභය අවම වීමයි. පොල් හිඟ තත්ත්වයක් පවතින විට අධික මිලට පොල් මිලදීගෙන සිදුකරනු ලබන මෙම නව කර්මාන්ත හේතුවෙන් පොල් මිල තව තවත් ඉහළ යන අතර මේ වෙනවිට විශාල වියදමක් දරා ගොඩනගා ඇති සාම්ප්‍රද‌ායික කර්මාන්ත එනම් දිසිදි, පොල්තෙල් යන නිෂ්පාදන සඳහා පොල් මිලදී ගැනීමට ඉහත කර්මාන්තකරුවන් හා තරග කිරීමට සිදුවී ඇති නිසා මේ සාම්ප්‍රදායික කර්මාන්ත පොල් නොමැතිව වැසීයන තත්ත්වයකට පත්ව තිබේ. පසුගිය වසරේදී මෙ.ටොන් 49,000 පමණ පැවති පොල් තෙල් කර්මාන්තය මෙම වසරේදී මෙ.ටොන් 11,0000 දක්වාත්, පසුගිය වසරේදී මෙ.ටොන් 52,000 පමණ පැවති දිසිදි කර්මාන්තය මෙම වසරේදී මෙ.ටොන් 26,000 දක්වාත් අවාසනාවන්ත ලෙස පහත වැටී ඇත්තේ මෙලෙස පොල් නිෂ්පාදන කර්මාන්තය අවිධිමත් වීම නිසා බව පෙනීයයි.  


පොල් තෙල් රටේ අවශ්‍යතාව වසරකට මෙ.ටොන් 160,000 පමණ වන බැවින් මෙම සම්පූර්ණ ප්‍රමාණය මෙරට නිපදවීමට අවශ්‍ය පොල් ප්‍රමාණය මෙරට නැත. දේශීය කාද්‍ය තෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා එකල සිට පාම්තෙල් ආනයනය සිදු කරමින් තිබුණි. අප රජය කාලයේදී පොල්තෙල් නිෂ්පාදනය ක්‍රමිකව වර්ධනය කළ හැකිවිය. ඒ අනුව මෙරටට ආනයනය කළ පාම්තෙල් ප්‍රමාණය අඩුකළ හැකිවූ අතර එමගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකියාව ලැබිණි. පොල් තෙල් කර්මාන්තයේ හැසිරීම හා වෙළෙඳපොළ පොල් මිල පිළිබඳ නිරතුරුව අධ්‍යනය කරමින් කාලීනව පාම්තෙල් බදු ව්‍යුහය උච්ඡාවචනය කරමින් වෙළෙඳපොළ මිල පාලනය කිරීමට රජය මැදිහත්ව එම කාලයේ කටයුතු කර තිබේ. එනම් පාම්තෙල් මිල ඍජුවම පොල් තෙල් මිලට හා ඉන් අනතුරුව වෙළෙඳපොළ පොල් මිලට බලපාන බව අවබෝධ කරගෙන සිටි බැවින් මෙවන් මනා පාලනයක් පවත්වාගෙන යන ලදී. නමුත් මේ කාලයේ ඒ කිසිවක් අධ්‍යනය කිරීමක් දක්නට නැති අතර පොල් සම්බන්ධ ගැටලුව දිනෙන් දින උග්‍ර තත්ත්වයට පත්වෙමින් ඇත්තේ ඒ නිසාය.   


පොල් මද ආනයනය කිරීම සිදුකළ යුත්තේ අදාළ ප්‍රශස්ථ තත්ත්වය යටතේ වීම හා අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් වීම ඉතා වැදගත් වේ. වෙනත් රටවලින් ඉවතලන තත්ත්වයෙන් පහත් වූ, ගුණාත්මක බවින් තොර පොල් මද මෙරටට ආනයනය වේ නම් තත්ත්වය තවත් උග්‍ර වනු ඇත. මෙය කෙළවර වනුයේ ජනතාව ද හඳුනා නොගත් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීමෙනි. එසේම පොල් නිෂ්පාදන අපනයන කර්මාන්තයේ ශ්‍රී ලාංකික පොල් මද නිෂ්පාදන සඳහා වටිනාකම රැඳී පවතින්නේ දේශීය පොල් මදයේ පවතින සුවිශේෂී රසය හේතුවෙන් බව කර්මාන්තකරුවෝ දනිති. මෙලෙස ආනයනය කරනු ලබන පොල් භාවිතයෙන් සිදු කරනු ලබන නිෂ්පාදන ශ්‍රී ලාංකික නාමය යටතේ අපනයනය වේ නම් මෙතෙක් රැකගත් එම ස්ථානය අහිමිවීමේ අවද‌ානම ඇත. එනිසා මෙම ආනයනික පොල් භාවිතයෙන් සිදු කරන නිෂ්පාදන ශ්‍රී ලාංකික නාමය යටතේ අපනයනය වීම වැළැක්වීමට රජය සහතික වියයුතුයි.