පොල් තෙල් බලය ලොවට කියා දෙන නොයෙල් රන්දෙණිය


අභියෝග ජයගත් මිනිස්සු

 

දේශමාන්‍ය, දේශබන්දු, මුළු දිවයිනටම සාම විනිසුරු යන ගෞරව නාමයන් අද ඔහුගේ නාමය ඉදිරියෙන් සනිටුහන්ව තිබේ. සමාජය වෙතින් එලෙසින් ගෞරව නාමයන් ඔහු වෙත ලැබී ඇත්තේ මේ දක්වා ශ්‍රී ලාංකීය සමාජය වෙත ඔහුගෙන් ඉටු වී ඇති සේවය නිසාය. නොයෙල් රන්දෙනිය නමැති ඒ මිනිසා හට ඊටත් එහා ගිය ගෞරවයක් සමාජය වෙතින් හෙට දිනයේ ද ලැබිය යුතුම යැයි අභියෝග ජයගත් ඔහුගේ කතාව කියැවූ අවසන ඔබ නිසැකයෙන්ම වටහා ගනීවි.   


බිංදුවෙන් පටන් ගෙන වැටි වැටී නැගිට, ජාත්‍යන්තරය දක්වා ගොස් ලක් මාතාවට ඩොලර් උපයා දෙන නොයෙල් රන්දෙනිය යනු රන්දෙනිය ඉන්ටර්නැෂනල් සමාගමේ නිර්මාතෘවරයාය. දශක දෙක තුනකට පෙරදී පා පැදියෙන් ගොස් පොල්තෙල් අලෙවි කිරීම අරඹා ව්‍යවසායකත්වයේ ගමන ඔහු ඇරඹියේ ඉතා සුළුවෙනි. එද‌ා අන්තිම අඩියෙන් පටන්ගත් ඒ ගමන පියවරෙන් පියවර තබා ගොස් අද ඔහු ජාත්‍යන්තරය ජයගෙන සිටින අපූරුව විටෙක විශ්මය දනවනසුලුය. ඔහුගේ කතාව කොතැනින් පටන් ගෙන කොතැනකින් හමාර කරන්න දැයි කිව​ නොහැකි තරම්ය. එහෙත් අගක් මුලක් මෙන්ම හරයක් විනයක් ඇති ඒ මිනිසාගේ කතාව අපි මෙලෙස දිග හරින්නෙමු.   
 මවගේ කිරි සහ හිරුගේ රැස් යන ද්විත්වයට සමකළ හැකි දෙයක් මේ විශ්වයෙහි තවත් නැතැයි මැක්සිම් ගෝර්කි විටෙක ප්‍රකාශ කර තිබේ. ඊට තවත් දෙයක් එකතු කිරීමට නූතන විද්‍යාඥයින් කීප දෙනෙකු හට හැකිවිණි. එනම් මව් කිරි ලීටරයක ඇති විශ්මිත ගුණයේ පද‌ාර්තය පිරිසිදු සුදු පොල්තෙල් හෙවත් වර්ජින් කොකනට් ඔයිල් මේස හැන්දක ඇත යනුවෙනි.   


 මේ මිහිපිට ඇති කප්රුක පොල්ගස නම් එයින් නිෂ්පාදනය කෙරෙන දිව්‍යමය පද‌ාර්ථය වන්නේ මෙම නොඉඳුල් සුදු පොල්තෙල්ය. මෙහි ඇති ගුණය ගැන අගය ගැන දන්නේ දේශීය ජනතාවටත් වඩා විදේශීය රටවල ජනතාවය. නමුත් දැන් දැන් ශ්‍රී ලාංකීය ජනතාව අතර ද මේ ජීවමය ගුණයෙන් යුතු පිරිසිදු පොල්තෙල් වඩාත් ජනප්‍රිය වෙමින් තිබේ.   
එම පිරිසිදු තෙල් නිෂ්පාදනයෙහි විශිෂ්ටයකු ලෙස මේ නොයෙල් රන්දෙනිය නම් කළ හැකිය. අන්තර්ජාතික වශයෙන් තත්ත්ව සහතික සහ ප්‍රමිති සහතික ගොන්නක් රන්දෙනිය නිෂ්පාදනයක් වන 'Coconut ELIXIR' පිරිසිදු සුදු පොල් තෙල් සඳහා මේ වන විට හිමිව තිබේ.   


ඊට අමතරව ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය වෙතින් ලැබී ඇති සම්මාන රැසකි. ජර්මනිය, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, කොරියාව ඇතුළු ලෝකයේ සුපිරි රටවල් ගොන්නකට මෙම නිෂ්පාදන අපනයනය කෙරේ. අද එසේ සුපිරි ස්ථානයක් හිමිකර ගෙන සිටින නොයෙල් රන්දෙනියගේ අතීත කතාව ඔහුගේ හඬින් ප්‍රකාශ කළේ මෙලෙසිනි.   


 මම උපන්නේ මීරිගමදී. පවුලේ පස්වැනියා. අයියලා තුන්දෙනයි. අක්කයි, මල්ලිලා දෙදෙනයි. අම්මා ගෘහණියක්. තාත්තා වතු අධිකාරිවරයකු ලෙස සේවය කළා. තාත්තාගේ පරපුර ගැන කිව්වොත් සීයාගේ උරුමයෙන් ලැබුණු අක්කර 300 ක විතර දේපොළක් තිබිලා තියෙනවා. ඒත් දේශපාලනයට ළැදිව වගේම සමාජ සේවය වගේ දේ කිරීම නිසා ඒවා සියල්ල අහිමිව ​ගොස් තිබුණා.   


 70 දශකය වන විට අපේ පවුල ගොඩ නැගුණේ ඒ එක බිම් අඟලක්වත් නොලැබෙන වාතාවරණයක් යටතේයි. 70 දශකයේ ආරම්භය එක්ක තාත්තා වතු අධිකාරිවරයකු ලෙස නාත්තන්ඩියේ සිරිගම්පල වත්තේ සේවයට ගියා. 79 වෙන කල් හිටියෙ එතැන.   


 ඒ කාලයේ වැටුප් හරි අඩුයි. පවුලේ දරු මල්ලන් ගණන වැඩිපුර හිටියත් තාත්තා එ් ලැබූ වැටුප වියදම් කළේ අපට විතරක්ම නෙවෙයි. තාත්තාට තිබුණෙ සමාජවාදී අදහස්. ඒ නිසා එයා අනෙකාගෙ බඩගින්න ගැන හිතලා කටයුතු කළ චරිතයක්. ඒ පසුබිම යටතේ අපටත් සිද්ධ වුණෙ අල, බතල, කොස්, දෙල් වගේ වත්තෙ පිටියෙ තිබුණු දේ වෙතින් බඩ පුරවා ගැනීමටයි. මටසිලුටු ළමා වියක් නොවෙයි අපට තිබුණෙ.   


 හැත්තෑව දශකයේ මුල් කාලයේදී මුළු රටම දැඩි ආර්ථික සහ ආහාර අර්බුදයක වෙලී සිටියා. ඒ අවලස්සන කටුක සමාජ වටපිටාව අතරේ තමයි ළමා විය ගෙවී ගියේ. මගේ පාසල් ගමන පටන් ගත්තෙ 1973 දී. නාත්තන්ඩියේ රෝමානු කතෝලික විදුහලටයි මුලින්ම ගියේ. පසුව ලුර්දු මහා විද්‍යාලයට ගියා. වතු අධිකාරි ක්ෂේත්‍රයේ තාත්තගෙ ප්‍රධානියෙක් හිටියා. එයාගෙ නම කැප්ටන් අජිත් අසරප්පා. මගේ තිබුණු කුමක් හෝ දෙයක් එතුමා හඳුනාගෙන හිටියා. ‘ජස්ටින් මේ දරුවා මට දෙන්න. මම රෝයල් එකට ද‌ාලා හොඳට උගන්වලා කොළඹ හතේ තියෙන මගේ දේපළක් ලියලා දීලා මෙයාව එංගලන්තයට යවලා බැරිස්ටර්වරයෙක් කරලා ගන්නම්’ කියලා අපේ තාත්තාගෙන් ඉල්ලීමක් කළා. මගේ හඳහන පවා එයා බලලා තිබුණෙ. ඒ මහතාගේ අදහසට අනුව තාත්තා මට කිව්වේ ‘මේක ලොකු අවස්ථාවක්. ඒ නිසා ඒක පැහැර හරින්න එපා කියලා.’   


එසේ ළමාවියේ මතකය ගෙන හැර පෑ නොයෙල් ඒ අපූරු අවස්ථාවට පයින් ගැසුවේ එද‌ා සිටම ඔහු තුළ තිබූ විප්ලවකාරි අදහස් නිසාය. කොහොමටත් ඔවුන්ගේ පියාගේ සිටම සමාජයට ළැදි සමාජයේ සුසුම කඳුළ හඳුනන පවුලක් විය. ඔවුනගේ දේපොළ පවා නැත්තට නැති වූයේ මානවවාදය නිසාවෙනි.   


 පිය පාර්ශ්වය මහාමාන්‍ය ඩී.එස්.​ සේනානායක පවුලට ළැදි පවුලක් වූයේ, ඉඩකඩම් වලට අයිතිය දැරූ නිසාමය. දේශපාලනිකව යූඑන්පී පවුලකට අයත් වුවද එද‌ා ජවිපෙ භීෂණයට අසුව සිටි තරුණයින් 170 ක් පමණ බේරා ගැනීමට නොයෙල්ගේ පියා කටයුතු කර තිබිණි. ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ යන කතාව මෙන් මේ නොයෙල් හට ළමා වියේ සිට තිබුණේ සමාජවාදී අදහස්වලට එහා ගිය මානවවාදී අදහස්ය. මේ ඒ අදහස සපථ කිරීමට ගෙන හැර පෑ අතීත සිදුවීමකි.   


‘‘එද‌ා අපට බක්කි කරත්තයක් තිබුණා. මායි මල්ලියි මේකෙන් තමයි පාසලට ගිහින් නැවත ආවේ. ඒ වන විට අපේ වත්තෙ මුරකරුවාගේ පුතා වන රාජු වත් මම ද‌ාගෙන ආවා. එයා දමිළ සහෝදරයෙක්. දවසක් තාත්තාගේ ප්‍රධානියා ඒක දැක්කා. දැකලා නිකම් හිටියේ නැහැ. ඒ ළමයාට හොඳ කනේ පහරකින් සංග්‍රහ කළා. බෝන් ලීයේ ආපු ආනන්දටත් එකක් ගැහුවා. එහෙම කරලා අපට බැන්නා. ‘ඇයි උඹ මේ අය ද‌ාගෙන ආවේ කියලා.’   


‘මොකද සුළු සේවකයින් එක්ක උඹලට තියෙන පෑහීම මොකක්ද?’ කියලා. අඩි හයහමාරක් විතර උස ඒ දැවැන්තයා හමුවේ මා නිහඬව සිටියේ නැහැ. ‘ඇයි ඔයා මගේ යාළුවට ගැහුවේ?’ කියලා මම ඔහු එක්ක වාද කරගත්තා.   


 මම ගෙනාවේ ඔයාගෙම දමිළ ජාතියට අයත් දෙන්නෙක්. අංකල් මං තමුසෙගෙ ජාතියෙ දෙන්නෙක් ගෙනැල්ලා ඉන්නෙ කියලා කෑ ගහලා කිව්වා. පසුව එයා පොළොවෙ අඩි ගහලා කෑගහගෙන යන්න ගියා. එද‌ා වතුවල නීතියට අනුව අර දමිල සහෝදරයින් දෙදෙනාගෙ පවුල්වල අයගේ රැකියා තහනම් කර තිබුණා.’’   


මෙකී ස්වභාවය යටතේ නොයෙල්ගේ හිතුවක්කාර ගති, සෘජු තීන්දු, තනි තීන්දු අනුව ඔහු කටයුතු කළේ සැබෑ විප්ලවවාදියකු ලෙසය. ඒ නිසා අසාධාරණය හමුවේ කිසි විටෙකත් මුලුගැන් වී නොසිටියේය. ජාති ආගම් භේද වලින් තොර සැබෑ ආදරණීය චරිතයක් වූවේය.   


 ළමා වියේදී එසේ වූ නොයෙල් එද‌ා ටික කලකට ආච්චි ළඟට ගොස් සිටියේය. ආච්චි හිටියේ වේයන්ගොඩ, උදම්මිටය. එහි සිට පාසල් අධ්‍යාපනය කරන අතරේ නොයෙල් ආච්චි අම්මා සකසා දුන් කරපිංචා මිටි, කංකුන් මිටි ලී කරත්තයක ගෙන ගොස් විකිණීම කළේය. වයස අවුරුදු 11 ක් පමණ වූ ඒ පුංචි කොල්ලා ව්‍යාපාර කියන දේ ඉතා සුළුවෙන් පටන් ගත්තේ එලෙසින්ය. ආච්චි අම්මා ළඟ තෙවසරක් පමණ සිටි කුඩා නොයෙල් ඉනික්බිතිව බාප්පා කෙනෙකු ළඟට ගියේය. කඩවත සිටි බාප්පා ළඟට ගොස් රෝමානු කතෝලික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියේය. 

 
‘මූ නම් කඩාගෙන ඉදිරියට යාවි’ පවුලේ අය නොයෙල් ගැන කතා වුණේ එහෙමය. කඩවත බාප්පාගේ උදව් ලැබ එහි සිටි ඔහු ඉනික්බිතිව ගියේ මහරගම බාප්පා ළඟටය. ජීවිතය සංචාරයක් නම් එය ප්‍රීතිමත් සංචාරයක් බවට පත්කර ගැනීමේ අටියෙන් මහරගම බාප්පා ළඟට ගොස් සිටියද ඒ පරිසරය ඔහුට එතරම් සුවද‌ායි පරිසරයක් නොවුණි. ‘මම නැවත අම්මා තාත්තා ළඟට යනවා.’ නොයෙල් තීරණයක් ගත්තේය.   


‘‘ඒ වන විට අම්මයි තාත්තයි පදිංචි වෙලා හිටියෙ කඩවත. මේ කාලය වන විට තාත්තා පෙරට වඩා සෘණවාදි තත්ත්වයට පත්වෙලා හිටියෙ. බීමටත් හරියට ඇබ්බැහි වෙලා හිටියෙ. පදිංචිව සිටියෙත් කුලී නිවෙස්වල. එම වාතාවරණය නෑද‌ෑයින් හට ගෙන දුන්නේ අපහසුතාවයක්. කඩවත පාසලකට යමින් අධ්‍යාපනය ලබන අතරේ පුංචි වෙළඳාමක් කරන්න මම පෙළැඹුණේ මේ කාලයේදියි. මගේ යාළුවෙක් නිසා පදික වේදිකවේ එළවළු විකිණීමට පටන් ගත්තා. පාසල් ගිහින් ඇවිත් මම කළේ ඒ වෙළෙඳ‌ාමයි. හැබැයි අපේ පවුල් පරම්පරාවේ උසස් තනතුරු දැරූ අය මෙය දැක්කෙ මදිකමක් ලෙසයි.   


 ඒත් මොන විදියකින් හෝ හරි දේ මට පුළුවන් දේ කරලා පවුල ගොඩ ගැනීම මගේ ඒකායන අරමුණ වුණා. මේ අතරවාරයේදී ජනපති ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමද‌ාස අගමැතිතුමා වෙත යොමු කළ ලිපියකට අනුව අපට පර්චස් 24 ක විතර ඉඩමක් ලැබී තිබුණා. එහි ගෙයක් අටවා ගෙන තමයි අපි ජීවත් වුණේ.’’   


නොයෙල් යනු අද ජාත්‍යන්තරව ප්‍රකට චරිතයක් වුවද අතීතයේ සියල්ල ඔහු ගෙන හැර දක්වන්නේ ඔහුගේ තිබෙන අව්‍යාජ බව නිසාමය.   


 ඉතින් ඊට පස්සේ මොකද වුණේ? බාධක හමුවේ නොසැලී ගමනක් යමින් සිටි ඒ කතාවේ ඊළඟ දිග හැරුම අපට කියන්න. අපි නොයෙල්ට කීවෙමු. 

 
‘‘83 දී ආයෙත් මම උදම්මිට ආච්චි අම්මා ළඟට ආවා. එතකොට ආච්චි, සීයා සහ මාමා පදිංචිව හිටියෙ මගලෙගොඩ. එහි ගිය මම රාජපක්ෂ මුදලාලිගෙන් පොලියට රුපියල් 500 ක් අරගෙන රුපියල් 475 කට පාපැදියක් ගත්තා. පොල්තෙල් බෙදීමේ කටයුතු මුලින්ම පටන් ගත්තෙ ඒ විදියටයි. ඒ වෙනුවෙන් පොල්තෙල් ලබා දීමට බැලුම්මහර ඩී.සී. මිල්ස් හි හිමිකරු වන කුමාරසිරි පඬුවාවල මහත්මයා උදව් කළා. ඒ විදියට කළ පොල්තෙල් වෙළෙඳ‌ාමෙන් දිනකට රුපියල් 125 ක් 100 වගේ ලාභයක් ඉපයුවා. කාලයක් යන විට බොහෝම දුෂ්කරව ගත කළ ජීවිතයේ රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක ඉතිරියක් කරගැනීමට පුළුවන් වුණා. 41 ශ්‍රී 7135 ලොරිය මිලදී ගත්තෙ ඒ මුදලින්.   


‘එතකොට මේ තෙල් දැක්ම ඔබට ඇතිවුණේ කොහොමද?’ නොයෙල්ගේ කතාව අතරතුරේ අපි විමසීමු. 

 
‘‘අපේ පරම්පරාවේ තාත්තාගේ මාමාගේ පුත්තු අතීතයේදී මේ වෙළෙඳ‌ාම කර තිබුණා. එසේ නැත්නම් මට තෙල් වෙළෙඳ‌ාමේ දැක්ම ඇතිවන්නෙ නැහැ. මේක නිකම්ම ඇතිවූ සංකල්පයක් නෙවෙයි. පසුව මගේ තෙල් ව්‍යාපාර ගමනේදී පඬුවාවල මහත්මයා යෝධ අත්වැළක් වුණා.’’   


එසේ පවසන නොයෙල් මොනතරම් නම් කෘතගුණ සළකන චරිතයක් වීද යත් පඬුවාවල මහතාගේ රූපයක් කාර්යාලයේ තබා ඊට සුවඳ දුම් අල්වා ගෞරව කරයි. මිනිස් ගුණ සුවඳ හඳුනන නිසාම නොයෙල් හට විවිධ ක්ෂේත්‍රවල හොඳ මිනිසුන්ගේ හමුව ස්වභාවධර්මය විසින් සමීප කර ඇති වග හැඟවෙයි.   


එවකට සෙලාන් බැංකුවේ උප කළමනාකාරවරියක වූ මනෝජා රණවීර නිසා බැංකු ණය පිළිබඳව සංකල්ප ඇතිවන්නේ ඇය පෙන්වා දුන් මග පෙන්වීම නිසා යැයි නොයෙල් පවසයි. ඉනික්බිතිව බැංකුවේ අනුග්‍රහය මත සහ පඬුවාවල මහතාගේ අපිරිමිත උදව් හමුවේ නොයෙල් නොසැලී දිනෙන් දින ආශ්චර්යවත් ගමනක් යමින් සිටියේය. මේ නිසා තවත් ලොරි කීපයක් මිලදී ගත් ඔහු තෙල් වෙළෙඳ‌ාම දිනෙන් දින දියුණු කරගත් අතර මුලදී එක් සේවයකුගෙන් පටන් ගත් ඒ ගමන පසුව අයියා, මල්ලි සහ සේවකයකු වූ රාජා මෙන්ම පවුලේ අනෙකුත් සහෝදරයින්ගේ ද‌ායකත්වය ලබා ගැනීමට ඔහුට හැකිවිණි.   


මෙලෙසින් තෙල් වෙළෙඳ‌ාම කරගෙන යද්දී ‘ලාභ පාඩු’ සියල්ලට මුහුණ දුන් අතර උපේක්ෂාවෙන් ඔහු ඒ සියල්ල විඳ දරා ගත්තේය. පසුව දියුණුවත් සමග ලොරි හතර සහෝදරයින් හට බෙද‌ා දුන් නොයෙල් ස්වකීය ගමන ඉදිරියට යමින් සිටියදී කෝටි තුනක මූල්‍ය වංචාවක් ඇති වූ නිසා ඔහුගේ ව්‍යාපාරය දැඩි දුෂ්කරතාවකට ලක්විණි. මේ ඛේදවාචකය හමුවේ නොයෙල් හට ජීවිතය නැවතත් මුල සිටම අරඹන්නට සිදුවිය.   


‘‘බංකොළොත් වෙච්ච මම දහ අතේ කල්පනා කරමින් හිටියෙ. හිතට සැනසීමක් ලබාගන්න හිතාගෙන ඉඳිගොල්ල පල්ලියට ගියා යාච්ඥ‌ා කරන්න. එතැනදී දෛවෝපගත සිදුවීමකට වගේ චම්ලි ප්‍රනාන්දු නමැති මිනිසා හඳුනා ගන්න ලැබුණෙ. ඒ මොහොතේදී ඔහුට මගේ උදව් අවැසි වුණා. පසුව ඔහු මට උදව් කළා. ඔහු මට එක්තරා අවස්ථාවක විශාල ඇණවුමක් පවා ලබා දුන්නා. එලෙසින් මම නැවත නැගී සිටියේ ආයෙමත් පඬුවාවල මහතා මට ඊට උදව් කළ නිසයි. ඒක හරියට සංසාරගත බැඳීමක් වගෙයි. නැවත මට යහපත් පරිසරයක් එතුමා හදලා දුන් පසුව බෝගමුව මිල්ස් අධිපති ශ්‍රීනාත් ජයසිංහ මහතාත් මට උදව් කළා. පඬුවාවල මහතා ඒ දිනවල මට බෙන්ස් බොක්ස් රථයකුත් දී තිබුණා. යළිත් මම නැගී සිටියේ ඒ අයගේ අතදීම් නිසයි.   

 


 ණය වී තිබූ ලක්ෂ 300 ක මුදලක් නැවත මට පියවීමට පුළුවන් වුණා. ඒ මුදල පසු කාලෙක මම මුස්ලිම් ව්‍යාපාරික හිතවතා සොයාගෙන ගිහින් ඔහු අතටම දුන්නා. ‘ණය ගත්තොත් ණය ආපසු දිය යුතුමයි. එය සැබෑ මානුෂීය ගුණාංගයක්.’ ගත් ණය නැවත දුන් පසු ඔහු අප්‍රමාණව සතුටු වුණා. අද එයා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඇත්තටම අවංකත්වය කියන්නේ ඒකටයි.’’   


නොයෙල් වැටි වැටී නැගී සිටියේ ඒ අයුරින් අවංකව කටයුතු කළ නිසාවෙනි. ළමා වියේදී එද‌ා කරපිංචා මිටිය, පළා මිටිය විකිණීමට තරම් ලැජ්ජා නොවූ ඔහු භද්‍ර යව්වනයේදී පදිකයේ සිට එළවළු ද විකුණුවේය.   


 ‘‘මම සිල්ලර කඩයක වැඩ කළා. පොළට ගිහිල්ලත් විකිණීම් කළා. බේකරියක වැඩ කළා. දඹුලු ගිහින් බඩු ගෙනැල්ලා විකුණුවා, හෝටලයකත් වැඩ කළා. දර පළලා, කුලී වැඩත් කළා. පසු කලෙක ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් ලෙසත් වැඩ කළා.’’   


 මේ නොයෙල් අතීතයේ කළ කී දේය.   


 අද තාරුණ්‍යයේ බොහෝ දෙනාට තාරුණ්‍යය කුමක්ද කියා වටහාගත නොහැකිව ලතැවෙන සමාජයක, එද‌ා තුරුණු වියේදී නොයෙල් රන්දෙනිය, තාරුණ්‍යයේ රන් දහදිය මහ පොළොව මතට හෙළුවේ ඒ අයුරිනි. යකඩය තැළෙන තැළෙන තරමට මුවහත් වන්නාක් මෙන් ඔහු ජීවිතය මුවහත් කර ගත්තේ විනාඩියක් හෝ අපතේ නොයවා එද‌ා කළ කී දේ මතින්ය. අද ඔහු රන් අසිපතක් සේ බැබළෙන්​නේ එද‌ා වෙච්ච අප්‍රතිහත මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසය.   


 95 වසර වන විට වතාවක ඔහු බංකොළොත් වී සිටි සමයේදී ඔහු යළි ජීවයක් ලැබීමට ඔහුගේ ජීවිතය පිටුපස සහන් එළියක් වී රැජිනක සිටියාය. ඒ අන්කවරකුවත් නොවේ ඔහුගේ බිරිඳ වන පද්මිණී පතිරණය.   


 ‘‘ඇය සහ මා අතර පෙම් සබඳතාවක් හට ගත්තේ අසූව දශකයේ මැද භාගයේදියි. එ් තමයි මගේ ප්‍රථම ප්‍රේමය. 94 දී අපි විවාහ වුණා. එයා තමයි මගේ වාසනාව. මගේ සැනසීම, මගේ විමුක්තිය, මගේ ජීවිතය. ඇය නිසා තමයි මම ජීවිතයේ පිළිවෙළ උගෙන ගත්තේ. වතු අධිකාරිවරයකු වූ තාත්තා නිසා පිරිසිදුකම මම උගත්තා.’’   


 නොයෙල් රන්දෙනිය, තමාගේ රත්තරන්, ඉස්තරම් බිරිඳ ගැන පවසන්නේ එලෙසින්මය. අද ඔවුන් දෙදෙනා ගුණ යහපත් පුතුන් තිදෙනෙකුගේ මව පියා වෙති. නිපුණ, මලීෂ, විහඟ ඒ දරුවෝය. නිපුණ අද උසස් අධ්‍යාපනය ලබමින් මෙම රන්දෙනිය ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂධුරයක් හොබවන්නේය.   


මේ අයුරින් පැමිණි ගමනේදී දිව්‍යමය තෙලක් වූ පිරිසිදු සුදු පොල්තෙල් කර්මාන්තය පටන් ගත්තේ කෙසේද? අපි නොයෙල් ගෙන් විමසීමු.   


 ‘‘2000 වසර වන විට මම ව්‍යාපාර ක්ෂේත්‍රයේ බොහෝ දැනුම ලබා පරිනත වෙලා හිටියෙ. දේශීයව කර්මාන්ත ශාලාව දියුණු වෙද්දී අපනයනය ගැන අපි හිතන්න පටන්ගත්තා. ස්වභාවිකව උසස් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන වර්ජින් ඔයිල් (Virgin Oil) වලට ලෝකයේ තියෙන්නෙ විශාල ඉල්ලුමක්. මට අකුල් හෙළන අයට, මට පහර ගහන අය එක්ක ඊර්ෂ්‍යා කරන අය එක්ක මම කවද‌ාවත් වාද විවාද කරගන්න ගියේ නැහැ. ඒ අයට වඩා උසස් තත්ත්වයේ දෙයක් නිර්මාණය කිරීම තමයි මගේ ප්‍රහාරය වුණේ. ඒ නිසා ආර්ථික වටිනාකමක් එක්ක මට ඒ දේ කරන්න පුළුවන් වුණා.’’   


නොයෙල්ගේ දර්ශනයට අනුව නිර්මාණය වූ ස්වභාවික පොල්තෙල් උසස් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව හරියට දියුණු රටක කර්මාන්ත ශාලාවකට වඩා උසස් තත්ත්වයෙන් යුතුය. ලොව අනර්ඝතම, මිල අධිකම යන්ත්‍ර සූත්‍ර වලින් එය සමන්විත අතර මුළු කර්මාන්තශාලා පරිශ්‍රයම ඉතා පිරිසිදුය. පිළිවෙළය. ඒ පළාතටම එය ආලෝකයක් ගෙන දී ඇත. ප්‍රමිති සහතික සහ තත්ත්ව සහතික මෙන්ම ව්‍යවසායකත්වයේ සම්මාන ඔවුනට නිරන්තරයෙන් හිමිවන්නේ ඒ නිසාය.   


 මේ නිසා රටට විදේශීයව ගෙන දී ඇති විදේශ විනිමය ගැන අගය කළ යුතුම දෙයකි. නොයෙල් රන්දෙනිය එලෙසින් ව්‍යවසායකත්වයේ නැගී සිටින්නේ තමාගේ කර්මාන්තශාලා පරිශ්‍රය පමණක් ඉස්තරම් අයුරින් තබාගෙන නොවේ. ගමට අලුත් පාරක්, බීමට ජලය, ගංවතුර සමයේදී ආධාර උපකාර මේ ආදී වශයෙන් සුවිශාල සමාජ මෙහෙවරක ද ඔහු නියැලී සිටින්නේය. සේවකයින් හට සළකන්නේ, ප්‍රශ්න විස‌ඳ‌ා දෙන්නේ තමාගේම දරුවන්ගේ ප්‍රශ්න මෙන් සළකා බලාය.   


‘‘අද ආපස්සට හැරිලා බලද්දී ලක් මාතාවට මේ විදියට මට කඹුරන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද කියලා හිතෙනවා.’’   


සැහැල්ලුවෙන් සුසුමක් පිට කරමින් නොයෙල් එලෙස කියයි. එතකොට ජීවිතය කියලා කියන්නේ මොකක්ද?   


‘‘අපට ලැබෙන විරල අවස්ථාවක්. ඒ නිසා මැරෙනකල්ම වැඩ කිරීම කළ යුතුයි. මම ගහට, කොළට, සතුනට, ජලයට, පරිසරයට හරිම ආදරෙයි. ජල බිඳක් අපතේ යනවට කැමැති නැහැ. ජීවිතයේ ම​ගේ සිතිවිලි ඒ වගෙයි. ඇත්තටම ජීවිතය කියන්නෙ විශ්මිත ඒ වගේම අදෘශ්‍යමාන දෙයක්. එය විඳින්න. සතුටින්ම විඳින්න. තමුන් තමුන්ට අවංක නම් එහෙම විඳින්න පුළුවනි.’’   


 මුළු විශ්වයටම ආදරය කරන නොයෙල් රන්දෙනිය එලෙසින්ම පැවසුවේය. අප මේ සටහන් කළේ අර්ථාන්විත මිනිස්​ පොතකින් තැනින් තැන් උපුටා ගත් කොටස් කීපයක් පමණී. මේ හමුවෙන් සමුගෙන ඒමට පෙර සමාජයට ඔබට කුමක් කිව හැකිදැයි අපි විමසීමු.   


‘‘මොන විදියකට හෝ සම්මත දේ හැර අසම්මත දේ නොකරන්න. අදියරෙන් අදියර පරිනත වන්න. ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නට, ඉඩක් ලදොත්, මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය, යුගාන්තය. කලියුගය, බවතරණය කියවන්න.’’ 

 

 

 

සටහන - සඳුන් ගමගේ