පොල් ගස් නගින්නත් යන්ත්‍රයක්


 

පොල් ගස අපේ ජන ජීවිතය හා බැඳී ඇති සුවිශේෂී ශාකයකි. පොල් ගසේ ඇති ප්‍රයෝජනය කියා නිම කිරීමට නොහැකි තරම්ය. අපේ රටේ සෑම ආහාරයකටම පොල් අවශ්‍ය තරම්ය. අපේ සංස්කෘතිය සමඟ සමීප සබඳතාවක් පොල් ගස හා පවතියි.   


අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සමඟ බැඳී සිටි පිරිසක් සිටිති. පොල් කර්මාන්තය ආශ්‍රිතව විවිධ නිෂ්පාදනයන් සඳහා ඔවුන්ගෙන් විශාල දායකත්වයක් ලැබී ඇත. විශේෂයෙන් පොල් කැඩීමේ නිරත වූ පිරිස් එදවස සෑම ගමකම සිටියත් අද බොහෝ දෙනකු එම රැකියාවෙන් ඉවත් වී ගොස් ඇත. ඒ එම කර්මාන්තයේ යෙදෙන්නන්ට ලැබෙන සොච්චම් මුදලත්, එම ක්‍රියාවේ ඇති භයානකකම හා අවදානම නිසාත්ය. විශේෂයෙන් වර්ෂා කාලයේදී දින ගණනක් ඔවුන්ගේ රැකියා කරගැනීමට නොහැක. ඒ නිසා මෙම කර්මාන්තයේ නියැළෙන සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වී තිබේ. වළල්ලක් දමා ගසකට ගොඩ වී පොල් කඩනවා වෙනුවට ඇතැම් අය දිග කෙක්කක් යොදාගෙන පොල් කැඩීමේ නිරත වෙයි. ඇතැම් පොල් ගස්වල උස අනුව එය ද ප්‍රායෝගික නොවන තත්ත්වයකට පත්විය.   


පොල් කැඩීම සඳහා ගසට නැගීමට මනා පළපුරුද්දක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන්ට උපතින්ම එම හැකියාව ලැබී ඇත. එහෙත් එහි ජීවිත අවදානමක් ද නැතුවා නොවේ. බිම සිට කෙක්කක ආධාරයෙන් ​පොල් කැඩීමට පුරුදු වූයේ ඒ නිසාය. එය අවදානම් නොවූවත් ඒ සඳහා විශාල කාලයක් වැයවෙයි. මේ සියලු කරුණු කාරණා නිසා බොහෝ දෙනකු පොල් කැඩීමේ කර්මාන්තයෙන් ඈත්වී ගොස් ඇත.   


කිසිම අවදානමකින් තොරව ඉතා කෙටි කාලයකදී පොල් ගස් ගණනාවක පොල් ඵලදාව නෙළා ගැනීම සඳහා විශේෂිත වූ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. මෙහි නිර්මාණකරු වන්නේ කෑගල්ල, දැදිගම, මැණික්කඩවර පදිංචි එම්.ඩී. උපුල් කුමාර මහතායි. ඔහුගේ නව නිර්මාණය පිළිබඳව හා මේ සඳහා යොමු වූ කාරණාව පිළිබඳව විස්තර කළේ මෙසේය. 

 
“මේක දීර්ඝ කතාවක්. මට මේ සඳහා යොමු වෙන්න සිද්ද වුණේ වසර අවුරුදු 18දී පමණ. දැන් මට වයස අවුරුදු 52ක්. මට වයස අවුරුදු 18 දී පමණ පොල් කඩන කෙනකුගේ දර්ශනයක් දුටුවා. ඔහුගේ පාදයේ තිබූ වළල්ල ගිලිහී ගොස් ඔහු බිමට වැටෙන සිද්ධිය මම දැක්කා. එදා තමයි මම හිතා ගත්තේ කවදා හරි මේකට විසඳුමක් වශයෙන් නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඊට වසර 25කට විතර පසුව තමයි මම මේ නිර්මාණය ආරම්භ කළේ.   

 


2012 වසරේදී තමයි මම මේ නිර්මාණය මුලින්ම පටන් ගත්තේ. මම විදේශගත වෙලා ලංකාවට නැවත ඇවිල්ලා කුඩා ව්‍යාපාරයක් පටන් ගත්තා නොච්චියාගම ප්‍රදේශයේ. එහේදි තමයි මේ නිර්මාණය අත්හදා බලන්න මම පටන් ගත්තේ. ඒ මුල් නිර්මාණයේ ඉඳලා අවසානය දක්වා කොටස් මගේ ළඟ තියෙනවා. ඇත්තටම මේක සාර්ථක නිර්මාණයක් වුණා. අවසානයේදී මේක නිර්මාණය කරන්න ආරම්භ කළා. 2014 දී හෝ 2015 දී මේ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලැබුණා වරකපොළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන්. මම පොල් ගස් විශාල සංඛ්‍යාවකට නැගලා අත්හදා බැලුවා. ඒක ඉතා සාර්ථක වුණා.   


මේ සඳහා මම මූලිකවම යකඩ යොදාගෙන තමයි අත්හදා බැලුවේ. ඊට පස්සේ මම සුදු යකඩවලින් මේ නිර්මාණය කළා. මොකද යකඩ දිරන නිසාත්, බර වැඩි නිසාත් මම සැහැල්ලු ලෝහයක් හෙව්වා. එතනදි තමයි මට සුදු යකඩ හම්බ වුණේ. ඒක ශක්තිමත්. අනික බරින් අඩුයි. මළකඩ කෑමටත් ඔරොත්තු දෙන නිසා සුදු යකඩ යොදාගෙන තමයි මේ නිර්මාණය කරන්න අවසානයේදී මම තීරණය කළේ. මේ සඳහා මට රුපියල් 14,000ක (දහහතර දහසක) පමණ මුදලක් වැය වෙනවා, නිෂ්පාදන වියදම පමණක්.   


දැනට මගේ මේ නිර්මාණය රට පුරාම ලබාදීලා තිබෙනවා මගේ හිතවතුන්ගේ මාර්ගයෙන්. මම බලාපොරොත්තු වෙනවා අවශ්‍ය ඕනෑම කෙනකුට මේ නිර්මාණය ලබාදෙන්න. ආරක්ෂිතව හා පහසුවෙන් පොල් කඩන්න මෙමගින් පුළුවන්. ඕනෑම තාල වර්ගයක ගහකට නගින්න පුළුවන් මේ යන්ත්‍රය මගින්. තවම පුවක් ගස්වලට බැහැ. තල්, කිතුල් වගේ ගස්වලටත් එක්ක තමයි මේක නිර්මාණය කළේ. නමුත් දැන් වැඩි දෙනෙක් පොල් කඩන්න තමයි මෙය යොදා ගන්නේ. ඒත් තල් හා කිතුල්වල ඵලදාව නෙළාගන්නත් පුළුවන් කියලා මම අත්හදා බැලීම් කළා.   


මේ යන්ත්‍රයේ ආරක්ෂාව පිළිබඳ මට සහතිකයක් නිකුත් කරලා තිබෙනවා ජාතික කෘෂි උපකරණ පර්‌යේෂණ මධ්‍යස්ථානයෙන්, මේක ඕනෑම කෙනකුට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද මෙහි ආරක්ෂාවක් තිබෙනවා කියලා සහතික කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් හොඳට පුරුදු කෙනකුට තත්පරයක් වගේ කාලයක් තුළදී අඩියක් ඉහළට යන්න පුළුවන්. මේ යන්ත්‍රය හොඳට පුරුදු පුහුණු කෙනකුට නම් දිනකට ගස් 100ක විතර පොල් කඩන්න පුළුවන්. අනිවාර්යයෙන් දිනකට අක්කරයක පොල් කඩන්න හැකියාව තිබෙනවා පුරුදු කෙනකුට.   


මේ වෙනකොට මාධ්‍ය මගින් ප්‍රචාරය වුණ නිසා බොහෝ දෙනකුට මෙහි අවශ්‍යතාව මතු වුණා. ඒ අය විස්තර කතා කරලා මේ යන්ත්‍රය බලන්න අවශ්‍යයි කියලා ඇවිල්ලා තොරතුරු විමසීමක් කළා. සමහර අය ඒ අවස්ථාවේදීම යන්ත්‍රය අරගෙන යනවා. විශේෂයෙන් යාපනයේදී තල් සංවර්ධන මණ්ඩලය මගින් විශේෂ පුහුණුවක් ලබාදුන්නා. ඒ ආශ්‍රිත නිෂ්පාදනකරුවන් 40 දෙනකුට පුහුණුවක් ලබාදීලා තිබෙනවා.   
මේ නිර්මාණය පිළිබඳව මම රබර්, පොල්, තල් හා කිතුල් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා දැනුවත් කළා. එතුමා ප්‍රකාශ කළා මෙය දේශීය වශයෙන් රටට අවශ්‍ය දෙයක්, මෙය පොල් කර්මාන්තයේ නිරතවෙන අයට ලබාදෙන්න කටයුතු කරනවා කියලා ඔහු ප්‍රකාශ කළා. මගෙන් මිලදී ගන්නවා නම් මාව සම්බන්ධ කරගෙනත් මිලදී ගන්න පුළුවන්. මේ සඳහා උපදෙස් එක්ක ලබාදෙන්න කටයුතු කරනවා. සාමාන්‍යයෙන් රුපියල් 19,000කට (දහනව දහසකට) තමයි මගේ ළඟට ඇවිල්ලා ලබාගන්න පුළුවන් වෙන්නේ. කුරියර් මාර්ගයෙන් ලබාගන්නවා නම් 20,000කට (විසිදහසකට) වගේ තමන්ගේ නිවසටම ලබාදෙන්න කටයුතු කරනවා.   


ඉල්ලුමේ හැටියට සපුරාලන්න අපහසුකම් තිබුණත් මගේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්න කටයුතු කරනවා. මගේ නිවස ආශ්‍රිතව සේවකයන් පිරිසක් සහභාගි කරවාගෙන නිෂ්පාදනය කරන්න කටයුතු කරනවා. මම බලාපොරොත්තු වෙනවා රජයෙන් මේ සඳහා අනුග්‍රහයක් ලබාදෙයි කියලා. රජය වුණත් මෙයට මැදිහත් වීමක් දක්වනවා නම් දේශීය නිෂ්පාදනයක් හැටියට රජයට වුණත් ලොකු පිටිවහලක් වෙනවා ආදායමක් ලබාගන්න. මම විදේශ රටවලටත් මේ නිර්මාණය ලබාදීලා තිබෙනවා. විදේශ රටවලටත් දෙන්න පුළුවන් රජය මැදිහත් වුණොත්.   


ඇණවුම් කරලා දින දෙකකින් වගේ කාලයක් තුළ මේ නිෂ්පාදනය ලබාදෙන්න පුළුවන්. මගේ ගාව තොග තිබෙනකොට ඒ මොහොතේම මිලදී ගන්නත් පුළුවන්. අපි දෙදෙනෙක් එකතු වෙලා එක උපකරණයක් දිනක් වගේ කාලයක් තුළ නිර්මාණය කරනවා. මට මේ වෙනුවෙන්ම යන්ත්‍ර සූත්‍ර ටික්ක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුම මට තිබෙනවා.

 

සටහන හා ඡායාරූප
නිශාන්ත කුමාර බණ්ඩාර