පොඩි පුතා මහණ කළා කියලා තාත්තා මා එක්ක මාස දෙකක්ම කතා කළේ නෑ


ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව කියන කතාව

 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන ලංකාවේ නොදන්නා කෙනකු නැති තරම්මය. ඒ උන්වහන්සේ දැන් දැන් මෙරට ප්‍රසිද්ධ චරිතයක් වී ඇති නිසාය. නැතහොත් උන්වහන්සේගේ ක්‍රියාකලාපය නිසාය. මේ ඥානසාර හිමියන් කියන්නේ කවුද? කොහේ කෙනෙක් ද? කාගේ කවුද? බොහෝ අයට ඇති ලොකු ප්‍රශ්නයකි. ඇත්තටම මේ ඥානසාර හිමියන් කියන්නේ කවුද? මේ ප්‍රශ්නයට පාඨක ඔබට ඇති කුහුල ලිහාදීමේ අරමුණින් ඥානසාර හිමියන් වැදූ මව සොයා අපි උන්වහන්සේගේ උපන් ගමට ගියෙමු. 
  
කරන්දෙණියේ හද්දාපිටිසර ගමක් වන ගලගොඩඅත්ත උන්වහන්සේගේ උපන් ගමය. අයියලා තිදෙනෙක් හා එක් අක්කා කෙනෙක් ඇතුළුව පස්දෙනකුගෙන් සමන්විත වූ පවුලේ බඩපිස්සා වූවේ ඥානසාර හිමියෝය. අද මේ පවුලේ ජීවතුන් අතර ඇත්තේ මවත් සහෝදරයන් දෙදෙනෙක් හා එකම සහෝදරියත්ය. පියා සහ එක් සොහොයුරෙක් මේ වනවිට මිය පරලොව ගොස්ය.   


අපේ කතානායක ඥානසාර හිමියන් ගැන වෙන කාටවත් වඩා හොඳට දන්නේ උන්වහන්සේගේ මව වන වලවේ දුරගේ ගුණවතී මහත්මියයි. මේ ඇය සිය පොඩි පුතු හාමුදුරුවෝ ගැන මතකය අවදි කළ අයුරුය.   
“අපේ හාමුදුරුවෝ උපන්නේ 1975 මාර්තු මාසේ 4 වැනිදා. ඒ අපේ පවුලේ බාලයා වෙමින්. ගාල්ල මහමෝදර රෝහලේ තමයි ඉපදුණේ. අපි ඔහුට නුවන්සිරි කුමාර කියලා නම තිබ්බා.   


 යන්තම් අවුරුදු තුන වුණා විතරයි ගෙදරදී හාමුදුරු කෙනෙක් වගේ බණ කියන්න පටන් ගත්තා. අපිට කරදර කළා හාමුදුරුවෝ කෙනෙක් වගේ අන්දන්න කියලා. එතකොට අපි ගෙදර තියෙන රෙද්දක් හරි තුවායක් හරි සිවුර වගේ පොරවනවා. වට අත්තකුත් ඕනෑ කරනවා. ඉස්සරහා තියෙන ගන් දෙල් ගහෙන් කොළයක් අහුලාගෙන ඇවිල්ලා ඒක කුරුඳු කෝටු කෑල්ලක ගහලා වට අත්ත වගේ හදලා දෙනවා. එයා කියන ගාථා අපි වැඳගෙන නොකිව්වොත් මහා හයියෙන්ම අඬනවා.   


කවදාවත්ම පොඩි පුතා මගේ කිරි මිසක් පිටිකිරි බීලා නැහැ. කවදාවත්ම පිටිකිරි ඉල්ලන්නෙත් නැහැ. එක දවසක් නිකමට මෙන් පිටිකිරි කෝප්පයක් හදලා දුන්නා බොන්න කියලා. ඒක කටේ තිබ්බේ නැහැ විසි කළා. අවුරුදු පහක් වෙනකම්ම මව් කිරි බිව්වා.   

 

 

දිය නෑ ඇළ

 

පදිංචි නිවෙස   

 

 

ගිය පාසල   

උදෑසන පන්සිල් දුන් පාසලේ තැන   

 


පොඩි කාලේ හොඳට දඟ කළා. මිදුලේ බයිසිකල් පැදලා තාත්තාට අහුවෙන්නේ නැතිවෙන්න මිදුලේ තියෙන බයිසිකල් පාරවල් ඉදල අරගෙන මකලා දානවා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ළඟ තියෙන ඇළේ නානවා කොල්ලන් එක්ක. ඇස රතු වෙනකම්ම නාලා තමයි එන්නේ. ගෙදරින් මොන බාධක දැම්මත් ඇළේ පැනලා නානවා. ගෙදරට බොරු කියනවා නෑවේ නැහැ කියලා. මෙහෙම බොරු කියලා අයියා කෙනකුගෙන් හොඳටම ගුටි කාලත් තියෙනවා.   


එයාට අවුරුදු දහය විතර වෙනකොට නිතර නිතර කරදර කළා මහණ කරන්න කියලා. බේරෙන්නම බැරි වුණා. පොඩි පුතා හැමදාම රෑට නිදාගන්නේ මගේ ඇඟට කකුල් දාගෙන. මම ඇහැව්වා පුතාට මම නැතිව රෑට නිදාගන්න පුළුවන් ද කියලා. බේරෙන්නම බැරි වුණාම පොඩි පුතා ආච්චිලාගේ ගෙදර යැව්වා තනියම නිදි කරන්න පුරුදු කරන්න. ආච්චි අහලා තියෙනවා කවදාවත්ම නැතිව මොකද පුතාට ආච්චිලාගේ ගෙදර නවතින්න හිතුණේ කියලා. එතකොට එයා ආච්චිට කියලා තියෙනවා මම මේ මහණ වෙන්න අම්මා නැතිව රෑට නිදාගන්න පුරුදු වෙන්නයි ආවේ කියලා.   


බැරිම තැන මම එයා මහණ වෙන්න ඕනෑ කියලා කිව්ව ගලගොඩඅත්ත ජයබිම විවේක සේනාසනයට ගිහිල්ලා භාර දුන්නා. තාත්තා කැමතිම වුණේ නැහැ. මෙයා ඉක්මනට මහණ කළේ නැහැ කියලා පන්සලෙන් පැනල ගිහින් කොළඹ පන්සලකට ගිහින් තිබුණා. බොහෝම අමාරුවෙන් තමයි සොයා ගත්තේ. අපේ පන්සලේ එදා හිටිය ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා පොඩි පුතාව එක්ක ඇවිල්ලා ඉක්මනටම මහණ කළා. එතකොට පොඩි පුතාට වයස 11යි. පුතා මහණ වුණු දවසේ මම හොඳටම ඇඬුවා. තාත්තත් ගෙදර හිටියේ නැහැ. දුරක මුර වැඩකට ගිහිල්ලා. තාත්තා ගෙදරට ආවේ කෝ මගේ පොඩි පුතා කියලා අහගෙන. මම කිව්වා පොඩි පුතා මහණ වුණා කියලා. තාත්තා මාස දෙකක් යනකම් මාත් එක්ක තරහ වෙලයි හිටියේ. බොහෝම අමාරුවෙන් තමයි තාත්තාව යාළු කර ගත්තේ. පොඩි පුතත් හරි තාත්තාගේ පණත් හරි. ඒ තරම්ම තාත්තා පොඩි පුතාට ආදරෙයි.   
ගෙදර ඉන්න දවස්වල එයා අවුරුදු උත්සවයක් කරලා එකේ තෑගිවලට ගෙදර තිබුණු සියලුදේම දුන්නා. සබන් පවුඩර් මේ සේරම ශුද්ධ කරගෙන ගිහිල්ලා තිබුණා. ගෙදරට හිඟාකන අයෙක් ආවොත් කන්න බොන්න දීලා අත පිරෙන්නත් දේවල් දෙනවා.   


අනේ මහත්තයෝ ඔය ටීවී එකේ කෑගැහැව්වට මගේ පොඩි පුතා හරිම අහිංසකයි. හරිම හොඳයි. ටීවී එකේ කෑගහනවා දැක්කම මම දුරකථනයෙන් කතා කරලා කියනවා මට බයයි කියලා. එතකොට හාමුදුරුවෝ කියනවා අම්මා මොකටද බය වෙන්නේ කියලා. අනේ මහත්තයෝ මට හාමුදුරුවෝ ගැන ලොකු බයක් දැනෙනවා උන්වහන්සේට කරදරයක් වේවි කියලා.”   


 ඥානසාර හිමියන් සමඟ එදා එක ගමේ එකට සිටිය මිතුරකු වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල කුමාර මහතා උන්වහන්සේගේ කුඩා කල ගිහි ජීවිතය ගැන මතකය අවදි කළ ආකාරයයි මේ.   


“අපි දෙන්නා ජයබිම සේනාසනයට ගියේ මහණ වෙන්නයි. ඒ වගේම අපි දෙන්නා පහේ පන්තිය වෙනකම්ම ගමේ පාසල වන යක්කටුව කනිටු විදුහලෙයි අකුරු කරේ. එදා පාසලේ උදෑසන මළුවේ පන්සිල් දුන්නේ කුඩා නුවන්සිරියි. හරියට හාමුදුරුවෝ කෙනෙක් වගේමයි පන්සිල් දුන්නේ. කුඩා කල සිටම හාමුදුරු කෙනකුට ඔබිනා කටහඬක් නුවන්සිරිට තිබුණා. එදා හරිම දඟයා. මාත් එක්ක ගහගන්න එකමයි කළේ.   


පන්සල් ගිහිල්ලත් අපි දෙන්නා හොඳට ගහගත්තා. ෆුට් බයිසිකල් පදින්න හරිම රුසියා. අපි දෙන්නා හාමුදුරුවන්ගේ පණිවිඩවලට යන්නේ ෆුට් බයිසිකලෙන්. නුවන්සිරි මම මග දාලා තනියම බයිසිකලයෙන් ආපු දවස් එමටයි. මම බයිසිකලය පැදන් ගියොත් මට එළව එළවා ගල්වලින් ගහනවා. ගමේ ඇළේ පැනලා හොඳට නානවා කොල්ලොත් එක්ක. නුවන්සිරි යක්කටුවේ කනිටු විදුහලෙන් පහේ පන්තියෙන් පසු අස්වෙලා බන්දුල සේනාධීර විද්‍යාලයට ගියා ඉගෙන ගැනීමට. බන්දුල සේනාධීරේ හත්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනගෙන තමයි මහණ වුණේ.”   

 

 

 


ඡායාරූප හා සටහන 
කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත