පොකැට් රේඩියෝවෙන් පටන්ගෙන ලෝකයම වසඟයට ගත් සෝනි


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

සෝනි ප්‍රධාන ගොඩනැගිල්ල

 

  • ලතින් වචනයක සහ ඇමෙරිකානු උප ව්‍යවහාරයේ ආ වචන ද්විත්වයක එකතුවක් “සෝනි” 
  • සෝනි ආරම්භය වුණේ TR 55, පොකැට් රේඩියෝවෙන්
  • පටන් ගනිද්දී සේවකයින් අට දෙනයි සිටියෙ
  • ඇමෙරිකාවට නැතුවම බැරි ජපන් සමාගමක්
  • දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවයි පටන් ගත්තෙ

දෙවැනි ලෝක යුද්ධය ඇරැඹියේ 1939 සැප්තැම්බරයේදීය. ප්‍රථමයෙන් යුරෝපීය රටවල් අතර පැතිරි ගිය යුද්ධය, සැබෑ ලෙසම මහා භයංකාර ලෝක යුද්ධයක් බවට පත්වූයේ, ජපානයද ඊට මැදිහත්වීම නිසාය. 1941 දී දෙවැනි ලෝක යුද්ධයට ජපානය මැදිහත්වීම නිසා සිදුවූයේ අනිසි ඵල විපාක රැසකට මුහුණු දීමටය. ආර්ථික සහ තාක්ෂණික වශයෙන් ලෝකයට නව උත්පාදන බිහිකරමින් නැගී එමින් සිටි, ආසියානු හපනා වූ ජපානය එතැන්සිට මුහුණ දුන්නේ අභාග්‍යසම්පන්න පරිච්ඡේදයකටය. එනම්, නැගී එමින් සිටි ජපානය, දෙවැනි ලෝක යුද්ධය හමාර වෙද්දී, සුන්බුන් ගොඩක් බවට පත්ව තිබිණි. 


යම්කිසි ලෙසකින් ජපානය දෙවැනි ලෝක යුද්ධයට ඈඳී නොසිටියේ නම් ලෝක බලවතා ආසියානු කලාපයේ ජපානයම වීමට ඉඩ තිබිණි. කෙසේ වුවද සුන්බුන් වූ ගිනිබත් වූ ලෝක යුද්ධයක අළුදුලී මතින් යළි නැගී සිටීමට තරම් ජපනා ශක්තිවන්ත වූයේ, නුවණින්, පමණක් නොවී, ප්‍රයෝගිකව කටයුතු කළ නිසාවෙනි. ඊට තවත් එක් උද‌ාහරණයක් ලෙස මුළු ​ලෝකයම දන්නා ‘‘සෝනි’’ සමූහ සමාගම නම් කළ හැකිය. 1946 දී යළි අවදි වූ ජපානය විවිධ අංශවලින් ඉදිරියට පියවර තැබුවේ තාක්ෂණයේ. හාස්කම් මවමින්, අපූරු හරඹ පාමිනි, ලෝකයට විවර වෙමින් තිබියදී ‘‘සෝනි’’ ඒ අවදි වූ ගැම්මේ ශක්තිය පෙන්නුම් කළේ කොහොමද? ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප විස්තර කරන්නේ ඉලෙක්ට්‍රොනික අංශයෙන් මෙන්ම සංගීතමය, සිනමා සහ මුල්‍යමය ඇතුළු අංශ කිහිපයකින් ලෝකය, අණසකට යටත් කරගත් ‘‘සෝනි’’ ගැනය.  

 


 

‘‘සෝනි’’ හැදු​වෙ කවුද?  


1946 දී මසාරු ඉබුකා ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කරන වෙළෙඳහලක් ඔහුගේ ගමේදී ආරම්භ කළේය. එහි පරිපාලනමය කටයුතු සහ වෙළෙඳ කටයුතු සිදුකළේ ටෝකියෝ නගරයේ නිහොන්බාෂි වෙළෙඳ කලාපයේදීය. යමක් - කමක් තිබුණු පවුලකින් පැවත ආ මසාරු ඉබුකා, එලෙසින් තම ව්‍යාපාරය ඇරඹියේ යෙන් එක්ලක්ෂ අනූ දහසක මුදලකිනි. (රුපියල්වලට අනුව නම් එකළ යෙන් එකක මිල ශත පහක් හතක් අතර මුදලකි) එම මුදල ආයෝජනය කර ඇරඹි, ඔහු​ගේ ව්‍යාපාරයේ සේවයට එක්ව සිටියේ අට දෙනෙකු පමණකි. එවිට මසාරුගේ වයස අවුරුදු 37 ක් පමණ විය. මෙම ව්‍යාපාරය අරඹා දින කිහිපයකට පසුව මසාරු හට තවත් අපූරු ව්‍යාපාරික සගයකු මුණ ගැසිණි.  


‘‘මම කැමතියි. ඔබ කැමති නම් ඔබ සමග ව්‍යාපාරයට එකතු වෙන්න, මට ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නත් පුළුවනි’’   


එය සැබැවින්ම දෛවයේ අපූරු හමුවක්ම වුණි. ඔහු නමින් අකියෝ මොරීතා නම්විය. මේ දෙදෙනා එක්ව ‘‘ටෝකියෝ ෂුෂීන් කෝගියෝ’’ ලෙස ව්‍යාපාරය නම් කළේය. එනම් ටෝකියෝ විදුලි සංදේශ හා ඉංජිනේරු සංස්ථාව යනු එහි තේරුමය. කෙසේ වුවද, දිනෙන් දින දියුණුවී දිගු ගමනක් යාමේදී මේ නම භාවිතා කිරීම පිළිබඳව ඔවුනට ප්‍රශ්නයක් මතුවුණි.  


‘‘මේ නම දිග වැඩියි නේද?’’ මසාරු කීවේය.  


ඒකනම් ඇත්ත තමයි අකියෝ පිළිතුරු දුන්නේය.  


පහසුවට කියැවෙන, මිනිසුන්ට මතකයේ රැඳෙන නමක් දාමු, යැයි දෙදෙන කතිකා කරගත් අතර ටීටීකේ (TTK) නමින්, කෙටියෙන් යොද‌ා ගැනීමට මිතුරෝ දෙදෙන තීරණය කළෝය. නමුත් TTK නමින් ඔවුනට නම යොදා ගැනීමට නොහැකි වූවේ ඒ වෙනවිට  ද ඒ නම ජනතාව අතර ප්‍රකටව තිබු බැවිනි. එලෙසින් ප්‍රකට වූයේ ජපන් දුම්රිය සේවයක් වන ටෝකියෝ කියෝකු ආයතනයයි. එය හැඳින් වූ නාමය වුයේ TTK ලෙසය.  
මේ අතරවාරයේදී ව්‍යාපාරික සගයින් දෙදෙනාගෙන් එක් අයෙකු වූ අකියෝ මොරිතා ඇමෙරිකාවේ සංචාරයකට ගියේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් අවකාශයක් ලබා ගැනීම සහ ඔවුනගේ ව්‍යාපාරය වෙනුවෙන් නව සංකල්පය ඇතිකර ගැනීම වෙනුවෙනි. ටෝකියෝ ෂුෂීන් කෝගියෝ යන නාමය උච්චාරණය කිරීමේදී ඇමෙරිකානුවන්හට එය භාවිතා කිරීම ඉතා අසීරු විය.  


‘‘ඇමෙරිකාවට මේ නම හරියන්නෙ නැහැ’’ යනුවෙන් මොරිතා තමාටම මුමුණා ගත්තේය. ඉනික්බිතිව ටෝකියෝ ටෙලිටෙච් (Teletech) ලෙස නම් කිරීමට ඔහු සිතා ගත්තේය. එහෙත් ඊට ද අවකාශය නොලැබී ගියේ ඒ වෙන විටත් ඇමෙරිකාවේ ‘‘ටෙලිටෙච්’’’ නමින් වෙළෙඳ නාමයක් තිබූ බැවිනි.  


සෝනි (Sony) නාමය ලැබීම  


එසේනම් ‘‘සෝනි’’ යන විශ්වීය නාමය ඔවුනට ලැබුණේ කෙසේද කියා අපි බලමු   


සෝනස් (Sonus) නමින් ලතින් භාෂාවේ ව්‍යවහාරයට ගත් නමක් තිබිණි. එහි තේරුම වන්නේ ශබ්දයේ මූලය හෙවත් ශබ්ද තරංග යනුවෙන් ගත හැකිය. එය මේ ව්‍යාපාරික සගයින් දෙදෙනාගේ ව්‍යාපාරය විසින් හඳුන්වා දීමට සුද‌ානම්ව තිබූ නිෂ්පාදනයට බෙහෙවින් ගැලපුණි. මොරිතා ඇමෙරිකාවේ සිටි කාලයේදී, එකළ ඇමෙරිකානුවන් අතර නිතර ව්‍යවහාර වූ ග්‍රාම්‍ය වචනයක් තිබිණි. බොහොම තුරුණු - යොවුන් යව්වනයන්හට ඇමෙරිකානු සමාජය එකළ කතා කළේ සනීබෝයි (Sonny Boy) යනුවෙනි. හැබැයි සනීබෝයි යන වචනය ජපන් උච්චාරණයෙන් ගත්කළ වෙනත් භාෂාවකින් මුසුකරගත් නාමයක් විය. එතැනින් එහාට එහි අරුත සොයා ගිය ඔවුන්, තාරුණ්‍යයට සහ තුරුණු දක්ෂතාවයට ඒ නාමය කදිමෙට ගැලපෙන බව විශ්වාස කළෝය. අවසන Sonus යන ලතින් වචනය සහ සොනි (Sonny) යන ඇමෙරිකානු සමාජයේ එවකට භාවිතා වු ග්‍රාම්‍ය වචනයක් වූ සනී Sonny යන වචන ද්විත්වය කෙටි වී ''Sony'' යන්නෙන් යොද‌ා ගැනීමට ‘‘මසාරු සහ අකියෝ’’ දෙපළ අවසන් තීන්දුවකට පෙළැඹුණි. 1946 සිට 1957 දක්වා කාලය තෙක් කෝකියෝ ෂුෂීන් කෝගියෝ යටතේ ව්‍යාපාරය හැඳින්විය. එය වෙනස් වූයේ එනම් ‘‘සෝනි’’ වූයේ 1958 ජනවාරියේදීය. නාමය එසේ වෙනස්වීමට පෙර, ජපානය විසින් ප්‍රථමවරට නිෂ්පාදනය කළ ට්‍රාන්සිස්ටර් රේඩියෝව වන TR-55 පොකැට් රේඩියෝව වෙළෙඳපොළට හඳුන්වා දීමට මෙම සගයින් දෙදෙනාට හැකිව තිබිණි.  


1958 දී මසාරෝ සහ අකියෝ එක්ව ව්‍යාපාරය වඩාත් පුළුල් කිරීමට කටයුතු කර කළෝය. ඔවුන් රටට සහ ලෝකයට වඩාත් විවර වූයේ ප්‍රථම ට්‍රාන්සිස්ටර් රේඩියෝව නිසාය. මෙය ජපානයේ කෙසේ වෙතත්, ඇමෙරිකානු තාරුණ්‍ය අතර මහා විලාසිතාවක් බවට පත්වුණි. 1955 එය ලෝකයට හඳුන්වාදුන් පසුව, වසර කිහිපයක් ඇතුළතදී ලක්ෂ ගණනාවක් අලෙවි වුණේ උණු කැවුම් මෙනි.  


මසාරු ඉබුකාගේ අරමුණ වූයේ තාක්ෂණය වෙතින් ජපන් සංස්කෘතියට මෙන්ම නිදහස් ලෝකයට ගැලපෙන වඩාත් ඵලදායී නිර්මාණ බිහිකිරිමය. ‘‘මින් පෙර කිසිද‌ාක නොකළ දෙයක් අපි කරමු’’ යන්න ඔහුගේ දුරදර්ශී තේමාව වූවේය. මේ නිසාම ජපානයට මෙන්ම ලෝකයට ද ප්‍රථම වතාවට සෝනි නිෂ්පාදන වෙතින් අලුත් - අලුත් දේ හඳුන්වා දීමට හැකිවිණි.  


‘‘අලුත් - අලුත් දේ තනන ජාතිය   


ලොව නැගී සිටින්නේය’’ යන්න ප්‍රායෝගික කරවමින් සෝනි, ලෝකය ජය ගැනීමේ ගමන කරා යමින් සිටියේ ලෝකයට අලුත් දේ බිහි කිරීම නිසාය. පොකැට් රේඩියෝවෙන් ලෝකය අල්ලාගත්, ‘‘සෝනි’’ නාමය ඊළඟට ​ලෝකයට ප්‍රථම ‘‘ටේප් රෙකෝඩරය’’ හඳුන්වා දුන්නේය. සෝනි යන නාමය මෙන්ම ඊටම ගැලපුණු ගසට - පොත්ත මෙන් වූ අලුත්ම මාදිලියේ නිෂ්පාදන නිසා ලෝකය හමුවේ ‘සෝනි’ වඩාත් වැදගත් වෙළෙඳ නාමයක් බවට පත්වූයේ ඇමෙරිකාවේ කොටස් වෙළෙඳ පොළද සාර්ථකව ජය ගනිමිනි.  


ඇමෙරිකාවත් අල්ලයි  


දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකානු ප්‍රහාර හමුවේ අන්ත අසරණ තත්වයට ජපානය පත්වී තිබුණු බව සැබෑය. එහෙත් ඒ සුන්බුන් වූ විනාශ වූ අතීතයේ සිටීම මහා මෝඩකමකි. වෙච්චි දේ වුණා. සතුරා මිතුරා කරගත හැකි නම්, වඩාත් වටින්නේ ඒ ශක්තියයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ‘‘ජපානය’’ ලෝකය ආක්‍රමණය කළේ ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික විප්ලවයකින් යැයි කීම වඩා සාධාරණය. එද‌ා 1946 දී ටෝකියෝ විදුලි සංදේශ ඉංජිනේරු සංස්ථාව ස්ථාපිත කිරීම පිළිබඳව පසු කලෙක ‘‘ඉබුකා’’ අදහස් පළකර තිබුණේ මෙලෙසිනි.  


දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේදී ඉංජිනේරුවන් ගණනාවක් සමග මම සේවය කළෙමි. කොච්චරනම් වෙහෙස මහන්සිවී වැඩ කළේද යත්, විටෙක අපට කෑම - බීම ගැනීම පවා අමතක වුණි. ඒ විතරක් නම් මදෑ, නිද‌ා ගැනීමට පවා අමතක වූ බව කියන්න පුළුවනි. යුද්ධයෙන් පසුව සමාගම බිහි කිරීමේදී අතිශූර ඉංජිනේරුවරු විස්සක් පමණ මා සමග සිටීම මට මහත් ශක්තියක් වුණි. අප සමාගම බිහි කිරීමේ මූලික අභිලාෂය වූයේ තාක්ෂණය පිළිබඳව ගැඹුරු අගැයීමක් ඇති ඉංජිනේරුවරුනට සමාජීය මෙහෙවරක් ඉටු කරනුවස් එය සාක්ෂාත් කර ගැනීම උදෙසා, ඔවුනගේ හදවතට එකඟව වැඩ කිරීමට හැකි ස්ථාවර පරිසරයක් ගොඩ නැගීමයි. යුද්ධය පැවැති සමයේදී අපි දුප්පත්ව - දුෂ්කරව සිටියෙමු. ඒ අප වෙතින් ලෝකයට ඉටුවිය යුතු මෙහෙවර සාක්ෂාත් කර ගැනීම උදෙසාය. ගැඹුරු හා සිත් ඇදගන්නා සුළු මෙහෙවරක් මගින් හැකියාවන් සමග සංකල්ප මෙහෙය විය හැකි ආකාරය මම අත්දැක ඇත්තෙමි. අනෙක් අතට මෙම දැඩි අභිප්‍රේරණයන් දුර්වල කළ හැකි දේ ගැන ද මට වැටහීමක් තිබුණි.  


ඒ මසාරු ඉබුකාගේ දර්ශනයෙන් බිඳක් පමණි. 1960 දශකය ආරම්භ වෙත්ම ‘‘සෝනි කෝපරේෂන්’’ ඇමෙරිකාවේ පවා ස්ථාපිත කිරීමට ‘‘සෝනිලාට’’ හැකිවිණි. ඇමෙරිකානු සේවකයින් ‘‘සෝනි’’ යටතේ සේවය කිරීමට ඔහුට ගෙන දුන්නේ, අපූර්ත්වයකි. එය ඔහුගේ සිතට තදින්ම කාවැදී තිබුණු දෙයක් විය. 1960 න් ලෝක බලවතා වූ ඇමෙරිකාවේ සිට ‘‘සෝනි’’ ව්‍යාපාරය ලෝකගත කළ අතර ඉන් පසුව ‘‘රටින් - රට’’ ‘‘සෝනි’’ උප ශාඛා සහ කර්මාන්තශාලා (මෙහෙයුම්) දියත් කෙරුණි. හැටේ දශකයෙන් ලෝකය අල්ලාගත් ගමනේදී, ජපානයට විදෙස් විනිමය කන්දරාවක් ගෙන දීමට සමත් වූ ‘‘සෝනි’’ හැත්තෑව දශකයේදී මෙන්ම අසුව දශකයද ඉන් එහාටද ගොසින් ප්‍රබල අපනයනකරුවකු ලෙස ජපානයේ සංවර්ධනය උදෙසා සුවිශේෂී කාර්යබාරයක් ඉටු කළ සමාගමකි.  


1980 වෝක්මන් (Walkman) විප්ලවය  


1980 වෙනවිට ගෝලීය මුල්‍ය අවපාතය හමුවේ, ඉලෙක්ට්‍රොනික අලෙවියේදී ඉතා දුර්වල තත්ත්වයක් හටගෙන තිබිණි. ඒ නිසා නිෂ්පාදනවල මිල පහත දැමීමට ‘‘සෝනි’’ මෙන්ම ජපානයේ බොහෝ සමාගම් මුහුණදුන් ප්‍රශ්නයක් විය. එහෙත් ‘‘සෝනි’’ නාමය ඉලෙක්ට්‍රොනික උපකරණවලට පමණක් සීමා නොවී රක්ෂණ ක්ෂේත්‍රයද ජයගෙන සිටි ආයතනයක් විය. මුල්‍ය අවපාතය කෙසේ සිදුවුව ද, ඊට මුහුණ දිය යුතු මිසක පලා යාම කළ හැකි නොවේ. ඒ නිසා වැටුණු වළෙන්ම නැවත ගොඩ ආ යුතුය. 1980 දී ‘‘සෝනි’’ නාමය ලෝකය දැතින්ම බද‌ාගත්තේ ‘‘වෝක්මන් ප්ලේයරය’’ නිසාය. අසූව දශකයේදී, හරියටම කිව්වොත්, 1979 වසර අගදී, හඳුන්වා දුන් මෙම වෝක්මන් ප්ලේයරය ඇවිදීම් කරන අතරතුර, ව්‍යායාම් කරන අතරතුර, ආදී විවිධ අවස්ථාවලදී ඉතා පහසුවෙන් ගෙන යා හැකි වින්දනීය උපකරණයක් විය. සංගීතයට සවන්දීම කළ හැකි වූ නිසා, බාල මහළු ලොකු පොඩි කා අතරත් වෝක්මන් ප්ලේයරය අතිශය ජනප්‍රිය එකක් විය. අසුව දශකයේදී තාරුණ්‍යය එය වැළඳ ගත්තේ උන්මාදවූවෝ මෙනි. සමහරු එය භාවිතා කිරීමට පටන් ගත්තේ එදිනෙද‌ා පුරුද්දකට වගේය. විශ්වාස කරන්න, මෙම වෝක්මන් සෙට්, මිලියන දෙසීයක් පමණ ලොව පුරා අලෙවි වීමට වැඩිකල්ගත නොවුණි. අද වෝක්මන් ප්ලේයර් එකට ලැබෙන්නේ ඉහළ ඉල්ලුමකි. හැබැයි එද‌ාමෙන් ඉනේ ගසාගෙන ගිය, සිංදු අහපු යන්ත්‍රය මෙන් නම්, නොවේය. එද‌ා වෝක්මන් ප්ලේයරයේ නිෂ්පාදන පටන් ගත්ද‌ා සිට, අද දක්වා විවිධ මාදිලියේ තුන්සියයක් පමණ වූ වර්ග දක්වා එය විකාශයවී ඇත. ටේප් පටයෙන් පටන් ගත් එය සංයුක්ත තැටි ධාවනය කළ හැකි වූ තාක්ෂණය සහ ඊට එහා ගිය තත්ත්වයේ නිෂ්පාදන ලෙස එලි දැක්වීම සිදුකර තිබේ.  


මේ සියල්ලට පෙර ‘‘සෝනි’’ කළ හපන්කම  


ඉහත සඳහන් කළ සියලු නිෂ්පාදනවලට කලින් ‘‘සෝනි’’ ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ, ඉලෙක්ට්‍රොනික උපකරණය වුයේ, ශීත කාලයේදී අතිශය ප්‍රයෝජනවත් වූ හීටරයකින් (තාපකය) සමන්විත වූ කුෂන් කවර නිසාය. විටෙක එය අනතුරුද‌ායක යැයි විශ්වාසයක් තිබුණද, ශීත කාලයේදී ජපන් වැසියනට එය මහාර්ඝ වටිනාකමකින් යුතු වූවක් විය. කෙසේ වෙතත් ඒ මගින් යම්කිසි ප්‍රශ්නයක් ඇති වුවහොත්, එයින් තම සමාගමේ කීර්තිනාමයට කැළලක් නොවන අයුරින් එය අලෙවිකෙරී ඇත්තේ, මව් සමාගම යටතේ නොවේ.  


‘‘සෝනි’’ ගිය දුර  


‘‘සෝනි’’ නාමය යටතේ නිපද වූ නිෂ්පාදන නම් බොහෝය. ඒ අතරින්, ලෝකය අල්ලාගත් තවත් එක් නිෂ්පාදනයක් වෙන්නේ ‘‘ප්ලේස්ටේෂන්ය’’ වීඩියෝ ​ගේම් සහ ඒ ආශ්‍රිත විනෝද‌ාස්වාදය සඳහා වූ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා කිරීමේ පිපාසයෙන් පෙළෙන ළමුනට සහ තාරුණ්‍යය අතර මෙම ප්ලේස්ටේෂන් උන්මාදගත වූයේ වෝක්මන් රැල්ලට එහා ගොසිනි.  


මෙම අලුත් උපාංග හඳුන්වා දීමට පෙර 1998 දී පමණ සෝනි නාමය යටතේ හඳුන්වා දුන් - කැම්කෝඩරය හෙවත් කුඩා වීඩියෝ කැමරාව එක් රැයකින් ප්‍රචලිත වූ සෝනි නිෂ්පාදනයක් විය. මෙලෙසින් සෝනි හඳුන්වාදුන් විවිධ මාදිලියේ උපකරණ ලෝකයට ප්‍රථම වතාවට හඳුන්වාදුන් උපාංග වූ බැවින්, ‘‘සෝනි’’ ලෝක ප්‍රජාව අතර, ආකර්ශනයට නතු වූ බව සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් මුලින්ම හඳුන්වාදුන් කුඩා වීඩියෝ රෙකෝඩරයේ රාත්‍රි කාලයේදී පවා දර්ශන පැහැදිලිව ගත හැකිවීම තාක්ෂණය ද මුසුකර තිබිණි. මේ නිසා වීඩියෝගත කරන ලද සමහර දර්ශනවලදී මිනිසුන් ‘‘නිරුවත්’’ වී සිටින අයුරු දැකගත හැකිවිය. එනම් විනිවිද පෙනෙන අයුරින් පටිගතවී තිබිණි. මේ තාක්ෂණික දෝෂය වහාම නිවැරදි කර නැවතත් ‘‘කැම්කෝඩර’’ වෙළෙඳපොළට යොමු කළේ එතෙක් අලෙවි කළ ලක්ෂ හතක පමණ තොගය සමාගම නැවත ගෙන්වා ගැනීමෙන් පසුවය.  

 


දශක දෙක - තුනකට පෙරදී වීඩියෝ සහ ටේප් පටිගත කිරීමේ යන්ත්‍ර මෙන් ශ්‍රව්‍ය - දෘෂ්‍ය අංශය සඳහා ‘‘සෝනි’’ මහා විප්ලවයක් කළ සමාගක්ම විය. ඉහතින් සඳහන් කළ ඔවුන්ගේ ‘‘ප්ලේස්ටේෂන්’’ 3 වැනි කාණ්ඩයේ නිෂ්පාදනයක් වතාවක ඩොලර් 323,000 ක මුදලකට අලෙවි වී තිබිණි. මෙම ප්ලේස්ටේෂන් නිෂ්පාදන ක්‍රියාද‌ාමය පසුව සුපිරි තාක්ෂණයෙන් යුතුව එළිදැක්විණි.  


‘‘සෝනි’’ නාමය යටතේ කතා කිරීමේදී අපට වඩාත් ඒ නාමය හුරුවී ඇත්තේ ටී.වී යන්ත්‍ර මෙන්ම ඉහත කී උපාංග ආදිය නිසාය. ඊට අමතරව ඩිජිටල් කැමරා නිසා අද ‘‘සෝනි’’ ලෝකය විචිත්‍රවත් කරමින් සිටින වග සඳහන් කළ හැකිය. සෝනි නාමයේ ටී.වී ගැන කතා කිරිමේදි, ‘‘බ්‍රාවියා’’ යනු ලෝකය වසඟයට ගත් නිෂ්පාදන කාණ්ඩයකි. (Best Resolution Audio Visual Integrated Architecture) යන්න කෙටියෙන් ගත් කළ (Bravia) ලෙස නම්කර තිබේ. සජීවී රූපමය අත්දැකීම් එමගින් ආස්වාදය කළ හැකිය.  


ජපාන රැකියා වෙළෙඳපොළට රැකියා දහස් ගණනින් උත්පාදනය කරදුන් ‘‘සෝනි’’ මියුසික් කම්පැනි මෙන්ම සෝනි පික්චර්ස් (සිනමා) කර්මාන්තය ගැනද කතා නොකරම බැරි වෙන්නේ ඒ මගින් සෝනිලා කළ වික්‍රමාන්විත දේ බොහෝ නිසාය. සෝනි මියුසික් දෙවැනි වන්නේ ඇමරිකාවේ යුනිවර්සල් මියුසික් කම්පැනි එකට පමණෙකි. සංගීත රසාස්වාදය උදෙසා අලුත්ම මෙවලම් - ලෝකයට බිහිකළ සෝනි ආයතනය, අතිශය දැවැන්ත සංදර්ශන ආදී කටයුතුවලදී මෙන්ම සංගීත රසාස්වාදය උදෙසා වූ මහා පරිමාණ ව්‍යපෘති රැසකට දායකත්වය ලබාදුන් සමාගමකි. ඔවුනගේ ‘‘සෝනි පික්චර්’’ සාඩම්බර සිනමා නිෂ්පාදන ලෙසින් ස්පයිඩර් මෑන්, බ්ලැක් පැන්තර් ආදී ළමා ලෝකයේ සිනමා වීර චරිත මෙන්ම චිත්‍රපට නිෂ්පාදන අතරින් ජුමාන්ජි ඇතුළු නිෂ්පාදන වෙතින් ඉපයූ මුදල් සම්භාරය නම් සුළුපටු නොවේ. විශේෂයෙන්ම සෝනි, සිනමා කර්මාන්තයට අවතීර්ණ වූයේ ලෝ ප්‍රකට කොළම්බියා පික්චර්ස් පරයා යමිනි. ඉතින් එයම ඇති නේද, සෝනිලාගේ තාක්ෂණික හරඹයේ පැතිකඩ කෙතරම්ද කියා හුවා දැක්වීමට.   


‘‘සෝනි’’ සමාගමේ මේ කතාව අපි පටන්ගත් තැනින්ම නතර කරමු. දෙවැනි ලෝක යුද්ධයේ අළු මතින් පටන්ගත් ‘‘සෝනි’’ සතුරා - මිතුරා කරගෙන මුළු ලෝකයම කාටත් ගතහැකි වටිනාම දේ වෙන්නේ සද‌ාකාලීක වූ මිතුදමක් ඇතිකර ගැනීම හැර සද‌ාකාලීක හතුරුකමක් ඇතිකර ගතයුතු නොවේය යන්නය. ඒ නිසා තම තම හැකි පමණින් අලුත් අලුත් දේ තැනීම විනා, කෙනෙකු කළ දේ අනුකරණය නොකිරීම වග සිහිතබා ගන්න.

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ