පුහුණුවට අත දුන්නොත් තවත් පදක්කම් ගේන්නම්


දුර පැනීමෙන් නම තැබූ රිද්මා නිෂාදි

 

ක්‍රීඩා, නව නිර්මාණ වැනි අංශවලින් ජාත්‍යන්තර හපන්කම් දැක්වූ දරු දැරියෝ රැසක් මෙරට සිටිති. නිසි මග පෙන්වීමක් හා ඔවුන්ගේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා මූල්‍යමය දායකත්වයක් ලැබෙන්නේ නම් ඔලිම්පික් දක්වා යාහැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, නාසා ආයතනය දක්වා යා හැකි නව නිර්මාණකරුවන්ද මෙරටින් බිහිවනු ඇත. මේ ඔවුන් පිළිබඳ සොයා බැලීමකි.  


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දුර පැනීමේ ඉසව්වෙන් ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන රටේ පමණක් නොව ලෝකයේම නම තැබූ තරුණ ක්‍රීඩිකාවකි, රිද්මා නිෂාදි.   


ඇය ඇගේ හපන්කම් පිළිබඳ කතා කරන්නට ඉරිදා ලංකාදීපය සමඟ මෙසේ එක්වූවාය.   


- ක්‍රීඩාවේ ආරම්භය ගැන මුලින්ම කතා කරමුද?


පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලකින් තමයි මම මුලින්ම ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නෙ. මා උගත් මුල්ම පාසල තමයි බටපොළ කල්‍යාණතිස්ස විද්‍යාලය. ඒ පාසලෙන් ක්‍රීඩා දිවිය ආරම්භ කරපු මම ඒ දක්ෂතාව නිසා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ 8 වසරෙදි. දුර පැනීමට තමයි මගේ දක්ෂතාව තිබුණෙ. පාසලේදී ඒ හරහා ජයග්‍රහණ කිහිපයක්ම ලබාගන්නට සමත් වුණා.   


මම පාසලේදී නියෝජනය කළේ විජය නිවාසය. වර්ණය වුණේ තැඹිලි. ඉතින් මගේ නිවාසය දිනවන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ මගේ තනි ජයග්‍රහණයටත් වඩා.   


- ඉතින් නිවාසය ජයග්‍රහණය කරවන්න මොන වගේ දේවල්ද කළේ?  


අපිට තනිව නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් කරන්න තිබුණෙ 2017 වසරෙ. ඉතින් මගේ නිවාසය වෙනුවෙන් මම ගොඩක් දේවල් කරලා තියෙනවා. මතකම සිදුවීමක් විදියට නම් තියෙන්නෙ අවුුරුදු ගණනාවක්ම එක දිගට මගේ නිවාසය සිව් වැනි ස්ථානය ලබාගත්තෙ. නමුත් එක් වතාවක මට ඒ දේ වෙනස් කරලා පළමු තැනට ගේන්න ලැබුණා මගේ නිවාසය. ඒ ලකුණු 4 ක් මදිව අන්තිම වෙලා තිබුණු මගේ නිවාසයට ධාවන ඉසව්වෙන් ලකුණු 4 ක් අවසානයේ ලබාදීලා.   


ඉතින් නිවාසයේ හැමෝටම හරිම සතුටුයි. මොකද අවුරුදු 32 කට පස්සේ තමයි එවැනි ජයග්‍රහණයකුත් හිමි වුණේ.   


- ඔබේ නිවාසයට පමණක් ජයග්‍රහණ ලබාදීලා ඔවුන් සතුටු කරපු ඔබ පාසල වෙනුවෙනුත් ලොකු ජයග්‍රහණ ලබා දුන්නා?  


ඔව්. මම පාසලේ මගෙ නිවාසයේ පමණක් නෙමෙයි. පාසලේම ක්‍රීඩා නායිකාව ලෙසත් කටයුතු කළා. පාසල තුළ ජයග්‍රහණ ලබාගෙන අවුරුදු ගණනාවක්ම පාසලේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණා. 2017 සහ 2018 වසරවල දකුණු පළාතෙ දක්ෂතම ක්‍රීඩිකාවත් වුණා.   


- ඔබ ලැබූ ජයග්‍රහණ ගැන කියමුද?   


2013 සිට 2018 දක්වා දුර පැනීමෙන් පළමු ස්ථානයේ ජයග්‍රහණ කිහිපයක්ම ලබාගෙන තියෙනවා. දුර පැනීමට අමතරව මම තුන්පිම්මත් අමතර විදියට කරනවා. 2016 වසරේ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගවාලියෙන් තුන්පිම්ම දුර පැනීම පළමු ස්ථානයත්, දුර පැනීම පළමු ස්ථානයත් ලබාගත්තා.   


ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ තරගාවලි කිහිපයකින්ම ඒ විදියෙ ජයග්‍රහණ ලැබුවා. එහිදී වාර්තා පිහිටුවීමටත් සමත් වුණා. ඊට අමතරව වියට්නාම හෝචිමින් නගරයේ ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලේදී දුර පැනීම තෙවන ස්ථානයත් 2018 ජපානයේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා දුර පැනීමෙන් 6 වැනි ස්ථානයත් දිනාගත්තා.   


2015 තායිලන්තයේ පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් දුර පැනීම ප්‍රථම ස්ථානය දිනාගෙන වාර්තාවක් පිහිටුවන්නත් සමත් වුණා. ඒ වගේ ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා.   


- මුලින්ම පදක්කමක් ලැබුණු මොහොතෙ දැනුණු හැඟීම කොහොමද?   


මම පොඩි කාලෙ පාසලේ අනිත් අය මෙඩ්ල්ස් ගන්නකොට මටත් ආසා හිතුණා තරගයකින් දිනලා මටත් මේවගේ තිබුණනම් හොඳයි කියලා පොඩි තරගාවලියකින් හරි දිනන්න. පස්සෙ මටත් දක්ෂතාවක් තියෙනවා කියලා තේරුණානෙ. මටත් ඒ හිතුවා වගේම මෙඩ්ල් ගන්න හැකියාව ලැබුණා.   


ඒ ගත්තු මුල්ම දවසෙ ඉතින් හරි සතුටුයි. ඒ මොහොතෙනම් හිතුණෙ ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න ඕනෑ කියන දේ. එදා ඒ හිතපු දේ අද වෙද්දී ඉෂ්ට වෙලා තියෙනවා.   


- මෙතෙක් සම්බන්ධ වුණු තරගවලින් අමතක නොවනම තරගය?   


එකක් කියලා විශේෂයෙන් කියන්න බෑ. සම්බන්ධ වුණු ගොඩක් තරගාවලිවල මම දක්ෂතම ක්‍රීඩිකාව වුණා. ඒ තරගාවලිවල මතකයන් හරි සුන්දරයි. විදේශවල පැවැත්වෙන තරගාවලිත් ඒ වගේමයි. ඊට අමතරව දැන් අවුරුදු 9 ක් වගේ ප්‍රධානම තරගාවලිවලින් දිවයිනෙන්ම දක්ෂතම ක්‍රීඩිකාව වෙලා තියෙනවා. ඒ හැමදේම අමතක නොවනම දේවල් තමයි.   


- ක්‍රීඩාව වෙනුවෙන් මොන වගේ කැපකිරීමක්ද කරන්නෙ?   


ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතේ සමහර අවස්ථාවලට යන්න මට නොහැකි වෙනවා බොහෝ දුරට. මොකද පුහුණුවීම් වෙනුවෙන් මම කැපකරන්න ඕනෑ නිසා. ඒ නිසා ගොඩක් දේවල් මඟ ඇරෙනවා ජීවිතේ.   


මොකද දවසකට පුහුණුවීම්වලට යන්න එන්නම පැය 3 ක් 4 ක් ගතවෙනවා. මේ දේවල් දිගටම කරගෙන යන්නත් ඕනැනෙ.   


- තරගයකට සූදානම් වෙන්නෙ කොහොමද?   


මගේ පුහුණුකරු එක්ක කතා කරගෙන අවශ්‍ය විදියට පුහුණුවීම්වල යෙදෙනවා. පාසල් මට්ටමේ තරගාවලි වගේ​ නෙමෙයි අනෙකුත් තරගාවලි. විශේෂ සූදානමක් තියෙන්න ඕනෑ. ඉතින් පුහුණුකරු හදලා දෙන වැඩසටහන එක්ක තමයි අපි පාලනය වෙන්නෙ.   


- ඉදිරියටම යන්න දිරිමත් කරන්නෙ කව්ද?   


පොඩි කාලෙ ඉඳන්ම මගෙ තාත්තා තමයි මගෙ පස්සෙන් ඉන්නෙ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනැ. ඒ වගේම අම්මත් මගෙ අයියලා දෙන්නත් උදව් කරනවා. විශේෂයෙන්ම පුහුණුකරු චන්දිමාල් නිරෝෂණ සර් මට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. මම මලල ක්‍රීඩා පටන්ගත්තු කාලෙ ඉඳන්ම බටපොළ CJ සමූහ ව්‍යාපාරය මගෙ ගමනට ලොකු ශක්තියක් වුණා. ඊට අමතරව පාසලේ වර්තමාන විදුහල්පතිවරයා ඇතුළු හැමෝමත් ආදරෙන් මතක් කරන්න ඕනැ.   


මම තරගවලින් ජයග්‍රහණය ලබාගත්තම පාසලේ මම වෙනුවෙන් උත්සව පවත්වලා රතු පලස් මතින් තමයි මාව පිළිගත්තෙ. ඇත්තටම ඒවගේ ඇගයීම් ලැබෙද්දි හරි සතුටුයි.   
මම මුලදි ගොඩක් අඩු පහසුකම් සහිත පාසලකට ගියේ. ඉතින් අද ඉන්න තැනට එන්න වර්තමාන ධර්මාශෝක විද්‍යාලය ගොඩක් උදව් කළා. මුල් පාසලේ හිටියනම් මට මේ තත්ත්වයට එන්න ගොඩක් අමාරුවෙන්න තිබුණා.   


මොකද මම ඒ වෙද්දි දැන් තියෙන තරගාවලි ගැනවත් අවබෝධයක් තිබුණෙ නෑ. දැන් තරගවලට මුහුණ දෙද්දී තමයි තේරෙන්නෙ මේ හැමදේ ගැනම.   


- ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉඳලා ජයග්‍රහණය කරන්න නොහැකි වූ තරග තියෙනවද? 

 
තරගයක් අවසන් වනතුරු අපිට කියන්න බෑ මොනවා වෙයිද කියන දේ? මම දිගටම ගොඩක් තරගාවලිවලින් පළමු ස්ථාය දිනාගත්තා. එහෙත් දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියෙ ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තිබුණා මට ජයග්‍රහණ ලබාගන්න. මගෙ ජයග්‍රහණය ගොඩක් දෙනා බලාපොරොත්තු වුණා. නමුත් කකුලෙ එක පාරටම ආපු ආබාධයක් නිසා මට ජයග්‍රහණය කරන්න නොහැකි වුණා. දෙවන ස්ථානය ලැබුණෙ. ඒත් ඉතින් ජය පැරදුම සාමාන්‍යයිනෙ. ඒ ගැන වැඩිය හිතු​ෙව නෑ. ඒක එක් තරගාවලියක් විතරයි කියලා හිත හදාගෙන ඉදිරි තරගාවලිවලට පුහුණුවීම් කරපු එක තමයි කළේ.   


- ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ලැබිය යුතු ​දේවල් ඇති?   


බටපොළ CJ සමූහ ව්‍යාපාරය තමයි මට උදව් කළේ ඉදිරියට යන්න. පාසලෙනුත් උදව් කරලා තියෙනවා. නමුත් තවත් ඉදිරියට යන්න අමාරුයි උදව් නැතිව. අපි පුහුණුවීම් කරන තැන වුණත් අඩුපාඩු තියෙනවා. ඒවා හදාගන්න පුළුළුන් වුණොත් මීට වඩා ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙයි. මොකද අපිට මේ වෙද්දී ජිම් එකක්වත් නෑ.   


මගෙ තාත්තා තමයි ඉතින් හැමදේටම තවමත් උදව් කරන්නෙ. තාත්තා වඩු කාර්මිකයෙක්. දැන් තාත්තාත් ටිකක් වයසයි. ඒ නිසා තාත්තාට මේ හැමදේම හොයලා බලන්න ටිකක් අමාරුයි. මොකද මට පවුලෙ තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඒ හැමෝ ගැනම බලන්න ඕනැ තාත්තානෙ. මගේ අයියලා දෙන්නගෙනුත් උදව් ලැබෙනවා. ඒත් ඉදිරියට යන්න උදව්වක් ලැබුණොත් හොඳයි.   


- නිෂාදිගෙ ඉලක්කය මොකක්ද?   


මේ අවුරුද්දෙන් මගෙ කනිෂ්ඨ තරගාවලි ඉවරයි. ලබන අවුරුද්දෙ ජ්‍යෙෂ්ඨ තරගවලට සූදානම් වෙන්න ඕනෑ. ඒ තරගවලට මුහුණදීලා ඒවා ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව. එතැනින් පසුව 2020 ඔලිම්පික් යෑම තමයි. ඒවට සූදානම් වෙනවා.   


- ඉවෙන්ට් එක පැත්තෙන් අභියෝග නැද්ද?   


ලබන වසරෙ සිට මට තරග කරන්න තියෙන්නෙ මට වඩා වයසින් වැඩි අයත් එක්ක. කනිෂ්ඨ තරග ඉවරයිනෙ. ඉතින් ඊළඟට තරග කරන්න ඉන්නෙ අක්කලා නිසා මීට වඩා දෙයක් කරන්න වෙනවා. ඒ අය තමයි මට දැන් අභියෝගයක් වෙලා ඉන්නෙ. ඒ නිසා ඒ අයත් එක්ක කරට කර තරග කරන්න ගොඩක් දේවල් ඉදිරියට කරන්න වෙයි.   


- ක්‍රීඩාවට අමතරව නිෂාදිට තියෙන දක්ෂතා මොනවද?   


මට සාමාන්‍යයෙන් සින්දු කියන්න පුළුළුන්. මම ගිය අවුරුද්දෙ තමයි A/L කළේ. ඒ කලා අංශයෙන් විෂයක් විදියටත් මම සංගීතය හැදෑරුවා. අමතර දක්ෂතාවයකට තියෙන්නෙ ඒ දේ තමයි.  

 

 

 

සටහන :  ධනු විජේරත්න