පුරාවිද්‍යාඥයන් මවිතකරන මහා තලාකොළවැවේ සොයා ගැනීම්


 

උතුරු මැද පළාතේ පිහිටි පොළොන්නරුව දිස්ත්‍රික්කය රාජධානි මාරුවීමේ පුරාවතේ දෙවැනි ස්ථානය ගත්තේය. බුදු පිළිම, ප්‍රතිමා, ගංගා, උයන්, පොකුණු හා විවිධ ගොඩනැගිලිවල නෂ්ඨාවශේෂ සහිත පොළොන්නරුව පුරාණයේ පැවැති සශ්‍රීකත්වය නිරූපණය කරන්නේය. එවන් වූ ඓතිහාසික වටිනාකමක් සහිත පොළොන්නරුවේ කාලයේ මන්තලාවෙන් වැසීගිය පුරාණ අගනාකම් බොහෝය.


මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මහා තලාකොළවැව පුරාණ විහාරයත් එවැන්නකි. හිටි බුදුපිළිමය, පබළු, චීන පිඟන් භාණ්ඩ, යකඩ කර්මාන්තයේ නෂ්ඨාවශේෂ ආදී බොහෝ කෞතුක වස්තු ඇති එම පුණ්‍ය භූමිය මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම්වලට බඳුන්වී ඇත.


ඒ නිසාම එහි ඇති පුරාවිද්‍යාත්මක අගනාකම් පිළිබඳ කතා කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සම්බන්ධ කර ගත්තෙමු.


මහා තලාකොළවැව පුරාණ විහාරයේ හමුවූ නෂ්ඨාවශේෂවල ඓතිහාසික වැදගත්කම කුමක්ද?


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ මහා තලාකොළවැව ගමේ මේ පුරාණ විහාරය පිහිටලා තිබෙනවා. මේ පුරාණ විහාරය පිළිබඳව ඉතා වැදගත් මතයක් ජනප්‍රවාදයේ පැවත එනවා.


මේ ස්ථානයට කිලෝ මීටර් දහයක් පමණ දුරින් බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර ඇති සෝමාවතී චෛත්‍යය පිහිටලා තිබෙනවා.


ජනප්‍රවාදයට අනුව කියවෙන්නේ එම දකුණු දළදාව සෝමාවතී චෛත්‍යයේ තැන්පත්කිරීමට පෙර මහා තලාකොළවැව ප්‍රතිමා ගෘහයේ තැන්පත් කර තිබූ බවයි.


මේ කාරණයත් පදනම් කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මහා තලාකොළවැව පුරාණ විහාරයේ ප්‍රතිමා ගෘහය කැණීම් කිරීමක් හා ඒ අවට ගවේෂණය කිරීමේ කටයුත්තක් මාසයකට උඩදී ආරම්භ කළා. එම කැණීමෙන් ඉතිහාසය පිළිබඳ සාක්ෂි විශාල ප්‍රමාණයක් අපට ලැබුණා. විශේෂයෙන්ම මෙම කැණීමෙන් අඩි 08 ක් පමණ උස හිටි බුද්ධ ප්‍රතිමාවක් සොයාගත හැකිවුණා.


ඒ වගේම කැණීමේ පහළම පස් තට්ටුවේ තිබූ අවශේෂ අතර කළු සහ දුඹුරු වර්ණයේ මැටි කැබලිති ක්‍රිස්තු පූර්ව පළවැනි හා දෙවැනි සියවස්වලට අයිති බව පෙනී ගියා.


මීළඟට නව වැනි හා දහවැනි සියවස්වලට අයිති චීන රටේ නිෂ්පාදනය කර ඇති කොළ පාට වර්ණයෙන් ඔප දැමූ පිඟන් භාණ්ඩවල කැබැලි කීපයක් ද මෙහි තිබී සොයා ගත්තා.


මේ වළන් කැබලිති දෙවර්ගයම මෙහි ඉතිහාසය තහවුරු කිරීමේදී ඉතාම වැදගත් සාක්ෂි වෙනවා.


විදේශික භාණ්ඩ සීගිරිය, පොළොන්නරුව වැනි ස්ථාන වලින් ලැබිලා තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසට අයත් මැටි කැබලිති අනුරාධපුරය, තිස්සමහාරාමය වැනි තැන්වලින් ලැබිලා තිබෙනවා. මේ නිසා ඉතා පැහැදිලිවම අපට කියන්න පුළුවන් මහා තලාකොළවැව දීර්ඝම ඉතිහාසය ක්‍රිස්තුපූර්ව පළවැනි සියවසෙන් ආරම්භ වෙන බව.


මේ ඓතිහාසික සාක්ෂි අනුව දකුණු දළදාව තැන්පත් කිරීම සම්බන්ධයෙන් එන ජනප්‍රවාදය බැහැරකිරීම කළ නොහැක්කක්. යම් කිසි සබඳතාවක් එහි තිබෙන බව මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යනවා.


මීළඟට අපට තවත් පුරාවිද්‍යාත්මකව වැදගත් වන සාක්ෂි කීපයක් ලැබෙනවා. එනම් අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරවලින් යකඩ නිෂ්පාදනය කිරීම පිළිබඳ සාක්ෂි ලැබී තිබෙනවා. මහාතලාකොළවැවේ පුරාණ විහාරයෙන්ද යකඩ නිෂ්පාදනයට ගන්නා යබොර කැබලි හමුවුණා. එයින්ද ඔප්පු වෙන්නේ එම ස්ථානය නිෂ්පාදන ක්‍රියාවලියක යෙදුණ බව.


මේ අනුව ආගමික පුනර්ජීවනය පිළිබඳ තොරතුරු මෙන්ම ආර්ථික නිෂ්පාදනය පිළිබඳ තොරතුරුත් අනාවරණය වෙනවා.
ඒ වගේම මෙම කැණීම්වලින් හිටි බුදු පිළිමයේ පද්මාසනයේ කොටස්, පද්මාසනයට යටින් තිබූ යන්ත්‍රගලේ කොටස්, පබළු වර්ග, ගොඩනැගිල්ලේ තිබූ උළු කැබලි ආදී බොහොමයක් දේ අපි සොයා ගෙන තිබෙනවා.


මෙහි ඇති ප්‍රතිමාව පොළොන්නරු යුගයේ දහවැනි සියවසට පමණ අයිති බවයි පෙනී යන්නේ.


සමස්ත විහාරස්ථානය ගවේෂණය කරන විට නෂ්ඨාවශේෂවූ ස්ථූපයක කොටස්, ප්‍රතිමා ගෘහය ඇතුළු අනිකුත් ගොඩනැගිලි වටකර තිබූ ප්‍රාකාරයක කොටස් ආදී දේවලුත් සොයා ගත හැකිවුණා.


මේ අනුව බලන විට මහා තලාකොළවැව පුරාණ විහාරය ඉතාම වැදගත් වගේම විශාල විහාරස්ථානයක් බව පෙනී යනවා. සමස්තයක් වශයෙන් ගත් කල මහා තලාකොළවැව විහාරභූමියේ සිට දකුණු දළදාව තැන්පත් කර ඇති සේමාවතී චෛත්‍යයට තිබෙන්නේ කිලෝමීටර් අටක් වැනි දුරක්. අනිත් පැත්තෙන් මෙයට ඉතාම සමීප ස්ථානය වෙන්නේ මැදිරිගිරිය වටදාගෙය සංකීර්ණය. සෝමාවතී චෛත්‍යයත් මැදිරිගිරිය වටදාගෙයත් අතර මධ්‍ය ප්‍රදේශයකට වී පිහිටි මහතලාකොළවැව පුරාණවිහාරය ඉතිහාසයේ මහා විශාල කාර්යභාරයක් සිදුකළ ස්ථානයක් බව නිගමනය කළ හැකියි.


අපේ මීළඟ අභිප්‍රාය වන්නේ මෙම ප්‍රතිමාගෘහය සංරක්ෂණ ක්‍රම භාවිත කර ආරක්ෂා කිරීම හා ප්‍රතිමාව සංරක්ෂණ ක්‍රමවලට අනුව නගාසිටුවා පුරාවිද්‍යා භූමියක් ලෙස පරිවර්ථනය කිරීම.


මහතලාකොළවැව පුරාණ විහාරයෙන් හමුවූ පිඟන් කැබලිවලින් කිවහැකි විදේශ සබඳතා පිළිබඳ කතා කළොත්.?
ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කතා කරනකොට පසුගිය සතියේ ත්‍රිකුණාමලය පැරණි ගෝකන්නතිත්ත වරාය හා සම්බන්ධ වරාය නගරයක් පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගත්තා. ඒ කැනීම් හා ගවේෂණ තුළින් සොයා ගත්ත තොරතුරුවලට අනුව පුරාතනයේ පොළොන්නරු ශිෂ්ටාචාරය ගෝකන්නතිත්ත වරාය හරහා විශාල ආර්ථිකමය කාර්යභාරයක් සිදුකර තිබෙනවා. ඒ තුළ ජාත්‍යන්තර වෙළෙඳාම හා හුවමාරු කරගත් භාණ්ඩ පිළිබඳ තොරතුරුත් අනාවරණය වෙනවා. වර්තමාන ත්‍රිකුණාමලය ලෙස හඳුන්වන පැරණි ගෝකන්නතිත්ත වරාය හරහා හුවමාරු කරගත් භාණ්ඩයි රට අභ්‍යන්තරයට ගෙනාවේ. චීනය, පර්සියාව වැනි රටවල්වලින් විදේශික පිඟන් භාණ්ඩ ගෙන්වූ බව පොළොන්නරුවෙන් හමුවුණු ඓතිහාසික සාධකවලින් ඔප්පු වෙනවා. ඒ වගේම සෙවී ඇති රෝම කාසිවලින් පෙන්නුම් කරන්නේ එකල විශාල ජාත්‍යන්තර සබඳතා ජාලයක් තිබුණ බවය. ඒ අනුව මහතලාකොළවැවෙන් ලැබුණු චීන පිඟන් භාණ්ඩවලින් පෙනී යන්නේද ගෝකන්නතිත්ත වරාය හරහා මෙරටට ගෙන්වූ පිඟන් භාණ්ඩ යම්කිසි පරිත්‍යාගශීලී කණ්ඩායම් විසින් විහාරස්ථානයට පරිත්‍යාග කළ බව. සීමිත කැණීම් භූමියක් පදනම් කරගෙනයි අපි මේ අදහස් ප්‍රකාශ කරන්නේ.


මහාතලාකොළවැවෙන් හමුවුණු යබොර කැබලිවලින් ඔප්පු කළ හැකි යකඩ නිෂ්පාදනය පිළිබඳව සඳහන් කළොත්?
ක්‍රිස්තු පූර්ව පළවැනි සියවසට අයිති තොරතුරු මෙම පුරාණ විහාරයෙන් ලැබිලා තිබෙනවා. යකඩ යුගය ලෙස හඳුන්වන්නේ ක්‍රි.පූ. 8 හා 9 වැනි සියවස්. එහි පරිණත අවධිය වෙන්නේ ක්‍රිස්තු පූර්ව එක හා දෙක සියවස්. මේ කාලය ඉතිහාසයේ විශාල ස්වර්ණම අවධියක් ලෙසයි අපි දකින්නේ. ඒ අවස්ථා ලංකාවේ හුඟක් ස්ථානවලට විහිදී ගිහින් තිබෙනවා. ගොඩාක් විහාරස්ථානවලින් ඊට සාක්ෂි ලැබෙනවා. ඉන් කියවෙන්නේ එකල බෞද්ධ විහාරස්ථාන ආර්ථිකමය කටයුතුවලටත් උපදේශකයන් වී ඇති බව. 
ඒ අනුව මහාතලාකොළවැව පුරාණ විහාරයත් යම් කිසි ආර්ථික කටයුත්තකට දායකවී ඇති බව ප්‍රකාශ කළ හැකියි.

සටහන :
කුමාරි හේරත්