පිළිකා මාරයාට බිලි වූ තුරුණු ක්‍රීඩිකාව


ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ උපනායිකා මෙලනි ඉකුත්දා අප හැරගියා   

 

 

‘‘ප්‍රථම ස්ථානය ලබාගන්න අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ. ඒත් සිංගප්පූරුව සමග පැවැති තරගයේදී පරාජය වුණා. එහෙම වුණා කියලා අපි අපේ බලාපොරොත්තු අත්හැරියෙ නැහැ. තුන් වැනි ස්ථානය ලබාගැනීමට අපට හැකි වුණේ ඒ නිසයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මට හැකි උපරිම දෙයක් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙතෙක් කාලයක් මගෙන් ඉටුවූ සේවය මීට වඩා ඉදිරියේදී රට වෙනුවෙන් ලබාදීම මගේ අරමුණයි. ’’


පසුගියදා ජපානයේදී පැවැත්වූ ආසියානු කනිෂ්ට දැල්පන්දු ශූරතා තරගාවලිය අවසන ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ උප නායිකාව වූ මෙලනි විජේසිංහ අදහස් ප්‍රකාශ කළේ එලෙසිනි. නව යොවුන් වියේ පසුවූ මේ අපූරු ක්‍රීඩිකාව ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු ක්ෂේත්‍රයට දායාදවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවක බවට පත්ව සිටියේ වයස අවුරුදු 18 සපිරීමට පෙරදීය. 


අඩි 6 ක් සහ අඟල් 3 කින් උස්වූ මේ යෞවනිය නම් දරා සිටියේ හොඳම පන්දු විදින්නිය ලෙසය. එය මාතෘ භූමියට පමණක් සීමා නොකළ මේ හපනිය හට පසුගියදා ජපානයේදී නිමාවූ ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය අවසන ආසියාවේ හොඳම පන්දු විදින්නිය ලෙස ස්ථානගත වීමට හැකි වූවාය. 


ජාත්‍යන්තර තලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක සතු ඉහළ දක්ෂතා ඇය පෙන්නුම් කළේ බාලිකා වියේදීමය. 2017 බොට්ස්වානාහි පැවැති කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කරන විට ඇය පසුවූයේ 15 වැනි වියේය. ඇය කෙතරම් නම් හපනියක්ද යනවග කීමට ඒ කරුණු හොඳටෝම ප්‍රමාණවත්ය. 


පසුගියදා පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ මේ දීප්තිමත් දැල්පන්දු ක්‍රීඩිකාවගේ ජීවිත පහන නිවී ගියේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි. එය සැබැවින්ම අැදැහිය නොහැකි තරම් ආරංචියක්ම විය. ගහක් ගලක් මෙන් සිටි ඇයට මේ කුමක්ද සිදුවූයේ යන්න සැබැවින්ම බොහෝදෙනා තවමත් සිටින්නේ අදහාගත නොහැකි වික්ෂිප්ත බවකිනි. 


දැයට විශිෂ්ටතම දියණියන් නිරන්තරයෙන් බිහිකරන කොළඹ විශාඛා විද්‍යාලයේ ආචාර්ය මඩුල්ලට පමණක් නොව සමස්ත විශාඛා බාලිකාවන් හට මෙලනි මියගිය පුවත ගෙන දුන්නේ අතිශය ශෝකාකූල බවකි. 


​මෙලනි යනු විශාඛා මාතාවගේ තවත් විශිෂ්ටතම දියණියක වීම ඊට හේතුවය. පාසලේ දැල්පන්දු කණ්ඩායමේ සිටි අසහාය ක්‍රීඩිකාවක වීම පමණක් ඊට හේතුව නොවීය. 
පසුගිය වස​රේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇය සමත් වූයේ විශිෂ්ට සාමාර්ථ 8 ක් (A) සහ එක් (B) සාමාර්ථයක් සමගය. ක්‍රීඩිකාවක ලෙස ජය පරාජය උපේක්ෂාවෙන් දරාගත හැකි චරිතයක් වුවද, මෙලනි ප්‍රතිඵල ආ දින වාවාගත නොහැකි තරමේ දුකකින් පසුවූයේ විශිෂ්ට සාමාර්ථ 9 ක් තම විශාඛාවට ලබාදීමට නොහැකිවීම නිසාය. ඇයට ඇයගේ පුද්ගලික ජයග්‍රහණයන්ට වඩා විශාඛා මාතාව ගැන තිබුණේ අපමණ අගයකි. ඇය එදා එලෙසින් දුක්වූයේ එනිසාමය. 
මට තවත් ඒ එකක් තිබුණේ නම් මගේ පාසලට කොච්චර හොඳද? ඇය කියා සිටියේ එලෙසිනි. 


එසේ වූ මේ යුවතිය උසස් පෙළ සඳහා තෝරාගත්තේ ජීව විද්‍යා අංශයයි. වෛද්‍යවරියක ලෙස අනාගතයේ කටයුතු කිරීම මෙලනිගේ ඒකායන අරමුණ විය. ඊටද ඇයට හේතුවක් තිබිණි. 


අනිවාර්යයෙන් මම වෛද්‍යවරියක වෙනවාමයි, ඒ වෙන කිසිදෙයක් නිසා නෙවෙයි, මට මගේ අම්මටයි - තාත්තටයි එකම මල්ලිටයි සලකන්න ඕනෑ. 
ඒ උදාර සිහිනයේ වෙළී සිටි මෙලනි තම ජීවිතයට අත්වෙන්නට යන ඉරණම ගැන කිසිදු අයුරකින් දැනනොසිටියාය. ඇය උපත ලැබුවේ කිරිඳිවැල ප්‍රදේශයේදීය. මෙලනිගේ පියා ධම්මික නිශාන්ත ශ්‍රී ලංකා යුද හමුදාවේ පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර යුද හමුදා නිලධාරියකු ලෙස ඔහු සේවය කළේය. මෙලනිගේ මව රැකියාවක් නොකරන අතර මෙලනිට සිටින්නේ එක් බාල සහෝදරයකු පමණකි. කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු පාසලේ පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. 
මෙලනිගේ නැන්දා වන්නේ නිරෝෂනී සමන්දිකාය. ඇය ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක වන අතර වත්මනෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය. 


පවුලෙන් උරුමකරගෙන ආ ඒ ආභාසය ඇතිව ක්‍රීඩාවේ නියැළී සිටි මෙලනි කොළඹ විශාඛාවට ඇවිත් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළාය. ඇයගේ නැන්දා වන ප්‍රවීණ දැල්පන්දු ක්‍රීඩිකා නිරෝෂනී සමන්දිකා ඥාති දැරිය ගැන මතක අවදි කළේ මෙලෙසිනි. 


මේ දියණිය හරිම හොඳ දරුවෙක්. එයාගේ එකම අධිෂ්ඨානය වුණේ අම්මා - තාත්තාට සැලකීමයි. කොළඹ විශාඛාවට ඇතුළත් වුණාම ඒ දරුවා පුදුම මහන්සියක් වුණේ. උදේ පාන්දර පහට විතර කිරිඳිවැල ඉඳලා බස් එකේ ඇවිත්, පාසලේදී විෂය කටයුතු ඉතා හොඳින් කරලා, ඊට පස්සෙ පුහුණුවීම්වල යෙදුණා. නැවත ගෙදර එනකොට රාත්‍රී දහයත් පහුවෙනවා. මේ වගේ දුෂ්කර ගමනක් ඇය ආවෙ. ඒ විදියට කැපකිරීම නිසා කවදාහරි එයාට එයාගේ ඉලක්කයට යන්න පුළුවනි කියලා එයා විශ්වාස කළා. 
මගෙන් පසුව අපේ පවුලෙන් තවත් කෙනෙකු ශ්‍රී ලංකා දැල්පන්දු ක්ෂේත්‍රයට දායද වේවි යැයි මා විශ්වාස කළා. මේ දියණිය ඒ කාලයේ පිහිනුම් ක්‍රීඩාවටත් දක්ෂයි. අපේ රටට නැතිවුණේ ලොකු සම්පතක්. 


එවන් වූ දැයේ දක්ෂ දියණියකට සිදුවූයේ කුමක්ද? ඒ ගැන මෙලනිගේ පියා වන ධම්මික නිශාන්ත කීවේ මෙලෙසිනි. 


‘‘කුඩා කාලයේදීවත් දියණියට කිසිම අසනීප තත්ත්වයක් තිබුණෙ නැහැ. ඒ වගේම පවුලේ කාටවත් රෝග තිබුණෙ නැහැ. මෑත කාලයේදී එයාගේ එක් අතක රිදීමක් වෙලා තියෙනවා. දැල්පන්දු ක්‍රීඩා කරන නිසා එහෙම වෙන්නැති කියලයි අපි හිතුවෙ. පසුව එයාගෙ ඇටමිදුලු පරීක්ෂාවක් පවා කළා. ඒ සියලු පරික්ෂණ වාර්තා වලින් නරකක් කියැවුණේ නැහැ. පසුගිය අ​ගෝස්තුවේදී අන්තර්පාඨශාලා තරග පටන් ගත්තාම එයා පාසල නියෝජනය කරමින් තරගවලට සහභාගී වෙමින් සිටියෙ. එක්වරම අසනීප වෙලා තියෙන්නෙ තරගයකට සහභාගී වෙමින් සිටියදීයි. 

 

 

ලේ පරීක්ෂා කළාම හිමෝග්ලොබින් සෘණ මට්ටමට ඇවිත් සුදු රුධිරාණු වැඩිවෙලා කියලා දැනගන්න ලැබුණා. පසුව වෛද්‍ය පරීක්ෂණ වාර්තා වලින් කියැවුණේ දුව ලියුකේමියා රෝගී තත්ත්වයට මුහුණදී සිටින බවයි. අපේ පරම්පරාවේ කාටවත් මෙවැනි රෝගී තත්ත්වයක් තිබුණේ නැහැ. මේ ඔක්කෝම දැනගෙන මාස තුනක් යාමට පෙර දුව අප හැර ගියා. 
එයා මට කියලා තිබුණෙ තාත්ති, මම කවදාහරි රටේ හොඳම දැල්පන්දු ක්‍රීඩිකාවක් වෙලා, ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කරනවා කියලයි. ඒ වගේම දුවගෙ ඒකායන අරමුණ වුණේ වෛද්‍යවරියක වීමයි. අනිවාර්යයෙන්ම ඒ ඉලක්කයට යා හැකි දක්ෂතා ඇයට තිබුණා. මේ ලෙඩේ සනීප කරගෙන අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි හොඳින් කරන බවත් ඇය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී කිව්වා.’’ 


මෙලනිගේ පියා වන ධම්මික නිශාන්ත දියණියගේ අහිමි වීම මොහොතකට අමතක කොට, කඳුළු වරුසාව නෙත් අග රඳවා ගෙන අපට අදහස් ප්‍රකාශ කළේ එලෙසිනි. මෙලනිගේ පියා මෙන්ම මව සහෝදරයා පමණක් නොව, අනෙකුත් සියලුදෙනා මෙලනි ඔවුන් හැර ගියා යැයි තවමත් විශ්වාස නොකරන්නේ හිටිහැටියේ වූ මේ විපත අදහාගත නොහැකි වූ නිසාවෙනි. 


‘‘දියණිය අසනීප වූ මොහොතේ සිට කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු සමස්ත ආචාර්ය මඩුල්ලත්, සමස්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසත් ලබාදුන්න දායකත්වය මිල කළ නොහැකි දෙයක්. දියණියගේ ජීවිතය බේරාගන්න විශාඛා විද්‍යාලයේ සමස්ත කැපවීම උපරිමයෙන් ලබාදුන්නා. විශාඛාවේ ඉගෙනගත් වෛද්‍යවරියන් පවා ඉදිරිපත්ව සිටියා. විදුහල්පතිනිය අවිරුප්පොළ මහත්මිය වගේම දැල්පන්දු අංශය බාර රුචිරා ගුරුතුමිය අපට බොහෝ උදව් උපකාර කළා. සත්‍යවශයෙන්ම දියණියගෙ ජීවිතය බේරාගන්න විශාඛාව දැරූ ප්‍රයත්නය මේ මොහොතේ අපි අගය කළ යුතුමයි.’’ 


තම ලේ ධාතුවෙන් උපන් දියණියගේ අහිමි වීම ආත්මයෙන්ම දරාගත නොහැකි වුවද මෙලනිගේ පියා මේ මොහොතේ එසේ කෘතගුණ සැලකීමටද අමතක නොකළේය. 
මාරයාට වේලාවක් තැනක් නැතැයි අපි දකිමු. එහෙත් මාරයාගේ මේ ඩැහැගැනීම මිනිසුන් හැටියට කෙසේ නම් දරාගත හැකිද? එහෙත් උපන්නොත් මියෙන බව සැබෑය. එය යන්න හොඳින්ම නිශ්චිතවම දන්නා අප එය විඳදරා ගත යුතුම වේ. 


මෙලනි විජේසිංහගේ නික්මයාමෙන් ලක් මාතාවට අහිමි වූවේ අනාගත වෛද්‍යවරියක මෙන්ම රටට කීර්තියක් ගෙනදීමට සිටි ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවකි. මෙලනි  ලක් මාතාවගේ ආදරණීය දියණිය, උපදින කිසිදු ආත්මයකදී යළිත් මෙවන් අකල් මරණයකට පත්නොවේවා. 

 

 

සටහන - සඳුන් ගමගේ