පිරිමින්ගෙන් බැටකන කාන්තාවෝ


 

  • පවුල් ජීවිතය අවුල්වීම හා අනියම් සබඳතා නිසා කාන්තාව අමාරුවේ වැටෙනවා   

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබූ මාර්තු මාසය ඇරඹුණේ අනියම් ඇසුරක් කෙළවර කරමින් සිය අනියම් බිරිඳ නොහොත් පෙම්වතිය ඝාතනය කර ඇගේ හිස සිඳ, කඳ පමණක් බෑගයක අසුරා කොළඹ වේල්ල විදියට ගෙනවිත් දැමු පෙම්වතෙකු පිළිබඳ කතාවත් සමගය.   


මෙම කාන්තා මළ සිරුර හමුවීමත් සමග ඇයගේ හිස නොවුයෙන් සිරුර කාගෙදැයි හඳුනා ගැනීමට මහජන සහය පැතීමට පොලිසියට සිදුවිය. එසේ මහජන සහය ඉල්ලු‍ විට රට පුරා විවිධ ප්‍රදේශවලින් හා විදේශගත වුවන්ගෙන් දුරකථන ඇමතුම් දෙසීයක් පමණ ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   


මෙතරම් කාන්තාවන් ප්‍රමාණක් සැබෑවටම ලංකාවේ අතුරුදන් වී තිබේදැයි ප්‍රශ්නයක් බොහෝ දෙනා අතර සාකච්ඡාවට ලක්විය.   


එහෙත් අප පොලිසියෙන් කළ විමසීමේ දී දැන ගන්නට ලැබුණේ එම අතුරුදන්වීම් පිළිබඳ පැමිණිලි ඉතාමත් මෑතක දී ලැබී ඇති ඒවා බවය. එහෙත් එම අතුරුදන් කාන්තාවන්ගෙන් කීයක් ඝාතනයට ලක්ව තිබෙන ඒවා ද? කීයක් නැවත නිවසට පැමිණ තිබෙන බවට වාර්තා වී තිබේ ද? කීයක් තමන්ගේ පෙම්වතා හෝ අනියම් සැමියා සමග හොර හරසේ පළාගොස් තිබේදැයි වාර්තා වී තිබේ ද? යන්න ගැන සඳහන් කළ නොහැකි වුවද ළමා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ මහත්මිය සඳහන් කරන පරිදි මෙතරම් විශාල කාන්තාවන් ප්‍රමාණයක් වසරක් තුළ දී හෝ අතුරුදන්ව නැත.   
 එහෙත් පවුලේ අයට නොදන්නා නිවසින් බැහැර වී නැවත නි​ෙවසට නොපැමිණි කාන්තාවන් හෝ තරුණියන් පිළිබඳව දිනපතා සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් රට පුරා පොලිස් ස්ථානවලට ලැබේ. ඒවායින් වැඩි ප්‍රමාණයක් සතියක් දෙකක් තුළ විසඳේ. එසේ විසදෙන්නේ ඔවුන් නැවත නි​ෙවසට පැමිණීමෙන් හෝ ඔවුන් ගියේ කොහේදැයි පවුලේ ඥාතීන්ට දැන ගන්නට ලැබීම නිසාය.   


 එසේ නි​ෙවසින් නොදන්වා බැහැර වන කාන්තාවන් අතරින් ඇතැමෙක් තමන්ගේ පෙම්වතා සමග පළාගිය තරුණියන්ය. ඇතැමෙක් තමන්ගේ අනියම් සැමියා සමග රහසේ පළාගිය අනියම් බිරින්ඳෑවරුන්ය. මෙසේ පළායන ඇතැම් කාන්තාවක් තමන් යන්නේ තමන්ගේ පෙම්වතා සමග අලු‍ත් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා යැයි කල්පනා කරති. එහෙත් එසේ කල්පනා කරගෙන පෙම්වතා සමග පළායන ඇතැම් තරුණියක් හෝ අනියම් සැමියා සමග පළායන ඇතැම් අනියම් බිරිඳකගේ ජීවිතය කෙළවර වන්නේ ඝාතනයට ලක්වීමෙනි.   
 එවැනි දේ කොතෙකුත් මාධ්‍ය ඔස්සේ වාර්තා වුව ද නැවත නැවතත් තරුණියන් හෝ විවාහක කතුන් තමන්ගේ පෙම්වතා නැතහොත් අනියම් සැමියා සමග පළා යාමට පෙළඹවීම් අඩුව නැති බව එසේ ගොස් ඝාතනයට ලක්වීමේ සිදුවීම් නැවත නැවතත් වාර්තා වීමෙන් පෙන්නුම් කෙරේ.   
 තරුණියන්, විවාහක කාන්තාවන් ඝාතනයට ලක්වීම් විශාල ප්‍රමාණයක් සෑම වසරකම වාර්තා වේ. මෙවැනි අපරාධ පසුගිය දශකය තුළ වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. 

 
ඇයි මෙහෙම වෙන්නේ?   


අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කරන ලද සමීක්ෂණයකට අනුව දිනක දී සිදුවන කාන්තා ඝාතනවලින් 137ක් සහකරු හෝ පවුලේ සාමාජිකයෙක් හෝ ඥාතියෙක් අතින් සිදු වූ ඝාතන වේ. 2017 දී ලොව පුරා සිදුවූ කාන්තා ඝාතන 87000ක් අතරින් 37000ක් ම ඇයගේ හිතවතෙකු අතින් සිදුව තිබේ. විසිදහසට ආසන්න ප්‍රමාණයක් පවුලේ කෙනෙක් අතින් සිදුව ඇති අතර තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් සහකරු අතින් සිදුව තිබේ.   


 වේල්ල වීදියෙන් කඳ හමු වූ දිලිනිගේ ඝාතනය ද එලෙස අනියම් බිරිඳක ලෙස විවාහක පොලිස් නිලධාරියෙකු සමග ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමේ අවසන් ප්‍රතිඵලය වේ. මීට වසර දෙකකට පමණ පෙර ගමක අතුරු පාරක දී තමන්ගේ පෙම්වතිය බිම දමාගෙන ගෙල පාගා ඝාතනය කරන්නට වෙර දරන පෙම්වතෙකුගේ වීඩියෝ පටයක් එකල සමාජය මහත්සේ ආන්දෝලනයකට ලක් කළේය. රෝයල් පාර්ක් ඝාතනය ද එලෙස සමාජය කැළඹවු ඝාතනයක් විය. කොටකෙතන දී සිදුවු කාන්තා ඝාතන ද එකල මුලු‍ සමාජයම භීතියට පත් කරනු ලැබීය. මෙවැනි ඝාතන ලංකාව තුළ ද විශාල වශයෙන් වාර්තා වේ. 

 
 වර්තමාන සමාජයේ කාන්තාවට සළකනු ලබන්නේ දෙවැනි පුරවැසියකු ලෙසටය. සෑම විටම නි​ෙවසක ගෘහ මූලිකයා පිරිමියාය. නමට එසේ වුවද කාන්තාව එම තැන ගන්නා අවස්ථා ද නැතුවා නොවේ. එහෙත් සමස්තයක් ලෙස කාන්තාවට සලකනු ලබන්නේ දෙවැනි ඝනයේ පුරවැසියෙකු ලෙසටය. ඇය කුඩා කල සිටම හුරුකරනු ලබන්නේ පිරිමියෙකුගේ අවම වශයෙන් බාල සහෝදරයාගේ හෝ ආරක්ෂාව යටතේ වැඩෙන්නටය.   


 වර්තමාන සමාජයේ සදාචාර ධර්මයන් වියැකී ඇති පරිදි, සංස්කෘතික ලක්ෂණ වියැකී ඇති මානුෂීය සබඳතා වියැකී ඇති පරිදි තරුණියකට තනිව මහ මග යාමට නොව 
නි​ෙවසක විසිමට වුවද හැකිද යන ගැටලු‍වක් මතුව තිබේ. එනිසා එවැනි වට පිටාවක් තුළ ඇයට පිරිමියෙකුගේ සෙවණ, ආරක්ෂාව පතන්නට සිදුව තිබේ. ඒ නිසා බොහෝ කතුන් තමන්ගේ ආදරවන්තයා ලෙස, ආරක්ෂකයා ලෙස ශක්තිමත් පිරිමියෙක් තෝරාගැනීමට පෙළඹේ.   


 හැම කාන්තාවක්ම සොයන්නේ ආදරය පමණක්ම නොවේ. ආරක්ෂාව ද ඒ සමානවම වැදගත්වේ. ඒ නිසා ඔවුන් පෙම්වතෙකු තෝරා ගැනීමේ දී තමන් ආරක්ෂාවෙන් බලගත හැකි අයෙක් සොයති. ආදරයෙන් රැකබලා ගන්නෙකු සොයති. ඇතැම් කාන්තාවක් පොලිස් නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක් ඇතැම් විට දක්ෂ ක්‍රීඩකයෙක් තමන්ගේ පෙම්වතා ලෙස තෝරාගැනීමේ දී ඔවුන් තුළ අවිඥානිකව හෝ තැන්පත්ව ඇති මෙම ආරක්ෂාව පිළිබඳ සිතුවිල්ල බලපෑම් කළාට සැකයක් නැත.   


 අතිබහුතරයක් කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්ව පීඩාවට පත්ව සිටි. මෙලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් තුවාල ලබා රෝහල්ගත වන අවස්ථා ද දක්නට ලැබේ. බොහෝ කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්ව තුවාල ලැබුවද ලැජ්ජාවත්, දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලු‍ත් පිළිබඳව කල්පනා කර බරපතළම සිදුවීමක දී හැර රෝහල්ගත නොවේ. එසේ තිබිය දී වුවද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා දිනකට පනහකට ආසන්න කාන්තාවන් පිරිසක් කොළඹ ආශ්‍රිත රෝහල්වලට ඇතුළත්වන බවට වාර්තා වේ.   


 සියදිවි නසාගැනීම් වලින්ද අපේ රට ඉදිරියට පැමිණ තිබේ. එවැනි සිය දිවි නසාගැනීම් අතර ද කාන්තාවන් විශාල පිරිසක් සිටී. පසුගිය කාලයේ මව්වරුන් දරුවන් සමග සිය දිවි නසා ගැනීමට පෙළඹුන අවස්ථා ගණනාවක් වාර්තා විය. ඇතැම් විටම මව හා දරුවන් මරණයට පත්ව ඇති අතර ඇතැම් විටක මව බේරි දරුවන් මරණයට පත් විය. පොලිස් වාර්තා පෙන්වා දෙන පරිදි 2019 සිදුවූ කාන්තා සිය දිවි නසාගැනීම් 646ක් 75ක්ම වැඩිහිටියන් අතින් සිදුවන තාඩන පිඩන ඉවසිය නොහැකිව සිදුකරගත් සිය දිවි නසා ගැනීම්ය. එසේම සිය දිවි නසාගැනීම් 164ක් සිදුව තිබෙන්නේ නිවසේදී සැමියාගෙන් හෝ පවුලේ අයෙක් අතින් පීඩාවට පත්වීම ඉවසිය නොහැකිවය. 

 

 

 


 මෙම සිය දිවි නසාගැනීම් දෙස බලන විට ඉහත කී සියලු‍ මරණ තමන් ආරක්ෂාව පතන්නන්ගෙන්, ආදරය පතන්නන්ගෙන් එය නොලැබීයාමත් ඒ වෙනුවට ඔවුන්ගේ තාඩන පීඩනවලට ලක්වීමට සිදුවීමත් නිසා සිදුවූ මරණ බව පෙනේ. ඒ අතරින් 26කට හේතුවී තිබෙන්නේ ආර්ථික සාධකය බව පෙන්වා තිබේ. එහෙත් මෙම වාර්තාවේ දේපළ අහිමිවීම් නිසා සිදුකරගත් සියදිවි නසාගැනීම් ගැන ද සඳහන් වේ. එසේ සලකා බලන විට එය ද ආර්ථික සාධයක සේ ගත හැකිය. ඒවා සෘජුව ආර්ථිකය හා සම්බන්ධ වන අතර ඇතැම් විට සැමියා හා බිරිය අතර ගැටුම්වලට බොහෝ සේ බලපා තිබෙන්නේ ද ආර්ථික සාධක බව එම ගැටුම් විමසා බැලීමේදී දක්නට ලැබේ.   


 ඝාතනය කිරීම් මෙන්ම කාන්තාවන් දූෂණයට ලක්කිරීමේ අපරාධද දිනපතා වාර්තාවේ. 2019 වසරේදී අවුරුදු දහසයට වැඩි තරුණියන් හෝ විවාහක කාන්තාවන් දූෂණයට ලක් කිරීම පිළිබඳ සිදුවීම් 289ක් වාර්තා වී තිබේ. මීට අමතරව අවුරුදු දහසයට අඩු දැරියන් අපහරණයට ලක්කිරීමේ සිදුවීම් 1400කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. 

 
 අද සමාජය තුළ කුමක් කරන්නට වුවද මුදල් අවශ්‍ය වේ. ඒ නිසා නි​ෙවසක සතුටට බලපාන බොහෝ දේවල් මුදල් නොමැති කමින් කළ නොහැකි වන අවස්ථාවන්ට බොහෝ දෙනාට මුහුණ දෙන්නට සිදුවේ. එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. මේවා දරාගත නොහැකි සීමාවට පැමිණි පසු පවුල් සම්බන්ධතා බිඳ වැටි ගැටුම් ඇතිවේ. පිරිමියා බීමට ඇබ්බැහි වේ. බීමට ඇබ්බැහි වුවන්ගේ පවුල්වලින් ගෘහස්ථ ප්‍රචණ්ඩය පිළිබඳ පැමිණිලි වැඩි වැඩියෙන් ඉදිරිපත් වේ. කාන්තා හිංසනයන් වාර්තා වේ. මෙවැනි දේවල්වල කෙළවර පවතින්නේ එක්කෝ ඝාතනයකි. නැතහොත් සිය දිවි නසා ගැනීමකි. 

 
 නිවසේ ආර්ථිකය ශක්තිමත් කරන්නට එක්කෝ පිරිමියා නැතහොත් ගැහැණිය විදේශ ගත වු පවුල් ද විශාල ප්‍රමාණයක් රටේ පවතී. එවැනි පවුල් ඇසුරෙහි ද අනියම් සබඳතා ගොඩනැගීම අරුමයක් නොවේ. එසේම පවුල තුළ පවතින පීඩාව නිසා මෙන්ම ආර්ථික සාධකය මූලික කරගෙන සිදුකරන විවාහයන් නිසා ද එකිනෙකා අතර අවබෝධය බිඳ වැටීම, බලාපොරොත්තු වන ආදරය නොලැබී ආදි කාරණා නිසා ද අනියම් සම්බන්ධතා වලට පෙළඹීම් වැඩිවන බව දැකිය හැකිය. ඒ නිසා පවුල් ගැටුම්වලට අනියම් සම්බන්ධතාවලට ආර්ථික සාධකය මුල්වන බව එයින් ද තහවුරු වේ. එවැනි ඇතැම් අනියම් සම්බන්ධතා කෙළවර වන්නේද ඝාතනයකින් හෝ සිය දිවි නසාගැනීමකිනි.   


 මේ බොහොමයක් තුළින් පෙන්වන්නේ කාන්තාවන්ගේ අනාරක්ෂිත බව වන අතර ඒ බව නැවත නැවත තහවුරු වෙද්දි එයට නිසි පිළියමක් සොයාගත නොහැකි කාන්තාව යළි යළිත් ආරක්ෂිතයෙක් සොයා යාමට පෙළඹේ.   


 පසුගිය කාලයේ වාර්තා වූ පරිදි දෙසීයකට ආසන්න කාන්තාවන් පිරිසක් රට පුරා අතුරුදන් වී ඇති බවට වූ සාකච්‍ඡාව තුළ දැක්වෙන කාන්තාවන්ගෙන් බහුතරයක් සිය පෙම්වතා හෝ අනියම් සැමියා සමග පළාගිය අවස්ථා සම්බන්ධයෙන් වූ පැමිණිලිය. ළමා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ මහත්මියගේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ ද එම කරුණය. ඇය පෙන්වා දෙන්නේ එම පැමිණිලි සතියක් දෙකක් ඇතුළත විසදෙන බවය. ඒ නිසා දර්ශිකා මහත්මිය පෙන්වා දෙන පරිදි රට තුළ සැබවින්ම මෙතරම් විශාල කාන්තාවන් ප්‍රමාණයක් අතුරුදන්ව නැත. එහෙත් එකවර මෙතරම් විශාල කාන්තාවන් පිරිසක් නිවෙස්වල කිසිවෙකුට නොදන්වා රහසේ පළායාමෙන් කියවෙන යථාර්ථය අප වටහා ගත යුතුව ඇත.   

 

 

මුදිතා දයානන්ද