පියාට ගැසූ කම්මුල් පහර පුතාට මෙලොවදීම පලදෙයි


ජීවිතයේ දී යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


මාතලේ ගුණසේන නවරත්න මහතා ලියා එවූ කතාවකි.


ඔහු (කුමාර) මධ්‍යම පළාතේ ප්‍රධාන නගරයකට ආසන්න ගමක ජීවත් විය. කුමාර සහෝදරයන් හතරදෙනෙකු හා එක් සොයුරියකු සිටින පවුලේ තෙවැන්නාය. කුඩා කල ගමේ පාසලෙන් අට වැනි පංතිය දක්වා ඉගෙනුම ලැබ ඉන් පසු තම යහළුවන් සමග එක්වී නිකරුණේ කාලය ගත කළේය. මේ වකවානුව වනවිට ඔහුගේ පියා රාජ්‍ය ආයතනයක වාහන අංශයේ සුළු සේවකයෙකු ලෙස රැකියාව කරමින් ඉන් ලැබෙන වැටුපෙන් හා අතිකාල දීමනාවලින් තම බිරිඳ හා දරු පස්දෙනා නඩත්තු කරමින් සිටියේය.   


තම හය වැනි දරුවා බිහිකිරීමට රෝහල් ගත වූ කුමාරගේ මව එම දරු ප්‍රසූතියේදී ඇති වු අධික රුධිර වහනයක් හේතුවෙන් දරුවා ද සමග මියගිය අතර අසරණ වූ පියා දරුවන් සමග තනිවූණත් ඉතාම අමාරුවෙන් ඉවසීමෙන් හිත හදාගෙන දරුවන් රැක ගනිමින් රැකියාව ද කරගෙන ගියේය.   


මේ පියා තම දරුපස් දෙනාට අසීමිතව ආදරය කරමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන්ට ඉගෙනුම ලබා දීමට ද අමතක කළේ නැත. ඒ නිසාම දෙවැනි විවාහයක් කරගන්නා ලෙස සහෝදර සහෝදරියන් ගෙනා විවාහ යෝජනා ද ඔහු දරුවන් වෙනුවෙන් ප්‍රතික්ෂේප කළේය. තම එකම දියණිය ගමක ගැළපෙන තරුණයෙකුට විවාහ කරදුන් මේ පියා ඇගේ අනාගතය සැපවත් කරගැනීමට ඇයට හැකි පමණින් දායාදය දී ඥාතීන් සතුටු කළේය.   


ඔහු රැකියාවට ගියවිට මව ද නොමැතිව ගෙදර තුළ දවල් කාලයේ දුවපැන සෙල්ලම් කරන මේ පිරිමි දරුවන් හතර දෙනා නොමග යා හැකි යැයි ඇති වූ සිතිවිල්ල නිසාම ඔවුන්ට තිබෙන ආදරය පිටතින් නොපෙන්වා ඉතා තද සැර ගතියක් පෙන්වමින් ගෙදර ඉවුම් පිහුම් කටයුතු කිරීමට වැඩිමහල් පුතුන් දෙදෙනාට මාරුවෙන් මාරුවට භාර කළේය. නළ ජලය නොමැති ඒ කාලේ ජනතාව ජලය සපයා ගත්තේ ගමේ පොදු ළිඳෙන් හෝ පිහිල්ලෙනි. මේ දරුවන් සිව්දෙනාම ගොස් රෙදි සෝදා නාගෙන ගෙදරට අවශ්‍ය ජලය ද මැටි කළයට හා බාල්දි වලින් රැගෙන ආයුතු විය. මොනම හේතුවක් නිසාවත් අනුන්ගේ දෙයක් සොරකම් නොකළ යුතු බවත් කියා කවුරු හෝ එසේ සොරකම් කර තමාට ආරංචි වුණොත් හරි, පැමිණිල්ලක් කළොත් හරි, ඔහුට දැඩි ​ෙලස පහර දෙමින් දඬුවම් කළේය. ඒ නිසාම මේ දරුවන් සිවුදෙනා පියාට ඇති බිය නිසාම සාමකාමී වූහ.   


පියාගේ ලොකු පුතා එක් ප්‍රාදේශීය සභාවක කම්කරුවෙකු ලෙස රැකියාවට ගිය අතර දෙවැන්නා වඩු මඩුවකට පුහුණුවීමට ගියේය. මේ කතාවට අදාළ කුමාර නමැති අය මේසන් බාස් උන්නැහැලා ළඟ සේවයට ගොස් පෙදරේරු වැඩ ඉගෙන ගත්තේය. හතර වැනියා ද කම්කරුවෙකු ලෙස ගිය නිසා මේ වනවිට වයෝවෘද්ධ පියා තමා කරමින් සිටි රැකියාවෙන් විශ්‍රාම ගත්තේය. ඔහුගේ රුපියල් විසි දහසක් පමණ වූ සේවක අර්ථසාධක අරමුදල තම දරුවන් පස්දෙනා අතර සමසේ බෙදා දී ඉන්පසු විවේකීව සිට ඉඳහිට ලැබෙන කුලී වැඩකින් කීයක් හරි සොයා ගත්තේය. දරුවන් විවාහ වී මුනුපුරු මිනිබිරියන් 12 දෙනෙකුගේ සුරතල් බලමින් පියා අසීමිත සතුටක් ලැබුවේය. ඉඳහිට ලැබෙන යම් මුදලකින් මුනුපුරන්ට කඩසෝරු හෝ අන් දෙයක් ගෙනැවිත් දී සතුටු ක​ෙළ්ය. මැදිවියට ආසන්න පුතුන් හැම දෙනාම රැකියාවන් කර හවසට මත්පැන් බී තම නිවෙස්වලට පැමිණ බිරින්දෑවරුන් සමඟ ආරවුල් ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් විය. මේ පුත්තු සිව්දෙනාත් බිරින්දෑවරු සමග ඉඳහිට ආරවුල් ඇතිකරගෙන එ්වා දිග්ගැස්සී සහෝදරකම් පවා නැති වී යන තරමට වැඩි වූයේ විශේෂයෙන් කුමාරගේ නහයට අහන්නේ නැති දඩබ්බර හා මුරණ්ඩු ගතිය නිසාය.   


වයෝවෘද්ධ පියා තම දරුවන් හතර දෙනාටම සණ්ඩු දබර නොවී ඉන්නා ලෙස අවවා ද කළ අවස්ථා එමටය. ඒ හැම අවස්ථාවකදීම වැඩිමල් පුතුන් දෙදෙනා පියා දෙන අවවාද සාවධානව අසා ගෙන සිටීමට පුරුදු වී සිටියත් මේ කුමාර නම් පියා දෙන අවවාද නුරුස්සනා කෙනෙකු විය. සමහර අවස්ථාවල පියාට ද ඔහුගේ මව පාවා දී බැන වැදීමට තරම් ඔහු මුරණ්ඩු වී සිටියේය. ඒ නිසාම මේ පියා ඉන්පසු ඔහුට අවවාද දීමට ගියේ නැත.   


මෙසේ දිනක් කුමාර අධික ලෙස බීමත්ව පැමිණ ඔහුගේ බිරිඳට අමානුෂික ලෙස පහර දෙන විට ඔහුගේ දරුවන් ‘‘අම්මා මරනවෝ, අපේ අම්ම බේරගන්න කවුරුත් නැද්දෝයි’’ යනුවෙන් කෑගසන සද්දයට ගමේ අසල්වැසියන් මෙන්ම මේ පියා ද කුමාරගේ නිවසට දුවගෙන ආහ. ගෙට ගොඩ වූ පියා කුමාරගේ හැසිරීම දැක ‘‘එ්යි කුමාර මේ කෙල්ල මරන්න ද උඹ හදන්නේ, ඕක නවත්තපිය’’ යනුවෙන් ටිකක් සැරට කතා කරනවාත් සමගම බිරිඳ අතහැරි කුමාර තම පියා දෙසට හැරිණි. මගේ ගෑනි මට ඕන විදියට හදාගත්තම තොට තියෙන කැක්කුම මොනවාද? කියමින් ඇති තරම් වේගයෙන් තම පියාගේ කම්මුලට ගැසූ පහරින් කැරකී විසිවී ගොස් වැටුණු පියා ක්ලාන්ත විය. එතැනට එක්රැස් වූ දරුවෝ හා අසල්වැසියෝ එක් වී වහාම මේ පියා රෝහල් ගත කළහ.   


සතියක් පමණ රෝහලේ නේවාසික ප්‍රතිකාරගත් පියා රෝහලින් පිට වී ගෙදරට පැමිණියත් වරින් වර දිගටම කැරකිල්ල හා ක්ලාන්තය හැදෙමින් සදාකාලික රෝගියෙකු බවට පත්විය. වසර දෙකක් පමණ රෝගාතුරව දිවි ගෙවූ මේ පියා අභාවයට පත්වී තවත් වසර දෙකක් පමණ ගතවන විට පියාට පහරදුන් කුමාරගේද වම් කම්මුල පැත්තේ රුදාවක් හටගෙන ප්‍රතිකාර ගත්තත් කිසිම සුවයක් ලැබුණේ නැත. ඒත් එක්කම ක්ලාන්තය හා කැරකිල්ල හැදෙමින් වරින් වර රෝගාතුර වූ ඔහු මාස ගණනාවක්ම රෝහල් ගත වී සිට දුක්විඳ මිය ගියේ පනහවත් පිරෙන්නට කලිනි. ඔහු මියයන තෙක්ම වම් කම්මුලේ කන අසල වේදනාව දැඩි ලෙස දැනුණු අවස්ථාවල ඔහු හඬා වැලපුණ ආකාරයෙන් ඔහු පියාට ගැසූ පහර මතක් වන්නට ඇතැයි ද ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ පඩිසන් දෙන්නට ඇතැයි ද අවමඟුල් දින එකතු වූ ගම්වැසියන් අතර කතා බහට ලක්විය.   

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.   

කොඩිවිනයෙන් තම ඇඟිලි අහිමි කරගත් පරීදු   


එක්තරා ගමක ඇතිවූ සත්‍ය කතාවකි. ඔහු පරීදු යැයි හඳුන්වමු. අන්‍ය ආගමක ජනයා විසූ මෙම ගම්මානයේ ජීවත් වූ පරීදු නිතරම අනුනට වින කෙටූ පාපතර පුද්ගලයෙකු විය. පළාතේ අන්‍යයන් සමග නිතරම කලකෝලහාල අඩදබර අැතිකරගත් මොහු මාතර ප්‍රදේශයේ වූ එක්තරා කට්ටඩිරාල කෙනෙකු ඉතා කුලුපගව ළඟින් ඇසුරු කළ අතර ඔහුගෙන් කට්ටඩි ගුරුකම් ද කොඩිවින ද මැනවින් උගත්තේය. ඔහු නිතර දෙවේලේ රහ මෙරද පාවිච්චි කළේය. දිනක් අසල්වැසි අන්‍ය ආගමික පවුලක් සමග අඩදබර අැතිකර ගත්තේ ඔහුගේ මෙම කලහකාරී ගති පැවතුම්ද ඉස්මතු කරලමිනි. 

 
අන්‍යාගමිකයාගේ බිරිඳ දරු ප්‍රසූතියකට ළංව සිටි තැනැත්තියක වූවාය. මාතර ප්‍රදේශයේ කට්ටඩිරාල අනුග්‍රහයෙන් මාතර ගුරුහරුකම් හොඳින් දැන සිටි පරීදු දරු ප්‍රසූතියට ළංව සිටින එම තැනැත්තියගේ කුස තුළ සිටින දරු ගැබ හිරකර මරා දැමීමේ අදහසින් කොඩිවිනයක් කර හදි හූනියම් කළේ සිත්පිත් නැති අයකු ලෙසිනි. මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමේදී  මතුරන ලද කැපූ දෙහි ගෙඩි සියල්ල භාජනයකට දැමීමේ මෙම කොඩි විනය අකුරටම ඉටුකරලීමේ අටියෙනි.   


ජපකර කපන ලද දෙහි ගෙඩි සහිත භාජනය ගත් පරීදු එය රැගෙන ගියේ එම තැනැත්තියගේ ගෙවත්තට විසි කිරීමේ අටියෙනි. පරීදු කපන ලද මෙම දෙහි ගෙඩි සහිත භාජනය රැගෙන යන අතර තුර ඔහුගේ දෙපය පැටලී අතෙහි වූ ඇඟිලි එක්වරම දෙහි භාපනය තුළට වැටුණේ නොදැනුම්වත්මය. කැපූ දෙහි ගෙඩි ඇගේ වත්තටම විසි කළ පරීදු භාජනය බිම දමා දකුණු අතින් වම් අත පිස දැමූ අතර අත් දෙකෙහිම වූ ඇගිලි ක්ෂණියකින් පුරුක්වලින් ගැලවී බිම වැටුණේ ඔහු විමතියට පත්කරමිනි. අත් දෙකෙහිම ඇඟිලි අහිමි කරගත් පරීදු මෙම අනපේක්ෂිත සිදුවීමෙන් පසු වහ වහා තම නිවස වෙත දිව ගිය අතර දින කිහිපයකට පසු ලාදුරු රෝගය වැලඳුණු පරීදු පාදවල ඇඟිලි වැටී ඇගිලි නොමැති අත් පා සහිතව ලෙඩ ඇඳට වැටුණි. ඔහු ටික දිනකට පසු මිය පරලොව ගියේ එම පාපය පඩිසන් දීමෙන් යැයි ගැමියෝ කියති. අනුනට කළ විපතක් මේ ජීවිතයේදීම තමනටම සිදු වූ මහා විපතක් බවට මෙයින් ප්‍රචලිත විය.   

 



කෑගල්ල බෙලිගල මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි.   

මවට දුන් වේදනාවට සොබා දහමින් දඬුවම්   


නිමල් මැදිවියේ පසුවන අවිවාහකයෙකි. ඔහු ජීවනෝපාය වූයේ ගල් වැඩ පොළක ගල් කැඩීමය. එයින් ලැබෙන සුළු වැටුපෙන් ජීවත් වන නිමල්ට පවුල් බරක් නොදැනුණේය.   
ඔහුගේ උදව්වට සිටියේ මව සහ පියා පමණි. කෙසේ වෙතත් නිමල්ගේ දෛනික ජීවිතයේ නොවරදින දෙයක් වූයේ මත්පැන් පානයයි. ඒ ​උදෙන්ම අවදිවන නිමල් ගල් කොරියේ වැඩට පිටත්ව යයි. වැඩ නිම වූ පසු හොඳට මත්පැන් ​ෙපාදක් තොල ඟා නිවසට පැමිණෙයි. එසේ පැමිණ තම වයසක මවට බැනවදිමින් ඉනුත් නොසැහී ඇතැම්විට පහර පිට පහර දෙයි. මීට හේතුව මව විසින් සකස් කරන ලද ආහාර පාන රසවත් නොවීමයි. රසට ආහාර සකසා දෙන ලෙස ඉල්ලමින් වයසක මවට තරවටු කරමින් පහරදීම නිමල් දෛනික ජීවිතයේ එක් අංගයකි. මෙසේ පහර කන මව වේදනාවෙන් මිරිකෙන්නීය. එහෙත් තම පුතාට බැණ නොවදන්නීය. ඉවසාගන්නට බැරි අවස්ථාවන්හි සාප කරන්නීය. මෙසේ කාලය ගෙවිනි. දිනක් සුපුරුදු පරිදි අවදි වී ගල්කොරිය වෙත ගොස් නිමල් වැඩ ආරම්භ කළේය. ගල් විද එයට වෙඩි බෙහෙත් යොදා පිපිරවීම සඳහා වයරයක ආධාරයෙන් එය බැටරියට සවි කළේය. එහෙත් එම අවස්ථාවේ ගල් බෝරය පිපිරී ​නොගිය නිසා එය පරීක්ෂා කිරීම සඳහා නිමල් ගල් විදි බෙහෙත් දැමූ ස්ථානයට ගොස් එය පරීක්ෂා කළේය. ඒ සමගම විශාල හඬක් නංවමින් ගල් වෙඩිල්ල පුපුරා ගියේය. ඉන්පසු රෝහල වෙත ගෙන ගිය නිමල් අවසන් හුස්ම හෙළුවේය. තම මවට කළ පහර දීම නිසා ගල් වෙඩිල්ල පත්තු වී ජීවිතයෙන් සමුදීමට නිමල්ට වූ බවට රාවය පැතිරිණි.   


මේ ජීවිතයේදීම කළකම් පල දුන් බවද පසක් කළේය. තම මව්පියන්ට පහර පිට පහර දීම කරදර කළ පුතුට වෙච්ච ඇබැද්දිය ආවේගශීලී තරුණ පරපුරට කදිම පාඩමකි.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්