පිති මාරුවා මෙලොවදීම නරකාදියට


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

රඹුක්කන සරත් විජයානන්ද මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


පිති මාරුවා මොලොවදීම නරකාදියට   


නම නෝබට් වුවද ඔහුට පට බැඳි නම පිති මාරුවාය. පොල් ගසේ කිතුල් ගසේ වුවද පිත්තෙන් පිත්තට මාරු වීමේ සමර්ථකම ඊට හේතුවයි. දුශ්චරිතයේ පිළිරුවක් වන් ඔහු සොරකමට ද උපන් හපනෙකි. පොල් ගස්වල කරටි මාරු වී ​ෙපාල් වල්ල දණ හිස මත තබා හීං සීරුවට බිමට බැස යයි. උෟරු කොටු වලට පැන ඌරු නාම්බන්ගේ හොම්බ මිරිකා ගෙන සතා කරේ තබා කෙතරම් දුර වුවද ගොස් ඌ මරා හුලුගා සුද්ධ කොට මස් කරයි.   
ඌරගේ කට මිරිකා ගෙනම රත් කිහිල්ලට (ගෙල මහඉහළින්) උල් පිහියෙන් ඇණ තුවාල යට වතුර වත් කොට මරණයට ඉක්මණ් කරයි. හොරෙන් පැන්නූ හරකුන්ගේ නළල මැද්දට පොරෝ බන්​ෙඳන් පත බානා කළ හරකා හීං කෙඳිරියක් වත් නැතුව මැරී වැටෙයි. තුන් වේලටම තල ගොයි මසක් වත් නැතුව බත් නොගිලෙයි. උෟ​ෙරකුගේම ලේ එකතු කොට පිට්ටු තම්බන සේ කඩ පිච්චේ බැඳ කෑලි කපා බත් සමග කෑමට ගිජු විය.   
ගමේ සොරකම් වලට හිලව් වලට ගුටි බැට ලැබෙන නිසා අවට ගම් වලට පැන සොරකමට ඇබ්බැහු වූ පිති මාරුවාහට අඹුවක් ද ලැබුණේ ඇගේ වාසනාවට හෝ අවසානාවටද නොදනිමි. මුලදී උම්බලකඩ කල්ලක් වත් නොකෑ ඇය අවසන උෟරු කන් වලිගය ආදිය ද මිරිසට ඇඹුලට පදමට උයා කෑමට පුරුදු වූවාය. පළවෙනි ළමයාට වසරක් පමණ ගත වූ විට ඈට නරකම දිනයක් උදා වූයේ ඇගේ අත පසු වීමකින් උයා තිබු මීමින්නා මස් හැළිය බල්ලෙකු සොරා කෑමයි. හවසට පිට්ටු තම්බා මස් සමග ගිලීමට කසිප්පු ද සොයා තැබූ නෝබට් හට මේ අත පසු වීම නම් මරු පහරක්ම වී කඩ මණ්ඩියේ සිට හුළු අත්තක් වනා ගත ගෙමිදුල ආ ඔහුට මේ ආරංචිය අඹුතෙම දුන් වහාම කළේ ඇවිලෙන හුළු අත්තෙන්ම ඇයව හුළු ගෑමයි. දරුවාද දමා පළා ගිය අෑ නැවත ගමට ආවේ කබරමෙන් සුදු තිත් තිත් ඇඟ පුරාම සනිටුහන් කරගෙනය. අවසානයේ ඇයට සිදු වූයේ නැවත ඇඟ පුරා ගුටි සංග්‍රහයක් ලැබ පළා යාමටය. දරුවා නෝබට්ගේ අක්ක රැගෙන ගියාය. නෝබටට් ඉබ්බන් අල්ලාගෙන ආ විට පණ පිටින් ගිනි ගොඩට දමා මරා ගනී. උගුඩුවන් මුගටියන් ගෝනි වල දමා පොළොවේ ගසා අඬු බඬු කඩා පණ පිටින්ම හම ගසයි. කුකුලන් මරන්නේ දොරත් උළු වස්සත් අතරට ගෙල දමා දොර වැසී​ෙමනි. ඇතැම්විට උණු වතුරට දමන කුකුලා තටු ගසයි.   


​ෙපාල් කැඩීම දුර්ලභ රැකියාවක් වූ පසු ඔහුගේ ආදායම ඉහළ ගිය අතර පිතිමාරුව නිසා සීරුවට තැඹිලි බෑමට ලොකු වතු වලට ​​රැගෙන යාම නිසා අත මිට හිඟ නොවීය. මොහුගේ සත්ව ඝාතනය කෙතරම් පහළ ගියාද කිව හොත් පරංගි යායයි බැට බැඳුණේ ගෙදර සිටි අලි තප දුඹුරු බලලා ද මරා කෑවා යි කතාවකි.   


අල්ලපු ගම වන සෙන්දිරි වත්තේ ගිනිපාගන ආරංචිය ගම පුරා පැතිර ගිය අතර සැවොම මෙය නැරඹීමට ලෑස්ති වූයේ කතරගමින් මෙපිට ගිනි පෑගීමක් නොවූ නිසාය. සේතුංග ගුරුගේ නඩයක් පේවී ගිනි පැගීමට ලෑස්ති වී සිටින අතර ගමේ මදාවියෙක් වන සෙන්දිරිවත්තේ සීබට් ද රාබී සූකර මාංශ කා ගිනි පෑගීමට ඔට්ටු අල්ලා ඇති බව ගමින් ගමටගොස් ලටපට එකතු කර සොමි අක්කා කියූ කාතව සෙනඟ වැඩි කිරීමට හේතු විය.   
මේ ගිනි මැලේ උඩ රා බීලා මස් කාලා පා ගනවා කියලා කවුරු හරි කියලා කියනවා. මේ අනුහස් වැඩ සෙල්ලම් කරන්ඩ එපා. අපි හත් දවසක් පේවෙලා මෙව්වැයි වැඩ කරන්නේ. ඇවිලෙන ගිනි මැලය ළඟ සිට සේතුංග කපු මහතා කීවා පමණි. අනේ යකෝ බොගේ මෑණියන්ගේ චීත්තේ පල්ලා ඕං බලා කියමින් වෙරි මර ගාතෙ සිට නෝබට් ගිනි මැලය උඩට පැන නටන්නට වූයේ විනාඩියකි. පුහ් ආහ්ගි. පිච්චෙනවෝ පුච්චනවෝ කියමින් එළියට පැන ගත් අතර ඔට්ටු ඇල්ලුවෝ මට්ටු වී කහට ගල වෙලෙන් පැන අතුරු දන් වූහ. සිංහල වෙදකම් ඉංග්‍රීසි වෙදකම් කළේ මුත් පිතිමාරුවා සුව වූයේ නැත.   


සේතුංග ගුරා හූනියමක් කලා කියමින් නෝබට්ගේ හිතවත්තු පස් පඩංගුවේ බැන්න නමුත් ඔහුගේ අක්කා කුණු වී ගිය දෙකකුල් සහිතව සිටි මලයා ඉස්පිරිතාලයකට රැගෙනගොස්​ වෙදකම්කළ නමුත් කුණු මස් ඉවත් කළ දෙපයේ යටි පතුල්වළ ගැසී අැදව වක්කලු වී ඇති නිසා ඇවිදින්නට වූයේ තට්ටමු උඩින්ය. පෙර පුරුදු රැකියාවත් සොරකමත් අහිමි විය. බොහෝ විට බඩගින්නේ බඩගාමින් සිටි ඔයිබට් මිය ගියේ අයාලේ ගිය සුනඛයෙකුටත් අන්ත ලෙස කහටඟල ඇළේවළක වැටීමෙනි.

 



   
වෙන්නප්පුව ඩබ්ලිව්.සී.කේ. තිසේරා මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


කළ දේ පළ දේ   


කළ දේ පළ දේ යනුවෙන් එක්තරා කියමනකි. එය සත්‍ය කිරීම් වස් මෙම සිදුවීම පිළිබඳව සිතන්න. 


එක්තරා නාගරික ගම් පෙදෙසක් වන මෙහි ජීවත් වන අයගෙන් ඇතැමෙක් සුරා ලෝලීහුය. මෙකී පෙදෙස ඉරු දිනට මංගල නිවසක සිරි දැකිය හැකි වෙයි. එදිනට මස් මාංශ මත්පැන් වැනි දෑ නොතිබූ නිවසක් වෙයිද ඒ අහම්බෙනි. දුප්පත් පොහොසත් භේදයකින් තොරව මස් මාංසයන්ගෙන් ද අඩුවක් නැත. මෙහි එක්තරා නිවසක ස්වාමියාගේ රැකියාව ගස් මැදීමයි. ඉරිදා ද ඔහු රැකියාවෙන් විවේකයක් නොගත යුතු වෙයි. එනමුත් උදේ වරුවෙහි තම රැකියාව කොට දහවල් කාලයේ පොඩි කසිප්පු වීදුරුවකින් සප්පායම් වීම ඔහුගේ රැකියාවට බාධකයක් නොවීය. මෙකී පුද්ගලයාගේ  නිවසෙහි ද කසිප්පු පෙරීම සිදු වුවද තම බිරිඳගේ කසිප්පු වලින් තෘප්තියක් විඳීමට ඔහු අකමැති විය. හේතුවක් වශයෙන් කිව තොත් අල්ලපු ගෙදර මැගිලින් අක්කාගේ කසිප්පු ඔහුට නැතුවම බැරිසේය.   


මනා රූ සපුවකින් සමන්විත වූ මැගි අක්කා සහ මොහු අතර තද ප්‍රේම සම්බන්ධයක් පැවතුණි. එසේ හෙයින් ඇගේ කසිප්පු පොද ඔහුට අමෘතයක්ම විය. මොහු පමණක්ම නොව තව කීප දෙනෙක්ම ඇගේ ප්‍රේම වන්තයෝය. නමුත් පියදාස සිතා සිටියේ මැය තමාට පමණක්ම ආදරය කරන බවයි. මෙහි වෙනත් කඩකින් දුටුවහොත් තවදු එක්තරා කතාන්දරයකි. එනම් පියදාසගේ බිරිඳගේ පියා ද මැය සමග සම්බන්ධයක් ඇතිව සිටීමයි.   


මොහු රාජදුරේය. රාජදුරේගෙන් නිතරම මැගිලින් කීයක් හෝ ණයට ලබා ගැනීම අමුතු දෙයක් නොවීය. ණය ලබා ගැනීම මිස ගෙවීමක් නම් කෙදිනක වත් සිදු වුයේ නැතත් එයට වලංගු වන සේ යමක් මැගිලින්ගෙන් ලැබී​ෙමන් ඔහු සෑහීමකට පත් විය. මාමණ්ඩිය සහ බෑණා සමග කෙතරම් සම්බන්ධයක් තිබුණේ ද එය ගම පුරා පැතිරුණ ද බෑනා එය පිළිබඳව දැනුම්වත් වීමක් සිදු වූයේ ද නැත.   


රාජදුරේ හෙවත් රාජයියා ද ජීවත් වූයේ තම දියණිය සහ බෑනා සමගින්ය. ඔහු අහිංසකයෙකි. තම බිරිඳ මිය ගියේ දරුවන් පස් දෙනෙකු රාජයියාට බාර දෙමිනි. පවුලේ වැඩිමලා වූයේ මෙම දියණියයි. ඇයද සත්‍යයෙන්ම කඩවසම් රූපයක් ඉසිලීය. 16 වැනි වියේදීම තනි කැමැත්තට පියදාස හා දීග ගොස් දරුවන් හතර දෙනෙකුගේ මවක් බවට ඇය පත් වී තිබුණි. තම සැමියාගෙන් මැය යැපීමට මැලි වීම නිසා ඇය කසිප්පු පෙරීමද තම ජීවිකාව පැවැත්මට උපයෝගී කර ගත්තාය. තම සැමියා ද අහිංසකයෙකි. ඔහු සහ මැගී අක්කා හා සම්බන්ධය තම පවුලට කරදරයක් නොවීම නිසා බිරිඳගෙන් ද ඔහුට එතරම් කරදයක් නොවීය. මැගී අක්කා රාජයියා පැමිණි දිනක ඔහුගෙන් උපකාරයක් ඉල්ලා සිටියාය. නිතර නිතර ලබා දෙන උපකාර වලින් ස්වල්පයක් අසීරු මෙම උපකාරය වූයේ රුපියල් පනහක ණය මුදලක් ඇය ඉල්ලා සිටීමයි. කෙසේ වෙතත් මෙම මුදල ඇයට ලබා දීම ඔහු විසින් පැහැර හැරියේය.   


කීප වරක් මෙම ගනු දෙනුව පිළිබඳව මැගී මතක් කළද අවසානයේ දී රාජයියා කියා සිටියේ එපමණ මුදලක් ණයට දීමට ඔහුට හැකියාක් නොමැති බවය. මෙයින් මැගී ඔහු කෙරෙහි වෛරයකින් පසු විය. පියදාස ඇයට මහත් ලෙස පෙම් කරන බව අැය දැන සිටියාය. එදා ඉරිදා දිනයකි. පියදාස සුපුරුදු පරිදි මැගීගේ සප්පායම සොයා ගියේය. තම දෙතොල මතින් තෙමා ගත් පියදාසට මැගී ගේ චෝදනාව එල්ල කිරීමට නියම වෙලාව බැවින් ඇය කියා සිටියේ රාජයියා නිතරම ඇයට කරදර කරන බවකි. අද දින ඔහු හා සමග පොර බඳා ඇය ගැලවුණු බවත් පියදාසට ඇය කියා සිටියේ කඳුළු පෙරෙණ දෑසින් යුතුවය.   


තම අනිම් බිරිඳට මෙවැනි සිදු වීමක් සිදු වීම ගැන පියදාස කෝපයෙන් මුසපත් විය. නැවත තම නිවසට හැරීගිය පියදාස පොල් මල් කපන පිහිය අතට ගෙන එක වරම දහවල් ආහාරය වළඳමින් සිටි රාජයියාගේඋගුරු දණ්ඩටම කෙටීය. මෙසේ ඔහු මාමණ්ඩියට පිහිපාර දුන්නේ තම බිරිඳ සහ දරුවන් ඉදිරියේදීමය. මෙම සිදුවීම පිළිබඳව තම බිරිඳ සහ දරුවන්ගේ මොර ගැසීම නිසා ගම්මුන් ඒ දෙසට ඇදී ආහ. තම රේන්ද කරුගේ පුතා ද කිට්ටුවෙන්ම පදිංචිව සිටි හෙයින් ඔහු ද පියදාසගේ ගෙදර දුව ආවේය. දරුවෝ සහ බිරිඳ කෑ මොරසන් දෙත්දී පියදාස තවමත් පිහිය ඇතැතිව එතනම රැඳී සිටියි. රේන්දකරුගේ පුතා සරත්ය. ඔහු එක වරම පැණ පිහිය උඳුරා ගත්තේය. දෙවනුව ඔහු රාජයියා ළඟට කිට්ටු විය. එ් වන විටත් රාජයියා මෙලොව සඳහටම අත හැර ගොසින්ය. මොකක්ද යකෝ උඹ මේ කළේ කියමින් මිනී මරුවාට කණේ පාරක් දුන් සරත් දැන් ඉතින් කෑ ගහලා වැඩක් නෑ රාජයියා ඉවරයි. දැන් මේ මිනිහව බේර ගනිල්ලා. කියමින් සරත් පියදාසගේ බිරිඳට පවසත්දී වයස 15 ක් පමණ සිටි ඔහුගේ වැඩිමහල් පුතා සුමන්ගලම් එක වරම කියා සිටියේ මුව පොලිසියට අල්ලා දෙන ලෙසටය.   
සරත් කිසිදු වචනයක් නොකියාම පියදාසට යමක් කියා දුන්නේය. එනම් දැන්ම පිහියත් රැගෙන පොලීසියට ඉදිරිපත් වෙන ලෙසටය. පියදාස පිටත් කර බිරිඳ සහ දරුවන්ට සරත් විසින් කියා දුන්නේ ​පොලිසියෙන් පැමිණි විට අපි කිසිදෙයක් දැක්කේ නැහැ යනුවෙන් පවසන ලෙටසය. එසේ ඉල්ලා සිටීමේදී ඔහුගේ පුත් වැඩිමලා කියා සිටියේ මහත්තයා මම දැක්කා අපේ තාත්තා ලොකු තාත්තාට පිහියෙන් කෙටුව හැටි මම නම් ඒක කියනවා මයි යනුවෙනි. කෙසේ හෝ සරත් මහතාගේ ඉල්ලීම් අනුව සියලු කටයුතු සිදුවිය. වසර පහක අනියම් මිනී මැරුමට වරදකාරයෙක් වූ පියදාස සිපිරි ගෙයෙහි ලැඟුම් ගත්තේය. මැගිලින්ට සිදු වූයේ අල්ලපු අත්තද පය ගහපු අත්තද නැතිවීමය. සිද්ධිය සිදු වී මසක් පමණ විය. මැගිලින්ගේ ඉඩමෙහි පොල් පරාල රැහීමට 55 පමණ විය බාස් කෙනෙකු පැමිණියේය. ඔහුගේ සේවයෙන් පසු මීවිත ​ෙතල් ගැල්වීම සිරිත විය. එසේ හෙයින් මැගිලින්ගේ නිවසින්ම එම රාජකාරිය ද ඉටු කර ගත් ජුවානිස් බාස් නිරායාසයෙන්ම මැගිලින්ගේ ග්‍රහණයට නතු විය. ගමේ තරුණයෝ මුලින් සිදු වූ දේ මෙන්ම දැන් සිදු වන කරුණු ද සලකා බලා නිතර නතිර මැගිලින්ගේ නිවසට ගල් පහරක් දෙකක් එල්ල කළහ. මෙය පුරුද්දක් කර ගත් මෙකී තරුණයන්ට පියදාසගේ පුතා ද සම්බන්ධ බව ඇය දැන සිටියාය. ගත වූයේ මාස දෙකක කාලයකි. හිටි හැටියේම තම නිවසින් මැගිලින් අතුරුදහන් වූවා ය. එකී අතුරුදහන් වීම පිළිබඳව ගම්මුන් කෙතරම් සොයා බැලුවද සිදු වී ඇත්තේ මැගිලින් ජුවානිස් සමග ඔහුගේ නිවසට පදිංචියට ගොස් ඇති බවය. ජුවානිස්ට හිටියේ එකම පුතෙකි. ඔහු වසය 23 ක පමණ වූවකු වන අතර අල්ලපු ගමේ කොහුමෝලක සේවය කළේය. සතියකට වරක් තම නිවසට පැමිණි සිය පුතා ද පියා විසින් ගෙන ආ කුඩම්මා පිළිබඳව විරුද්ධත්වයක් දැක් වූයේ නැත. තම කුඩම්මා පුතාට විහිලු තහලු කිරීම ඉඟි බිඟි පෑම පුතාට ද මහත් ආස්වාදයක් ලබා දුන්නේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ තම පියා නැවත වරක් මැගිලින්ගේ නිවසෙහි ජීවත්වීමයි. සතියකට වරක්හෝ තම පියා නොබලා සිටීමට අකමැති වූ ජුවානිස්ගේ පුතා කීප දවසක් මැගිලින්ගේ නිවසෙහි රැඳී සිටියේය. ඔහු කිසිවකුටත් නොදන්වා කුඩම්මා රැගෙන තම නි​ෙවසට පැමිණ එහි කුඩම්මා සමග ජීවත් විය.   


එගමෙහි අසල් වැසියන්ට මෙය මහත් ප්‍රශ්නයක් විය. ජුවානිස්ගේ පුත්‍රයා දැන් මෝලේ සේවය කොට දිනපතාම නිවසට පැමිණෙයි. ඔහු සේවයට ගොස් තිබියදී ගම්මුන් කීප දෙනෙක් ජුවානිස් පිළිබඳව මැගිලින්ගෙන් විමසීය. ඇය ගම්මුන්ට කියා සිටියේ ජුවානිස් වෙනත් ගැහැනියක් සමග පැන ගිය බවය. ඇය කළ ප්‍රකාශයට වඩා වෙනස් කතාවක් ජුවානිස්ගේ පුතා කියා පෑම නිසා ගම්මුන් මේ පිළිබඳව ගම්මුලාදෑනියාට දැන්වීය.   


ඔහු තරමක නපුරු ලෙස රාජකාරිය කළ හෙයින් සමහර අය ඔහුගෙන් පහර කෑ වතාවල් අනන්තය. හෙතෙම කිසිවෙක් නිවසෙහි නොමැති වෙලාවක මැගිලින්ගේ නිසට පැමිණියේ ගමේ ගැටවු කීප දෙනෙකුන් සමගින්ය. ජුවානිස් පිළිඳව මැගිලින්ගෙන් යමක් දැන ගත් ගම්මුලාදෑණි තැන ඒ සමගම ජුවානිස්ගේ පුතා සොයා ගියේය. ඔහුගේ ද ජුවානිස් පිළිබඳව විමසී​ෙම්දී ඔහු විසින් දෙන ලද තොරතුරු හා මැගිලින්ගෙන් ලබා ගත් තොරතුරු අතර පරස්පරයක් ඇති බව තේරුම් ගත් ගම් මුලාදෑණි තෙමේ ඔහු පොලිසියට ඉදිරිපත් කළෙ​්ය. පොලීසියෙන් හොඳ හැටි සංග්‍රහ ලැබූ ඔහු සත්‍ය වැමෑරීය. තම පියා පිහියකින් කොටා ඝාතනය කොට නිවස තුළ වලක දමා පැමිණි බව ඔහු පාපොච්චාරණය කළේය. උසාවියෙන් මරණ දඬුවම දෙදෙනාටම හිමි විය. දෙදෙනාම එල්ලා මරා දමනු ලැබීය.   


වසර පහ ඉක්ම වූ පියදාසට නිදහස ලැබිණි. නමුත් ආපසු තම නිවස අහිමි වූයේ තමාගේ වැඩිමහල් පුත්‍රයාගේ මැදිහත් වීම නිසයි. දැන් ඔහු කඩවසම් තරුණයෙකි. ඔහු ද ගස් මැදීම තම ජීවන වෘත්තිය කර ගත්තේය. පියාට වඩා හාත්පසින්ම වෙනස් ගති වලින් පිරි ඔහු ගමේ අයට නිතර හිරිහැරයක් විය. මේ අතර පියදාස තම උපන් ගමෙහි ලඳක හා එක්ව ජීවත් විය. වැඩි කාලයක් ගත වූයේ නැත. තම ගෙවත්තේ සිටවා තිබූ පොල් වළකට වැටී තිබූ පොල් ගෙඩියක් ගැනීමට උත්සාහ කරත් දී එහි සිටි නාගයෙක් පියදාසගේ අතට කීප වරක්ම දෂ්ඨ කිරීම නිසා වෛද්‍යවරයෙකු කරා ගෙන යෑමටත් කලින් ඔහු අවසන් හුස්ම හෙලීය.   


පියදාසගේ වැඩි මහල් පුතාගෙන් ගමට අනවශ්‍ය ලෙස කරදර වීම නිසා ගම්මුන් මහත් කලකිරීමට පත්ව සිටියේය. පියදාස සිපිරි ගෙයි ලැගීමට ගොස් වසරකින් පමණ ඔහුගේ බිරිඳ තම පුත්‍රයාට වඩා වසර දෙකක් පමණ වයස් වූ තරුණයකු හා එක්ව සිටියාය. මෙම එක්වීම තරයේම ප්‍රතික්ෂේප කළ තම වැඩිමලා ඔහු සමග බද්ධ වෛරයකින් පසු විය. දින සති මාස වසර කීපයක්ම ගත විය. දැන් පියදාසගේ බිරිඳ නව පෙම්වතා වෙනුවෙන් තම පිරිමි දරුවන් තිදෙනෙකුගේ මව වූවාය.   


බද්ධ වෛරයෙන් සිටි පියදාසගේ වැඩිමලා ඉරිදා දිනක බීමතින් යුතුව තම මවගේ නිවසට පොල්ලක් රැගෙන ගොස් තම මවගේ අලුත් සැමියා එම නිවසේදීම තම මව සහ දරුවන් බලා සිටියදී පොල්ලෙන් ගසා මරා දැමීය. පොල්ල ද ​රැගෙන පොලිසියට භාර වූ ඔහුට ද ඇසින් දුටු සාක්ෂි නොමැතිව වසර පහක සිර දඬුවමක් ලැබීය.   


දඬුවමින් පසු නිවසට පැමිණි ඔහු මුලින් තිබූ සියලුම වැරදි අත හැර සාමකාමීව ජීවත් විය. වසර දහයක් පමණ ගත විය. ඔහුගේ පළමු තිබූ සාමකාමී ජීවිතයෙන් සමුගත් ඔහු පෙරසේම සුරාවට ගිජු විය. තම මවගේ දෙවැනි විවාහයෙන් පසු දරුවන් ද දැන් තරුණ වියේ පසු වන්නෝය. ගමේ මිතුරන් නිතරම පැවසුයේ තම පියා ඝාතනය කළ තම සොයුරාට මොන යම් හෝ දඬුවමක් ලබා දෙන ලෙසින්ය. නමුත් මේ දරුවන් තිදෙනාම එය ප්‍රතික්ෂේප කළේය. එයින් සෑහීමකට පත් නොවූ එකී මිත්‍රයෝම මිනී මරුවාට අනවශ්‍ය ලෙස කේලම් කීමේ යෙදුණෝය. වත්මන් පවුලෙහි වැඩිමලා වූ තෝමස් ඔහුගේ පියා ඝාතකයාගෙන් පළි ගැනීමට සැරසෙන බව මෙම අසංවර ඝාතකයාට සැළ කළේය. එයින් කෝපයට පත් තම පියාගේ ඝාතකයා ඉරිදා දිනයක කඩුවක් ද රැගෙන තම මවගේ නිවසට පැමිණි විට පවුලේ දරුවන් ඒ මේ අතට දුවමින් නිවසින් බැහැර විය. ඉතා ඉක්මණින් මවගේ වැඩිමලා තමා විසින් මරා දමන බව පෝරිසාදියා විසින් පැවසූ හෙයින් නිතරම තම දරුවන්ට නිවසින් බැහැර වීමේදී ඉතාම පරිස්සමින් සිටිය යුතු බව තම මවගේ අවවාද විය. එසේම ඔවුන් ද ඉතාම පරිස්සමින් ජීවිතය ගත කළෝය.   


මාස හයකට වඩා කල් ගත නොවීය. දෙවන කසාදයේ තම වැඩි මහල්පුතා චිත්‍රපටයක් නැරඹීම පිණිස දහවල් නිවසින් පිට වීය. නමුත් ඔහු සවස හය වනතුරු ද නිවසට නොපැමිණම නිසාත් තම මිනීමරු පුතා නිවසෙහි නොසිටි නිසාත් මව නිවසින් බැහැරව අඳුරේම පුතා පැමිණිය යුතු මඟට පිවිසියාය. අඳුරේම තම පුතා පැමිණෙන බව තේරුම් ගත් මව ඔහු එන මඟට පිවිසියාය. තම පුතා අඳුරේම පැමිණෙත්දී මව ඔහු නවතා ආපසු හැරී ගොස් පැය කීපයකින් පැමිණීමට ඉල්ලා සිටියාය. ගත වූයේ නිමේෂයකි. එකවරම අඳුරේ සැඟ වී සිටි ඝාතකයා තම කඩුවෙන් සොයුරාට කෙටීය. පහර වැළකී ගොස් ඔහුගේ කඩුව අතින් ගිලිහිණ. ක්ෂණයකින්ම කඩුව අතට ගත් පුතා ඝාතකයාට කීප වරක්ම කඩුවෙන් පහර දුන්නේය. එකී කඩු පහරින් ඔහු මැරී වැටුණේය. ඔහුද සුපුරුදු ලෙස කඩුව ​රැගෙන පොලිසියට ඉදිරිපත් විය. සත්තකින්ම ඔහුට තම සොයුරා මරා දැමීමට කිසිදු චේතනාවක් නොවී තිබීම පිළිබඳව පොලීසියට වැටිහින. උසාවි තීන්දුවෙන් ඔහු නිර්දෝෂී බව තහවුරු විය. එතැනින් මෙම ඝාතන රැල්ල නිමාවට පත් විය.   

 


කිව යුත්තක් ඇත. එනම් මෙම මව වශයෙන් ජීවත් වූ ඇය ඉදිරියේදීම තම පියා ඝාතනය විය. ඇය ඉදිරියේම තම දෙවැනි විවාහක සැමියා ඝාතනය විය. එමෙන්ම ඇගේ මුල් විවාහයේ වැඩි මහල් පුතා ද ඇය ඉදිරියේදීම ඝාතනය විය.   

 

 


​ෙමබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ   
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්