පිටුපස අසුනේ මාරයා


සිද්ධි අංක 1 


එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ කුරුණෑගල සිට මහනුවර බලා ගමන් ගන්නා සුඛෝපභෝගී මෝටර් රථයකි. මෙහි ඉදිරිපස අසුනේ රියදුරු සහ තවත් පුද්ගලයකු ආසන බඳ පටි පැළඳ සිටි අතර පිටුපස අසුනේ ද පුද්ගලයන් දෙදෙනකු සිටියහ. පිටුපස අසුනේ සිටි පුද්ගලයන් දෙදෙනා ආසන බඳ පටි පැළඳ සිටියේ නැත. කටුගස්තොට ප්‍රදේශයේදී මෙම රථය මහාමාර්ගයේ නවතා තිබූ ගලි බවුසරයක ඉතා වේගයෙන් ගැටීමෙන් බිහිසුණු අනතුරකට මුහුණ පෑවේය.  


රියදුරු ඇතුළු අනෙක් මගීන් තිදෙනා වහාම රෝහලට ඇතුළත් කරනු ලදුව රියදුරු සමග ඉදිරි අසුනේ සිටි අනෙක් පුද්ගලයා ඉතා සුළු සීරීම් සහ තැලීම් තුවාල සහිතව පසුවදාම රෝහලෙන් ටිකට් කපා නිවසට පිටත් කර හරින ලදී. එහෙත් අවාසනාවක මහත!  පිටුපස අසුනේ සිටි පුද්ගලයන් දෙදෙනා රෝහලට ඇතුළු කරන විටත් මියගොස් සිටියහ. ඔවුන්ගෙන් එක් අයකුගේ හිසට ද අනෙකාගේ පපු ප්‍රදේශයට ද මාරාන්තික තුවාල සිදුවී තිබුණි. මේ දෙදෙනාම ආසන බඳ පටි පැළඳ නොසිටියහ. 

 


 සිද්ධි අංක 2  


දැඩි වර්ෂාව සහිත රාත්‍රියක නවීන මෝටර් රථයක කොළඹ සිට නුවරඑළිය බලා ගමන් ගන්නා හතර දෙනෙකි.  මව විසින් වාහනය පැදවූ අතර පියා ඉදිරි අසුනේ විය.  ඔවුන් දෙදෙනාම ආසන බඳ පටි පැළඳ සිටියහ. පිටුපස අසුනේ ඥාති දරුවන් දෙදෙනකු වූ අතර ඔවුන් බඳ පටි පැළඳ නොසිටියහ. ගම්පොළ ප්‍රදේශය ආසන්නයේ දී වූ දැඩි මීදුම නිසා මාර්ගය නිසි ලෙස දිස් නොවීමෙන් මෙම රථය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක අධික වේගයෙන් ගැටුණු අතර වාහනයේ ඉදිරිපස ක්‍ෂණයකින් සුන්බුන් බවට පත් විය.
ඉදිරිපස අසුනේ සිටි මව සහ පියා ඉතා සුළු සීරීම් සහ තැලුම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කළ ද පිටුපස අසුනේ සිටි ඥාති දරුවන් දෙදෙනා රෝහලට ඇතුළු කිරීමෙන් ස්වල්ප වේලාවකට පසුව මියයන ලදී. ඔවුන්ගෙන් එක් අයකුගේ ගෙල ප්‍රදේශයේ කොඳු ඇට පෙළට ද අනෙකාගේ හිසට ද බරපතළ තුවාල සිදුව තිබිණි. 


 මෙම සිද්ධි දෙකෙන් සමස්තයක් ලෙස ගම්‍ය වන්නේ ආසන බඳ පටි පැළඳ සිටින පුද්ගලයන් ඉතා විශාල අනතුරකදී පවා සුළු තුවාල පමණක් ලබමින් සිය ජීවිතය බේරා ගන්නා බවත් ආසන බඳ පටි පැළඳ නොසිටින පුද්ගලයන් මාරාන්තික තුවාල ලබා සුළු වේලාවකින් මරණයට පත්වන බවත්ය. 


වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව සමහර මෝටර් වාහනවල රියදුරු ඇතුළු ඉදිරිපස මගීන් සඳහා පමණක් ආසන බඳ පටි අනිවාර්ය කර ඇත. 2011 අගෝස්තු 09 දින දරණ ගැසට් රෙගුලාසි අංක 1718/12 මගින් මේ සඳහා නීතිමය ප්‍රතිපාදන සපයා ඇත. ඒ අනුව මෝටර් වාහනවල පසුපස අසුන්වල ගමන් ගන්නා මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය නැත. 


පනවා ඇති නීතිමය ප්‍රතිපාදන පවා බහුතරයක් දෙනා පිළිනොපදින යුගයක නීතිය පනවා නොමැති රෙගුලාසියකට මගීන් අවනත වේ යැයි අපට විශ්වාස කළ නොහැක. මේ නිසා අද මෝටර් වාහනවල පිටුපස ආසනවල ගමන් කරන මගීන්ගෙන් බහුතරයක් ආසන බඳ පටි පළඳින්නේ නැත.


මෙය විශාල අනතුරකදී මරුවාට අත වැනීමක් බව ඉහත සිද්ධි දෙකෙන් මොනවට පැහැදිලි වෙයි. එම අනතුරුවල දී ආසන බඳ පටි පැළඳ සිටියා නම් එම මරණ හතරම වැළැක්විය හැකි වූ බව විශේෂඥ වෛද්‍ය මතයයි.


ඉදිරිපස ආසනයේ ගමන් කරන රියදුරු සහ මගියා ආසන බඳ පටි පැළඳිය යුතුවාක් මෙන්ම ඔවුනට වායු බැලුනවල ද ආරක්ෂාව ලැබේ. මේ නිසා අනතුරකදී ඔවුනට මාරාන්තික තුවාල සිදුවීමේ හැකියාව සාපේක්ෂව ඉතා අවම වේ.


එහෙත් පසුපස ආසනවල ගමන් කරන මගීන්ට වායු බැලුනවල ආරක්ෂාව නොමැතිවා පමණක් නොව ආසන බඳ පටි පැළඳීම ද අනිවාර්ය නොවේ. මේ නිසා අනතුරකදී ඔවුන් මෝටර් රථයේ ඉදිරියට විසිවී යන අතර ඔවුන් ඉදිරිපස ආසනවල ද පැති බිත්ති/ දොර ආදියේ ද ගැටීම නිසා ක්‍ෂණික මාරාන්තික තුවාල ලබයි. ආසන බඳ පටි පැළඳීමෙන් ඔවුන් ඒ මේ අත විසීවී යාම අවම වන අතර මාරාන්තික අනතුරු අවම වේ. එබැවින් පිටුපස ආසනවල ගමන් ගන්නා මගීන්ගේ වටිනා ජීවිත ආරක්ෂා කිරීම උදෙසා ආසන බඳ පටි පැළඳීම නීතිගත කිරීම කාලීන අවශ්‍යතාවයකි. 


ඉහත සඳහන් කළ ගැසට් පත්‍රයේම, ත්‍රිරෝද රථවල ගමන් ගන්න රියදුරු සහ මගීන් සඳහා ද ආසන බඳ පටි අනිවාර්ය කර නැත. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ත්‍රීවීල් රථය යනු සැහැල්ලු එනිසාම පෙරළීමට ලක්විය හැකි රථයකි. එබැවින් පෙරළීමකදී එහි රියදුරු සහ මගීන් ත්‍රිරෝද රථය තුළම ඔබමොබ විසිවීමකට ලක්වී එහි ඇතුළත උපාංගවල ගැටීමෙන් බරපතළ අනතුරු සිදුවීමේ සම්භාවිතාවය ඉතා වැඩියි. එපමණක් නොව ත්‍රීවිල් රථය පෙරළීමකදී එහි දෙපස නිරාවරණය වූ පැතිවලින් පිටතට විසිවීමෙන් සිදුවන අනතුරු ඉතා විශාලය.  ත්‍රිරෝද රථ රියදුරන් සහ මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමෙන් මෙම බරපතළ සහ මාරාන්තික ස්වරූපය අවම කළ හැකිවේ. මෙම නීතිය පැනවීමෙන් සුරැකෙන්නේ වටිනා ජීවිත පමණක් නොවේ. මහා ධනස්කන්ධයක් ද රජයට වාර්ෂිකව ඉතුරුවන්නේ මෙම අනතුරු හේතුවෙන් සිදුවන රෝගී සත්කාර සේවා ද නීතිමය කටයුතු ද අවම වන බැවිනි.


 විශේෂ ස්තූතිය,  වෛද්‍ය අසිත චන්ද්‍රකීර්ති, වෛද්‍ය එම්. සිවසුබ්‍රමනියම්,  වෛද්‍ය ආර්.පී. ජයසූරිය,  විනෝදනී ධර්මසේන මෙනවිය