පාසලේදී දුටු සිහිනය සැබෑ කරගත් දිසාපතිනිය


ලක්දිව නම තැබූ දියණියෝ

ගැහැනිය පිරිමින් හා සම තැන ඉල්ලන සටන් පාඨ තවදුරටත් වලංගු නොවන්නේ යැයි බොහෝ දිරිය ගැහැනුන් අද ඔප්පු කර දී ඇත. මන්ද තොටිල්ල පදවන ඇගේ දෑත පිරිමියාට වඩා අද ලෝකයේ අභියෝග ජය ගැනීමට සමත්වී ඇති නිසාවෙනි. උත්සාහය, කැපවීම සහ ආත්ම ශක්තියෙන් උගත් දැනුමට, වෘත්තියට අවංක වී ඉන් නොනැවතී අභියෝග වෙනුවෙන් පෙනී සිටිමින් තම අරමුණ කරා ගිය මේ තවත් යකඩ ගැහැණියකගේ කතාවයි. ඇය රත්නපුර දිස්ත්‍රික් ලේකම් (දිසාපතිනි) මාලනී ලොකුපෝතාගමයි. 


•අපි ඉපදුන ගම් පළාතෙන්ම කතාව ආරම්භ කරමු? 


මගේ ගම කුස්වල. ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනේ. කුස්වල කනිෂ්ඨ විද්‍යාලයේ තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. සමාන්‍ය පෙළින් පස්සේ මම රද්දොළුව පඤ්ඤානන්ද මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පවුලේ අක්කයි මල්ලිලා දෙන්නයි. ළමා කාලය ඉතින් හරිම සුන්දරයි. මගේ අම්මා ගෘහණියක්. තාත්තා රජයේ සේවකයෙක්. තාත්තාගේ වැටුපෙන් අපේ අම්මා හරි අරපිරිමැස්මෙන් වැඩ කළා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි. අපි නැති දේවල් පස්සේ ගියේ නැහැ. තියෙන දේවල්වලින් සතුටු වුණා. 


•පාසල් ජීවිතේ? 


ඒ කාලේ මම ඇත්තට ඉගෙන ගන්න දක්ෂයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉහළින්ම පාස් වුණා. උසස් පෙළ කලා විෂයන්වලින් පෙනී ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට යන්න මට හැකි වුණා. පාසල් කාලේ මම හරිම නිවිච්ච චරිතයක්. හැබැයි පුංචි කාලේ ඉඳලම අභියෝගවලට මුහුණ දුන්නා. ඒත් මට අනාගතේ මේ තැනට යනවා කියන බලාපොරොත්තුවක් තිබුණා. 


හෝඩිය පන්තියේ මට අකුරු ඉගැන්නුවේ සීලවතී ඉස්කෝ​ලේ හාමිනේ කියලා මිස් කෙනෙක්. ඉස්සර ඇය දිහා මම බලාගෙන ඉන්නවා. මටත් හිතුනා ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වෙන්න. ඊට පස්සේ හයේ පන්තියට විතර එනකොට මගේ ගණන් ගුරුවරියගේ යෙහෙළියක් හිටියා ඒජන්ත විභාගය පාස් කරලා. ගණන් ගුරුවරිය ඉතින් ඒ යෙහෙළිය ගැන පන්තියේ කියනවා. මම ඇහැව්වා මිස්ගෙන් මොකක්ද මිස් ඒජන්ත විභාගය කියන්නේ කියලා. ගණන් ගුරුවරිය මට විස්තර කරලා දුන්නාම මටත් හිතුනා අනේ මටත් කවදාහරි ඒජන්තවරියක් වෙන්න තිබුණා නම් කියලා. එදා මම අධිෂ්ඨාන කර ගත්තා කවදාහරි මමත් ඒජන්ත විභාගය පාස් වෙනවා කියලා. 


•හීන දෙකම හැබෑ කර ගන්න පුළුවන් වුණාද? 


ඇත්තටම ඔව්. ඒජන්ත විභාගය මම හිතින් අතෑරියේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වෙලා ඊට පස්සේ මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න ලැබුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක අවුරුදු 4 1/2ක් විතර මම ගුරුවරියක් විදිහට වැඩකරන අතරතුර මම පරිපාලන විභාගයට මුහුණ දුන්නා. 


1991 අවුරුද්දේ දී මම ගුරු වෘත්තියට සමුදීලා මුලින්ම පරිපාලන සේවයට ඇතුළත් වුණා. ඒජන්තවරියක් වීමේ අරමුණට මම අඩිය තිබ්බේ පරිපාලන සේවයට ආවට පස්සේ. 


පරිපාලන විභාගය ලියලා මට මුලින්ම පත්වීම් ලැබුණේ දකුණු පළාතට. දකුණු පළාතේ අක්මීමන සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කළා. එතැනින් ගාල්ල යක්කලමුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට ස්ථාන මාරු වුණා. මගේ ජීවිතේ ඉරණම වෙනස් කළේ යක්කලමුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරේ ඉද්දී. මොකද මම යක්කලමුල්ලට ගියේ අවුරුදු දෙකකින් විතර නැවත මගේ ගමට මාරුවක් හදාගෙන යන්න හිතාගෙන. අවසානයේ මට යක්කලමුල්ලේ සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහටත් ප්‍රාදේශීය ලේකම් හැටියටත් අවුරුදු 14ක්ම ඉන්න වුණා. 


•එතැනින් පස්සේ මොකද වෙන්නේ? 


සුනාමි, ගංවතුරවලින් විශාල ලෙස හානි වුණ පැතිවල ප්‍රාදේශීය ලේකම් වෙලා ඉද්දි අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. මගේ ඉහළ නිලධාරීන් නිතරම මම ගැන විශ්වාස තැබුවා. මම මට පවරණ වැඩ විතරක් නෙමෙයි සියලුම වැඩ මම කළා. මම රාජකාරිය දේවකාරිය ලෙස සැලකුවා. ඇත්තටම ඒ කාලේ මගේ ජීවිතයෙ අංක එක වෙලා තිබුණේ රාජකාරිය. අද මම මේ තැන ඉන්නෙත් එදා සේවයට අවංක වෙලා වැඩ කරපු නිසා. සේවයෙන් ඉහළට යන්න විභාග පාස් කරලා විතරක් බැහැ. කැපවීම ති​ෙයන්නෙම ඕනෑ. මගේ ළඟට වැඩක් කර ගන්න එන කෙනෙක්ව මම කවදාවත් රස්තියාදු කරවන්නේ නැහැ. කළ හැකි දෙයක් නම් ඒ වෙලාවෙම කරලා දීලා යවනවා. අපේ සේවයත් එක්ක අපි ළඟට එන පුද්ගලයින් තෘප්තිමත් නම් විතරයි රැකියාවේ අපේ ජීවිතෙත් තෘප්තිමත් වෙන්නේ. අපි ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරනව නම් අපිට අපේ සේවයට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ. 


•හැබැයි නීතියටම වැඩ කරොත් රැඳෙන්න අමාරුයි කියන තැන ඔබ හිටියේ නැද්ද? 


හෙට ගෙදර ගියත් මම කවදාත් නීතියට පිටින් වැඩ කරේ නැහැ. මම ගොඩක් පරිසරයට ආදරය කරන කෙනෙක්. ප්‍රාදේශීය ලේකම් වෙලා ඉද්දි වැලි ගොඩදාන, දැව විනාශයට විරුද්ධව මම වැඩ කළා.

අසාධාරණයට, දූෂණයට, විනාශයට මම තරයේ විරුද්ධ වුණා. එදා ආපු තර්ජන, ගර්ජනවලට බයේ හිටියා නම් සිංහරාජ කැලේ මේ වෙනකොට බාගයක්ම විනාශ​ කරලා. 


මම දැව පර්මිට් දෙන්නේ හරියටම නීතියට අනුව. මට මතකයි කොස්ගස්වලට පර්මිට් අවශ්‍ය නැහැ කියලා රජය එක තැනක දී තීරණය කළා. එක දවසක් ඒක පත්තරේ ගියාම ගස් පර්මිට් ගන්න මගේ ළඟට නිතරම එන පුද්ගලයෙක් මට අර පත්තර කෑල්ල එවලා තිබුණා. ‘දැන් කොහොමද නෝනාගේ කෙරුවාව අපි බලමුකෝ කියලා’ හැබැයි ටික කාලයයි නැවත දැව පර්මිට් අවශ්‍යයි කියලා තීරණය කළාට පස්සේ නීති විරෝධී දැව විශාල ප්‍රමාණයක් මම රාජසන්තක කළා. මම කෙළින් වැඩ කරපු නිසා මගේ නිලධාරීන්ටත් මගේ අඩි පාරෙම යන්න වුණා. 


අවංකව වැඩ කරපු නිසා ස්ථාන මාරු වීම් නම් සෑහෙන්න ආවා. මම ඉතින් ඒවාට පොඩ්ඩක්වත් සැලුණේ නැහැ. මොකද කොහේ ගියත් මට ලැබෙන්නේ මේ තනතුරමනේ. මොන තනතුර වුණත් කොහේ වුණත් කරන්නේ රැකියාවක්නේ. 


එදත් මම හිටියේ ඒ මතේ අදත් මම ඉන්නේ ඒ මතේ. රාජ්‍ය සේවිකාවක් ලෙස යම් යම් තනතුරු දරද්දි බොහෝ තැන්වල මට ඉන්න වුණේ සාරියක් ඇඳගත් පිරිමියෙක් විදිහට. 


•සමහර තැන් තියනවා අසාධාරණයට නැගී සිටියොත් අහිමි වෙන දේවල් වැඩියි. එහෙම නේද? 


මම පරිපාලන සේවයට ඇවිල්ලා අවුරුදු 34ක් විතර වෙනවා. මට මගේ වෘත්තිය ජීවිතේ ඉහළින්ම තෘප්තිමත් වෙන්න පුළුවන්. කාන්තාවෝ ඉහළට යනවට පිරිමියාට සම තැන්වල නිලතල දරනකොට කකුලෙන් අදින ඕනෑ තරම් අය ඉන්නවා. මම හැබැයි කියන දේ මූණටම කියන කෙනෙක්. ඒක පාසල් කාලේ ඉඳලා මට තිබුණු ගුණාංගයක්. අනිත් එක තමයි මම හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්. මම අද වැඩ හෙටට කල් දාන්න කැමති නැහැ. ඉවර කර ගන්න බැරි නම් වැඩ ගෙදර අරගෙන ඇවිල්ලා හරි මම ඒක අවසන් කරලා තමයි නින්දට යන්නේ. 


මගේ සේවා කාලය තුළ කාන්තාවක් විදිහට විශාල අභියෝග රැසකට රැකියාවේදී මුහුණ දෙන්න වුණා. හැබැයි වැඩ කරන්න ලැබුණු කාලේ ලැබුණු වැටුපට ණය නැතුව වැඩ කළා. අදටත් එහෙමයි. මගේ ජීවිතේ වැඩි කාලයක් ගත වුණේ නිල නිවාසවල. මට ඉන්න කියලා මගේ තැනක් මම තාම හරියට හදාගෙන නැහැ. කට පියාගෙන හිටියොත් ලැබෙන වරප්‍රසාද වැඩියි. ඒත් මට කටපියන් ඉඳලා අසාධාරණ වෙන තැන් බලාගෙන ඉඳලා මට පුරුදු නෑ. 


•ඔබේ හීනය ‘ඒජන්ත විභාගය’ පාස් වුණ වෙලාවේ මොකද හිතුනේ? 


දරා ගන්න බැරි සතුටක් ඇති වුණා. මොකද මම මේ තැනට ආවේ විශාල අභියෝග රැසක් මැද්දේ. මුලින්ම පරිපාලන විභාගය ලියලා අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත්වීම් භාර ගනිද්දී රාජ්‍ය සේවය එපා වෙන තරමට සිද්ධිවලට මට මුහුණ දෙන්න වුණා. ඒවා දරාගෙන පියවරෙන් පියවර මම ඉදිරියට ආවට සමහර සිද්ධි එක්ක මට රාජ්‍ය සේවය දාලා ගෙදර දුවන්න හිතුන අවස්ථා තිබුණා. දාලා යන්න හිතුන වෙලාවට ඒජන්ත හීනය මතක් වෙද්දී නෑ මම කාගෙන ඉන්නවා කියලා විඳ දරා ගත්තා. දරා ගැනීමේ ශක්තිය නම් මට උපරිමයෙන් තියෙනවා. පුංචි කාලේ හීන ලොකු වෙනකොට වෙනස් වෙනවා. ඒත් මගේ අරමුණ වෙනස් වුණේ නැහැ. මේ මාගේ අවසාන තනතුර. මෙතනින් එහාට මට හීන නැහැ. ඒජන්ත විභාගය පාස් වුණාම මට එදා දැනුනේ ලෝකයම දිනුවා වගේ. 


•ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි තැන් තියෙනවාද? 


අපෝ ඔව්. දෙවතාවක් මම බෝම්බ ප්‍රහාරවලින් නූලෙන් බේරුණා. මරණය පෙනි පෙනී බේරුණේ. ඊට පස්සේ මට ලොකු ලෙඩක් හැදුණා. ජීවිතයක් මරණයත් අතර ලොකු සටනක් දීලා මම නැවත ඉපදුනේ. මම මරණයට ගිහින් ආපහු ආපු කෙනෙක්. 


ඊට පස්සේ සුනාමි ආපු වෙලාවේ පිරිමියකුට වඩා මම මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. ඒ දවස්වල රෑ වෙනවා එළිවෙනවා මතක නැහැ. මිනී ගොඩවල් සමූහ වළවල් කපලා දැම්මා. අවසන් කටයුතු කළේ අපි. සමහර පවුල්වල කිසිම කෙනෙක් ඉතිරි වෙලා හිටියෙ නැහැ. මේ ජීවිතේ මොකක්ද කියලා සුනාමි රාජකාරියේ දී මට දැනුණා. මට මතකයි මගේ ළඟට ආවා එක හෝටලයක මුදලාලි කෙනෙක්. ගෑනු කෙනෙකුගේ සායක් ඇඳගෙන ආවේ. ඔහුගේ ඇඳිවතවත් ඉතිරි වෙලා නැහැ. සියල්ලම සුනාමියට ගිහින්. ඒ වගේ අය ගොඩක් හිටියා. ඒ වෙලාවේදී මට ඒ අය වෙනුවෙන් කළ හැකි උපරිම දේ කළා. 


•මෙතනින් පස්සේ මොකක්ද වෘත්තිය ජීවිතේ අරමුණ.


පුංචි කාලේ දැකපු ඒජන්තවරියක් වීමේ හීනය මම සැබෑ කර ගත්තා. ඇත්තටම අවංකවම මට මෙතනින් එහාට යන්න කැමැත්තක් නැහැ. මට රාජ්‍ය සේවයේ තව ඉන්න තියෙන්නේ ටික කාලයයි. දැන් අවුරුදු හතරක් මම රත්නපුර දිසාපති තනතුරේ ඉන්නවා. මම කවදාවත් මේ තනතුරුවලට පැනලා ආවේ නැහැ. මම මගේ වාරය එනකම් හැමදාම බලාගෙන සිටියා. 


•විවාහ ජීවිතේ ගැන? 


මගේ සැමියයි මමයි එකම පාසලේ. එකම පන්තියේ. හැබැයි අපි දෙන්නා යාළු වුණේ විශ්වවිද්‍යාලයේ දී. එයත් ගුරුවරයෙක්. දැන්නම් ඔහු විශ්‍රාමිකයි. මට ඉන්නවා දියණියයි, පුතෙකුයි. ඔවුන් තාම උසස් අධ්‍යාපනය හදාරනවා. 


ඇත්තටම ගොඩක් කාන්තාවන්ට ජීවිතේ සීමා වැටෙන්නේ විවාහයෙන් පස්සේ. ඒත් මගේ සැමියා මගේ වෘත්තිය සහ මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. ගෙදර වගකීම්වලින් ඔහු මාව ගොඩක් නිදහස් කළා. ඔහු සීමා දැම්මා නම් අද මම මේ තැන නැහැ. ඇත්තටම මගේ හීනයට එන්න ධෛර්ය දුන්නේ මගේ සැමියා.

 

 

නදීශා අතුකෝරල