පාසල් දරුවන්ගේ ආරක්ෂාව දැන්වත් සුරක්ෂිතද?


 

 

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රජයේ පාසල් හරියාකාරව අාරම්භ වූයේ පසුගිය සඳුදා සිටය. අප්‍රේල් 22 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ප්‍රහාරයත් සමඟ පාසල් ආරම්භ කිරීම කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.


කනිෂ්ඨ හා ද්විතීයික අංශවල පංති පසුගිය 6 වැනිදා සිටත් ප්‍රථමික පන්ති පසුගිය 13 වැනිදා සිටත් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් සිසුන්ගේ පැමිණීම බෙහෙවින්ම අඩුවී තිබුණි. එයට හේතුව වූයේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් නොවීමය. රට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති නිසා දරුවන් පාසල් එවන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විටින් විට ප්‍රකාශ කළත් මවුපියන්ට ඒ සඳහා විශ්වාසයක් නොවීය.


මවුපියන් සිය දරුවන් පාසලට එවීමට දැක්වූ බිය නිසා පාසල් ආරම්භ කළ දිනවල සිසුන්ගේ පැමිණීම බෙහෙවින් අඩුවී පැවැති බව වාර්තා වේ. පාසල ආරම්භ කළ පළමු දිනයේ කොළඹ ප්‍රධානපෙළේ ජාතික පාසල්වලට සිසුන්ගේ පැමිණීම සියයට 1, 2 ක තරමට පහත වැටී තිබුණි.


ඒ අනුව පළමු දිනයේ කොළඹ ආනන්ද විද්‍යාලයට සිසුන් 25ක්, නාලන්ද විදුහලට 47ක්, විශාඛා විද්‍යාලයට 50, ශාන්ත පාවුළු විද්‍යාලයට 60, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට 63, අනුලා විද්‍යාලයට 71ක්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට 46ක්, ධර්මරාජ විද්‍යාලයට 40, උසස් කාන්තා විද්‍යාලයට 40, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට 185, බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලයට 450, මාතර රාහුල විද්‍යාලයට 50, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට 85ක්, මලියදේව බාලිකා විද්‍යාලයට 75, ශාන්ත ආනා විද්‍යාලයට 60, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයට 32, හලාවත ශාන්ත මරියා විද්‍යාලයට 11ක් පැමිණ සිටි බව වාර්තා වේ.


සමස්ත රටේම පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 5ක ප්‍රමාණයකට අඩු මට්ටමක පැවැති බවද සඳහන් වේ.


ලබන අගෝස්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පස් වැනි වසර ශිෂ්‍යත්ව විභාගය සහ කඩයිම් විභාග පැවතුණත් ඒ සඳහා අධ්‍යාපන කටයුතුවල යම් පාඩුවක් සිදුවුවත් මවුපියන් තම දරුවන්ගේ ආරක්ෂාව ගැන දැඩි තීන්දුවක සිටි බව පැහැදිලිය.


පාසල්වල ආරක්ෂාවට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විටින් විට ප්‍රකාශ කළත් මව්පියන් ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් දැක්වූ බවක් පෙන්නුම් නොකරයි.


සෑම පාසලකටම එක් පොලිස් නිලධාරියෙක් හෝ යොදවන බවට ප්‍රකාශ කර තිබුණි. එහෙත් මවුපියන්ගේ මතය වී ඇත්තේ හදිසි ව්‍යසනයක් සිදුවුවහොත් එක් පොලිස් නිලධාරියෙක් කුමක් කරන්නද යන්නයි.


අනතුරක සැකසංකා ඇතිව දරුවන් පාසලට එවීමට මවුපියන් සූදානම්ව නොසිටි බව පැහැදිලිය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සිය ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇති බවද සඳහන් විය.


අගනුවරත් තදාසන්න නගරවලත් ජාතික හා ප්‍රධාන පාසල් තුළ හා ඒ අවට ප්‍ර​දේශ පරීක්ෂා කිරීමේ ප්‍රතිඵල ලෙස යළි පාසල් විවෘත කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් පවතින බව ආරක්ෂක අංශ රජයට දැනුම් දී තිබුණි. පාසල්වල ඇතුළත බෝම්බ නොතිබුණත් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් කුමන ආකාරයට සිදුවේදැයි කිව නොහැකි බව මවුපියන්ගේ මතය වී තිබුණි.


හදිසි සිදුවීමකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් කළ නොහැකි බව මවුපියන්ගේ මතය වී තිබුණි. සැකයෙන් බියෙන් දරුවන් පාසල් එවනවාට වඩා දරුවන් නිවෙස්වල රඳවා ගැනීම සැනසිල්ලක් බව මවුපියන්ගේ මතය වී තිබුණි. සියල්ලට වඩා වටින්නේ දරුවන්ය. වෙසක් පොහොයෙන් පසුව දරුවන් පාසලට එවීමට මවුපියෝ පොදු එකඟතාවක සිටියහ. දරුවන් ආරක්ෂාකාරියි, පාසල් එවන්න යනුවෙන් හමුදාපතිවරයා ප්‍රකාශ කළත් මවුපියන් දරුවන් පාසලට එව්වේ ඒ කීම විශ්වාසයේ තබා ගෙන නොවන බව පැහැදිලිය. මවුපියන් තනි තනිව තීරණය කර තිබුණේ වෙසක් පොහොයෙන් පසු දරුවන් පාසල් එවන බවය. ඒ නොයවා බැරි නිසාය.


මේ වනවිට සිසුන්ගේ පැමිණීම සියයට 90ක ප්‍රමාණය ඉක්මවා ඇත. පාසල්වල ආරක්ෂාවට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටිති. පාසල අසල වාහන නතර කර තැබීම වළක්වා ඇත. එකවර පොදියට දරුවන් පාසලෙන් එළියට ඒම වළක්වා ඇත. මවුපියන් කණ්ඩායම් වශයෙන් පාසල් ගේට්ටු අසල යොදවා සිටිති. ආරක්ෂක නිලධාරීන් එක් කෙනෙක් දෙන්නෙක් පාසල අසල යොදවා සිටිති.


මවුපියන් තවමත් දරුවන් පාසලට එවන්නේ සැකයෙන් හා බියෙනි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගතයුතු බවයි. මවුපියන්ට තම දරුවන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුව ඇත. සමූහ ආරක්ෂක විධිවිධාන කොයිතරම් සලසා තිබුණත් මවුපියන්ගේ බිය තුරන් වී නැත. දරුවා නිවසට එනතෙක් මවුපියන්ගේ හදවත් ගැහෙමින් පවතී. පසුගිය දින කීපය තුළ බරපතළ සිද්ධියක් වාර්තා නොවූවත් අනතුර කොයි මොහොතේ කොතැනක දැයි කිව නොහැකිය. පාස්කු ඉරිදා ඛේදවාචකය ක්‍රමයෙන් මතකයෙන් ඉවත් වෙමින් පවතී. ඒ සුළු අඩුපාඩුවක් හමුවේ යළි අනතුරක් වනතුරු දැයි මවුපියෝ සැක පහළ කරති. 

 


පාසල්වලට පැමිණෙන සිසුන්ගේ සංඛ්‍යාව ඉතා හොඳ තත්ත්වයෙන් පවතින බව ප්‍රකාශ කරන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද සඳහන් කරයි.


‘‘පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛව ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව මේ වනවිට පාසල් එන සිසුන්ගේ සංඛ්‍යාව ඉතා හොඳ තත්ත්වයක පවතිනවා. පාසල්වල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙනවා. අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසටද සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.


කෙසේ වෙතත් පාසල් කටයුතු අඩාළ වන අන්දමට ප්‍රකාශ සිදුකරන කණ්ඩායම් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙනවා. ඇතැම් විදුහල්පතිවරු හා ගුරුවරුන් ද දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙසට බලපෑම් කර තිබූ බවට ද තොරතුරු ලැබී තිබුණා.


විවිධ දේශපාලන පටු අරමුණු හා අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරනු ලබන එවැනි පුද්ගලයන් හා කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.


එමෙන්ම එවැනි පුද්ගලයන් හා කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරනවා. පාසල් විවෘත කිරීමට පෙර සියලු ආරක්ෂක නිලධාරීන් සමඟත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟත් ගුරුවරු සමඟත් සාකච්ඡා කළා.


සියලු පාසල්වල ආරක්ෂක විධිවිධාන තහවුරු කර ඇති බැවින් අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කළා.


ඒ අනුව ප්‍රාථමික පන්ති පසුගිය 13 වැනිදා සිට ආරම්භ කළා. හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පන්ති ගිය 6 වැනිදා සිට ආරම්භ වුණා. එසේ ආරම්භ කළේ ආරක්ෂක මණ්ඩල ප්‍රමුඛ ආරක්ෂක අංශ විසින් පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුවය.


පළමු දිනයේ සිසුන්ගේ පැමිණීම අඩු මට්ටමක පැවැති බව වාර්තා වුණා. විශේෂයෙන් අගනුවර ආශ්‍රිත පාසල්වල මේ තත්ත්වය වැඩි වශයෙන් පැවති අතර බොහෝ ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බව එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් තහවුරු කර තිබෙනවා. ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවති අතර බොහෝ පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රාජකාරියට වාර්තා කිරීම විශේෂත්වයක්.


පසුගිය දිනවල සිදුවූ අවාසනාවන්ත සිදුවීම්වලට සාර්ථකව මුහුණ දෙමින් අසත්‍ය ප්‍රචාරයන් හමුවේ හා පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ වුවද තම දරුවන් පාසල්වලට යොමු කළ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් කැප වූ සියලු මාපියන්ට ස්තූති කළ යුතු වෙනවා.


ඇතැම් වෘත්තිය සමිති සිය සමිති ජනප්‍රිය කරවා ගැනීමට විවිධ අසත්‍ය හා ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරමින් සිටියා. ජනප්‍රිය සටන් පාඨ කියමින් සමාජය මුළා කර සාමාජිකත්ව ප්‍රවර්ධනයේ යෙදෙන මේ වෘත්තීය සමිතිවලට වඩා දරුවන් හා පාසල් පිළිබඳ වගකීමක් රජයට හා ආරක්ෂක අංශවලට ඇති බව සිහිපත් කිරීම අවශ්‍යයි.
මෙවැනි සංවේදී මොහොතක කළ යුතුව තිබෙන්නේ වාද භේද දුරලා එකට එක්ව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදී කටයුතු කිරීම මිස අවස්ථාවාදී අරමුණු හඹා යාම නොවන බවද අවධාරණය කළ යුතුව ඇත.’’


පාසල්වල දරුවන්ගේ පැමිණීම දැන් හොඳ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ මෙසේ කීහ.
‘‘පාසල්වලට පැමිණීම ඉතාම අඩු තත්ත්වයක පැවතුණා. මේකට ප්‍රධාන හේතුව වූයේ රටේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් තුළ පවතින අවිශ්වාසයයි. ප්‍රමාණවත් විශ්වාසයක් නැහැ. ඒ තත්ත්වය යටතේ දරුවන් පාසලට එව්වේ නැහැ.


මේ වනවිට සියලුම මුස්ලිම් පාසල් රාමසාන් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා. කාදිනල්තුමාගේ ඉල්ලීම මත කතෝලික පාසල් ටික වසා දැම්මා. අනෙකුත් පාසල්වලට දරුවන් එවීමට මව්පියන් තුළ විශ්වාසයක් තිබුණේ නැහැ. පසුගිය කාලය පුරා ආයුධ කඩු, කිනිසි විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම සිදුවී තිබුණා. ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් නොවීම නිසා මවුපියන් සිය දරුවන් පාසලට එවීමට බිය වුණා. දේශපාලනඥයන්ගේ දරුවන් හා ආරක්ෂක විද්‍යාලයේ දරුවන්ගේ පැමිණීම දුර්වල තත්ත්වයක තිබුණ අවස්ථාවක රටේ අනිත් දරුවන් පාසලට එවාවි කියලා හිතන්න අමාරුයි. බියෙන් සැකයෙන් යුතුව වුවත් මව්පියන් දරුවන් පාසල් එවනවා. ඒ ඒ පාසල් මට්ටමින් ආරක්ෂාව සලසා තිබෙනවා.’’


පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාපියන්ට බර පටවා රජය ගැලවී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කීය.


තවමත් ප්‍රධානපෙළේ පාසල්වලට සිසුන්ගේ පැමිණීම සියයට 100ක් වී නැති බව ප්‍රකාශ කළ ඒ මහතා මෙසේ ද කීය.


‘‘තවමත් ප්‍රධාන පාසල්වලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව සියයට 70ත් 60ත් පමණ වෙනවා. ගම්බද පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 100ක් වී තිබෙනවා.


ආරක්ෂාවත් සමඟ බොහෝමයක් පාසල්වල සිසුන්ට විනිවිධ පෙනෙන බෑග් ගෙන එන ලෙසට නියම කර තිබෙනවා. මෙම බෑගයක් රුපියල් 2000ක් පමණ වෙනවා. ඒත් පාසලක දරුවන් විනිවිධ බෑග් නොගෙනා නිසා පොත් ටික අතේ අරගෙන යන්න කියා තිබෙනවා. මවුපියන් දරුවන්ට අලුත් බෑග්‍ රැගෙන දුන්නේ ජනවාරි මාසයේදී. දැන් යළිත් බෑග් මිලදී ගැනීම විශාල ප්‍රශ්නයක්. එදිනෙදා ජීවිකාව කරගන්න බැරිව තිබියදී දරුවන්ට රුපියල් 2000ක් වියදම් කිරීම ප්‍රශ්නයක්.


තවත් පාසල්වල සී.සී.ටී.වී. කැමරා මිලදී ගැනීමට මුදල් එකතු කරනවා. රජයේ රැකියාවල යෙදී සිටින මවුපියන්ට නිවාඩු දමා පාසල් රැකීමේ කටයුතුවල යෙදීමට සිදුවී තිබෙනවා. දිනපතා වැටුප් ලබන මවුපියන්ට මෙය බරපතළ ප්‍රශ්නයක්.’’

 

 

දයාසීලි ලියනගේ