පාර්සල් ප්‍රවාහනයට ප්‍රකට ඩී.එච්.එල්. සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • Dalgey (D) Hilliblom (H) Lynn (L) මුලකුරු ගෙන DHL නාමය යොදා ගෙන තිබේ.
  • වසරකදී පාර්සල් බිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් ලබාදීම සිදු කරයි
  • අද නිර්මාතෘවරුන් තිදෙනාම ජීවතුන් අතර නෑ

 

ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය වෙතින් අද අප ඔබට විස්තර කරන්නට සූදානම් වන්නේ ලෝකයේ වේගවත්ම සේවාවක් ලබාදෙන අකුරු තුනේ සමාගම ගැනයි. පාර්සල්, ලිපි සහ භාණ්ඩ රටකින් රටකට සීග්‍රගාමී සේවාවක් ලෙස ලබාදීම වෙනුවෙන් සේවා සපයන මෙම සමාගම DHL ය.   


ඩල්සි (ඩේල්සි), හිල්බ්ලම් (හිල්බ්ලුම්), ලිසන් (ලින්) යන තිදෙනාගේ නාමයන් හි මුල් අකුරු යොදාගෙන DHL ලෙස මෙම සමාගම නම්කර තිබේ. Dalsey (D), Hillblom (H), Lynn (L) ඉංග්‍රීසි භාෂාවෙන් ඔවුන් තිදෙනාගේ නාමයන් හැඳින්වෙන්​නේ එලෙසිනි.   


1969 දී, එනම් මීට වසර 52 කට පෙර ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී DHL ආරම්භ වූවේ ජර්මනියේ ඩොයිෂ් පොස්ට් හි හෙවත් ජර්මානු පෝස්ට්හි අංශයත් ලෙසිනි. සීඝ්‍රගාමී සේවයක් ලෙස පාර්සල්, ලිපි ලේඛන හා භාණ්ඩ ප්‍රවාහනය කරදීම නිසා ඩී.එච්.එල්. සමාගම වසරක් යාමට මත්තෙන් ලෝකයේ ප්‍රකට සමාගමක් බවට පත්විය. හැටේ දශකය අග භාගයේදී ලෝකයට විවර වූ ඩී.එච්.එල්. හැත්තෑව දශකයේ අගභාගය වන විට ලෝකයම අල්ලා ගනිමින් ලොව පුරා සේවා සැපයීමට පටන් ගත්තේය. ඩී.එච්.එල්. එලෙසින් ලෝකයේ ප්‍රකට වීමට ප්‍රධාන හේතුව වූයේ ගමනා ගමනයෙහි වේගවත් අංශ ස්පර්ශ කිරීම නිසාය. ඇමෙරිකානු කලාපය සහ ලෝකයේ දූපත් අතර ඔවුන් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සේවා සැපයීම සිදු කළේ එයාර් කාගෝ නමින් ව්‍යාප්ත කොට ඩී.සී 3 සහ ඩී.සී. 6 ගුවන් යානා භාවිතා කරමිනි. විශේෂයෙන්ම හවායි දූපත්වලට භාණ්ඩ ප්‍රවාහනය සිදු කළේ එම ගුවන් යානා මගිනි.   


අද වනවිට ඇමෙරිකාවේ ෆෙඩොක්ස් නොහොත් ෆෙඩරල් එක්ස්ප්‍රස් ආයතනය මේ අයුරින් සේවා සැපයීමේ පෞද්ගලික සමාගමක් ලෙස ඩී.එච්.එල්. අභිබවා ගොස් සිටියද 1969 දී ආරම්භ කරන ලද ඩී.එච්.එල්. තැපැල් අංශයෙන් ගත්විට ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් සේවා සපයන ලොව ප්‍රමුඛතම ආයතනය ලෙස හැදින්වේ. අර්බුද පවතින ඉරාකය, ඇෆ්ගනිස්ථානය, බුරුමය වැනි රටවල පවා ඩී.එච්.එල්. සක්‍රීයව සේවා සැපයීම නිසා එ​සේ ඉහළින් සිටීමට හැකිව තිබේ. සේවක සංඛ්‍යාව දෙස විපරම් කර බලන විට ෆෙඩෙක්ස් (Fedex) සතු සේවක සංඛ්‍යාව හය ලක්ෂයක් පමණ වේ. DHL හි සේවක සංඛ්‍යාව හාර ලක්ෂයකට ආසන්නය. නමුත් අසූව දශකයේ මුල් භාගයේදී ඩී.එච්.එල්. එයා කාගෝ අංශයට ​සේවය සඳහා එක්ව සිටියේ 100 කට ආසන්න පිරිසකි. සේවක ප්‍රමාණය අඩු වුවද සේවා සැපයීමේදී ඔවුන් දැක්වූ වේගවත් බව නිසාම ලෝකයේ ප්‍රචලිත විය. 1983 වන විට ඩී.එච්.එල්. බංකොලොත් තත්ත්වයට පත්ව තිබුණද ඒ තත්ත්වය මග හරවා ගැනීමට හැකි වූයේ ඩල්සි (ඩොල්සි) සහ හිල්බ්ලම් පෞද්ගලික මැදිහත් වී ක්‍රියා කිරීම නිසාය. වෙසෙසින්ම Fedex ලාගේ අවතීර්ණ වීම මත ඔවුනට මුහුණ දීමට සිදු වූයේ ලොකු අභියෝගයකටය. මෙහි අවසන් ඵලය වූයේ 1990 අග භාගය වනවිට ඩොයිෂ් පෝස්ට් හෙවත් ජර්මානු තැපැල් ආයතනය විසින් ඩී.එච්.එල්. සතු මූල්‍ය කොටස් සියල්ලටම උරුමකම් කීමය. 2002 වන විට සියලු කොටස් ඩොයිෂ් පෝස්ට් නතු වූ අතර ඉනික්බිතිව DHL හට නව මුහුණුවරක් ලබාදීමට ඩොයිෂ්ලා කටයුතු කළේය. ඒ ගමන සාර්ථක වූයේ 2016 වන විට යුරෝ බිලියන 14 ක පමණ ආදායම් වැඩිවීමක් ලබමිනි. මෙලෙසින් ගමනක් ආ ඩී.එච්.එල්. හි ඇරඹුමට හේතු වූ ඉතිහාසය දෙසට අපි මොහොතක් විපරම් කර බලමු.   


ඇරඹුමක අසිරිය 


එවකට ලැරී හිල්බ්ලම් කැලිෆෝනියා සරසවියේ නීති සිසුවකු ලෙස අධ්‍යාපනය හදාරමින් සිටියේය. බර්ක්ලි බෝල්ට් හෝල් ස්කූල් ඔෆ් ලෝ අංශය එම සරසවියේ ඉතා ප්‍රකට වූ අංශයක් විය. එහි සිට නීතිය හැදෑරුවද 1960 දශකය එළැඹි පසු හිල්බ්ලම් මිචල්ස් පෝ ඇසෝසියේට් රක්ෂණ ආයතනයේ Courier (ලිපි ආදිය ගෙන යන්නා) ලෙස සේවයට එක්විණි. එම ආයතනයේ ලිපි හා භාණ්ඩ ප්‍රවාහනය කරදීම සඳහා වූ වගකීම ඔහු හට පැවරුණේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් ​තොටුපළේ සිට ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වාය. එක් පැත්තකින් භාණ්ඩ ලබාගෙන අනෙක් ගුවන් තොටුපල වෙත ගෙන ගිය ඔහු මාරුවෙන් මාරුවට ඒ කටයුත්ත සිදු කළේය. නීතිය ඉගෙන ගත් සිසුවා තමා නීතිය උගත්තේය යන අදහසින් හිස උදුම්මා නොගෙන එලෙසින් පණිවුඩකරුවකු නොහොත් සරලවම කිවහොත් තැපැල් කරුවකු ලෙස කටයුතු කරමින් සිටියේය. නීති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඒඩ්‍රියන් ඩෝල්සි නමැති පුද්ගලයා ඔහුට හමුවිණි. ඩොල්සි කටයුතු කරමින් සිටියේ සේල්ස්මන් කෙනෙකු හැටියටය. ඩොල්සි තම සමාගමේ ව්‍යූහය ගැන හිල්බ්ලම් හට කියා සිටියේය. ඒ අනුව නව ගමනක් යාමට මේ දෙදෙනා කටයුතු සැළසුම් දියත් කර තිබුණි. අපි අපේම වැඩක් කරමු යන්න අදහස් කරගෙන මුලින්ම ඔවුන් දෙදෙනා සිදු කළේ ගුවන් ගමනේ යෙදෙමින් ‘‘සියැට්‍රේන් ලයින්ස්’’ ආයතනය වෙනුවෙන් සේවා සැපයීමය. එම සමාගමේ බිල්පත් ප්‍රවාහනය කිරීම ඔවුන් දෙදෙනාගේ රාජකාරිය විය. පසුව සමාගමක් ඇරඹීම සඳහා හිල්බ්ලම් තමාට ලැබුණු ශිෂ්‍ය ණය ඉතිරි කරගෙන තිබිණි. ඒ මුදලින් කොටසක් යොදා තමාගේ මිතුරන් දෙදෙනා වු ඒඩ්‍රියන් ඩෝල්සි සහ රොබට් ලින් හට හවුල්කරුවන් ලෙස දායකවන්නැයි ආරාධනා කර සිටියේය. ඔවුන්ගේ නව සමාගමට මුලකුරු සහිතව නම් යෙදීමට තිදෙනාම මනාප වූ අතර සමාගම ලියාපදිංචි කළේ DHL නමිනි. මුලින්ම ඔවුන් සතුව තිබුණේ ප්ලයිමවුන් ඩස්ටර් නමැති දොර දෙකේ රථයක් පමණි. සැන් ෆැන්සිස්කෝ නගරය පුරා රථය පදවාගෙන යමින් බෙදාහැරීමට ලිපි ලේඛණ එකතු කර ගත් පසු ඒවා බහාලුයේ සූට්කේසයකය. ගුවන් යානා මගින් සේවා සැපයීම සඳහාම භාණ්ඩ බාරගත් අතර මැක්ස් ඇන්ඩ් බ්ලැන්ඩ් ක්‍රෝල් සමාගම ඔවුන්ගේ ප්‍රථම සේවා දායකයා විය. ඒ අනුව DHL තව තවත් අලුත් අංශයක් ලෙස පැමිනි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අංශයට අවතීර්ණ වීමට හැකිවිය. 


1970 දී ලෝකය ස්පර්ෂ කිරීම 


එවකට ප්‍රකටව තිබුණේ මෙවැනි අංශයේ ​සේවා සැපයු සමාගම් ලෙස ලුවිස් සහ පියුරෝලේටර් යන සමාගම්ය. ඒවා අභිබවා යමින් ජාත්‍යන්තර සමාගමක් ලෙස ඉදිරියට ඒමට DHL නව 1970 දශකය එළැඹෙත්ම හැකිවුණි. මෙලෙසින් අකුරු තුනකින් ලෝකය ස්පර්ෂ කිරීමට වාසනාවන්ත වූ මිතුරන් තිදෙනා මොනවගේ අයවීද කියා අපි දැන ගනිමු. 


ලැරී හිල්බ්ලම් 


ලැරී ලී හිල්බ්ලම් වන ඔහු උපත ලැබුවේ 1943 මාර්තු 12 වැනිදා කැලිෆෝර්නියාවේ කිංග්ස්බර්ග්හිදීය. තරුණ වියේදී කොන්කෝර්ඩියා ලුදර්න් දේවස්ථානය හා සම්බන්ධ වී කටයුතු කළ අතර කිංග්ස්බර්ග් උසස් පාසලෙන් අධ්‍යාපනය ලබමින් සිටියේය. පසුව රීඩ්ලි කොලීජියට ඇතුළත්වී අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පෙර කී පරිදි නීති උපාධිය වෙනුවෙන් කැලිෆෝර්නියා සරසවියට අනුබද්ධ බර්ක්ලිස් බෝල්ට් ගෝල් ස්කූල් නීති පාසලෙන් නීති උපාධියට හිමිකම් ලබා ගත්තේය. 


ලැරී හිල්බ්ලට් ගිණිකොණ දිග ආසියාවේ සංචාරය කිරීමට බෙහෙවින් ප්‍රියතාවයක් දැක්වූ අයෙක් වීය. වියට්නාමයේ සිට ජීවිතය ගත කිරීමට බෙහෙවින් ප්‍රිය වූ ඔහු වසා දැමීමට තිබූ ‘‘ඩලත් පැලස්’’ හෝටලය සහ ඇය සතු ගොල්ෆ්පිටිය නැවත පිළිසකර කොට වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 40 ක් වැය කිරීමට පවා උනන්දුවිය. එතැනින්ද නොනැවතී වියට්නාමයේ සිට තව තවත් ආයෝජන සඳහා මුදල් යෙදවීය. වියට්නාමයේ හෝචිමිං සිටි ඔහුගේ රාජධානිය භාර ගනිමින් සිටි අතර එහි හවුල්කරුවන් සමග බොහෝ ආයෝජන කරමින් සිටියේ ඇමෙරිකාව වියට්නාමයට එවකට සම්බාධක පනවා තිබි සමයකදීය. එනිසා මුදල් ආයෝජන කළේ වෙනත් සමාගම් මාර්ගයෙනි. එලෙසින් ආසියාවට ලොල් බැඳි හිල්බ්ලම් ගුවන් ගමන් සඳහා මෙන්ම ගුවන්යානා කෙරෙහි මහත්වූ ආසාවක් දැක්වීය. ගුවන් යානාවලට හිමිකම් කීමට ආසා කළ නිසාම ඔහු සතුව කුඩා ගුවන් යානා කීපයක් තිබිණි. ඒ අතර ගොඩ බිම දෙකෙහි පියාසර කළහැකි සීප්ලේන් (Sea Plane) යානයක් පවා තිබිණි. ගුවන් ගමන් ගුවන් යානාවලට මෙන්ම කාන්තා ඇසුරටද අතිශය ලොල් වූ කෙනෙක් යැයි සමහරු ප්‍රකාශ කළහ. හිල්බ්ලම් විවාහ වූයේ කිනම් කාන්තාව සමගද යන්න නිශ්චිත වශයෙන් කිසිදු තැනෙක සඳහන්ව නැත. නමුදු ඔහුට දාව විවිධ කාන්තාවන් දරුවන් බිහිකර ඇති වග සඳහන් විණි. පාසල්වියේ දැරිවියන් මෙන්ම නාඹර ගැටිස්සියන් සමග සබඳතා ඇති කරගත් අයෙක් යැයි තවත් වාර්තාවල දැක්වේ. එහෙත් ඒවායෙහි සත්‍යතාවයන් නිවැරදිව සොයා දැනගත යුතුවේ. 


මොන විදියකින් හෝ වේවා මොන විදියේ ගති පැවතුම් තිබූ මිනිසකු වේවා අලුත් යමක් ලෝකයට දායාද කරවීමට තවත් මිනිසුන් දෙදෙනෙකු සමග එක්ව ව්‍යවසායකත්වයේ පමණක් යමින් සිටි හිල්බ්ලම් වයස අවුරුදු 52 දී තමා සතු ගුවන් යානයක්ව තිබූ සී ප්ලේන් යානය 1995 මැයි 21 වැනිදා ජේගන් දූපත්වලදී අනතුරට පත්වීමෙන් ජීවිතක්ෂයට පත්විය. එහි ගමන්ගත් ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුවා සහ ගුවන් නියමුවාගේ සිරුරු හමු වුවද හිල්බ්ලම්ගේ සිරුර සොයා ගැනීමට නොහැකි විණි. ඔහුගේ අතුරුදන් වීමෙන් අනතුරුව දරුවන්ගේ හිමිකම් කියා පාමින් කාන්තාවෝ රොත්තක් ඉදිරිපත් වූහ. නමුත් පීතෘත්වය සනාථ කර ගැනීමට ඒ සියල්ලන් හට නොහැකි වූයේ ප්‍රමාණවත් සාක්ෂි සහ සනාථ කර ගත හැකි කරුණු නොමැති වූ බැවිනි. හිල්බ්ලම්ගේ මව, සහෝදරයා සහ ඥාති සහෝදරයා හට ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමට සිදුවූයේ කාන්තාවන් රැසක් ඔවුනට හිල්බ්ලමිට දාව දරුවන් සිටින බවට නඩු මගට බැස තිබූ නිසාය. කෙසේ වෙතත් අවසාන අනන්‍යතාවය ඔප්පු කර ගැනීමට හැකිවූයේ දරුවන් හතර දෙනෙකුගේ මව්වරුන් හට පමණකැයි සඳහන් වේ. ඔවුන් සඳහා මිලියන 90 ක් පමණ ධනය බෙදීගිය අතර ඩොලර් මිලියන 240 ක පමණ ධනස්කන්ධයක් හිල්බ්ලම් පදනමට බැර කෙරිණි. එය සමාජ සත්කාර සිදුකෙරෙන පුන්‍යායතනයකි. හිල්බ්ලම්ගේ (අතුරුදන්වීමෙන් අනතුරුව) ඇලෙක්සිස් ස්ප්‍රේක් අධ්‍යක්ෂවරයා විසින් කෝටිපතියාගේ හෙවනැල්ල (Shadow Billionaire) නමින් කළ වාර්තාමය චිත්‍රපටය ට්‍රිබෙකා ෆිල්ම් උළෙලේදී පළමුව ප්‍රදර්ශනය වූ චිත්‍රපටය විය. 


ඒඩ්‍රියන් ඩොල්සි 


DHL බිහිකිරීමට හිල්බ්ලම් සමග පුරෝගාමී වූ අනෙක් සගයා වූ ඒඩ්‍රියන් ඩොල්සි හෙවත්ඩැල්සි උපන්නේ 1914 ඔක්තෝබර් 14 වැනිදා චිකාගෝ ඉලිනොයිස් හිදිය. ඉලිනොයිස්හි වීමත් කොලීජියෙන් අධ්‍යාපනය ලබමින් සිටියද පසුව ඔහු එය හැරගිය බව සඳහන් වේ. මැජොරිඑට් සමග විවාහ වූ ඩොල්සි හට දරුවන් දෙදෙනෙක් විය. ඊට අමතරව තවත් කාන්තාවකට ඔහුට දාව දරුවකු විය. ඒ දරුවාගේ මව සමග ඔහු විවාහ වූයේ මාජෝරිෂට් ගෙන් දික්කසාද වීමෙන් පසුවය. 1994 ඔක්තෝබර් 10 වැනිදා වෝල්කට් ක්‍රීක් කැලිෆෝර්නියාහි නිවසේ සිටියදී මියෙන තෙක් ඔහු ජීවත් වූයේ දෙවැනි කසාදයේ බිරිඳ සමගය. 


රොබට් ලින් 


DHL අකුරු තුනට අරුතක් ගෙන දුන් අනෙක් තැනැත්තා රොබට්ලින් (L) උපත ලබා ඇත්තේ බල්ගේරියාවේදී යැයි සඳහන් වේ. ඉන්පසුව ඔහු හැදී වැඩුණේ ඔස්ට්‍රියාවේ වියානාහිදීය. විකුණුම් හා අලෙවිකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා සිටි අයෙක් විය. 1960 දශකයේදී ඔහුගේ ආයතනයක් ස්ථාපිත කරවූයේ ඇමෙරිකාවේ සිටය. 1939 දී ලින් ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියේය. 1969 දී DHL ඇරඹීමෙන් අනතුරුව ‘‘ලින්’’ වෙනත් ව්‍යාපාර සඳහා ඩී.එච්.එල්. ආයතනයෙන් ඉවත් වූ බව වාර්තාවල සඳහන් වේ. ලින්ගේ බිරිඳ දරුවන් ගැන විස්තර සඳහන් නොවේ. 1998 පෙබරවාරි 11 වැනිදා වොෂිංටනයේ සියැටල්හිදී ඔහු මිය ගිය බව සඳහන් වේ. මිය යන විට 76 වියෙහි පසුවිය. 


DHL ආයතනය බිහිකළ ඒ අපූරු ව්‍යවසායකයින් තිදෙනාම අද ජීවතුන් අතර නැත. එහෙත් භාණ්ඩ හා ලිපි ප්‍රවාහනය සඳහා අලුත් දෙයක් ​ලෝකයට හඳුන්වාදුන් ඒ මිනිසුන් තිදෙනාගේ නාමය හැමදාම පවතිනු ඇත. අකුරු තුනක් මැවූ අරුමය හරි පුදුමයි නේද? 

 


DHL අද 


පසු කාලීනව DHL හි ව්‍යාපාරික හා සේවා අංශ විවිධ සමාගම් යටතේ කළමනාකාරීත්වයට පත්ව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ සිංගප්පූරුව, මැලේසියාව, චීනය යන රටවල මෙහෙයුම් මූලස්ථාන ස්ථාපිතය. යුරෝපීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ ජර්මනියේ ලීප්සිග් නගරයේය. භාණ්ඩ හා සේවා මෙන්ම ලිපි ප්‍රවාහනයේදී DHL සමාගම පරිසරය ගැන වඩාත් උනන්දු වන බව වාර්තාවල සඳහන් වේ. එනම් පරිසරයට අවම හානියක් ඇතිවන පරිදි විකල්ප ඉන්ධන භාවිතය වාහන සඳහා යොදා ගනී. විදුලි වාහන සහ හරිත සංකල්පයට ගැලපෙන පරිදි රථ වාහන යොදා ගැනීම ඔවුනගේ අරමුණ වේ. ඩොයිෂ් ජෝස්ටි සහ ඩී.එච්.එල්. එක්ස්ප්‍රස් සතු වාහන 70,000 ක් පමණ වේ. ඊට ස්කූටර් වර්ගයේ (පරිසර හිතකාමී) බයිසිකල්ද අයත්ය. ඔවුන් සතුව ගුවන්යානා 5 ක් තිබෙන අතර වෙනත් ගුවන්යානා 270 ක අමතර සේවා ලබා ගනී. මෙලෙසින් ඩී.එච්.එල්. සේවා සපයද්දී 2002, 2003, 2008, 2010 මෙන්ම 2021 පෙබරවාරි 13 දින ගුවන් යානා අනතුරුවලට මුහුණ දී ඇති බවද සඳහන් වේ. 


අද ලෝකයම වසංගතයක් නිසා අකර්මන්‍ය වී ඇති මොහොතකි. එහෙත් ෆෙඩොක්ස් යූ.පී.එස්. මෙන්ම ඩී.එච්.එල්. ද සක්‍රීයව කටයුතු කරන්නේ ලෝක ජනතාවට ඔවුනගේ සේවය අත්‍යවශ්‍ය වන බැවිනි.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ