පාර්ලිමේන්තුවේ නිතර කියවෙන වචන


 

පාර්ලිමේන්තු සභාගර්භය තුළ මැති ඇමැතිවරුන් නිතර භාවිතා කරන වචන මාලාවක් තිබේ. එයින් අදහස් කරන්නේ ආවේගශීලී වී මැති ඇමැතිවරුන් ඇතැම් අවස්ථාවලදී භාවිත කරන (හැන්සාඩ් ගත නොකරන) යෙදුම් ගැන නොවේ. සාම්ප්‍රදායික පාරිභාෂික වචන මාලාවක් ගැනය. උදාහරණයක් ලෙස ගරු කතානායකතුමාගේ මුවින් නිතර නිතරම පිටවෙන වචනයක් වන්නේ ‘‘ඕඩර් ප්ලීස්’’ යන්නයි. අධිකරණයේදී ‘‘උසාවිය නිශ්ශබ්ද වෙනු’’ කීවාක් මෙන් ඕඩර් ප්ලීස්.... යන්නද භාවිතා වෙන්නේ නියෝගයක් වශයෙන් පාර්ලිමේන්තුව තුළදී පමණි. යටත් විජිත යුගයේ ඉංග්‍රීසියෙන් පැවැති මේ වචන අද සිංහලට පෙරළා සිංහල ඌරුව යොදා තිබේ.   


පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සභා ගර්භයට කැඳවන සැලළිහිණි නාදයේ අනුනාද සීනුව නාද වෙයි. ඉන් පසු සභා ගැබේ කතානායක දොරටුවෙන් ගරු කථානායක ඇතුළු වෙයි. නියෝජ්‍ය වේත්‍රධාරී හඬනගා ‘‘ගරු කතානායකතුමා’’ යැයි පවසයි. එය Hon Speaker යන්නෙහි සිංහල ඌරුවයි. සියල්ලෝම නැඟී සිටිති. සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායකතුමා සභාවේ සියල්ලටම හිස නමා ආචාර කරයි.   
සෙංකෝලය යනු ගරුත්වයත්, බලයත්, පිළිබඳ අධිකාරි සංකේතයයි. එය 1949 ලංකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිට මේ දක්වා භාවිතා කරන්නෙකි. 

 
මෙය බාරව සිටින්නේ පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයාය. පාර්ලිමේන්තු සභා ගර්භයේ නියමිත රැඳවුමක සෙංකෝලය තැන්පත් කිරීමෙන් කියැවෙන්නේ නීත්‍යානුකූලව පාර්ලිමේන්තු සභාව රැස්ව සිටින බවයි. සභාවාරය ආරම්භයේ සෙංකෝලය ඔසවා ගත් වේත්‍රධාරීවරයා පෙරටුකොට කතානායක සභා ගර්භයට ඇතුළුවෙන අතර කතානායකවරයා සභා ගර්භයෙන් පිට වී යද්දීත් වේත්‍රධාරි සෙංකෝලය ​රැගෙන යන්නේය.   
කතානායකතුමා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කරන ප්‍රථම කාර්ය ජනාධිපති ලිපි ලේඛන ප්‍රකාශයට පත් කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගද, මහජන පෙත්සම්ද සභාවට ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවට න්‍යාය පත්‍රයක් තිබේ. දිනට නියමිත කටයුතු එහි සඳහන්ව ඇත. එහි මුලින්ම ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයි. ඇතැම් විට පිළිතුරු සභාගත කරයි. මෙතැනදී ඇතැම් විට සභාව උණුසුම් වෙයි. එහිදී රීති ප්‍රශ්න මතුවෙන අවස්ථාද නැත්තේ නොවේ. මෙය මතු කිරීමට පෙර ‘‘පොයින්ට් ඔෆ් ඕඩර්’’ නොඑසේ නම් ‘‘රීති ප්‍රශ්නයක්’’ කියා පැවසේ. රීති ප්‍රශ්නයක්ද නැද්ද යන තීරණය ගන්නේ කතානායකතුමාය. මෙම රීති ප්‍රශ්න මන්ත්‍රීවරයෙකුට හෝ ඇමැතිවරයෙකුට ඕනෑම විටක මතු කළ හැකිය.   


පාර්ලිමේන්තු සභා ගර්භය තුළ භාවිතා වන සමහර වචන මෙසේය.   


Order Please කරුණාකර නියෝගයකි.   
Hon' Leader to the House ගරු සභානායකතුමනි.   
Point of order රීති ප්‍රශ්නයක්   
Hon Speaker Sir ගරු කථානායකතුමනි   
Standing Oreders ස්ථාවර නියෝග   
Supreme Court Decision ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු   
Divided බෙදීමක්   
Messages from the president ගරු ජනාධිපතිතුමාගේ නිවේදන   
Vote ඡන්දය   
Hon. Dy Speaker Sir ගරු නියෝජ්‍ය කථානායකතුමනි   
Rows පේලි (මන්ත්‍රීවරුන් අසුන්ගෙන සිටින පේලි)   
Hon. Chief Govt. whip ගරු ආණ්ඩුපක්‍ෂ සංවිධායකතුමනි   
Voting Time ඡන්දය විමසන අවස්ථාව   
Committee Stage කාරක සභා අවස්ථාව   
Table it සභාගත කරන ලදී.   
Move ඉදිරිපත් කරනවා   
Order Paper න්‍යාය පත්‍රය   
Next Speaker ඊළඟට කථා කරන්න (සභාව අමතන්න)   
Hon. Prime Minister Sir ගරු අගමැතිතුමනි   
Next Item ඊළඟ කරුණ   
Hon. Dy Minister ගරු නියෝජ්‍ය ඇමතිතුමනි   
Oral Questions වාචික ප්‍රශ්න   
Oral Answer වාචික පිළිතුරු   
Amendments සංශෝධන   
Hon. Minister ගරු ඇමතිතුමනි   
Motions යෝජනා   
Hon. Dy Chairman of Committees නියෝජ්‍ය කාරක සභාපතිතුමනි   
Sitting of the Parliament පාර්ලිමේන්තුව රැස්වීම   
I order to secretary General of මම පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග   
Parliament කරමි   
House Adjourn සභාව කල් තැබීම   
Hon Leader to the opposition ගරු විපක්‍ෂ නායකතුමනි.   
Adjournment time කල් තැබීමේ වේලාව   
Adjournment Question කල් තැබීමේ ප්‍රශ්න   
Carry on දිගටම කථාව කරන්න   
Order of the day දිනට නියමිත කටයුතු   
Order Book න්‍යාය පුස්තකය   
Addendum පරිපූරකය   
At the Commencements of public ප්‍රධාන කටයුතු ආරම්භයේදී   
business   
By name නමින් ඡන්දය දීම   


Notice motions and order of the dya යෝජනා පිළිබඳ දැනුම් දීම හා දිනට නියමිත කටයුතු   
Aye ඔව් (එකඟතාව, පක්‍ෂව ඡන්දය දීම) 

 
ඡන්ද විමසීමකදී නම් පක්ෂපාතීත්වය/ කැමැත්ත පළ කරන්නේ ‘‘හායි’’ (ආයි) කියාය. දෙමළෙන් නම් ‘‘ඕම්’’ය   
පහත සඳහන් යෙදුම් ද පාර්ලිමේන්තු තුළින් භාවිතයට ආ යෙදුම් ලෙස සැලකිය හැකිය.    


විශ්වාසභංග ඡන්ද විමසීම - රජයට එරෙහිව විශ්වාසය කඩ වීමේ ඡන්ද විමසීමක් අවශ්‍ය බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා සිටිය හැකිය. මෙම ඡන්ද විමසුම පරාජයට පත් වුවහොත් ඉන් අදහස් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඇති බවයි. එවන් අවස්ථාවක බොහෝ විට රජය ඉල්ලා අස්වීමක් දැකිය හැකිය.   


අපක්ෂපාතී කථානායක - කථා නායක ධුරය හොබවන පුද්ගලයා එම තනතුරෙහි රාජකාරි ඉටු කිරීමේදී පුද්ගලික හෝ දේශපාලන මතවාදවලට නතු නොවී ක්‍රියා කළ යුතුය. දේශපාලන සබැඳියාව කුමක් වුවත් කථානායකතුමා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සමව හා සාධාරණව සැලකිය යුතුය.   


නිල විපක්ෂය - දෙවැනියට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි වූ පක්ෂය මෙයයි. රජයේ නිීති සම්පාදනය, දේශපාලනය සහ වැඩසටහන් අධ්‍යයනය කර ඊට විකල්ප ඉදිරිපත් කිරීම ඔවුන් සතු කාර්යය වේ.   
දිනට නියමිත කටයුතු - පාර්ලිමේන්තු රැස්වීමේ කොටසක් යන්න මින් අදහස් කෙරේ. යම් දිනයකදී ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථාදායකයේ කටයුතු සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය හෝ පිළිවෙළ මීට අයත් වේ.   
නියෝග හා දැනුම් දීම් - මහ ලේකම්තුමාගේ කාර්යාලයෙන් මෙය ප්‍රකාශයට පත් කරන අතර එක් එක් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා දෛනික කෙටුම්පත් රජයේ කටයුතු ලිඛිත ප්‍රශ්න, පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කටයුතු සහ කාරක සභාවල තොරතුරු ලැයිස්තුගත කිරීම මෙහිදී සිදු කෙරේ. පාර්ලිමේන්තුවට සලකා බැලිය හැකි සියලු කරුණු මෙම ප්‍රකාශනයේ දක්වා ඇත. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ලෙස ද මෙය හැඳින්විය හැකිය.   


පාර්ලිමේන්තුව  - ව්‍යවස්ථාදායකය හෝ ව්‍යවස්ථාදායක සභාව යන වදන් මේ සඳහා භාවිත කෙරේ. මහ මැතිවරණයක් අවසන් වූ වහාම පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සිට රජයේ නිල කාලය අවසන් වීම හා මහා මැතිවරණයක් කැඳවීම දක්වා වන කාලසීමාව ද මින් අදහස් කෙරේ. එක් එක් පාර්ලිමේන්තුවට සැසිවාර එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විතය.   


පාර්ලිමේන්තු වරප්‍රසාද - පාර්ලිමේන්තුවට, එහි මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ කටයුතුවලට අත්‍යවශ්‍ය සෙසු පාර්ශ්වවල අයිතීන් හා මුක්තීන් පාර්ලිමේන්තු වරප්‍රසාද වේ. පාර්ලිමේන්තු ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වවලට සිය කාර්යයන් බාධාවකින් හෝ නඩු පැවරීමකට ලක්වීමකින් තොරව ඉටු කිරීම සඳහා අවකාශ සැලසීම මෙහි අරමුණයි. ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේදී මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශවලට එරෙහිව නඩු පැවරීමට හෝ චෝදනාවට ලක් කිරීමක් සිදු කළ නොහැක.   


පෙත්සම් - මහජන කරුණක් සම්බන්ධයෙන් වන යම් ගැටලුවකදී රජය හෝ ව්‍යවස්ථාදායකය යම් කියා මාර්ගයක් ගත යුතු බවට හෝ සිය ස්ථාවරය වෙනස් කළ යුතු බවට ඉල්ලා සිටින ලේඛනය.   
රිතී ප්‍රශ්නය - පාර්ලිමේන්තු රීතියක් උල්ලංඝනය වී ඇති අවස්ථාවක ඒ පිළිබඳ කථානායකතුමාගේ හෝ මුලසුනේ මන්ත්‍රීවරයාගේ අවධානය යොමු කිරීම සඳහා රීති ප්‍රශ්නයක් මතු කළ හැකිය. මෙම කරුණු සම්බන්ධයෙන් කථානායකතුමා අවසන් තීරණය ගනු ලබන අතර එය විවාදයට ලක් කිරීමට හෝ ඊට එරෙහිව අභියාචනයක් සිදු කිරීමට නොහැක.   


දේශපාලන පක්ෂය - විවිධ ප්‍රජාවන්, කණ්ඩායම් හා පුද්ගලයන් සමග සබඳතා පවත්වන සමාජය සම්බන්ධයෙන් වන පොදු දේශපාලනික හා ආර්ථික විශ්වාසයන් මගින් එක්සත් වූ පුද්ගල කණ්ඩායමක්.   
දේශපාලනය - පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් වන කලාව හෝ විද්‍යාව යන තේරුම ඇති පොලිටිකෝස් යන ග්‍රීක වදනින් බිඳී ආ වදනකි. පාලන තන්ත්‍රයක් ජයගෙන එහි පාලනය පවත්වා ගෙන යාම මින් අදහස් කෙරේ.   
පූර්වාදර්ශය - අනාගතයේ යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ආදර්ශ සපයන මීට පෙර ලබා දුන් තීන්දුවක් හෝ ක්‍රියාපිළිවෙතක් දීර්ඝ කාලීන ක්‍රියාපිළිවෙතකින් ඇති කර ගත් සම්මුතියක්.   


පෞද්ගලික කෙටුම්පත් - තනි පුද්ගලයන්, පළාත් පාලන ආයතන සහ ව්‍යවස්ථාපිත මෙන්ම පුද්ගලික සංස්ථා ඇතුළු යම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට යම් බලතල ප්‍රතිලාභ හෝ පොදු නීතියෙන් නිදහස ප්‍රදානය කරන කෙටුම්පත.   


පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් - රජය වෙනුවට පෞද්ගලික මන්ත්‍රීවරයෙකු විසින් හඳුන්වා දෙන පොදු කෙටුම්පත.   


ප්‍රකාශනය - නිල පොදු නිවේදනය කැබිනට් මණ්ඩලය සකස් කරන ලද සහ පාර්ලිමේන්තුවේ කථානායකතුමා විසින් ප්‍රකාශිත යම් නීතියක් බලාත්මක වන දිනය. 

 
පාර්ලිමේන්තු වාරය අවසන් කිරීම - ව්‍යවස්ථාදායක සභාවේ සැසිවාරයක් අවසන් කිරීම සඳහා කථානායකතුමා ගනු ලබන ක්‍රියාමාර්ගය මින් අදහස් කෙරේ. මෙය විසුරුවා හැරීමෙන් වෙනස් වෙන්නේ ඉන් පාර්ලිමේන්තුව අවසන් කරන බැවිනි. වාරය අවසන් කිරීමක් යනු පාර්ලිමේන්තුව අත්හිටුවීමකි. අවසන් වී නොමැති දිනට නියමිත කටයුතු යෝජනාවක් මගින් මීළඟ සැසිවාරය දක්වා ඉදිරියට ගෙන ගිය හොත් මිස එය මීළඟ සැසි වාරයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොවනු ඇත. 

 
ප්‍රශ්න ඇසීමේ වාරය - පාර්ලිමේන්තු දිනයකදී විනාඩි 60 ලබා දෙන කාල සීමාව. විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයේ කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීම මෙහිදී සිදු වෙයි. 

 
කියවීම් - කෙටුම්පතක් සම්මත වන අවදි මින් අදහස් කෙරේ. එනම් පළමු වර කියවීම, දෙවන වර කියවීම සහ තුන්වැනිවර කියවීම, පළමු වර කියවීමේ දී කෙටුම්පතක් හඳුන්වාදෙන අතර දෙවැනි හා තුන්වැනි වර කියවීමේදී එය විවාදයට බඳුන් කෙරේ.   


තේරීම් කාරක සභාව යම් කෙටුම් පත් හෝ ගැටලු සම්බන්ධයෙන් නිශ්චිතව අධ්‍යයන කිරීම සඳහා තේරීම් කාරක සභා පත් කෙරෙන අතර ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේ වත්මන් ස්වරූපය නිරූපණය වන අයුරින් සෑම පක්ෂයක්ම නියෝජනය වන ලෙස උපරිම වශයෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් එය සමන්විත වෙයි. ඇතැම් අවස්ථාවලදී කාරක සභාව නිශ්චිත දිනයක් වන විට අදාළ කරුණු විමර්ශනය කළ යුතු අතර ඉන් පසු සිය නිගමන ව්‍යවස්ථාදායකයට දැනුම් දිය යුතුය. අවසන් වාර්තාවෙන් පසු කාරක සභාව විසුරුවා හැරේ.   


චේත්‍රධාරි - පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ අධිකාරි බලය සංකේතවත් කරන සෙංකෝලයේ භාරකරු මෙම තනතුර උසුලන්නා වේ. සභාවේ සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මෙන්ම භූමියේ ගෘහ භාණ්ඩ මෙවලම් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියනු ලබන්නේ චේත්‍රධාරීතුමාය.   


සැසිවාරය - ව්‍යවස්ථාදායකයේ රැස්වීම් මාලාවක් මින් අදහස් කෙරේ. .   


ඡායා කැබිනෙට්ටුව - එක් එක් කැබිනට් විෂයයන් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂවල විශේෂයෙන් නිල විපක්ෂයේ විවේචකයන් හැඳින්වීම සඳහා යොදන පොදු යෙදුමකි. ඔවුන්ගේ පක්ෂය බලයට පැමිණියහොත් බොහෝ විට අදාළ විෂයයන් ඔවුන් වෙත පැවරේ. මෙම විවේචකයන් ඔවුන් ආවරණය කිරීමට යොදවා ඇති රජයේ කාර්යාල හා දෙපාර්තමේන්තුවල වැඩසටහන් හා ප්‍ර්‍රතිපත්ති විශ්ලේෂණය කරයි.   


කථානායකතුමා - පාර්ලිමේන්තුවේ සියලු රැස්වීම්වලදී සාධාරණව හා අපක්ෂපාතී අන්දමින් මැදිහත්වීම සඳහා ව්‍යවස්ථාදායකයේ සියලු මන්ත්‍රීවරුන් විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයා කථානායකතුමා වේ. පාර්ලිමේන්තු ක්‍රියාවලියේ සියලු රීති ඔහු විසින් ක්‍රියාත්මක කරන අතර සභාවේ කටයුතු නිසියාකාරයෙන් සිදු කිරීමට වග බලා ගනී.   


කථානායකතුමාගේ පෙරහර - කථානායකතුමාගේ ආගමනය සමග සභාවේ සියලු රැස්වීම් ආරම්භ වේ. කථානායකතුමාට ඉදිරියෙන් ඇති සභා ගර්භයෙන් කථානයකතුමාගේ අධිකාරි බලය සංකේතවත් කරන සෙංකෝලය ද රැගෙන වේත්‍රධාරියා ඇතුළු වෙයි. කථානායකතුමාට පිටුපසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා, නියෝජ්‍ය මහ ලේකම්තුමා සහ පාර්ලිමේන්තු සේවා සහකාරවරු දෙදෙනෙක් ද ගමන් ගනිති. මෙය කථානායකතුමාගේ පෙරහර ලෙස හැඳින්වේ.

 

 

පී.ඇම්. සේනාරත්න