පාර පනින දරුවන්ට පාර කියන අත්තම්මා


වයස අසූ තුනක් වුවත් ඇය අදත් පාර පනින දරුවන්ට මග පෙන්වනවා  

 

 

 

 

‘‘මිනිස් ජීවිතයේ පරම සතුට වනුයේ සිය මරණ මංචකයේදී තමා මුළු ජීවිතයම මානව වර්ගයා වෙනුවෙන් කැප කළ බවට ඇති කර ගත හැකි තෘප්තිදායක හැඟීමයි යන්න රුසියානු විප්ලවයේ නායකයා වූ වී.අයි. ලෙනින් පවසා තිබේ.  


එම කියමන යථාර්ථයක් බවට පත් කරමින් තම ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා මානව සමාජය වෙනුවෙන් කැප කළ කාන්තාවක් සොයා අපි පසුගිය දිනක කෑගල්ල පරගම්මන ප්‍රදේශයට ගියෙමු මීට හතළිස් පස් වසරකට පෙර හෙට්ටිමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට මවක් කුඩා දරුවෙකු අතින් අල්ලා ගෙන රැගෙන ආවාය. එදා එම කුඩා දරුවා පළමු පන්තියට ඇතුළත් කළ මෙම මව පාසල නිමවන තුරු පාසල අසල රැඳී සිටියාය.  

 

 

මවගේ මනසේ සිතුවිලි ධාරාවක් ගලා යන්නට විය. මාර්ගය හරහා පාසල් ළමුන් අනාරක්ෂිතව මාරුවෙන ආකාරය අෑ නිරතුරුව දුටුවාය. තමාගේ දරුවාද පාසලට තනියම පැමිණියහොත් මෙලෙස පාර පැනීමට යාමේදී යම් අනතුරක් සිදුවිය හැකි යැයි ඇගේ සිතට බියක් දැනෙන්නට විය. එයට හොඳම විසඳුමක් ලෙස දරුවා සමග තමන් සෑම දිනකම පාසල් එන්නට තීරණය කළේය.  
එදා සිට තම දියණියට මෙන්ම පාසලට එන සියලු ළමුන්ට පාර මාරු වීමට අත්වැලක් වන්නට කටයුතු කළ ඒ දිරිය මාතාව වෙන කවුරුන් නොව පරගම්මන කේ. ලිලී වයලට් නම් වෙයි.   


ජීවන ගමනේ අසූ තුන්වන වියට පා තබා ඇති ඇය එදා මෙන් අදත් ස්වේච්ඡාවෙන් හෙට්ටිමුල්ල විද්‍යාලය අසල ළමුන් පාර මාරු කිරීමට පැමිණෙන්නේ හද පිරි සන්තෝෂයක් සිත තුළ දරාගෙනය.  
එදා ‘ට්‍රැෆික් ආච්චි’ යන වදනෙන් හැඳින්වුවත් අද වන විට ‘‘පාර කියන අත්තම්මා’‘ යනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මුද්‍රණ කර ඇති පහ වසරට අදාළ පාඩමකට ඇයගේ චරිත කතාව ඇතුළත් කර ඇත්තේ ඇගේ නිහඬ සේවය ඇගයීමට ලක් කිරීමේ අරමුණ ඇතිවය.  

 

 

හෙට්ටිමුල්ල, පරගම්මන උඩ පාරේ කුඩා නිවසක තනිවම ජීවනගමන ගෙවමින් සිටින ඇය අප එම නිවසට යන විටත් ඉතා විඩාබරව සිටියේ එදින ද පාසලකින් ලද උපහාර උත්සවයකට ගොසින් පැමිණ සිටි බැවිනි.  
‘‘මේ දවස්වල කිරි අම්මා හරිම ජනප්‍රිය චරිතයක් නේද? ’’ යැයි අසමින් අපි කතාවට මුල පිරුවෙමු.  
‘‘ඔව්. ඔව්. පුතේ. මට දැන් හුඟක් ඉස්කෝලවලින් ආරාධනා එනවා. මේ දැනුත් ඉස්කෝලෙකට ගිහින් ආපු ගමන්. හරිම මහන්සි’’ යැයි ඇය කීවා.  


මම 1938 මැයි 5 වැනිදා තමයි කෑගල්ලේදී ඉපදිලා තියෙන්නේ. කලවයසත් හරි ගියාම මගේ දෙමව්පියෝ මාව කළුතර පැත්තෙ කෙනෙකුට විවාහ කරලා දුන්නා. මගේ මහත්තයා එස්.කේ. සිරිසේන. ඔහු ලංගම රියැදුරෙකු ලෙස රැකියාව කළා. කාලයක් ගත වෙද්දී මට දුවක් ලැබුණා. ඇයට අපි එස්.කේ. මංගලිකා කියලා නම තිබ්බා. යාත්තම් දුවට වයස අවුරුදු තුනක් විතර ගත වෙද්දී මගේ මහත්තයා රිය අනතුරකින් මියගියා. මම හුඟක් අසරණ වුණා. මගේ දුව සමග මා තනිවුණා.  


කරන්න කිසිම දෙයක් නොමැති තැන මම දරුවන් රැගෙන අපේ කෑගල්ලේ අම්මලාගෙ ගෙදරට ආවා. ඒ දවස්වල අපිට හරිම සල්ලි තිබුණෙත් නැහැ. කෑමට පවා මුදල් තිබුණේ නැහැ. අම්මා තාත්තා එක්ක මමත් කුලී වැඩ කරලා ජීවත් වෙන්න විශාල සටනක් කළා.  

 

 

 

කාලයක් යනකොට මගේ දුවගෙ පාසල් යන වයසත් ආවා. ඒ 1980 අවුරුද්දෙ. මම මට පුළුවන් විදිහට දරුවාට හොඳට උගන්වන්න තීරණය කළා. එදා දරුවා මම හෙට්ටිමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කළා. පළමු දවසෙම මට දරුවා තනිවම පාසලේ දාලා ගෙදර යන්නට හිත දුන්නේ නැහැ. ඒ නිසා මම පාසල අවසන් වෙනකල් පාර ගාවට වෙලා හිටියා.  
ඒ ඉන්න කොට මම දැක්ක ඉස්කෝළෙ ළමයි හුඟ දෙනෙක් පාර හරහා අනාරක්ෂිතව මාරු වෙනවා. ඔවුන්ගෙ ජීවිතවලට අවදානමක් තියෙනවා කියලා මට සිතුණා. මේ සිද්ධිය දැකලා මගේ සිතට ලොකු වේදනාවක් ආවා. එදා මම සිතා ගත්තා හැමදාම පාසල ගාවට ඇවිත් මේ විදිහට ළමුන්ට පාර මාරුවීමට උදව් කරනවා කියලා. එදා ඉඳන් මම අවුරුදු හතළිස් පහක් තිස්සේ මේ ඉස්කෝලෙ ගාවට වෙලා ළමයි වෙනුවෙන් ජීවිතය කැප කරලා තියෙන්නේ යැයි ඇය හැඟුම්බරව පැවසුවාය.  

 

 

සෑම දිනකම කාටත් කලින් අඩ අඳුරේ ඇය විදුලි පන්දම් එළියෙන් පාසලට එන්නේය. චාම් අලංකාරවත් ලෙස ඔසරියකින් සැරසී පොලීසියෙන් ලබා දුන් රිය නියාමක ජැකට්ටුවක් ද දමාගෙන ඊට ගැළපෙන ලෙස රවුම් හිස් වැසුමක්ද පැලඳීමට ඇය අමතක නොකරන්නීය. මේ ජීවිත කාලය පුරාවටම උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් හැරුණුකොට කිසිදු ලෙඩක් ඇයට සෑදී නොමැති බව ආත්තම්මා කීවාය. ඒ නිසා සෑම දිනකම වාගේ ඇය පාසලට එන්නේ තම රාජකාරිය කිරීමේ අරමුණ ඇතිවය.  


උදෑසන සිට සවස හතර පමණ වන තෙක් රාජකාරිය කරන ඇගේ අතෙහි කෙවිටක් දක්නට ලැබෙන අතර එය දුටු විට මාර්ගයේ යන අවිනීත රියැදුරන් මෙන්ම දඟකාර ළමුන් ද නිතර තිගැස්සෙන බවත් ඇය කීවාය. කෙවිට නිසා ළමුන් සංවරව පාර හරහා මාරුවෙන බවත් අත්තම්මා කියන්නේ මුවඟට සිනාවක් පාමිණි.  
වසර හතළිස් පහක් පුරාවට ඇගේ අමිල සේවය නිසා මේ වන තෙක් පාසල අසල කිසිදු මාර්ග අනතුරක් සිදුව නොමැත. මේ නිසා පොලිස් ස්ථානවල උසස් නිලධාරීන්ගේ පවා මහත් වූ ගෞරවයට ආදරයට අත්තම්මා පත්ව තිබේ.  


මේ වන විට දැරණියගල මහා විද්‍යාලය, කෑගල්ල බාලිකා විදුහල, මාවනැල්ල මයුරපාද, හෙට්ටිමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, රුවන්වැල්ල විද්‍යාලය යන පාසල් මගින් ඇයට උපහාර උත්සව පවත්වා ඇගේ සේවාව ඇගයීමට ලක්කර ති​බේ.  

 

රජයෙන් ලබා දෙන රුපියල් දෙදාහක වැඩිහිටි දීමනාව හැරුණුකොට මාසෙ අන්තිමට පාසලට එන බස් රථවලින් ඇයට සුළු මුදලක් එකතු කර දෙනු ලබන බවත් ඇය කීවාය.  


පාසල් ළමුන් දහස් ගණනකට පාර මාරුවීමට උදව් කළ මෙම අත්තම්මාගේ දෑතේ එල්ලී පාර මාරු වූ කුඩා දරුවන් බොහෝ පිරිසක් අද වන විට වැඩි හිටියන් වී ලොකු රැකියාවල නිරත වෙන බවත් අත්තම්මා කීවේ උපන් සතුටිනි.  


ඔවුන් ගුරු සේවයේ, බැංකු සේවය, වරාය, ගුවන් ​සේවය ඇතුළු විවිධ උසස් රැකියාවල නිරතව රටට වැඩදායි ​සේවයක නිරත වෙන බවත් ඔවුන්ට විවේක ලද විටක පාසල අසලට පැමිණ තමාට තෑගි මුදල් පවා දී වැඳ නමස්කාර කර යන බවත් අත්තම්මා පවසන්නේ ඉතාමත් සන්තෝෂ​යෙනි.  


පාසල් නිවාඩු දිනවල වන්දනාමානවල නිරත වන ඇය පොහොය දිනවල  සිල් සමාදන් වීමෙන් මෙම ජීවන කතර නිමා කර ගැනීමේ අරමුණ සාක්සාත් කර ගැනීමේ උත්සාහයක නිරත වන්නීය.  


‘‘කවදාවත් මම හිතුවේ නැහැ මේ විදිහට මම ප්‍රසිද්ධ වෙයි කියලා. අද මගේ ජීවිතය ගැන මට දුකක් නැහැ. සතුටක් තියෙන්නෙ. මම මේ බලාන ඉන්නෙ හෙට ආයෙ ඉක්මනට එළිවෙලා අලුත් දවසක් උදාවෙන කල් ඉස්කෝලෙට ආයෙ යන්න යැයි ඇය පැවසුවේ ළමුන් සමග සිටින විට ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට පහසු වන බව පසක් කරමිනි.  


තම ජීවිත කාලයම ළමා පරපුර වෙනුවෙන් කැප කළ මෙම වීර්යය මාතාවගේ සේවයට රජයෙන් හෝ සංවිධානයකින් මීට වඩා වටිනාකමක් ලබා දීමට හැකි නම් එය මහත් පුණ්‍යකර්මයක් වනු නොවනුමනාය.  
ආදරණීය පාර කියන අත්තම්මාට වැඳ අපද ඇගේ නිවසින් පිටත් වූයේ ඇයට දීර්ඝායු පතමිනි.   

 


උඳුගොඩ වාර්තාකරු විසිනි