පාප මිතුරන් දුරස් කරන්න


මාර චක්‍රය සසරේ පැවැත්මට වගේම දුකට හේතුවෙන ආකාරයත්, ධර්ම චක්‍රය නිවනට හෙවත් නැවැත්මට හේතුවෙන ආකාරයත් අප ගැඹුරින් විමර්ශනය කොටගෙන යමු. රාග, ද්වේෂ, මෝහ හේතුවෙන් පැවැත්ම ඇති වන්නේ අප අපටම හොරාය. 


සිත රාගයෙන් අන්ධ වූ විට පැවැත්ම හටගනී. සිත ද්වේෂයෙන් අන්ධ වූ විට පැවැත්ම හටගනී. සිත මෝහයෙන් අන්ධ වූ විට පැවැත්ම හටගනී. මේ අන්ධ භාවය අවිද්‍යාවයි.


එය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය නමින් හැඳින්වේ. අවිද්‍යාව නිසා සංස්කාර, නාමරූප ආදී වශයෙන් පැවැත්ම ගොඩනැගේ. එකී පැවැත්ම නවතා ගැනීම සඳහා යථාභූත ඥාන දර්ශනය ඇති කරගත යුතුය. ඒ සඳහා බුද්ධ ඥාන පද ඉවහල් වේ. එහි පළමු ඥාන පදය ‘සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥානං බුද්ධ ඥානං’ වේ. මෙය තෙසැත්තෑ ඥාන පදවල පළමු වැන්නය.


ඉහත ඥානය ලබාගැනීමට මජ්ඣිම නිකායේ මූල පරියාය සූත්‍රයට අනුව
● අරියානං දස්සාවි - ආර්යයන් වහන්සේ නමක් දැකීම අවශ්‍ය වේ.
● අරිය ධම්මේ කෝවිදෝ - ඒ ආර්යයන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා ධර්මයෙහි දක්ෂයකු විය යුතුවේ.
● අරිය ධම්මේ සුවිනීතෝ - ආර්ය ධර්මය සුවිනීත විය යුතුවේ.


එතැන් සිට සීල, සමාධි, ප්‍රඥා වඩමින් බුද්ධ ඥාන අංග අවදි කර ගත යුතුය. භවය උදුරා දැමීමට වෙහෙස විය යුතුය. භවය උදුරා දමන්නා (ධම්මෝ සංදිට්ඨික) තත්ත්වයට පත්වේ. එනම් සම්මා දිට්ඨියට පත්වේ. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවැන්නයි. සම්මා දිට්ඨියට පත්වීම සබ්බාසව සූත්‍රයට අනුව ‘දස්සනා පහාතබ්බා’ හෙවත් දැකීමෙන් ආශ්‍රව ඉවත් කිරීමයි.


බුදුරජාණන් වහන්සේ විසින් සසරේ භව බන්ධනය කැඩීමට හෙවත් ආශ්‍රව ක්ෂය කිරීමට පිළිපැදිය යුතු කරුණු 7 ක් දේශනා කර ඇත. එයින් කාරණා තුනක් අප පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. ඉතිරි කාරණා මොනවාද?


සබ්බාසව සූත්‍රයේදී කෙලෙස් ප්‍රහාණය කිරීමට උපකාර වන තවත් වැදගත් කාරණාවක් හැටියට ‘අධිවාසනා පහාතබ්බා’ කාරණය සඳහන් කෙරෙනවා. බුද්ධ දේශනාවට අනුව සියල්ල සිදුවෙන්නේ කර්මය නිසාම නෙවෙයි. නියාම ධර්මවල උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, කම්ම නියාම කියලා කරුණු පහක් විස්තර කෙරෙනවා. කම්ම නියාමය හෙවත් කර්මය නිසා යමක් සිදුවීම ඉන් එක අවස්ථාවක් පමණයි.


බුද්ධ දේශනාව පිළිගන්නා ඔබට ඊළඟ වැදගත් කාරණය තමයි ලොව කිසිවක් මැවීමක්, මත සිදු නොවන බව. ගහක් හැදෙන්නේ ඉබේ නෙවෙයි, ගෙයක් දොරක්, මනුෂ්‍යයෙක්, වාහනයක්, විදුලි උපකරණයක් මේ සියලු දේ නිර්මාණය වෙන්නෙ අමුද්‍රව්‍ය එකතුවෙලා. හේතුවක් ඇතිව.


මෙහෙම බලමු. ගල් ගොඩක් තියනවා. වැලි තව තැනක තියනවා. සෙවිලි තහඩු, සිමෙන්ති, ලීදඬු තවත් තැන්වල ගොඩ ගහල තියනවා. මේ දේවල් එහෙම තිබුණම මේ තමයි නිවස කියල ඔබට පෙන්වන්න හැකියාව තියේද? බෑ. හැබැයි මේ සේරම එකතුවෙලා නිවසක් ගොඩනැගුණම එහෙම කිව හැකියි. එහෙනම් සියල්ලම වෙන් වෙන් වශයෙන් කල්පනා කළොත් මෙසේමැය. සතර මහා ධාතුන්ගෙන් හටගත් සියල්ල සොබා දහමට හෙවත් හේතුඵල දහමට අනුවයි ක්‍රියාත්මක වෙන්නෙ.


‘හේතුං පටිච්ච සම්භූතා
හේතු භංගා නිරුජ්ඣති’


හේතු නැතිවූ තැන ප්‍රතිඵලය නැතිවී යනවා. අධිවාසනා යනු ඉවසීම ඇතිකරගන්නට ඕනෑ. ඉවසිය යුතු දේවල් හැටියට සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසාව, කෘමි උවදුරු නපුරු වැඩ කරන මිනිස්සු, නපුරු වචන කතා කරන මිනිස්සු, විවිධ රෝගාබාධ පිළිබඳව සඳහන් වෙනවා. විඳ දරා ගන්න බැරි වුණොත් ආශ්‍රව මතු වෙන්නට ගන්නවා. තරහව එනවා, වෛරය එනවා, ද්වේෂය ඇතිවෙනවා.


උදා, ලෙස නරක වචනයක් ඔබ ඉදිරියේ යමෙක් කතා කරනවා. ඔබ එය නොඉවසා සිටියොත් ඔබ තුළ කොයිතරම් ආශ්‍රව කෙලෙස් උපදිනවාද? ඔබ ආර්ය මාර්ගයේ යන කෙනෙක් නම් එවැනි දේ ඉවසා සිටීමට මානසික ශක්තිය ඇතිවිය යුතුයි. විඳදරාගෙන කටයුතු කිරීම ආශ්‍රව ප්‍රහීන කිරීමේ කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.


කෘමි උවදුරක් හැටියට මදුරුවෙක් ඔබේ ඇඟේ වැසුවොත් ඔබ කොහොම හිටියත් එක් වරම ක්ෂණයෙන් මදුරුවා වෙත ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් ඔබට එම උවදුර මගහැර යා හැකියි. නැත්නම් ඉවසා දරාගත යුතුයි. මේ තමයි ආර්ය මාර්ගයේ යන්නාගේ ස්වභාවය.
සබ්බාසව සූත්‍රයේ පස්වැනි කාරණය පරිවජ්ජනා පහාතබ්බා යන කරුණයි. එනම් නුවණින් විමසා වර්ජනය කිරීම යනුයි.
දැන් ආර්ය මාර්ගයේ යන අයට පහත දේ හමුවිය හැකියි.


චණ්ඩං හත්ථිං - සැර පරුෂ අලි ඇතුන්
චණ්ඩං අස්සං - සැර පරුෂ අශ්වයන්
චණ්ඩං ගෝනං - සැර පරුෂ අං සහිත ගෝනුන්
චණ්ඩං කුක්කුරං - සැර පරුෂ බල්ලන්


ඊළඟට අහිං ඛානුං ඛණ්ටකානං සොබ්බං පාපතං විෂ සර්පයන්, කුණු කාණු, කටු ලැහැබවල්, ප්‍රපාත... ආදිය. මේ සියල්ල අපට අනතුරු කරන බව දැනගෙන ඒවා මග හැර යන්න ඕනෑ. ඒ බව බුද්ධියෙන් විමසා බැලීමේ ඥානය තියෙන්නට ඕනෑ.


සැඩ පරුෂ අලියෙක් ඉදිරියට ගියොත් කුමක් වේදැයි බුද්ධිමතා තේරුම් ගත යුතුයි. සැඩ පරුෂ අං ඇති ගෝනකු ඉදිරියට දැන දැනත් ගියොත් ඒ සත්වයාගෙන් මැරුම් කන්නට වෙන්න පිළිවන්.


ආශ්‍රව ක්ෂය කරන අය හැමවිටම නුවණින් විමසා වර්ජනය කිරීමක් හෙවත් අත්හැර දැමීමක් සිද්ධ කරනවා.


බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පාප මිත්‍ර සේවනයෙන් ආර්ය මාර්ගයේ යන්නාට වන පාඩුව.


දවසක් ආනන්ද හාමුදුරුවො බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනී නිවන් මාර්ගයේ හරි අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත නේද කියලා.


බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් මාර්ගයේ හරි අඩක් නොව සම්පූර්ණයෙන් පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මතයි කියලා.


කල්‍යාණ මිත්‍රයා කවදාවත් තම මිත්‍රයා සතර අපායට කැඳවා යන්නෙ නෑ. ඔහු ළඟ තියෙන්නේ ධර්මයයි.


පාප මිත්‍රයා තුළ පිරී ඇත්තේ රාග, ද්වේෂ, මෝහයයි. ඔහු උපදෙස් දෙන්නේත් රාග, ද්වේෂ මෝහයෙන්. ඔහු ක්‍රියා කරන්නේත් ඒවායින්. මේ නිසා ඔහුගේ සිත, කය, වචනය අසංවරයි. ඔහු ඇසුරු කිරීමෙන් අඬදබර, කරදර, ගැටුම්, ආරවුල් රාශියකට මුහුණ දෙන්නට සිදුවෙනවා. පාප මිතුරාට හේතුඵල ධර්මයක් වැටහෙන්නේ නෑ. අඥාන වූ ඔහුව ඇසුරු කරන තරමට කරදරයේ වැටෙනවා.

ආර්ය මාර්ගයේ යන්නා හැම විටම බාලයා, පාප මිත්‍රයා ඇසුරින් ඉවත් විය යුතුයි. නුවණින් දැන ඉවසා සිටිය යුතුයි.
(මතු සම්බන්ධයි)

සටහන - අසංක ආටිගල