පාතාල කල්ලියේ ඉලක්කය වැරදී ජීවිතයෙන් වන්දි ගෙවූ අහිංසකයා


පාතාල කල්ලියකට සම්බන්ධ බවට පැවසෙන අයකු යැයි සිතා තවත් ප්‍රතිවාදී කල්ලියක අයෙක් එල්ල කළවෙඩි ප්‍රහාරයකට ලක්වී​ෙමන් පසුගියදා අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුයේ පාතාලයට සම්බන්ධ නැති අහිංසකයකුටය.   


ඒ අහිංසකයාගේ බිරිඳ ද වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයක් මරණයත් අතර සටනක යෙදෙමින්ය.   


වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට ආ පාතාලයාට සිදුවු අත්වැරදීම නිසා සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වු මේ අහිංසකයා ජීවිතය ගැටගසා ගත්තේ කුලී වැඩ කර උපයා ගත් ​ෙසාච්චම් මුදලිනි. 


ඔහු ඒ රස්සාව කර ඇත්තේ ද වැළඳී තිබු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අතරවාරයේය. 


බිරිඳ රෙදි හා පාපිසි මසා ඒවා විකුණා සැමියාට අත් වැළක් වූවාය. 


පාතාලයකුට සිදු වු අත්වැරැද්දක් කියා ජීවිතයට සමු දුන් ඒ අනුවේදනීය කතාව මෙසේ පෙළ ගස්වන්නෙමු. 


තලංගම බටපොත පාරේ විමලතිස්ස මාවතේ නිවසක් තුළින් එක පිට ඇසුණු වෙඩි හඬත් එක්කම අනේ අපිට වෙඩි තියනවෝ අපිව බේරා ගන්න යැයි කාන්තාවකගේ මර ළතෝනි හඬ ඇසෙන්නට විය. 
වෙඩි හඬ නිමා විමත් එක්කම ඒ මරළතෝනි හඬ කෙඳිරිලි හඬක් බවට පත් වීමට වැඩි වෙලාවක් ගත වුයේ නැත. 


වෙඩි හඬත් මරළතෝනි හඬත් ඇසෙනට විට විමලතිස්ස මාවත දෙපස පදිංචිකරුවන් සිට ඇත්තේ තද නින්දේය. 


එම වෙඩි හඬත් මර ළතෝනි හඬත් නැගුණේ පසුගිය 18 වැනිදා අලුයම් 2.45 ට පමණය. 


කඩිගුලක් සේ ඇවිස්සුණු විමලතිස්ස මාවතේ වැසියෝ ඒ හඬ ඇසුණු නිවස සොයා දිව ආවේ ඔවුන්ට ඇති ජීවිත අවදානම ද නොසලකා හරිමිනි. 


නිවසේ නිදා සිටි අඹු සැමි යුවළ ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දුටු ප්‍රදේශවාසීහු කඩිනමින් ඔවුන් රෝහලකට ගෙන යාමට පියවර ගත්හ. 


එහි සිටි අයෙක් සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කතා කළේ 1990 දුරකථන අංකයටය. 


විමලතිස්ස මාවතේ පිහිටි අපරාධය සිදු වු නිවස ළඟට ආ සුවසැරිය ගිලන් රථයෙන් දමා ගෙන අඹු සැමි යුවළ කෙළින්ම රැගෙන ගියේ කොළඹ ජාතික රෝහලටය. 


කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි සැමියා මිය ගිය අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් නොගත් උත්සාහයක් නොමැත. 


වෙඩි ප්‍රහාරයට ගොදුරු වී මරු වසඟයට ගියේ වර්ණකුලසූරිය ක්‍රිස්ටින් ප්‍රනාන්දු නමැති 51 හැවිරිදියේ පමණ පසු වු දෙදරු පියෙකි. 


වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍යව ඇත්තේ ඔහුගේ බිරිඳ වන 48 හැවිරිදි වියේ පමණ පසුවන කරුණාවතී පෙරේරාය. 


තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ වෙඩි තැබීම සිදු වු නිවසට ගියේ පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් ලබා දුන් පණිවිඩයකට අනුවය. 


අපරාධය සිදු වු නිවසට ගිය පොලිස් කණ්ඩායම අඹු සැමි යුවළට වෙඩි තැබුවේ ඇයි දැයි කියා සොයා බලද්දී ඔවුන් අහිංසකයන් බවට දැන ගැනීමට ලැබී ඇත. 


එහෙනම් මේ වගේ අහිංසක අඹු සැමි යුවළකට වෙඩි තැබුවේ ඇයි ද යන්න ගැන පොලිසිය තවදුරටත් සොයා බලන්නට පටන් ගත්තේය. 


අඹු සැමි යුවළ සමග ඔවුනගේ එකම පුතා ද නිවසේ පදිංචිව සිටින අතර ඔහු මේ අවාසනාවන්ත සිද්ධිය වන දවසේ මිතුරන් පිරිසක් සමග සිරිපාද වන්දනාවේ ගොස් තිබිණ. 


එසේ නොවන්නට ඔහුද පාතාලයේ වෙඩි උණ්ඩයට බිලි වීමට ඉඩ තිබුණ බව පොලිසියේ විශ්වාසයයි. 


අඹු සැමි යුවළගේ දියණිය විවාහ වී පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේය. 


නිවසේ කොටසක් ක්‍රිස්ටින් ප්‍රනාන්දු විසින් මීට මාස දෙකකට තුනකට පමණ කලින් කුලියට දී තිබෙන බව පොලිස් කණ්ඩයාමට දැන ගැනිමට ලැබිණි. 


නිවසේ කොටසක් කුලියට ගෙන තිබුණේ පිරිමියකු හා කාන්තාවකි. 


වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ සිටි නිසා ක්‍රිස්ටින්ගේ බිරිඳ කරුණාවතීගෙන් ද සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට නොහැකි විය. 


වෙඩි ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ නිවසේ කොටසක් කුලියට ගෙන එහි පදිංචිව සිටි පුද්ගලයා සිට ඇතත් ඔහුගේ බිරිඳ බව පැවසුව කාන්තාව එහි සිට නැත. 


කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියක නිසා ඒ වෙලාවේ ඇය සිට ඇත්තේ ඒ රාත්‍රී සමාජ ශාලාවේය. 


මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහින්කන්ද මහතාගේ උපදෙස් හා මඟ පෙන්විම යටතේය. 


සර්, මම මේ ​ෙගදර කොටසක පදිංචියට ඇවිත් මාස තුනක් විතර වෙනවා. මාසයකට රුපියල් 6000ක් කුලියට විදියට ගෙවනවා. මගේ නෝනා නයිට් ක්ලබ් එකක රස්සාවක කරනවා. පාන්දර බයික් එකක් ගේ ළඟ නතර කරන ශබ්දය මට ඇසුණා. ඒත් එක්කම දොරට පයින් ගහන ශබ්දයක් වෙඩි තියන ශබ්දයක් මට ඇසුණා. බයට මම කාමරයෙන් එළියට ආවේ නැහැ. 


ක්‍රිස්ටින්ගේ නිවසේ කොටසක් කුලියට ගෙන එහි පදිංචිව සිටි පුද්ගලයා පොලිස් නිලධාරින් සමග කියා ඇත්තේ එවැනි කතාවකි. 


උප පොලිස් පරීක්ෂක අමිත් ජයසිංහ මහතා මේ පුද්ගලයා ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ ඔහුගේ අනන්‍යතාව සොයා ගැනීමේ අරමුණිනි. 


මුලින්ම අහිංසක අයෙක් ලෙස පෙනී සිටීමට උත්සාහ කළත් උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ ඔහුගේ පැටිකිරිය ද එළියට ගත්තේය. 


මේ පුද්ගලයා කළුතර බන්ධනාගාර බස් රථයකට එල්ල වු වෙඩි ප්‍රහාරයෙන් මැරුම් කෑ පාතාල නායකයෙක් ලෙස සැලකෙන සමයංගේ සමීපතම ගෝලයකු බව හෙළි දරව් වුයේ එහිදීය. 


සමයංගේ ප්‍රධානතම සගයෙක් ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් තවමත් රිමාන්ඩ් භාරයේ පසුවන ඌරු ජුවාගේ රියැදුරෙක් ලෙසද මොහු සේවය කර ඇති බව පැවසේ. 


මළිඳු නමැති අයකු සමග ​ෙගාස් අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාර​ෙය් පසු වී ඇති මොහු අධිකරණයෙන් ඇප ලබා පැමිණි සිටි අයෙක් බවද පොලිසිය හෙළි කර ගත්​ෙත් ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් වශයෙනි. 


නයිට් ක්ලබ් එකක රස්සාවක් කරන්නේ බිරිඳ බව කිව්වාට මේ තරුණයා ඇයත් සමග නිත්‍යානුකූලව විවාහ වී නැති බවද වාර්තා වේ. 


මේ තරුණයා මළිඳු නමැත්තෙකු සමග ගොස් තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඇත්තේ කළුතර දී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර පාතාල නායක සමයං නමැත්තා ඇතුළු ඔහුගේ ගෝලයන් තිදෙනකු ඝාතනය කිරීමට ​සොයමින් සිටියදි ඉන්දියාවට පලා ගොස් සැඟව සිටින තවත් පාතාල නායකයන් දෙදෙනෙක් ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සහ ලැඩියා නැමැත්තාගේ ගෝලයෙකුටය. 
අංගොඩ ලොක්කාගේ සහ ලැඩියා ගෝලබාලයන් ගෙන් මරණ වරෙන්තු ලැබී තිබු නිසා මොහු තලංගම ප්‍රදේශයට පැමිණ කුලී නිවසක පදිංචිව සිටිමින් රහසිගතව ජීවත් වී ඇති බව පැවසේ. 


අංගොඩ ලොක්කාගේ සහ ලැඩියාගේ ගෝලයකුව කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ පලිය ගැනීමට ඔවුන් දෙදෙනාගේ ගෝලයන් දෙදෙනකු මොහු ඝාතනය කිරීමට පැමිණ ඇති බවට පොලිසිය විශ්වාස කරයි. 
සමයංගේ ගෝලයා බව සිතා ක්‍රිස්ටින්ට වෙඩි තබන්නට ඇති බවත් පොලිසිය කියයි. 


සමයංගේ මේ ගෝලයා පරිහරණය කරන යතුරුපැදිය ද ක්‍රිස්ටින්ගේ නිවස ඉදිරි පිට නතර කර තිබු නිසා ඝාතකයන් ද ඔහු මේ නිවසේ පදිංචිව සිටින බවට සැකහැර දැන සිටින්නට ඇත. 


සමයංගේ ​ගෝලයා පදිංචිව සිටින කාමරයට යාමට ඒ නිවසේ පිටුපස දෙසින් වෙනම දොරක් ඇතත් ඔහුගේ යතුරුපැදිය නිවස ඉදිරිපස නතර කර තිබු නිසා ඝාතකයන් ඉදිරිපස දොරට ගසා එය කඩා ගෙන ඇතුළට පැමිණෙන්නට ඇති බව පොලිසිය විශ්වාස කරයි. 


ෆුල් ෆේස් හෙල්මට් දමා ගත් දෙදෙනෙක් ෆල්සර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලින් ​තොරතුරු අනාවරණය වී ඇත. 


වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සමයංගේ ගෝලයා කාමරයට වී නිශ්ශබ්දව සිට ඇත්තේ ගොදුර තමා බව හොඳ හැටි දැන සිටි නිසාය. 


පාතාල ගැටුමක් නිසා තවත් පාතාලයන් දෙදෙනකු අතින් මැරුම් කන්නට සිදු වුයේ අහිංසකයකුටය. 


ක්‍රිස්ටින් නිවසේ ​ෙකාටසක් කුලියට දී ඇත්තේ මොහු පාතාලයට සම්බන්ධ අයෙක් කියා නොදැනය. 


ඉන්දියාවට පලා ගොස් සැඟව සිටින අංගොඩ ලොක්කා සහ ලඩියා සමයංගේ ගෝලයා ඝාතනය කිරීමට සැලසුම් කිරීමට ඔවුන්ගේ ​ෙගා්ලයන් දෙදෙනකුට පවරන්නට ඇති බවට පොලිසියට සැක මතු වී තිබේ. 
වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම්.එම්. 9 වර්ගයේ පිස්තෝලයකිනි. 


එම්.එම්. 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 02 සහ ගිය උණ්ඩ 03 ක් ද අපරාධය සිදු වු ස්ථානයේ තිබී පොලිසිය සොයා ගත්තේය. 


මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ අධිකරණ වෛද්‍ය ජීන් පෙරේරා මහත්මිය විසිනි. 


ඝාතතකයන් දෙදෙනා තවම අත්අඩංගුවට ගෙන නැත. 


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිත්පති නන්දන මුණසිංහ සහ අපරාධ විමර්ශන හා බුද්ධි තොරතුරු බාර ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ සහ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත නුගේ​ෙගාඩ සහකාර පොලිස් අධිකාරි කාවින්ද ජයසේකර මහතාගේ මෙහෙයවීම යටතේ තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහින්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. 


තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් වන අමරසේකර (6831) රුවන් (48874) ජයතිස්ස (50163) පොලිස් කොස්තාපල්වරුන් වන කුමාර (84764) සුරේෂ් (86641) සහ චින්තක (61133) යන් මහත්වරු ද මෙම පරීක්ෂණ වලට හවුල් වී ඇත.

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය