ප්‍රේමදාස මහත්තයා උදේට එක පොතකුත් හවසට තව පොතකුත් කියෙව්වා


 

“දයාවංශ ජයකොඩි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ප්‍රකට පොත් ප්‍රකාශකයකු ලෙසය. එහෙත් ඔහු මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිටියදීම ඔහුගේ පොත් පත් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශකයාය. ඔහු අදවන විට පොත් ප්‍රකාශනයේ 55 වසරට පා තබා ඇත. කිසිදු මාධ්‍යයකින් විවරණය නොකෙරුණු අර්ධ දේශපාලන චරිතයක් වූ දයාවංශ ජයකොඩි මෙරට පොත් ලියූ එකම විධායක ජනාධිපතිවරයා ගැන කරන විවරණය මෙරට දේශපාලන ඉතිහාසයේම කොටසක් විනා ඔහු පොට්ටනි ගසා ගත් පෞද්ගලික අත්දැකීම් සමුදායක් පමණක් නොවේ.”


යුරෝපීය යුගයේ සමෘද්ධිමත් ශාන්ත සෙබසතියන් කෙසෙල්වත්තේ රණසිංහ ප්‍රේමදාසත් - මරදානේ ඇවන්ඩල් පාරේ දයාවංශ ජයකොඩි නම් පොත් ප්‍රකාශකයාත් අතර සම්බන්ධය ඇරඹෙන්නේ කොයි වකවානුවකද?


ජනාධිපති ප්‍රේමදාසත් මාත් අතර සම්බන්ධය මීට අවුරුදු හතළිහකටත් පෙර ඇතිවූ එකක්. 1973 දී විතර මගේ පොත් ප්‍රකාශන සමාගමේ කළමනාකරු වූයේ ධර්මදාස පණ්ඩිතරත්න, දවසක් මම යනකොට විපක්ෂනායක කාර්යාලයෙන් මට පණිවුඩයක් එවලා දුරකථන අංකයක් දීලා තිබුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආර්. ප්‍රේමදාස අමතන්න කියලා. ඒ කාලේ කොළඹ ටැලිෆෝන් එකක් තියෙනවා කියන්නෙත් ලොකු වරප්‍රසාදලාභී පුද්ගලයෙකුගේ සංකේතයක්. දුන්න නොම්මරේට මම කතා කළා ප්‍රේමදාස මහත්තයත් එක්ක ජිවිතේ මුල්මවරට කතා කරපු අවස්ථාව ඒක.


 සිරිමාවෝ මැතිනිගේ - ෆීලික්ස් ඩයස්ගේ අණසක යටතේ ප්‍රබල ආණ්ඩුවක් තිබුණු යුගයක් ඒක. ටෙලිෆෝන් අංකය 25502 කෝල් එක ගත්ත ගමන් “මේ ප්‍රේමදාස” කියල අනික් පැත්තෙන් කතා කළා.


“මිස්ටර් ජයකොඩි මට ලොකු උවමනාවකට හම්බවෙන්න තියෙනවා. මම කොහේටද එන්න ඕනෑ” ආර්. ප්‍රේමදාස මහතා විමසුවේය.
“මෙහේ එන්න ඕනෑ නෑ. මම ඔබතුමා කියන තැනකට එන්නම්.” දයාවංශ ජයකොඩි පැවසුවේය. “මම තව පැයකින් සුචරිතයට එනවා. ඇවිත් මාව හම්බවෙන්න.” ආර්. ප්‍රේමදාස රිසීවරය තැබුවේය. මරදානේ සිට සුචරිතයට තිබුණේ “හූවක” දුරකි. දයාවංශ ජයකොඩි වහා සාන්ත බස්තියමේ “සුචරිතය” ට සේන්දු විය. ඒ යන විටත් ලක්ෂ්මන් අබේසේකර ඇතුළු මරදාන ප්‍රදේශයේ දහ පහළොස් දෙනෙකු සිටියේ ආර්. ප්‍රේමදාස මහතා හමුවීමටය . දයාවංශ ජයකොඩි ගියේ ආර්. ප්‍රේමදාස හමුවේදැයි දෙගඩියාවෙනි.
ප්‍රේමදාස මහත්තයා තමන්ගේ කුටිය ඇතුළේ හිටියා. ඔය දැන් තියෙන තරම් ලොකු ගොඩනැගිල්ලක් නොවේ එදා සුචරිතය. ඉතා පුංචි තැනක්. හිටි අඩියේ “මොහිදින්” ඉදිරියට ආවා.


ඒ කියන්නේ “මොහිදින්” ඒ තරම් පරණ චරිතයක්ද?
දයාවංශ ජයකොඩි මහත්තය ඉන්නවද කියල මොහිදින් මගෙන් ඇහුවා. මහ සෙනගක් ප්‍රේමදාස මහත්තයා හමුවෙන්න බලා ඉඳිද්දී මොහිදින් මගේ අතෙන් අල්ලන් ප්‍රේමදාස මහත්තයගේ කුටියට එක්කන් ගියා. කාටත් ඇතුළුවෙන්න බැරි විදිහට කුටියේ දොර වැහුවා. කුටිය ඇතුළේ දේව යසපාල ද සිල්වා, ප්‍රේමදාස මහත්තයත් එක්ක කතා කරමින් සිටියා. ප්‍රේමදාස මහත්තයා ඒකාලේ විපක්ෂ මන්ත්‍රී. ඒ කාලේ මැතිනියගේ බලගතු සමගි පෙරමුණු ආණ්ඩුවක් තිබුණා. ප්‍රේමදාස මහත්තයා කතා කරන්න යන කාරණේ මට වැටහුණා. “මිස්ටර් ජයකොඩි ලස්සනට පොත් ගහනවා. මේ දේව යසපාල මං ගැන පොතක් ලියල තියෙනවා. පොතේ නම “සුවඳ හමන මලක්” මට මේ වැඬේ ලස්සනට කරල දෙන්න. ඔහු කීවා.


ප්‍රේමදාස මහත්තයා දැක්ක මුල් වෙලේ ඔහු මෙරට ජනාධිපතිවෙයි කියල හිතුවද?
ඔහුගේ වැඩපිළිවෙළ දැක්කම රටේ හොඳ තැනකට එන බව නම් මුල් දවසේම මට හිතුණා. දේව යසපාල මේ පොත ගහන්න මීට කලින් වතාවක් මට ඇවිත් කතා කළත් මම ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රේමදාස මහත්තයා ඒ වග දන්න වගවත් ඇඟෙව්වේ නෑ. ඔහු මනා සැලසුම්සහගත පුද්ගලයෙක්. පොතේ කවරය, පෲෆ් බලා අවසන් කළ යුතු දිනය, පොත නිකුත් කළ යුතු ආකාරය ආදී සියල්ල ප්‍රේමදාස මහත්තයාමයි සැලසුම් කළේ. ඔහුගේ ඕනෑම දේක ඉලක්කයක් තියෙනවා. පොතට දවස් 30 යි දුන්නේ. පොත ගැහුවේ සිරිධම්ම මාවතේ මගේ “හෙළබිම” මුද්‍රණාලයේ. පෲෆ් බලන්න දවසට දෙතුන් වතාවක් මුද්‍රණාලෙට එනවා මොරිස් මයිනරය එයාම එලවගෙන. ඒ කාලේ අකුරු අමුණල තමයි පොත් ගහන්නේ. අකුරු අමුණන්න බාසුන්නැහේගෙන් සමහරදාට තේ උගුරක් වුණත් බොන්න තරම් නිහතමානියි.


ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා පොත් ලියන්න පෙළඹුනේ කොහොමද?
ප්‍රේමදාස මහත්තයා තරම් පොත් කියවපු ජන නායකයකු නැතුව ඇති. උදේට එකකුත් හවසට එකකුත් කියවනවා. සමහරවිට පොත් දෙකක් කඩින් කඩ බලල ඉවර කරන ක්‍රමයකුත් එතුමා සතුවුණා. ධර්මය සහ දේශපාලනය, ප්‍රජාචාරය ඔහු තදින්ම අධ්‍යයනය කළ විෂයන්. ඒ කාලේ කුමාර කරුණාරත්න, ජයසේන ජයකොඩි, කරුණාසේන ජයලත් ජනප්‍රිය නවකතා කාරයෝ දවසක් මේ නවකතාකරුවන්ගේ නවකතා 50ක් විතර ප්‍රේමදාස මහත්තයට මම දුන්නා. පහුවෙනිදා උදේ හතරට විතර ප්‍රේමදාස මහත්තය මට කතා කළා.


 “මිස්ටර් ජයකොඩි මට දුන්න කතාවලට වැඩිය හොඳ කතා මට ලියන්න පුළුවන්. ගහමුද බලන්න පොතක්?”
මම ඔහුගේ නව කතාවක් මුල්වරට ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. මුල්ම නවකතාව “රන්මිනිමුතු” පිටපත් පන්දාහක් ගැහුවා. උණු කැවුම් වගේ විකිණුනා. ඊට පස්සේ “හිතවතිය”, “පෙම්වතිය”, “ජීවන කඳුළු” චිත්‍රපට කතාව, “පරවියෝ ඉඟිලෙති.” ආදී පොත් රැසක් ප්‍රකාශයට පත්කළා. අන්තිම කෘතිය “ගොළු මුහුද” ඒක ඉංග්‍රීසි බසින් ඔයැ ීසකැබඑ ීැ් නමින් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක නීල් ශ්‍රී විජේසිංහ පරිවර්තනය කළා. මේ බොහෝමයක් පොත් පසුකාලීනව මුද්‍රණය කළේ සිංගප්පූරුවේ. ඒවායේ නිමාව ප්‍රේමදාස මහත්තයට කෙස්ගහට තියෙන්න ඕනෑ.


ප්‍රේමදාස මහත්තය නාගරික මන්ත්‍රී යුගයේ ඉඳන්ම ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රාහකත්වය නිසා මුදල් දුෂ්කරතා එච්චර තියෙන්න නැතුව ඇති. ඒ නිසා පොතකට ලැබෙන කර්තෘ භාගය :ඍැ්කඑහ* එක ගැන එච්චර ගණන් ගන්නැතුව ඇති නේද?
මොන පිස්සුද? ආර්. ප්‍රේමදාස මහත්තය තමයි මගේ ජීවිතයේ අන්තිම තඹ සතේට කර්තෘ භාගය ගත්ත ලේඛකයා. එයත් එක්ක ගනුදෙනුවලට සෙල්ලං බෑ. එයාට ලැබෙන්න තියෙන මුදල කොහොම හරි ගන්නවා. සභානායක ධුරය වුනත්, අගමැතිකම වුනත් ජනාධිපතිකම වුනත් තමන්ට උරුම වෙන්න තියෙන දේ එයා ගන්නවාමයි. එක සැරයක් ගොළු මුහුද දෙවැනි වර මුද්‍රණය කරන කොට මම කිව්වා අගමැතිතුමා මේ කර්තෘ භාගය දෙපාරට ගමු නේද කියලා. “නෑ මිස්ට ජයකොඩි අපි ඒක එකපාරටම ගමු.” කියල ප්‍රේමදාස මහත්තය එක හෙළාම කිව්වා.


මහානාම දිසානායක ලංකාදීප කර්තෘ කාලයේ ප්‍රේමදාස මහත්තයා ලිපි ලියනවාලු. ලිපිය පළවෙච්ච දාට පසුවෙනිදාම ප්‍රේමදාස මහත්තයා මහනාම මහත්තයාගෙන් ලිපියට අදාළ ලේඛන දීමනාව ගැන විපරම් කරනවායි කියන කතාව දැන්නෑ?
ප්‍රේමදාස මහත්තයාට කවුරුත් කිසිම දෙයක් රිදී බන්දේසියක තියල දුන්නේ නෑ. ඔහු හැම දෙයක්ම ලබාගත්තේ අප්‍රිතිහත ධෛර්යෙන්.


ප්‍රේමදාස මහත්තයාගෙන් ඔබ පෞද්ගලිකව ලබාගත් ලාභ ප්‍රයෝජන, ඉඩකඩම් දේපළ මොනවාද?
මම නම් කිසිම දෙයක් අරන් නෑ. වරක් මම ඩීන්ස් පාරේ යනකොට මම දැක්කා අගමැති ප්‍රේමදාස මහත්තයා යනවා. හරියටම අද ෆාමර්ස් ගොඩනැගිල්ලයි මහජන බැංකුවයි තියෙන ඉඩම ඒ කාලේ හිස් ඉඩමක්. ප්‍රේමදාස මහත්තය ආරක්ෂකයින් එපා කියද්දී මාව දැකල බැස්සා.


“මිස්ටර් ජයකොඩි මේ ඉඩම මම ඔයාට දෙනවා. මෙතන ගහන්න ඕනෑ ආසියාවේ ලොකුම පොත් සාප්පුව. වහාම වැඬේට අතගහන්න.” කියල ප්‍රේමදාස මහත්තයා කිව්වා. මට නම් හිතාගන්නවත් බෑ. මම මේක ගිහිල්ල මගේ තාත්තට කිව්වා. තාත්තා ප්‍රේමදාස මහත්තයගේ තීරණයට තදින්ම විරුද්ධ වුණ නිසා වැඬේ කෙරුණේ නෑ.


නමුත් එකම එක සැරයක් යුනෙස්කෝ ශිෂ්‍යත්වයක් ගන්න ප්‍රේමදාස මහත්තයාගෙන් උදව්වක් ඉල්ලා සිටියා.  යුනෙස්කෝ ශිෂ්‍යත්වයක් තිබුණ පොත් ප්‍රකාශනය ගැන ජපානයේ. මාස දෙකකට ඉඳුම් හිටුම් සියලු වියදම් යුනෙස්කෝ එකෙන්. ඒකට මාව තේරුණත් නිලධාරීන් මාව කැපුවා. මේක ප්‍රේමදාස මහත්තයට කිව්වාම අධිකරණ ඇමැති නිශ්ශංක විජේරත්න හම්බවෙන්න කිව්වා.  යුනෙස්කෝ ලංකාවේ කාර්යාලයක් එයා යටතේ තිබුණේ මට ඒ ශිෂ්‍යත්වය ලැබුණා. ඒක මගේ ජීවිතයේ මෙන්ම ප්‍රේමදාස මහත්තයාගේ පෞද්ගලික ජීවිතයේ ලොකු පෙරළියකට හේතු වුණා.


ආර්. ප්‍රේමදාස විරුද්ධවාදීන්ගෙන් එළව එළවා පළිගත්ත පුද්ගලයෙකු යයි සමහරු කියනවා. ඒත් ප්‍රේමදාස මහත්තයට විරුද්ධව විකල්ප ලිපි ලියූ ආර්. පල්ලෙවෙලගේ ලිපියකට විරුද්ධවාදියකු වුවත් හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා නේද?
ප්‍රේමදාස මහත්තයා උදේ තුනට නැගිටල පත්තර කියෝනවා. දවසක් මට උදේ හතරට විතර කතා කරල කිව්වා ආර්. පල්ලෙවෙල පත්තරේ ලිපියක් ලියල තියෙනවා. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ලංකාවේ පිළිරූ තියෙනවා. ලේඛකයකුගේ පිළිරුවක් විතරයි නැත්තේ කියලා. මිස්ට ජයකොඩි වහාම මාව හම්බවෙන්න කියලා කිව්වා.


 මම ගියාම මට දුන්න කාර්යය මරදානේ පියදාස සිරිසේන ප්‍රතිමාව හැදීම. පිළිරුව හැදුවේ ජී. එල්. ගෞතමදාස. පවුලේ අය එකතුවෙලා රු. 9000 ක් එකතු කරල දුන්නා. ඉතිරි 1000 මම දැම්මා. පියදාස සිරිසේන මාවත නමින් පාරත් පිළිරුවත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විවෘත කළා. ඇවැන්ඩල් පාර, එස්. මහින්ද හිමි මාවත කරල පිළිරුව හැදුවෙත් ප්‍රේමදාස මහත්තය.


ලංකා දේශපාලන ඉතිහාසයේ උපහාස චරිතයක් වූ ටිප් ටොප් ජිවත් වුණේ ඔබේ නිවසේ කොටසකද?
නෑ. නෑ. ටිප්ටොප්ට නවාතැන් දුන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර. ඒබ්‍රහම් මුදලාලිගේ ගෙදර. ඒබ්‍රහම් මුදලාලි ලීබඩු බිස්නස් කළේ. ටිප්ටොප් එතකොටත් පරණ සිගරට් ටින්වලට දත් බෙහෙත් ගෙනල්ල අසුරනවා.


ඔබ වරක් එංගලන්තයේ යකඩ ගැහැනිය අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර්ට පොතක් දෙන්න ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය කාර්යාලයට ගියා නේද?
මාග්‍රට් තැචර් එවෙලේ බෙල්ජියමට ගිය නිසා ලේකම්වරයා පොත භාරගත්ත. නමුත් පසුව මාග්‍රට් තැචර් මට ස්තූති කරල ලියුමක් එවල තිබුණා.


ඔබ ප්‍රේමදාස රජයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ගත්තේ නෑ කිව්වට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙයි පුස්තකාල සේවා එකෙයි අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටිය නේද?
ඔව්. මම ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු ලෙස වසර 13ක් කටයුතු කළා. මට තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ගිහිල්ල. හැිග කියන්න විතරයි.


ඔබ මේ තනතුරු දැරුවේ ස්වෙච්ඡාවෙන්ද?
මොන පිස්සුද? මාත් ප්‍රේමදාස මහත්තය වගේ තමයි. ලැබෙන්න තියෙන තැනින් ගන්නවා. ඒ කාලේ එක රැස්වීමකට සහභාගි වුණාම රු. 100 ක දීමනාවක් ලැබුණා.


ඔබට කිසිම දේශපාලන වැඩකට සම්බන්ධ වෙන්නට හෝ දේශපාලනයට එන්නට ප්‍රේමදාස මහත්තයා ආරාධනා කළේ නැත්ද?
ප්‍රේමදාස මහත්තය මිනිසුන්ගේ හැකියාවන් හොඳට අඳුරගත්ත කෙනෙක්. මට ඒක බැරි බව එතුමා හොඳින්ම දැන සිටියා.
ඔබ ප්‍රේමදාස මහත්තයගේ මතයට විරුද්ධ වූ අවස්ථාත් තියෙනවාද?
දේශබන්ධු සම්මානය ඉන් එකක්. ප්‍රේමදාස මහත්තයා නවලෝක මුදලාලි, ධර්මප්‍රිය පලන්සූරිය, මා ඇතුළු දහයකට මේ සම්මානය දෙන්න හැදුවත් මමයි ධර්මප්‍රියයි මේක ගන්න කැමැති වුණේ නෑ. ප්‍රේමදාස මහත්තයගේ ගුරුවරයෙක් තමයි පියදාස පලන්සූරිය ඔහුට බොහොම ගරු කළා.


අගමැති වූ පසු ඔහු සමඟ එකට නිල රථයේ යන්න තරමේ මිත්‍රත්වයක් තිබුණද?
ඡසටැදබි දබ එයැ අසබට ඉංග්‍රීසි කෘතිය “පරවියෝ ඉගිලෙති.” ඉංග්‍රීසි පරිවර්තනයේ ඡරදදf අරන් සුචරිතේට ගියා. එතකොටත් පාර්ලිමේන්තු යන්න ප්‍රේමදාස මහත්තය නිල රථයට නැගලා. මටත් නගින්න කිව්වා. සුචරිතයෙන් උසාවිය පැත්තට දානකොටම බත් පාර්සලයක් ගත්ත මිනිහෙක් පාර පනින්න හැදුවා. අගමැතිට පාර ඉඩ දෙන්න පොලිසිය මිනිහව නැවැත්තුවා. ප්‍රේමදාස මහත්තයා පාර පනින මිනිහට හිනාවෙලා පොලිස් නිලධාරියාට අඬගැහුවා.


“ඇයි බත් එක අතින් ගත්ත මිනිහට බාධා කළේ. ඒ මිනිහා යන්නේ කෑම ගන්න. තමුසේ කරපු වැඩෙන් මිනිහ මාත් එක්කයි වෛර බැඳගන්නේ.” ප්‍රේමදාස මහත්තයා පොලිස් නිලධාරියාට පැවසුවා.


ප්‍රේමදාස මහත්තයා මුල් කාලේ දුරකථනයෙන් කතා කරන්නේ කොහොමද?
ප්‍රේමදාස මහත්තයගේ නොම්මරය 255502 ඇමතුම ගත්ත ගමන්ම මේ ප්‍රේමදාස කියල කතා කරනවා.


ප්‍රේමදාස කියන දේශපාලන චරිතය අවසානයේදී පැහැදිලිවම පැහැර ඇරපු කාර්ය භාරය කුමක්ද?
පැහැදිලිවම කොටි ප්‍රශ්නය. මහින්ද රාජපක්ෂ මහතාට වඩා හොඳින් ඒ ප්‍රශ්නයට විසඳන්නට ප්‍රේමදාස මහත්තයට හැකියාව තිබුණා.

එතුමට දුන්නේ උතුරත් දකුණත් ගිනිගත් විලක්කුවක්. එක පැත්තක ජේවීපීය, අනෙක් පැත්තේ එල්ටීටීඊය. එතුමා ජේවීපී ප්‍රශ්නය විසඳුවා. හිටියනම් එල්ටීටීඊ ප්‍රශ්නයත් පහසුවෙන්ම විසඳන්න තිබුණා. පුරසාරම් කතා කිරීමෙන් නොවේ මහජනතාවට නායකත්වය දෙන්න නම් අහංකාරයයි ආත්මාර්ථකාමිත්වය අත්හරින්නට ඕනැ.

සටහන : ඩී.ජී. ලියනගේ