ප්‍රවීණ ක්‍රීඩකයන් ක්‍රිකට් ගොඩගන්න නොඑන හේතුව


ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ශීඝ්‍ර පසු බැසීම හමුවේ, අභිනවයෙන් පත් වූ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා හිටපු ප්‍රවීණ ක්‍රීඩක පිරිසකගෙන් ඉල්ලීමක් කරනු ලැබීය. ඒ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැංවීම සඳහා වූ උපදේශක කමිටුවක් නිර්මාණය කිරීම වෙනුවෙනි. හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා, ඇතුළු පිරිසකගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.  


එහෙත් ඒ ප්‍රවීණයෝ මෙවැනි දෙයකට සම්බන්ධවීමට අකමැති බව දන්වා සිටියහ. මෙම ක්‍රීඩකයින් අතරින් කීප දෙනෙක්ම ලිඛිතව ඒ ගැන දන්වා සිටියහ. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්න රැසක් ඇතිව තිබියදී, නොඑසේ නම් බැලූ බැල්මට අපේ ක්‍රිකට් ක්‍රීඩාව දුර්වල තත්ත්වයකට පත්ව ඇති මොහොතකදී ක්‍රිකට් ගොඩ දාන කාර්යට මෙම ක්‍රීඩකයින් එන්න බැහැ කිව්වේ ඇයි?  


මේ ඒ ගැන විමර්ශනාත්මකව කරුණු සොයා බලා ඉරිදා ලංකාදීපය ඉදිරිපත් කරනු ලබන සටහනකි.  


ක්‍රීඩා ඇමති විසින් කරන ලද ඉල්ලීමට ප්‍රවීණ ක්‍රීඩකයින් ප්‍රතිචාර දක්වා තිබූ විදිය මුලින්ම අපි සටහන් කරන්නෙමු.   


කුමාර් සංගක්කාර  
ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත,  
උපදේශන මඩුල්ලක් වෙනුවෙන් කරනු ලැබූ ඇරයුම සම්බන්ධවයි.   
ගරු අමාත්‍යතුමනි,  


පළමුව මෙවැනි ආරාධනයක් කිරීම ගැන වඩාත් නිහතමානීව ස්තූතිවන්ත වෙමි. කෙසේ නමුත් පසුගිය වතාවේදී මා අත්විඳි කාරණා සලකා බලා මීට එක් නොවන බව දන්වා සිටිමි. දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමතිව සිටියදී මෙවැනි කමිටුවකට ආරාධනා කළ අතර, මම ඊට එක්වීමි, මාස හයක පමණ කාලයක් ඒ කමිටුව ස්ථාපිතව තිබිණි. එහිදී මට ඒත්තු ගිය දේ වූයේ නිරපරාදේ කාලය වැය වීමක් පමණෙකි. කිසිදු වැඩක් සිදු නොවීය.  
ඒ හා සමානව ඔබගේ ආරාධනය ගැන බැලීමට තරම් මම අසාධාරණ නොවෙමි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සහ අභිවෘද්ධිය මෙන්ම පැවැත්ම සඳහා කෙටි කාලීන මෙන්ම තාවකාලික කිසිවක් වලංගු නොවන වග මාගේ හැඟීමය. ඒ වෙනුවෙන් ස්ථාවර වෙනසක් අත්‍යාවශ්‍යය. අවංකවම සහ යහගුණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන තවත් බොහෝ ​ක්‍රීඩකයින් ක්‍රීඩාව යහපත් මගකට ගෙන ඒම සඳහා සැදී පැහැදී සිටිති. එහෙත් ඒ කිසිවකු හට පවතින තත්ත්වය ගැන විශ්වාසයක් නොමැති වග පෙනේ. මා පවසා සිටින්නේ ද එයමය.   


මෙලෙසින් උපදේශන කමිටුවක් පත් කරන්නේ නම්? අගනා මට්ටමින් එය පවත්වාගෙන යාම වෙනුවෙන් ගරු අගමැතිගේ සහයෝගය සහ සහතික වීම් පදනම් වූ මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය බව පෙනේ. එසේ නොමැතිව දේශපාලනික වාසි තකා අපව ප්‍රයෝජනයට ගනු ලබන්නේ යැයි අත්දැකීමෙන් මා දකින හැඟීම වෙයි.   


මහේල ජයවර්ධන  


මහේල ජයවර්ධන නම ට්විටර් සමාජ අඩවි පිටුව ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ, එක් එක්කෙනාගේ කටයුතු වෙනුවෙන් කාලය කා දැමීම සඳහා කරන දේ වෙනුවෙන් තමන් පාවිච්චි නොකරන්න යැයි කියාය.   


පසුගිය වතාවේදී මාස හයකදී සිදුවූ දේ පලක් නොවූ බවද, එය පරිපාලනයේ පැවැත්ම උදෙසා තමා වැනි ක්‍රීඩකයින් භාවිතා කිරීමක් හැටියට ඔහු ඒත්තු ගන්වා තිබිණි.  


මුත්තයියා මුරලිදරන්  


මේ ආරාධනය ගැන මුලින්ම මා දැනගත්තේ මාධ්‍ය මගිනුයි. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා විසින් එවන ලද ඊමේල් පණිවඩුයක් මඟින් දැන ගැනීමට ලැබුණා. ආරාධනයක් ලැබීම ගැන ප්‍රථමව ස්තූති වන්ත වෙමි. මට හිතෙන්නේ සහ හැඟෙන්නේ පරිපාලනය විසින් කරනු ලබන මහ කපටි වැඩක් කියලයි. ඔවුන් කරනු ලබන කිසිවක් ගැන කිසිදු විශ්වාසයක් නොමැති බව මහේල ද පවසා තිබූ දෙයකි. ඒවා අප ලද අත්දැකීම් මත කරනු ලබන ප්‍රකාශයන්ය. රටේ ඉහළම චරිත මැදිහත් වීම මත ස්ථිර පොරොන්දුවක් නොමැතිව කිසිවකු මේවාට සහභාගී වීමට අකමැති යැයි කිව හැකිය.   


සංගා, මහේල, මුරලි මෙන්ම රොෂාන් මහනාමද මෙලෙසින්ම ප්‍රතිචාර දක්වා තිබිණි. විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීමට මෙන්ම ගිනි ගෙන දැවෙන මේ ප්‍රශ්න විසඳා ක්‍රිකට් යහමගට ගෙන ඒම සඳහා ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ මැදිහත් වීමක් අවැසි නම්? ඔවුනට ඒ කටයුතු කරගෙන යාමට යහපත් වාතාවරණයක් තිබීම වඩා යෝග්‍ය බව මහානාමගේ ලිපියෙන් දැන්වූ කාරණාය.  


මෙම ප්‍රවීණයින් මෙසේ ප්‍රතිචාර දැක්වූයේ ඇයිද යන්න අපි මොහොතකට විමර්ශනය කර බලමු.  


පිළිගත්තා හෝ නැතා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතා පහත් තත්ත්වයකට ඇද වැටී තිබේ. එසේ වූයේ ක්‍රිකට් පරිපාලනයෙහි වරදින් යැයි පසුගිය කාලයේදී බොහෝ දෙනා කළ චෝදනා වීය. තරග පාවාදීම් (දේශීය සහ අන්තර්ජාතික වශයෙන්), අනවශ්‍ය පුද්ගලයින් පරිපාලනයෙහි නිලධාරී තනතුරු සහ විවිධ කටයුතු හෙබවීම, මේ ආදී වශයෙන් වූ බොහෝ චෝදනා පරිපාලනය වෙත බොහෝ දෙනා වෙතින් එල්ල වී තිබිණ.   
එලෙසින් විවිධ පාර්ශවයන් පවතින ක්‍රිකට් පරිපාලනයට බොහෝ චෝදනා එල්ල කරද්දී, ලෝක ශුර කණ්ඩායමේ ක්‍රීඩකයකුව සිටි අසංක ගුරුසිංහ ශ්‍රී ලංකාවට ගෙන්වා තනතුරු කීපයක්ම පිරිනමා ඔහුගේ සේවය ලබා ගැනීමට පරිපාලනය උනන්දු වීය. එහෙත් තවත් පරාජයක් ලබද්දී, තරග පාවාදීම්, අල්ලස් ගැන කතා පුවත් මැවෙද්දී, විශේෂඥ වෛද්‍යවරයකු මෙන් වූ අයෙකු කැඳවූ​ෙව්ය. ඒ අන් කවරකුවත් නොවේ. චන්දික හතරුසිංහය. ආරංචි මාර්ග පෙන්වා දෙන හැටියට ඔහු වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනය විසින් ගෙවීමට පොරොන්දු වූ මුදල රුපියල් මිලියන ගණනකි.   


අසංග ගුරුසිංහ ගැන හෝ චන්දික හතුරුසිංහ ගෙන්වීම ගැන හෝ කිසිදු විවේචනයක් නැත. එහෙත් ඔවුන්ගේ සේවය ලබද්දී පවා සිදුවූයේ පෙර පරිදිම තරග පාවාදීම්, ආදී දේ සහ මෑතකදී පන්දුව පළුදු කිරීම දක්වා වූ චෝදනා ගොන්නකට ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ගෑවීමය.   


පන්දුව පළුදු කිරීමේ චෝදනා පසෙක තබා ඊට පෙරවූ සියලු චෝදනා දෙස අපි හැරී බලමු. එකී සියල්ල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෛරස් උණක් මෙන් රෝගී තත්ත්වයට පත්ව තිබියදී, ෆයිසර් මුස්තාපාට පෙර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වූ දයාසිරි ජයසේකර, ප්‍රවීණයින්ගේ සහය මේ ලෙසට පැතීය. සංගා ඇතුළු ඒ ප්‍රවීණයින් පෙන්වා දී තිබුණේ එකී කමිටුව පත්වූ හැටි සහ එයින් වැඩක් නොගෙන තමන් නිරපරාදේ පාවිච්චි කිරීමක් ලෙසිනි.  
දයාසිරි ජයසේකර එදා එලෙසින් කමිටුවක් පත් කළේ පරිපාලනයෙහි වුවමනාවට බව හිටපු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් විශාරදයින් පෙන්වා දුන් කාරණයක් වීය. එනම් තමන්ගේ පැවැත්ම සඳහා අනෙකා භාවිතා කිරීමේ න්‍යාය වෙනුවෙනි. ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්නට ආ ඒ කමිටුවෙන් කිසිදු ඵලක් නොවී එය පුස්සක් වූයේ කාලය කා දමමිනි. ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ අදහස් වෙනුවට සහ ක්‍රිකට් ව්‍යුහය වෙනස් කිරීමට ආ ඔවුන්ගේ දැක්ම වෙනුවට ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා පමණක් පරිපාලනය ප්‍රයත්න ගත් බව ක්‍රීඩකයින්ට ඒත්තු වූ කාරණාව වීය.  


නීතිඥ දයාසිරි ගොස් ඊළඟට නීතිඥ ෆයිසර් මුස්තාපා ක්‍රීඩා ඇමැති පුටුවට ආවේය. ඔහු ආ විගස ක්‍රිකට් වලට සිදුවූ දේ සොයා බැලුවේය. ක්‍රිකට් ක්‍රීඩාවේ බැරූරුම් ප්‍රශ්නයේ තරම ඔහු තේරුම් ගත්තේය. මෙලෙසින් ක්‍රිකට් නැංවීම වෙනුවෙන් සංගලා හට නැවතත් ආරාධනා ලැබෙන්නේ ඒ පරිසරය යටතේය. එසේ සිදුවූයේ පරිපාලනයට සහ ක්‍රිකට් නිලවරණය පැවැත්වීම ගැන නඩුවක් පවතිද්දීය. මේ නඩුව ​ගොනු කරනු ලැබුවේ හිටපු ක්‍රිකට් ප්‍රධානියකු වූ නිශාන්ත රණතුංගය.  


පරිපාලනය වෙත නඩු වැටුණු මොහොතක අතුරු පාලක කමිටුවක අවශ්‍යතාව බොහෝ දෙනා මතු කළහ. නිලවරණයට නාම යෝජනා දුන් අවසන් දින වන විට නිලවරණයද කල් දැමීම සිදුවිණි.  


අතුරු පාලක කමිටුවක් අත්‍යාවශ්‍ය නම්? එය කරගෙන යාමට පැහැදිලි නිරවුල් බවකින් පවත්වාගෙන යාමට ජනපති සහ අගමැතිගේ නිර්දේශ මත මැදිහත් වීමක් අවැසි බව ප්‍රවීණයෙක් කියා සිටියේය. කෙසේ වෙතත් ව්‍යවස්ථාවට පටහැනිව නිලවරණයට ඉදිරිපත් වන්නේ යැයි කියා නීති රීති පෙන්වා දී නඩුවක් ගොනු වී තිබීම නිසා දෙවැනි අවස්ථාවේදී අධිකරණයෙන් ලැබුණු නියෝගය වූයේ නිලවරණය කල්දැමීමට වූ තීන්දුවය. ඊළඟ නඩු වාරයට පෙර ඡන්දයක් නොතියා ව්‍යවස්ථාව වෙනස් කිරීමේ යෝජනාව ආදී න්‍යාය පත්‍ර ක්‍රීඩා අමාත්‍යවරයාගේ පැත්තෙන් යෝජනා වෙන්නේ ඉන් අනතුරුවය. පවතින තත්ත්වය යටතේ අතුරු කමිටුවක් කෝකටත් හොඳය යන න්‍යාය මත එලෙස වන්නට ඇත.  


මහේලලා පෙන්වා දුන්නේ මේන්න මේ කාලය කල් මැරීමේ ස්වභාවය ගැන නොවේද? පැහැදිලිවම කිසිවක් විනිවිද භාවයකින් කළ නොහැකි තරමේ පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ. හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් මෙන්ම සියලුම ක්‍රිකට් ක්‍ර්‍රීඩකයින් පාහේ කලකිරීමට පත්ව සිටින්නේ මෙකී වාතාවරණය නිසා නොවේද? අමාත්‍ය රංජන් රාමනායක පවා ක්‍රිකට් ක්‍රීඩාවේ මේ ඛේදවාචකය ගැන පසුගියදා ආන්දෝලනාත්මක කරුණු රැසක්ම හෙළි කර සිටියේය.  


අවසානයේ මේ සියල්ල හමුවේ බොහෝ විශාරදයින් පවසන්නේ දැන් සිටින ක්‍රීඩා ඇමතිට සිදුව තිබෙන්නේ කාගේ හෝ පදයකට නැටීමට බවය. ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් මේ මහා බලවේගය කවුද? ඒ බලවේගය හමුවේ ක්‍රීඩා ඇමතිට ක්‍රිකට් වෙනුවෙන් කළ හැකි පරාසය ඉතා අල්ප යැයි ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ මතය වී තිබේ.   


ලංකාවේ ක්‍රිකට් දුර්වල තත්ත්වයකට පත්ව ඇත්තේ මෙලෙසින් අදිසි බලවේගයක් ක්‍රියාත්මක වෙන නිසා බව සියල්ලන්ගේම හැඟීමය. කවරකු විසින් හෝ පිළිගත්තා වුවද? පිළි නොගත්තා වුවද? ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු හෙලකට වැටී තිබේ. මේ වැටුණු තැනින් ගොඩ ආ යුතු විදිය ගැන ඉරිදා ලංකාදීපය බොහෝ විසඳුම් ඉදිරිපත් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින ප්‍රවීණයන්ගේ අදහස් විමසා භේදයකින් තොරව ඒවා පළ කොට, ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා විසඳුම් ඉදරිපත් කළේය. මහේලලා-සංගලා මෙන්ම අපිද අවසාන වශයන් මේ රටේ මුල් පුරවැසියා වන ජනපතිට මෙන්ම අගමැතිට මේ ප්‍රශ්නය වහාම විසඳන්න යැයි කියා සිටිමු.  


ගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි තවත් කල් නෑර ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔබ දෙපළගේ මැදිහත් වීම අත්‍යාවශ්‍යම මොහොතකි මේ.  

 

 

 

 

සටහන - සඳුන් ගමගේ