පළමු සිල්පදය රැකීමෙන් අනාගාමී වන හැටි


ධර්ම ගවේෂී

ඉරිදා ලංකාදීප ධම්ම ගවේෂී ලිපි පෙළ ඔස්සේ අප ඔබට පළමු සිල් පදය තුළ චතුරාර්ය සත්‍යය දක්නට ලැබෙන ආකාරය පිළිබඳව විස්තර කර දීමට පටන් ගත්තෙමු. අද මෙම ලිපියෙන් එතැන් සිට ඉදිරියට කරුණු විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර මෙම දහම් කරුණු පිළිබඳව ද මනා අවබෝධයක් ලබාගෙන ධර්මාවබෝධය සඳහා වීර්යය වැඩීමට ඔබට හැකි වේවා! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. 


අප ඔබට ‘සරණාගමනය හා පංච සීලය’ පිළිබඳව විස්තර කෙරෙන ලිපි පෙළ මගින් අවසාන වශයෙන් සෑම සිල් පදයක ම කළ යුතු හා නොකළ යුතු දෑ වශයෙන් දෙපැත්තක් තිබෙන බව පෙන්වා දුන්නෙමු. එහිදී පළමුව නොකළ යුතු දේ පිළිබඳව යම් පමණකට විස්තර කළ අතර ඒ පිළිබඳව තවදුරටත් මෙම ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. ප්‍රාණඝාතය යනු චතුරාර්ය සත්‍යය තුළ දුක්ඛ සත්‍යය යි. එයට හේතුව වන්නේ ප්‍රාණඝාතය හේතුවෙන් ප්‍රවෘත්ති භවයට හා ප්‍රතිසන්ධි භවයට දුක්ඛ විපාක වින්දනය සඳහා අවශ්‍ය කරුණු සම්පාදනය කිරීමයි. ප්‍රාණඝාතය නිසා ලෝක සත්ත්වයෝ විටෙක අවීචි මහා නරකය ආදී එකසිය තිස්හයක් පමණ නරකයන්හි උපත ලබා මහත් දුක් වින්දනය කරන්නේය. විටෙක ලොකාන්තරීය නරකයෙහි ද ප්‍රේත යෝනියෙහි ද තිරිසන් අපායෙහි ද උපත ලබා දෙමින් විවිධ දුක් කම්කටොළු වින්දනය කරවීමට අවකාශය ලබා දෙන්නේය. සසර විමුක්තියට බාධා පමුණුවමින් සසර ඒ මේ අත සැරිසරන්නට පරිසරය සකස් කරන්නේය... යනුවෙන් අවසාන වශයෙන් විස්තර කර දුන්නෙමු. 


ප්‍රාණඝාතයෙහි නිරත වන හෝ නිරතවීමට අපේක්‍ෂා කරන යම් අයෙකු වේ ද එම තැනැත්තාගේ සිතෙහි ඇතිවන වධක චේතනාව හා ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන් සමූහය දුක්ඛ සමුදය සත්‍යය වශයෙන් දැක්විය හැක. එයට හේතුව යමෙකුගේ සිතෙහි හටගන්නා පටිඝය, තරහ යෑම, ද්වේශය, වෛරය, බද්ධ වෛරය, ව්‍යාපාද සිතුවිල්ල ආදී සියලු‍ ම සිතුවිලි ප්‍රාණඝාතය අරමුණු කොට පවතින නිසා ඒ සියලු‍ චෛතසික ධර්මයෝ ජාති, ජරා, ව්‍යාධි, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන් උපදවන බැවින් ඒ සියලු‍ ධර්මයෝ දුක්ඛ සමුදය සත්‍යයට අයත් වේ. එනම් ප්‍රාණඝාතය කිරීම හා ප්‍රාණඝාතය කිරීම සඳහා හේතු වන යම් චෛතසික ධර්මතාවයන් වේ ද ඒ සියල්ල ම සසර පැවැත්ම සඳහා උපකාර වන බව අවබෝධ කර ගත යුතුය. එසේම සසර දුක සඳහා පවතින බව දැනගත යුතුය. 
එසේ සසර පැවැත්ම හා සසර දුක්ඛ විපාක සකස් වීම සඳහා උපකාර වන දුක්ඛ සමුදය සත්‍යයට අයත් යම් ධර්මතාවයක් වේ නම් එය නැසීමට උත්සාහවත් වීමෙන් ම පමණක් සසර විමුක්තිය ළඟාකර ගත හැකි වේ. ජාති ජරා ව්‍යාධි ආදී සියලු‍ ධර්මතාවයන් සමුදය සත්‍යයෙහි ප්‍රතිඵලයක් වන අතර එම ධර්මතාවයන් කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. හේතු ඵල සම්බන්ධතාවයට අනුව හේතුව පවතින තාක් කල් ඵලය උපදින අතර එම ඵලය ඉපදීම නැවැත්විය නොහැක. නමුත් බුද්ධාදී ආර්ය උත්තමයින් වහන්සේලා එහි හේතුව විනාශ කිරීමෙන් ඵලය විනාශ වන බව අවබෝධ කොටගෙන සියලු‍ දුකින් නිදහස්ව ලබන පරම ශාන්තිය වන නිවන අවබෝධකොට වදාළ සේක. 


යමෙක් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මිදීම සඳහා යම් මාර්ගයක් වන්නේ ද එම මාර්ගය තුළ සංවර වීම සඳහා අවශ්‍ය යම් ධර්මතාවයක් වේ නම් එම ධර්මතාවයන් මැනවින් ආරක්‍ෂා කරමින් කටයුතු කරන්නේ නම් ප්‍රතිපදාව සම්පූර්ණ කිරීම හේතුවෙන් යම් කෙලෙස් ධර්මතාවයක් නැසිය යුතු ද එම ධර්මතාවයන්ගේ නැසීම සිදු කරන්නේය. ප්‍රාණඝාතයෙහි යෙදෙන තැනැත්තෙකුගේ සිත තුළ ඒකාන්ත වශයෙන් ම රළු වධක චිත්තස්වභාවයක් දැකිය හැකි අතර නිරන්තරයෙන් ම ලේ වැකුණු දෑත් දැකිය හැක. එසේම දයාව අනුකම්පාව විරහිත නිතර අන්‍ය සත්ත්වයින් වධයට හිංසනයට පමුණුවන දරුණු සිතක් ඇත්තෙකුව කටයුතු කරනු දැකිය හැක. මේ චිත්තස්වාභාවය ඒකාන්ත වශයෙන් ම ප්‍රාණඝාතයට සුදුසු පරිසරය සකසන අතර ම යම් අවස්ථාවක් පැමිණියහොත් ඔහු විසින් දයානුකම්පී බවින් තොරව ම වහා ප්‍රාණඝාතය කරයි. මේ නිසා සසර දුක්ඛ විපාක ඔහු හට සකස් වන අතර එම දුක් සහගත විපාක සුදුසු අවස්ථාවෙහි විපාක දීම සිදු වේ. නමුත් ඔහු ම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ප්‍රතිපදාව වර්ධනය කරන්නේ නම් ඔහුට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් ලැබෙන ආර්ය මාර්ගය වර්ධනය වන ආකාරයෙන් ඒ ඒ ධර්මතා වර්ධනය කිරීමට සිදු වේ. එවිට විශේෂ අංග පහකින් සමන්විත මාර්ගාංගයන්හි සංවර වීමට සිදු වේ. එනම්, ‘නිහිතදන්ඩෝ නිහිතසත්​ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූත හිතානුකම්පී විහරති ‘ යනුවෙන් දීඝ නිකායෙහි එන බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවෙන් විස්තර කර දී ඇත. එනම් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වැළකීමේ දී ධර්මාවබෝධය අපේක්‍ෂාවෙන් කටයුතු කරන්නෙකුට මාර්ගාංග වර්ධනය වීම සඳහා ප්‍රධාන කරුණු පහක් වර්ධනය කළ යුතු වේ. පළමුවැන්න ‘ නිහිතදන්ඩෝ ‘ හෙවත් දඬු මුගුරු පරිහරණය කිරීමෙන් හිංසනයෙන් වළකින තැනැත්තෙකු වීමයි. දෙවැන්න නම් ‘නිහිතසත්ථෝ’ හෙවත් යමෙකුගේ ශරීරය කැපිය කෙටිය හැකි මුවහත් ආයුධ ආදිය දරන්නෙකු නොවීමයි. තෙවැන්න නම් ‘ලජ්ජී’ හෙවත් ප්‍රාණඝාත අකුසල කර්මයට ලජ්ජා සහගත අයෙකු වීමයි. සතරවැන්න නම් ‘දයාපන්නෝ’ හෙවත් දයාව අනුකම්පාව ඇති තැනැත්තෙකු වීමයි. පස්වැන්න නම් ‘සබ්බපාණභූතහිතානුකම්පී’ හෙවත් සියලු‍ සත්ත්වයින් කෙරෙහි ඔවුන්ගේ යහපතම බලාපොරොත්තු වන ස්වභාවයෙන් යුක්ත වන බවයි. මේ කරුණු පහ වර්ධනය කිරීමෙන් පුන පුනා වර්ධනය කිරීමෙන් පමණක් ඒ තැනැත්තාට දුක්ඛනිරෝධගාමිනී පටිපදාවට අයත් යැයි දේශනා කළ ආකාරයෙන් ම මාර්ගාංග වර්ධනය වී නිවන් ප්‍රතිපදාවෙහි පිහිටි අයෙකු වීමට හැකියාව ලැබෙන්නේය. මෙසේ මෙම මාර්ගාංග වර්ධනය කිරීමේ දී ඒ ඒ තැනැත්තා විසින් ප්‍රාණඝාත අකුසල කර්මයෙන් හා එම අකුසල කර්මය ඇති වීමට බලපාන අකුසල මූලයන්ගේ ප්‍රවාහනය සඳහා පිළිවෙත් සම්පූර්ණ කිරීම නිසා අනාගාමී ඵලයට පැමිණීමෙන් පටිඝය නමැති සංයෝජන ධර්මය විනාශ කරති. එසේ ප්‍රහාණය වීමට අභය දානමය වශයෙන් දානමය ප්‍රතිපදාවත් පංච සීලමය වශයෙන් සීලමය ප්‍රතිපදාවත් සතර බ්‍රහ්ම විහරණ වශයෙන් සමථ භාවනාමය ප්‍රතිපදාවත් නාම රූප පරිච්ඡේද ඥානමය වශයෙන් විදර්ශනා ප්‍රතිපදාවත් වර්ධනය කෙරෙති. ඒ මගින් සප්ත විශුද්ධීන් සම්පූර්ණ කොට සෝවාන් සකදාගාමී අනාගාමී මාර්ග ඵලයන්ට පැමිණීමට සසර ගමන තුළ හේතු සම්පත් සම්පූර්ණ කළ මහෝත්තමයින් වහන්සේලාට හැකියාව ලැබේ. මෙසේ පළමු සිල් පදය නිවැරදිව වර්ධනය කිරීමෙන් යම් මාර්ගඵලයක් අවබෝධ කරන්නේ ද එයම ඔහුට දුක්ඛ නිරෝධය වන්නේය. නැතහොත් නිවන වන්නේය. 


මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් නොකළ යුතු ධර්මතා නොකිරීමෙන් යම් පමණකට මාර්ගාංග වර්ධනය වන ආකාරය දේශනා කොට තිබේ. එනම් යමක් අකුසලයක් වන බව දැනගැනීම ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය වන අතර ඒ අනුව තමන්ගේ චෛතසික සංවරයට පැමිණීම සම්මා සංකප්පය බවට පත් වේ. මජ්ඣිම නිකායේ එන සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවට අනුව ‘යතෝ ඛෝ, ආවුසෝ, අරියසාවකෝ අකුසලඤ්ච පජානාති, අකුසලමූලඤ්ච පජානාති, කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති එත්තාවතාපි ඛෝ, ආවුසෝ, අරියසාවකෝ සම්මා දිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි...’ ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකයා අකුසලයත් දනී ද, අකුසල මූලයත් දනී ද, අකුසලයත් දනී ද, කුසල මූලයත් දනී ද, ඇවැත්නි, මෙපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත වූවෙක් වේ. ඔහුගේ දෘෂ්ටිය නිවන අරමුණු කොටගත් ඍජු බවට පැමිණියේ වේ. යනුවෙන් දේශනා කොට තිබේ. ඒ අනුව ප්‍රාණඝාතය අකුසලයක් බව අනුමාන ඥානයෙන් හෝ දැනගැනීම කම්මස්සකත සම්මා දිට්ඨිය ඉපදවීමට හේතු කාරණා වේ. කම්මස්සකත සම්මා දිට්ඨියෙන් යුතු තැනැත්තාට අනතුරුව අපණ්ණක ප්‍රතිපදාමය වශයෙන් ලෞකික සම්මා දිට්ඨිය සම්පූර්ණ කිරීමෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය වර්ධනය කිරීමට අවකාශය ලැබේ. එසේ ප්‍රාණඝාතය අකුසලයක් බව දැනගත් ආර්ය ශ්‍රාවකයා ව්‍යාපාද හා හිංසාමය සංකල්පයන්ගේ නොම ඉපදීම පිණිස වාචසික පාරිශුද්ධිය පුහුණු පුරුදු කරන්නෙකු බවට පත් වේ. එසේම අව්‍යාපාද හා අවිහිංසා සිතුවිලි නිතර නිතර වර්ධනය කරන්නෙකු බවට පත්වන නිසා ඔහුට සම්මා සංකප්පය සම්පූර්ණ වේ. වචනයෙන් සංවර වන ඔහු වෙනත් කිසිවෙකුගේ හෝ සිතක් නොරිදවන ආකාරයෙන් වචන භාවිතා කරන නිසා ඔහුට සම්මා වාචා සම්පූර්ණ වේ. එසේම ඔහු විසින් ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා සම්මා කම්මන්තය සම්පූර්ණ කරන්නෙකු බවට පත් වේ. තමන්ගේ ජීවිත පැවැත්ම නිවැරදිව බුදුරජාණන් වහන්සේ විසින් අකැප ධනෝපාය මාර්ගයන්ගෙන් වෙන්ව කිරීම නිසා සම්මා ආජීවය සම්පූර්ණ වේ. අකුසලයන්ගෙන් වෙන්වීමට හා කුසලයෙහි යෙදීමට උත්සාහවත් වීම නිසා සම්මා වායාමය සම්පූර්ණ වේ. එසේම මනාව කුසලය වර්ධනය කරන හා අකුසලය නසන ප්‍රතිපදාවක සතිපට්ඨානය මූලික කරගත් ප්‍රතිපදාවක සිහිය වර්ධනය කරන නිසාත් සම්මා සතිය සම්පූර්ණ වේ. එසේම ප්‍රථම ධ්‍යානය ආදී ධ්‍යාන සම්පත් වර්ධනය කරන බැවින් ඔහුට සම්මා සමාධිය සම්පූර්ණ වේ. මෙසේ ප්‍රාණඝාතයෙන් වලකින තැනැත්තාට ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන් වර්ධනය වන බැවින් ඔහු ඒකාන්තයෙන් සියලු‍ කෙලෙස් නසා උත්තම නිවන සාක්‍ෂාත් කරන්නෙකු බවට පත් වේ. 


මෙසේ සැකෙවින් අප ඔබට පංච සීලයෙහි පළමු සිල්පදය ආරක්‍ෂා කිරීමේ දී නොකළ යුතු ධර්මතා නොකර සිටීමෙන් ම යම් පමණකට ධර්මාවබෝධය සඳහා මාර්ගාංග වර්ධනය වන බව විස්තර කළෙමු. මීළඟ ලිපියෙන් අප ඔබට පළමු සිල් පදයෙහි එන කළයුතු දේ පිළිබඳව ඉදිරියේ දී කියා දීමට බලාපොරොත්තු වන අතර එතෙක් ඔබ විසින් දැන ඉගෙනගත් ධර්ම කාරණා වර්ධනය කිරීමෙන් සියලු‍ ආර්යයන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අති උතුම් නිර්වාණ සුවයෙන් සැනසීමට හේතු වාසනා වේවා!යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.