පසුපස අා පාපකර්මය


පළමුයාමය පුරා වැස්සේය. මධ්‍යමයාමයේ වැස්ස නැවතිණි. අවසන් යාමය හොඳින් පායා තිබිණි. චක්ඛුපාල තෙරණුවෝ අවදිවූහ. උන්වහන්සේ සක්මන්භාවනාවේ යෙදෙති. එබැවින් සක්මන් මළුව වෙත ආ ඒ වන විට සක්මන් මළුවේ පණුවෝ මතුවී උන්හ. ඒ අලුත් වැස්ස නිසාය. තෙරණුවෝ සක්මන් කළහ. පණුවන් පෑගිනි. උහු මියගියහ. එය නොදත් චක්ඛුපාල හිමියෝ සක්මන අවසන් කළහ. කුටියට වැඩියහ.  


දිසාවාසි හිමියෝ සක්මන් මළුවට වැඩියහ. පණුවෝ රැසක් මිය ගිහින්ය. එය දුටු උණ්වහන්සේ පුදුම වූහ. සාමණේර හිමියන් වෙත ගියහ. දැන් කවුරුද සක්මන් කළේ? 

ස්වාමිනී! අපේ නායක රහත්වහන්සේ. ඒ හිමියෝ කීහ.  


අපෝ මේ ශ්‍රමණයාගේ වැඩ බලව්. ඇස් ඇති කල නිදා ගෙනය. අන්ද වූ කල සක්ම​නේ. ඉන් බොහෝ පණුවෝ මැරීගිහින්ය. අර්ථයක් කරන්නට ගොස් අනර්ථයක් කරත් කීහ. පසුව එ් දිසාවාසි හිමියෝ බුදුන්වෙත ගියහ. නමස්කාර කළහ. එක් පස් වූහ.  


ඇයි මහණ, බුදුහු විමසූහ.  


ස්වාමිනී! චක්ඛුපාල තෙරණුවෝ සක්මන් කරති. බොහෝ පණුවන් මරා දමති.

 
චක්ඛුපාල තෙරණුවෝ පණුවන් මරනවා ඔබ දුටුවෙහිද?

නැත ස්වාමීනී. 

 
මහණ යම්සේ ඔබ එය නුදුටුවේද? චක්ඛුපාල තෙරණුවෝ පණුවන් නුදුටුහ. මහණ රහතුන්ට මරණ චේතනා නැත.

 
හොඳමයි ස්වාමිනී!   


ස්වාමීනි! රහත්වීමට තරම් හේතුඵල උන්වහන්සේට තිබිණි. එසේනම් ඇස් අන්ධ වූයේ ඇයිද පහදා දෙන්න ස්වාමිනි!  


එසේ වූයේ තමන් කළ පාපකර්මයට අනුරූපවය  


ස්වාමිනි! උන්වහන්සේ කළ පාප කර්මය කුමක්ද?

අතීතයේ ඔය තෙරණුවෝ වෙදෙක් වූහ. එම වෙදවරයා ගම් නියම් ගම්වල සැරිසැරුවේය. වෙදකම් කළේය. ඔහුට එක් ගමකදී ඇස් පෙනීම දුබල ස්ත්‍රියක් හමුවූවාය. ඔහු ඇය​ගේ නෙත් පරික්ෂා කළේය. මෙසේ ඇසීය. ඔ​ෙබ් අැස්පෙනීම දුර්වලයි නේද?  

එසේය. වෛද්‍යාචාරතුමනි.  


ඇස්වලට බෙහෙත්කර බලමුද?

 
හොඳමයි.  


ඔබ මට කුමක්ද ඒ වෙනුවෙන් දෙන්නේ  

 
මගේ අැස්පෙනීම අතිකළොත් මම මගේ දූ පුතුන් සමඟ ඔබට දාසවෙමි.  


වෛද්‍යවරයා සතුටට පත්විය. ඇස්වලට බෙහෙත් දැමීය.  


එක බෙ​ෙහතකින් පෙනීම ඇති විය. ඈ දාසි වීමේ පොරෙන්දුව ගැන කල්පනා කළාය. මම දූ පුතුන් සමඟ ඔහුට දාස වීමට පොරොන්දු වූවෙමි. චී. දාසයන් වීම කොතරම් පහත්ද එය කළ නොහැක. එම නිසා ​ෙපාරොන්දුව කඩ කළ යුතුය. එබැවින් ඔහුට වංචාවක් කළ යුතුය. ඇයට සිතිණි.  


මේ අතර වෛද්‍යවරයා ආවේය.  


නැගණිය දැන් ඇස් රෝගය සුව වී ඇද්ද?  


නැත වෛද්‍ය තුමනි! පෙර මගේ අැස්වල තිබුණ වේදනාව දැන් වැඩි වී ඇත.  


වෛද්‍යවරයා ඇස් පරික්ෂා කළේය. ඇස් සුව වී ඇත මේ ස්ත්‍රිය මට වංචා කරන්නීය පොරොන්දු කඩකරන්න හදන්නීය. ඇය යළි අන්ද කරමියි සිතීය. ගෙදරගියේය. බිරිඳට සිදුවුණු විස්තර කීවේය කරන්න යන දේද කියා සිටියේය.  


ඈ නිහඬ වූවාය.  


ඔහු යළි බෙහෙත් හදා ගත්තේය. එම ස්ත්‍රිය සොයා ගියේය. නැගණිය ඔබේ ඇස් වේදනාව තව තියේද? ඇසීව.  
එසේය වෛද්‍යතුමනි! ඈ කීවාය.  


එසේනම් මේ බෙහෙත ආලේපකළ විට වේදනාව පහවෙයි කීවේය බෙහෙත ආලේප කළේය. එකනෙහි ඇගේ ඇස් නොපෙනී ගියේය.  


ඒ පාප කර්මය ඒ තෙරණුවන්ට රහත් වූවත් පසු පස ආවේය. මහණ පාප කර්මය ගැල අදින ගොනාගේ පා අනුව එන රෝදය මෙනි පසු පසු එයි බුදුහු වදාළහ.  

 

 


(ධම්මපදට්ඨ කතා ඇසුරිනි)  
හලලියේ කරුණාතිලක