පවුල් පාලනයෙන් විනාශ වූ ගැබොන් රට


වළපල්ලට ගිය රටවල්

 

 

 

පවුල් පාලනය රටකට වැඩද‌ායක නැත. පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීම ද රටකට විපතකි. බලයට කෑදර පාලකයින් කරන්නේ රටක් වැනසීමයි. නැවත නැවත බලයට පැමිණ රට කන්න පොරකන දේශපාළුවන් සිටින රාජ්‍යයන් රාශියක් මම දුටුවෙමි. ඒවා මිහිපිට අපායවල් වගේය. ඒවායෙහි බහුතර ජනතාව සිටින්නේ මරණයේ දොරකඩ අබියසය. එම දේශයන්හි දූෂිත දේශපාලකයන් සිදු කරන්නේ අර්බුද උග්‍ර කිරීමය. නැති අර්බුද ඇති කිරීමය. ජනතාව භේද බින්න කිරීමය.


අගාධයට ගිය හැම රටකම මා දුටුවේ දේශපාලන රූකඩ නැටුම්ය. ආර්ථික තලයේත් දේශපාලන තලයේත් පරිහානිය මම දුටුවෙමි. වළ පල්ලට ගිය රටවල් හරහා මා යන ගමනේදී මේ සතියේදී එනම් ඉකුත් ​අප්‍රේල් 8 ද‌ා ශ්‍රී ලංකාවට අඩිය තැබීමට ද මට අවස්ථාවක් ලැබිණි.


අදත් මෙම ලිපියෙන් හඳුන්වාදෙනු ලබන්නේ අප්‍රිකාවේ පිහිටි තවත් නරකාදියකි. ජනතාව ගොනාට අන්දවන දේශපාලකයන් වැඩි වශයෙන්ම සිටින්නේ අප්‍රිකාවේ සහ ආසියාවේය.


රට කා දැමූ ජනපතිවරු තුන්දෙනා


අද ලියන්නේ ගැබෝන් (Gabon) රාජ්‍යය ගැනය. මෙයද බලලෝභි දේශපාලකයින් කා දැමු රාජ්‍යයකි. නැතහොත් ජන රජයකි. පවුල් පාලනයට නතු වූ මෙවැනි රටක් ජන රජයක් වශයෙන් හැඳින්වීමම මහා විහිළුවකි. මෙහිද බහුතර පොදු ජනතාවට කිසිම ජයක් නැත. ප්‍රංශයෙන් නිදහස ලබා වසර 59 කි. මේ මුළු කාලය පුරා රට පාලනය කළේ ජනපතිවරු 3 දෙනෙකි. ඔව්හු රට කා දමා ඇත්තේ කජු කනවා වගේය.


ගිනියාව, කැමරුන්, කොංගෝව ආදී තවත් දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් කීපයකට මැදිව පිහිටි ගැබෝන් (Gabon) රට විනාශ මුඛයට පත් වී අවසානය. මෙහි සම්පූර්ණ ගෞරවය වැඩි වශයෙන්ම හිමිවිය යුත්තේ දේශපාලකයින්ගේ නූල් සූත්තරවලට රැවටුණ එරට බහුතර ජනතාවටය. ඊළඟට ඉවක් බවක් තැනක් නොතැනක් නැතිව මහජන දේපොළ සුරා කමින් සුර සැප විඳින දේශපාලකයන්ටය. වසර 71 ක් තිස්සේ ශ්‍රී ලංකාවටත් සිදුවුණේ මේ වින්නැහිය නේදැයි ශ්‍රී ලංකාවට මීට දින කීපයකට පෙර අඩිය තැබූ මොහොතේ මට සිතුණි.


මධ්‍යම අප්‍රිකාවේ පිහිටි ගැබෝන් නමැති මේ අවාසනාවන්ත දේශයේ අද ජනගහණය ලක්ෂ 20 කට මඳක් වැඩිය. විශාලත්වයව කි.මී. 2,67,667 ක් හෙවත් ව.සැ 1,03,347 කි. මෙයද ජනතාවට ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනා ගමන, විදුලිය, ජලය, ආදී අත්‍යවශ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීමට අපොහොසත් වූ පාලකයින් රජ කළ රාජ්‍යයකි. මෙහි බොහෝ පාලකයන් සිතුවේ තම සුක විහරණය ගැන පමණකි.

 

ගැබොන් රටේ ජනපති බොන්ගෝ

 

 

 


ගැබොන් රටේ තෙල්වලට වුණ දේ


අතීතයේ දී දිනකට තෙල් බැරල් 3,70,000 කට වැඩි ප්‍රමාණයක් මහ පොළොවෙන් ලබාගත් මේ දේශය අද හිඟා කන තත්ත්වයට පත් වී තිබීම කොතරම් ශෝක ජනකද? මෙහි තරුණ පරපුර පෙරුම් පුරන්නේ රට අතහැර යාමටය. හරියට ලංකාවේ තරුණ පරපුර වගේය. විරැකියාව උග්‍ර වී ඇත.


රට පුරා දැඩි ආහාර හිඟයක් පවතී. තෙල් ළිං විදේශ සමාගම්වලට විකුණා කොමිස් ගත් පාලකයන් නැවත නැවත බලයට එන රටකි. විදේශ ණය සාක්කුවේ දමා ගන්නා දේශපාලකයන් ජනතාවට වැදිබණ දෙසති. වළ පල්ලට යන්නේ මෙවැනි රටවල් නේද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ මුදල් ඩොලර් මිලියන 160 ක් පමණ සොරකම් කළ ඉහළම දේශපාලකයන් සිව් දෙනෙකුට චෝදනා එල්ල වී ඇතත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. දේශපාලකයනට එරෙහි නඩු 62 ක් පමණ විභාගවෙමින් තිබුණත් එම නඩු වලද තීන්දු වාෂ්පවීම මේ කියන ගැබෝන් රටේද ජනතාවගේ කරුමයට සිදුවන්නකි. ලොව බොහෝ ආරාජික රටවල සිදුවන්නේ මෙවැනි නඩු වාශ්ප වීමයි.


ගැබෝන් දේශයේ ඇතුළු පැත්ත


රටේ ඇත්තේ රෝහල් 28 ක් පමණකි. රෝගීන් එක් ලක්ෂයකට සිටිනුයේ වෛද්‍යවරුන් 29 දෙනෙකි. සෑම දරු උපත් 1000 කට 55 ක් උපතේදීම මියයාම කොතරම් ශෝචනීයද? ලෙඩ රෝගවලින් මියයන සංඛ්‍යාව අධිකය. විදුලිය නැති ගම්මාන සංඛ්‍යාව 360 ක් පමණ වන බව වාර්තාවේ.


ලිංගාශ්‍රිත රෝගයක් වන එ්ඩ්ස් මාරයාට ගොදුරු වූ සංඛ්‍යාව අධිකය. දැනටම ඒඩ්ස් රෝගය වැලදී ඇති සංඛ්‍යාව 46,000 කට වැඩිය.


මා මේ සඳහන් කළේ පාලකයන් සුරසැප විඳින ජනතාව නිරා දුක් විඳින ගැබෝන් රාජ්‍යයේ ඇතුළු පැත්තෙන් බිදක් පමණකි. මේ රටේද ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නේ ජනතාවගේ යහපත තකා නොවේ. අභිවෘද්ධිය තකා නොවේ. සුබ සිද්ධිය තකා නොවෙ. පාලකයන්ගේ ආරක්ෂාව තකාය. ඔවුන්ගේ ධුර කාලය වැඩි කර ගැනීම තකාය. ඔවුන්ගේ මඩිය තර කර ගැනීම සඳහාය.


පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120කි. මුදල් ඇති, හොර ජාවාරම් කරන, හැම කෙනෙක්ම උත්සාහ කරනුයේ පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට පොර කෑමයි. ශ්‍රමය, ධනය කාලය වැය කිරීමයි. රට පුරාම ඇත්තේ එකිනෙකා කුලල් කා ගන්නා බල අරගලයකි. හරියටම ලංකාව වගේමය.


නැවතුණ හෘදය වස්තුව


1960 අගෝස්තු 17 දා ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේය. රටේ පෙනෙන්නට තිබෙන්නේ ප්‍රංශ කාරයන් කළ දේවල්ය. මුල්ම ජනපති ලියෝන් මබාය. 1961 සිට 1967 දක්වා ඔහු ජනපති ධුරය දැරුවේය. ඔහු මිය ගියේ හෘදය වස්තුව නැවතුණ නිසාය. ඔහු මුලින්ම රට කා දැමුවේ ප්‍රංශයට එරෙහිව සිදු කළ නිදහස් අරගලය පාවාදෙමිනි. ඔහු පවුලේ සියලු සාමාජිකයන් සමඟ රටේ මහජන දේපොළ සම්පත් ඉවක් බවක් නැතිව කොල්ල කෑවේය.


ඉන්පසු රටේ සුක්කානම බාර ගත්තේ ඔමාර් බොන්ගෝය. (Omar Bongo) ඔහු ගැබෝන්හි දූෂිතම පාලකයාය. 1967 සිට 2009 ජුනි 8 ද‌ා තෙක් වසර 42 ක් ජනපති පදවිය දැරුවේ ඔහුය. ඔහු 6 වරක් ජනපති පදවියට තේරී පත්විය. ගැබෝන්හි පැවැත් වූ සියලු මැතිවරණ ඉතා දූෂිත බව හෙළි කළේ ජාත්‍යන්තර මාධ්‍යයන්ය.


ඔහු මුල් තැන දුන්නේ රටේ උගතුන්ට, දක්ෂයින්ට ජාති හිතෛෂී ජාති මාමක විශාරදයන්ට නොවේ. තමාට පාලනය කර ගත හැකි නූගතුන්ටය. එසේ කළේ ඔහු ද නූගතෙකු වූ නිසාය. පවුලේ සියලු ඥාතීන් පාලනයට හවුල් කර ගැනීම ඔහු රටට සිදු කළ මහා විපතයි. මා මේ ලියන්නේ ගැබෝන් රාජ්‍යය ගැනය.


පවුල් පාලනය රට වැනසූ හැටි


ඔහු තමාට එරෙහි ජනතා විරෝධය මැඩ පැවැත්වූයේ මර්දනයෙනි. මරණය තෙක්ම මර්දනය තුළින් හිස ඔසවා ගෙන සිටි ඔහු තම පුත්‍රයා වූ අලි බොන්ගෝ (Ali Bongo) විදේශ ඇමැති වශයෙන් පත් කර ගත්තේය. විදේශ ඇමැති තනතුරට අමතරව තම පුතා වූ අලි බොන්ගෝට ආරක්ෂක ඇමැති තනතුරක් බාර දුන්නේය. බිරිඳ ඇමැති මණ්ඩලයටත් උපදෙස් දෙන ආකාරයේ ඉහළ තනතුරකට පත් කළේය.


රටේ පවුල් පාලනය බිහිවුණේ මෙහෙමය. සියලු මර්මස්ථාන පාලනය කළේ ඔහුගේ පවුලේ ඥාතීන්ය. රට කඩා වැටුණේ මෙසේය. රට මෙසේ කඩා වැටී තිබෙද්දී ඔහු හෘදයාබාධයකින් බාසිලෝනාහි දී අවසන් හුස්ම හෙළුවේය. තමා සහ පවුල විසින් විනාශ කළ රට ද අවසාන වරටවත් දැක ගැනීමට නොහැකිව ඇස් පියාගත් පසු ඔහුගේ පුතාට රටේ සුක්කානම හිමිවීම තවත් ඛේදවාචකයකි.

 

 


පාලනය තාත්තාගෙන් පුතාට


තාත්තා මියගිය පසු ඒ වන විටත් ඉහළම අමාත්‍ය තනතුරු කීපයක් දරමින් සිටි ඔහුගේ පුතා වූ අලි බොන්ගෝ (Ali Bongo Ondimba) 2009 අගෝස්තු 30 ගැබෝන් රාජ්‍යයේ 3 වැනි ජනපති පදවියට පත්විය. තාත්තා ජීවතුන් අතර සිටියදීද ජනපති පදවිය හසුරුවනු ලැබූ පුත්‍රයාට මේ ලැබුණේ අලුත් පදවියක් නොවේ.


මා මේ සඳහන් කරන්නේ ලොව විවිධ රට වලට අද අත් වී ඇති වින්නැහියයි. ඛේදවාචකයයි. ගැබෝන් රට අද තව තවත් පස්සට යමින් සිටී. එහි දේශපාලකයින් සිදු කරන බල අරගලය නිම වන බවක් පෙනෙන්නට නැත.


රට මහා ණය කන්දක හිර වී අවසන්ය. තාත්තාගෙන් පුතාට පාලනය ගියේ මෙහෙමය.


බොන්ගෝ පවුල වැනසු ගැම්බෝ රට


පාලනය මාරු වුණත් රට ප්‍රපාතයෙන් ප්‍රපාත යට ඇද වැටී අවසන්ය. දරිද්‍රතාවයෙන් පෙළෙන පුරවැසියන්ගේ සංඛ්‍යාව සියයට 60 කට වැඩිය. තෙල් ආද‌ායම මංකොල්ල කෑ පාලකයන් ජනතාවට සුරංගනා ලොවක් මවා පාන අයුරු නින්දිතය.


ඉදිකටුවක්වත් නිපදවන්නේ නැති රටක් දියුණු වන්නේ කෙසේද? ගැබෝන්හි බොන්ගෝ පවුල සතු ධනය පිළිබඳ බීබීසි ප්‍රමුඛ විදේශ මාධ්‍යයන් පුවත් පළ කර තිබුණි. වත්මන් ජනපතිගේ පියා වසර 42 ක් තිස්සේ කා දැමූ ගැබෝන් රාජ්‍යයය වළ පල්ලට යද්දී එහි ජනතාව දුක් අඳෝනා නඟති. ජනපති තාත්තා අංශ බාගයෙන් පෙළී මියගිය පසු වසර 42 ක ශාපය නිමවනු ඇතැයි ලෝකයා සිතූහ. එහෙත් ගැබෝන්හි ශාපය තවම නිම වී නැත.

 

 

 

 

සිරී හීන්පැල්ල
නිව්​ෙ​‌යා්ර්ක් නුවර සිට ලියයි