පවුල් දෙකක් විනාශ කර ගමක් බේද කළ පියදාස ගේ කසයා


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් අවැසිය. මෙම විශේෂාංගය ඒ වෙනුවෙනි

 

 

 

අම්පාර, මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.  

පවුල් දෙකක් විනාශ කර ගමක් බේද කළ පියදාස ගේ කසයා


වසර හැටකට පෙර උඩරට පළාතේ පිටිසර ගමක කෘෂි කර්මාන්තයේ යෙදීමෙන් ජීවත් වූ පවුල් විසි නවයක් පදිංචිව සිටියහ. එක් දරු පියෙකු වූ පියදාසගේ පවුලත් ඒ අතර විය. දඩම්බර ගති පැවැතුම් ඇති අයෙකු වූ ඔහු පවුලේ නඩත්තුව ගෙන ගියේ කසිප්පු පෙරීමෙන් හා විකිණීමෙනි. ඒ කාලයේ කසිප්පුවලට කීවේ ‘කසයා’ කියාය. ගමේ සමහර වැඩිහිටියන් පමණක් නොව තරුණියන් කොටසක් ද තම වැඩ පළ නිම කොට හැන්දෑ කාලයේ ගොස් කසයා බීමට පුරුදුව සිටිය නිසා පියදාසගේ අත මිට හොඳට සරුව පැවතුණි. ඔහුගේ කසයා ව්‍යාපාරයට විරුද්ධ කොටසක් ද ගමේ සිටියත්, ඔවුන් පියදාසගේ දඩබ්බර ගතිවලට බය නිසා එළිපිට විරුද්ධත්වයක් දැක්වීමට ගියේ නැත. එහෙත් ජිනදාස සමහර අවස්ථාවල ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේය.   


එක් දිනක් හැන්දෑ කාලයේ කවුරුත් නොසිතූ ආකාරයට පොලිසියෙන් පැමිණ පියදාසත් ඔහු ළඟ තිබුණු කසයාත් අත්අඩංගුවට ගෙන ගියහ. පසු දින උසාවියට ඉදිරිපත් කළ පියදාසට රුපියල් විස්සක් දඩ ගසනු ලැබීය. ඔහු එම දඩය ගෙවා පැමිණියේය. ජිනදාස පොලිසියට ඔත්තු දීම නිසා පැමිණ තමන් අත්අඩංගුවට ගත් බව සිතූ පියදාස ඔහු කෙරේ වෛරයක් ඇති කර ගත්තේය. එහෙත් කසයා ව්‍යාපාරය නතර නොකළ ඔහු වෙනත් ස්ථානයක දී එය කරගෙන පොලිසියට කොටු විය. එම නඩුවේ දී ඔහුට උසාවියෙන් රුපියල් තිස් පහක දඩයක් ගැසූ අතර නැවත වරක් උසාවියට පැමිණියහොත් හිර දඬුවම් විඳීමට සිදුවෙන බවත් පවසා උසාවියෙන් තරයේ අවවාද කරනු ලැබීය.   
ඉන් පසු ඔහු කසයා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අතහැර දමනු ලැබීය. ජිනදාස කෙරේ සිතෙහි තිබුණු වෛරය තව තවත් වැඩි කර ගත්තේය.   
කසයා ව්‍යාපාරය අතහැර දැමූ පියදාස සුළු කාලයකදීම ගමට සැතපුම් එක හමාරක් දුරින් පිහිටි නගරයේ බේකරිවලට දර සපයන ලොරියක අයිතිකරු සමග කතා කරගෙන එම ලොරියේ සහායක ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය.   


මෙසේ මාස තුන හතරක් ගත වෙන විට ජිනදාසගේ පවුලත් යාබද නිවසේ පදිංචි සෝමරත්නගේ පවුලත් අතර ඉඩම් ආරවුලක් මුල් කරගෙන බහින්බස්වීමක් ඇති විය. ඒ සම්බන්ධයෙන් සෝමරත්න පොලිසියට ද පැමිණිලි කරනු ලැබීය. මේ බව දැනගත් පියදාස මෙය ජිනදාසගෙන් පළිගැනීමට හොඳම අවස්ථාව බව සිතුවේය.   
එසේ සිතූ පියදාස එක් දිනක රෑ බෝ වී කුඹුරට ගොස් ඇළවේල්ල දිගේ ජිනදාස එන විට කැත්තක් රැගෙන ගොස් ඇළ කණ්ඩියේ සැඟවී සිට ඔහුට කැත්තෙන් හත් අට පාරක් කොටා ජලය පිරී තිබුණු ඇළට තල්ලු කර දමා පැන දිව්වේ මෙය සෝමරත්න විසින් කරන ලද්දක් බව එ්ත්තුගැන්වීමේ අරමුණ ඇතිවය.   
කුඹුරට ගිය ජිනදාස රාත්‍රී නවය පමණ වනතුරු නොපැමිණි නිසා ඔහුගේ බිරිඳ දුවත් පුතත් සමග කුඹුරට ගොස් බැලුවත් ඔහු කුඹුරේ සිටියේ නැත. ආපසු පැමිණි ඔවුන් අහල පහළ නිවෙස්වලට ගොස් ජිනදාස දුටුවේ දැයි විමසා බැලිය. හැන්දෑ යාමයේ ඔහු කුඹුරේ සිටිනු දුටු බව කීප දෙනෙක් කීහ.   


මේ රෑ වෙලා කුඹුරට වතුර හරවන්න යන්නේ මොකටද? ඔය ඇළේ කිඹුල්ලුත් ඉන්නවා යි කී අසල්වැසි කිහිප දෙනෙකු විදුලි පන්දම් ද රැගෙන ජිනදාස සොයා බැලීමට කුඹුරට ගියහ. ඔවුන් ගොස් කුඹුරේ සහ අවට සොයා බැලුවත් ජිනදාස සිටියේ නැත. මේ නිසා ඇළත් ඉවුරත් දෙස විපරම් කර බලමින් ඔවුහු පැමිණියෝය. මෙසේ ටික දුරක් එන විට ජිනදාස හමුවිය. මහ ඇළට පහත් වී තිබුණ පාළු වැල් ගාලෙක පැටලී සිටි ඔහු සිටියේ මෙලොව හැර ගොස්ය. මහත් සේ කම්පාවට පත් ඔවුනගෙන් දෙදෙනකු එහි නතරව සිටියදී දී අනෙක් අය ගම්මංඩියට දුව ආහ. සිදුව ඇති විපත ජිනදාසගේ බිරිඳට කියා ඇයත් සමග කිහිප දෙනෙක් නගරයට ගොස් පොලිසියට සියලු විස්තර පැවසූහ.   
මේ වෙන විට මැදියම් රැය ද ඉක්ම ගොස් තිබුණි. අලුයම වෙන විට පොලිසියෙන් පැමිණ පරීක්ෂණ පැවැත්වීය. ජිනදාසගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය සැක කළ යුතු ඇය සිටි දැයි විමසුවේය. දින දහයකට පමණ පෙරදී සිදු වූ ඉඩම් ආරවුල ගැන ද සඳහන් කළ ඇය සෝමරත්න සැක බව කීවාය. පොලීසිය ඔහු සොයා නිවසට ගිය පසු දැන ගන්නට ලැබුණේ දින හතරකට පෙර ඔහුට මැලේරියාව සෑදී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ පසුවන බවය. සොයා බැලීමේ දී එය ඇත්ත බව හෙළි විය.   
ඉන් පසු කරන ලද විමර්ශන අනුව ගමේ තවත් පස් දෙනෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබීය. ඒ අතර පියදාස ද විය. අන්තිමේ පියදාස හා විජේදාසට නඩු පැවරුණි. දුටු හෝ පිළිගත හැකි සාක්ෂි නොමැතිවීමෙන් ඔවුහු නිදහස් වූහ.   


පියදාස නැවත ලොරියේ වැඩට ගොස් මාස හතක් පමණ වැඩ කළේය. එක් දිනක ලොරියේ දර බාන විට කොටයක් පෙරළී එයට පියදාස යට වී බරපතළ ලෙස තුවාල වීමෙන් රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කරන අතර දින තුනකින් ඔහු මියගියේය. පියදාසගේ කසයා ව්‍යාපාරය ගැන ජිනදාස පොලිසියට කිසිම ඔත්තුවක් දුන්නේ නැත. ඔහු ගැන සැක සිතා පියදාස දුර දිග නොබලා වෛරයක් ඇති කොට ගෙන ජිනදාස මරා දමා සමාජයෙනුත් නීතියෙනුත් නිදහස් විය. ඒත් ඔහුට ස්වභාව ධර්මයෙන් නිදහස්වීමට නොහැකි විය. මේ ජීවිතයේදීම කළ කම් පළ දීම සිදු විය.  

 


පහළ මලිදුව අකුරැස්ස චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.   

කෙසෙල් කැනේ සැඟවී සිටි මාරයා සොර දෙටුවා පරලොව යවයි


ජයතුංග මීට දශක කීපයකට පෙර ඈත දුෂ්කර ගමක යමක් කමක් ඇති පවුලක උපන්නෙකි. ඒ කාලයේ හැටියට ගමේ පොහොසත් පවුලක උපන් ජයතුංග කුඩා කල සිටම කෙළිලොල් දිවියක් ගත කරන්නට පුරුදුවූවෙකි. කිසි දෙයකින් අඩුපාඩුවක් ද නොවීය.   


දෙමාපියන් ජයංතුග නිසි වයසේදි පාසල් යවා හොඳ අධ්‍යාපනයක් ලබා දී උගතෙකු කරන්නට කොතෙක් උත්සාහ කළ ද ඉන් පළක් නොවූයේ ඔහුගේ තිබූ කෙළි ලොල් බව නිසාමයි. නමින් ජයතුංග වුව ද ගමේ බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ ජයතු යන කෙටි නාමයෙනි. ඔහු වැනිම වූ කිසිදු අධ්‍යාපනයක් නොලත් පිරිසක් අසුරු කරමින් දිවි ගෙවන්නට පුරුදු වූ අතර ඔහුගේ මිතුරන් වැඩිපුරම කළේ නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියාවන්මය. මෙවන් පාපතර ක්‍රියා හැර අත පය වෙහෙසවා කරන කිසිදු වැඩ පළක නිරත නොවූ මොවුන්ට හරි හම්බ කර ගැනීමට කළ හැකි කිසිදු කර්මාන්තයක් පිළිබඳ දැනීමක් නොවිය. මේ අතරතුර නිසි වයස එළඹෙන්නටත් පෙර ජයතු විවාහයක් කර ගත්තේ ද තම පවුලේ සියල්ලන්ගේම විරෝධතා මැදය. තමන්ගේ පවුලට නොගැළපෙන කටයුත්තක් කර ගත්තේ යැයි පවසමින් දෙමාපියන් ඔහු තම පවුලෙන් ඈත් කර දැමූ අතර නෑදෑ හිතවතුන් ද ඔහු අත් හැර දැමූහ.   


​කොතරම් පොහොසත් පවුලක උපන්නත් සියලු දෙනා අත් හැර දැමීම නිසා ජයතුට කර කියා ගත හැකි දෙයක් නොවීය. විවාහයත් සමග කෙළි ලොල් දිවිය ද ඔහුට අහිමි විය. එ් නිසාම ඔහු වටා සිටි යහළු මිත්‍රයින් ද එකා දෙන්නා බැගින් ඔහු මඟ හැර යන්නට විය. කර ගත හැකි කිසිවක් නොවූ තැන ගම කෙළවර ඇති වල් බිහි වූ හේන් කෑල්ලක් කොටාගෙන කටු මැටි නිවසක් තනාගෙන පවුල් ජීවිතය ගත කරන්න විය. එහෙත් ජීවත් වෙන්න කළ හැකි කිසිවක් නොදත් නිසාම ඔහු අන්ත අසරණ බවට පත් විය. තම ජීවිතය ගැට ගසා ගැනීමට කළ හැකි කිසිම දෙයක් නොදත් ජයතු තම ජිවිතය ගැට ගසා ගෙන යාමට ඔහු දන්නා එකම සහ පහසුම මඟක් තෝරා ගත්තේය.   


ඒ සඳහා එතරම් දැනුමක් අවශ්‍ය නොවීය. ඒ නම් ගමේ වැසියන්ගේ හේන්කුඹුරුවලට පැන ඒවායේ ඇති බව භෝග හොරකම් කර ගැනීමයි. ඔහු මේ සඳහා තෝරා ගත්තේ ගම් වැසියන් නිදි ගත් මැදියම් රාත්‍රියයි. දහවල් කාලයේදී වතු පිටි හේන් ආදියේ තිබෙන බව භෝග තිබෙන තැන් සොයා බලා ගන්නා ජයතු රාත්‍රී කාලයේදී ඒවා හොරෙන් කඩා වඩා ගැනීමට අතිදක්ෂයකු විය. මේ පිළිබඳව නම් ඔහුට තිබුණේ ගණ දෙවි නුවණකි. ඒ නිසාම මොහුගේ මේ හොරකම් අල්ලා ගැනීමට සමතෙකු ගමේම නොවීය. එසේම ඔහු සැක කිරීමට තරම් සාක්ෂියක් සොයා ගැනීමට තරමවත් හැකියාවක් කිසිවකුටත් නොවීය.   


කල්යත් ම මොහු සොරකම් කිරීම ව්‍යාපාරයක් බවට පත් කර ගත්තේය. එයින් කොටසක් තම කෑමට බීමට තබාගෙන වැඩිපුර ඇති දෑ විකුණා මුදල් කර ගැනීමට උදේ රැයින්ම නගරයට ගෙන ගොස් විකිනීමට පුරුදු විය. මෙයින් ඔහුගේ අත මිට සරු වී එතෙක් පැවති දුෂ්කර කාලය නිම වී සරු කාලයක් උදා විය. කොතරම වාසි වුවත් ඔහුගේ බිරිඳ නම් මේ වැඩවලට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. බිරිඳ මොන දේ පැවසුවත් ජයතු තම කටයුතු නතර කිරීමට කිසිදු කැමැත්තක් නොදැක්වීය. එහෙත් නරකට හොඳක් නැත. ඒවාට වැඩි ආයුෂත් නැත යන කියමන සැබෑවක් වෙන්නට එතරම් කාලයක් ගත නොවීය. ගම් වැසියන් දුක් මහන්සියෙන් වගා දිගා කරන දෙය හොරකම් කරන හොරා අල්ලා ගන්නට නොහැකි වුවත් සොරාට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ පළි ගැසීම නිතර සිදුවන්නක් බවට පත් විය. එහෙත් ජයතුට ඒ කිසිවක් අදාළ නැත. ඔහු සුපුරුදු පරිදි තම කාරිය බාධාවකින් තොරව කරගෙන ගියේය. එනමුත් ගැමියන්ගේ බහට කන්දීමට දෙවියන් තීරණය කර තිබූ බවක් ඔහු නොදත්තේය.   


එදින ඔහු තෝරාගෙන තිබුණේ හේනක සරුවට වැඩී තිබුණ විශාල කෙසෙල් කැනකි. එයින් ඔහුට හොඳ මුදලක් උපයා ගැනීමට හැකි බව දත් නිසා, රෑබෝ වෙන තෙක් ඉවසිල්ලක් නැති විය. එහෙත් එදා මහ මූසල දවසකි. උදේ පටන් ඇදහැළෙන වැස්ස රාත්‍රියේදීත් නතර වෙන පාටක් නැත. කරන්නට කිසිවක් නැතිම තැන මහ වැස්සේම තෙමි තෙමී සිතලේ ගැහෙමින් තම කාර්යය සඳහා පිටත් වූයේ වැස්සට ද ශාප කරමිනි.   


කෙසෙල් කැන ආරක්ෂා කර ගැනීමට එහි අයිතිකරු එය හොඳින් වැසෙන සේ පරඬැල් ද ඔතා තිබුණේ එහි සරුසාර බව නිසාමය. මහ වැස්සේ ගැමියන් සුව නින්දේය. ජයතුට තම කටයුත්තට කිසිදු බාධාවක් නැත. දෙවරක් නොසිතා කෙසෙල් කැන කපා ඉතා අමාරුවෙන් කර තබාගෙන අඩියට දෙකට නිවස බලා එන අතරතුර එකවරම තම ගෙල පෙදෙස සතෙකු හපන්නාක් වැනි දෙයක් සිදුවීම නිසා එය හරවා නැවත කරට ගත් ඔහු කඩිමුඩියේ එන අතරතුර නැවතත් ගෙල පෙදෙස සතෙකු හපා කන බවක් දැනුණත් ගණන් නොගත්තේය. එහෙත් එවර ඔහුට වැඩි දුරක් එන්නට නොහැකි විය. ඇස් නිලංකාර වෙන බවක් දැනෙන්නට වූ අතර මහා වේදනාවක් සිරුර පුරා දිව යන්නට විය. වේදනාව කෙතෙක් ද යත් මහා හඬක් නගා විලාප තියමින් ජයතු කෙසෙල් කැනත් සමග සිහිසුන්ව ඇදවැටුණි. පාළු මැදියම් රැයේ ගම දෙවනත් කරමින් නැගුණ විලාප හඬින් තිගැස්සුණු ගම්වැසියෝ හඬ ඇසුණු දෙසට දිව යන්නට වූහ. මෙතුවක් කාලයක් තම බව භෝග සොරකම් කළ සොර දෙටුවා දැක මහත් විමතියට පත් ඔවුහු සිදු වී ඇති දෙය පිරික්සන්නට වූහ. සිදු වී ඇති දෙය වටහා ගත් එක් ගැමියෙක් පරඬැල ඔතා තිබූ කෙසෙල් කැන සීරුවට පරඬැල් ඉවත් කර බලන්නට විය. සිතූ ලෙස ඒ අතර මහ වැස්සෙන් බේරීමට සැඟව සිටි දැවැන්ත පොළඟකු ආදි යන අයුරු දැක ගත හැකි විය. 

 
හැමෝම එකතුව ජයතු ඔසවාගෙන වහ වහා ගමේ වෙද මහතා ළඟට රැගෙන ගියේ හතුරෙකු වුවත් ගමේ එකකු නේදැයි පවසමිනි. ඒ වන විටත් සිහිසුන්ව සිටි ජයතු වෙද ගෙදර රඳවාගෙන ප්‍රතිකාර කළත් පලක් නොවීය. දින කීපයක ඇවෑමෙන් උග්‍ර පොළං විෂ ශරීරය පුරා දිව ගොස් තිබීම හේතුවෙන් මෙලොව හැර ගියේය. තම තමන් කළ දේවල් පළ දෙන්නට වූ විට බේරා ගැනීමට සමතෙක් මෙලොව නැති බව ජයතුගේ මේ සමු ගැනීමෙන් හැමට වටහා ගත හැකි විය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්