පවුලක්ම බිලිගත් බස් මාරයා


අනතුරින් පොඩි පට්ටම් වූ ත්‍රීරෝද රථය

 

පියා, මව සහ දියණියන් දෙ​දෙනකු ඇතුළු පවුලේ හතරදෙනකු මියයාමෙන් බළපිටිය, වලගෙදර ගම්මානයම එකම මළගෙයක් වී තිබේ.   


අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ දී සිදුවූ බස්රථ අනතුරකින් මව හා දියණියන් දෙදෙනා මියගොස් පැය විසිහතරක් ගතවෙද්දී පෙරදිනක හදිසියේ රෝගාතුර වූ සිහිසුන්ව ​අසාධ්‍ය තත්ත්වයෙන් ගාල්ල - කරාපිටිය රෝහලේ ඇඳක් මත ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පියාද මියයන්නේ සස​රේ පතාගෙන ආ ලෙසිනි.   


එකම පවුලේ හතරදෙනකු එසේ අවසන් ගමන යද්දී එම පවු​ලේ වැඩිමල් දියණිය හා ඇයගේ ස්වාමිපුරුෂයාද ඉහත බස්රථ අනතුරෙන් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබනුයේද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමිනි.   


මග මරුවකු මාරාවේශයෙන් කළ මහා විපතින් ගමක් නොව රටක්ම මහත් කම්පාවට පත්වී තිබේ.   


අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන 71 හැවිදිරි සිය පියා බැලීමට කරාපිටිය රෝහලට ගොස් ආපසු නිවස බලා ත්‍රීරෝද රථයකින් එමින් සිටි දියණියන් දෙදෙනා ගාලු පාර මැද ත්‍රීරෝද රථයත් සමග පොඩිපට්ටම් වී අකල්හි දිවියෙන් සමුගන්නේ 39 හැවිරිදි තරුණ බස්රථ රියැදුරෙකුගේ නොහික්මුණු ක්‍රියාවෙනි.   
ජීවිතවල වටිනාකම නොදැන පවනට බඳු වේගයෙන් ඉගීලී යන මෙවන් ඇතැම් රියැදුරන් නිසා මගීන් මහමග යන්නේ මරබියෙනි. අම්බලන්ගොඩ, ඌරවත්තේදී ඉකුත් 02 දා පස්වරුවේ ගාල්ල-කොළඹ මහා මාර්ගයේදී කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථ-ත්‍රීරෝද රථ ගැටීමෙන් සිදුවූ අනතුරින් කුරුලු කැදැල්ලක් වන් පවුලක් කුඩු පට්ටම් වී ගියේ ගාලු පාරේ ශිල්ප දැක්වූ තවත් එක් රියැදුරකු නිසාවෙනි.   
බළපිටිය මූලික රෝහල පසුකොට බළපිටිය දෙසට ටික දුරක් ගොස් වලගෙදර, උත්තමඥාන මාවතේ ඉදිරියට  ගියපසු මෙම කුඩා නිවස හමුවේ. පාර දෙපස සුදුකොඩි ඔසවා තිබේ. මේ මහා විපත දරාගත නොහැකිව සොබාදහමද කම්පා වී තිබේ.   
විටින් විට වැසි ඇදවැටෙන්නේ සොබාදම් මාතාවද කම්පා වී ඇති නිසා යැයි මට සිතේ. වැහි අන්ධකාරය මැද මළ ගෙදරට ගොඩවූ මට දැකගත හැකි වූයේ සාලය මැද අවසන් නින්දේ පසුවන මව හා දියණියන් දෙදෙනාය.   

 

 


ඔවුන් තිදෙනා සමග සිටීමට සාලයේ ඉඩක් නොවීම නිසා නිවසේ යාබද කොටසක පියාද තනිවම අවසන් නින්දේය.   
දහම අනුව මරණය උරුමය. එහෙත් එකම පවුලේ පියා, මව, දියණියන් දෙදෙනකු අවසන් ගමන් යන්නට අවසන් නින්දේ පසුවන අයුරු දරාගත නොහැකිය. අනේ හපොයි, මොන විපතක් ද මේ කියමින් හඬා වැටෙන්නේ අකල්හි සිදුවූ විපත නිසාවෙනි.   


 හත්දෙනකුගෙන් යුත් පවුලක හතර දෙනෙක්ම දැන් අවසන් නින්දේය. බළපිටිය, වලගෙදර පදිංචි ජීවත්මුණි ගුණදාස ද සිල්වා (71), රාජපක්‍ෂගේ සිරියාවතී (60), චලනි මධුෂානි ද සිල්වා (27), දිනුෂා මල්ෂානි (25) යන පියා, මව හා දියණියන් මියගිය හතරදෙනාය.   
මියගිය ගුණදාස මහතාගේ වැඩිමහල් දියණිය වූ ප්‍රශාන්ති රෝචනී හා ඇයගේ ස්වාමි පුරුෂයා වන අලංකාර රදීප් කුමාර ද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර එ්කකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. ඔවුන් සමග ත්‍රී රෝද රථයේ එකට ගිය ප්‍රශාන්තිගේ සිව්හැවිරිදි දියණිය වන ඖෂනි රෙහෙන්සා අනතුරින් දිවිගලවා ගෙන ඇත්තේ හාස්කමකින් මෙනි.   
ඉකුත් 02 දා පස්වරු තුනට පමණ සිදුවූ අනතුරින් කුඩුපට්ටම් වූ ත්‍රීරෝද රථය දුටුවිට සිදුව ඇති විපත තේරුම්ගත හැක.  
රිය අනතුර වීමට දින කිහිපයකට පෙර නිවසේ සිටියදී හදිසියේ අසනීප වූ ගුණදාස මහතා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළේ සිහිසුන්ව දැඩි අසාධ්‍ය තත්ත්වයෙනි.  
දින දෙක තුනක්ම සිහිසුන්ව ජීවිතය හා මරණය අතර සටනක නිරතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගුණදාස බැලීමට ඔහුගේ බිරිඳ සිරියාවතී සුපුරුදු ලෙස අනතුර වූ දින (02) උදෑසනම රෝහලට ගියේ තම සැමියාට සිදුවූ කරදරය දරාගත සිතාගත නොහැකිවය. ඒ වනවිට ඇයගේ වැඩිමහල් පුතු ඩුබායි රටේය. බාල පුතා මුහුදු රස්සාවට ගොසිනි.  


‘සිද්ධිය වූ දින මම මුහුදු ගිහින් ගොඩට ආවේ උදේ පහ හමාරට විතර. චලනි අක්කා කෝල් කරල මට කිව්වා තාත්තට අසනීපවෙලා කරාපිටිය ඉස්පිරිතාලෙට ගෙන ගියා කියලා. මම තාත්තට ගෙනියන්න අවශ්‍ය බඩු ටිකත් අරගෙන ගෙදර ආවා.  
මම ගෙදරට එනකොට අක්කලා තුන්දෙනයි පොඩිදුවයි මස්සිනයි තාත්තා බලන්න කරාපිටිය යන්න ලෑස්තිවෙලා හිටියේ. ත්‍රීවිල් එකේ යන්න ඉඩ නැති නිසා මම නැවතුණා’ බාලපුතු වන 21 හැවිරිදි ප්‍රියශාන් ගිම්හාන කීවේ වාවාගත නොහැකි ශෝකයෙනි, වේදනාවෙනි.  


‘මම ඩුබායි රටේ හෝටලයක සූපවේදියකු ලෙස සේවය කරනවා. තාත්තාගේ අසනීපය ගැන මට කෝල් කරල කිව්වා. ඒ රටේ දවස් තුනක නිවාඩුවක් තිබුණ නිසා ලංකාවට එන වැඩ ටික කරගන්න බැරිවුණා. මෙම සිද්ධිය වූ දවසේ දවල් එකට නංගිට මම කතා කළා. එතකොට අම්මත් එක්ක ඒ අය තාත්ත බලන්න ඉස්පිරිතාලේට ගිහින් හිටියේ. දිනුෂා නංගි කිව්ව තාත්තට දියර ජාති දෙනවා. ඒත් තවම කතා කරන්නේ නැහැ කියලා.  
ඒ රටේ වෙලාවෙන් දෙකට විතර ඥාතියෙක් මට කතා කරල කිව්වා, ගෙදර කරදරයක් කියලා. මම හිතුවේ තාත්තට කරදරයක් වෙන්න ඇති කියලා. මම එදා රාත්‍රි එකොළහට ඩුබායිවලින් පිටත්වෙලා කටුනායකට එනකොට උදේ පහ හමාරට විතර ඇති. ගුවන් තොටුපළේ ඉඳල මම ආවේ බළපිටිය රෝහලට. ආවම තමයි දැනගත්තේ අම්මයි නංගිලා දෙන්නයි නැතිවෙලා කියලා’ 29 හැවිරිදි දිලුම් රොෂාන්ත කීවේ කඳුළු පිරි දෙනෙතිනි. දැඩි කම්පාවෙනි.  


චලනියි, දිනුෂයි දෙන්නම ඉගෙන ගත්තේ බළපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ. දෙන්නටම හොඳට ඉගෙනගන්න පුළුවන්. උසස් පෙළ විභාගයත් ඉහළින්ම සමත් වුණා. දෙන්නම ඉස්කෝලේ බෑන්ඩ් එකේ හිටියා. දෙන්නම සංගීත විෂයට සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ අරගත්තා. දෙන්න හරිම හොඳයි කාටවත් කිසි කරදරයක් නැහැ.  
‘‘දෙයියනේ මොකද මේ උනේ’’ යැයි අනුෂා ඇතුළු බළපිටිය සිද්ධාර්ථ විද්‍යාලයේ පාසල් මිතුරියන් පිරිසක් මා සමග කීවේ දුක දරාගත නොහැකිවය.  
සිද්ධිය වෙන්න කලින් දවසේ අක්කයි, නංගියි දෙන්න තාත්තාගේ කේන්දරය අරන් ගිහින් බැලුවම හොඳටම අපලයි කියල තිබෙනවායි කොස්ගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන අයෙක් මා සමග කීය. මියගිය චලනි හා දිලිනි රැකියාව කළේ කොස්ගොඩ පිහිටි ඇඟලුම් කම්හලේය.  
චලනියි, දිලිනියි. සිද්ධිය වූ දවසේ තාත්තට සෙත්පතා බෝධි පූජාවක් කරන්න ගිහින් අතරමගදී තමයි රෝහලට යන්න ත්‍රීවිල් එකට නැගල තියෙන්නේ යැයි අසල්වාසියකු කීවේ හද පිරි කම්පාවෙනි.  

 

බාලපුතු ප්‍රියශාන් මරණ පරීක්ෂණයේදී සාක්කි දෙන අයුරු.

 


‘අම්මත් එක්ක ආපහු ගෙදර එනකොට තමයි මේ කරදරය වුණේ. මුළු ගමම මළගෙයක් වෙලා. හීනෙකින්වත් මේ වගේ විපතක් වේවි කියල අපි හිතුවේ නැහැ’ එම අසල්වාසී ඥාාති කාන්තාව කීවේ කඳුළු පිරි දෙනෙතිනි.  


මියගිය මව හා දියණියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය බළපිටිය, මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් බලපිටිය මූලික රෝහලේ දී පවත්වන ලද අතර අම්බලන්ගොඩ පොලිසියේ සැරයන් ලීලානන්ද සෙනරත් මහතා සාක්කි මෙහෙයවීය.  


බළපිටිය මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරිනී ඒ.ජී.යූ.එන්. ගුණරත්න මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර මොළයට බරපතළ තුවාල සිදුවීමෙන් මවගේ හා දියණියන් දෙදෙනාගේ මරණ සිදුව ඇති බවට නිගමනය කළාය.  


අනතුර සිදුවූ වහාම බස්රථය මහමග දමා පැනගිය සැකකාර රියැදුරු හා කොන්දොස්තර එදිනම රාත්‍රියේදී මාතර දී සැකපිට අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නන්ගර මහතා ඇතුළු රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පිරිස සැකකාර රියැදුරු වන මාතර - නාවිමන පදිංචි 39 හැවිරිදි කලුවාදේවගේ ඉඳුනිල් හා කොන්දොස්තර වූ මාතර - නාවිමන දොරේගේවත්තේ පදිංචි 37 හැවිරිදි අසංක නිර්මාල් යන දෙදෙනා බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.  


එකම පවුලේ පියා, මව හා දියණියන් දෙදෙනකු ඉකුත් 05 වන බ්‍රහස්පතින්දා මළ හිරු බසිනා මොහොතේ එක තැනම මිහිදන් වූයේ විශාල පිරිසකගේ සෝසුසුම් හා කඳුළු ගංගා මැදිනි.

 

 

සටහන හා ඡායාරූප  - 
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා