පරිසර දූෂණය අවම වී හිනැහෙන නකල්ස් වනපෙත


කොරෝනා වසංගතයෙන් පරිසරයට ලැබුණු 
තාවකාලික සහනයක් 
 

නකල්ස් කදු පංතිය අද වන විට දිස්වන අයුරු

 

විශ්ව බිහිවූ දා සිටම නේක වර්ණ වලින් හැඩවී බොහෝ සුන්දරත්වයන් මිහිපිට ජීවින්ට දායාද කළ සොභාදහම විටෙක චණ්ඩ වන්නේය.   


තවත් විටෙක අහිංසක ළදරුවෙක් තරමටම සුන්දර වන්නේය.
   


අතීතයේ සිටම ලංකා ධරණිතලය ලොව බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වන්නේත් ඔවුනොවුන්ගේ නෙත් සිත් පැහැර ගන්නේත් ලංකාව තුළ පවතින විවිධ පාරිසරික ලක්ෂණ හේතුවෙන් යැයි සඳහන් කළහොත් ඔබ ඊට එකඟ වනු ඇත.   


ඒ සඳහා සෑම අතින්ම පාරිසරික ගති ලක්ෂණ බලපාන බව නොරහසකි.   


එහි ප්‍රතිඑලයක් ලෙස සුන්දර දිය ඇලි මෙන්ම ස්වභාවික රුක්ෂලතා ද අපට කියා පාන්නේ එකී සුන්දරත්වයම වන්නේය.   


කවියන්ගේ පන්හිඳටත් සිත්තරුන්ගේ තෙළිතුඩටත් ජීවය ලැබෙන ඉහති කී අපුර්වත්වට සැබෑ ලෙසම දෙනෙතින් දැකීමේ වාසනාව මේ මොහොත වනවිට ශ්‍රී ලාංකික අපට හිමි වී ඇතැයි සඳහන් කළ හොත් එය අතිශයෝක්තියක් නොවනු ඇති.   

 

පිටවල පතනට මානිගල පෙනෙන අයුරු

 

දුමින් බර නිසාම දුම්බර ලෙසත්, වදින සුළඟ ආපසු හැරි ගමන්ගන්නා සුළං බාධකයක් නිසාත් සුද්දා ‘රිවස්ටන්’ ලෙස හැදින් වූ මේ අපූරු සොබා දහමේ තක්ෂිලාව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබේ.   


ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමාණයෙන් 0.32% ආවරණය වන්නෙ නකල්ස් කඳු වැටියෙන් වීමත්, මේ වනවිට නකලස් කඳු පංතියේ සිදුව ඇති සැබෑ වෙනස්කම් පිළිබඳව යමක් සටහන් කරනුයේ වත්මනේ අප මුහුණදී සිටින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මිනිස් ක්‍රියාකාරකම් අඩුවී ඇති සමයකය.   
නකල්ස් කඳුවැටියේ ලෝකයටම ආවේනික ශාක විශේෂ රැසක් මෙන්ම පෘෂ්ඨ වංශික සත්ව විශේෂ 16 පමණද අපෘෂ්ඨ වංශික සත්ව විශේෂ 5 ක් වාසය කරන බව විද්‍යාඥයෝ සඳහන් කරති.   


මහවැලි නදියෙන් 30% පමණ පෝෂණ වන්නේද මෙම නකල්ස් අඩවියෙනි.   
හෙක්ටයාර් 21000 පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති නකල්ස් කඳු පංතිය මිනිපේ, උඩුදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලෙගම හා විල්ගමුව ප්‍රදේශ පුරා ව්‍යාප්තව පවතියි.   


කෙතරම් සොභමාන වුවත් විදේශිය සංචාරකයන් අභිබවා යමින් දේශීය සංචාරකයින් අතින් දිනෙන් දින මොහොතින් මොහොත විනාශ වී ගිය නකල්ස් පරිසර පද්ධතියට අද වන විට සිදුව ඇත්තේ කුමක් ද ?   
වත්මනේ ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දෛනිකව සිදුවන මානව ක්‍රියාකාරකම් සියල්ල මේ වන විට උඩු යටිකුරු වී තිබේ.   

 

රිවස්ටන් පිවිසුම් මගේ ශාක එක ගොමුවකට පෙළගැසී ඇති අයුරු.

 

එහෙව් පසුබිමක ඇඳිරිනීතිය ඉවත් වූ මොහොතක අපි නකල්ස් කඳු පංතිය තරණය කරනු ලැබුවේ අද වන විට නකල්ස් කඳු පංතියේ දක්නට ඇති ඒ අපූර්වත්වය ඔබට කියන්නටය.   


මාතලේ - රත්තොට සිට පිහිටි මාර්ගයේ ගමන් ගත් අපිට දක්නට ලැබුණේ වෙනදා අතිශය කාර්ය බහුල මේ මාර්ගයේ වන සතුන්ගේ හඬ හැරුණ විට වෙනත් කිසිදු ශබ්දයක් නොමැති බවය.   
ඉඳහිට හෝ අවට ගැමියෙකු සිය අවශ්‍යතාවකට පාර හරහා මාරුවීමක් හෝ කෙටි දුරක් ගමන් කිරීමක් වැනි කාරණා හැර අද වනවිට රිවස්ටන් සැබැවින්ම පාළු සොබාවක් ගනියි.   


තොරතෝන්චියක් නැතිව කෑගසන රැහැයියන් මෙන්ම නිදහසේ අහස් කුස සරනා විවිධ පක්ෂීන් පමණක් අද වන විට නකලස් හි අයිතිකරුවන් බවට පත්ව සිටිති.   


සම්ප්‍රේෂණ කුලුනු රැසකින් සමන්විත රිවිස්ටන් මුදුනට පිවිසෙන මාර්ගය අසල වෙළෙහෙළදාම් කළ පිරිස් අද එහි නැත. ඔවුන්ගෙන් හා පැමිණෙන සංචාරකයින්ගෙන් යැපුණු සුනඛයෝ මහමගේ වැතිර සිටිති.   
කිසිවෙකු හෝ තමන්ට අහරක් ලබාදෙති යන විශ්වාසයෙන් ඔවුහු රැඳී සිටිති.   

 

 

රිවස්ටන් මාර්ගය සංවර්ධනය සඳහා තැන තැන දමා ඇති ගල් වැලි පමණක් මිනිසුන් මෙහි සිටි බවට සාක්ෂි සපයනු ලබයි.   


ඉන් ඔබ්බට මෙහි අයිතිකරුවෝ වන සතුන්ම පමණි.   


වෙනදා අපිළිවළට පිපුණු හීං බෝවිටියා අද වන විට සිය ප්‍රදේශයේ අණසක පතුරුවමින් ප්‍රදේශයම අලංකාර කර තිබේ.   


සතුන් කිසිවිටකත් එළියට නොබැස්ස රිවස්ටන් මාර්ගයේ අද වන විට කොළ රොඩු පිරී පවතියි.   
බොහෝවිට වැඩි සංචාර පිරිසක් රිවස්ටන් වලට පැමිණෙන කාල අතරින් අප්‍රේල් හා මැයි මාසය හැඳින්විය හැකිය.   


බොහෝ දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ රිවස්ටන් නැතිනම් නකලස් හි සුන්දරත්වය විඳීම සඳහාම මේ කාල වකවානුවේ පැමිණෙති.   


ඒ අතර පිටවල පතනට ද හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.   

 

 

නිරන්තරව මිනිසුන්ගේ ගැවසීම් හේතුවෙන්ම පිටවල පතනට සිදුවන විවිධ පාරිසරික හානි පිළිබඳව අපි පසුගිය සමයේ ඔබ දැනුම්වත් කළෙමු.   


එහෙත් අද වන විට එය වෙනස් වී ඇත.   


බොහෝවිට මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මහපොළව පමණක් නොව අහස් කුසද දුෂණය වන බව අප දන්නා කරුණකි.   


සුදෝසුදු වලාකුළු වලින් වැසීගත් මානිගල මෙන්ම ලකේ ගල ද අද වන විට ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.   
කොනකින් පෙනෙන මොරගහකන්ද හා කළුගඟ ජලාශත් ඇටැන්වල හා රත්නින්ද ප්‍රදේශ වලින් දිස්වන කුඩා වැව්ද අද වන විට ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි.   


බොහෝ අවස්ථාවල දී හඳුනානොගත් බොහෝ ශාකවල පුෂ්ප රැසක් මේ වන විට ඉතාමත් සුන්දර දසුන් මවමින් විකිසිත වී තිබේ.   


මඳ සුළගේ නැළවෙමින් ඒකු රුක්ෂලතාවෝ සිය මනමාලකම් පාති.   


වෙනදා සැඟවී සිටි දුම්බර පෙතියා ‘මෙන්ම ගල් පර මැඩියා’ ද අද වන විට බොහෝ නිදහසේ ඔවුනොවුන්ගේ ලෝකවල වෙසෙති.   


නිරන්තරව හෝ හඬ නන්වමින් ගලා බසිනා කුඩා දිය ඇලි ආසන්නයේ ජීවත් වු බොහෝ මත්ස්‍යයෝ අද වන විට ඉතා සතුටින් ඔබ මොබ ගමන් කරමින් පාරිසරික වශයෙන් සිදුව ඇති වෙනස්කම් අධ්‍යයනය කරති.   
රිවස්ටන් මගේ වේගයෙන් දිවෙන බොහෝ රථ වාහන අද දක්නට ලැබෙන්නේ නැත.   
බොහෝවිට අත්‍යවශ්‍ය කාරණාවකට රාජ්‍ය wනිලධාරියෙකු හැරෙන්නට වෙනත් පුද්ගලයින්ට රිවස්ටන් කලාපයට ඇතුළුවිය නොහැකිය.   


ඒ අන් කිසිවක් නිසා නොව පවත්නා කොරෝනා ආසාධිත තත්ත්වය ව්‍යාප්ත වීමේ අවධානමෙන් ආරක්ෂාවීමට රජය ගත් ක්‍රියාමාර්ගයක් වශයෙනි.   


කෙසේ වෙතත් මේ සියල්ල හමුවේ රිවස්ටන් මුදුනේ සිට සුද්දා තේ වගාකර අතහැර දැමූ බොහෝ මුඩු ඉඩම් ද මේ වනවිට ජීවය ලබමින් පවතියි.   


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාවට නංවන ලද හිස් භූමි වල පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මේ වන විට දුම්බර වන පෙතේ අලුතින් වන වගා සිදුකිරීම ඊට බලපා තිබේ.   


වරෙක තෙල්ගමු ඔයත් පිටවල පතන් මෙන්ම නකල්ස් කලාපම ගත් කල ඒ සියල්ලත් වෙනස් වී තිබේ.   
ඔවුන්ට අවේණික චර්යාවන් අනුගමනය කරමින් බොහෝ ශාක සිය ව්‍යාප්තිය සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදුකරමින් පවතියි.   

 

 

එහි ඇති සුන්දරත්වය සේම නෙතට කඳුලක් උනන්නේ මෙකී සුන්දරත්වය තව බොහෝ කෙටි කලකින් වියැකී යාවි යන සැකය නිසාවෙනි.   


රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ කල අප විසින් කියා සිටි සියල්ල පසෙක ලා යළිත් මේ රිවස්ටන් හෙවත් නකල්ස් වන පද්ධතිය කිලිටිවනු නොවනුමානය. 

 
බොහෝවිට බීමතින් රද දක්වන තරුණ පිරිස් ඉවත දමනු ලබන පොලිතින් මෙන්ම ප්ලාස්ටික් මේ රිවස්ටන් පද්ධතියේ ඔවුන් යළිත් ඉතුරු කර දමා යනු ඇත.   


හිස් බීම බෝතල් මෙන්ම නොදිරණ බොහෝ දේ ඔවුහු කිසිදු හිතක් පපුවකින් තොරව පරිසරයට මුදාහරිති.   
එසේ වූ විට යළි මේ සුන්දර දසුන් ඔබට හෝ මට දැකගත නොහැකිය.   


සොබාදහම අපට කියාදුන් පාඩම් බොහෝය. වරෙක අපේ රටට සුනාමිය ගැලු‍වේය. 

 
තවත් වරෙක විවිධ ගංවතුර උවදුරු පැමිණියේය. මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය පැමිණ තිබේ.   
හැදෙන්නට මෙන්ම සිතන්නට මේ අවස්ථාවේ දී සොබාදහම අපට අවස්ථාව සලසා දී තිබේ.   


ස්වභාවික පරිසරයට සිදුකරනු ලබන විවිධ අඩන්තේට්ටම් හේතුවෙන් සොබාදහම විසින් ආපසු ලබාදෙන දඬුවම කිසිදු අවස්ථාවක ගිනිය නොහැකිය.   


එනිසාම සොබාදහමට අවනත වීම මෙන්ම ආරක්ෂා කිරීම මුළු මහත් සත්ව සංහතියේම වගකීමකි.   
ඒ සඳහා පෙළ ගැසී එකට අපි අත්වැල් බැඳගමු. එක්වී පරිසරය ආරක්ෂා කරමු. 

 

 

සංචාරක සටහන
නාඋල ඉන්දික අරුණ කුමාර