පරපණ නසන්නා දෙලො​වෙම පරදින්නා


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.   

කුළු හරක් මැරූ පවුකාරයන්ට කැලෑවේදීම හෙණ.... 

 
මින් වසර හැටකට පෙර ඌව පළාතේ පිටිසර ගම්මානයක පවුල් දහ අටක් ජීවත් වූයේ හේන් ගොවිතැන් කිරීමෙනි. විශාල වශයෙන් ගොඩ ඉඩම් තිබුණත් ඒවායේ ඇති දෙහි, දොඩම්, පොල්, පුවක් ආදී ගඩා ගෙඩි නගරයට ගෙන ගොස් මුදල් ලබා ගැනීම අසීරු වූයේ ගම පිහිටියේ නගරයට සැතපුම් හතරක් ඈතින් වීමත් ගමට යන ගුරු පාරේ කොටසක් කඳු බෑවුම් සහිත වීම හේතුවෙන් බඩු ගෙන යාමට අමාරු වීමය.   


එබැවින් වතුවල දොඩම් පිරී තිබුණත් සති පොළ දවසට දෙහි දොඩම් හාර පන්සීයයක් කරතබාගෙන ගොස් රුපියල් දහයක් දොළහක් උපයා ගත්තේ එදිනෙදා පැවැත්මට අවශ්‍ය ලුණු, ලාම්පුතෙල්, සබන්, ගිනි පෙට්ටි, හුනු, දුම්කොළ ආදිය ගැනීම සඳහාය.   
මේ බව දත් නගරයේ අතර මැදි වෙළෙන්දෝ හතර පස් දෙනෙක් සතිපතා ගමට පැමිණ කොන්දේසියක් පනවා ඒ මත ඉතා අඩු මුදලකට හැම දෙයක්ම මිලට ගැනීමට පටන් ගත්හ. නගරයට ගෙන ගොස් රුපියල් හතරකට විකුණන දොඩම් සියයක් ඔවුන් ගත්තේ රුපියලකුත් සත පනහකටය. සති පොළ දවසට ඔවුන් නගරයේ සිට සැතපුම් තුනක් දුර ඉතා අමාරුවෙන් ගොන් බැඳි කරත්ත දෙක තුනක් ගෙන එනු ලැබීය.   
කරත්ත ගෙන එන තැනට ගොවීන් ඒවා ගෙන ගොස් දිය යුතුමය. බඩු වලට ගෙවන මුදලට සමාන මුදලක් ඒ සඳහා ද ගෙවනු ලැබීය. දොඩම් සියයකට රුපියල් තුනක් ද දෙහි සියයකට සත හැටක ද ආදී වශයෙනි.   


මේ නිසා සති පොළ දවසට ඇතැම් කාන්තාවෝ ළමුන් සමග කරත්ත එන තැනට බඩු ගෙන යාමේ යෙදුණාහ.   
දිනක් ​දොඩම් ගැනීමට ධනපාලගේ ගෙදරට ගිය වෙළෙන්දෝ වේළපු දඩමස් ටිකක් හොයා ගන්නට පුළුවන් දැයි ඔහුගෙන් ඇසුවෝය.   
දියෝනිස් අයියා තමයි මෙහෙ ඉන්න වෙඩික්කාරයා. අර පේන්නේ එයාගේ ගෙදර. ධනපාල දියෝනිස්ගේ නිවෙස පෙන්වීය.   
​මේ දවස්වල නම් දඩමස් හොයන්න අමාරුයි.   


වෙඩි බෙහෙත් ඊයම් ඇත්තෙත් නෑ. එක්කෙනෙකුට තනියම කැලේ යන්නත් බයයි. අලි කොටි, වලස්සු විමානේ. කලාතුරකින් දවසක් ගිහින් ගෝනෙක් මුවෙක් හලාගත්තත් ආරච්චිලාට ගාතයක් දීලා ගමේ අනෙක් අයටත් වේලක් හරි කන්න ටික ටික දුන්නාම ඉතිරි වෙන දෙයක් නෑ. දඩමස් වේළන්න නම් ඒක කාටවත් නොදැනෙන්න කැලේදිම කරන්න ඕනෑ. එහෙම කළත් එක් එක් කෙනාට ටික ටික විකුණන කොට කොටසක් අය තරහා වෙනවා යි දියෝනිස් කීවේය.   
හරි අපි ඊයම් වෙඩි බෙහෙත් ගෙනත් දෙන්නම්. වැඩේ කෙරෙනවා නම් කාටවත් දෙන්න එපා. අපි ඔක්කොම ගන්නම් කියා පොරොන්දු වී වෙළෙඳ පිරිස් යන්නට ගියෝය.   
දෙහි දොඩම් එකතු කිරීමට එන ගමන් ඔවුහු දියෝනිස්ට ඊයම් වෙඩි බෙහෙත් ද ගෙනවිත් දුන්නෝය. දියෝනිස් තම හොඳ හිතවතුන් වූ උපාතිස් හා පියදාස සමග කඩුම්බේරිය කොළ කඩන්න යනවා කියා තම නිවෙස් වල අයට පවසා දඩයමේ ගියහ. මුළු දවසම කැලයේ කරක් ගැහුවත් කිසිම සතෙකු හමු වුණේ නැත. දෙවැනි දවසේ ද ගියේය. එදිනක් එසේම විය.   


මේක හරි යන්නේ නෑ. අපි හෙට යමු. බෑවුමෙන් එහා පැත්තේ නැතිතලාවට එහෙ කුළු හරක් රංචු පිටින් ඉන්නවා. එකෙක් බිම දාලා ​වේළලා ගෝන මස් කියලා දෙමු යි කීවේය.   
ඒ වැඩේ හරියන්නේ නෑ. උන් දැන ගත්තොත් අපි එක්කත් අරෝවෙලා ගමේ බඩු ගන්නත් එන එක්ක නැතැයි උපානිස් කීවේය. දැන ගන්නේ කොහොමද? බලුමස් වුණත් හොඳට වේළුවා නම් දඩමස් තමයි. දියෝනිස් කීවේය.   


කතා කර ගත් පරිදි ඉන් පසු දින ගොස් කුළු හරකෙකු මරා දඩමස් වේළාගෙන විත් රහසිගතව වෙළෙන්දන්ට දී ඒ කාලයේ හැටියට රුපියල් තුන්සියයක් ලබා ගත්තේය. ඔවුන් මාස පහක් තුළ දී මේ ආකාරයට කුළු හරක් තිදෙනෙකු මරා දඩමස් විකුණුවේය.   


නැවතත් දඩමස් ඕනෑ බව දොඩම් වෙළෙන්දෝ කීවෝය. අවශ්‍ය ආම්පන්න ලක ලෑස්ති කර ගත් තිදෙනා පුරුදු ප්‍රදේශයට ගොස් කුළු මීමෙකු මරා මස් වේළීමට පටන් ගත්තේය. උදේ පැවතුන වැහිබර ගතිය වැඩිවී විදුලි කොටමින් අහස ගොරවා මහා වැස්සක් ඇදහැලුණේය.   


මස් ගෙනඒමට ගෙන ගිය ​ගෝනි සහ කැලෑ අතු ආදාරයෙන් දඩමස් මැස්ස නොතෙමෙන ලෙස යාම්තම් ආවරණය කර නැවත ගිනි මැලය පත්තු කළේය. ඒ වෙලාවේද පෙර මෙන්ම වැසි ඇදහැලෙන්නට විය. ඔවුහු ගිනි මැලයට තවත් දර කොට දමා අසල තිබුණු ලුණුමිදෙල්ල ගස මුලට වී තෙමි තෙමී සිටියේය. ඒ අතරේ මුළු වනරොදම දෙදරවා ආ අකුණු සැරයක් ලුණුමිදෙල්ල ගසට වැදී තිබුණේ ගස් කැඳ ද දෙපළු කරමිනි.   


දින හතරක් ගත වෙන තෙක් කඩුම්බේරිය කොළ කැඩීමට ගිය පිරිස පැමිණියේ නැත. ගමේ බොහෝ අය දින ගණනක්ම කැලෑව පීරමින් සොයා බැලූහ. කුණු වී තිබුණ මිනී තුනක් දඩමස් මැස්සක් දින දොළහකට පසු හමුවිය.   



කොටපොළ ජිනදාස ආරියගේ මහතා ලියා එවූ කතාවකි.   

පරපණ නසන්නා දෙලො​වෙම පරදින්නා


කරෝලිස් දක්ෂ දඩයක්කරුවෙකි. ගිනි බටය අත දරා උදෑසන වන වදුලට වැදී උෟරු අඩි පාරේ ගොස් ගොදුරු හඳුනාගැනීමට ඔහුට ඇත්තේ පුදුම ඉවකි.   
ඉඳහිට හෝ ඌරෙකු මුවෙකු හෙළා ගත්දාට ඔහුගේ අත මිට හොඳින් සරුවන්නේය. බඩ කට පිරුණේ ද එවැනි දිනකය. කෙසේ වුවද මසින් තොර අහරක් ගැනීමට කරෝලිස් දැඩි මැළිකමක් දැක්වීය.   


බිරිඳ වූ යසෝහාමිද ඊට නොදෙවෙනිය. ඇයටද සෑම අහර වේලකටම මසක් මාළුවක් ඕනෑමය. ගෙවී ගිය කාලය තුළ තිරිසන් ප්‍රාණ මෙපමණ ප්‍රමාණයක් කරෝලිස්ගේ ගිනි බටයට ඉලක්ක වූවා දැයි නිවැරදිව සටහන් වී ඇත්තේ අපායේ පව් පොතේ පමණි.   
කුඩා අවදියේ පටන් ඔහුගේ ගජයකු වූ ජුවානිස් අප්පු ගේ ආගමනය මසකට හෝ දෙමසකට වරක් සිදු වේ. ඒ එන සෑම විටකම සැර බෝතලයක් ඔහු සමග පැමිණෙන බව කරෝලිස් සිකුරටම දන්නේය. එබැවින් ඔහුට හැම අයුරින්ම සංග්‍රහ කිරීමට කරෝලිස් වග බලා ගනී. පිරිපුන් දේහධාරියකු වූ ජුවානිස් නිවසේ ගත කරන දිනය හෝ දින දෙක ගැන සිතා වඩාත්ම සතුටු වන්නේ යසෝහාමිය.   


අද ජුවානිස් අප්පු එනවා කී දවස නේද? දිනක් උදෑසන යසෝහාමිගේ මුවින් පිටවිණි. හැබෑ නේන්නම් මට අමතක වුණා නේ?  
කඩිමුඩියේ ගිනි බටය ද කර පින්නා ගත් කරෝලිස් මිදුලට බැස වන වදුලට වැදුණේය. සවස් වන තෙක් එහෙ මෙහෙ ඇවිද ගියත් හරි හමන් දඩයමක් කර ගැනීමට නොහැකි විය.   
ෂිඃ අද මහ කාලකණ්ණි දවසක් කලවැද්දෙක් වත් එළා ගන්න බැරි වුණානේ.   
මෙසේ සිතමින් කනස්සල්ලෙන් ආපසු එන විට එක් වරම කිරෝලිස්ගේ නෙත ගැටුණේ දිරා ගිය කිතුලකි. කොහේ දෝ සිට දිව ආ උගුඩුවෙකු කිතුලේ බඩගා බෙනයකට රිංගනු කරෝලිස් දුටුවේය.  


මඳක් සතුටට පත් වූ හෙතෙම ගිනි බටය බිම තබා වක් පිහිය ද අතැතිව කිතුලට බඩ ගෑවේය. කරෝලිස් මෙවැනි සුළු දඩයමකින් සෑහීමට පත්වන්නෙක් නොවේ. වෙලාවෙ හැටියට මේකත් මදෑ කියමින් වක් පිහියෙන් කොටා බෙනය පාදා ගත් කරෝලිස් ඇතුළට අත පොවන විටම උගුඩුවා පිටතට පැන පණ බේරා ගෙන දිව ගියේය. දරු පවුල වෙනුවෙන් සටන් කිරීමේ හැකියාවක් ඌට තිබුණේ නැත. බෙනය තුල තනි වූයේ පැටවා සහ උගේ මවය. එක් වරම උගුඩු මව අල්ලා කිතුලේම ගසා බිම හෙළුෑ කරෝලිස් කෑ දෙමින් අසරණව සිටි පැටවා අතට ගෙන උගේ ගෙල මිරිකා පැටවා ද බිම හෙළුවේය. පොඩි දඩයමක් හෝ කර ගැනීමට හැකි වීම ගැන මඳක් සතුටට පත්ව උගුඩු මව මස් කර පැටවාගේ ද හම ගලවා ගෙට ගොස් සිය බිරිඳට පෙන්වූයේ උජාරුවෙනි.   


අනේ අම්මේ මොකාද මේ? හරියට පොඩි එකෙක් වගෙයි. මේක මෙහෙමම තම්බල කියමුද? බිලිඳෙකුගේ හැඩරුව ඇති පැටවාට අත්වී ඇති ඉරණම දැක දුකක් සංවේගයක් මේ පව්කාර ගැහැනියට ඇති වූයේ නැත. ඇයට ඇති වූයේ විස්මය පිරුණු සතුටකි. දඩයම රසවත් වෑංජනයක් බවට පත් වෙද්දී කරෝලිස් නිවසට යාබද ගඟට යාමට සූදානම් වූයේ මිරිදිය මාළු ටිකක් තිබුණා නම් අගෙයි නේද? කියාය.   


මිතුරා වෙනුවෙන් සකසා තිබුණු රා හැළියෙන් පොල් කටු දෙකක් එක හුස්මට ඇද බා කරෝලිස් මිදුලට බැස්සේය. ඔහු ගඟේ මාළු අල්ලන්නේ බිලි පිත්තෙන් නොවේ. ගඟ දියට දැමීම සඳහා වෙඩි විශේෂයක් ඔහුම නිෂ්පාදනය කොට තිබේ. ඉන් එකක් එක් අතකය. මුවේ දැල්වෙන සුරුට්ටුවය.   
​වෙරි පිට වැනි වැනී ගිය ඔහු සුරුට්ටුවෙන් වෙඩිල්ලට ගිනි දල්වා ගඟ දියට විසි කළේය. එහෙත් ඔහු අතින් විසි වූයේ වෙඩිල්ල නොව සුරුට්ටුවය.   
වෙඩිල්ල අතේ පුපුරා ගියේය. වැලමිටි හන්දියෙන් වෙන් වූ කොටස බිම පතිත වෙද්දි කරෝලිස් ගඟට වැටුණේ මහා විලාපයක් නගමිනි. වෙඩි හඬ සමග කරෝලිස්ගේ ළතෝනිය යසෝගේ කන වැකී වහා දිව ගියාය. කරෝලිස් ගඟේ පාවෙනු දැක යසෝහාමි මරහඬ තැළුෑ නමුත් එය ඇසෙන තෙක් මානයේ කිසිවෙකු සිටියේ නැත. වට පිට බැලූ ඇය ද  පිස්සියක මෙන් ගඟට පැන්නාය. ඇය ද සැඩ පහරට හසුවූවාය. සැතපුමකට පමණ දුරින් කටුගොල්ලක පැටලී තිබුණු මළ සිරුරු අසල්වැසියන් විසින් ගොඩ ගනු ලැබුවේ පසුදාය.

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.   

බල්ලන්ට වදදී විනෝද වූ පාපය තමන් කරාම එයි


50 දශකයේ අග භාගයේ රජ රට පළාතේ එක්තරා ගමක මෙය සිදු විය. ප්‍රධාන පාරක් අසල පිහිටි මේ ගම තරමක් ජනාකීර්ණ විය. ඒ අහල පහළ ගම් කිහිපයක අය විවිධ අවශ්‍යතා සඳහා අනුරාධපුරයට යාමට බස් රියට නගින්නේ මේ ගමට පැමිණීමත් නිසාය.   


කඩමණ්ඩියේ එක්තරා කඩයක හිමිකරු වූයේ පීටර්ය. ගම්වල සිට එන අය සමග ඔවුන්ගේ බල්ලන් ද පැමිණීම බොහෝ විට සිදු වේ.   


ආපසු පාර සොයා ගෙන යා නොහැකි සුනඛයෝ තම හාම්පුතුන් එනතුරු කඩමණ්ඩියේ අයිනකට වී සිටිති. කඩවල් වලින් තේ බී ඉවතලන පාන් කැබැල්ලක් හෝ බනිස් කැබැල්ලක් ආහාරයට ගනිමිනි. පීටර් කරන්නේ උන්ගේ එකෙක් ගෝනියක දමා ගැට ගසා වෙළෙඳසල ඉදිරිපිට තැබීමයි. සුනඛයා බේරී යාම සඳහා ගෝනියත් සමග දඟලන විට අනිත් සුනඛයෝ ඌට බුරමින් දඟලන ​ගෝනිය වටේ පැන පැන එයට පහර දෙති. මෙය දකින ළමයින් සහ තරුණයන් විනෝද වූවත් වැඩිහිට අය මෙයට දොස් කියති. එහෙත් පීටර් ඒ කිසිවක් ගණන් නොගනියි. දිනක් හෝ දෙදිනක් ගෝනිය තුළ දඟලා සුනඛයා නිහඬ වූ විට ගෝනියේ කට ලිහා සුනඛයා නිදහස් කරන පීටර් කරන්නේ තවත් සුනඛයකු එයට දැමීමයි. දිනපතාම කඩය මිදුලේ මේ දඟලන ගෝනියත් එය වටා රැස් වී විනෝද වන පිරිසත් එකළ සුලභ දසුනක් විය.   


පන්සලේ හාමුදුරුවෝ ද ගමේ පාසලේ මුල් ගුරුතුමා ද පීටර් ට මෙය නොකරන ලෙස උපදෙස් දුන් නමුත් ඉන් ඵලක් නොවීය.   
​ගෝනිය තුළ දඟලන සුනඛයා නිරාහාරව වතුර නොමැතිව කුමක් සිදු වේද යන්න බියෙන් දිනක් හෝ දෙදිනක් ගත කරන්නේ අපමණ වේදනාවකිනි.   


දිනක් සවස වෙළෙඳසලේ “පැට්‍රෝල් ලාම්පුව” දල්වමින් සිටියදී එක වරටම එය ගිනි ගෙන පීටර්ගේ මුහුණ දැඩි ලෙස පිලිස්සිණ. අද මෙන් වාහන බහුල නොවූ ඒකාලයේ පීටර් රෝහලට ගෙන යාමට හැකි වූයේ පැය ගණනක් ගත වූ පසුවයි.   


ඔහුගේ ඇස් දෙක ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කළේ මොළය හා ඒ ආශ්‍රිත කොටස් ආරක්ෂා කර ගැනීමටය. ඇස් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය එකල සිදු නොවුණ නිසා පීටර්ට පෙනීම ලබා ගත නොහැකි විය. ඔහුගේ මුහුණ ද ඉතාම දරුණු ලෙස පිලිස්සී තිබූ නිසා සුව වන විට යක්ෂ මූණක් ලෙස විය. ඔහුගේ බිරිය හා ළමයින් නිතරම පීටර්ගේ මුහුණ රෙද්දකින් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට පුරුදු වූයේ දකින අයගේ පිළිකුලත් ළමයින්ගේ භීතියත් වළක්වාලනු සඳහාය. දහවල් කාලයේ කිසිම විටෙක පීටර් එළියට වත් ආවේ නැත. මෙසේ වසරක් පමණ නොයෙක් දුක් විඳ පීටර් මිය ගියේ ගේ තුළදීම සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබීමෙනි.   


ඔහුගේ අරුම පුදුම විනෝදාංශය හේතු කොට ගෙන මෙම දුක්ඛිත ඉරණම ඔහුට අත් වූ බව මේ පිළිබඳ ඇසූ දුටු වැඩිහිටියෝ කතා වූහ. එපමණක් ද නොව සත්ව හිංසනයෙන් බාල පරපුර මුදවා ගැනීමට ද මෙය උපයෝගී කර ගත්හ.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්